සාම සාකච්ඡා සහ සමසභාපතිවරුන්ගේ නිවේදනය

October 29, 2026
Publication:
Both sides went to Oslo because international pressure left them nothing else to do, and the Co-Chairs' statement is a sharp criticism of both. Ivan reads it as a charge that neither side takes its own undertakings seriously, and sets beside it a Court of Appeal ruling of startling reach: no act of the president, official or private, may be challenged, questioned or made the subject of a complaint or a case.

දෙපාර්ශ්වයම ඔස්ලෝ ගියේ මේසයක වාඩිවී සාකච්ඡා කොට ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය වූ නිසා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ල වූ බලපෑම තුළ එසේ කරනවා හැර කරන්නට වෙනත් දෙයක් නොතිබුණු නිසාය.

සමසභාපති මණ්ඩලය නිකුත් කළ නිවේදනයෙන් එල්ටීටීඊ ගමන් මඟ ගැන සේ ම ආණ්ඩුවේ ගමන් මඟ ගැන ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණ ඉතාමත් තියුණුය.

එය ශ්‍රී ලංකාව, ආණ්ඩුව හා එල්ටීටීඊය යන දෙපාර්ශ්වයම වෙත එල්ල කරන ලද තියුණු විවේචනයක් ලෙස ද සැලකිය හැකිය. දෙපාර්ශ්වය තමන් වෙත පැවරී තිබෙන වගකීම් ඉටුකිරීමට උනන්දුවක් නොදක්වන බව තමන්ගේ පිළිගැනීම බව එය ප්‍රකාශ කර තිබේ. නිමක් නැතිව සිදුවෙමින් තිබෙන ත්‍රස්තවාදී ප්‍රහාරවලට එල්ටීටීඊය වගකිවයුතු අතර, ශ්‍රී ලංකා රජය කරුණා පාර්ශ්වය හා ඊපීඩීපී සංවිධානයේ ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම්වලට වගකිවයුතු බව ද ප්‍රකාශ කර තිබේ.

දෙපාර්ශ්වයම තමන් විසින් කරනු ලබන ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් අතහැර සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳාගන්නා තැනකට නොයන්නේ නම්, ශ්‍රී ලංකාව වඩා විශාල අර්බුදයක් කරා තල්ලුවීම නොවැළැක්විය හැකි බව ද එය ප්‍රකාශ කරයි.

එහි තිබෙන ඉතාමත්ම වැදගත් නිරීක්ෂණය වන්නේ තමන්ට ශ්‍රී ලංකාවට සාමය ළඟාකරදීමේ හැකියාවක් නැති බවත්, එය ශ්‍රී ලාංකිකයන් විසින්ම කරගත යුතු දෙයක් බවත් තමන්ට කළ හැක්කේ එම ප්‍රයත්නයට ආධාර කිරීම පමණක් බවත්ය.

මෙම අර්බුදයට ලබාදෙන විසඳුමක් ශ්‍රී ලංකාවේ අඛණ්ඩභාවය ආරක්ෂා කරන විසඳුමක් විය යුතු බව සේ ම දෙමළ ජනතාවගේ නීත්‍යානුකූල අපේක්ෂා ඉටු කරන්නක් හා රටේ සියලුදෙනාට පිළිගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී හා මානව හිමිකම් ආරක්ෂා කරන විසඳුමක් වියයුතු බවත් ප්‍රකාශ කරයි. එම ප්‍රකාශනයේ එන නිරීක්ෂණවලින් පැහැදිලිව පෙන්නුම් කෙරෙන්නේ දෙපාර්ශ්වයටම ලෝක ප්‍රජාවට හැංඟි හොරා කිසිවක් කළ නොහැකි බවය. •

විය හැක්කේ කුමක්ද?

ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එල්ල වන පීඩනය සලකා සාම සාකච්ඡා සඳහා ඔස්ලෝ ගිය පමණකින් මේ අර්බුදය විසඳෙන්නේ නැත. ඒ සඳහා දෙපාර්ශ්වයටම විසඳුමක් සඳහා වන දැක්මක් ද එය දිනාගැනීම සඳහා වන අධිෂ්ඨානයක් හා කැපවීමක් ද තිබිය යුතු ය.

