ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියා කරන විමල් වීරවංශ මහතා කෙරෙහි එල්ල වී තිබෙන කඨෝර විවේචන කෙරෙහි ඔහු දරන දේශපාලන අදහස්වලටත් වඩා ඔහු නියෝජනය කරන කුලය බලපා තිබෙන බව පෙනේ. නිල සාහිත්‍යය උත්සවයේ දේශනය විමල් වීරවංශට ලබාදීම ගැන විවේචනය කරමින් එජාප මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ““එවැනි උත්සවයකදී විමල් වීරවංශ ලවා බෙර ගස්සවා ගැනීම වරදක් නැතත් එවැනි අයෙකුට සාහිත්‍ය උත්සවයේ නිල දේශනය ලබාදීම වැරදි සහගත බව””ය. ඒ මගින් එම මන්ත්‍රීවරයා දෙන ලද සංඥාව වූයේ විමල් වීරවංශ මහතාට සිය කුලයේ ජන්ම උරුමය විසින් නියම කළ තැනින් එහාට එන්නට ඉඩ නොදිය යුතු බවය. එම මන්ත්‍රීවරයා කුලභේදය පදනම් වූ එම ප්‍රකාශය කරන ලද්දේ ද එසේ මෙසේ තැනක හිඳ නොව, රටේ උත්තරීතරම දේශපාලන ආයතනය වන පාර්ලිමේන්තුවේ සිටය. මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන්ගේ විරෝධයට හේතුවීද නැතිනම් විනෝදයට හේතුවීද යන්න පැහැදිලි නැත.
කුලය ඉපැරණි කාලයේදී නියම කරන ලද වෙනස් කළ නොහැකි ඉරණමක් ලෙස සලකා ක්‍රියා කළ යුගයක් මේ රටේ තිබුණි. ඒ යුගයේදී ජීවිතයේ හැම වැදගත් කරුණක්ම තීරණය කළේ කුලය විසිනි. එය රැකියාව තීරණය කළේය. ඇඳුම් පැළඳුම් ඇඳිය යුතු ආකාරය තීරණය කළේය. එහෙත් කුල ක්‍රමය මත පදනම් වූ වැඩවසම් ක්‍රමය අහෝසි කොට දැන් වසර දෙසීයකටත් වැඩි කාලයක් ගෙවී ඇතත් කුලභේදය අත්හැරීමට තවමත් අපි සමත් වී නැත.
මෙම විවාදයේදී විමල් වීරවංශ ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන්නේ නිර්ප්‍රභූ අවවරප්රසාදිත ජනයාය. එහෙත් පුදුමයකට මෙන් විමල් වීරවංශ ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ තමන් නියෝජනය කරන නිර්ප්‍රභූ අවවරප්රසාදිත ජනයා කැන්දාගෙන යාමට උත්සාහ කළේ වැඩවසම් නොවන අනාගතයකට නොව කුල භේදය රජ කරන වැඩවසම් අතීතයකටය. පෘතුගීසීන් රට අල්ලා ගන්නට පෙර රට තිබූ තත්ත්වයට රට ගෙන යායුතු බවට ඔවුන් වහසිබස් දෙඩෙව්වේය. කොතරම් හාස්‍යජනකද? පෘතුගීසීන් රට අල්ලා ගන්නට පෙර රට තිබූ තත්ත්වයට රට ආපස්සට ගෙන යන්නේ නම් විමල් වීරවංශ ඇතුළු ජවිපෙ නායකයින් බොහෝ දෙනෙකුට දේශපාලනය කරනවා වෙනුවට සිදුවනු ඇත්තේ කුලවතුන්ට බැල මෙහෙවර කරන්නටය. ජනතා විමුක්ති පෙරමුණ පීඩිතයන් නියෝජනය කරන ව්‍යාපාරයක් වුවත්, ඉතිහාසය ඓතිහාසික අර්ථයෙන් තේරුම් ගැනීමට සමත් නොවූ බව ඉන් පෙන්නුම් කරයි. අනෙක් අතට පීඩිත ජනතාවක් නියෝජනය කරන ජන නායකයකු තුළ තිබිය යුතු පීඩාවට පත් සියලු දෙනා කෙරෙහි කරුණාවෙන් කරුණු සලකා බැලීමේ ගුණය වෙනුවට විමල් වීරවංශ වැනි නායකයින් කෙරෙහි රදල වැඩවසම් නායකයකු කෙරෙන් පළවෙන උද්ධච්ච ප්රවේශයකි. ජනවාර්ගික අර්බුදය තුළ පීඩිත තත්ත්වයක් හිමිකර ගෙන සිටින බර්ගර් ජනවර්ගය නියෝජනය කරන රෝසි සේනානායක විමල් වීරවංශට පෙනුණේ ලන්සි පැපොල් ගෙඩියක් ලෙසය. දෙමළ හා මුස්ලිම් ජනයා කෙරෙහි ද අනුකම්පා සහගත ආකාරයකින් කරුණු සලකා බැලීමට අසමත් විය.
