සර්ව පාක්ෂික සම්මේලනයේ විද්වත් උපදේශක මණ්ඩලය නියෝජනය කළ විද්වතුන් පිරිස කණ්ඩායම් දෙකක් ලෙස දෙකට බෙදී ඉදිරිපත් කර තිබෙන විසඳුම් යෝජනා දැන් මහජන සංවාදයට බඳුන් වූ කාරණයක් බවට පත්වී තිබේ. එකළොස්දෙනාගේ වාර්තාව බහුතරයේ මතය ලෙසත්, සිව්දෙනාගේ වාර්තාව සුළුතරයේ මතය ලෙසත් ඉදිරිපත් වී තිබේ. වාර්තා දෙක අතර ඒකමතිකභාවයක් නැතත්, ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් දීමේ අවශ්‍යතාව දෙපිරිස ම පිළිගෙන තිබේ.
බහුතරයේ වාර්තාව ජවි පෙරමුණේ ද ජාතික හෙළ උරුමයේ ද විරෝධයට හේතුවී තිබෙන අතර, ජනතා විමුක්ති පෙරමුණ එයට විරෝධය පළ කරන මාර්ගයක් වශයෙන් සර්ව පාක්ෂික සමුළුවෙන් ඉවත්වීමට ද තීන්දු කර තිබේ. එක්සත් ජාතික පක්ෂය සර්ව පාක්ෂික සමුළුව නියෝජනය නොකළ ද බහුතරයේ වාර්තාවේ එන අදහස්වලට තම පක්ෂය එකඟ බව නිල වශයෙන් ම ප්‍රකාශ කර තිබේ.
ජනවාර්ගික අර්බුදය වැනි සංවේදී විෂයකට බහුතර එකඟතාවක් මිස සියලු දෙනාගේ පොදු එකඟතාවක් ඇති කරගැනීමේ හැකියාවක් ඇතැයි සිතිය නො හැකි ය. සංවිධානාත්මක සුළුතරයකට සිය මතය බහුතර මතය ලෙස පෙනෙන්නට සැලැස්වීමේ හැකියාවක් ඇතත්, රටේ බහුතර ජනතාව අන්තවාදී ආකල්පවලින් යුතු ජනතාවක් ලෙස සැලකිය නො හැකි ය.
මෙම ප්රශ්නයේ ද මහජන මතය උරගා බැලීමකට අවශ්‍ය නම් ආණ්ඩුවට කළ හැකි හොඳ ම දේ ඉදිරිපත් වී තිබෙන යෝජනා ජනමතවිචාරණයකට ඉදිරිපත් කිරීම ය. මෙම ඇවිලෙන සුළු ප්රශ්නයේ දී මහජනතාව දරන මතය සොයා බැලිය හැකි හොඳ ම ක්‍රමය එයයි. මෙම විවාදය ඵලදායී ලෙස අවසන් කළ හැකි හොඳම ක්‍රමය වන්නේ ද එයයි.
මේ ප්රශ්නය තව තවත් කුණුවෙන්නට ඉඩ නොදිය යුතු ය. අර්බුදය වර්ගභේදයකින් තොරව රටේ සියලු ජනතාවගේ ජීවිත කාලකණ්ණි කිරීමට හේතුවී තිබෙන අතර, විශේෂයෙන් ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජීවිත තිරිසන් තත්ත්වයකට ඇද දැමීමට හේතුවී තිබේ. දැන් දශක දෙකකටත් වැඩි කාලයක් තුළ එහි ජනතාව ජීවත්වන්නේ සැකයෙන්, බියෙන් හා අනාථභාවයට පත් පිරිසක් ලෙසය. ඔවුන්ට බියෙන් හා සැකයෙන් තොරව ආත්ම ගෞරවයක් ඇතිව මනුෂ්‍යයන් ලෙස ජීවත් විය හැකි පරිසරයක් ඇති කිරීම රටේ මහජනතාවගේත් ආණ්ඩුවේත් වගකීමකි.
ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීම වෙනුවෙන් සිංහල ජනයා අතර බහුතර එකඟතාවක් ඇති බව සනාථ කළ හැකි නම් එය ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලබාදීම සඳහා තබන ඉතා වැදගත් හා ශක්තිමත් ආරම්භක පියවරක් වනු නොඅනුමානය. එය දෙමළ මනසේද යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවනු ඇති අතර, එල්ටීටීඊ සන්නද්ධ අරගලයට ලැබී තිබෙන යුක්තිසහගතභාවය අවලංගු කිරීමට ද හේතුවනු ඇත.
වෙනම රාජ්‍යයකට එකඟවීමේ හැකියාවක් සිංහල ජනතාවට නැතත්, දෙමළ ජනතාවට හිමිවිය යුතු සාධාරණ අයිතිවාසිකම් ලබාදෙනවාට විරුද්ධ වීමේ හැකියාවක් සිංහල ජනතාවට නැත. මේ තේරුමක් නැති භේදය අපේ රටේ යහපැවැත්ම විනාශ කිරීමට හේතුවී තිබෙන බව අප තේරුම් ගත යුතු ය. සර්ව පාක්ෂික සම්මේලනයේ විද්වත් උපදේශක මණ්ඩලය ඉදිරිපත් කර තිබෙන විසඳුම් යෝජනා ජනමතවිචාරණයකට යොමු කළ හැකි නම්, ඒ ලැබෙන ප්‍රතිඵලය ශ්‍රී ලංකාවේ ගමන් මගෙහි මූලික වෙනසක් ඇති කිරීමට හේතුවනු නො අනුමාන ය.