කර්ම චක්‍රය

October 29, 2026
Publication:
H.R. Piyasiri, the UNP organiser for Devinuwara, has been arrested over the shooting of his own son. He was the most powerful figure to rise against the JVP's second insurrection in the south — an insurrection that, Ivan writes, created conditions in which he could not have survived without killing. From there the column turns to the fate of the Public Trustee, to the attorney general's interpretation that protected him, and to the friendship he kept with the chief justice.

තම පුත්‍රයා වෙඩි තබා මරා දමා ඇතැයි කියන සිද්ධියක් මත දෙවිනුවර එජාප සංවිධායක එච්.ආර්. පියසිරි මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පුවත්පත් වාර්තා කර තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල පැවති කාලයේදි එම කැරැල්ලට එරෙහිව දකුණෙන් නැගී සිටි බලවත්ම චරිතය ලෙස සැලකිය හැක්කේ එච්.ආර්. පියසිරිය. ප්‍රතිපාක්ෂිකයින් නොමරා තමන්ට (එච්.ආර්. පියසිරිට) පැවතිය නොහැකි පරිසරයක් කැරැල්ල විසින් නිර්මාණය කර තිබුණේ යැයි කිව හැකිය. ඔහු කැරලිකරුවන් අනුකම්පා විරහිතව මරණ තැනකට නොගියේ නම්, කැරලිකරුවන් අතින් ඔහු මරණයට පත්වන්නට ඉඩ තිබුණි. එච්.ආර්. පියසිරි යන නම කැරලිකරුවන්ගේ වෛරයට හේතුවූ නමක් වූවා සේ ම ඔවුන්ගේ සිත් භීතියෙන් සසල කිරීමට හේතුවූ නමක් වූවා ද විය හැකිය. ඔහු ජීවත් වූ බතීගම ප්‍රදේශය කැරලි මර්දන ඒකකයක විශාල කඳවුරක මුහුණුවරක් ගෙන තිබුණේය.

ඔහුගේ දරුවන් හැදුණේ ද පියා ජීවත් වූ එම විශේෂ පරිසරයේය.

එකල රාවය පුවත්පත එච්.ආර්. පියසිරි මහතාගේ පුත්‍රයෙකුට අදාළව සිද්ධීන් දෙකක් වාර්තා කර තිබුණු බව මතකයට නගා ගත හැකිය.

එක් සිද්ධියක් ඔවුන් කොළඹ ජීවත් වූ ඇල්විටිගල නිවාස සංකීර්ණයේ ජීවත් වන්නන්ගෙන් අසන්නට ලැබුණු කතාවකි. එය විජේසිරිගේ පුත්‍රයා ග්‍රෙනේඩ් වර්ගයේ බෝම්බ දෙකක් අන්‍යයන්ට පෙනෙන ලෙස කලිසම බැඳි පටියේ එල්ලා ගෙන සිටින බව කියන කතාවකි.

දෙවැනි කතාව අනුවේදනීය සිද්ධියකි. වෙඩි නොවදින තෙලක් ලෙස සැලකෙන හෙනරාජ තෙල් සහිත සුරයක් ඔහුට කාගෙන් හෝ ලැබී තිබේ. සුරයට තිබෙන බලය පරික්ෂාවට ලක් කිරීමට ඔහුට අවශ්‍ය වී ඔහු පාරේ යන සිගන්නකු අල්ලාගෙන ඔහුගේ කරට එම සුරය දමා එම හිගන මිනිසාට පිස්තෝලයෙන් වෙඩි තබා තිබේ. එහිදි ඔහු තබන ලද වෙඩිල්ල හිගන මිනිසාට වැදිම නිසා තමන්ට ලැබුණු එම සුරයට වෙඩි නොවදින බලයක් නැති බව ඔහු දැනගත්තා විය හැකිය.

අවසානයේ තමන්ට ලැබුණු සුරයේ බලය අත්හදා බලන්නට හිගන මිනිසාට වෙඩි තැබූ වෙඩික්කාරයාට මියයන්නට සිදුවූයේ ද එම හිගන මිනිසාට මියයන්නට සිදුවූ ආකාරයට තරමක් සමාන ආකාරයටය.

