පරපුරක් නැති ජාතියක්

September 1, 1986
Publication:

අපි වේගයෙන් පරපුරක් නැති ජාතියක් බවට පත්වෙමින් සිටිමු. තරුණ පරපුර කඳන් මිස හිස් නැති පුස්සන් පිරිසක් බවට පත් කිරීමේ විනාශකාරී වෑයමක් දැන් කලක පටන් රටතුළ ක්‍රියාත්මක වෙමින් පවතී. ජන සන්නිවේදන මාධ්‍යයන් ද දැන හෝ නොදැන හෝ ඔවුන්ගේ අත කොලු ලෙස ක්‍රියා කරමින් සිටී.

හෙරොයින් ඇබ්බැහියට එරෙහිව කතා කරන ජාතික පුවත්පත් විසින්ම “හෙරොයින් සංස්කෘතික විලාසිතා” රසකර කර රටට හඳුන්වාදීමේ තේරුම කුමක් ද? “පන්ක් විලාසිතා” රටට හඳුන්වා දීම වෙනුවෙන් ඔවුන් එකිනෙකාට එරෙහිව බරපතල තරඟයක යෙදී සිටින බවක් පෙනේ. ඒ සඳහා ඔවුහු විශේෂ අතිරේක ද නිකුත් කරති. පන්ක් සංස්කෘතිය යනු හෙරොයින් වලට ඇබ්බැහි වූ “ජන්ක්කීන්ගේ ම” සංස්කෘතික ප්‍රවනතාවයකි. ඒ ගැන කිසිවක් නොකියාම “පන්ක් විලාසිතා” රසකර කර රටට කියා දීමෙන් මොවුන් කරනු ලබන්නේ අනියම් ලෙස ජාතිය හෙරොයින් වලට නැඹුරු කිරීම නොවේද?

කාම ප්‍රකාශන සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරමින් සිටින ප්‍රතිපත්තිය ද ඊට දෙවෙනි නැත. ඒවාට විරුද්ධ බව කියමින්ම ඒ සඳහා වන වෙළෙඳ දැන්වීම් වලින් තම පිටු පුරවා ගනී. කාම ප්‍රකාශන ගැන ඔවුන් කරන විවරණ ද භයානකය. ඔවුහු ඉතා සියුම් ලෙස ප්‍රශ්නය සාමාන්‍යකරණයකට ලක් කිරීමෙන් නොනැවතී ඇඟට පතට නොදැනී සාමූහික ලිංගිකත්වය වැනි රටට නොගැලපෙන බටහිර සංකල්ප ද රසබර ලෙස හඳුන්වා දෙමින් සිටිති.

දැනටමත් රටේ තරුණ පරපුරෙන් වැඩි කොටසක් විනාශ කොට හමාරය. හෙරොයින් වලට ඇබ්බැහි වූ, ඇඟ විකිණීම වෘත්තියක් කොටගත් හා සමාජ රෝග වලට ගොදුරු වූ තරුණ තරුණියන්ගේ ගණන කතා කිරීමට සිදු වී ඇත්තේ සිය ගණනින් නොව දහස් ගණනින් හා දස දහස් ගණනිනි. ඉතිරිවී සිටින නොදරුවන් ද ඒ මඟටම යොමු කිරීමේ වගකීම ජාතිය විසින් කාම ප්‍රකාශන පළ කරන කාම මහාචාර්ය වරුන්ට පවරා දී තිබේ.

රටේ නීතියක් තිබේ. එහෙත් මේ විනාශයට එරෙහිව එය ක්‍රියා කරන බවක් නොපෙනේ. ඊට හේතුව ජාතිය මේ විනාශය කැමැත්තෙන්ම අපේක්ෂා කරන නිසා විය හැකිය. අපි අනාගතයක් ගැන නොසිතන “රකින්නට පරපුරක් නැති” තකතිරු ජාතියක් වෙමු ද?