ජනවාර්ගික අර්බුදය විසඳුමකින් තොරව කුණුවෙමින් පවතී. එම විෂයෙහි පවතින කුණුවීම සමස්ත දේශපාලන ක්රමයේ සිදුවෙමින් පවතින කුණුවීම වේගවත් කිරීමට හේතුවී තිබෙන අතර, අනෙක් අතට දේශපාලන ක්රමයේ ඇතිවී තිබෙන කුණුවීම ජනවාර්ගික අර්බුදයේ කුණුවීම වේගවත් කිරීමට හේතුවී තිබේ.
මේ අර්බුදයට පිළිගත හැකි විසඳුමක් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි? සිංහල නායකයින්ගේ වරදින් ද? නැති නම් දෙමළ නායකයින්ගේ වරදින් ද? ඒත් නැතිනම් ඒ දෙපිරිසේම වරදින්ද?
සිංහල ජාතිය ශ්‍රී ලංකාවේ මහ ජාතිය වෙතත්, මේ අර්බුදයේදී සිංහල ජාතියේ මානසික හැසිරීම මහා ජාතියකගේ මානසික හැසිරීමකට වඩා සුළු ජාතීන්ගේ මානුෂික හැසිරීමකට සමානය.
1946දී රටේ මුළු ජනගහනය 6657300කි. ඉන් 69.4%ක් සිංහල වන විට ලාංකික දෙමළ පංගුව 11%ක් විය. ඉන්දියානු දෙමළ පංගුව 11.7%ක් විය. මුස්ලිම් පංගුව 6.2%කි.
1981 දී ජනගහනය 14850000 ක් වන විට සිංහල පංගුව 74%ක් ද, ලාංකික දෙමළ පංගුව 12.6%ක්, මුස්ලිම් පංගුව 7.1%ක් ද, උඩරට වතු දෙමළ පංගුව 5.5%ක් ද විය.
එහෙත් සිංහල ජනතාව දෙමළ ජනතාව හැමදාමත් දැක්කේ තමන් අතර ජීවත් වන පුංචි ජාතියක් ලෙස නොව තමන්ට වඩා විශාල මහ ජාතියක් ලෙසය. ගණන් බැලීමේදී තමිල්නාඩුවේ දෙමළ ජනගහනය උතුරු නැගෙනහිර දෙමළ ජනගහනය සමග එකට ගෙන ගණන් බලන ආකල්පයක් හැමදාමත් සිංහලයින්ට තිබුණි.
දමිළයන් පිළිබඳ සිංහල ආකල්පය කෙරෙන් ඈත ඉතිහාසයේ අමිහිරි මතක සටහන් බලපා තිබෙන බව පෙනේ. ඈත අතීතයේදී ඉතාමත් දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කී සිය ජාතියේ පරිහානිය කෙරෙහි දෙමළ ආක්‍රමණ බලපෑවේය කියන විශ්වාසය අදත් සිංහල මනස තුළ පවතී.
ශ්‍රී ලංකා මහ ජාතිය වන සිංහලයින් සුළු ජාතියක් ලෙස සිතන විට ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වන දෙමළ ජනයා මහා ජාතික මානසික ආකල්පයක පිහිටා ක්‍රියාකරන බවක් දැකිය හැකිය. ඉංග්‍රීසි යුගයේදී දෙමළ නායකයින් කල්පනා කළ බව පෙනෙන්නේ තම වර්ගයා සිංහල ජනවර්ගයාට ප්‍රමාණයෙන් සමාන නියෝජනයක් ලැබිය යුතු ජනවර්ගයක් ලෙසය. මෙම ආකල්ප සාදනයෙහිලා කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණ යටතේ පිහිටුවනු ලැබූ ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයින් පත් කිරීම සඳහා ඉංග්‍රීසි ආණ්ඩුව අනුගමනය කළ ප්‍රතිපත්තිය ද බලපෑ බව පෙනේ. මුලදී 23 ලක්ෂයකට තරමක් වැඩි සිංහල ජනතාව නියෝජනය කිරීමට ව්‍යවස්ථා සභාවට එහි නියෝජිතයකු පත් කරන විට හාර ලක්ෂයකට තරමක් වැඩි ලාංකික දෙමළ ජනතාව නියෝජනය කිරීමට ද එක් නියෝජිතයකු පත් කරන ලදි. පසුව ව්‍යවස්ථා සභාවට පත් කරන නියෝජිතයන්ගේ ප්‍රමාණයන්ගේ වෙනස්කම් ඇති වුවද එහිදී ඒ ඒ ජනවර්ග නියෝජනය කරන ජනගහනයේ ප්‍රමාණය සැලකිල්ලට ගැනීමක් සිදු නොවීය. ඒ නිසා හැමවිටම සිංහල නියෝජිතයින් ගණනක් නොවේ නම්, ඊට කිට්ටු ගණනක නියෝජනයක් ලබාගැනීමට දෙමළ නායකයින් සමත් වූ අතර, සිය නියෝජනය විශාල ලෙස අඩු කිරීමට හේතුවන දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කරනවා දකින්නට ඒ නිසා දෙමළ නායකයින් කැමති නොවීය.
