කේතීශ්වරන් ඝාතනය න්‍යායික තලයේ වැදගත් ප්‍රශ්න ගණනාවක් මතු කරයි. ශිවරාම් සේම ඔහු ද කලක් දෙමළ විප්ලවවාදී තරුණ පරපුරෙහි සිටි කැපී පෙනෙන නායක ගණයෙහිලා සැලකිය හැකි පුද්ගලයෙකි. එසේම ශිවරාම් සේම ඔහුද දෙමළ බුද්ධිමතුන් අතර කැපී පෙනෙන තත්ත්වයක් හිමිකරගෙන සිටි පුද්ගලයෙකු විය.
ඔවුන් දෙදෙනාම එක්තරා යුගයකදී දේශපාලන විමුක්තිය අපේක්ෂා කළ පුද්ගලයින් දෙදෙනෙකි. ඔවුන් සමාජවාදී ලෝකයක් ගැන සිහින දකින්නන් වූවා සේම පීඩිත දෙමළ ජනතාවගේ විමුක්තිය ගැන සිහින දකින්නන් වූහ. ඔවුන් දෙදෙනාම පීඩිත දෙමළ ජනතාවගේ විමුක්තිය පිණිස ප්රචණ්ඩ අරගලයක් වෙනුවෙන් පෙනී සිටි අය ද වූහ. දෙදෙනාම පසු කලකදී දෙමළ විමුක්ති අරගලයේ ගමන් මග සහ එහි ප්‍රධාන දේශපාලන ප්‍රවාහය සමඟ (එල්ටීටීඊය) මතභේද ඇති කරගත් අය වූහ.
දෙමළ විමුක්ති අරගලය සමග ඇති කරගන්නා මතභේද නිසා ගෞරවයෙන් එම අරගලයෙන් ඉවත් වී නිදහසේ ජීවත්වීමේ වුවමනාවක් මේ දෙදෙනාටම තිබුණි. එහෙත් එය පහසු දෙයක් නොවීය.
මා දන්නා තරමින් ශිවරාම් හිතට විරුද්ධව පසුකලෙක එල්ටීටීඊයේ විද්‍යුත් හඬ ලෙස සැලකෙන වෙබ් අඩවියක කර්තෘ හා කළමනාකරු ලෙස ක්‍රියා කළේය. ඒ වෙනුවෙන් ඔහුට ප්රතිපක්ෂය අතින් මැරුම් කන්නට සිදුවූයේය. කේතීශ් එල්ටීටීඊයෙන් වෙන්ව ඉඳිමින් එල්ටීටීඊ ක්‍රියාකාරකම් විවේචනය කරන පිළිවෙතක් අනුගමනය කළේය. ඒ වෙනුවෙන් ඔහුට එල්ටීටීඊ අතින් මැරුම් කන්නට සිදුවිය. දෙදෙනාම කලක් ඔවුන් දෙමළ විමුක්ති අරගලය ලෙස සැලකූ සටන්කාමී ව්‍යාපාරය තුළ කැපී පෙනෙන තත්ත්වයක් හිමි කරගෙන සිටි වීරයන් වූහ. එහෙත් පසුකලකදී ඔවුන්ට තිබූ පිළිගැනීම හා වීරත්වය අහිමි විය. ඒ ගැන ඒ දෙදෙනා තුළම කම්පාවක් තිබූ බවද පෙනෙන්නට තිබුණි.
කේතීශ්වරන් ඝාතනයේදී ශිවරාම් ඝාතනයේදී ක්‍රියා කළ ආකාරයට වෙනස්ව ජවිපෙත් හෙළ උරුමයත් මහත් හැඟීම්බර නිවේදන නිකුත් කර තිබුණි. ජවිපෙ හා හෙළ උරුමයට ශිවරාම් ද්‍රෝහියෙකි. එහෙත් කේතීශ් වීරයෙකි. කේතීශ්වරන්ට එල්ටීටීඊය හා ප්රභාකරන් සමග මතභේද තිබුණද, දෙමළ අරගලයේ අරමුණු සමඟ මතභේද නොතිබුණි. ඔහු දෙමළ නිජබිම පිළිබඳ සංකල්පය වෙනුවෙන් පෙනී සිටියේය. දෙමළ ජාතිය පිළිබඳ සංකල්පය වෙනුවෙන් සේ ම ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටියේය. කේතීශ්වරන් සිංහල වර්ගවාදීන්ගේ බලවත් විරෝධයට හේතුවී තිබෙන තිම්පු ස්ථාවරයේ නිර්මාතෘවරයෙකි. ඔහු බලය බෙදාහැරීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකි.