ශ්‍රී ලංකා ජන සමාජය තුළ සමාන පිළිගැනීමක් නැතිකමේ ප්‍රශ්නයකට මුහුණ දීමට සුළු ජාතියට සිදුවී තිබේ. විමල් වීරවංශ නියෝජනය කරන නිර්ප්‍රභූ අව වරප්රසාදිත ජනතාව මුහුණ දී තිබෙන්නේ ද ඒ සමාන ප්රශ්නයකටය. ඔවුන් සිංහලයින් හෝ සිංහල බෞද්ධයින් ලෙස සැලකෙතත්, සිංහල සමාජය තුළ ඔවුන් සමානයින් ලෙස පිළිගැනෙන්නේ නැත. සිංහල සමාජය තුළ තමන්ට ඇති මේ නොපිළිගැනීම විමල් වීරවංශ ජයගන්නට උත්සාහ කළේ සිංහල සමාජය තුළ පවත්නා කුල භේදයට එරෙහිව ඍජු ලෙස සටන් කරන ක්රියාමාර්ගයකින් නොව, සිංහලයින්ගේ සතුරන් ලෙස පෙනෙන සුළු ජාතීන්ට එරෙහිව සිංහල ජාතීන්ගේ ගෞරවය වෙනුවෙන් සටන් කරන ක්‍රියාමාර්ගයක් මගින් සිංහල ජාතිය තුළ පිළිගැනීමක් ලබාගැනීමය. ඒ වෙනුවෙන් විමල් වීරවංශ උගුර ලේ රත්වන තෙක් එක දිගට වසර දීර්ඝ ගණනක් සුළු ජාතීන්ට එරෙහිව බෙරිහන් දුන්නේය. සුළු ආගම්වලට එරෙහිව බෙරිහන් දුන්නේය. ඒත් ඒ සියලු ගාම්භීර වීර කථාවලින් පසුත් සිංහල සමාජය ඔහු සමානයකු ලෙස පිළිගත්තේ නැත. ඒ වෙනුවට පිළිගත්තේ පහත් ජන්ම උරුමයක් ඇති බෙරකාරයෙකු ලෙසය.
මෙම පාඩම විමල් වීරවංශට හා ඔහු නියෝජනය කරන ජවිපෙට පමණක් නොව ඍජු ලෙස නොව වක්‍ර ලෙස කුලභේදයට එරෙහිව සටන් කරන සියලු දේශපාලන ව්‍යාපාරවලට අදාළය. හෙළ උරුමයට සේ ම එල්ටීටීඊයට ද අදාළය.
සිංහල උරුමයේ භික්ෂූන් වහන්සේලා බැලූ බැල්මට පෙනී සිටිනුයේ ධර්ම රාජ්‍යයක් වෙනුවෙනි. එහෙත් උන්වහන්සේලා මුහුණ දී තිබෙන ඇත්ත ප්රශ්නය වනුයේ බෞද්ධ සංඝ සමාජය තුළ උන්වහන්සේලාට සමාන පිළිගැනීමක් නොතිබීමය. උන්වහන්සේලා සමාන පිළිගැනීමක් ලබාගැනීමට උත්සාහ දරමින් සිටින්නේ තමන්ට බලපා තිබෙන කුලභේදයට එරෙහිව ඍජු ලෙස ක්‍රියාකරන පිළිවෙතකින් නොව බෞද්ධයින්ගේ සතුරන් ලෙස පෙනෙන අයට එරෙහිව සටන් කරන ක්‍රියාමාර්ගයක් මගිනි. එහෙත් උන්වහන්සේලාට කවදා හෝ ලැබෙන පිළිතුර වනු ඇත්තේ විමල් වීරවංශට ලැබුණු පිළිතුරමය. මෙම විෂම ලක්ෂණය ප්රභාකරන් හා ඔහුගේ එල්ටීටීඊයට ද අදාළය.
