ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය

October 29, 2026
Publication:
If states made the best use of the additional sources of revenue open to them, the tax burden laid on the public could be eased. Sri Lanka uses its additional sources not for the common good but to fill the pockets of the rulers and the dealers grouped around them — and television and radio broadcasting, and the message traffic carried on mobile telephones, are the simple illustrations.

රාජ්‍යයන් තමන්ට තිබෙන අතිරේක ආදායම් මාර්ග ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගනී නම් මහජනතාව මත පටවන බදු බර ලිහිල් කළ හැකි ය.

එහෙත් ශ්‍රී ලංකා රජය තමන්ට තිබෙන අතිරේක ධන උපයන මාර්ග ප්‍රයෝජනයට ගනිමින් තිබෙන්නේ රටේ පොදු යහපත පිණිස නොව රාජ්‍ය නායකයින් හා රාජ්‍ය නායකයින් සමඟ කල්ලි ගැසී සිටින ජාවාරම් කරුවන්ගේ සාක්කු පුරවා ගැනීම සඳහාය.

සරල නිදර්ශන කිහිපයකින් මේ විෂයයෙහි දී රටේ තිබෙන අවලස්සන තත්ත්වය පැහැදිළි කළ හැකි ය.

රූපවාහිනි හා ගුවන් විදුලි විකාශනය සහ ජංගම දුරකථන මගින් කෙරෙන පණිවිඩ හුවමාරුව සඳහා ද පාවිච්චි කෙරෙන්නේ ගුවන් තරංග ජාලාය. හැම ශිෂ්ට සම්පන්න රටක්ම ගුවන් තරංග සලකන්නේ මහජන දේපලක් සේ ය. ගුවන් තරංගවලට ඇති සීමිත භාවය නිසා ම ඒවාට සුවිශාල මිලක් තිබෙන අතර හැම ශිෂ්ට සම්පන්න රටක් ම පාහේ ගුවන් තරංග ප්‍රයෝජනයට ගන්නා ජංගම දුරකතන, රූපවාහිනි හා ගුවන්විදුලි ආයතනවලට එම තරංග පාවිච්චි කිරීම සඳහා ඉඩ ලබාදෙන බලපත්‍ර ලබාදෙන්නේ වෙන්දේසි ක්‍රමයටය. ඒ සඳහා බලපත්‍ර ලබාගැනීමේ අයිතිය ලැබෙන්නේ ඒ වෙනුවෙන් සුදුසු විශාල මිලක් ගෙවීමට කැමති ව්‍යාපාරික ආයතනවලට පමණය.

එහෙත් අපේ රටේ ක්‍රියාත්මක වන කිසිම රූපවාහිනි, ගුවන් විදුලි හා ජංගම දුරකථන ආයතනයක් ඒ බලපත්‍ර ලබාගෙන ඇත්තේ මහජන අයිතිය වෙනුවෙන් රජයට ගෙවිය යුතු සාධාරණ මිලක් ගෙවීමෙන් පසුව නොවේ. රාජ්‍ය නායකයා තමන් කැමති තමන්ගේ හිතවතෙකුට රූපවාහිනි, ගුවන්විදුලි හෝ ජංගම දුරකථන සමාගමක් පවත්වා ගැනීමට අවශ්‍ය බලපත්‍ර ලබාදේ. ඉන් පසුව එසේ ලබා ගන්නා බලපත්‍රය එම පුද්ගලයා විසින් රුපියල් කෝටි ගණනකට ව්‍යාපාරික ආයතනයකට විකුණා ඒ මිල තමන්ගේ සාක්කුවේ දාගනී. ඒ මගින් ක්ෂණික ලෙස එවැනි අය කෝටි ප්‍රකෝටින් බවට පත්වේ.

ගුවන් තරංග බලපත්‍ර සඳහා අය කෙරෙන මිල පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා දිය හැකි නිදර්ශනයක් මෙසේ ය. මේ මෑතක දී භූතානයේ ගුවන් තරංග පාවිච්චි කිරීම වෙනුවෙන් නිකුත් කරන බලපත්‍රයක් සඳහා මිල ගණන් කැඳවීය. භූතානය දශලක්ෂයකටත් අඩු ජනගහනයක් සිටින රටකි. බලපත්‍රය ඩොලර් මිලියන 17 ක් (රුපියල් මිලිය 1700 කි.) ශ්‍රී ලංකාවේ ජනගහණය එමෙන් 18 ගුණයකි. සාමාන්‍ය ගුවන් තරංග පරිහරණය සඳහා දෙන බලපත්‍රයක මිල ඩොලර් මිල 306 ක් වත් විය යුතුය.