දේශපාලන ප්‍රතිසංස්කරණවලදී ඇති කරගත යුතු නියෝජන මූලධර්ම පිළිබඳව දෙමළ නායකයින්ට ආරාවුලක් තිබුණි. ඔවුන් තමන් නියෝජනය කරන වාර්ගිකයින්ගේ ප්‍රමාණය නොසලකා 2(1 අනුපාතිකයක් පවත්වාගෙන යායුතු බවට තර්ක කළේය. ජී.ජී. පොන්නම්බලම්ගේ පනහට පනහේ ඉල්ලීම තුළ දක්නට ලැබෙන්නේ ද එම මානසික ආකල්පයයි.
ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ආයතන සකස් විය යුත්තේ එක් ජාතියකට තවත් ජාතියක් අභිබවා යා නොහැකි ආකාරයටය යන්න පොන්නම්බලම්ගේ මතය විය. ව්‍යවස්ථාදායකය ප්‍රාදේශීය ආයතන 100කින් හා නියෝජිතයන් සිය දෙනෙකුගෙන් සමන්විය යුතු බවත්, ඉන් භාගයක් සිංහලයින්ට ලැබෙන විට ඉතිරි භාගය සුළු ජාතිකයන්ට ලැබිය යුතු බව ඔහුගේ මතය විය.
එවැනි ක්‍රමයක් නියෝජන ප්රජාතන්ත්රවාදී මූලධර්මවලට පටහැනි බව තේරුම් ගැනීමට ඔහු අසමත් විය. ව්‍යවස්ථාදායකය ප්‍රාදේශීය ආසන 100කින් සමන්විය යුතු නම් එයින් 65ක් සිංහලයින්ට ලැබිය යුතුව තිබුණි. සුළු ජාතීන්ට ලැබිය යුතුව තිබුණේ ඉතිරි 35යි. සිංහලයින්ට ලැබෙන විශාල නියෝජනය තුළ සිංහලයින් අතින් සුළු ජාතීන්ට පීඩාවක් ඇතිවීම වළකා ගත යුතුව තිබුණේ එවැනි පීඩාවකට ඉඩක් නැති වෙනත් විධි විධාන ඇති කිරීමෙනි. සමතුලිත නියෝජනයක් ඉල්ලා සිටීම මගින් පොන්නම්බලම් තමන් නියෝජනය කළ ජාතියට කෘතිම විශාලත්වයක් ආරෝපණය කළා යැයි කිව හැකිය.
දේශපාලන ප්‍රතිසංස්කරණ දිනා ගැනීම සඳහා වන සමස්ත ක්‍රියාවලියේදී සුළු ජාතීන්ගේ ගෞරවයට හේතුවන ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය ප්‍රඥාව සිංහල නායකයින්ට නොතිබුණා සේ ම තමන් මත පටවන සිංහල ආධිපත්‍යයට ඉඩක් නැති ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය දේශපාලන ප්‍රඥාව දමිළ නායකයින්ට ද නොතිබුණේය.
රටේ දේවල් සිදුවෙමින් තිබුණු ආකාරය බර්ගර් ජනයාගේ සතුටට හෝ විශ්වාසයට හේතු නොවීය. ඔවුන් නිදහස ලැබීමත් සමග බුරුතු පිටින් රට අතහැර යන්නට වූහ. ඔවුන් නිදහසින් පසුව ගොඩ නැගෙන අතීතය ලාංකික ජාතියේ කොටස්කරුවන් පිරිසක් බවට පත්කර ගැනීමට අපි සමත් වී නම් ශ්‍රී ලංකාවේ දියුණුව පිණිස ඔවුන්ගෙන් ලබාගන්නට තිබුණු දායකත්වය ඉතා විශාලය.