මහාභාරකාරයාගේ ඉරණම

මහාභාරකාර දෙපාර්තමේන්තුව පිළිබඳව එහි සිදුවී තිබෙන කටයුතු සොයා බලා වාර්තා කිරීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටුව සිය අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දෙන ලද බව පුවත්පත් වාර්තා කොට තිබුණි.

දැනගන්නට තිබෙන තොරතුරු අනව මෙම පරික්ෂණ වාර්තාව මගින් මහා භාරකාරධුරය ඉසිලු දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින සරත් සෙනෙවිරත්න හා නියෝජ්‍ය මහාභාරකරුවන් ලෙස ක්‍රියා කළ එෆ්.ආර්. ප්‍රනාන්දුපුල්ලේ හා තිලක් දේවගිරි යන තිදෙනාගේ දූෂිත ක්‍රියාකලාපය විස්තරාත්මකව හෙළිදරව් කර තිබේ. මෙවැනි දූෂිත පුද්ගලයින් තිදෙනෙක් ප්‍රශ්න කිරීමකින් තොරව මෙතරම් දිර්ඝ කාලයක් මෙම තනතුරු දැරුවේ කෙසේද යන්න ද මෙම පරික්ෂණ කමිටුවට ප්‍රශ්නයක් වූ බව ද අසන්නට ලැබුණි.

මහාභාරකාර සරත් සෙනෙවිරත්න පිළිබඳ නිදර්ශනය ශ්‍රී ලංකාවේ කටයුතු සිදුවන ආකාරය පෙන්නුම් කිරීම සඳහා දැක්විය හැකි කදිම නිදර්ශනයක් ලෙස සැලකිය හැකිය.

මහා භාරකාර දෙපාර්තමේන්තුවේ සිදුවෙමින් පැවති දූෂිත ක්‍රියාකාරකම් පිළිබඳව කරුණු හෙළිදරව් කරන විස්තරාත්මක ලිපියක් 2005 පෙබරවාරි 11 වැනි දින රාවය පුවත්පතේ ““බහිරවයාට ගිය මහා භාරකාර දෙපාර්තමේන්තුව”” යන ශීර්ෂ පාඨය සහිතව පළවිය.

මේ ලිපිය පළවීමෙන් පසුව මහාභාරකාරයා (සරත් සෙනෙවිරත්න) මා හමුවන්නට රාවය කාර්යාලයට පැමිණියේය.

ඔහුට තිබුණේ හොර තක්කඩි පෙනුමක් නොව සාන්තුවර පෙනුමකි. ඒ වන විටත් ඔහු පිළිබඳ පසුබිම් දැනුමක් මට තිබුණෙන්, ඔහුගේ අහිංසක මුහුණ පෙන්වා මා දපනේ දමා ගැනීමට ඔහු සමත් වූයේ නැත. මාගේ ප්‍රශ්න කිරීම ඉදිරියේ නිරුත්තර වූ ඔහු පරාජිත මුහුණකින් යුතුව ආපසු යන්න ගියේය.

ඔහු මහාභාරකාර දෙපාර්තමේන්තුවට එන්නට පෙර සේවය කළේ අධිකරණයේය. ගම්පහ අධිකරණයේ මහේස්ත්‍රාත්වරයෙකු ලෙස සේවය කරමින් සිටියදි ඔහුට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනා නිසා එවකට අගවිනිසුරුවරයා ලෙස ක්‍රියා කළ පාරින්ද රණසිංහ මහතාට මෙම පුද්ගලයාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා ඒක පුද්ගල කමිටුවක් පත් කිරීමට සිදුවිය. එම පරික්ෂණ කමිටුවේ කොමසාරිස්වරයා ලෙස සේවය කළේ එවකට මහාධිකරණයේ විනිසුරුවරයෙකු වූ ලෙස්ලි අබේසේකර මහතාය.