යුද්ධයක් මගින් කෙටිකාලීනව එල්ටීටීඊය පරාද කිරීම පහසු නොවනවා සේ ම එවැනි ක්‍රියාමාර්ගයකට ඉන්දියාව ඉඩ දෙන්නේද නැත. අනෙක් අතට එල්ටීටීඊයට ශ්‍රී ලංකා රාජ්‍යය යුදමය වශයෙන් පරාජය කිරීමේ හැකියාවක් නැති අතර, වෙනම රාජ්‍යයක් ඇතිකර ගැනීමට ඉන්දියාවෙන් ඉඩ ලැබෙන්නේ ද නැත. ඒකීය ව්‍යවස්ථා රාමුවක් යටතේ බලය විමධ්‍ය ගත කරන වැඩපිළිවෙළක් එල්ටීටීඊයට විකිණිය නොහැකිවා සේ ම, සන්නද්ධ හමුදා පවත්වාගෙන යාමේ අයිතිය ලැබෙන කොන්ෆෙඩරල් විසඳුමක් ශ්‍රී ලංකා ආණ්ඩුවට විකිණීමේ හැකියාවක් එල්ටීටීඊයට ද නැත.

මේ දෙපාර්ශ්වයම සිටින්නේ අන්තවාදී ස්ථාවර දෙකකය. විසඳුමක් ඇති කරගැනීමට නම් ආණ්ඩුව තමන්ගේ දැඩි ස්ථාවරය සේ ම එල්ටීටීඊයට ද තමන්ගේ දැඩි ස්ථාවරය විශාල ප්‍රමාණයකට වෙනස් කළ යුතුය. •

ආණ්ඩුවේ ගමන් මඟ

රටේ පවතින අවුල් විසඳාගැනීමේ වැඩි වගකීම ඇත්තේ ආණ්ඩුවටය. දේශපාලන හා මතවාද වෙනස්කම් තිබියදීත් ආණ්ඩුව එල්ටීටීඊයේ ද විරුද්ධ පක්ෂවල ද ගෞරවයට හේතු වන ලෙස ක්‍රියානොකරන්නේ නම්, ආණ්ඩුවට මේ අර්බුදවලට විසඳුමක් ඇතිකර ගැනීමේ හැකියාවක් ද නැත.

ආණ්ඩුව ශක්තිමත් ගමනක් ආරම්භ කොට ශක්තිමත්ව ඉදිරියට ගමන් ගනිමින් තිබෙන බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා ක්‍රියාකරන තැනකට යාම ආණ්ඩුව කර තිබෙන වැරදි අතර තිබෙන ලොකුම වරද ලෙස සැලකිය හැකිය.

රාජ්‍යය නමැති කෝච්චිය ගමන් කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති පීල්ලේය. පීල්ලේ ගමන් කරනවාට වඩා පීල්ලෙන් පිට පැන ගමන් කිරීම වඩා පහසු යැයි සලකා ක්‍රියාකරන තැනකට පත්වුවහොත් එය ආණ්ඩුවකට තිබෙන සුජාතභාවය සිය කැමැත්තෙන් අත්හැරියා හා සමාන වන්නේය.

එවැනි ගමනක් නීතියේ පාලනයෙන් තොර තත්ත්වයක් ඇති කිරීමට හේතුවනවා සේ ම, සදාචාරාත්මක අර්ථයෙන් එල්ටීටීඊය සමඟ ශක්තිමත් ලෙස ගනුදෙනු කිරීමට තිබෙන හැකියාව ද නැතිවන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා ක්‍රියාකරන ආණ්ඩුවක් ජාත්‍යන්තර ප්‍රජාවට පෙනෙනු ඇත්තේ රස්තියාදුකාර ආණ්ඩුවක් ලෙසය. තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා නොසලකා ක්‍රියාකරන රාජ්‍යයක් කෙරෙහි අප විශ්වාසය තබන්නේ කෙසේද යන ප්‍රශ්නය තීරණාත්මක අවස්ථාවකදී බලවත් ආකාරයකින් මතු කිරීමේ හැකියාව ප්‍රභාකරන්ට ද ලැබෙනු ඇත්තේය. •

අධිකරණයේ ගමන් මඟ

රටක අධිකරණයේ ස්වාධීනත්වයේ තරම උරගා බැලීමකට ලක්වනුයේ සාමාන්‍ය නඩු කටයුතුවලදී නොව, විධායකයේ අයථා ක්‍රියාකාරකම් මුල් කොටගෙන මතුවන ආරාවුල් පිළිබඳව ඇසෙන නඩු විභාගවලදීය. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොසලකා ස්වාධීන කොමිෂන් සභාවලට ජනාධිපතිවරයා විසින් පුද්ගලයින් පත් කිරීමට එරෙහිව යහපත් ආණ්ඩුකරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය විසින් අභියාචනාධිකරණය ඉදිරියේ ගොනු කරන ලද පෙත්සම අලුතෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය උරගා බැලීමකට ලක් කෙරුණු වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

අභියාචනාධිකරණය දී තිබෙන තීන්දුව අපූරුය.

