අවිනිශ්චිතභාවයට හේතුව ස්ථිර ප්‍රතිපත්තියක් නැතිකමයි

October 29, 2026
Publication:
The government has no clear policy on what to do about the LTTE, and that is what is feeding the uncertainty, with destructive effects on the economy and on social life alike. It tried to settle the Mavil Aru sluice by military means without any realistic view of what such a step would produce next. Ivan is as hard on the JVP: it understood perfectly well that the appointments made in disregard of the constitutional council were unconstitutional, and watched in silence.

එල්ටීටීඊය සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු ද යන ප්‍රශ්නයේ දී ආණ්ඩුවට පැහැදිලි ප්‍රතිපත්තියක් තිබෙන බවක් පෙනෙන්නට නැත. එම තත්ත්වය රටේ පවතින අවිනිශ්චිතබව වර්ධනය කිරීමට හේතුවී තිබේ. වර්ධනය වෙමින් පවතින අවිනිශ්චිත වාතාවරණය රටේ ආර්ථිකය කෙරෙහි සේ ම සමාජ ජීවිතය කෙරෙහිද ඇති කරමින් තිබෙන බලපෑම විනාශකාරී ය.

එල්ටීටීඊය මාවිල්ආරු සොරොව්ව වැසීමෙන් ඇතිවූ ආරාවුල විසඳා ගැනීමට ආණ්ඩුව උත්සාහ කළේ යුදමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ ය. එවැනි ක්‍රියාමාර්ගයක් ඊළඟට ඇති කරන ප්‍රතිඵල පිළිබඳව යථා තක්සේරුවක් කරන ලද බවක් පෙනෙන්නට නැත.

සොරොව්ව තිබුණේ එල්ටීටීඊ පාලන ප්‍රදේශයකය. ආණ්ඩුව කල්පනා කළේ යුද්ධ හමුදාව යොදවා සොරොව්ව බලහත්කාරයෙන් හෝ විවෘත කරවන්නට ය. එය ඉතාමත් අඩු කාලයක් තුළ සම්පූර්ණ කරගැනීමට හැකිවනු ඇතැයි ද ආණ්ඩුව විශ්වාස කළේ ය.

එල්ටීටීඊයට පහරදීම සඳහා තෝරාගත් ඉලක්කවලට ගුවනින් බෝම්බ දමන අතර, සොරොව්ව අල්ලා ගැනීම සඳහා හමුදා මෙහෙයුමක් දියත් කළේ ය.

යුද හමුදාව සොරොව්ව අල්ලා ගැනීම සඳහා දුෂ්කර උත්සාහයක යෙදී සිටින අවස්ථාවක එල්ටීටීඊය සිය කාලතුවක්කුවලින් ත්‍රිකුණාමලය නාවික හමුදාවට ප්‍රහාර එල්ල කළේ ය. ඒ සමග මුත්තූර්වලට ද පහර දුන්නේ ය. මහා පරිමාණයේ යුද්ධයකට රට තල්ලුවෙමින් සිටින අවස්ථාවක ඉන්දියාවෙන් ලැබුණු සංඥා නිසා දැන් දෙපාර්ශ්වයම අඩියක් පස්සට ගෙන තිබෙන බව පෙනේ.

එල්ටීටීඊය සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ද කියන ප්‍රශ්නයේදී ආණ්ඩුව කල් නොයවා ස්ථිර ප්‍රතිපත්තියකට ආ යුතු ය. ආණ්ඩුව විශ්වාස කරන ආකාරයට ඒ සඳහා තිබෙන හොඳම මාර්ගය යුද්ධය වේ නම්, අන් සියලු දේ අතහැර යුද්ධ කරන තැනකට යා යුතු ය. එසේ නැතිව තවදුරටත් සටන් විරාම ගිවිසුම ආරක්ෂා කරගනිමින් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගත යුතු යැයි විශ්වාස කරන්නේ නම්, ස්ථිරසාරව ඒ මාර්ගය තෝරාගත යුතු ය. විටින් විට එල්ලවන බලපෑම් මත කිසිම ස්ථිර ප්‍රතිපත්තියකින් තොරව එහාට මෙහාට දෝලනය වන ප්‍රතිපත්තියක් රටේ හෝ ජනතාවගේ යහපතට හේතුවන්නේ නැත.