මහේස්ත්‍රාත්වරයා දූෂිත පුද්ගලයෙකු බව එම පරීක්ෂණයෙන් සනාථ වීම නිසා ඔහු අධිකරණ සේවයෙන් ඉවත් කළ යුතු තත්ත්වයක් නිර්මාණය වී තිබුණි. මේ අතරතුර කාලයේදි පාරින්ද රණසිංහ මහතා විශ්‍රාම ගිය අතර, මෙම තක්කඩි මහේස්ත්‍රාත්වරයා ජනාධිපති විජේතුංග සමග සම්බන්ධයක් ඇති කරගනිමින් ඔහුගේ අනුග්‍රහය මත නියෝජ්‍ය මහා භාරකරු ලෙස මහා භාරකාර දෙපාර්තමේන්තුවට පැන ගත්තේය.

නියෝජ්‍ය මහාභාරකරුවාව සිටියදි ඔහු දෙහිවල බෞද්ධ හිමිනමක් සමග එකතු වී ව්‍යාපාරිකයකු රවටා සාංඝික ඉඩමක් ඔහුට විකුණන කූට ගනුදෙනුවක යෙදුණේය. ඉඩම් මිලදි ගන්නට පෙර හිමිනමගේ උපදෙස් පරිදි ව්‍යාපාරිකයා නියෝජ්‍ය මහා භාරකාරයාගෙන් ඉඩම පිළිබඳව කරුණු විමසීය. එය සාංඝීක ඉඩමක් නොව පෞද්ගලික ඉඩමක් බවට නියෝජ්‍ය මහා භාරකාර සෙනෙවිරත්න ව්‍යාපාරිකයාට සහතික විය. ඉඩමේ ඔප්පු පරික්ෂා කිරීමේ වගකීම පැවරිම සඳහා ඔහු නීතිඥ මහතකු ද ව්‍යාපාරිකයාට නිර්දේශ කළේය. නීතිඥයා ඔහුගේ මස්සිනාය. (මීගමුව පමුණුවත්තේ නීතිඥ ආර්.එම්.පී. ධර්මවර්ධන) මස්සිනා ඔප්පුවේ තීරු හා පිඹුරුපත් පරික්ෂා කොට බලා එය නිර්ව්‍යාජ පෞද්ගලික ඉඩමක් බවට ව්‍යාපාරිකයාට නිර්දේශ කළේය. ව්‍යාපාරිකයා රුපියල් 5,326,000 ක මුදලක් ගෙවා හිමිනමගෙන් (දෙහිවල දර්ශිකාරාමයේ දුවවලගම පියවිසිද්දු හිමි) එම ඉඩම මිලදි ගත්තේය. ඔප්පුව ලියවා ගත්තේ ද සරත් සෙනෙවිරත්නගේ නීතිඥ මස්සිනා ලවාය.

තමා වංචාවකට හසුවී තිබෙන බව ව්‍යාපාරිකයා දැනගත්තේ ඉඩමේ සන්තකය භාරගෙන කටු කම්බි ගැසීමට ඉඩමට ගිය අවස්ථාවේදිය. පන්සලේ දායකයන් ඔහු වට කොටගෙන එම ඉඩම සාංඝීක ඉඩමක් බව කියාපෑම නිසා ඔහුට නැවත වෙනත් නීතිඥයකු ලවා ඔප්පු පරික්ෂා කරවා ගන්නට සිදුවූ අතර, තමා වංචාවකට හසුවී තිබෙන බව ඔහු තේරුම් ගත්තේය. ව්‍යාපාරිකයා හිමිනමට, නියෝජ්‍ය මහා භාරකාරයාට හා ඔහුගේ නීතිඥ මස්සිනාට එරෙහිව දෙහිවල පොලිසියට හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළත්, සාධාරණයක් ඉටු නොවූ තැන ඒ වන විට සිවුරු අතහැර සිටි හිමිනමට (ළමා හේවගේ පියල් ශාන්ත) එරෙහිවත්, නියෝජ්‍ය මහා භාරකාරයාට, ඔහුගේ නීතිඥ මස්සිනාට එරෙහිවත් 1998 දෙසැම්බර්වලදි ගම්පහ දිසා අධිකරණය ඉදිරියේ නඩු පවරන ලදි. (නඩු අංකය 3689රැිච)

නියෝජ්‍ය මහාභාරකාරයාට එරෙහිව එල්ල වී තිබුණු සියලු චෝදනා නොසලකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුව මහා භාරකාර ධුරය ඉසිලූ පුද්ගලයා විශ්‍රාමයෑමෙන් පසුව මෙම තක්කඩි මිනිසා මහාභාරකාර ධුරයට ගෙනාවාය.

