වල්මත්වී ක්‍රියා කරන ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය

October 29, 2026
Publication:
The inability to act on common ground on questions of national importance is one of the main reasons for Sri Lanka's failure, and it belongs not only to the parties but to every other quarter, the press included. Neither side understands what a government and an opposition are for: the party in power persecutes the opposition as a matter of habit, and the opposition behaves the same way in turn.

ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නවලදී පොදු එකඟතාවකින් ක්‍රියාකරන්නට තිබෙන නො හැකියාව ශ්‍රී ලංකාවේ අසමත්භාවය කෙරෙහි බලපා තිබෙන ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකි ය. මෙම ලක්ෂණය දේශපාලන පක්ෂවලට පමණක් නො ව, අනෙක් හැම අංශයකටමත් පොදු ය. එම ලක්ෂණය ජනමාධ්‍යවලට ද අදාළ ය.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ ආණ්ඩු පක්ෂය හා විපක්ෂයක කාර්ය භාරය පිළිබඳ හරි අවබෝධයක් මේ දෙපක්ෂයට ම නැත. බලයට පත්වන පක්ෂය සිරිතක් වශයන් විපක්ෂය පීඩාවට පත් කරයි. විපක්ෂයේ ආධාරකරුවන්ගෙන් පළි ගනී. විපක්ෂය ද සිරිතක් වශයෙන් පොදු යහපත නො සලකා ආණ්ඩු බලයේ සිටින පක්ෂයක් කරන හැම ක්‍රියාවකට ම හොඳ නරක නො සලකා විරුද්ධ වේ.

මෙම විෂම තත්ත්වය රටට ඉතාමත් විනාශකාරී ලෙස බලපෑවේ ය. රටක ආණ්ඩු පක්ෂයක් හා විරුද්ධ පක්ෂයක් අතර තිබිය යුතු අරගලය හා සහයෝගය ගැන මේ රටේ දේශපාලන පක්ෂ බටහිර රටවලින් නොව අසල්වැසි ඉන්දියාවෙන්වත් ඉගෙන ගත යුතු ය. හැමවිටමත් ඉන්දියාවේ ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂ අතර දේශපාලන අරගලයක් තිබෙනවා සේ ම, මනා සංහිඳියාවක් ද පවති. බලයේ සිටින ආණ්ඩුවක් වැරදි කරන විට විරුද්ධ පක්ෂය එම ආණ්ඩුවට එරෙහිව නැගී සිටි. එහෙත් රටේ පොදු අභිවෘද්ධියට හේතුවන කාරණාවලදී ආණ්ඩුව කරන කටයුතුවලට විරුද්ධ පක්ෂය අවහිර කරන්නේ නැත. ඉන්දු ලංකා ගිවිසුමේදී ඉන්දියාවේ ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය පවත්වාගෙන ගිය සහයෝගය ඒ සඳහා දැක්විය හැකි එක් නිදසුනක් පමණය.

රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීමේදී ද හැමවිටමත් ඉන්දියාවේ ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂය පොදු එකඟතාවකින් ක්‍රියා කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ඉන්දියාවේ සැලකෙන්නේ වීර ක්‍රියාවක් ලෙස නොව දේශපාලන වශයෙන් අධම ගණයෙහිලා සැලකෙන ක්‍රියාවක් ලෙස ය.

එහෙත් අපේ රටේ විරුද්ධ පක්ෂ හෝ ආණ්ඩු පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු නො කරයි. අධිකරණය හා ජනමාධ්‍යය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෞරවයෙන් ආරක්ෂා කරගත යුතු දෙයක් ලෙස නො සලකයි. බලයට පත්වන පාලකයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවලදී එම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකාරකම්වලට ආරක්ෂාව ලබාදෙන ආයතන බවට පත්ව තිබෙන්නේ අධිකරණයයි.

ඉන්දියාවේ විදේශ ලේකම්වරයාගෙන් ලැබුණු සංඥාවෙන් පසු ජනාධිපතිවරයා හා විරුද්ධ පක්ෂ නායකයා අතර ඇතිවූ හමුව කෙරෙහි මහජනතාව යම් බලාපොරොත්තුවක් ඇති කරගෙන තිබුණි. එහෙත් 18 වැනි සංශෝධනය සම්මත කරගැනීමට සහාය දෙන්නට මුලදී එකඟ වී අවසාන මොහොතේදී ඊට සහාය දීමෙන් වැළකී සිටීමට එජාප ගෙන තිබූ තීන්දුව ජනාධිපතිවරයාගේ කෝපයට හේතුවිය. ජනාධිපතිවරයා විරුද්ධ පක්ෂ නායකයා හමුවීමට නියම කර ගෙන තිබූ දිනයේදීම එජාපයෙන් ආණ්ඩු පක්ෂයට එකතු කරගත් පුද්ගලයෙකු නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස අභිෂේක කළේ ය. එය විරුද්ධ පක්ෂ නායකයාගේ කෝපයට හේතුවිය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ එජාපය සර්ව පාක්ෂික කථිකාවෙන් ඉවත් වීම ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීවරුන්ට තම මන්ත්‍රීකම අහිමි කරගැනීමෙන් තොරව පක්ෂ මාරු කළ නො හැකි ය. එය නීති විරෝධී දෙයක් වුවත් ඒ බව තීරණය කිරීමේ වගකීම පැවරී ඇත්තේ අධිකරණයටය. එහෙත් අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නො සලකා විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතු වන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම් ආරක්ෂා කර දේ. මෙය මීට වෙනස් ආකාරයකින් හෝ එජාප පාලන යුගයේදී ද සිදුවූවකි.

අධිකරණයේ පවතින මෙම විෂම තත්ත්වයට එරෙහිව නැගී සිටීමේ වගකීම ඇත්තේ විරුද්ධ පක්ෂයට වුවත්, විරුද්ධ පක්ෂය ඒ යුතුකම හා වගකීම ඉටු කරන්නට සූදානම් නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් නීතියට පටහැනිව ආණ්ඩු පක්ෂයට එකතු වන අය දෙස බකං නිලාගෙන සිටීමට එජාපයට සිදුවී ඇත්තේ ය. රටේ පවතින අසමත්භාවයට වගකිවයුත්තේ ආණ්ඩු පක්ෂය පමණක් නොවේ. ඊට සමාන ආකාරයකට විරුද්ධ පක්ෂය ද වගකිව යුතු ය.