නිදහස ලැබීමෙන් පසු ජනවාර්ගික විෂයට අදාළව කම්පන තරංග ඇති කිරීමට හේතුවූ පළමු සිද්ධිය ලෙස සැලකිය හැක්කේ ඉන්දියානු වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කිරීමට හේතුවන ලෙස ඇති කරන ලද පුරවැසි අණ පනත්ය. එහෙත් එය පටු දේශපාලන ලාභ සලකා එය රටේ පොදු යහපත සලසා ගනු ලැබූ පියවරක් නොවීය.
ලංකා ඉන්දියානු වතු කම්කරු කොංග්‍රසය ද මැතිවරණයේදී ඩී.ඇස්. සේනානායකට ආධාර නොකළේය. පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපේක්ෂා කළ තරම් පැහැදිලි ජයග්‍රහණයක් ලබාගැනීමට ඩී.ඇස්. සේනානායක මහතා සමත් නොවූ අතර, ආණ්ඩුවක් ගැටගසා ගත්තේ සාමාජිකයින් ඇතුළු විවිධ අය එකට ගැට ගසා ගනිමින් මහත් අමාරුවෙනි. ආණ්ඩුවක් ගැටගසා ගැනීමේ ක්‍රියාවලියේදී ලංකා ඉන්දියානු කොංග්රස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඩී.ඇස්. සේනානායකට ආධාර නොකළේය. මැතිවරණයේදී ද එම පක්ෂයට තරග නොකළ වතු කම්කරුවන් සිටින ආසනවලදී ඔවුන් ආධාර කළේ සමසමාජ පක්ෂයටය. ඩී.ඇස්. සේනානායකට ලංකා ඉන්දියානු වතු කම්කරු කොංග්‍රසයට සේ ම සමසමාජ පක්ෂයට ද පාඩමක් ඉගැන්වීමට අවශ්‍ය වූ අතර, වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහෝසි කරන නීති සම්පාදනය කළේ ඒ සඳහාය. එය සමසමාජ බල පදනම දුර්වල කොට ඊළඟට මැතිවරණයේදී පැහැදිලි ජයග්‍රහණයක් තම පක්ෂයට ලබාගැනීම සඳහා ක්‍රියාවට නගන ලද වැඩපිළිවෙළක් විය.
ඉන්දියානු වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහිමි කරන අවස්ථාවේදී උතුරු නැගෙනහිර නියෝජනය කළ මන්ත්‍රීවරුන් බහුතරය ඩී.ඇස්. සේනානායකගේ එම වැරදි පියවර අනුමත කළේය. ඒ අවස්ථාවේදී ඊට එරෙහිව බලවත් ලෙස නැගී සිටි බහුතරයක් සිංහලයන් මිස දමිළයන් හෝ සුළු ජාතිකයන් නොවීය. සම්ප්‍රදායික වාමාංශික පක්ෂ දෙක පමණක් නොව, ඩී.එම්. රාජපක්ෂ, අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල, ශ්‍රී නිශ්ශංක වැනි පිරිසක් ද ඒ පියවරට එරෙහිව නැගී සිටියේය. එහි තේරුම ඒ වන විට ලාංකික දෙමළ නායකයින් උඩරට දෙමළ වතු කම්කරුවන් සිය ජාතියේ කොටසක් ලෙස නොසලකන ලද බවය.
ඉන්පසු ලාංකික දෙමළ ජනතාව කෙරෙහි පීඩාවක් ඇති කිරීමට බලපෑ සංසිද්ධිය ලෙස සැලකිය හැක්කේ 56 බණ්ඩාරනායකගේ සිංහල පමණක් භාෂා ප්රතිපත්තියයි. බණ්ඩාරනායක, සර් ජෝන් කොතලාවල වැනි නායකයන් ඇවිලෙන භාෂා ගින්නට පිදුරු නොදමා සිංහල ජනතාවට ඉවසීමෙන් කරුණු කියා දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම්, මෙම අර්බුදය දුරදිග යන්නට ඉඩ නොදී පාලනය කරගැනීමේ හැකියාව තිබුණි. එහෙත් ඒ අවස්ථාවේ ඒ සියලු නායකයින්ට අවශ්‍ය වූයේ රට නොව බලයයි. බණ්ඩාරනායක භාෂාව, සංස්කෘතිය හා ආගම ආශ්රයෙන් මතුවී තිබු ආවේග බලය ලබාගැනීම සඳහා දක්ෂ ලෙස ප්‍රයෝජනයට ගත්තේය.
