යුද්ධය ගැලවීමේ මාර්ගය බවට පත්කර ගැනීම

October 29, 2026
Publication:
The war has begun without the ceasefire agreement being abrogated, and both sides say they are not making war but returning the attacks made on them. This may be the last war on this question, Ivan writes, and it may turn the whole existence of the country upside down. Not every war ends in a one-sided victory: there are wars that end without victory or defeat, and wars that end in the destruction of both sides.

සටන් විරාම ගිවිසුම අහෝසි කිරීමකින් තොරවම යුද්ධය ආරම්භ වී තිබේ. එහෙත් දෙපාර්ශ්වයම කියන්නේ යුද්ධයක් නොකරන බවත්, තමන්ට එල්ල වන ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත්ය. දැනට ආරම්භ වී තිබෙන යුද්ධය මේ විෂයෙහි සිදුවන අවසාන යුද්ධය විය හැකි අතර, රටේ සමස්ත පැවැත්ම උඩි යටිකුරු කිරීමට ද හේතුවිය හැකිය.

හැම යුද්ධයක්ම ඒකපාර්ශ්වික ජයග්‍රහණයකින් අවසන් වන්නේ නැත. ජය පරාජයෙන් තොරව අවසන් වන යුද්ධ සේ ම දෙපැත්තේම විනාශයෙන් අවසන් වන යුද්ධ ද පවතී.

මේ යුද්ධයෙන් ජය ලැබෙනු ඇත්තේ කාටද යන්න නොපැහැදිලිය. එහෙත් එය රටට විශාල විනාශයක් ඇති කිරීමට හේතුවනු ඇති බවට නම් සැකයක් නැත.

යුද්ධය මේ මොහොතේ ජනාධිපතිවරයාට ද, ප්‍රභාකරන්ට ද තිබුණු එකම විකල්ප මාර්ගය ලෙස ද සැලකිය හැකි ය.

යුද්ධය වෙනුවට සාකච්ඡා මාවත තෝරාගත්තේ නම් ජනතා විමුක්ති පෙරමුණ සමඟත්, හෙළ උරුමය සමඟත් ගැටුම් ඇතිකර ගන්නා තත්ත්වයකට යන්නට සිදුවන්නේය. එවිට පාර්ලිමේන්තු බහුතර බලය අහිමි කරගන්නා තත්ත්වයක් ද ඇතිවන්නට ඉඩ තිබුණේය. ජනතා විමුක්ති පෙරමුණෙන් එල්ල වන බලකිරීම් නොසලකා සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳාගන්නා තැනකට ගියේ නම් පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම අනිවාර්ය වන්නට ඉඩ තිබුණා සේ ම, එවැනි මැතිවරණයක් යහපත් ප්‍රතිඵල ඇති කරන්නක් නොවන්නට ද ඉඩ තිබුණි. අනෙක් අතට යුද්ධයක් නොවී නම් ආර්ථික හා ජීවන ප්‍රශ්න මතුවී පහසුවෙන් විසඳිය නොහැකි වෘත්තීය අරගල පෙළකට මුහුණ දෙන්නට සිදුවන්නට ඉඩ තිබුණේය.

එහෙත් යුද්ධයේ මාවත තෝරාගත් විට ඒ සියලු ප්‍රශ්න මගහැර සිටීමේ හැකියාව ලැබෙන්නේය. ජවිපෙ හා හෙළ උරුමය සමඟ ගැටුම් ඇතිකර ගන්නට සිදුවන්නේ නැත. පාර්ලිමේන්තු මැතිවරණයකට යාම අවශ්‍ය වන්නේ ද නැත. ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් මතුවන්නේ ද නැත. වෘත්තීය අරගල මතුවීමේ ඉඩක් ඇත්තේ ද නැත.

මහජන උද්යෝගය නොකඩවා ආණ්ඩුව කෙරෙහි තබාගැනීමට ද යුද්ධය හොඳ මාර්ගයකි. ජනාධිපතිවරයාගේ නිර්භීත යුද පිළිවෙත හැර වෙනත් පක්ෂ කෙරෙහි ජනතාවගේ අවධානය යොමුවන්නේ නැත. අනෙක් අතට නීති රීති තද කොට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ හකුළුවාලීමටද යුද්ධය අවස්ථාවක් කරගත හැකිය. වෙනදාට වඩා පහසුවෙන් ජනමාධ්‍ය පාලනය කළ හැකිය. අවශ්‍ය නම් බලවත් විරෝධයකින් තොරව වාරණ නීති රීති වුවද ඇති කළ හැකිය.