මහාභාරකාර ධුරයට පත්වීමෙන් පසු ඔහු හිතේ හැටියට බඩපිණුම් ගසන්නට වූයේය. මහාභාරකාර දෙපාර්තමේන්තුව ධන ආකරයකි. තමන්ගේ බූදල් භාර පවත්වාගෙනයෑමේ බලය මහාභාරකාර දෙපාර්තමේන්තුවට පවරා දුන් ධානපතියන් ජීවතුන් අතර නැත. එයින් ලැබෙන නිදහස උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් එම බාරවල තිබෙන ධනය සිත් සේ ගසා කන පිළිවෙතක් අනුගමනය කළේය.

මහා භාරකාර දෙපාර්තමේන්තුව විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත් දෙපාර්තමේන්තුවක් වී තිබීම ඔහුට එම ආයතනය සිත්සේ ගසාකෑමට තිබුණු එක් බාධාවක් වූ අතර, එය වළකා ගැනීම සඳහා ඔහු තමන්ගේ සමීප මිතුරකු වී සිටි එවකට නීතිපතිව සිටි සරත් නන්ද සිල්වා මහතාගෙන් ආධාර ලබා ගත්තේය. නීතිපති විගණකාධිපතිවරයාට දෙන ලද අර්ථ නිරූපණයක් මගින් මහාභාරකාර දෙපාර්තමේන්තුව විගණනය කිරීමේ අයිතියක් විගණකාධිපතිවරයාට ඇතත්, එම දෙපාර්තමේන්තුව යටතේ ඇති පෞද්ගලික භාර විගණනය කිරීමේ අයිතියක් විගණකාධිපතිවරයා සතු නොවන බව ප්‍රකාශ කළේය. ඒ සමග විගණකාධිපතිවරයාගෙන් එල්ල වන අභියෝගයකින් තොරව නිදහසේ භාරවල තිබෙන ධනය උලාකෑමේ නිදහස මහා භාරකාරයාට ලැබුණේය.

මහා භාරකාර දෙපාර්තමේන්තුව පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල පරික්ෂණ කමිටුව 1996 සිට 2000 වසර දක්වා ම දෙපාර්තමේන්තුව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් විගණනය කර නැති බව සිය වාර්තාවේ සඳහන් කර තිබේ. ඊට හේතුව නීතිපතිවරයා එම දෙපාර්තමේන්තුව පිළිබඳව ලබාදි තිබුණු එම අර්ථනිරූපණයයි. නීතිපතිවරයා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුත් මහා භාරකාරයා සමීප මිතුරකු ලෙස අගවිනිසුරු ඇසුරු කළේය. අගවිනිසුරුවරයා වෙනුවෙන් රට පුරා බෝධි පූජා පැවැත්වීමේ වගකීම පැවරි තිබුණේ මහා භාරකාරයාටය.

රාවය චාටුවෙන් නිහඬ කළ නොහැකි බව තේරුම් ගත් මහාභාරකරයා තමන් පිළිබඳව රාවය කරන විවේචනවලට ලැබෙන වටිනාකම වාෂ්ප කොට එම විවේවචනය නිසාම තමාට අලුත් වටිනාකමක් ලබාගැනීමට හේතුවන වැඩපිළිවෙළක් සැලසුම් කොට එය ක්‍රියාවට නගන ලදි.