රටේ පවතින අවිනිශ්චිත දේශපාලන වාතාවරණය රටේ දෛනික ආර්ථික ක්‍රියාකාරීත්වය සේ ම සමාජ ජීවිත ද අවුල් කිරීමට හේතුවී තිබේ. නැවත දිග්ගැසුණු යුද්ධයකට මාරුවීමේ ඇත්ත හැකියාවක් අපට තිබේද? යුද්ධ කරනවා නම් ඒ නිසා ඇතිවිය හැකි අන් සියලු පාඩු නො සලකා ඒ මාර්ගය තෝරාගත යුතු ය. යුද්ධයක් පවත්වාගෙන යෑමේ හැකියාවක් තිබිය නො හැකි ය. අනෙක් අතට යුද්ධ කිරීමට අවශ්‍ය නම් ඉන්දියාව හෝ ජාත්‍යන්තර ප්‍රජාව දෙන සංඥා නො සලකා එසේ කිරීමේ හැකියාවක් තිබිය යුතු ය.

අන් සියලු ජාත්‍යන්තර බලවේග අතහැර ඉන්දියාව සමග පෙරට යා යුතුයි කියන මතයක් ජවිපෙ වැනි යුද්ධවාදී බලවේග අතීතයේ දී දරන ලද බව අපි දනිමු. ඉන්දියාවට එල්ටීටීඊය සමග ප්‍රශ්න තිබිය හැකි වුවත්, ඉන්දියාව යුදමය ක්‍රියාමාර්ගයක් අනුමත කරන්නේ නැත. ඉන්දියාව අපෙන් ඉල්ලා සිටින්නේ ද සාකච්ඡා මගින් හා බලය බෙදාහරින වැඩපිළිවෙළක් මගින් මේ ප්‍රශ්නය විසඳා ගත යුතු බව ය.

ජවිපෙ පොල්පොට්වාදය

බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා වන කරුණු 20 කින් යුතු සිය වැඩපිළිවෙළ ජවිපෙ විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව රටේ ස්වෛරීයභාවය උල්ලංඝනය කිරීමට හේතුවී ඇති සටන් විරාම ගිවිසුම අහෝසි කළ යුතුය. ජවිපෙ සමග ආණ්ඩුව ගිවිසුමක් ඇති කරගැනීමෙන් පසු සතියක් තුළ නෝර්වේ භූමිකාව අහෝසි කළ යුතු අතර ආණ්ඩුවේ නියෝග කොටි සංවිධානයේ පාලන ප්‍රදේශවලද ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කළ යුතුය. ඒවා සාමකාමී ලෙස එම ප්‍රදේශවල ක්‍රියාත්මක කළ නොහැකි නම් සන්නද්ධ හමුදා යොදා ගැනීමේ අයිතිය පාවිච්චි කරමින් එම නියෝග එම ප්‍රදේශවල ක්‍රියාත්මක කරන තත්ත්වයක් ඇති කළ යුතුය. එක් කොට ඇති උතුරු නැගෙනහිර වෙන් කළ යුතුය. රටේ ස්වෛරීභාවයට හානිකරන ද්විපාර්ශ්වික ගිවිසුම් ඇති කර ගැනීමෙන් වැළකී සිටිය යුතුය.

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන සමස්ත වැඩපිළිවෙළේ ප්‍රමුඛතම අරමුණ වනුයේ එල්ටීටීඊය සමග ඇති කරගෙන තිබෙන සටන් විරාම ගිවිසුම අහෝසි කොට ඊට එරෙහිව යුද්ධ කිරීමය. ඒ අරමුණ වෙනුවෙන් ජාතිය, එනම් සිංහල ජනතාව, කොටි විරෝධී දෙමළ සංවිධාන හා යුද්ධ හමුදාව පෙළගැස්වීමය.

ජාතික ස්වෛරීභාවයට හානි කරන ගිවිසුම් ඇති කරගැනීමෙන් වැළකීමේ අවශ්‍යතාව ද එය අවධාරණය කර තිබේ.

