චෙස් ක්‍රීඩාව නගරබද සුපිරි පාසැල්වලට පමණක් සීමා කර තිබීම අවාසනාවන්ත තත්වයකි. තරුණ තරුණියන් කෙරෙන් ආත්ම සංයමය ගිලිහී යමින් තිබෙන මෙබඳු අවදියක ආත්ම සංයමයකින් යුතු හා ගැඹුරින් හිතන මතන තරුණ පිරිසක් ඇති කිරීමෙහිලා චෙස් ක්‍රීඩාවෙන් ලැබිය හැකි පිටුබලය ඉතා විශාලය. මේ ක්‍රීඩාව එක්තරා ආකාරයකට ශාස්ත්‍රීය හා සෞන්දර්යාත්මක භාවනාවකට සමානය. සම්භාව්‍ය ශාස්ත්‍රීය සංගීතයට හුරුවීමෙන් ලබාගත හැකි හික්මීමට සමාන හික්මීමක් චෙස් ක්‍රීඩාවෙන්ද ලැබිය හැකිය. චොක්ලට් මෙන් එය ඉක්මනින් ආධුනිකයා ග්‍රහණයට ගන්නා අතර ඔහු නොදැනුවත්ම ඔහු තුළ ආත්ම සන්යමයක් සේම ගැඹුරින් කරුණු සලකා බැලීමේ නුවණක්ද ඇති කරයි. අනෙක් අතට එය තරුණ වයසේ අය අතර පවත්නා ආවේගාත්මක හා ප්‍රචණ්ඩකාරී හැඟීම් හිංසාකාරී නොවන ලෙස මුදාහැරීමට මගක් ලබාදෙයි.
චෙස් ක්‍රීඩාව පෙරදිග අපට අද බටහිරින් ඉගෙන ගැනීමට සිදුවී ඇතත් බටහිරුන් එය ඉගෙන ගෙන ඇත්තේද පෙරදිග අපෙනි. නූතන ලංකාවේ එය ඉංග්‍රීසි භාෂාව කථාකරන සුළු පිරිසකට සීමා වී ඇතත් පැරණි ලංකාවේ එය බෞද්ධ භික්ෂූන්වහන්සේලා අතර ජනප්‍රියව පැවති බවට සාධක තිබේ. චෙස් ක්‍රීඩාවෙන් ගම්‍ය වන දර්ශනයද බොහෝ දුරට පෙරදිග දර්ශනවාදයට සමීපය.
ක්‍රීඩාව, ක්‍රීඩකයින් දෙදෙනකු අතර එකිනෙකාට එරෙහිව මෙහෙයවෙන යුද්ධයකට සමානය. මාරුවෙන් මාරුවට කලු සුදු වර්ණයෙන් යුතු චෙස් පෙත කොටු 64 කින් යුතුය. යුද්ධය සිදුකෙරෙන භූමිය එයයි. දෙපසටම ඉත්තන් 16 දෙනකු බැගින් යුතු හමුදා දෙකක් ලැබේ. මේ හමුදාව රජ කෙනෙකු (කිංග්) ගෙන්ද, රැජින (ක්වීන්) කගෙන්ද, රූක්වරුන් දෙදෙනෙකුගෙන්ද, බිෂොප් වරුන් දෙදෙනෙකුගෙන්ද, නයිට්වරුන් දෙදෙනකුගෙන්ද, පාද සෙබලුන් ලෙස සැලකිය හැකි පෝන්වරුන් 8 දෙනෙකුගෙන්ද යුතුය. එක් පසක ඉත්තන් සුදු වර්ණයෙන්ද, අනෙක් පස ඉත්තන් කලු වර්ණයෙන්ද යුතුය. මේ වෙනස් ඉත්තන් ගමන් ගන්නා ආකාරය එකිනෙකට වෙනස්වන අතර වටිනාකම්ද සාපේක්ෂ වේ. රජු (කිංග්) පමණක් නිරපේක්ෂ අගයකින් යුතුය. මෙහිදී සිදුකරන හැම ඇදීමක්ම සමස්ත පිහිටුමේ වෙනසක් ඇති කරන ගැටලුවකි. සරලව වන අතර සමහර ගැටලු සංකීර්ණය. ඉත්තන් ඔවුන්ගේ ස්වරූප අනුව කිසියම් විශේෂ වටිනාකමකින් යුතුවන අතර මුත් ඔවුන්ගේ අගයන් ඒවාහි පිහිටුම අනුව වෙනස් වේ. මේ ක්‍රීඩාවෙන් ගලා