යුද්ධය ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය වැනි පක්ෂවලට ද සිය දේශපාලන පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා තිබුණු හොඳම මාර්ගය විය. ආණ්ඩුව සාම මාවත තෝරාගන්නේ නම්, ආණ්ඩුව සමඟ ගැටුම් ඇතිකර ගන්නට සිදුවන්නේය. පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දෙන්නට සිදුවන්නට ද ඉඩ තිබුණේය. එසේ වී නම් මෙම ව්‍යාපාර දෙකම දුර්වල තැනකට ඇද වැටෙනු නොවැළැක්විය යුතුය. එහෙත් දැන් තිබෙන තත්ත්වය යටතේ යුද්ධය මෙහෙයවන්නන් ලෙස ජනතාව ඉදිරියේ පෙනී සිටිය හැකිය. රූපවාහිනිය ඉදිරියේ පෙනී සිටිමින් යුද්ධ ගැන යුද විශේෂඥයින් සේ ජනතාවට විවරණ ඉදිරිපත් කළ හැකිය. වෙනදාට වඩා වැඩි වාර ගණනක් ජනාධිපතිවරයා හමුවීමට යා හැකිය.

එහෙත් මේ යුද්ධය බිහිසුණු දේශපාලන යුද්ධයක් බවට ද පත්විය හැකිය. යුද්ධය සිංහල ජනතාව කෙරෙහි විනාශකාරි ප්‍රතිඵල ඇති කිරීමට හේතුවුවහොත් සිංහල විරෝධය හා කෝපය ජනාධිපතිවරයා හා ආණ්ඩුව කෙරෙහිත්, ජනතා විමුක්ති පෙරමුණ හා හෙළ උරුමය කෙරෙහිත් යොමුවන තත්ත්වයක් ඇතිවිය හැකිය. ඒ නිසා වඩා විශාල දේශපාලන අර්බුදයකට ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදුවන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.

ප්‍රභාකරන්ගේ ප්‍රහේළිකාව

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන මේ මහා ආරාවුලේ වැදගත් දේශපාලන පැතිකඩක් පෙන්නුම් කරන සිද්ධියක් මෙසේය. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පාර්ශ්වය වෙනුවෙන් එල්ටීටීඊ සමඟ ගනුදෙනු කළ සිංහල නියෝජිතයා මේ මෑත දිනක කිලිනොච්චියේ පැවති සිය හිතවතකුගේ මඟුල් උත්සවයකට සහභාගි වී තිබේ. අනපේක්ෂිත ලෙස මෙම මඟුල් උත්සවයට මුහුදු කොටි නායක සුසෙයි ද සහභාගි වී තිබේ.

සුසෙයි එහිදී එහි සිටි සිංහල නියෝජිතයා අමතා මෙසේ ප්‍රකාශ කළේලු.

““ඔයාගේ මහින්ද රාජපක්ෂ, ජනාධිපති කළේ සිංහල ජනතාව නෙවෙයි. එයාව ජනාධිපති කළේ ප්‍රභාකරන්. ඒ බව එයාට අමතක නම්, කොළඹ ගියාම ඒ බව මතක් කර දෙන්න.””

මේ කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවත්, එයින් කියවෙන කටුක දේශපාලන යථාර්ථයක්ද පවතී. ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සිංහල ජනතාව එක පොදියට ඡන්දය දෙන ලද බව සැබෑය. එහෙත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ඡන්දය පාවිච්චි කිරීමට ප්‍රභාකරන් ඉඩ දුන්නේ නම්, රටේ ජනාධිපති වන්නට ඉඩ තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා නොව රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ අර්ථයෙන් එම ජනාධිපතිවරණයේදී රටේ දේශපාලන ඉරණම තීරණය කළ පුද්ගලයා වූයේ ජනතාව නොව ප්‍රභාකරන්ය.

ප්‍රභාකරන් එසේ කළේ ඇයි? එම දේශපාලන ප්‍රහේළිකාව විසඳිය යුතුව තිබෙන්නේ කෙසේද?

රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ ප්‍රභාකරන්ට වාසිදායක වී නම් හා ජනතා විමුක්ති පෙරමුණ කියන ආකාරයට රනිල් වික්‍රමසිංහට ප්‍රභාකරන් සමඟ ගිවිසුමක් තිබුණේ නම්, රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට ප්‍රභාකරන්ට අවශ්‍ය වූයේ ඇයි?

තමා විසින්ම බලයට පත් කළ යුතු නායකයකු අතින් විනාශයට පත්වීම ප්‍රභාකරන්ගේ ඉරණම වන නිසාද? නැත්නම් විනාශ මුඛයට තල්ලුවීම රටේ ඉරණම වී තිබෙන නිසාද?

