ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තොණ්ඩමන්ගේ වතු කම්කරු කොංග්‍රසය හා චන්ද්‍රසේකරන්ගේ කඳුරට ජනතා පෙරමුණ ආණ්ඩුවට එකතු කරගැනීමේ ක්‍රියාවලිය ජනතා විමුක්ති පෙරමුණේ හා හෙළ උරුමයේ සතුටට හේතුවී නැත. මේ දෙපක්ෂයම එය දකින්නේ ආපස්සට තබන පියවරක් ලෙසය.
රට ත්‍රස්තවාදයෙන් බේරාගැනීම යන තේමාව යටතේ කරුණු 20 ක් ඇතුළත් ජවිපෙ වැඩපිළිවෙළට ද ආණ්ඩුව එකඟ වී නැත. එම ලියවිල්ලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ““මහජන අභිලාෂයන් යථාර්ථයක් බවට පත් කිරීම”” යන තේමාව යටතේ පිටු දහයක ලියවිල්ලක් සකසා තිබේ.
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඇති කරගෙන තිබෙන සටන් විරාම ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවෙතත්, එය නිවැරදි කරගැනීම එකඟතාවකින් මිස, ඒකපාක්ෂිකව කළ නොහැකි බව එම ලියවිල්ලේ වන බව ශ්‍රීලනිප මතය වී තිබේ.
නෝර්වේ රාජ්‍යය පහසුකම් සපයන්නාගේ කාර්යයෙන් ඉවත් කළයුතු බවට ජවිපෙ ඉදිරිපත් කර තිබෙන යෝජනාවට ද ශ්‍රීලනිප එකඟ නැත. නෝර්වේ රාජ්‍ය පැමිණියේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුව විසින් කරන ලද ඇරයුමක් අනුව නිසාත්, නෝර්වේ කාර්ය භාරය යුරෝපා සංගමය, ඇමරිකාව, ජපානය හා ඉන්දියාව වැනි රටවල් අනුමත කරන නිසාත්, එම වගකීමෙන් නෝර්වේ රාජ්‍ය ඉවත් කළහොත් නෝර්වේ රාජ්‍යය එය තම රටට කරන ලද නිගරුවක් ලෙස සලකනු ඇති නිසාත් එවැනි පියවරක් ගැනීම සුදුසු නොවන බව ශ්‍රීලනිපයේ මතය වී තිබේ.
උතුරු නැගෙනහිර වෙන් කළ යුතු බවට කර තිබෙන ඉල්ලීමට ද ශ්රීලනිපය එකඟ නැත. මෙම පළාත් දෙකේ ඒකාබද්ධතාව පිළිබඳව ජනමතවිචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව පිළිගන්නාමුත් එය සාමය ඇති කර ගැනීමෙන් පසුව සිදුකළ යුත්තක් බව ආණ්ඩුවේ මතය වී තිබේ.
කැබිනට් මණ්ඩලය කුඩා කිරීම පිළිබඳව ශ්‍රීලනිපයේ මතය වී ඇත්තේ කැබිනට් මණ්ඩලය පිළිබඳව තීරණය ගැනීමේ බලය ජනාධිපති බලතල යටතට වැටෙන විෂය ක්ෂේත්රයක් බවයි.
ඉන් පෙනෙන්නේ ජවිපෙ හා ශ්‍රීලනිප සිතැඟියාවන් අතර සමානකම් ඇතත්, බරපතළ වෙනස්කම් ද තිබෙන බවය. ශ්‍රීලනිප පිරිසිදු ජේවීපී අච්චුවකට දැමීම අමාරු බවය.
ඉතා වැදගත්ම දේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු බලය රැඳී ඇත්තේ ජේවීපීය අතේය. ඕනෑම මොහොතක ආණ්ඩුවේ පාර්ලිමේන්තු බලය අහිමි කිරීමේ හැකියාව ජේවීපීය සතුය. එහෙත් එවැනි පියවරකින් පසුව පවත්වන මැතිවරණයක් ජේවීපීයට ලැබී තිබෙන පංගුව කුඩා කිරීමට හේතුවන බැවින් ප්‍රායෝගිකව එවැනි පියවරක් ගැනීමේ ඇත්ත හැකියාවක් ජේවීපීයට නැත. එයට ලැබී ඇත්තේ කෘතිම බලයකි. එය චන්ද්‍රිකාගෙන් ජේවීපීයට ලැබුණු තෑග්ගකි. ශ්‍රීලනිප හැකිලී ජවිපෙ කෘත්‍රිම ලෙස පිම්බුණේය. ඡන්දයකට ගියහොත් සිදුවන්නේ කෘතිම ලෙස පිම්බී තිබෙන කොටස හැකිලීමය. ඡන්දයට ගියහොත් ජවිපෙ ආසන සංඛ්‍යාව 10-15 අතර ගණනකට අඩු විය හැකිය.