බාහිර වශයෙන් බලන විට ප්රභාකරන් දෙමළ ජනයාගේ වීරයාය. එහෙත් ප්රභාකරන් හෝ ඔහු නියෝජනය කරන නිර්ප්‍රභූ ජනතාව දෙමළ සමාජය තුළ සමානයින් ලෙස පිළිගැනෙන්නේ නැත. ඔහු ද එක්තරා දුරකට විමල් වීරවංශ සේ ම සිය ජනතාව අතර පිළිගැනීමක් ලබාගැනීම සඳහා දෙමළ ජනතාවගේ සතුරන්ට එරෙහිව අනුකම්පා විරහිතව සටන් කරන නායකයකු බවට පත්ව සිටින්නේය. එහෙත් දෙමළ ජනතාව අතර ඔහු වීරයෙකු ලෙස පිළිගනු ඇත්තේ යුද්ධය තිබෙන තාක් කල් පමණය. ඉන්පසු ඔහුට ලැබෙන ප්‍රතිචාරය ද විමල් වීරවංශට ලැබුණු ප්‍රතිචාරයට සමාන විය හැකිය.
ප්රභාකරන් සිංහල ජනතාව සම්බන්ධයෙන් අනුකම්පා විරහිතව ක්‍රියාකරන පිළිවෙතක් අනුගමනය කර ඇතත්, ඔහු සිංහල විරෝධියෙකු ලෙස සැලකිය නොහැකිය. ඔහු සිංහල විරෝධියෙකුටත් වඩා වෙල්ලාල විරෝධියෙකු ලෙස සැලකිය හැකිය. දෙමළ සමාජය තුළ සමාන පිළිගැනීමක් ලබාගැනීම සඳහා සිංහල විරෝධියෙකු ලෙස පෙනී සිටින්නට ඔහුට සිදුවී ඇතත්, ඒ අරමුණ වෙනුවෙන් ඔහු දියත් කර තිබෙන යුද්ධ ව්‍යාපාරය තුළ සිංහලයින් පමණක් නොව වෙල්ලාල නායකයින් ද අනුකම්පා විරහිතව ඝාතනය කරන පිළිවෙතක් අනුගමනය කළේය. විමල් වීරවංශ ඇතුළු ජවිපෙ නායකයින් ද බාහිර පෙනුමෙන් දෙමළ විරෝධී ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටියත්, ඔවුන් ඇත්ත දෙමළ විරෝධීන් ලෙස සැලකිය නොහැකිය. ඔවුන්ට දෙමළ විරෝධී වීමට අවශ්‍ය වී ඇත්තේ සිංහල සමාජය තුළ සමාන පිළිගැනීමක් ලබාගැනීම සඳහාය. එම ධර්මතාව හෙළ උරුමයට ද අදාළය.
ගංගොඩවිල සෝම හිමියන්ගේ හදිසි අභාවය රටේ ඇති කළ උණුසුම් වාතාවරණය බෞද්ධ පුනරුද ව්‍යාපාරය ගැන ගවේෂණයක යෙදීමේ උනන්දුවක් මා තුළ ඇති කළේය. මීට සති දෙකකට ඉහතදී පළ කළ “පන්සලේ විප්ලවය” නමැති කෘතිය එම ගවේෂණයේ ඵලය ලෙස සැලකිය හැකිය.
එම ගවේෂණයේදී මට පිළිතුරු සොයා සොයාගැනීමට අවශ්‍ය ප්‍රශ්නයක් වූයේ පානදුරාවාදයෙන් පසුව එම ක්‍රියාවලිය විසින් ඉතාමත් බලවත් බෞද්ධ නායකයින් ගණනාවක් බිහිකර තිබියදීත් බෞද්ධයින්ට ඕල්කට් වැනි විදේශිකයකු සිය නායකයා කරගැනීමට අවශ්‍ය වූයේ ඇයිද යන ප්රශ්නයයි. මට ලැබුණ පිළිතුර සංවේගයට මිස ආශ්වාදයට හේතු නොවූ බව ද කිව යුතුය.
