කොළඹ නගරයට දැනටමත් වසංගතයක් වී තිබෙන කැසිනෝ සූදුව සංචාරක හෝටල් ඔස්සේ රට පුරාම ව්යාප්ත කිරීමේ වෑයමක් දැන් ක්රියාත්මක වෙමින් පවතී. සංචාරක හෝටල් කරුවන් කැසිනෝ සූදු පොළවල් පවත්වා ගෙන යාමට අවශ්ය අනුමැතිය සංචාරක මණ්ඩලයෙන් ඉල්ලා ඇති අතර එයට සංචාරක මණ්ඩලයෙන් ලැබී තිබෙන පිළිතුර වී ඇත්තේ තමන් ප්රතිපත්තියක් වශයෙන් සූදුව අනුමත නොකරන මුත් ඒවා (සූදු පොළවල්) පවත්වා ගෙන යාමට අවහිරයක් නැති බවය.
ලංකාවේ සංචාරක ව්යාපාරය කඩා වැටී තිබෙන විශේෂ තත්වය තුළ දැන් සංචාරක හෝටල් කරුවන්ගේ ප්රධාන ගැනුම් කරුවන් වී ඇත්තේ විදේශීය සංචාරකයින් නොව ස්වදේශිකයන්ය. ඔවුන් නිති පතා පුවත් පත් දැන්වීම් වලින් අමතන්නේද ස්වදේශිකයින්ටය. ඔවුන් තමන්ගේ මේ අලුත් ගැනුම් කරුවන්ට රස මුසු යුරෝපීය ආහාර සපයනවාට අමතරව අනාචාරය සඳහා අඩුමිලකට කාමර බදුදීමෙන් විශාල ආදායමක් උපයන බව රහසක් නොවේ. කොළඹ නගරයේ හෝටල් වලට එන ව්යාපාරිකයන් සතුටු කොට තමන්ට අවශ්ය අතිරේක ආදායම් උපයා ගැනීම පිණිස ඒවාට එන කාන්තාවන් අතර කොළඹ නගරයේ ප්රසිද්ධ විද්යාලවල ගුරුවරියන්ද සිටින බව කියවෙන පුවතක් පසුගිය දිනක එංගලන්තයේ පළ කෙරෙන South සඟරාවේ පළවී තිබිණ.
හෝටල් කරුවන් තම හෝටල් වල නිල නොවන ගණිකා නිවාස පවත්වා ගෙන යාමෙන් පමණක් තෘප්තිමත් වීමට කැමති නැති බව පෙනේ. දැන් ඔවුන්ට ඒ වැනිම සූදු පොළවල් පවත්වා ගෙන යාමට අවශ්ය වී තිබෙන අතර ඒ සියල්ලටම නිහඬව ඉඩ දීමට රටේ බලධාරීහුද සූදානම්ය.
අපි මේ යමින් සිටිනුයේ කොතැනටද? එහි කෙළවර කුමක්ද? ලංකාව පුංචි බැංකොක් නගරයක් බවට පත් කිරීම ලංකාවේ තිබෙන දැවෙන ප්රශ්නවලට තිබෙන පිළිතුර ලෙස පාලකයින් සිතනවාවත් ද?