බොහොමයක් අන්තර් ජාතික ගිවිසුම් ජාතික ස්වෛරීභාවයට හානිකරය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙන අතර, ඒ අනුව ලංකාවේ පවතින නීති කුමක් වුවත් ඒ ගිවිසුමට ඇතුළත් කාරණා රට අභ්‍යන්තරයේ ක්‍රියාවට නැගීමට අපි බැඳී සිටිමු. එම ගිවිසුමට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය උත්තරීතරවන්නේ නැත. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුවකින් සෑහීමට පත් නොවන කෙනෙකුටම එම ගිවිසුම යටතේ ක්‍රියාත්මක වන ජිනීවාහි මානව හිමිකම් කමිටුව වෙත ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව පැමිණිලි කළ හැකි අතර, එවැනි ආරාවුලකදී මානව හිමිකම් කමිටුව දෙනු ලබන තීන්දු ක්‍රියාත්මක කිරීමට රටක් වශයෙන් අපි බැඳී සිටිමු. එම ගිවිසුම රටේ ස්වෛරීභාවයට හානිකරවිය හැකි මුත් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි හා මානව හිමිකම් ආරක්ෂා කරයි. ඒ ආකාරයේ ගිවිසුම් කිසියම් විශාල ප්‍රමාණයකට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙන අතර, ඒවා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය කෙරෙන ගිවිසුම් ලෙස සැලකිය හැකිය. 1986 දී ඇති කරගත් ඉන්දු ලංකා ගිවිසුම ද ඒ ගණයට වැටෙන ගිවිසුමක් ලෙස සැලකිය හැකිය.

ඒ අනුව බලන විට ජනතා විමුක්ති පෙරමුණට කොටි සංවිධානයට එරෙහිව පමණක් නොව අන්තර්ජාතික ලෝකයට එරෙහිවද නැගී සිටින තත්ත්වයකට ආණ්ඩුව තල්ලු කිරීමට අවශ්‍ය වී තිබෙන බව පෙනේ. එවැනි අස්ථානයකට ශ්‍රී ලංකාව තල්ලු වී ගියහොත් අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව සැලකෙනු ඇත්තේ වනචාරි රාජ්‍යයන් ලෙසය.

එම ඉල්ලීම් 20ට 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද ඇතුළත්ය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කරන ලද කොමිෂන් සභා සහ ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක කිරීමට ඇති බාධා ඉවත් කොට ඒවා තවදුරටත් ශක්තිමත් කළ යුතු බව එහි සඳහන් වේ.

එහෙත් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැහැදිලි ඍජු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ජවිපෙ සමත් නොවීය.

ව්‍යවස්ථා සභාව නොසලකා කර තිබෙන පත්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ජවිපෙට නොතේරුණේද? තේරුණේ නම් එම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකාකරම් ඉදිරියේ ජවිපෙ නිහඬව බලා සිටියේ ඇයි? දැන් ඒ වැරදිද නිවැරදි කිරීමේ අවස්ථාව අවධාරණය කර ඇතත්, තමන්ගේ ද ආධාර ඇතිව සිදුකර තිබෙන එම සාහසික ක්‍රියාව නිවැරදි කරන්නේ කෙසේදැයි පැහැදිලි කොට නැත.

දැන හෝ නොදැන කාම්භෝජයේ පොල්පොට් කල්ලිය ඒ රට තල්ලු කළ අවාසනාවන්ත තැනට මේ රට තල්ලු කිරීමට ජවිපෙට අවශ්‍ය වී තිබෙන බව පෙනේ. යුද්ධ හමුදාවට එරෙහිව අනුකම්පා විරහිත සන්නද්ධ අරගලයක යෙදුණ සංවිධානයක් යුද්ධ හමුදාවේ ප්‍රමුඛ නිලධාරීන් ජාතිද්‍රෝහීන් ලෙස නම් කළ සංවිධානයක් දැන් යුද්ධ හමුදාව ජාතීන්ගේ ගැලවුම්කරුවා ලෙස සලකන තැනකට මාරුවී තිබෙන ආකාරය පුදුමාකාරය.