අදහන ආගම එකක් වුවත්, සියලු සිංහල බෞද්ධයන් එක සමාන ලෙස සැලකෙන්නේ නැත. සමහර බෞද්ධයින් උසස්ය. තවත් සමහර බෞද්ධයින් පහත්ය. ක්‍රිස්තියානි ආධිපත්‍යයට එරෙහි ඒ සියලු දෙනා එක වේදිකාවක එකට ගොනුවී සිටිය ද ඔවුන් කුල ක්‍රමය විසින් ඇති කර තිබුණු උස් පහත් බව අනුව බෙදී සිටියේය. ඔවුන් ක්‍රිස්තියානි විරෝධී වේදිකාවේ එකට එකතු වී සිටිය ද ඔවුන් තවත් වේදිකාවක (කුල වේදිකාවේ) එකිනෙකාට එරෙහිව කුල වශයෙන් බෙදී කඨෝර ස්වරයකින් වාද කරගත්තේය. මෙම පරිසරය තුළ කුල වශයෙන් බෙදී සිටි සියලු බෞද්ධයින්ට නායකත්වය දීමේ හැකියාව තිබුණේ සිංහල කුල ක්‍රමයෙන් පිටස්තර විදේශිකයෙකුට පමණය. හෙන්රි ඕල්කට් සම්පූර්ණ කරන ලද්දේ එම ඓතිහාසික අවශ්‍යතාවයි. ඕල්කට්ගෙන් පසු අනගාරික ධර්මපාලතුමාට සිංහල බෞද්ධයින්ගේ අසහාය නායකයා බවට පත්වීමට නොහැකි වූයේ ඔහු ඕල්කට් මෙන් විදේශිකයෙකු නොවී සිංහලයෙකු වීම නිසාය. ඕල්කට් නිදර්ශනය සිංහල බෞද්ධයින්ට පමණක් නොව මුළු රටට ම අදාළ බව ද කිව යුතුය. පැරණි වැඩවසම් ක්‍රමය තුළ ජන්ම උරුමය අනුව නියම කරන ලද ක්‍රමයකට අනුකූලව ක්‍රියාකිරීමට අපට සිදුවී තිබුණේය. කුලවතුන් රට පාලනය කළේය. කුලවතුන්ට බැල මෙහෙවර කිරීමට හීන කුලවල අය බැඳී සිටියේය. නායකයා තෝරා ගැනුණේ ජන්ම උරුමය අනුවය. ඒ අතර ප්‍රශ්න කිරීමකින් තොරව නායකයාට අවනතවීමට සියලු දෙනා බැඳී සිටියේය.
එහෙත් නවීන ධනේශ්වර ක්‍රමය විසින් කුලයට තිබුණු බැඳීම අහෝසි කිරීමත් සමග ඊට ගැළපෙන ඒකාග්ර සමාජයක් ඇති කරගැනීමට අපි අසමත් වීමු. එම තත්ත්වය විසින් අසහාය නායකත්වයක් ගොඩනගා ගත නොහැකි ජාතියක් බවට අපි පත්ව සිටිමු. අනවශ්‍ය තරම් වර්ගභේදය, කුලභේදය හා ආගම්භේදය අපේ ජීවිත කෙරෙහි බලපා තිබේ. අප අතරින් පත්වන කිසිම නායකයකුට ජනතාවගේ අසහාය නායකයා බවට පත්වීමේ හැකියාවක් නැත. වර්ගභේදය නිසා හෝ ආගම් භේදය නිසා හෝ කුල භේදය නිසා හෝ බලයට පත්වන නායකයා අපට පෙනෙන්නේ අපේ නොවන කෙනෙකු ලෙසය. වංශවත් කුලය ලෙස සැලකෙන ගොවිගම කුලය තුළ පවා ඒකාග්‍රතාවක් නොපවතී. ඔවුන් අතර ද උස් පහත් භේදයක් පවතී. සේනානායක පරපුරේ නියෝජිතයකු නායකයා ලෙස පිළිගන්නට බණ්ඩාරනායක පරපුර සූදානම් නැත. බණ්ඩාරනායක පරපුරේ නියෝජිතයකු නායකයා ලෙස පිළිගන්නට සේනානායක පරපුර සූදානම් නැත. චන්ද්‍රිකා කුමාරතුංග