එන දර්ශනය බෞද්ධ දර්ශණයේ එන නාමරූප ධර්මයන්ගේ අනිත්‍යතාවය නොහොත් වෙනස්වීම අපට සිහිගන්වයි. චෙස් ධර්මතාවයට ආවේණික මේ සංකීර්ණ බව හා තර්කානුකූල බව බොහෝ බටහිර දාර්ශනිකයින්ගේද සිත් පැහැරගත් ලක්ෂණයක් වී තිබේ. ඇල්බට් හක්ස්ලි චෙස්ලැල්ල ලෝකයටත්, ඉත්තන් ලෝකයේ තිබෙන ප්රපංචයන්ටත්, චෙස් නීතිරීති හා න්‍යාය ධර්ම ස්වභාව ධර්මයේ නීතිරීති හා න්‍යාය ධර්මයන්ටත් සමාන කර තිබේ. ශ්‍රේෂ්ඨ භාෂාමය දර්ශණවාදියෙකු ලෙස සැලකෙන ලුඩ්විග් විට්ගන්ස්ටයින් භාෂාමය දර්ශණවාදය පිළිබඳව වන තම ප්‍රවාදය විස්තර කොට ඇත්තේ චෙස් විධික්රමය හා ධර්මතාවය ආශ්‍රය කොට ගෙනය.
චෙස් ක්‍රීඩාවේදී අහඹුව නොවැදගත්ය. වැදගත් වනුයේ තර්කානුකූලව බව හා ඒ සඳහා අවශ්‍ය ආත්ම සංයමයයි. හැම ඇදීමක් සමස්ත පිහිටුමේ වෙනසක් ඇතිකරන ගැටලුවකි. මෙහිදී ක්‍රීඩකයාට සන්ශ්ලේෂණය හා විශ්ලේෂණය උපයෝගී කර ගනිමින් තිබෙන සියලු හැකියාවන් සලකා බැලීමට සිදුවේ. චෙස් ක්‍රීඩාවට ආවේණික මේ විශේෂ ලක්ෂණය මනෝවිද්‍යාඥයන්ගේ විශේෂ අවධානයට යොමුවී තිබෙන අතර ඒ පිළිබඳව ඔවුන් කිහිප දෙනෙකු විසින්ම කරන ලද අධ්‍යයනයන්ගේ පොදු නිගමනය වී ඇත්තේ තර්කානුකූල බව හා ආත්ම සන්යමය චෙස් ක්‍රීඩකයින් අතර ඉතා ඉහළ මට්ටමක තිබෙන බවය.
විශේෂ භාෂාවක් (අංකන ක්‍රමයක්) තිබීම චෙස් ක්‍රීඩාවට ආවේණික තවත් කැපී පෙනෙන විශේෂ ලක්ෂණයකි. මේ නිසා හැම ඇදීමක්ම සටහන් කිරීමට පුලුවන්කම ලැබී තිබෙන අතර ඒ නිසා එම සටහන් ආශ්රයෙන් නැවත කවර දිනක වූවද තරඟ ක්‍රීඩාව සිදුවී තිබෙන ආකාරය ඒ ආකාරයෙන්ම සලකා බැලීමට පුලුවන්කම ලැබී තිබේ. නිදර්ශණයක් වශයෙන් කාපොව් කැස්පරොව් හටන නැරඹීමට රූපවාහිනිය වෙත යෑමට අවශ්‍ය නොවන අතර එම තරඟ සටහන් ආශ්රයෙන් තරඟය සිදුවූ ආකාරය ඒ ආකාරයෙන්ම නැරඹිය හැකිය. මේ අංකන ක්‍රමය නිසාම ක්‍රීඩාව දෙදෙනෙකු අතර එකිනෙකා අභිමුව සිදුවිය යුතු ක්‍රීඩාවකට සීමා නොවී ලෝකයේ දෙකොනක සිටින දෙදෙනෙකු අතර වුවද තැපැල් මගින්, දුරකථන මගින්, ගුවන් විදුලි පනිවුඩ මගින් හා වෙනත් නවීන පනිවිඩ හුවමාරු ක්‍රම මගින් සිදුකල හැකි ක්‍රීඩාවක් බවට පත්ව තිබේ. නිදර්ශණයක් වශයෙන් සෝවියට් අවකාශ යානයක් අවකාශගත කරන ලද අවස්ථාවකදී යානයේ සිටි නියමුවා අවකාශයේ සිට පොළොවේ සිටින තවත් කෙනෙකු සමග චෙස් ක්‍රීඩාවක යෙදුණේය.
