එජාප අභ්‍යන්තරයේ මතුවී තිබෙන කැරැල්ලේ හරි වරද කුමක් වුවත්, අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදී නිදහස පිළිබඳ නොවිසඳුණු ප්‍රශ්නයක් එහි පවත්නා බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. කැරලිකරුවන් සටන් කරන්නේ ඇත්තටම අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදී නිදහස දිනාගැනීමේ අරමුණින් ද නැතිනම් එය රනිල් වික්‍රමසිංහ මහතා නිශේධ කිරීම සඳහා යොදා ගන්නා තුරුම්පුවක් ද යන්න වෙනම ප්රශ්නයකි. එහෙත් එම පක්ෂය තුළ මතුවී තිබෙන ආරාවුල් කෙරෙහි පක්ෂය තුළ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදයක් නැතිකමේ ප්රශ්නය බලපා තිබෙන බව පැහැදිලිව පෙනේ. එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදී නිදහස සහිත පක්ෂයක් වී නම් මතුවන මෙවැනි ආරාවුල් එම පක්ෂයේ පිරිහීමට හේතු නොවන ලෙස විසඳා ගන්නට හැකිවන්නට ඉඩ තිබුණි.
කැරලිකරුවන් ““එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය”” නමින් පළකර තිබු පුවත්පත් දැන්වීමක ඔවුන්ගේ උදහසට හේතුවී තිබෙන පක්ෂය තුළ දැන් පවතින ක්‍රමය විස්තර කර තිබුණේ මෙසේය.
1. පක්ෂ නායකයා පත් කරන ක්‍රමයක් නැත. ඔහු යාවජීව වේ. (මෙවැනි ව්‍යවස්ථාවක් ලෝකයේ කිසිම පක්ෂයක නැත.)
2. නියෝජ්‍ය නායකයා ඇතුළු අනෙකුත් සියලු නිලධාරීන් පත් කරන්නේ පක්ෂ නායකයායි.
3. පක්ෂයේ උත්තරීතර මණ්ඩලය වන කෘත්‍යාධිකාරී මණ්ඩල යේ සියලු සාමාජිකයන් පත් කරන්නේ පක්ෂයේ නායකතුමායි.
4. පක්ෂයේ දේශපාලන කමිටු සාමාජිකයින් සියලු දෙනා පක්ෂ නායකයා පත් කරයි.
5. ආසන සංවිධායකයන්, දිස්ත්‍රික් නායකයන් අනුබද්ධ සංවිධානවල මහා පඬිවරු නායකතුමා පත් කරයි.
එක්සත් ජාතික පක්ෂය රටේ තිබෙන විශාලතම හා ප්‍රධාන පක්ෂය වන අතර, එය පක්ෂ නායකයාගේ ඒකාධිපති අණසකට යටත් පක්ෂයක් බවට පත්ව තිබෙන බව පෙනේ. මේ තත්ත්වය එක්සත් ජාතික පක්ෂයට පමණක් ආවේණික ලක්ෂණයක් නොවන අතර, සාම්ප්‍රදායික වමේ පක්ෂ හැර අන් හැම පක්ෂයකටම ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.
රටේ දේශපාලන පක්ෂ ක්‍රමයට ආවේණික මෙම පසුගාමී බව දේශපාලන ක්‍රමය කෙරෙහි විනාශකාරී ලෙස බලපා තිබේ.
දේශපාලන පක්ෂ රාජ්‍ය නායකයින් පුරුදු පුහුණු කරන ආයතන ක්‍රමයක් ලෙස ක්‍රියා කරයි. එහෙත් එම ආයතන ක්‍රමය පුරුදු පුහුණු කොට ගොඩනගන්නේ ප්රජාතන්ත්ර වාදී නායකයන් වෙනුවට ඒකාධිපති නායකයින් නම් ඔවුන් රාජ්‍ය නායකයින් බවට පත්වූ පසු ප්රජාතන්ත්රවාදී නායකයන් ලෙස ක්‍රියාකිරීමේ හැකියාවක් ඔවුන්ට තිබිය නොහැකිය.
මීට වඩා සරල ප්‍රාථමික සංවිධාන පවා වසරකට වරක් නිලධාරි මණ්ඩලය තෝරා ගන්නේ සාමාජික ඡන්දයෙනි. වසර අවසානයේ විගණනය කළ ආදායම් වියදම් ලේඛනයක් ඉදිරිපත් කෙරේ.
මාරුවෙන් මාරුවට තනිව හෝ ඒකාබද්ධව රට පාලනය කරන පක්ෂ ක්‍රමය තුළ මරණාධාර සමිතියක් වැනි සරල සංවිධානයක් තුළ පවා දක්නට ලැබෙන ප්රජාතන්ත්රවාදී සංවිධාන ව්‍යුහයක් නොපවතී නම් මේ රට ප්රජාතන්ත්රවාදී ගමන් මගක ගමන් කරන්නේ කෙසේද?
රනිල් වික්‍රමසිංහ වැනි සංකල්පීය ගැඹුරක් ඇති නායකයකු පක්ෂය තුළ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදී නිදහස තහවුරු කරන ප්රතිසංවිධානයකට නොය න්නේ ඇයිද යන්න තේරුම් ගැනීම අමාරුය.
සමහර සීමිතකම් තිබියදීත් දෘෂ්ටිමය වශයෙන් හෝ සංකල්පීය ගැඹුරෙන් ඔහු ඉක්මවා ගිය හෝ ඔහුට සමකළ හැකි තත්ත්වයේ අයෙකු ඒ පක්ෂය තුළ සිටින බවක් පෙනෙන්නට නැත. එවැනි තත්ත්වයක් තුළ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ වාසිදායක වනුයේ ද ඔහුටමය. අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදී නිදහස පක්ෂයක ක්‍රියාකාරීත්වය දුර්වල කරනවා වෙනුවට ශක්තිමක් කරයි.
අභ්‍යන්තර ප්රජාතන්ත්ර වාදී නිදහස ඉල්ලා සටන් කළ කැරලිකරුවන්ට ජයග්‍රාහී අවසානයක් දිනාගැනීමට හැකිවූයේ නැත. එසේ වීමට බලපෑ ප්‍රධාන හේතුව අවංක අභිලාෂයන්ගෙන් තොර වීමය. එය විවිධ හේතු මත පක්ෂ නායකත්වය කෙරෙහි කලකිරීමක් ඇති කරගත්, ආණ්ඩුවට එකතු වී තනතුරු ලබාගැනීමේ සැඟවුණු අරමුණු ඇතිව ක්‍රියාත්මක වූ ව්‍යාපාරයක් විය. අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදී නිදහස දිනා ගනිමින් පක්ෂය ශක්තිමත් කිරීම ඔවුන්ගේ එකම අවංක අභිලාෂය වී නම් ඔවුන්ගේ හඬට පාක්ෂිකයන් අතර විශාල පිළිගැනීමක් ලැබෙන්නට ඉඩ තිබුණි. එහෙත් ඔවුන් සමහරුන් අතර වෙනත් සැඟවුණු අභිලාෂ තිබෙන බව පෙනෙන්නට වූ විට පාක්ෂිකයින් ඔවුන් දකින්නට වූයේ කඩාකප්පල්කාරීන් පිරිසක් ලෙසය.
පක්ෂයක අභ්‍යන්තර අරගලයක් ජයගැනීම සඳහා සංවිධානාත්මක වැඩ පිළිවෙළක් අවශ්‍ය වන්නා සේ ම එම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් පෙනී සිටින අයට ගෞරවනීය පිළිගැනීමක් තිබීම ද අත්‍යාවශ්‍යය. ඔවුන් සටන් කරන්නේ අවංක ලෙසින්ම පක්ෂය නගා සිටුවීමට බව පාක්ෂිකයින්ට පෙනෙන්නට තිබිය යුතුය. එහෙත් පාක්ෂිකයින් මේ අරගලය දැක්කේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය පෙරළාගෙන ආණ්ඩුවට එකතු වන්නට දරන උත්සාහයක් ලෙසය.
එජාප නායකයාට පක්ෂයේ අන් කිසිවකුට නැති සංකල්පීය දැනුමක් තිබෙනවා විය හැකි වුවත්, නායකයකු වශයෙන් ඔහුගේ ක්‍රියාකාරීත්වය දෙවැනි පෙළ නායකයන් බොහෝ දෙනෙකුගේ ගෞරවයට හේතු නොවීය. සාධාරණ ලෙස වගකීම් බෙදාහරින පිළිවෙතක් අනුගමනය නොකිරීම හා එහෙයියන් හා කේලාම් කියන ගෝල බාලයින් මත විශ්වාසය තබා ක්‍රියාකිරීම වැනි ගති ලක්ෂණ දෙවැනි පෙළ නායකයින් බොහෝ දෙනෙකු අතර ඔහු කෙරෙහි අප්‍රසාදයක් ඇති කිරීම කෙරෙහි බලපා තිබුණි. පක්ෂ නායකයකු වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ආවේණික ලොකුම දුර්වලතාව වනුයේ පක්ෂය හා පක්ෂ සාමාජිකයින් ක්‍රියාකාරි තත්ත්වයක තබා ගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට ඔහු අසමත්වීමය. ඔහු බලය ලැබෙන තෙක් නිහඬව බලා සිටින වර්ගයේ නායකයෙකි. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන පක්ෂය වශයෙන් අවශ්‍යයෙන්ම සටන් කළ යුතු අවස්ථාවලදී පක්ෂය සටන් කරන තැනකට ගනිමින් ඒ අරගලවලට නායකත්වය දෙන්නට ඔහු අසමත් විය. ඒ ප්‍රතිපත්තිය පක්ෂ ක්‍රියාකාරීත්වය අඩපණ කොට පාක්ෂිකයින්ගේ උද්යෝගය හීන කිරීමට හේතුවිය. ඔහු රටක් පාලනය කරන්නට දනී. එහෙත් බලය ලබාගන්නා හෝ බලය පවත්වාගෙන යන කලාව ගැන කිසිවක්ම දන්නා බවක් පෙනෙන්නේ නැත. මේ වැරදි හා දුර්වලතා නිවැරදි නොකර ගන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ යහපත් තැනක් හිමිකර ගැනීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකිය. •