හා රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා බැලූ බැල්මට එක සමාන වුවත්, ඔවුන් දෙදෙනා එක සමාන වන්නේ නැත. රනිල් වික්‍රමසිංහ සමග කරන දේශපාලන ගනුදෙනුවලදී චන්ද්‍රිකා හැසිරුණේ අධි කුල මානයකිනි. අනෙක් අතට රනිල් වික්‍රමසිංහ චන්ද්‍රිකා සමග කරන දේශපාලන ගනුදෙනුවලදී හැසිරුණේ හීනමානයකිනි. සිංහල හා දෙමළ සමාජයේ සංඛ්‍යා බලය ඇත්තේ ගොවිගම හා වෙල්ලාල යන කුල කණ්ඩායම් දෙකටය. කුලභේදය නිසා ගොවිගම කුලයෙන් බිහිවන නායකයකු අසහාය නායකයා ලෙස පිළිගන්නට ගොවිගම නොවන කුලවලට අයත් ජනයා කැමති නැතිවා සේ ම, ගොවිගම කුලයට තිබෙන සංඛ්‍යාත්මක බලය නිසා ඉන් පිටස්තරයෙකුට රටේ දේශපාලන නායකයා වීමේ හැකියාවක් නැත. අසාමාන්‍ය හේතුවක් නිසා හෝ ගොවිගම නොවන කෙනෙකු බලයට පත්වන අවස්ථාවලදී උස් පහත් භේදය අනුව බෙදී සිටින ගොවිගම කුලයේ ජනයා පිටස්තර නායකයාට එරෙහිව එක පොදියට නැගී සිටිති. ජනාධිපති ප්‍රේමදාස ඊට දිය හැකි හොඳම නිදර්ශනයයි.
එක දිගට අවුරුදු 500ක් අප පාලනය කර ඇත්තේ පිටස්තරයින්ය. පිටස්තරයින්ට සාර්ථක පාලනයක් ගෙනයා හැකිවූයේ ඔවුන් සිංහල කුල ක්‍රමයෙන් පිටස්තර අය වීම හේතු කොටගෙනය. පිටස්තර පාලකයින් අතරිනුත් සාර්ථකම පාලනය ලෙස සැලකිය හැක්කේ ඉංග්‍රීසි යුගයයි. ඉංග්‍රීසීන් අපගේ කුල ක්‍රමයට අනුයුක්ත පිරිසක් නොවීම නිසා ඉංග්‍රීසි පාලකයන් අපගේ අසහාය නායකයින් ලෙස අප පිළිගැනීම නිසාම සාර්ථක පාලනයක් පවත්වාගෙන යෑමට ඔවුන් සමත් විය. සියලු කුල කණ්ඩායම් ඔවුන්ගේ නායකත්වය පිළිගත්තේය. සියලු වාර්ගික හා ආගමික කණ්ඩායම් ද ඔවුන්ගේ නායකත්වය පිළිගත්තේය.
එහෙත් නිදහස ලැබීමත් සමග එතෙක් පවත්වාගෙන ආ එකමුතුව කඩා බිඳ වැටුණි. හරියටම ඕල්කට්ගෙන් පසුව බෞද්ධ පුනරුද ව්‍යාපාරයට සිදුවූ දේ රටට ද සිදුවූයේය. බෞද්ධ පුනරුද ව්‍යාපාරයට ඕල්කට්ගේ අසහාය නායකත්වය අහිමිවීමෙන් පසු සිදුවූ දේ නිදහසින් පසුව රටට ද සිදුවිය. නිදහසින් පසු යටපත් වී තිබූ වර්ගභේදවාදී ආගම භේදවාදී හා කුලභේදවාදී ආවේගයන් මතුවී රට කෙළවරක් නැති තරමට ලේ වගුරුවන රටක් බවට පත්විය. එක්කෝ අපි අප අතර පවත්නා වර්ගභේදවාදී, කුලභේදවාදී හා ආගම් භේදවාදී ආකල්ප ජය ගනිමින් ඒකාග්ර ජාතියක් බවට පත්විය යුතුය. නැතිනම් අපි ඕල්කට් වැනි පිටස්තර විදේශීය පාලකයකු සොයා ගත යුතුය.