පොදු එකඟතාව කොයිබටද?

October 29, 2026
Publication:
What good is the memorandum of understanding between the two main parties going to do the country? Was it made with the object of a good change, and can the two leaderships show the honesty, the courage and the commitment it would need? There are differences about it inside both parties — the newspapers report that the minister was firmly against making any understanding with the UNP at all.

රටේ ප්‍රධාන පක්ෂ දෙක අතර ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම නිසා රටට ලැබෙන්න යන යහපත් ප්‍රතිඵල මොනවාද? එය රටේ යහපත් වෙනසක් ඇති කිරීමේ අරමුණකින් ඇති කරගන්නා ලද එකඟතාවක් ද? ඒ සඳහා අවශ්‍ය කරන අවංකභාවය, ධෛර්යය හා කැපවීම ප්‍රකාශ කිරීමට පක්ෂ දෙකේ නායකත්වය සමත්වේද?

ඇති කරගත් අවබෝධතා ගිවිසුම පිළිබඳව පක්ෂ දෙක තුළම මතභේද පවතී. එජාප සමග අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගන්නවාට ඇමති මංගල සමරවිර තරයේ විරුද්ධ වූ බව පුවත්පත් ප්‍රකාශ කර තිබුණි. එජාපය තුළ ද ඒ ගැන විවිධ හැලහැප්පීම් දකින්නට තිබුණි.

මුලදී අවබෝධතා ගිවිසුමට විෂයන් හයක් ඇතුළත්ව තිබුණ ද ගිවිසුම අත්සන් කරන අවස්ථාව වන විට විෂයයන් දෙකක් හැලී තිබුණි. හැලී තිබුණේ ආර්ථිකය හා සංවර්ධනය යන විෂයයන්ය. එකඟතාවක් ඇති කරගත් විෂයයන් සඳහා වන ප්‍රතිසංස්කරණ සඳහා මුලදී කාල නියමයක් ද ඇති කරගෙන තිබුණි. ඒ අනුව ප්‍රතිසංස්කරණය සඳහා වන නීති සම්පාදන කටයුතු අයවැය ආරම්භ කිරීමට පෙර අවසන් කළ යුතුය. එහෙත් අත්සන් කළ ගිවිසුම තුළ කාල නියමය ද ඇතුළත්ව නොතිබුණි.

එවැනි සීමිතකම් පෙනෙන්නට තිබුණ ද ඇති කරගත් එකඟතාව ඓතිහාසික වැදගත්කමකින් යුතුය. ප්‍රධාන පක්ෂ දෙකට ජාතික ප්‍රතිපත්තියක් සඳහා පොදු එකඟතාවක් ඇති කරගත හැකි නම් එය ඉතාමත් වැදගත් ඉදිරි පියවරකි. විටින් විට ඇතිවන ආණ්ඩු වෙනස්කම් සංවර්ධන ගමනට බාධාවක් නොවී රටේ යහපතට හේතුවන වැඩසටහන් අඛණ්ඩව ඉදිරියට ගෙනයා හැකි ශක්තිමත් වටාපිටාවක් ඇති කරගැනීම එහි අරමුණ විය යුතුය.

එහෙත් රට කුණුවී තිබෙන ප්‍රමාණය අනුව බලන විට යහපත් වෙනසක් ඇති කළ හැකිවනු ඇත්තේ ප්‍රාතිහාර්යයක් තරම් විශාල විප්ලවකාරී වැඩපිළිවෙළක් ඉදිරියට ගැනීමෙන් පමණය. එහෙත් ඇති කරගත් මේ පොදු එකඟතාව එවැනි විප්ලවකාරී වැඩපිළිවෙළකට අවශ්‍ය මුලපිරීමක් කළ හැකිද?

යහපත් වෙනසක් ඇති කිරීමට අවශ්‍ය නම් ඉතාමත් විප්ලවකාරී ලෙසත්, ඉතාමත් අවංක ලෙසත් දේවල් දැක්මේ හැකියාව මෙම පක්ෂ දෙකේ නායක දෙපළට තිබිය යුතුය. රටේ පවතින්නේ පුරවැසියන් ආදරයෙන් රැකබලා ගන්නා රාජ්‍ය පද්ධතියක් නොව සිය පුරවැසියන් පීඩාවට පත් කරන රාජ්‍ය පද්ධතියකි. රටේ පවතින බදු ක්‍රමය අසාධාරණ හා පීඩාකාරීය. මහජනයාගෙන් ලබා ගන්නා බදු මුදල්වලින් වැඩි කොටසක් පාවිච්චි කෙරෙන්නේ රටේ මහජන ජීවිතය සුඛිත මුදිත කිරීම සඳහා නොව දේශපාලකයින්ගේ සුඛෝපභෝගී අවශ්‍යතාවන් සඳහාය.

රට කුණු කසලවලින් තොර පිරිසිදු රටක් වශයෙන් පවත්වාගෙන යෑමට රාජ්‍ය සමත් වී නැත. නගර අපිරිසිදුකමින් පිරී පවතී. පොදු මගී ප්‍රවාහන සේවා තිබෙන්නේ අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය. වාහන බලපත්‍රයක් ලබාගැනීම සඳහා වුවත් අල්ලස් දීම නැතුවම බැරි කොන්දේසියක් බවට පත්ව තිබේ. රටේ සමස්ත මගී ප්‍රවාහන සේවාව තිබෙන්නේ මනුෂ්‍යත්වයට නිගාදෙන තත්ත්වයකය. අධ්‍යාපනය, පාසල් ක්‍රමය, පොදු සෞඛ්‍ය සේවා යන අංශ තිබෙන්නේ ද පරිහානිය කරා යන ගමනකය.

ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය තිබෙන්නේ ද මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවූ තත්ත්වයක නොවේ. හැමදාමත් දේශපාලන බලය පාවිච්චි කෙරෙන්නේ රට ගොඩගැනීමට නොව රටේ වස්තුව කොල්ලකෑමටය. ජනවාර්ගික අර්බුදය ද රට මුහුණ දී තිබෙන සමස්ත අර්බුදය ඉතා වැදගත් ප්‍රමුඛ පැතිකඩක් පමණය. ජනවාර්ගික ආවේග කළමනාකරණය කිරීමට රට අසමත්ව තිබෙන ආකාරයටම අන් මූලික කාරණා කළමනාකරණයට ද රට අසමත් වී තිබේ.

පක්ෂ දෙක අතර ඇති කරගෙන තිබෙන පොදු එකඟතාව මහජනයාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවනු ඇත්තේ රටේ සමස්ත චිත්‍රයේ යහපත් වෙනසක් ඇති කිරීමට ඒ නිසා හැකිවේ නම් පමණය.

අවංක වෙනසක් ආරම්භ කරනවා නම්, එය ආරම්භ විය යුත්තේ අනුන්ගෙන් නොව තමන්ගෙනි. රට වෙනස් කරන්නට පෙර මෙම පක්ෂ දෙකේ නායකයින් දෙපළ තමන් නායකත්වය දෙන පක්ෂ දෙක වෙනස් කළ යුතුය. මෙම පක්ෂ දෙකම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ලෙස සැලකිය නොහැකිය. පක්ෂ දෙක තුළම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් නොපවතී. පක්ෂ දෙකේම ව්‍යවස්ථා ඒකාධිපති ව්‍යවස්ථා ලෙස සැලකිය හැකි අතර, පක්ෂ දෙකම ඒකාධිපති නායකයන් පුරුදු පුහුණු කරන පක්ෂ ක්‍රමයක් ලෙස ද සැලකිය හැකිය.

නායකයින් දෙපළ අවංක නම් අන් සියල්ලටම පෙර සිය පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහිත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බවට පත් කළ යුතුය.

ඉන්පසු ඔවුන්ට කළ හැකි දෙවැනි වැදගත් දේ වනුයේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරිපූර්ණ කොට බලගැන්වීමය. පවතින ආයතන ක්‍රමය දේශපාලනකරණයෙන් මුදාගෙන ඒවාට ස්වාධීනව ක්‍රියා කිරීමට අවශ්‍ය බලය ලබාදීම එහි අරමුණ විය යුතුය. රාජ්‍ය නායකයින්ට හිතුවක්කාරී ලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට තිබෙන ඉඩකඩ ඇහිරිය යුතුය.

මෙම පක්ෂ දෙකේ නායකයින්ට මහජනයාගේ විශ්වාසය හා ගෞරවය ලැබෙනු ඇත්තේ ඔවුන් රටේ පොදු යහපත වෙනුවෙන් අවංක ලෙසම වෙනස්වෙමින් සිටින බව මහජනතාවට පෙනේ නම් පමණය. රට වෙනස් කිරීමට අවශ්‍ය සුජාතභාවය ඔවුන්ට ලැබෙනු ඇත්තේ ද එවිටය.

ඇති කළ යුතු වෙනස්කම් හඳුනාගෙන ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කළ හැකි අතර, ඊට ගැළපෙන කාලසටහනක් ද සකස් කළ හැකිය.

පළමුවෙන්ම විවාදයට හේතු නොවන හැම කෙනෙකුම අපේක්ෂා කරන සරල වෙනස්කම් කිහිපයක් ඇති කිරීමෙන් මහා වෙනස්කම් ඇති කිරීමට අවශ්‍ය ශක්තිමත් වටපිටාවක් ඇති කරගත හැකිය.

පොදුවේ මහජනයාට බලපාන තෝරාගත් එක් කරුණක් හෝ දෙකක් ඉදිරියට ගෙන මාස තුනක් වැනි කාලසීමාවක් තුළ එය සාර්ථක ලෙස සම්පූර්ණ කළ හැකි නම් ඇති කරගෙන තිබෙන පොදු එකඟතාව පිළිබඳවත් ඇති කරන්නට යන වෙනස්කම් පිළිබඳවත් මහජන උද්යෝගයක් මතුකර ගැනීමට හැකිවනු ඇත.

න්‍යාය පත්‍රයේ අංක එකට තෝරාගත හැකි විෂයයක් වනුයේ රටේ කුණු කසල ප්‍රශ්නයයි. මුළු රට පුරා ක්‍රියාත්මක කෙරෙන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මගින් මාස තුනක් වැනි කාලයක් තුළ රටේ කුණු කසල ඉවත් කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට එය ක්‍රියාවට නැගීම මගින් රට කුණු කසලවලින් තොර පිරිසිදු රටක් බවට පත් කළ හැකිය. එවැනි වැඩසටහනක් මහජනයාගේ මහත් ආශ්වාදයට හේතුවනු නොඅනුමානය.

එවැනි සරල දෙයක්වත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරවීමට හැකියාවක් නැති නම් ජනවාර්ගික අර්බුදය වැනි වඩා සංකීර්ණ ප්‍රශ්න ජයගත හැකිවනු ඇතැයි විශ්වාස කරන්නේ කෙසේද?