එහෙත් ශ්‍රී ලංකා රජය මේ විෂයයේ දී බලපත්‍ර විකිණීමෙන් සැලකිය යුතු තරම් ආදායමක් උපයන්නේ නැත. ඒ වෙනුවට රාජ්‍ය නායකයා හෝ රාජ්‍ය නායකයාගේ සමීප හිතවතුන්ට එය ලබාදේ.

විදුලි සංදේශන නියාමන කොමිසමේ හිටපු සභාපතිවරයා විශ්‍රාම යන්නට පෙර තමන් සඳහාද බලපත්‍රයක් රැගෙන ගියේ ය. එය ඩයලොග් සමාගමට විකිණීමෙන් ඔහු විසින් උපයන ලද ආදායම රුපියල් මිලියන 325 කි. ඒ රුපියල් මිලියන 325 ලැබිය යුතුව තිබුණේ ඔහුට නොව රජයට ය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලය අහිමි වන්නට පෙර තමන්ගේ ගුවන්විදුලි හා රූපවාහිනි සේවාවක් සඳහා තම හිතවතකුගේ නමට බලපත්‍ර ලබාගන්නා ලද අතර වර්තමානයේ හඩ්සන් සමරසිංහ ගුවන් විදුලි සේවාවක් පවත්වාගෙන යන්නේ එම බලපත්‍රය යටතේය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමන්ගේ සමීපතමයෙකු වූ රොනී පිීරිස් නමට ද බලපත්‍රයක් ලබා දුන්නා ය. ඔහු එය පසුව හිරු ගුවන්විදුලියට විකුණුවේය. සනත් ගුණතිලකට චෝදනා එල්ල වූ චැනල් 9 බලපත්‍රයද ඒ සමාන සටකපට ගනුදෙනුවකි.

ජංගම දුරකතන සේවා ව්‍යාපාරය රටෙහි තිබෙන විවිධ ව්‍යාපාර අතර තිබෙන ප්‍රමුඛතම ව්‍යාපාරය ලෙස සැලකිය හැකි ය. රටේ තිබෙන ජංගම දුරකතන පාවිච්චි කරන ග්‍රාහක සංඛ්‍යාව මිලියන 5.1 කි. ඉන් 60% ක් ඩයලොග් ග්‍රාහකයින් ලෙස සැලකිය හැකි ය. මසකට ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන 150,000ත් 175,000ත් අතර ගණනක් අලෙවි වේ. එහෙත් රටේ තිබෙන එකම ජංගම දුරකතන සමාගමක්වත් තමන් තරංග පරිහරණය සඳහා බලපත්‍ර ලබාගෙන ඇත්තේ රජයට ඒ සඳහා අය විය යුතු මිලක් ගෙවා නොව රාජ්‍ය නායකයින් සිය හෙංචයියලාට ලබාදෙන ලද බලපත්‍ර මිලදී ගැනීමෙනි.

වෙනත් රටවල් මෙන් හැම වසර 10 ට වරක් ම ගුවන් තරංග පාවිච්චි කිරීමේ අයිතිය වෙන්දේසි කරන ක්‍රමයකට ගියේ නම් ගුවන් තරංග බලපත්‍රවලින් පමණක් හැම වසර 10 කට ම රුපියල් මිලියන 300,000 ක් තරම් ආදායමක් ඉපයිය හැකි ය. මසක් පාසා බලපත්‍ර ආණ්ඩුවට ආදායම් ඉපයිය හැකි තවත් වැදගත් ක්ෂේත්‍රයකි. අතීතයේ දී වයින් ස්ටෝර්ස් බලපත්‍ර ලබාදී ඇත්තේ වැඩිම ඉල්ලුම්කරුටය. ඒ ක්‍රමය වෙනස් කොට කැචර්ලාට සදාකාලික ලෙස බලපාන ආකාරයට බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් දැන් රටේ ක්‍රියාත්මක වන්නේ ය.

මහනගර සභා බලප්‍රදේශයක තිබෙන වයින් ස්ටෝර්ස් එකක් ගෙවිය යුතු වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් 225,000 කි. මසකට රුපියල් 18,750 කි. නගර සභා බලප්‍රදේශයක නම් රුපියල් 150,000 කි. මසකට 12,500 කි. අනෙක් ප්‍රදේශ සඳහා රු. 125,000 කි. මසකට රු. 10,416 කි.

දේශපාලන හෙංචයියෙකුට දින නියමයකින් තොරව බලපත්‍ර ලබාදෙන ක්‍රමයක් වෙනුවට මත්පැන් බලපත්‍ර හැම වසරකට හෝ වසර 5 කට වරක් වෙන්දේසියේ වැඩිම ඉල්ලුම්කරුට විකුණන ප්‍රතිපත්තියක් මගින් මත්පැන් බලපත්‍රවලින් උපයන ආදායම දසගුණයකින් පමණ වැඩි කළ හැකි ය. එවැනි ආදායම් මගින් මහජනයාගේ බදු බර ලිහිල් කළ හැකි ය.