හෙළ උරුමයට ද මැතිවරණයකට එකඟවීමේ හැකියාවක් නැත. මැතිවරණයකට ගියහොත් ලැබෙන ආසන සංඛ්‍යාව බිංදුව දක්වා පහත වැටීමේ අනතුරක් පවතී. මේ අනුව දේශපාලන ගණන් බැලීමකදී ජේවීපීයට හෝ හෙළ උරුමයට මොනම හේතුවක් නිසා හෝ ආණ්ඩුව පරාජය කිරීමේ තැනකට යෑමේ හැකියාවක් නැත. වැඩිම වුවහොත් කළ හැකිවනු ඇත්තේ ආණ්ඩුවට ගල්මුල් ගසා කරදර කරන තැනකට යාමට පමණය.
එහෙත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ස්ථාපිත කරගැනීමෙන් තොරව ශක්තිමත් ආණ්ඩුවක් ලෙස ඉදිරියට යෑමේ හැකියාවක් නොපවතී. එහිදී ආණ්ඩුවට ගණන් බලන්නට සිදුවන්නේ ද ජේවීපී හා හෙළඋරුමය එකට ගෙනය. එම පක්ෂ දෙකේ අඩුව තොණ්ඩමන්ගේ හා රවුෆ් හකීම් වැනි කුඩා පක්ෂ එකතු කරගැනීමෙන් පමණක් සපුරාලිය නොහැකිය. ඉතිරි අඩුව සපුරාගන්නට එජාප සමග එකඟත්වයකට එන්නට හෝ එජාපයෙන් විශාල කොටසක් එකතු කරගන්නට හෝ සිදුවන්නේය.
මෙම තත්ත්වය ජයගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එජාපය ද ආණ්ඩුවට එකතු කරගනිමින් ජාතික ආණ්ඩුවක් ඇති කරගැනීමට අවශ්‍ය වී තිබෙන අතර, ඒ සඳහා ඇරයුම් කරන ලිපිය යවා ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත නොව නියෝජ්‍ය නායක කරු ජයසූරිය වෙතය.
එයින් අනියම් ලෙස පෙන්නුම් කර ඇත්තේ ““මම එජාපයට කැමති නැතත්, රනිල්ට නම් කැමති නැති”” බවය. ඒ නිසාම එවැනි ආණ්ඩුවකට රනිල් කැමති වනු ඇතැයි සිතිය නොහැකිය.
එහෙත් ජනාධිපතිවරයාගේ මෙම ඇරයුම ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් එජාපයට නැත. ආණ්ඩුවට එකතු වන්නට කැමති අය සමග එකඟ නොවෙතොත් විශාල පිරිසක් ආණ්ඩුවට එකතු වන තත්ත්වයක් ඇතිවිය හැකිය.
ආණ්ඩු පක්ෂය ඇතුළු සියලු පක්ෂවලට මුහුණ දෙන්නට සිදුවී ඇත්තේ පැවැත්ම පිළිබඳ අර්බුදයකටය. එහෙත් රටට ජාතික ආණ්ඩුවක් අවශ්‍ය නම්, ඒ අවශ්‍ය වී ඇත්තේ පක්ෂවල පැවැත්ම ආරක්ෂා කරගැනීමේ පියවරක් වශයෙන් නොව රටේ පැවැත්ම ආරක්ෂා කරගැනීමේ පියවරක් වශයෙනි.
ශ්‍රී ලංකා රාජ්‍යයේ කටයුතු නිදහසෙන් පසු මේ දක්වා සිදුවී තිබෙන්නේ රාජ්‍යයේ පැවැත්ම ශක්තිමත් කෙරෙන ආකාරයට නොව විනාශ වන ආකාරයටය. දැන් රාජ්‍ය තිබෙන්නේ ගරා හැලුණු තත්ත්වයකය. ප්‍රතිනිර්මාණයකින් තොරව ඉදිරියට යා නොහැකි තරමටම ගරා වැටුණු තත්ත්වයකය.