රනිල් චන්ද්‍රිකා හවුල ගැන

රනිල්-චන්ද්‍රිකා දේශපාලන හවුලක් ගැන විවිධ කතා අසන්නට ලැබේ. මේ දෙදෙනා එකට එකතු වී විනාශවෙමින් තිබෙන රට බේරාගනු ඇති බව ද කියනු ලැබේ.

වර්තමානයේ රටේ ඇතිවී තිබෙන මහා විනාශයට වැඩියෙන්ම වගකිවයුතු දේශපාලන නායකයින් වන්නේ මේ දෙදෙනාය.

ජනතා විමුක්ති පෙරමුණට කෘතිම බලයක් ලබාදෙන ලද්දේ චන්ද්‍රිකාය. බලලෝභය මත මහජනතාව විසින් බලයට පත් කර තිබූ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ සමඟ එකතු වී විසුරුවා හැර රට දේශපාලන අවුල් ජාලාවකට තල්ලු කිරීමට පාර කැපුවේ චන්ද්‍රිකාය. දැන් මහජනතාවට කපාගන්නට සිදුවී තිබෙන විනාශයේ අස්වැන්න සඳහා බීජ වැපුරුවේ චන්ද්‍රිකාය.

චන්ද්‍රිකාට ඒ සියල්ල එසේ කරන්නට හැකිවූයේ කොන්ද පණ ඇති දේශපාලන නායකයකු වශයෙන් තමන් සතු දේශපාලන යුතුකම් හා වගකීම් ඉටු කිරීමට රනිල් වික්‍රමසිංහ අසමත් වූ නිසාය. ජාත්‍යන්තර ප්‍රජාව කෙරෙහි පමණක් විශ්වාසය තබා චන්ද්‍රිකාගේ අත්තනෝමතික ක්‍රියාකාරකම්වලට එරෙහිව මහජනතාව පෙළගස්වන ක්‍රියාමාර්ගයකට යාමෙන් වැළකී නිකම්ම බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිසාය. සාම ක්‍රියාමාර්ගයේදී පවා ජනතාව දැනුවත් කිරීමෙන් වැළකී මහජනයා ඇමතීමේ වේදිකාවේ ඒකාධිකාරී අයිතිය ජනතා විමුක්ති පෙරමුණට බාරදී තිබුණේය. පසුගිය ජනාධිපතිවරණය ද පරාජය නොවැළැක්විය හැකි ජනාධිපතිවරණයක් නොවීය. එල්ල වූ බාධා ජයගැනීමේ හැකියාවක් තිබුණත්, ජයග්‍රහණය ගැන ඇති කරගෙන තිබූ උද්ධච්ඡ විශ්වාසය විසින් ඒ තත්ත්වය අහිමි කළේය. ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ ද ළඟ ළඟ තරගයකිනි. ප්‍රභාකරන්ගේ මැදිහත්වීම එම පරාජය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑ බව ජනතාව දැන සිටියේය. පාක්ෂිකයින් ලක්ෂ ගණනකගේ ඡන්ද අහිමි කර තිබෙන බව ද පසුව හෙළිදරව් විය. එවැනි වාසිදායක තත්ත්වයක් තිබියදීත් ආත්ම විශ්වාසයකින් යුතුව ඉදිරියට ඒමට අසමත් විය.

සාමාන්‍යයෙන් ඕනෑම පාර්ලිමේන්තු විවාදයක් විරුද්ධ පක්ෂය වෙනුවෙන් ආරම්භ කරන්නේ ද නැවත විවාදය අවසන් කරන්නේ ද විරුද්ධ පක්ෂ නායකයාය. එහෙත් පුදුමයට මෙන් මේ විරුද්ධ පක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ කතා නොකරයි. විවාදවලට සහභාගිවන්නේ ද නැත.

දීර්ඝ කාලයක් නිශ්ශබ්දව බලා සිට දැන් සිවිල් ක්‍රියාකාරීන් බලගන්වන උත්සාහයක් ආරම්භ කර තිබේ. නිදා සිටින තම මන්ත්‍රීවරුන් නැගිට්ටවන්නේ නැතිව නිදා සිටින පක්ෂය හා පාක්ෂිකයින් නැගිට්වන්නේ නැතිව ඒ සියලු දෙනාට නිදාගන්නට ඉඩ හැර සිවිල් ජනයා නැගිටවන්නට දරන උත්සාහය හාස්‍යජනකය. නිදා සිටින පක්ෂයක් වෙනුවෙන් සිවිල් ජනයා නැගී සිටින්නේ නැත. සිවිල් ජනයාගේ සහාය ලැබෙනු ඇත්තේ අවදි වී ක්‍රියාකරන පක්ෂයකට පමණය.