බණ්ඩාරනායකගේ සිංහල පමණක් භාෂා ප්‍රතිපත්තිය දෙමළ ජනතාවට ඉහළ නැගීමට තිබුණු එකම මාර්ගයට එල්ල කෙරුණු පහරදීමක් විය. ඉංග්‍රීසි යුගය තුළ වානිජ වතු වගාව මුල් කොටගෙන ඇතිවූ ධනේශ්වර සංවර්ධනය සිංහල දකුණට අලුත් ආර්ථික ඉඩ ප්රස්ථා රැසක් විවර කර දුන්නේය. එහෙත් එම ධනේශ්වර සංවර්ධනය යාපනේ කෙරෙහි බලපෑවේ ආන්තික වශයෙනි. දකුණේ සිංහල මිනිසුන් ඉංග්‍රීසි යුගය තුළ විවර වූ ව්‍යාපාරික ඉඩ ප්රස්ථා ප්‍රයෝජනයට ගෙන දියුණු වන විට යාපනේ ඒ අඩුව සපුරා ගත්තේ අධ්‍යාපනයෙනි. ඔවුන්ගේ දියුණුවේ ප්‍රධාන මාර්ගය බවට පත්ව තිබුණේ රාජ්‍ය සේවයයි. ඇමරිකානු මිෂනාරීන්ට පින්සිදු වන්නට දුෂ්කරතාවලින් පිරුණු යාපනේට අන් කිසිම කලාපයකට නොදෙවෙනි පාසල් පද්ධතියක් ලැබී තිබුණි. ඉංග්‍රීසි ආණ්ඩුව ඇමරිකානු මිෂනාරීන් යාපනේට යවන ලද්දේ යාපනේ දෙමළ ජනතාවට තිබුණු ආදරේ නිසා නොව තමන්ගේ නොකැමැත්තට හේතුවී සිටි ඇමරිකන් මිෂනාරීන් දුෂ්කර කලාපයක් බවට පත්ව තිබූ යාපනේට යවා පීඩාවට පත්කිරීමේ අරමුණිනි. එහෙත් එහි ගිය මිෂනාරීන් දිවයිනේ අන් කිසිම කලාපයක නැති තරම් දියුණු පාසල් පද්ධතියක් එහි ඇති කිරීමට සමත් විය. පළමු වෛද්‍ය විද්‍යාලය ඇතිවූයේ ද යාපනයේය. ලංකාවේ විශ්වවිද්‍යාල ක්‍රමයක් ඇති වන්නට පෙර යාපනේ යමක් කමක් ඇති දෙමාපියන් සිය දරුවන් ඉන්දියාවට යවා ඔවුන්ට උසස් අධ්‍යාපනයක් ලබා දුන්නේය. ආරම්භයේදී මැලේසියාවේ රාජ්‍ය සේවයට අවශ්‍ය මිනිසුන් ලබා ගත්තේ යාපනෙනි. යාපනේ එකල ජීවත් වූයේ මැලේසියාවෙන් ලැබෙන මුදල් ඇණවුම්වලිනි. යාපනේ දෙමළ ජනයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයට මාරුවූයේ විදේශිකයන්ට මැලේසියාවේ රාජ්‍ය සේවය තහනම් කිරීමෙන් පසුවය. ඒ තහනම වඩාත්ම නරක ලෙස බලපෑවේ යාපනේ දෙමළ ජනතාවටය.
