සමාජ රෝගවල වේගවත් වර්ධනය රටේ සංවර්ධනය යොමු වී තිබෙන දිසාව හා එහි වේගය පෙන්නුම් කරන ප්රධාන දර්ශකයක් බවට පත්ව තිබේ. තිබෙන සමාජ රෝග ගොන්නට අලුතෙන්ම එකතු වී තිබෙන දායාදය වී ඇත්තේ ඒඩ්ස් වසංගතයයි.
සංචාරකයන් මගින් ඒඩ්ස් රෝගය ලංකාවට ඒමට තිබෙන ඉඩකඩ ගැන කතාබහට ලක් වූ මුල්ම අවධියේ දී ඒඩ්ස් පිළිබඳව පරීක්ෂණ වාර්තාවකින් තොරව කිසිම සංචාරකයකුට ලංකාවට ඒමට ඉඩ නොදෙන බවට වගකිව යුත්තන් ගාම්භීර ස්වරයකින් කරන ලද කතා ජනතාව රැවටීම හා අස්වැසීම සඳහා කියන ලද බොරුවක් පමණක් බව දැන් ඔප්පු වී හමාරය. මේ සියලු නීති රීති ඇත්තේ ලංකාවෙන් බැහැර යන ශිෂ්ට නොවන ලාංකික අප සඳහා පමණි. බටහිර රටවලින් ලංකාවට එන ශිෂ්ටාචාරයේ නියමුවන්ට ඒ නීති කිසිවක් වලංගු නැත. වසංගතයක් වුව ද එය එන්නේ විනිමය සමග නම් ඕනෑම වසංගතයක් බාර ගැනීමට අප සූදානම් ය. මේ දීන ආකල්පය වෙනුවෙන් දැනටමත් අප ගෙවා තිබෙන වන්දිය සුළුපටු නැත. ආරම්භයේදී හෙරොයින් ඇරඹුණේ ද සුළු වශයෙනි. දැන් ඇබ්බැහි වී සිටින්නන්ගේ ගණන පමණක් 50000 ක් පමණ වේයැයි කියති. ඒඩ්ස් ගැන අනාගතයේ අසන්නට ලැබෙන ප්රතිඵල ද ඒ හා සමාන වන්නට බැරි නැත. වෛරසයේ වේගවත් ව්යාප්තියකට උචිත සමාජ ආර්ථික පරිසරයක් රට තුළ පවතී. බීජය වැටී ඇත්තේ නිසරු පොළොවකට නොව හොඳින් සකස් කොට තිබුණු සරු පොළොවකටය.
සමාජ රෝග ව්යාප්තියට අදාළ සංඛ්යා රටේ පවතින සමාජ ආර්ථික ක්රමයට අභියෝගයන් වෙමින් පවතින අතර එයට පිළියමක් වශයෙන් දැන් ඊට අදාළ සංඛ්යා ප්රසිද්ධ කිරීමෙන් වැළකී සිටිය යුතු බවට සමාජ රෝග මර්දන අංශයට අලුත් නියෝගයක් නිකුත් කර තිබේ.
සමාජය බරපතළ ලෙස කුණුවී තිබෙන බව දැන ගැනීමට වෛද්ය වාර්තාව අවශ්ය නැත. එය තේරුම් ගැනීමට ඉන් නැගෙන බලවත් දුගඳ පමණක් වුවත් ප්රමාණවත් ය. සමාජ රෝග අංශයේ අධිපතිවරයා කලින් ප්රකාශ කර තිබෙන පරිදි වැඩිහිටි ජනගහනයෙන් හැම පහළොවකටම එක් අයෙක් සමාජ රෝගියෙකි. රූපවාහිනී සමග ඒ හා සමාන වේගයකින් සමාජ රෝග ද ව්යාප්ත වෙමින් පවතී. සමාජ රෝග වාට්ටුව ඉඩ මද බව කියන කතුවැකියක් රජයට සම්බන්ධ පුවත් පතක පළ විය. මත්ද්රව්ය රෝගීන්ට තිබෙන වාට්ටුවේ ඉඩ මද බව ද තවත් පුවත් පතක පළ විය. බන්ධනාගාර ඉඩ මද බවත් අලුතෙන් එක්වන්නන් ගෙන් 25% ක් ම මත්ද්රව්ය වලට සම්බන්ධ අය බවත් තවත් පුවත් පතක සඳහන් විය.
සුරාව සූදුව හා දුරාචාරය සංවර්ධනයේ ප්රධාන ලීවරය කොට ගෙන තව දුරටත් ඉදිරියට යමු නම් රෝහල් හා බන්ධනාගාර පමණක් නොව තිබෙන මිනී පිට්ටනි ද ඉඩ මදි බව කියන්නට වන දිනය වැඩි ඈත නොවන්නට බැරි නැත.