ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාව පිළිබඳ රාවයේ පළවු විචාරය සන්ඩේ ලීඩර් පුවත් පතේ සහෝදර පුවත් පත වන “ඉරුදින” පුවත් පතේ කෝපයට හේතු වී තිබෙන බව පෙනේ.
චෞර රැජින පොත මා ලියා පල කළේ වර්තමාන පාලනය හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිනවීම සඳහා නොවේ. ඒ මගින් ආණ්ඩුවේ වෙළඳ දැන්වීම් ලබාගැනීම හෝ වෙනත් වාසි ලබාගැනීමේ අරමුණකින් ද නොවේ.
චෞර රැජින පොතට ඇතුළත් ලිපිවලින් හරි අඩක් පමණ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට පදවිය අහිමිවන්නට පෙර ජනාධිපති ධූරයේ අවසාන කාලයේදී ලියා, රාවයේ පලකළ ලිපි ලෙස සැලකිය හැකි ය. පොතේ කේන්ද්‍රීය චරිතය චන්ද්‍රිකා වුවත් එය චන්ද්‍රිකා කේන්ද්‍ර ගත කොට ගෙන මුළු දේශපාලන ක්‍රමයටම එරෙහිව එල්ල කරන ලද දෝෂාභියෝගයක් ලෙස සැලකිය හැකි ය. පොත කියවූ අයගෙන් ලැබෙන දුරකතන පණිවිඩ හා ලියුම්වලින් පෙනී යන්නේ ද පොත කියවන්නන් තුළ චන්ද්‍රිකා කෙරෙහි පමණක් නොව සමස්ත දේශපාලන ක්‍රමය කෙරෙහිම පිළිකුලක් ඇති කිරීමට පොත හේතු වී තිබෙන බවය. දැන් පවතින දූෂණයෙන් කුණු වී මජර ගලන දේශපාලන ක්‍රමය වෙනුවට මහජනයාගේ ගෞරවයට හේතුවන නව දේශපාලන ක්‍රමයක් වෙත ළඟාවීමට ශ්‍රීලංකාව සමත් වනු ඇත්තේද පවතින දේශපාලන ක්‍රමය මහජනයාගේ පොදු පිළිකුලට හේතු වේ නම් පමණය. චන්ද්‍රිගේ මාදිවෙල ඉඩම් ගනුදෙනුව ප්‍රකාශයට පත් වූ වහාම මා ඊට එරෙහිව නඩු පවරන තැනකට ගියේ ද යන යකාට කොරහත් බිඳගෙන යන ප්‍රතිපත්තියකට ඉඩ නොතැබිය යුතුයි කියන අදහසින් පමණක් නොව ජනාධිපතිවරයෙකුට පදවිය අහිමිවීමෙන් පසු පදවියේ සිටියදී ඔහුට ලැබී තිබුණු මුක්තිය අහිමි වී පදවියේ සිටියදී කරන ලද වැරදිවලට එරෙහිව නඩු පැවරීමේ අයිතිය පුරවැසියන්ට ලැබෙන බවට මාක් ප්‍රනාන්දු මහතා දී තිබෙන අර්ථකථනයේ වලංගු භාවය පරීක්ෂා කිරීමට අවශ්‍ය වූ නිසාය.
රාජ්‍ය නායකයන් බලයේ සිටියදී සිදුවන මහා පරිමාණයේ දූෂණ හා වංචා පිළිබඳව කථාකරනු ලැබේ. එහෙත් බලය අහිමිවීමෙන් පසුව ඒ චෝදනාවල ඇත්ත නැත්ත පරීක්ෂා කිරීමක් සිදුවන්නේ නැත. ඒ නිසා බලයේ සිටියදී බරපතල වැරදි කරන ඕනෑම නායකයකුට බලය අහිමිවීමෙන් පසු දඬුවම් විඳීමකින් තොරව නිදහසේ කල් ගෙවීමට හැකියාව ලැබී තිබෙන්නේ ය. චෞර රැජින පොතේ තවත් අරමුණක් වූයේ එම වැරදි සම්ප්‍රදාය අභියෝගයට ලක් කිරීමය.