රාජ්‍ය මුහුණ දී තිබෙන එකම අර්බුදය ජනවාර්ගික අර්බුදය ලෙස සලකමු නම් හෝ ජනවාර්ගික අර්බුදය විසඳා ගැනීමෙන් පමණක් සියලු දෝෂ දුරුවී නැවත ශක්තිමත් ලෙස ඉදිරියට යාහැකි වනු ඇතැයි කල්පනා කරන්නේ නම් එය මුලාවකි.
ශ්‍රී ලංකා රාජ්‍යය අසමත් වී ඇත්තේ, ජනවාර්ගික සම්බන්ධතා කළමනාකරණයේදී පමණක් නොවේ. එය අඩු වැඩි වශයෙන් අන් හැම විෂයකදීමත් අසමත්ය.
ව්‍යවස්ථාදායකය තිබෙන්නේ පිස්සන් කොටුවකට නොදෙවෙනි තත්ත්වයකය. අධිකරණය තිබෙන්නේ යුක්තිය ඉටුකිරීමේ හැකියාවක් නැති අයුක්තිය රජ කරන තත්ත්වයකය. සමස්ත රාජ්‍ය නිලධරතන්ත්‍රය තිබෙන්නේ ද දූෂණ මෙන් කුණුවූ තත්ත්වයකය.
සටන් විරාම ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නොවන බවට එච්.එල්. ද සිල්වා වැනි නීති විශාරදයින් තර්ක කරන බව පෙනේ. එහෙත් උල්ලංඝනය කරන්නට තරම් පාරිශුද්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටේ තිබේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇත්තේ සටන් විරාම ගිවිසුමෙන් පමණද? 17 වැනි සංශෝධනය නොසලකා ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීමෙන් හා පාර්ලිමේන්තුවේ පක්ෂ මාරුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී නැද්ද? රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිම ගෞරවයක් හෝ වටිනාකමක් නැති නොවැදගත් කඩදාසි කැබැල්ලක් බවට පත්කර හමාරය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇද දමා තිබෙන තත්ත්වයම ශ්‍රී ලංකා රජය ඇද වැටී තිබෙන තත්ත්වයේ තරම පෙන්නුම් කරයි.
පොදු මගී ප්‍රවාහන සේවා තිබෙන්නේ මනුෂ්‍යත්වයට පවා නිගා දෙන තත්ත්වයකය. පාසල් ක්‍රමය ද, අධ්‍යා පනය ද තිබෙන්නේ අවුල් ජාලාවකය. ඉතාමත් දියුණු තත්ත්වයක පැවති මහජන සෞඛ්‍ය සේවය තිබෙන්නේ ශීඝ්‍ර පරිහානියකය. නගරවල දිනපතා ගොඩ ගැසෙන කුණු ටිකවත් ක්‍රමවත් ලෙස ඉවත් කරගන්නා ක්‍රමයක් දන්නේ නැති රටක තත්ත්වයට අපි පත්ව සිටිමු. ජනවාර්ගික අර්බුදය මෙම සමස්ත අර්බුදය තුළ වන වැදගත් හා ප්රමුඛ එක අර්බුදයක් පමණය. එම ප්රශ්නය ලේ හැලෙන ප්‍රශ්නයක් නිසා එය අපට ලොකුවට පෙනෙන්නේය. එහෙත් ඒ තරමට බරපතල එහෙත් නොවිසඳුණු වැදගත් තවත් ප්‍රශ්න රාශියක් රටේ ඇත්තේය.
පොදු මගී ප්‍රවාහන සේවාවලදී ඒවාහි යන එන මගීන්ට සලකන ක්‍රමය සුළු ජාතීන්ට අඩු සැලකිලි දක්වන ක්‍රමයට සමානය. 1 වැනි වසරේ සිට පාසල් ක්‍රමයට එකතු වන කුඩා දරුවන්ට ක්‍රමවත් හා සාධාරණ ලෙස පාසල් බෙදා දෙන ක්‍රමයක්වත් රටේ නැත. අනාගත අම්මලාට සුදුසු පාසලක් සඳහා දරුවන් ප්‍රසුත කිරීමට සිදුවනු ඇත්තේ පාසල් ඉදිරියේය. දේශපාලන අර්ථයෙන් ගත්විට ශ්‍රී ලංකාව අශිෂ්ටත්වයේදී සිටින්නේ ඉහළම තත්ත්වයකය.
