වෙළෙඳ පොළේ විකිණීමට තිබෙන සමහර කිරිපිටි වර්ග වල අනුමත මට්ටමට වඩා විකිරණ තිබෙන බැවින් ඒවා මිල දී ගැනීමෙන් වළකින ලෙස දෙසැම්බර් කලාපයෙන් අපි රටට කීවෙමු. ඒ ගැන පාර්ලිමේන්තුවේ දී ද ප්රශ්න කරනු ලැබීය. එහෙත් අදාළ අංශවල බලධාරීහු නිහඬ සිටිති.
ලංකාව පවත්වාගෙන යන මට්ටම (කිලෝ ග්රෑමයක් සඳහා බෙකරල් 20) බෙහෙවින් පහත් බැවින් අනවශ්ය බියක් ඇති කරගැනීමට හේතුවක් නැති බව ආහාර ද්රව්ය සඳහා යුරෝපීය රටවල් පවත්වාගෙන යන මට්ටම් වෙත ඇඟිල්ල දිගු කොට බලශක්ති අධිකාරිය රටට කියන විට ඔවුන් ගේ වුවමනාව ජනතාව ආරක්ෂා කිරීමට ද එසේත් නැත්නම් පිළිකා විකුණන ව්යාරම්කරුවන් ආරක්ෂා කිරීමට ද යන ප්රශ්නය නිතැතින් ම පැන නගී.
යුරෝපය, චර්නබිල් අනතුරට ඍජු ලෙස ගොදුරු වීම තුළින් විශාල වශයෙන් දූෂ්ය වූ කලාපයකි. එම විශේෂ තත්ත්වය තුළ එම රටවල නිපදවන ආහාර ද්රව්ය දීර්ඝ කාලයක් යන තෙක් මුළුමනින් ම විනාශ කිරීමේ පිළිවෙතක් අනුගමනය කිරීමට ඔවුන්ට පුළුවන් කමක් නැත. මෙම අති විශේෂ තත්ත්වය තුළ ආහාර සඳහා වන විකිරණ මට්ටම “සාමාන්ය නොවන” ඉහළ මට්ටමක පවත්වා ගෙන යාමට ඔවුන්ට සිදු විය. අනතුරට විශාල වශයෙන් ගොදුරු වීමේ හේතුව තුළ ඔවුන් ඇති කරගත් “සාමාන්ය නොවන ඉහළ මට්ටම” දැන් ඔවුන් සඳහා වන “සාමාන්ය” මට්ටම බවට පත්ව තිබෙන අතර එම “විශේෂිත සාමාන්ය” සමඟ අනතුරට ගොදුරු නොවූ රටක “සාමාන්ය” සමඟ සසඳා බියවීමට හේතුවක් නැතැයි කීම, ඇත්ත තත්ත්වය වැරදි ලෙස සරල කිරීමක් නොවන්නේ ද? මෙහි දී සැසඳීමක් කිරීම අවශ්ය වේ නම් අප පවත්වාගෙන යන “සාමාන්ය” සැසඳිය යුත්තේ දැන් ඔවුන් විශේෂිත තත්ත්වයන් තුළ පවත්වා ගෙන යන “සාමාන්ය” සමඟ නොව විශේෂිත තත්ත්වය ඇති කිරීමට කලින් පැවති “සාමාන්ය” ය සමඟ ය. එහි දී ද එම රටවල් ලංකාව මෙන් නොව පරමාණු බලාගාර විශාල සංඛ්යාවක් පවත්වා ගෙන යන්නේය යන කාරණය සැලකිල්ලට ගැනීමට සිදු වේ.
චර්නබිල් අනතුරට ගොදුරු නොවූ රටවල් සමඟ සසඳන විට ලංකාව සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක් පවත්වා ගෙන යන්නේ ය යන කාරණය බොරු කළ නොහැකි ය. සිංගප්පූරුව ඇතුළු රටවල් විශාල සංඛ්යාවක් යුරෝපීය රටවලින් කරනු ලබන ආහාර ආනයනය අත්හිටුවීම තුළ “සහනදායක මට්ටමකින්වත්” පිළිකා මිල දී ගැනීමට කැමති නැති රටවල් විශාල ප්රමාණයක් මේ ලෝකයේ තිබෙන බව ඔප්පු වේ. අනෙක් අතට ලංකාව එම රටවල ආහාර ආනයනයට ඉඩ දෙන රටවල් අතරින් ද පහළ ම තත්වයක නොසිටී. තායිවානය පවත්වා ගෙන යන මට්ටම ලංකාව පවත්වා ගෙන යන මට්ටමට සමානය. තායිවානය පරමාණු බලාගාර පවත්වා ගෙන යන රටකි. එබඳු රටක් පවත්වා ගෙන යන මට්ටමට සමාන මට්ටමක පරමාණු බලාගාර නැති රටක් සිටීම තුළ ලංකාව සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක් පවත්වා ගෙන යන බව ඔප්පු වේ.
මෙහි ඇති භයානකම දේ වනුයේ විකිරණ වල ඇති අනතුරුදායක බව වසන් කිරීමයි. කිලෝ ග්රෑමයක් සඳහා බෙකරල් 20 අනුපාතය අනතුරුදායක නොවේ යයි කියන්නේ කෙසේ ද? ඒ තුළ ද කිසියම් අනතුරුදායක බවක් පවතී. විද්යාත්මක මතය වනුයේ එයයි. එසේ නම් එම අනතුරුදායක බව නොකියා එම ආහාර පාරිභෝගිකයා වෙත යොමු කිරීම වරදක් නොවන්නේ ද?
ජනතාවට තමන් ගේ ආරක්ෂාව සඳහා කළ හැකි හොඳම දේ කිරිපිටි පමණක් නොව යුරෝපයෙන් ආනයනය කෙරෙන සියලු ආහාර වර්ග වර්ජනය කිරීමේ ප්රතිපත්තියක් අනුගමනය කිරීමයි. මුදල් දී පිළිකා මිල දී ගැනීමේ තේරුම කුමක් ද?