අද දක්වාම යාපනේ දෙමළ ජනතාවට සිංහල අයට වඩා අධ්‍යාපනයේදී වැඩි උනන්දුවක් හා කැපවීමක් දක්වයි. ඉංග්‍රීසි අධ්‍යාපනයේදී ද යාපනේ දෙමළ ජනතාව දකුණේ සිංහල ජනතාවට වඩා ඉදිරියෙන් සිටියේය. 1911දී යාපනේ දෙමළ පුරුෂයන් අතර ඉංග්‍රීසි භාෂාව කියවීමේ හා ලිවීමේ හැකියාව 4.9%ක් වන විට දකුණේ සිංහල පිරිමින් සඳහා එය 2.4%ක් විය. මෙම විශේෂ තත්ත්වය යටතේ රාජ්‍ය සේවයේ තනතුරු දරන්නන් අතර, දමිළයන්ගේ ප්‍රමාණය ඔවුන්ගේ ජාතික අනුපාතිකයට වඩා ඉහළ මට්ටමක පැවතුණි. පරිපාලන සේවය තුළ දමිළ සහභාගිත්වය 30%ක් වූ අතර, ලිපිකාර සේවය තුළ 50%ක් විය. එම තත්ත්වය තුළ දෙමළ මිනිසුන් හැම වැදගත් තැනක්ම අල්ලා ගෙන ඇතැයි කියන හැඟීමක් සිංහල ජනතාව තුළ ඇති කිරීමට හේතුවිය.
බණ්ඩාරනායකගේ සිංහල භාෂා ප්‍රතිපත්තිය දෙමළ ජනතාවට විශාල අලාභයක් ඇති කිරීමට හේතු වුවද, පසුකලකදී ඔවුන් එය තමන්ට වෙනස් කළ නොහැකි ඉරණමක් ලෙස සලකා රාජ්‍ය සේවය සිංහලයින්ට අතහැර සිංහලයින් වැඩි උනන්දුවක් නොදැක්වූ වෛද්‍ය, දන්ත වෛද්‍ය, ඉංජිනේරු වැනි විශේෂඥ සේවා ඉලක්ක කොට ගෙන අධ්‍යාපනය ලබන ප්රතිපත්තියකට මාරුවිය. ඒ අනුව විශ්වවිද්‍යාලවල මෙම විෂය ධාරාවල අධ්‍යාපනය ලබන්නන්ගේ දෙමළ අනුපාතිකය ඔවුන්ගේ ජාතික අනුපාතිකයට නොගැලපෙන තරම් ඉහළ මට්ටමක පැවතුණි. කලා උපාධිධාරීන්ට රජයේ රැකියාවක් අනිවාර්යයෙන්ම ලබාදීමේ හැකියාව අවසන් වූ විට විශ්වවිද්‍යාලවල විද්‍යා විෂය ධාරා සඳහා වන සිංහල තෙරපුම ඉහළ ගියේය. ඒ සඳහා සිංහලයින්ට ලැබෙන ඉඩ ප්රස්ථා වැඩි කිරීම පිණිස ආණ්ඩුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ප්‍රමිති කරන නීති ඇති කළේය. ප්‍රමිති කරන නීති නිසා මෙම විෂය ධාරා සඳහා විශ්වවිද්‍යාල දෙමළ සහභාගිත්වයේ අනුපාතිකයේ ශීඝ්‍ර පහත වැටීමක් ඇතිවිය. ආචාර්ය සී.ආර්. ද සිල්වා දක්වා තිබෙන දත්ත අනුව ප්‍රමිතිකරණයට පෙර 1970-71 වසරවල භෞතික විද්‍යා, ජෛව විද්‍යා හා ගෘහ නිර්මාණ යන අංශ සඳහා දෙමළ සහභාගිත්වය 28.6%ක මට්ටමක පැවතියත්, ප්රමිතිකරණයෙන් පසු 1973දී එම ප්‍රතිශතය 23.6% දක්වා පහත වැටුණි. ඉංජිනේරු අංශය ප්‍රමිතිකරණයට පෙර පැවති මට්ටම 40.8%ක් විය. ප්රමිතිකරණයෙන් පසු 24.4%කි. වෛද්‍ය අංශය සඳහා 40.9%ක් වූ අතර, ප්රමිතිකරණයෙන් පසු 36.9%ක් විය. දන්ත වෛද්‍ය අංශය 56.1%ක් වූ අතර, ප්රමිතිකරණයෙන් පසු 46.9%ක් විය. පශු වෛද්‍ය අංශය සඳහා ප්‍රමිතිකරණයට පෙර දෙමළ සහභාගිත්වය 23.8%ක් වූ අතර, ප්රමිතිකරණයෙන් පසු 13.0% ක් විය.