ආඳා මාළු ඉරට්ටෙන් කෑම

පසුගිය බදාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මධ්‍යම කාරක සභාව ජවිපෙ වැඩපිළිවෙළ සාකච්ඡාවට ලක් කළේය. සටන් විරාම ගිවිසුම අහෝසි කිරීම නෝර්වේ රාජ්‍යයේ භූමිකාව අහෝසි කිරීම වැනි යෝජනාවලට ආණ්ඩුව එකඟ විය යුතු නැති බව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ බහුතර මතය විය. ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව ජවිපෙ ආණ්ඩුවේ කොටස්කරුවකු කරගන්නවාට විරුද්ධ නැත. එහෙත් ජවිපෙ සිය වැඩපිළිවෙළින් ඉදිරිපත් කර තිබෙන සියලු කොන්දේසි පිළිගත යුතු නැති බව මධ්‍යම කාරක සභාවේ තීරණය විය.

ඊට පසු දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප නියෝජිත පිරිසක් ජවිපෙ නායකයින් ද හමුවිය. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ තීරණ එහිදී ඔවුන් වෙත දැනුම් දෙන ලදි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් සිටින්නේ ජවිපෙ සහාය නැතිව පැවතිය නොහැකි තත්ත්වයකය. එම තත්ත්වය තුළ ජවිපෙ යෝජනා කොතරම් විනාශකාරී විය හැකි වුවත්, ඒ යෝජනා එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ක්‍රියාත්මක කරන තැනකට යන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සිදුවී තිබෙන්නේය.

නෝර්වේ විශේෂ නියෝජිත හන්ස් බවර් මාවිල්ආරු සොරොව්ව පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කරන්නට කිලිනොච්චියට ගියේ ඒ ගැන එල්ටීටීඊ සමග සාකච්ඡා කර ලෙසට ආණ්ඩුව විසින් කරන ලද ඉල්ලීමකට අනුවය. නෝර්වේ විශේෂ නියෝජිතයා සොරොව්ව ඇරීමට එල්ටීටීඊය එකඟ කරවා ගැනීමෙන් පසුව සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායම් ප්‍රධානියා ත්‍රිකුණාමලයේ එල්ටීටීඊ ප්‍රධානියා සොරොව්ව විවෘත කරන්නට ගිය විට යුද හමුදාව ඔවුන්ට සොරොව්ව විවෘත කරන්නට ඉඩ දුන්නේ නැත. ඒ මොහොතේ යුද හමුදාවෙන් එල්ල වූ ප්‍රහාර නිසා ජීවිතාරක්ෂාව සඳහා සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියාට ද බංකරයකට යන්නට සිදුවී තිබේ.

එදින සවස පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රජයේ ආරක්ෂක ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ සොරොව්වේ ප්‍රශ්නය ගැන එල්ටීටීඊය සමග සාකච්ඡා කිරීමට රජය කිසිවෙකුටත් අනුමැතිය නොදුන් බවය.

නෝර්වේ රාජ්‍යය මේ තත්ත්වය තේරුම් ගෙන තිබෙන බව පෙනෙන්නේ තමන් නින්දාසහගත තත්ත්වයකට පත් කොට ස්ව කැමැත්තෙන් පහසුකම් සලසන්නාගේ කාරියෙන් ඉවත්ව යන තත්ත්වයක් ඇති කිරීම සඳහා ආණ්ඩුව හිතා මතා අනුගමනය කළ පිළිවෙතක් ලෙසය.

සටන් විරාම ගිවිසුම අහෝසි කිරීමකින් තොරව සටන් විරාම ගිවිසුම නොසලකා ක්‍රියාකිරීම ආණ්ඩුවේ උපාය මාර්ගය වී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. නෝර්වේ පිළිබඳව අනුගමනය කෙරෙමින් තිබෙන්නේද ඊට සමාන ප්‍රතිපත්තියකි. එනම් නෝර්වේ රාජ්‍යයේ භූමිකාව අහෝසි කිරීමකින් තොරව එම භූමිකාවෙන් එරට ඉවත්ව යන තත්ත්වයක් නිර්මාණය කිරීමය. ජනතා විමුක්ති පෙරමුණ ඉල්ලා සිටින පිළිවෙත් ඍජු ලෙස ක්‍රියාවට නොනගා අනියම් ලෙස ක්‍රියාවට නගන පිළිවෙතක් මගින් ජවිපෙ සතුටු කරමින් ජවිපෙ ආණ්ඩුවේ කොටස්කරුවකු කරගැනීම ආණ්ඩුවේ උපාය මාර්ගික පිළිවෙත වී තිබෙන බව පෙනේ.