එම තීන්දුව අනුව ජනාධිපතිවරයා නිල වශයෙන් කළ හෝ පෞද්ගලික වශයෙන් කරන කිසිම ක්‍රියාවක් අධිකරණය ඉදිරියේ අභියෝග කළ නොහැක. ප්‍රශ්න කළ නොහැක. එසේම ජනාධිපතිවරයාට එරෙහිව කිසිම පැමිණිල්ලක් ද කළ නොහැකිය. නඩුවක් පැවරීම ද කළ නොහැකිය. ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (3) වගන්තියේ සඳහන් වේ. එම වගන්තියෙන් එම කටයුතුවලින් ජනාධිපතිවරයා ආරක්ෂා කර තිබෙන අතර, ඒ බව නඩු තීන්දුවලින් ද තහවුරු වී තිබේ.””

මෙම නඩු තීන්දුව අනුව ජනාධිපතිවරුන්ට රටේ නීතියට පිටින් ක්‍රියාකළ නොහැකිය. එහෙත් ජනාධිපතිවරුන් එසේ කරන්නේ නම් උසාවියට කරන්නට දෙයක් නැත. ඒ ප්‍රශ්නයට විසඳුම් දෙන්නට අධිකරණයට පුළුවන්කමක් නැත.

මෙය රටේ ජනතාව අසරණභාවයට තල්ලු කළ විධායක ජනාධිපතිවරයාට හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය බලයක් ලබාදෙන ඉතාමත් පසුගාමී නඩු තීන්දුවක් ලෙස සැලකිය හැකිය.

මේ සමාන නඩුවක් මීට මාස 8කට පමණ පෙර ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග විය. නඩුවට නිමිත්ත වී තිබුණේ ජනාධිපතිවරයා විසින් පත් කරන ආණ්ඩුකාරවරයෙකු ප්‍රාන්ත රාජ්‍යයන් විසුරුවා හැරීමට ගනු ලැබූ තීරණයක් පිළිබඳවය. ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකි. ජනාධිපතිවරයාට තිබෙන මුක්තිය ඔහු විසින් තමන්ගේ නියෝජිතයින් ලෙස පත් කරනු ලබන ආණ්ඩුකාරවරුන් කෙරෙහි ද බලපායි.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ මුක්තියේ ආවරණය ලද පුද්ගලයින් තමන්ට ලැබී තිබෙන මුක්තියට මුවාවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි නම් එවැනි ක්‍රියාකාරකම් දෙස නිශ්ශබ්දව බලා සිටීමේ හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැති බවය. මුක්තියේ ආවරණය නොසලකා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුකාරවරයාගේ නියෝගය බල රහිත කළේය.

මුක්තිය නිසා ජනාධිපතිවරයෙකු කරන මොනම ක්‍රියාවක්වත් අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකිය යන ආස්ථානයට පැමිණෙන්නේ නම්, ධුර කාලය සම්පූර්ණවීමෙන් පසු අවශ්‍ය නම් ජනාධිපතිවරණයකට නොගොස් තවදුරටත් බලයේ රැඳී සිටීමේ අයිතිය ද ජනාධිපතිවරයෙකුට ලැබෙන්නේය. එවැනි කරුණක්වත් උසාවිය ඉදිරියේ ප්‍රශ්න කිරීමේ හැකියාවක් නැත. ජනතාව එවැනි ප්‍රශ්නයක් බේරාගත යුත්තේ මහ පාරේය.