ඉතාමත් වංක ලෙස පරිහරණය කෙරෙමින් තිබෙන තවත් පොදු සම්පතක් වන්නේ රජයේ ඉඩම් ය. ආණ්ඩුවට තමන්ට තිබෙන අනවශ්‍ය ඉඩම් වෙන්දේසි කොට ඉහළම මිලකට විකුණන්නේ නැත. ඒ වෙනුවට ඒවාද දේශපාලන හෙංචයියලා කෝටි ප්‍රකෝටිපතීන් බවට පත් කරන මාර්ගයක් ලෙස යොදා ගනී.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා හිල්ටන් හෝටලය ඉදිකිරීමට ඇචිලන්ඩ් චත්‍රරශ්‍රයේ තිබූ අක්කර 7ක ඉඩම හෝටලයට නොවිකුණා සිය දේශපාලන හිතවතකු වූ කෝනල් පෙරේරාට දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබා දුන්නේ ය. ඔහු ඒ ඉඩම හිල්ටන් හෝටලයට බදු දී ඒ බදු ආදායමෙන් හෝටලයේ ප්‍රධාන කොටස්කරුවෙකු බවට පත් වූයේය.

පාර්ලිමේන්තු සංකීර්ණයට යාව වර්තමානයේ ගොල්ෆ් පිටියක් (වෝටර්ස් එජ්) බවට පත් කර තිබෙන ව්‍යාපෘතිය ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සමීප සඟයෙකු වන රොනී පීරිස්ගේ මල්ල පිරවීම සඳහා ආරම්භ කරන ලද කූට ව්‍යාපාරයක් විය. එම ව්‍යාපෘතිය සඳහා ලබා දෙන ලද ඉඩම් අක්කර ප්‍රමාණය අක්කර 300කටත් වැඩිය. එකල ඉඩම් පර්චසයක මිල රු. 200,000 ක් පමණ විය හැකි වුවත් පර්චසයක් ලබා දෙන ලද්දේ දීර්ග කාලයක් තුළ කොටස් වශයෙන් ගෙවිය හැකි රු. 4,500 ක් වැනි සොච්චම් මිලකට ය. ඒ ඉඩම ඉහළ ඉල්ලුම්කරුවෙකුට විකුණුවේ නම් ඉපයිය හැකිව තිබූ ආදායම රුපියල් මිලියන 3,500 ක් පමණ විය හැකි ය. රොනී පීරිස් කළේ එම සමස්ත ව්‍යාපෘතිය ඇක්සස් ඉන්ටර් නැෂනල් සමාගමේ සුමල් පෙරේරාට විකුණා කෝටිපතියෙකු වීමය.

ගැමි පුනරුත්ථාපන කටයුතු සඳහා අවශ්‍ය ගම්බද ඉඩම් තමන් ළඟ තබාගෙන ආණ්ඩුව සතු නාගරික ඉඩම් ඉහළ ම ඉල්ලුම්කරුවන්ට විකුණන ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය නොකරන්නේ ඇයි? ඒ මඟින් ආණ්ඩුවට විශාල ආදායමක් ඉපයිය හැකි අතර එම අදායම රටේ සංචාරක කටයුතු සඳහා යොදාගත හැකි ය. ඒ වෙනුවට දැන් සිදුවන්නේ වටිනා මහජන දේපල දේශපාලන හෙංචයියලාට දී ඔවුන්ද දේශපාලනඥයින්ද කෝටි ප්‍රකෝටිපතීන් බවට පත්වන ක්‍රියාමාර්ගයකි.

විජය කුමාරතුංග පදනමට කොළඹ නාගරික බලප්‍රදේශය තුළ ඉඩමක් හා නිවසක් තිබිය දී ජනාධිපතිනිය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පර්චස් 80 ක් ලබා ගත්තේ ය. කොළඹ කුරුඳුවත්තේ එවැනි විශාල ඉඩමක පර්චසයක් විකිණෙන්නේ රුපියල් මිලියන 4-5 ත් අතර මිලකට ය. ඒ ඉඩම රජයට අවශ්‍ය නොවේ නම් එය විවෘත වෙළෙඳපොළේ අලෙවි කළේ නම් රුපියල් මිලියන 320ක් තරම් ආදායමක් ඉපයිය හැකි වන්නට ඉඩ තිබුණු අතර ඒ මිලෙන් නාගරික පැල්පත්වාසී පවුල් 600 කට ප්‍රමාණවත් තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට හැකි වන්නට ඉඩ තිබුණි. •