අර්බුදය විසඳා ගැනීමට අතරමැදියෙකු ලෙස යොදා ගත් රටක් නින්දාවට පත් කොට සිය කැමැත්තෙන් ආපසු යන තත්ත්වයක් ඇති කෙරෙනු පළමු අවස්ථාව මෙය නොවන බව ද කිව යුතුය. ජනාධිපති ප්‍රේමදාස ආණ්ඩුව යටතේ ඉන්දියාවට මුහුණ දෙන්නට සිදුවූයේද අද නෝර්වේ රාජ්‍යයට මුහුණ දෙන්නට සිදුවී තිබෙන තත්ත්වයකට සමාන තත්ත්වයකටය. අවසානයේ මුහුණ දෙන්නට සිදුවූ නින්දාසහගත තත්ත්වය සලකා තමන් රැගෙන ආ හමුදා රැගෙන ආපසු යන්නට ඉන්දියාවට සිදුවූයේය.

රට කබලෙන් ලිපට

ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයේදී පොදුවේ රටට සිදුවිය හැකි විනාශය කොතරම් විශාල වුවත්, ජවිපෙ සමග ඉදිරියට යනව හැර තෝරාගන්නට වෙනත් විකල්ප මාර්ගයක් ආණ්ඩුවට නැත.

ජනතා විමුක්ති පෙරමුණේ සහාය නැතිව තනිව ඉදිරියට යා හැකි තත්ත්වයක් ඇති කරගැනීමට අවශ්‍ය තරම් මන්ත්‍රී පිරිසක් එජාපයෙන් ආණ්ඩුවට එකතු කරගැනීමේ හැකියාවක් නැත.

මැතිවරණයකින්ද ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැත. රටේ පවතින ආර්ථික ප්‍රශ්න අනුව ආත්ම විශ්වාසයකින් යුතුව මැතිවරණයට මුහුණදීමේ හැකියාවක් ආණ්ඩුවට නැත.

මේ තත්ත්වය යටතේ ජවිපෙ සමග ඉදිරියට යෑම ආණ්ඩුවට තෝරා ගැනීමට ඉතිරි වී තිබෙන එකම මාර්ගය වී තිබේ. එහෙත් එවැනි ගමනක් ආණ්ඩුවට සේ ම රටට ද ලබාදෙන ප්‍රතිඵල යහපත් විය නොහැකිය.

එල්ටීටීඊය දැන් සිටින්නේ ඉතාමත් ශක්තිමත් තැනක නොවූවත් නැවත ඇතිවන යුද්ධයක් දැන් දුර්වල තැනක සිටින ඔවුන් නැවත ශක්තිමත් කිරීමට හේතුවනු ඇත. නැවත ඇතිවන යුද්ධයක් ශ්‍රී ලංකාවට ලැබෙන ආධාර සීමා කිරීමට හේතුවනු ඇත. ජාත්‍යන්තර අනුකම්පාව ලැබෙනු ඇත්තේ ද ශ්‍රී ලංකා ආණ්ඩුවට නොව එල්ටීටීඊයටය. උතුරු නැගෙනහිර වර්ධනය වන යුද වාතාවරණයෙන් වැඩියෙන් බැට කන පිරිස බවට පත්වනු ඇත්තේ මුස්ලිම් ජනයාය. ඇතිවන ඊළඟ යුද්ධයක් උතුරු නැගෙනහිරට සීමා නොවනු ඇත. එය මුළු රටටම බලපානු ඇත. දැනටමත් ප්‍රතිපක්ෂ දෙකම උතුරු නැගෙනහිර තුළ තම තමන්ගේ නිහඬ සතුරන් ලෙස පෙනෙන අය ඝාතනය කරන තැනකට තල්ලු වී සිටී. නාඳුනන තුවක්කුකරුවන්ගේ ක්‍රියාකාරීත්වය උතුරු නැගෙනහිරට සීමා නොවනු ඇත. යුද්ධය රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය දුර්වල කිරීමට හේතුවනු ඇති අතර, නැවත මරණ බියෙන් ජීවත් විය යුතු හා අග හිඟකම්වලින් පිරුණු යුගයක රස බැලීමේ අවස්ථාව ජනතාවට ලැබෙනු ඇත.