විශේෂ භාෂාවක් තිබීම හා ගැඹුරු න්‍යාය ධර්මවලින් පෝෂණය වී තිබීම යන කාරණා හේතු කොට ගෙන චෙස් ක්‍රීඩාව පුළුල් සාහිත්‍යයකට හිමිකම් කියන ක්‍රීඩාවක් වී තිබේ. එය සතු සාහිත්‍යය වෙනත් කිසිම ක්‍රීඩාවක් සතු නොවන තරම් විශාලය. ආරම්භක න්‍යායවාදයන්, මැද ක්‍රීඩාව, අග ක්‍රීඩාව හා චෙස් ගැටලු ගැන ලියවී ඇති පොත්පත් ගණන දහස් ගණනකි. චෙස් ක්‍රීඩාව පිළිබඳව ලියවී ඇති වැඩිම පොත් එකතුව ඇමරිකා එක්සත් ජනපදයේ ක්ලීව්ලන්ඩ් පුස්තකාලය සතුය. එහි තිබෙන පොත්පත්, වාර්ෂික සඟරා හා අත් පිටපත් සංඛ්‍යාව 20000 කි.
මිනිස් මොළය හා යාන්ත්‍රික මොළය අතර දැන් සිදුවෙමින් පවතින ගැටුම වඩාත්ම හොඳින් පිළිබිඹු කෙරෙන ක්ෂේත්රය වී ඇත්තේද චෙස් ක්ෂේත්රයයි. හැම ඇදීමක්ම පිහිටුමේ වෙනසක් ඇති කරයි. එහිදී ඇතිවන සියලු ශක්‍යතා ගණන් බැලීමක් කිරීමට පියවි මිනිස් මොළයට පුලුවන්කමක් නැත. එහෙත් එය දියුණු කොම්පියුටර් වලට කල හැකිය. ලෝකයේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින්ගේ අත්දැකීම් හා න්‍යාය ධර්ම කැටිකොට තනන ලද දියුණු කොම්පියුටර් ඇතත් මිනිසා අභිබැවීමට තවමත් ඒවාට හැකිවී නැත. මිනිසා විද්‍යාවේ හා තාක්ෂණයේ ආධිපත්‍යයට යටත් වහලකුව සිටියදී චෙස් ක්ෂේත්රය තුළ පමණක් තවමත් මිනිසා විද්‍යාව හා තාක්ෂණය අභිබවා ඉදිරියෙන් සිටී.
Editor’s Note: From the monthly Ravaya magazine, August 1986 (p. 35, continued on p. 27), the period before Ravaya became a weekly newspaper. Chess was a lifelong interest: Ivan learned the game in prison after 1971 and later wrote චෙස් මූලධර්ම හා තාක්ෂණය (1994), still the main Sinhala handbook on the game, see Books & Publications. The “Karpov–Kasparov battle” is the series of world championship matches between Anatoly Karpov and Garry Kasparov, the third of which was being played in London and Leningrad as this issue appeared. The comparison of the chessboard to the world, its pieces to the phenomena of the universe and its rules to the laws of nature is from the Victorian biologist T. H. Huxley; the magazine prints the name as “Albert Huxley”. The cosmonaut game is the match played from Soyuz 9 in June 1970. The Cleveland library is the John G. White Collection at Cleveland Public Library, still the largest chess library in the world. Ivan’s closing claim that computers could not yet beat the best human players held until Deep Blue beat Kasparov in 1997.