එල්ටීටීඊය සිය පැරණි සගයින් අනුකම්පා විරහිතව ඝාතනය කිරීමේ පිළිවෙත ජවිපෙ විවේචනය කරයි. එල්ටීටීඊය උරුම කරගෙන තිබෙන එම ලක්ෂණය ෆැසිස්ට් ලක්ෂණයක් බව ද ඔවුන් කියයි. තමන් අතහැර ගිය සිය පැරණි සගයන් අනුකම්පා විරහිතව මරා දැමීමේ ලක්ෂණය එල්ටීටීඊයට පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ ද උරුම කරගෙන තිබූ ලක්ෂණයකි. එල්ටීටීඊය කේතීශ්, උමා මහේෂ්වරන් වැනි තමන්ගේ පැරණි සගයින් අනුකම්පා විරහිතව මරා දැමුවා සේ ජවිපෙ ද නන්දන මාරසිංහ, ජේම්ස් ඇතුගල වැනි තමන්ගේ පැරණි සගයින් තොග ගණනින් මරා දැම්මේය. එල්ටීටීඊයට එකතු වූ පුද්ගලයෙකුට ද්‍රෝහී ලේබලයක් අලවා ගැනීමෙන් තොරව එම ව්‍යාපාරයෙන් ගෞරවයෙන් ඉවත්ව යාමේ ඉඩක් නොතිබුණා සේ ම, ජවිපෙට එකතු වූ අයට ද, ද්‍රෝහී ලේබලයක් අලවා ගැනීමෙන් තොරව එම ව්‍යාපාරයෙන් ගෞරවයෙන් ඉවත්ව යෑමේ ඉඩක් නොතිබුණි.
එල්ටීටීඊයට හා ජවිපෙට ආවේණික මෙම නපුරු ලක්ෂණය ප්රචණ්ඩ අරගල මාවත තෝරා ගත් මාක්ස්වාදී ව්‍යාපාරයට ද ආවේණික පොදු ලක්ෂණයක් විය. ලෙනින් පවා තම මතයට පටහැනි වෙනස් මත දරන්නන් සැලකුවේ ද්‍රෝහීන් ලෙසය. ලෙනින්ට අනුව කෞට්ස්කි, බර්ගස්ටයින්ට්, රෝසා, ලැක්සම්බර්ග් වැනි අය ද්‍රෝහීන් විය. රුසියාවේ ඔක්තෝබර් විප්ලවයේ පළමු පෙළේ නායකයින් වැඩි පිරිසකගේ ජීවිත බිලිගත්තේ ප්රතිපක්ෂය විසින් නොව බොල්ෂෙවික් ව්‍යාපාරය විසිනි.
විමුක්තිය පිළිබඳ ඇතිකර ගන්නා ආස්වාදයකින් යුතුව විප්ලවකාරී ව්‍යාපාරවලට එකතුවන අයට එම ව්‍යාපාර ගැන කලකිරීමක් ඇතිවූ විට ගෞරවයෙන් එළියට ඒමට ඉඩ ලැබෙන්නේ නැත. සන්නද්ධ අරගලයක් පවතින වකවානුවකදී නම් ඔහුට ද්‍රෝහියකු ලෙස සලකා මැරුම් කන්නට සිදුවේ. සන්නද්ධ අරගලයෙන් තොර සාමකාමී කාලවකවානුවකදී නම් ද්‍රෝහියෙකු ලෙස සලකා ඔහු අවමානයට ලක් කෙරේ.
ලෝකයට අද අවශ්‍යව ඇත්තේ මේ නපුරු ලක්ෂණයන්ගෙන් තොර විමුක්ති ව්‍යාපාරයක්ය. තමන් කැමති මොහොතක ඇතුළු වී පිටවී යාමට අවශ්‍ය අවස්ථාවක නින්දාවට ලක්වීමෙන් තොරව මරණ බියෙන් තොරව “ද්‍රෝහියා” යන ලේබලය ඇලවීමෙන් තොරව ගෞරවයෙන් පිටවී යාමට ඉඩක් ඇති විමුක්ති ව්‍යාපාරයන්ය.
එම යහපත් ලක්ෂණය ගාන්ධිගේ ඉන්දියානු නිදහස් ව්‍යාපාරය තුළ තිබුණි. තමන් කැමති අවස්ථාවක ඇතුළු වී පිටවීමට කැමති ඕනෑම අවස්ථාවක ද්‍රෝහි ලේබලය අලවා ගැනීමෙන් තොරව පිටවීමේ අයිතිය එම ව්‍යාපාරයේ සාමාජිකයින්ට ලැබී තිබුණි. ශ්‍රී ලංකාවට අද අවශ්‍ය වී ඇත්තේ ද එවැනි සමාජ දේශපාලන ව්‍යාපාරයකි.
ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්රචණ්ඩත්වය
යුද්ධය වෙනුවට සාමය ඉල්ලා වීදි බැසි පුද්ගලයින් විශාල පිරිසක් විහාරමහා දේවි උද්‍යානයේදී පවත්වන ලද රැස්වීමක වේදිකාවකට, බලහත්කාරයෙන් කඩා වැදුණු භික්ෂූන් පිරිසකට බලය පාවිච්චි කොට ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සිද්ධියක් පසුගිය සතියේ වාර්තා විය.
සාමකාමී විසඳුමක් ගැන කතා කරන රැස්වීම්වලට සංවිධානාත්මක සුළු පිරිසක් බලහත්කාරයෙන් කඩා වැදී එම රැස්වීම් කඩාකප්පල් කළ පළමු අවස්ථාව මෙය නොවූවත් එසේ කඩා වැදුණ භික්ෂූන් පිරිසක් බලය යොදා පිටමං කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකිය හැකිය.
යුද විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින අයට බාධාවකින් තොරව අදහස් පළකිරීමේ නිදහස භුක්ති විඳීමේ අයිතිය ලැබී ඇතත්, සාමකාමී දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින අයට එම නිදහස කිසියම් ප්‍රමාණයකට හෝ අහිමි කර තිබෙන බව පෙනේ.
රටක යුද්ධයක් පවත්නා විට රටේ මහ ජනතාව එකාවන්ව යුද්ධයට පක්ෂපාතී පිළිවෙතක පිහිටා ක්‍රියාකිරීම අවශ්‍ය වන්නේ නැත. ඇමරිකාව වියට්නාමයට එරෙහිව කරන ලද යුද්ධයේදී එම යුද්ධය බොහෝ ඇමරිකානුවන් සලකන ලද්දේ ඇමරිකාවේ බලය හා ගෞරවය සඳහා කරන දේශප්‍රේමී යුද්ධයක් වශයෙනි. එහෙත් ඊට එකහෙළා විරුද්ධ වූ විශාල පිරිසක් ඇමරිකාවේ සිටියේය. එකල ලෝක බොක්සින් ශූරයාව සිටි කැලැසියස් ක්ලේ වියට්නාම් යුද්ධයට විරෝධය පළකරන මාර්ගයක් වශයෙන් අනිවාර්ය යුද සේවයට බැඳීම ප්‍රතික්ෂේප කොට ඒ වෙනුවෙන් හිරබත් කෑවේය. ඩිගොල් ඇල්ජීරියාවට එරෙහිව කරන යුද්ධයේදී ඩිගොල්ගේ යුදවාදී පිළිවෙතට එරෙහිව බලවත් ලෙස නැගී සිටින බලවත් පිරිසක් ප්‍රංශයේ සිටියේය. ප්‍රංශයේ දේශපාලන ගමන් මග නිර්ණය කෙරෙන පුවත්පත ලෙස සැලකෙන ල මොන්ඩ් පුවත්පත පවා ඩිගොල්ගේ යුදවාදී පිළිවෙත අනුකම්පාවිරහිතව විවේචනය කළේය. ඉරානයට එරෙහිව අනුගමනය කළ යුදවාදී පිළිවෙතට විරුද්ධව බලවත් පිරිසක් ඇමරිකාවේ සිටී. බර්ට්‍රම් රසල් ද යුද විරෝධී පිළිවෙතක් වෙනුවෙන් හිරබත් කෑවේය.
රටක යුද්ධයක් පවතින විට යුද විරෝධී පිළිවෙතක පිහිටා ක්‍රියා කරන පිරිස් සිටින්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. එය යුද්ධයක් පවතින ඕනෑම රටක සාමාන්‍යයෙන් දැකිය හැකි තත්ත්වයකි.