රටේ යහපත් වෙනසක් කිරීමට අවශ්‍ය නම් සමස්ත චිත්රයේ වෙනසක් ඇති කළ යුතුය. නිදහස ලැබෙන අවස්ථාව වන විට කලාපයේ වෙනත් රටවල් සමග ගත් විට වඩා දියුණු තත්ත්වයක සිටි රටවල් දියුණුම තත්ත්වයක් කර ගමන් ගන්නා විට අපි නොකඩවා පරිහානිය කරා ගමන් කරන රටක් බවට පත්ව සිටින්නේ ඇයිද යන ප්රශ්නය අප ආපසු හැරී විවේචනාත්මකව සලකා බැලිය යුතුය. අපට වැරදුණු තැන් මොනවාද?
රටේ සිදුවී තිබෙන මෙම විනාශයට •
පාර්ලිමේන්තුව කවර තරම් ප්‍රමාණයකට වගකිව යුතුද? •
අධිකරණය කවර තරම් ප්‍රමාණයකට වගකිව යුතුද? •
නිලධර තන්ත්රය කවර තරම් ප්‍රමාණයකට වගකිව යුතුද? •
දේශපාලන පක්ෂ කවර තරම් ප්‍රමාණයකට වගකිව යුතුද? •
ආගමික නායකයින් හා උගතුන් කවර ප්‍රමාණයකට වග කිවයුතුද? •
ජනමාධ්‍ය කවර තරම් ප්‍රමාණයකට වගකිවයුතුද
යන්න සොයා බලන තැනකට අප යා යුතුය.
පූර්ණ වෙනසක් සඳහා අවශ්‍ය හරි දැක්මක් ඇති කරගත හැකිවනු ඇත්තේ එවිටය. ඒ සඳහා ජනාධිපති කොමිසමක් වුවද පත් කිරීම සුදුසුය.
ශ්‍රී ලංකාවට මේ මොහොතේ ජාතික ආණ්ඩුවක් අවශ්‍ය වනු ඇත්තේ රටට අවශ්‍ය පූර්ණ වෙනසක් සඳහා අවශ්‍ය විශ්ලේෂණයක් සමග මාර්ග සැලැස්මක් ඇතිකර ගැනීම සඳහාය.
නිදහසින් පසු බලයට පැමිණි කිසිම ජන නායකයකුට තම බලය මිස රට ප්රමුඛ නොවීය.
77න් පසු බලයට පැමිණි හැම නායකයෙක්ම අඩු වැඩි වශයෙන් රටේ වස්තුව හා සම්පත් කොල්ලකෑවේය. සිය ගොල්ල වර්ගයාට හා සමීපයින්ට රට සිත් සේ කොල්ල කන්නට ඉඩ දුන්නේය.
අධිකරණයේ ස්වාධීනත්වය අහෝසි කොට එය බලයට පත්වන පාලකයින්ට දේශපාලන අතකොලුවක් ලෙස පාවිච්චි කළ හැකි තත්ත්වයකට ගෙනාවේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උඩ බඩ පිනුම් ගැසුවේය.
ජනතාව ජාති, ආගම්, කුල අනුව බෙදා ඒ බෙදීම්වලින් වාසි ලබා ගත්තේය. මහ ජාතිය සතුටු කරනු පිණිස සුළුජාතීන් පීඩාවට පත් කළේය.
ඒ සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ ශ්‍රී ලංකාව නැමති ලස්සන පුංචි රට නරකාදියක් බවට පත්වීමය.
සමස්ත ක්රමයේ පූර්ණ වෙනසක් ඇති කළ හැකිවනු ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එකට එකතු වී අඩු වැඩි වශයෙන් ඔවුන් විසින් අපායක් බවට පත්කර තිබෙන මේ රට නැවත ශිෂ්ටසම්පන්න රටක් බවට පත් කිරීම සඳහා ඇති කළයුතු වෙනස්කම් මොනවාද යන්න පිළිබඳව පූර්ණ සොයා බැලීමකට යාමට එකඟවීමෙනි. ඉන්පසු ඒ සොයාගන්නා කරුණු මත අවශ්‍ය වෙනස්කම් සඳහා මාර්ග සැලස්මක් ඇති කරගනිමින් එම මාර්ග සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා පොදු එකඟතාවක් ඇති කරගැනීමය.
ඒ තරමටවත් මේ රටේ දේශපාලන පක්ෂවලට සංවේදීවීමට හා අවංකවීමට හැකියාවක් ඇත්නම් රටේ ගමන් මග යහපත් අතට යොමු කිරීමට බැරිකමක් නැත. එහෙත් එවැනි එකඟතාවක් ඇති කරගැනීමට දරන උත්සාහයක් තෝරාගත් පිරිසකට සීමා නොවිය යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන ප්රවනතා එහි කොටස්කරුවන් විය යුතුය.