1974දී විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමේ පටිපාටියේ තවත් අලුත් වෙනසක් ඇති කරන ලද අතර, ප්‍රමිතිකරණයට අතිරේකව එකිනෙක දිස්ත්‍රික්කයේ මුළු ජනගහනයට අනුපාතිකව ශිෂ්‍යයන් තෝරා ගැනීමේ ක්‍රමයක් (දිස්ත්‍රික් කෝටා ක්‍රමයක්) ඇති කරන ලදි. එම ක්‍රමයට එල්ල වූ විවේචන නිසා එම ක්‍රමය අකුරටම ක්‍රියාත්මක නොකළ ද (ආචාර්ය සී.ආර්. ද සිල්වාගේ ගණන් බැලීම අනුව ඒ ක්‍රමය අකුරටම යොදා ගන්නේ නම් විශ්වවිද්‍යාලවලට ඇතුළු වන දෙමළ ශිෂ්‍යයන්ගේ අනුපාතිකය 6% දක්වා අඩුවන්නට ඉඩ තිබුණි.) එක්තරා ප්‍රමාණයකට හෝ යොදා ගැනීම නිසා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා දෙමළ ශිෂ්‍ය අනුපාතිකය තවදුරටත් පහත වැටුණි.
උතුරේ දෙමළ ජනතාව ප්රචණ්ඩ මාවතක් තෝරා ගැනීම කෙරෙහි විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණ ප්‍රතිපත්තිය තීරණාත්මක ලෙස බලපෑවේය. ආයුධ බලයෙන් වෙනම රාජ්‍යයක් ගොඩ නැගීම සඳහා ඇතිවූ දේශපාලන සංවිධානවල පුරෝගාමීන් ලෙස ක්‍රියා කළ එම ප්‍රමිතිකරණ ප්‍රතිපත්තියෙන් බැට කෑවේ දෙමළ තරුණ තරුණියන්ය.
සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියේදී දෙමළ ජනතාවට දෙමළ භාෂාවේ සාධාරණ භාවිතයේ අයිතියට ඉඩ දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් රටේ ඉරණම මේ තරම් අවාසනාවන්ත නොවන්නට ඉඩ තිබුණි. 56ට පෙර රටේ රාජ්‍ය භාෂාව වූයේ ඉංග්‍රීසි භාෂාවයි. විදුලි පණිවුඩයක් පවා ලැබුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඉංග්‍රීසි නොදන්නා සිංහල හා දෙමළ මිනිසුන්ට තමන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ලැබෙන විදුලි පණිවුඩය කියවා ගැනීමට ඉංග්‍රීසි දන්නා මහත්තයකු සොයාගෙන යන්නට සිදුවී තිබුණි. එම තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීම අත්‍යාවශ්‍ය වුවත්, 56 ඒ වෙනස ඇති කළේ දෙමළ ජනයාට අසාධාරණයක් වන ආකාරයටය.
එහෙත් තමන්ට සිදුවී තිබුණු අසාධාරණය ජයගැනීම සඳහා දෙමළ නායකයින් තෝරා ගත් ඉලක්කය නිවැරදි නොවනවා සේ ම, ඒ ඉලක්කය ජයගැනීම සඳහා තෝරාගත් මාර්ගය ද නිවැරදි නොවීය.
ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පැවතීම භූ දේශපාලන යථාර්ථයට පටහැනිය. ඉන්දියාවේ අනුමැතිය නොමැතිව එවැන්නක් පැවතිය නොහැකි අතර, ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයකට එකඟවීමේ හැකියාවක් ද ඉන්දියාවට නැත. වෙනම රාජ්‍යයක් සඳහා තෝරාගත් භූමි ප්‍රදේශ සඳහා ඉදිරිපත් කළ අයිතිවාසිකම් තුළ ද ව්‍යාජ බවක් තිබුණි. උතුර තමන්ගේ පාරම්පරික වාසභූමි ප්‍රදේශ ලෙස අයිතිවාසිකම් කීමේ යුක්තිසහගත බවක් ඇතත්, ඊට මුළු නැගෙනහිර පළාත ද ඇතුළත් කොට ඒ පළාත් දෙකම දෙමළ වාසභූමි ප්‍රදේශ ලෙස අයිතිවාසිකම් කීම යුක්තිසහගත විය නොහැකිය. නැගෙනහිර පළාතේ දෙමළ භාෂාව කතා කරන මුස්ලිම් ජනයා ද වෙනම දෙමළ රාජ්‍යයකට එකඟවේ නම් පමණක් එවැනි අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමත් යුක්තිසහගත විය හැකිය. එහෙත් එහි වෙසෙන මුස්ලිම් ජනයා එවැනි වැඩපිළිවෙළක කොටස්කරුවන් වීමට සූදානම් නැත.