යුද විරෝධී මතවාදයක් කෙරෙහි ද විවිධ හේතු බලපෑ හැකිය. කෙනෙකු ආත්මාර්ථකාමී හේතු මත යුද්ධයකට විරුද්ධ විය හැකිවා සේ ම, දාර්ශනික මානුෂික හෝ වෙනත් හේතු මත එසේ කළ හැකිය. දැන් කෙරෙන යුද්ධය පිටස්තර රටකින් එල්ල වූ ආක්රමණික තර්ජනයකට එරෙහිව කෙරෙන යුද්ධයක් නොව, අභ්‍යන්තර සන්නද්ධ ව්‍යාපාරයකට එරෙහිව කෙරෙන යුද්ධයක් බව ද අමතක කළ නොහැකිය.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා කෙරෙන පහරදීම් අමානුෂික වනවා සේ ම අහසේ සිට කරන බෝම්බ ප්‍රහාර ද අමානුෂිකය.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් එසේ කරන්නේ ඉලක්කගත පුද්ගලයන් ඝාතනය කිරීමේ අරමුණින් වුවත්, එම ඉලක්ක ගත පුද්ගලයින්ගෙන් පරිබාහිර සාමාන්‍ය හා අහිංසක මිනිසුන් ද එවැනි පහරදීම් නිසා මරණයට පත්වේ. අහසින් බෝම්බ දමන බව කියන්නේද ඉලක්කවලටය. එහෙත් එවැනි අවස්ථාවලදී සාමාන්‍ය මිනිසුන්ට ද හානි පැමිණේ. ඔවුන්ට ගුවන් යානා නැත. ඒ නිසා ඔවුන් මරාගෙන මැරෙන්න සූදානම් මිනිසුන් යොදාගෙන බෝම්බ ප්‍රහාර එල්ල කරති. අපට මරාගෙන මැරෙන්න සූදානම් මිනිසුන් නැත. එහෙත් ගුවන් යානා තිබේ. ඒ නිසා අපි ඔවුන්ට ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල කරමු. ඔවුන් ද ගුවනින් බෝම්බ ප්‍රහාර එල්ල කරන තත්ත්වයකට ගියහොත් ඇතිවන තත්ත්වය කුමක්ද?
ගුවන් බෝම්බ ප්‍රහාරයක් නිසා පාසල් වියේ ගැහැනු ළමුන් 60ක් මරණයට පත්වී තවත් 150ක් තුවාල වීමේ සිද්ධිය ලෝකයේ විශේෂ අවධානයට ලක්වූ පුවතක් බවට පත්වී තිබේ. ආණ්ඩුව කියන්නේ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියේ ගැහැනු ළමුන් විය හැකි වුවත් තමන් පහර දුන්නේ එල්ටීටීඊ පුහුණු කඳවුරකට බවය. ඩී.එස්.බී. ජෙයරාජ් එල්ටීටීඊ හිතවාදියෙකු නොව එල්ටීටීඊය ද දැඩි ලෙස විවේචනයට ලක් කරන විචාරකයෙකි. ඔහු “සන්ඩේ ලීඩර්” පුවත්පතට ලියා ඇත්තේ එම බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත් හා තුවාල ලැබූ සියලු දෙනා ශිෂ්‍යයන් බවය. ගුවන් හමුදාව බෝම්බ දමා ඇත්තේ පාසල්වලින් තෝරා ගත් හොඳම ශිෂ්‍යාවන්ගේ වැඩමුළුවක් පැවති ස්ථානයකට බවය. මේ අර්ථකථන දෙකේ ඇත්ත කුමක් වුවත් මෙම බෝම්බ ප්‍රහාරයෙන් පාසල් යන වයසේ ගැහැනු ළමුන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වී හෝ තුවාල ලබා තිබෙන බව පෙනේ.
සාමකාමී විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින පිරිස් ඒ සඳහා වන ඔවුන්ගේ අධිෂ්ඨානය පළකිරීම පිණිස රැස්වීමක් පවත්වන්නේ යුද උණුසුමෙන් රට රත්වී තිබුණු අවස්ථාවකය. ඔවුන් පා ගමනේදී බෙදාහරින ලද පත්‍රිකාවන් මගින් එල්ටීටීඊය ප්රචණ්ඩ ක්‍රියාකාරිත්වය හා ආණ්ඩුව ප්‍රති ප්රචණ්ඩ ක්‍රියාකාරීත්වය හෙළා දකිමින් අවිහිංසාවාදී ප්රතිපත්තියක පිහිටා ප්‍රශ්න විසඳා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබුණි. එහෙත් එවැනි මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින රැස්වීමකදී තම වේදිකාව ප්රචණ්ඩ ලෙස ආක්‍රමණය කරන පිරිසක් පලවා හැරීම සඳහා වුවත් සීමිත ආකාරයකින් හෝ හිංසාව ආයුධයක් කරගැනීම කොතරම් සුදුසුද යන ප්‍රශ්නයද මතු වෙයි.
මහත්මා ගාන්ධිගේ ව්‍යාපාරය සියලු මතවාදී ධාරා එක පෙරමුණක තබා ගැනීමට සමත් විය. එනිසා තිබෙන වෙනස්කම් ප්‍රකාශ කෙරෙන වාද විවාද ද සතුරු ස්වරූපයක් ගනු නොලැබීය. එවැනි සම්ප්රදායක් වෙත යොමුවීමේ හැකියාව අපට ලැබෙනු ඇත්තේ කවදාද?