ව්‍යවස්ථා සභාවේ අනුකූලතාවකින් තොරව අධිකරණ සේවා කොමිසමට සාමාජිකයන් දෙදෙනෙකු පත්කිරීමේ ක්‍රියාවලිය ගැන අධිකරණ සේවා නිලධාරින්ගේ සංගමය (පහළ අධිකරණයේ විනිසුරුවරුන්ගේ සංගමය) නිල නිවේදනයක් මගින් සිය ප්‍රසාදය පළකර තිබුණි.
තමන්ගේ හිතට එකගව වැඩ කිරීමේ හැකියාවක් නැති බව ප්‍රකාශ කරමින් ආචාර්ය ශිරානි බණ්ඩාරනායක, ටී.බී. වීරසූරිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා අධිකරණ සේවා කොමිසමෙන් ඉවත්වීමේ සිද්ධිය අධිකරණ විෂය ගැන උනන්දුවක් දක්වන දේශීය සංවිධානවල පමණක් නොව, ජාත්‍යන්තර සංවිධානවල ද බලවත් විමතියට හේතුවී තිබුණි. ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය, විද්වත් වෘත්තීයවේදින්ගේ සංගමය, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය, යහපත් ආණ්ඩුකරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය, විශ්‍රාමලත් විනිසුරුවරුන්ගේ සංගමය වැනි දේශීය ආයතන පමණක් නොව, අන්තර්ජාතික නීතිඥ සංගමය, අන්තර්ජාතික නීතිවේදින්ගේ සංගමය වැනි ආයතන ද මෙම විනිසුරුවරුන් දෙදෙනාගේ ඉවත්වීමේ සිද්ධිය ගැන සොයා බලන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියත්, ආණ්ඩුව මේ දක්වා ඊට කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. ඔහේ මෙතෙක් ගිය විදියට ගියාදෙන් කියන ප්‍රතිපත්තියක පිහිටා ආණ්ඩුව ක්‍රියාකරමින් තිබෙන බව පෙනේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සිටින රැකවල් දූතයා අතින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙළෙසේ නම් එරට සැලකිය යුත්තේ ශිෂ්ටසම්පන්න රටක් ලෙස නොව, අශිෂ්ට රටක් ලෙසය. අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් දෙදෙනා තනතුරු වලින් ඉල්ලා අස්වීමේ සිද්ධිය විශ්‍රාමලත් විනිසුරුවරුන්ගේ සංගමයේ ද දැඩි කණස්සල්ලට හේතුවී තිබේ. ඒ ගැන සොයා බැලීම පිණිස පොදු රාජ්‍ය මණ්ඩලයේ හෝ වෙනත් විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත පරික්ෂණ මණ්ඩලයක් පත් කරන ලෙස සංගමය ඉල්ලා සිටියේය. මෙම සංගමය නියෝජනය කරන විනිසුවරුන් අතර විශ්‍රාමලත් අගවිනිසුරුවරු ද, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ද සිටිති. ඔවුන් එවැනි ඉල්ලීමක් පටු දේශපාලන පදනමකින් කරන්නට ඇතැයි කිව නොහැකිය. එහෙත් ඔවුන්ගේ එම ඉල්ලීමටවත් නිසි සවන්දිමක් ලැබුණේ නැත.
17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථා සභාවේ අනුමැතිය නොමැතිව අධිකරණ සේවා කොමිසමට සාමාජිකයන් පත් කළ නොහැකිය. ව්‍යවස්ථා සභාව පත් නොකිරීමේ වරදට ප්‍රධාන කොට වගකිවයුත්තේ පාර්ලිමේන්තුවයි.
ව්‍යවස්ථා සභාවක් පත් නොකිරීමේ ප්‍රශ්නය ආශ්‍රයෙන් ඇතිවී තිබෙන අවුල් සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් දැනට පත්කර තිබෙන සාමාජිකයන්ට සභාවේ කටයුතු කරගෙන යාමේ අවසරය දිමේ හැකියාව තිබුණ ද, නීතිපතිවරයා දේශපාලන බලධාරින් සතුටු කරනු පිණිස එය වළකන අර්ථ නිරූපණයක් දුන්නේය. ව්‍යවස්ථා සභාවට සියලු සාමාජිකයන් පත් කරන තුරු එම සභාවට ව්‍යවස්ථා සභාවක් ලෙස ක්‍රියාකළ නොහැකි බව නීතිපති දුන් අර්ථ නිරූපණය විය. ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව කෙරෙමින් තිබෙන ක්‍රියාකාරකම් ගැන නීතිපති නිහඬය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරන මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාදාමය ගැන පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිම පක්ෂයකට හැගීමක් ඇති බව පෙනෙන්නට නැත. සාම්ප්‍රදායික පක්ෂ නටන පිස්සු නැටිල්ල තේරුම් ගැනීමට අමාරු නැත. එහෙත් විකල්ප ව්‍යාපාරයක් ලෙස පෙනී සිටින ජවිපෙට ද මෙම මූලික ප්‍රශ්නය වැදගත් වී නැත.
ව්‍යවස්ථා සභාවක් යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ඇතිවීමට පෙර මේ කටයුතු සියල්ල සිදුවූයේ ද දැන් සිදුවන ආකාරයටය. ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට අවශ්‍ය වුයේ ඒ නිසා සිදුවෙමින් පැවති විනාශය සලකා ඊට යොදන පිළියමක් වශයෙනි. එහෙත් අවසානයේදි සියලු දේශපාලන පක්ෂ එකට එකතු වී අධිකරණයේ ද සහාය ඇතිව ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයේ ගෙල මිරිකා මරා දැමූහ.