ඔහු වර්ල්ඩ් විෂන් සංවිධානයේ ඉලක්ක බවට පත්වී සිටින්නේ යැයි කියන පුද්ගල නාම ලැයිස්තුවක් සකස් කළේය. ඊට තමන්ගේ නම ද ඇතුළත් කරගත්තේය. සකස් කළ එම නාමලේඛනයට අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ නම පමණක් නොව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි බණ්ඩාරනායකගේ නම ද ඇතුළත් විය. ඊට අතිරේකව නෙරන්ජන් විජේරත්න, එන්. පානබොක්ක, අයි.එම්. නවරත්න, මල්කාන්ති චන්ද්‍රසේකර, එල්ලාවල මේධානන්ද හා ගංගොඩවිල සෝම හිමි යන අයගේ නම් ද ඊට ඇතුළත් කළේය. මෙම පුද්ගලයින්ගේ චරිත ඝාතනය කොට, ඔවුන් විනාශ කිරීම සඳහා වර්ල්ඩ් විෂන් සංවිධානය රුපියල් ලක්ෂ 124ක මුදල් වෙන් කර ඇති බව පෙන්නුම් කරන හා ඒ මුදල් එක් එක් පුද්ගලයා සඳහා වෙන්කර තිබෙන ආකාරය විස්තර කරන සටහනක් ද සකස් කළේය. එය බැලු බැල්මට වර්ල්ඩ් විෂන් සංවිධානය සකස් කරන ලද රහස්‍ය සටහනක පිටපතකි. ඉන්පසු විවිධ කාර්ය භාරයන් සඳහා වර්ල්ඩ් විෂන් සංවිධානය විටින් විට විවිධ පුද්ගලයින්ට මුදල් ගෙවා ඇති බව පෙන්නුම් කරන ලේඛනයක් ද සකස් කළේය. ඒ ලේඛනය අනුව රාවයේ මාධ්‍යවේදින් තිදෙනෙකු ද ගෙවීම් ලබාගෙන තිබේ. මේ ලේඛනය ඔහු බෞද්ධාගම ගැන උනන්දුවක් දක්වන අය අතට පත් කළේය. නාමලේඛනයට ඇතුළත් පුද්ගලයන් තුළ බියක් හා විශ්මයක් ඇති කරවන අතර ඒ චරිතවලට කැමති අය හෝ ඔවුන්ගේ අනුගාමිකයන් සිටින්නේ නම්, ඔවුන් තුළ ද බියක් හා විශ්මයක් ඇති කිරීම මගින් තමා ද ඇතුළුව නාමලේඛනයට ඇතුළත් සියලු දෙනා බෞද්ධ නායකයින් ලෙස පල්ලියේ ඉලක්ක වී ඇති බව පෙන්නුම් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ විය. අප සොයාගත් තොරතුරු අනුව එම ලේඛනය මහාභාරකාරයා විසින් නිර්මාණය කරන ලද ලේඛනයක් වනවා පමණක් නොව, වර්ල්ඩ් විෂන් සංවිධානයෙන් ගෙවීම් ලබාගෙන ඇති බව එහි සඳහන් පුද්ගලයන් ද ව්‍යාජය.

මෙම ලේඛනයේ තුන් පොළක රාවය ගැන සඳහන් වී තිබුණි. ඒ අනුව කුමාර හෙට්ටිආරච්චි නමැති පුද්ගලයෙකු රුපියල් 5000ක් ද, ලක්ෂ්මී කුලතුංග නමැති තැනැත්තියක් රුපියල් 10,000ක් ද, රාවයෙන් කරගනු ලැබූ මුද්‍රණ කටයුත්තක් සඳහා ලංකා වසන්ත නමැති පුද්ගලයෙකුට රුපියල් 38,000ක් ද ගෙවා තිබුණි.

කුමාර හෙට්ටිආරච්චි කෙනෙකු හෝ ලක්ෂ්මී කුලතුංග කවදාවත් රාවයේ සේවය නොකළේය. කුමාර හෙට්ටිආරච්චි කවියෙකි. ඔහු ජීවත් වන්නේ ලංකාවේ නොව ඇමරිකාවේය.