ලසන්ත වික්‍රමතුංග චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාව ගැන විචාරයක් ලිවීමට මා අදහස් කළ පසු ඒ බව ලසන්ත වික්‍රමතුංගට දුරකතනයෙන් කථා කොට කීවෙමි. එම සම්මුඛ සාකච්ඡාව කළේ ලසන්ත නොවී වෙනත් කෙනෙකු වී නම් ඒ ගැන ලියන්න මා තුළ පෙළඹීමක් ඇතිවන්නේ නැත. චන්ද්‍රිකා කුමාරතුංග පාලනය තුළ ලසන්තට මුහුණ දෙන්නට සිදු වූ අභියෝග, ජීවිත තර්ජන හා ඒ සියලු තර්ජන ගර්ජන තිබියදී ඇය පිළිබඳව ලියන ලද විවේචන මට අමතක කළ නොහැකිය. එවැනි පුද්ගලයෙකු ඇගේ අතීත සාහසික හා දූෂිත ක්‍රියාකාරකම් ගැන කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඇය කියන දේ පමණක් ලිවීම සාධාරණ නොවේය යන්න මා තුළ ඇති වූ හැඟීම විය. ඇයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දීම වැරදි නැත. එහෙත් එහිදී ඇය කියන දේවල් වාර්තා කරනවාට අතිරේකව ඇය විසින් කරන ලද බරපතල වැරදි ගැන කිසියම් ප්‍රශ්න කිරීමකට යෑමේ යුතුකමක් ලසන්තට තිබුණේ යැයි මම විශ්වාස කරමි. එවැනි ප්‍රශ්න කිරීමට ලක් කිරීමෙන් තොරව ලසන්ත වැනි කෙනෙකු හුදෙක් ඇය කියන දේ පමණක් වාර්තා කරන ප්‍රතිපත්තියක් නිවැරදි නොවේය යන්න මගේ විශ්වාසයවේ.
“ඉරුදින” පුවත් පත මෙම විෂය පිළිබඳව කර තිබෙන විග්‍රහය අනුව පෙනීයන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට නම් චන්ද්‍රිකා දේශපාලන කරලියට ගෙන ඇගේ දෑත් ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස එම පුවත්පත සලකන බවය. අනියම් ලෙස එයින් කියැවෙන දර්ශනය වනුයේ මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමේ හැකියාවක් තනි රනිල් වික්‍රමසිංහට නැති බවත් එසේ කළ හැකි වනු ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඒ අරගලයේ ප්‍රධාන කොටස් කරුවෙකු බවට පත් කර ගැනීමෙන් පමණක් බවත් ය.
එවැනි උපාය මාර්ගික වැඩපිළිවෙලක් සඳහා චන්ද්‍රිකා සිය පාලන කාලය තුළ කරන ලද සියලු වංචා හා දූෂණ සාහසිකකම් අමතක කිරීමට සිදුවනු ඇත්තේ ය. ඒ සඳහා ඇය විසින් සිදු කර තිබෙන බරපතල වැරදි අමතක කොට චන්ද්‍රිකාට කෘත්‍රිම වීරත්වයක් ආරෝපණය කිරීමද අවශ්‍ය වනු ඇත්තේය.
