රට පතුලක් නැති අගාධයකට තල්ලු කිරීම

October 29, 2026
Publication:
The Supreme Court has struck down the legal validity, so far as Sri Lanka is concerned, of the United Nations International Covenant on Civil and Political Rights — a covenant made to protect the fundamental rights of the people of the world and one of the things the civilised world is respected for. That the court charged with protecting the people's fundamental rights should be the one to take them away is a mockery of fate.

ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තියේ ශ්‍රී ලංකාවට අදාළ නෛතික වලංගුභාවය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කර තිබේ.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ලෝක ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඇති කරගෙන තිබෙන ශිෂ්ට ලෝකයේ ගෞරවයට හේතුවී තිබෙන ජාත්‍යන්තර ප්‍රඥප්තියකි. ප්‍රඥප්තියට අත්සන් තබා ඇති රටවල්, ඒවා ආරක්ෂා කිරීමට සහතික වන අතර, තවදුරටත් ප්‍රඥප්තිය යටතේ එන ප්‍රොටකෝලයට අත්සන් තබා ඇති රටවල් එම ප්‍රඥප්තියේ එන අයිතිවාසිකම් අහිමි කිරීම්වල දී දේශීය වශයෙන් යුක්තිය ඉටුකර ගත හැකි නොහැකි අවස්ථාවල දී එම අයිතිවාසිකම් අහිමිවූවන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම යටතේ පවත්වාගෙන යන ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කිරීමට තිබෙන අයිතිය හා එම පැමිණිලි විභාග කොට මානව හිමිකම් කමිටුව දෙනු ලබන තීරණ පිළිපැදීමට ප්‍රොටකෝලයට අත්සන් තබන රාජ්‍යයන් සහතික වේ.

ප්‍රඥප්තියේ සඳහන් මානව හිමිකම් අහිමි කිරීමේ දී ප්‍රොටකෝලයට අත්සන් තබා ඇති රාජ්‍යයක පුරවැසියකුහට මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කිරීමේ අයිතිය ලැබෙන්නේ එම පුරවැසියා ඒ සඳහා ගත යුතු සියලු දේශීය ප්‍රතිකර්ම සම්පූර්ණ කිරීමෙන් පසුව ය. රටේ තිබෙන ඉහළ ම අධිකරණය වෙත ගොස් ඒ මගින් ද යුක්තිය ඉටු කරගැනීමට අසමත් වන අවස්ථාවල දී පමණි.

මෙය ශ්‍රී ලංකාවේ ජනතාව වසර 15 ටත් වැඩි කාලයක් තිස්සේ භුක්ති විඳි අයිතිවාසිකමකි. මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය නිසා බලයට පත්වන ආණ්ඩුවලට මහජනතාවගේ මූලික අයිතිවාසිකම් කෙරෙහි වෙනදාට වඩා සැලකිල්ලෙන් ක්‍රියාකිරීමට සිදුවී තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණයට පවා තමන් දෙන තීන්දු පරීක්ෂාවට ලක් කෙරෙන තවත් ජාත්‍යන්තර අධිකරණයක් තිබෙන්නේ ය යන කාරණය සැලකිල්ලට ගැනීමට සිදුවී තිබුණි. ඒ නිසා මහජනතාවට ද දේශීය වශයෙන් යුක්තිය ඉටුකර ගත නොහැකි අවස්ථාවලදී ජාත්‍යන්තර වශයෙන් හෝ යුක්තිය ඉටුකර ගැනීමට තවත් ස්ථානයක් තිබුණි. මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණය ම මහජන භුක්ති විඳි එම අයිතිය උදුරා ගන්නට සිදුවීම දෛවරයේ සරදමක් බඳු ය.

මෙම තීන්දුව මගින් වලංගුභාවය අහිමි කර ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ පමණක් නොවන බව ද කිව යුතු ය. පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව හා අනුගාමික නීති සම්පාදනයක් නැතිව ක්‍රියාත්මක වූ සියලු ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වල නෛතික වලංගුභාවය එම තීන්දුව නිසා අහෝසි වී ඇත්තේ ය. වැඩ කරන ජනයාගේ හා වෘත්තීය සමිති සංවිධානවල අයිතිවාසිකම් කෙරෙහි අන්තර්ජාතික කම්කරු ප්‍රඥප්තිය බලපෑවේ ය. මෙම තීන්දුව නිසා එහි වලංගුභාවය ද අහෝසි වන්නේ ය.

මේ සියල්ල අහෝසි කර ඇත්තේ මහජනයාගේ පරමාධිපත්‍යය බලය නමැති සංකල්පය නෛතික ආයුධයක් කරගනිමිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍ය බලය ඇත්තේ මහජනයාට ය. එම බලය ක්‍රියාත්මකවන්නේ පාර්ලිමේන්තුව හා ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ය. ඒ නිසා ඒවාහි අනුමැතිය නොමැති කිසිවක් නීතිමය වශයෙන් වලංගු විය නො හැකි ය.

ජිනීවාහි මානව හිමිකම් කොමිසම දැන් කලක පටන් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට හිසරදයක් වී තිබුණු බව පෙනෙන්නට තිබුණි. ජිනීවාහි මානව හිමිකම් කමිටුව හමුවේ විමර්ශනයට ලක්වන්නේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන තීරණයන්ය. දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන තීන්දු හයකට එරෙහිව මානව හිමිකම් කමිටුව තීරණ ප්‍රකාශ කර තිබෙන අතර, එයින් තීරණ දෙකක් ඍජු ලෙස ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරයාට අදාළය. අගවිනිසුරුවරයාගේ අත්තනෝමතික තීරණයන්ට එරෙහිව ඉදිරිපත් කරන ලද තවත් පැමිණිලි ගණනාවක් ජිනීවාහි මානව හිමිකම් කමිටුව හමුවේ විභාගවෙමින් පවතී. මේ නිසා තමන්ට හිසරදයක් වී තිබෙන ජිනීවාහි මානව හිමිකම් කමිටුව දෙන තීරණවල තිබෙන නීතිමය වලංගුභාවය අහෝසි කිරීම පිණිස සිංහරාසා පැමිණිල්ල ප්‍රයෝජනයට ගෙන තිබෙන බව පැහැදිලිව පෙනේ.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ ආරක්ෂාව සඳහා දී තිබෙන තීන්දුවෙන් මුළු රට ම පතුලක් නැති අගාධයකට ඇද දමා තිබෙන බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය.