ප්‍රභාකරන්ගේ වීර දින කථාව

October 29, 2026
Publication:
This year Prabhakaran made his Heroes' Day speech to the international community and not to the Tamil people or to the country. He says there is no room for a peaceful political settlement of the Tamil people's problems with the Sinhala leaders of the south, and that he has therefore been forced to choose the road to an independent Tamil state. That a grave injustice has been done to the Tamil people, and that no fair settlement has yet been reached, is true.

ප්‍රභාකරන් මෙවර වීර දින කථාව කර ඇත්තේ දෙමළ ජනතාවට හෝ රටේ ජනතාවට නොව ජාත්‍යන්තර ප්‍රජාවට ය. ඔහු එහි දී කියන්නේ දකුණේ සිංහල නායකයින් සමඟ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට සාමකාමී දේශපාලන විසඳුමක් ඇතිකර ගැනීමේ ඉඩක් නැති බව ය. ඒ නිසා ස්වාධීන දෙමළ රාජ්‍යයක් දිනා ගැනීමේ මාවත තෝරා ගැනීමට තමන්ට බලකර ඇති බව ය.

දෙමළ ජනතාවට බලවත් අසාධාරණයක් සිදු කර තිබෙන බව හා ඒ ආශ්‍රිත ගැටලුවලට තවමත් සාධාරණ විසඳුමක් ලබා දීමට අසමත් වී තිබෙන බව සත්‍යයකි. එහෙත් තමන්ට සිදුවී තිබෙන අසාධාරණය ජයගැනීමට දෙමළ ජාතික බලවේග තෝරාගත් සටන් මාර්ගය ද වැරදි ය.

වෙනම දෙමළ රාජ්‍යයක් යනු ජයගත නොහැකි, ළඟා විය නොහැකි බොරු ඉලක්කයකි. භූ දේශපාලන යථාර්තයෙන් ද එවැන්නකට ඉඩක් ලැබෙන්නේ නැත. දෙමළ ජනතාවට දෙන ඕනෑම විසඳුමක් රට බෙදීමක් ඇති කිරීමට හේතුවනු ඇතැයි යන ආකල්පයක් සිංහල ජනතාව අතර ඇති කිරීමට එම ඉලක්කය හේතුවිය.

දෙමළ ජනතාවට තෝරාගැනීමට තිබුණු ප්‍රශස්ත ම මාර්ගය සන්නද්ධ අරගල මාවත නොවූවත් එම වැරදි මාර්ගය පවා වඩා ශිෂ්ට සම්පන්න රාමුවක පිහිටා ඉදිරියට ගෙන යාමට සමත් වී නම්, එනම් සාමාන්‍ය සිංහල මිනිසුන්ට පහර නොදෙන පිළිවෙතක පිහිටා ක්‍රියාකරන්නට සමත් වී නම් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කරන අරගලය සිංහල ජනතාවගේ ද ගෞරවයට හේතු වන්නට ඉඩ තිබුණි. එහෙත් සාමාන්‍ය සිංහල මිනිසුන් සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය කෘෘරත්වය සිංහල දෙමළ පරතරය පහසුවෙන් තුනී කළ නොහැකි තරමට විශාල කළේ ය.

දෙමළ ජාතික දේශපාලන බලවේග තමන් තෝරාගත් අරගල මාවත, ඒ තෝරාගත් මාවතේ යන ගමනේදී කර තිබෙන වැරදි දෙස ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බලන තැනකට යා යුතු ය. සාධාරණ විසඳුමක් ඇති කරගැනීමට අවශ්‍ය වාසිදායක වටාපිටාවක් ඇතිවනු ඇත්තේ එවිට ය.

එසේ ම දකුණේ සිංහල නායකයින් ද දෙමළ ජනතාව සම්බන්ධයෙන් අනුගමනය කර තිබෙන වැරදි ප්‍රතිපත්ති දෙස ස්වයං විවේචනාත්මකව ආපසු හැරී බලන තැනකට යා යුතු ය.

වෙනම දෙමළ රාජ්‍යයක් යථාර්ථවාදී නොවනවා සේ ම වාර්ගික ප්‍රශ්නයට යුද්ධමය විසඳුමක් ද යථාර්තවාදී නොවන්නේය. දෙමළ ජනතාවට විසඳා ගැනීමට සාධාරණ ප්‍රශ්න ඇති බව දකුණේ සිංහල නායකයින් තේරුම්ගත යුතු ය. ජාතිභේදය මත කාණ්ඩ ගැසීමක් ඇතත් දෙමළ ජනතාව ද මේ රටේ සමාන අයිතිවාසිකම් ඇති පුරවැසියන් පිරිසක් බව තේරුම් ගත යුතු ය. දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන සමහර දැවෙන ප්‍රශ්න නව ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව පවා විසඳිය හැකි ය. උතුරු නැගෙනහිර ප්‍රදේශවලත් දෙමළ ජනතාව ජීවත්වන වෙනත් ප්‍රදේශවලත් දෙමළ භාෂාවේ සාධාරණ පාවිච්චිය සහතික කෙරෙන ප්‍රායෝගික පියවරවලට යා හැකි ය. එමගින් මේ ප්‍රශ්නය විසඳාගැනීමට අවශ්‍ය අභිලාෂයන් ඇති බව දෙමළ ජනතාවට ඔප්පු කළ හැකිය.

යුදමය ක්‍රියාමාර්ගයක් යුක්ති සහගත නොවනුයේ යුදමය ක්‍රියාමාර්ගයන් තුළ හැම දෙමළ මිනිසකුම එල්ටීටීඊ හිතවාදියෙකු ලෙස සැකයට ලක්වීමය. යුද්ධයක් තුළ එවැනි තත්ත්වයක් ඇතිවීම නොවැළැක්විය හැකි වුවත් දෙමළ ජනතාව අතර තිබෙන පදනම හා අසංතෝෂය ඒ නිසා වර්ධනය වේ. අහිංසක දෙමළ මිනිසුන්ට පවා ඒ නිසා පීඩාවට පත්වන්නට සිදුවන්නේය.

දකුණේ තරුණ කැරැල්ලක් පැවති 1987-1989 යුගයේ දකුණේ පැවති ඛේදජනක තත්ත්වය දැන් අපට අමතක ය. උතුරේ දෙමළ ජනතාවට දිගින් දිගට ම දශක ගණනාවක් එවැනි ඛේදජනක වටාපිටාවක ජීවත්වන්නට සිදුවී ඇති බව අප අමතක නොකළ යුතුය.

දෙපාර්ශ්වයම අන්තවාදී ආකල්පවලින් ඈත් වී මානුෂික දෘෂ්ටි කෝණයකින් මේ ප්‍රශ්නය නැවත සලකා බැලිය යුතුය. වෙනම රාජ්‍යයකින් මෙපිට තමන් ඉල්ලා සිටින දේශපාලන විසඳුම කුමක්දැයි එල්ටීටීඊය ප්‍රකාශ කළ යුතුය. වෙනම රාජ්‍යයකින් මෙපිට අපට දිය හැකි විසඳුම් මොනවාදැයි ආණ්ඩුව ද විස්තරාත්මකව ප්‍රකාශ කළ යුතු ය. එවිට වඩා ශක්තිමත් පදනමක පිහිටා සාකච්ඡා ආරම්භ කළ යුතු ය. •