අපට පෙරළා පහර එල්ල වන තෙක් ම අපට යුද්ධය පෙනුණේ සුන්දර දෙයක් ලෙස ය. යුද්ධය කෙරුණේ අප ජීවත් වන කලාපයේ නොවන නිසා යුද්ධය මහජනතාවට ඇති කරන පීඩනය අපට නො පෙනුණේ ය. අනාථභාවයට පත්වන්නන්ගේ වේදනාවක් අපට නො පෙනුණේ ය.
යුද්ධය ගැන හසල දැනුමක් විශ්‍රාම ගිය යුද විශාරදයින් යුද්ධය ගැන කරන අනතුරු ඇඟවීම් අපට පෙනුණේ බියගුල්ලන්ගේ කසිකබල් කථා ලෙස ය. යුද්ධය ගැන මෙලෝ හසරක් නොදන්නා අඳ බාල දේශපාලකයින් යුද්ධයක අවශ්‍යතාව ගැන කරන කතා අප තුළ ඇති කළේ මහත් ආශ්වාදයකි. යුද්ධය වෙනුවට සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගැනීමේ අවශ්‍යතාව ගැන කතා කරන්නන් අපට පෙනුණේ යුද්ධය හමුදාවේ ධෛර්යය හීන කරන රට පාවා දෙන ද්‍රෝහීන් ලෙසය.
එහෙත් දැන් යුද්ධය අපගේ පා ළඟට එමින් තිබෙන තත්ත්වයක් තුළ යුද්ධය පිළිබඳව අප තුළ පැවති ආශ්වාදය වාෂ්පවෙමින් එය කණගාටු වීමක් හා බිය දනවන දෙයක් බවට හැරෙමින් පවතී. කලක් උතුරු නැගෙනහිරට පමණක් සීමාවී තිබූ යුද්ධය දකුණට මාරුවෙමින් තිබෙන බවක් ද පෙනේ.
අප කුමක් කළ යුතු ද? තෝරාගත යුත්තේ කුමක් ද?
තිබෙන සියලු අවුල් වියවුල් මැද සාම සාකච්ඡා ද පැවැත්වීමට නියමිත ය. අවශ්‍ය නම් චිත්රයේ වෙනසක් ඇති කරගැනීමට එය අවස්ථාවක් කරගත හැකි ය. වෛර සහගත ආකල්පයකින් එකිනෙකා මරාගනිමින් සිටින දෙපිරිසක් සාකච්ඡා කොට ප්‍රශ්න බේරා ගන්නා තැනකට ඒම සරල පහසු නැතත්, දෙපාර්ශ්වය ම එකිනෙකාට එරෙහිව පාවිච්චි කරමින් තිබෙන හිංසාවේ ඇති නිරර්ථකභාවය හා විනාශකාරී ස්වරූපය තේරුම් ගත හැකි නම් හිංසාව අතහැර සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගන්නා තැනකට ඒම අමාරු නැත.
මිනිසුන් වශයෙන් අප කුමන වර්ගයකට, ආගමකට හෝ කුලයකට අයත් වුවත්, සියලු දෙනාම සමාන අයිතිවාසිකම් ඇති බව අපි පිළිගත යුතු ය. සුළු ජාතිකයින් දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස සලකන ප්‍රතිපත්තියක් අපේ හෝ රටේ යහපතට හේතුවන්නේ නැත. අපි සිංහලයින් ලෙස කල්පනා කිරීමේ වරදක් නැතත්, අපේ සිංහලකම සිංහල නොවන අය නින්දාවට හෝ පීඩාවට ලක් කරන්නක් නොවිය යුතු ය.
මේ මහා ආරාවුලට මුල් වූයේ භාෂා ප්රශ්නය යි. ඉංග්‍රීසි භාෂාව එක යුගයක දී රටේ නිල භාෂාව බවට පත්ව තිබුණි. ඉංග්‍රීසි නොදන්නා සිංහලයින්ට සේ ම දෙමළ හා මුස්ලිම් මිනිසුන්ට ද තමන්ට ලැබෙන විදුලි පණිවුඩයක ඇති තේරුම දැනගැනීමට ඉංග්‍රීසි දන්නා කෙනෙකු සොයාගෙන යාමට එකල සිදුවිය.
මේ තත්ත්වය අවශ්‍යයෙන් ම වෙනස් කළ යුතුව තිබුණි. එහෙත් එය වෙනස් කෙරුණේ දෙමළ භාෂාවෙන් වැඩ කරන ජනයාට පිළිගත හැකි ආකාරයට නොවේ. ඉන්පසු සිංහලයින්ට සිංහල භාෂාවෙන් විදුලි පුවතක් ලැබුණත් දෙමළ මිනිසුන්ට විදුලි පුවතක් ලැබුණේ තමන් දන්නා දෙමළ භාෂාවෙන් නොව සිංහල භාෂාවෙනි. භාෂාව නිසා හටගත් මේ ආරාවුල තවත් කලක දී වෙනත් ප්‍රශ්න ද පැටලී ලේ හැලෙන මහා ආරාවුලක් දක්වා වර්ධනය විය.
තාමත් භාෂාව මුල් කරගත් ප්‍රශ්න හරියාකාරව විසඳා නැතත්, දැන් භාෂා ප්රශ්නය විසඳීමෙන් පමණක් මෙම ආරාවුල විසඳිය නො හැකි ය. තමන්ගේ කටයුතු පාලනය කරගැනීමේ අයිතිය තමන්ට ලැබිය යුතු යැයි දෙමළ ජනතාවගේ අභිලාෂය වේ නම් රට බෙදා වෙන් කිරීමෙන් තොරව එක්සත් රටක් තුළ එම අභිලාෂයන් සම්පූර්ණ කරන තැනකට අප යා යුතුය. මේ රටේ ජීවත් වන සිංහල දෙමළ, මුස්ලිම් මිනිසුන්ට මේ රට හැර ජීවත් වන්නට වෙනත් රටක් නැත. අප සමගියෙන් හා මිත්‍රත්වයෙන් එකට ජීවත් විය හැකි මගක් සොයා ගත යුතු ය. ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් ඇති කරගත හැකි නම් වඩා ශිෂ්ටසම්පන්න දේශපාලන ක්‍රමයක් සඳහා පොදු එකඟතාවක් ඇති කර ගැනීම අමාරු වන්නේ නැත.