“බණ්ඩාරනායක රත්වත්ත” පවුලේ බූදලයක් ලෙස පැවති ශ්‍රීලනිපය ඉන් නිදහස් වීම මා දකින්නේ ඓතිහාසික වශයෙන් ඉදිරි පියවරක් වශයෙන් මිස ආපස්සට තබන ලද පියවරක් නොවන බවය. රටට රාජ්‍ය නායකයින් බිහිකරන පක්ෂයක අයිතිය එක් පවුලක හෝ පවුල් කල්ලියක අතේ නොතිබිය යුතුය. ඒ ධර්මතාව ශ්‍රීලනිපයට පමණක් නොව එජාපයටද අදාළය. බණ්ඩාරනායක පවුල් කල්ලියේ ග්‍රහණයෙන් අත්මිඳීමෙන් පසු එය තවත් පවුල් කල්ලියක බූදලයක් බවට පත්වීමේ අනතුරක් තිබිය හැකි වුවත් ඒ අනතුර ජයගත යුතුව තිබෙන්නේ ඊට එරෙහිව සටන් කිරීමෙන් මිස පැරණි අවතාර ශක්තිමත් කිරීමෙන් නොවේ.
චන්ද්‍රිකාට දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය රට නොව පක්ෂයයි. තම ධූරකාල දෙක අවසන් වීමෙන් පසු රාජ්‍ය පාලනය අත් හැරීමේ අදසක් ඇයට නොතිබුණි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කොට විධායක අගමැති වීම හෝ ව්‍යවස්ථාව වෙනස් කොට තවදුරටත් ජනාධිපතිධූරයේ රැඳී සිටීම ඇගේ අභිලාෂය වී තිබුණි. ඇය ඇස්තමේන්තු කර තිබුණු ආකාරයට ධූර කාලය අවසන් වීමට තවත් වසරක වැඩි කාලයක් තිබුණි. ඇය ජනාධිපති අපේක්ෂක ලේබලය මහින්ද රාජපක්ෂ මහතාට දුන්නේ ඔහු ජනාධිපති කිරීමේ අදහසින් නොව රැවටීමේ අදහසින්ය. ඉතිරි වසර තුළ මොන දහංගැටයක් හෝ ගසා තවදුරටත් රාජ්‍ය නායකකම තමන් අතේ තබාගැනීමට අදහස් කරගෙනය. එහෙත් වැඩේ වැරදුණේ උසාවි තීන්දුව නිසාය. ඉන් පසු ද මහින්ද රාජපක්ෂ ජනාධිපති වනු ඇතැයි ඇය කිසිවිටෙකත් විශ්වාස නො කළාය. ජනාධිපතිකම රනිල් වික්‍රමසිංහට දී පක්ෂයට ඇති හිමිකම තවදුරටත් ආරක්ෂා කර ගැනීම ඇගේ අභිප්‍රාය විය.
මහින්ද රාජපක්ෂ මහතා ඇය පක්ෂ නායකත්වයෙන් පලවා හැරීම සඳහා අනුගමනය කළ ප්‍රතිපත්තිය ගොරහැඩි විය හැකි වුවත් එවැනි පලවාහැරීමක් සඳහා වට පිටාවක් කරදුන්නේ ඇය විසින්මය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් වූ වහාම පක්ෂ නායකත්වය ඔහු වෙත භාරදීමේ යුතුකමත් වගකීමත් ඇයට තිබුණි. මේ නිල දෙක එකම පුද්ගලයෙකු අත මිස දෙදෙනෙකු අත තිබීමේ හැකියාවක් නැති බව ඇය නොදැන සිටියා විය නොහැකිය.
ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සිය ධූර කාල දෙක සම්පූර්ණ කිරීමෙන් පසු ආර්. ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකකම සමඟ පක්ෂ නායකත්වය ද දුන්නේ ය. ජනාධිපති අපේක්ෂකකම පමණක් දී පක්ෂ නායකත්වය තම අත තබාගැනීමට උත්සාහ කළේ නැත. ඒ සමඟ තමන් ළඟ තම නිවසේ සේප්පුවේ තිබූ පක්ෂ අරමුදල් ද (රුපියල් මිලියන 30 ක්) පක්ෂ ලේකම් රංජන් විජේරත්න තමන් වෙත කැඳවා ඔහු වෙත භාර දුන්නේ ය. •