ගංගොඩවිල සෝම හිමිගේ අභාවය නිසා ඇතිව තිබුණු අර්බුදයේදි එතෙක් හොර හරසේ පවත්වාගෙන ගිය මෙම වැඩපිළිවෙළ කළඑළියේම කෙරෙන වැඩපිළිවෙළක් බවට පත්කර ගත්තේය. ගංගොඩවිල සෝම හිමියන්ට ඇතිවූ ඉරණම මහජන සැකයට හේතුවී තිබුණු අවස්ථාවේදි එම අවස්ථාව තමන් වීරයන්වීමට අවස්ථාවක් කරගැනීම සඳහා මෙම කූට ලේඛනය ලක්ෂ ගණනින් මුද්‍රණය කරවා ජනතාව අතර බෙදාහැරියේය. මෙම නාමලේඛනයට ඇතුළත් එක් පුද්ගලයෙකු පල්ලිය විසින් බිළිගත් බව පෙන්වන අතර, එම නාමලේඛනයට ඇතුළත් අන් අයගේ ජීවිත තිබෙන්නේ ද අනතුරුදායක තැනක යන හැගීම මහජනතාව අතර වපුරා තමන් ගැන කියන කිසිවක් විශ්වාස නොකරන තැනක මහජනතාව තබා ගැනීම මහාභාරකාරයා දියත් කර තිබුණු එම කූට වැඩපිළිවෙළේ අරමුණ විය.

මෙම හාස්‍යජනක රංගනය හොර රහසේ බෙදාහැරෙන කැලෑ පත්තරවලට සීමා නොවූ බව ද කිව යුතුය. මහාභාරකාරයාගේ කුණු සේදිම සඳහා දිවයින පුවත්පතේ මනෝජ් අබේධීර මහාභාරකාරයා ගරු කටයුතු ශ්‍රේෂ්ඨ පුද්ගලයකු බව කියාපෑමට හා ඔහුට චෝදනා එල්ල කරන්නේ සංවිධානාත්මක බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් විසින් බව කියාපෑමට පිටුවක් තරම් දිග ලිපියක් ලියා පළ කළේය. (2003 සැප්. 07 – ඉරිදා දිවයින) ඒ සමග විවිධ නම්වලින් බෞද්ධ පත්‍රිකා හා පුවත්පත් ද පළවිය.

බෞද්ධ මාධ්‍ය කේන්ද්‍රය නමින් පළවූ පත්‍රිකාවක මහාභාරකාරයා පිළිබඳව ලියා තිබුණේ මෙසේය.

““මෙතුමා ඉතා හොඳ බෞද්ධයෙකි. ලංකාවේ විහාරස්ථාන ස්ථාවර ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය භාර පිහිටුවමින්, බෞද්ධ පොතපත ප්‍රකාශයට පත්කරමින් කටයුතු කිරීම විජාතික අන්‍යාගමික බලවේගවලට මහත් හිසරදයකි. විජාතික අන්‍යාගමික බලවේග මහාභාරකාර දෙපාර්තමේන්තුවේ ඇතුලේ කිහිපදෙනෙකු අල්ලාගෙන මහාභාරකාරතුමාට අපහාස කර එතුමා එතතින් එළවා දැමීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත. රාවය පුවත්පත මෙහි ඒජන්තවරයාය. රාවය පුවත එතුමාට එරෙහිව එල්ල කරන සියලු චෝදනා අසත්‍ය ඒවාය.””

එහෙත් මහාභාරකාරයාට මේ පෙරහැර තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමට හැකිවූයේ නැත. මහා භාරකාරයා විසින් සිදුකරන ලද මහා පරිමාණයේ වංචාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද පරීක්ෂාවට ලක්වෙමින් තිබුණි. මෙම ආයතන දෙක මහා භාරකාරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබුණේ දෙපාර්තමේන්තුව සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 1312ක මුදලක් ප්‍රමුඛ බැංකුවේ තැන්පත් කොට ඒ වෙනුවෙන් 1,914,525ක පගාවක් ලබාගැනීමේ සිද්ධියකට අදාළවය. මියගිය දානපතියන් විසින් සමාජ සේවා කටයුතු වෙනුවෙන් මහාභාරකාර දෙපාර්තමේන්තුවේ භාරයට පවරා තිබෙන භාර ගණන 750ක් වන අතර, බූදල් ගණන 200කට ආසන්නය. සමරකෝන් බූදලය සතුව තිබෙන තැන්පතුවල වටිනාකම පමණක් රුපියල් කෝටි 135 ද ඉක්මවයි. ඔහු එම ධනයෙන් රුපියල් ලක්ෂ 1312ක් ප්‍රමුඛ බැංකුවේ තැන්පත් කොට, ඒ වෙනුවෙන් රුපියල් 1,914,525ක පගාවක් ලබාගත්තේය. අවසානයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙම තක්කඩි මිනිසාට එරෙහිව මහාධිකරණය වෙත අධි චෝදනා පත්‍ර 07ක් ඉදිරිපත් කරන ලද අතර, ඒ සමග ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට අමාත්‍යාංශ ලේකම්වරයාට සිදුවිය.