ශ්‍රී ලංකාවේ රාජ්‍යයේ වේගවත් පරිහානිය කෙරෙහි බලපා තිබෙන එක් වැදගත් සාධකයක් වී ඇත්තේ අධිකරණයයි. බලයට පත්වන පාලකයින් බරපතළ වැරදි කරන අවස්ථාවලදී ඒවා වැළකීමේ වගකීම ඇත්තේ අධිකරණයටය. අධිකරණය එම වගකීම ඉටුකිරීම පැහැර හරියි නම් ඒ වෙනුවට අධිකරණය විධායකයේ දේශපාලන අතකොලුවක් ලෙස ක්‍රියාකරයි නම්, රට අයාලේ යන තත්ත්වයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය. අපේ රටට සිදුවී තිබෙන්නේ ද එයයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීකම අහිමි කරගැනීමෙන් තොරව වෙනත් පක්ෂයකට මාරුවිය නොහැකිය. එහෙත් පක්ෂ මාරු කළ කිසිම මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීකම් අහිමි වී නැත. එයින්ද පෙන්නුම් කෙරෙන්නේ රට ගමන් ගනිමින් තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති පීල්ලේ නොව අන් මගක බවය.

ඒ වරද සිදුවී ඇත්තේ ද අධිකරණයේ පූර්ණ අනුග්‍රහය ඇතිවය. •

සර්ව පාක්ෂික සමුළුව

දකුණේ සියලු දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික සමුළුවක් ලෙස එකට ඒකරාශි කිරීමට හැකිවීම වැදගත් ජයග්‍රහණයක් ලෙස විස්තර කරනු ලැබේ. එය වැදගත් ජයග්‍රහණයක් වනු ඇත්තේ එය ඉඳහිට ජනාධිපති මන්දිරයේදී එකට එකතු වන කථා සාප්පුවකින් ඔබ්බට ගිය, රටේ ගමන් මගෙහි යහපත් වෙනසක් ඇතිකරලීමට හේතුවන වැඩපිළිවෙළක් වෙනුවෙන් අධිෂ්ඨානශීලීව ක්‍රියාකරන සර්වපාක්ෂික සමුළුවක් වේ නම් පමණය.

එහෙත් මේ සර්ව පාක්ෂික සමුළුව එවැනි තැනකට යන්න හදන සමුළුවක් බව පෙනෙන්නට නැත.

මව්බිම බේරා ගැනීම

“මව්බිම අනතුරේ, රට බේරාගත යුත්තේ කෙසේද?” එය ජනතා විමුක්ති පෙරමුණ රට වටේ පවත්වන්නට යන සම්මන්ත්‍රණ මාලාවක් සඳහා ප්‍රසිද්ධ කොට තිබෙන පෝස්ටරයකට ඇතුළත් පාඨයකි.

මව්බිම අනතුරේ බව කියන විට ඔවුන් ඉන් අදහස් කරන්නේ මව්බිම අනතුරට ලක් කරන විදේශ කුමන්ත්‍රණයක් ඇති බවය. ඒ කුමන්ත්‍රණයෙන් රට බේරාගැනීමේ වැඩපිළිවෙළක් ඇත්තේ තමන්ට බව කියන්නටය.

මව්බිම අනතුරට ලක්ව ඇත්තේ විදේශ කුමන්ත්‍රණ නිසා නොව රටේ ජීවත්වන අයගේ මෝඩකම් නිසාය. මව්බිම අනතුරකට ලක්ව ඇත්නම් ඊට වගකිවයුත්තේ විදේශිකයින් නොව ස්වදේශිකයින් වන අපය. අපි අපේ රටේ කටයුතු ප්‍රශස්ථ ලෙස කරගෙන යාමට අසමත්ව සිටිමු. ඒ නිසා රට අවුල් ජාලාවක් බවට පත්වී තිබේ. මේ අවුලට ජවිපෙ ද වගකිව යුතුය. මව්බිම අනතුරේ නම් ඒ ගැන රට වටේ රැස්වීම් පවත්වා කතා කරන්නට පෙර පාර්ලිමේන්තු පක්ෂයක් වශයෙන් ජවිපෙ වගකීම වන්නේ පාර්ලිමේන්තු විවාදයකට යාමය. එල්ල වී තිබෙන අනතුර කුමක්ද? එය එල්ල වී තිබෙන්නේ කාගෙන්ද? එය ජයගත යුතුව තිබෙන්නේ කෙසේද යන කාරණා පළමු කොට කතා කළ යුත්තේ ව්‍යවස්ථාදායකයේය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ එම ප්‍රශ්න ව්‍යවස්ථාදායකයේ කතා කරන්නට කැමති නැත. වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නේ ප්‍රශ්න කිරීමකින් තොරව ඒකපාර්ශ්විකව මහජනතාවට දේශන ලෙස ඉදිරිපත් කරන්නටය. •