ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය

September 1, 1987
Publication:

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙන කවරදාවත් නොවූ තරම් අර්බුදයකට යොමු වී තිබෙන බව පෙනේ. උතුරේ විනාශ වී තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කළ යුතුව ඇත්තේ දකුණේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් නොවේ. උතුරේ විනාශ වී තිබෙන සාමය යළි ඇතිකළ යුත්තේ දකුණේ තිබෙන සාමය විනාශ කරමින් නොවේ.

උතුරට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දිය යුතුයි. එහි සාමය හා සමාදානය ඇති කළ යුතුය. එහෙත් ඒ වෙනුවෙන් දකුණේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය උදුරා ගතයුතු නැත; ඒ වෙනුවෙන් දකුණේ තිබුණු සාමය හා සමාදානය නැති කළ යුතු ද නැත. එහෙත් දැනට කටයුතු සිදුවෙමින් තිබෙන්නේ නම් ඒ ආකාරයටය.

මේ රටේ පුරවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදී මාර්ග ඔස්සේ ආංඩුවට පක්ෂ වීමට හෝ විපක්ෂ වීමට අයිතියක් තිබේ. ආංඩුවටද ආංඩු විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් කෙරෙන් එල්ලවන අභියෝගයන් ප්‍රජාතන්ත්‍රවාදීව මෙල්ල කිරීමට අයිතියක් තිබේ. එහෙත් කිසිම පුරවැසියෙකුට ප්‍රජාතන්ත්‍රවාදී නොවන මාර්ග වලින් ආංඩුවට විරුද්ධ වීමට අයිතියක් නැතුවා සේම, ආංඩුවටද ආංඩු විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ප්‍රජාතන්ත්‍රවාදී නොවන මාර්ග වලින් මෙල්ල කිරීමටද අයිතියක් නැත. එහෙත් අද රටේ ඒ දෙකම සිදුවේ. එය තවදුරටත් වර්ධනය වීමෙන් ඇතිවිය හැකි එකම ප්‍රතිඵලය ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වීමයි.

මේ ප්‍රශ්නයේදී වඩාත්ම චෝදනා එල්ල විය යුත්තේ ආංඩුවටය. ආංඩුව සිය බලය ආරක්ෂා කර ගැනීම පිණිස ආංඩු විරෝධී බලවේගයන්ට ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාකිරීමට තිබෙන ඉඩප්‍රස්ථා සීමාකරන විට එම බලවේගය තුළ සිටින වඩාත් සටන්කාමී කොටස් ප්‍රජාතන්ත්‍රවාදී නොවන මාර්ග වලට තල්ලු වේ. ආංඩුව එවැන්නන්ගේ පැවැත්ම හේතුවක් කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල ක්‍රියා හා අනුකූල නොවන ක්‍රියා ත්‍රස්තවාදය නැමැති පොදු ලේබලය යටතේ මර්දනය කරනවිට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පවත්නා අර්බුදය ද උග්‍රවේ. ප්‍රජාතන්ත්‍රවාදය බිල්ලට දී බලය රැකගැනීමේ උත්සාහයන්ගෙන් ලැබෙන ප්‍රතිඵලය බලය බිල්ලට දී ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට දරන උත්සාහයන්ගෙන් ලැබෙන ප්‍රතිඵලවලට වඩා බෙහෙවින් ශෝචනීය වීම නොවැළැක්විය හැකිය.