දැන් ඔහු වෙනුවෙන් කෑගසන්නට කිසිවෙක් ඉතිරි වී නැත. මනෝජ් අබේධීරලා ද නිහඬය.

මහා භාරකාර සරත් සෙනෙවිරත්න පිළිබඳ අත්දැකීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණයට අදාළ වැදගත් ප්‍රශ්න ගණනාවක් මතු කරන බව කිව යුතුය.

1. දූෂණ චෝදනා මත අධිකරණ සේවයෙන් පලවා හැරීමට නියමිතව සිටි පුද්ගලයෙක් මහා භාරකාර දෙපාර්තමේන්තුවට පැනගන්නට සමත් වූයේ කෙසේද? ඔහු ගැන බලධාරීන්ට පැමිණිලි කිරීමේ වගකීමක් හිටපු අගවිනිසුරු පාරින්ද රණසිංහ මහතාට ද, ඔහු පිළිබඳ පරික්ෂණ මෙහෙයවූ විශ්‍රාමලත් විනිසුරු ලෙස්ලි අබේසේකර මහතාට ද තිබුණේය. එහෙත් ඒ දෙදෙනාම ඒ යුතුකම ඉටුකර නැති බව පෙනේ.

2. නියෝජ්‍ය මහාභාරකාරයා වශයෙන් හිමිනමක් සමග එකතු වී වංචනික ලෙස සාංඝීක ඉඩමක් ව්‍යාපාරිකයාට විකිණීමේ සිද්ධියේදි දෙහිවල පොලිසිය හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළේය.

3. පරික්ෂණ කමිටුවේද අවධානයට යොමුවී ඇති මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතේ ඇති භාර විගණනය කිරීමට විගණකාධිපතිවරයාට තිබුණු අයිතිය අක්‍රීය කිරීමට හේතුවන අර්ථ නිරූපණයක් නීතිපතිවරයා විසින් දෙන ලද්දේ ඇයි? එහි සිදුවී තිබෙන මහා පරිමාණයේ දූෂණවලට එය ද හේතුවක් වී ඇත්නම් ඊට හිටපු නීතිපතිවරයා වගකිවයුතු නැද්ද?

4. මහාභාරකාරවරයාට එල්ල වී තිබෙන චෝදනා වලින් ඔහු නිදහස් කිරීම සඳහා ප්‍රකට ජනමාධ්‍යවේදියෙකු පෑන හැසිරවූයේ ඇයි? මේ මනුස්සයා අවංක මිනිසකු යැයි අවංකව සිතූ නිසාද? නැත්නම් ඒ වෙනුවෙන් ලබාගත් වෙනත් ලාභ ප්‍රයෝජනයක් නිසාද? වංචාකාරයෙකුගේ පැවැත්ම තහවුරු කිරීම නිසා රටට සිදුවී තිබෙන අලාභයට එම ජනමාධ්‍යවේදියා වගකිවයුතු නැද්ද?

5. මෙම මහාභාරකාරයා තක්කඩියෙකු බව හා ඔහු එහි තිබෙන ධනය උලාකමින් තිබෙන බව රාවය හෙළිදරව් කරන ලද්දේ 2001දිය. බලධාරීන් 2005 අවසානය තෙක්ම ඔහු සම්බන්ධයෙන් ඇස් කන් පියාගෙන සිටින පිළිවෙතක් අනුගමනය කළේ ඇයි?