වෙනම රාජ්‍යයක් පිළිබඳ ඉලක්කය දෙමළ ජනයා රට දෙකඩ කරන්නට යන්නේය කියන බිය සිංහල ජනයා තුළ ඇති කිරීමට හේතුවිය. ඒ නිසා දැන් සිංහල ජනයා දෙමළ ජනයා වෙනුවෙන් ඉදිරිපත් කරන ඕනෑම ප්රතිසංස්කරණයක් දකින්නේ රට දෙකඩ කිරීමට දෙන අනුබලයක් ලෙසය. වෙනම රාජ්‍යයක් පිළිබඳව ඉලක්කයට දෙමළ ප්රශ්නය පිළිබඳව සිංහල ජනයා අදානග්රාහීව කල්පනා කරන තැනකට තල්ලු කිරීමට හේතුවී තිබේ.
වෙනම රාජ්‍යයක් නමැති මනෝරාජික ඉලක්කය සපුරා ගැනීම සඳහා තෝරා ගත් සටන් මාර්ගය ද මෙම ආරාවුලට විසඳුමක් ඇතිකර ගැනීමට තිබෙන ඉඩ තවදුරටත් සීමා කළේය. ප්රචණ්ඩ මාවත තෝරා ගත්තේ අයිතිවාසිම් දිනාගැනීම සඳහා යොදාගත් සාමකාමී අරගල ක්‍රියාවලිය බලහත්කාරී ලෙස මර්දනය කළ නිසා බව කියනු ලැබුවත් ඊට දෙන එම පිළිතුර නිවැරදි හෝ සාධාරණ නැත.
දෙමළ නායකයන් 70 ගණන් අවසානය දක්වා දෙමළ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා අවිහිංසාවාදී අරගලයක නිරත වූ බව හා විටින් බලයට පැමිණි ආණ්ඩු විටින් විට මතුවූ ඔවුන්ගේ සාමකාමී අරගල මර්දනය කළ බව ද සත්‍යයකි. එහෙත් අවිහිංසාවාදී අරගලයක් යන්නෙහි තේරුම ඉඳහිට ආවාට ගියාට කරන උද්ඝෝෂණ නොවේ. එය මහත් ඇප කැපවීමකින් යුතුව විධිමත්ව හා අඛණ්ඩව ඉදිරියට ගෙන යායුතු සටන් ක්රමයකි. එහෙත් දෙමළ නායකයින් සිය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා එවැනි අවිහිංසාවාදී අරගලයක නිරත වී යැයි කිව නොහැකිය. ඇත්තටම සිදුවූයේ පැරණි පරපුරේ දෙමළ නායකයින් සිය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ශක්තිමත් හා ඵලදායී අවිහිංසාවාදී අරගලයක නිරතවීමට අසමත්වීම හේතු කොටගෙන අවස්ථාවාදී මාවතෙන් දිනාගත හැකි අයිතිවාසිකමක් නැතැයි සිතන තත්ත්වයක් දෙමළ තරුණ පරපුර තුළ ඇතිවීමය. තෝරා ගැනීමට තිබූ ඊළඟ මාවත එනම් ප්රචණ්ඩ මාවත වඩා සරල හා පහසු වූ අතර, ඉක්මනින් සිත්ගන්නාසුළු ප්‍රතිඵල පෙන්නුම් කිරීමේ හැකියාවක් ද තිබුණි. අවසානයේ වැඩිහිටි පරපුරේ දෙමළ නායකයින් ද තරුණ පරපුරේ ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි දුන්නේය. අවසානයේ මුළු රටට පමණක් නොව, දෙමළ සමාජය ද පහසුවෙන් ගැලවිය නොහැකි ආකාරයට ප්රචණ්ඩත්වයේ විෂම චක්‍රයට හසුවිය.
ප්රචණ්ඩ මාවතේ යන ගමනේදී පවා මහජනයාගේ විශ්වාසයට හෝ ගෞරවයට හේතුවන ප්රතිපත්තියක පිහිටා ක්‍රියා කිරීමට දෙමළ සන්නද්ධ ව්‍යාපාරය අසමත් විය. සාමාන්‍ය අහිංසක සිංහල වැසියන්ට එරෙහිව මුදාහළ කෘෘරත්වයේ පරිමාව ඉතා විශාලය. එවැනි සාහසික ක්‍රියාකාරකම් දෙමළ සන්නද්ධ ව්‍යාපාරය පිළිබඳව සිංහල සිත් සතන් තුළ පිළිකුළක් හා වෛරයක් ඇති කිරීමට හේතුවිය. ඒ නිසා ඇතිවූ මානසික වාතාවරණය ජනවාර්ගික අර්බුදය විසඳුමක් ඇති කරගැනීමට තිබෙන හැකියාව තවදුරටත් සීමා කළේය.
අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කරන අරගලයක් තමන් නියෝජනය කරන පීඩිත ජනතාව අතර, පමණක් නොව, පීඩිත ජනතාව අතර ද ගෞරවයට හේතුවිය යුතුය. මැන්ඩෙලා සටන් කළේ සුදු වර්ගවාදයට එරෙහිව වුවත්, මැන්ඩෙලා පීඩිත කල්ලන්ගේ පමණක් නොව පීඩිත සුද්දන්ගේ ද ගෞරවයට හේතුවිය. මහත්මා ගාන්ධි ඉන්දියාවේ නිදහස වෙනුවෙන් ගෙනගිය අරගලය පීඩිත ඉන්දියානවන්ගේ පමණක් නොව පීඩිත ඉංග්‍රීසීන්ගේ ද ගෞරවයට හේතුවිය. ඒ ගෞරවය විසඳුමක් ඇතිකර ගැනීමට තිබෙන ඉඩකඩ ශක්තිමත් කළේය. එහෙත් දෙමළ සන්නද්ධ අරගලය සිංහලයන් කෙරෙහි භීතියක් මිස ගෞරවයක් හෝ අනුකම්පාවක් ඇති කිරීමට හේතුවූයේ නැත.
දෙමළ සන්නද්ධ අරගලය දෙමළ ජනතාව අතර ආත්ම අභිමානයක් ඇති කිරීමට හේතුවන්නට ඇතත්, එම ආත්ම අභිමානය තුළ සැඟවුණු ලැජ්ජාවක් ද පවතී. ඒ ලැජ්ජාව කෘෘරත්වය පිළිබඳවය.
සන්නද්ධ අරගල මාවතෙන් විනාශයක් මිස යහපතක් ඇති කළ නොහැකිය. දකුණේ ජවිපෙ සන්නද්ධ කැරැල්ල හා මර්දනය සමස්ත සිංහල සමාජයේ ආත්මය මරා දැමීමට හේතුවූ ආකාරයට දෙමළ සන්නද්ධ ව්‍යාපාරය හා යුද්ධය දෙමළ සමාජයේ ආත්මය මරා දැමීමට හේතුවී තිබේ. දකුණෙත් උතුරෙත් ඇතිවූ සන්නද්ධ ව්‍යාපාර හා මර්දන ව්‍යාපාර නිසා ලක්ෂයකට වැඩි මිනිසුන් සංඛ්‍යාවක් මිය යන විට ඉතිරි වී ජීවත් වන ජනතාවට ජීවත්වීමට සිදුවී ඇත්තේ හෘද සාක්ෂියක් නැති ආත්මය අහිමි කරගත් ජනතාවක් වශයෙනි. රටේ පවතින ගැටලු විසඳා ගැනීම වඩා දුෂ්කර වී ඇත්තේ ද ඒ නිසාය.
සිංහලයින් අතින් දමිළයින්ට බලවත් අසාධාරණයක් සිදුවී ඇති බව සත්‍යයකි. එහෙත් සිංහලයින් අතින් සිදුවී තිබෙන අයුක්තියට එරෙහිව දමිළ ජනයා ප්‍රතිචාර දක්වා තිබෙන ආකාරය ද සාහසිකය. අයුක්තිය අයුක්තියෙන් පරාජය කළ නොහැකිය. අයුක්තිය පරාජය කළ යුත්තේ යුක්තියෙනි. •