තුන්වෙනි බලවේගයක් රටට අවශ්‍යයි

June 25, 1983
Publication:
Ivan accuses Sri Lanka of spending its scarce capital on the trappings of development — televisions, washing machines, imported luxury foods, new cars — while people die of malaria, diarrhoea and malnutrition, Colombo's water carries disease, and patients in remote areas are carried for miles on men's shoulders. He sees the same "development" eroding the national character, from mothers selling infants to the exodus of women to the Middle East. With neither government nor opposition willing to act, he calls on thoughtful people, and the writers and artists already resisting in the cultural field, to build an honest third political force.

දැඩි සන්තාපයකින් යුතුව විනාශය කරා යන ජාතියක් වේනම් ඒ අපි වෙමු. අපේ රට ප්‍රාග්ධන අවශ්‍යතාවයන් ගෙන් අඩු රටක් නොවේ.

ප්‍රාග්ධනය අපට හිඟ සම්පතකි. එහෙත් අපි එය වර්ධනය කරගත හැකිවන ලෙස කාර්යක්ෂම ලෙස යොදා ගන්නවා වෙනුවට ප්‍රාග්ධන අතිරික්තයක් සහිත රටවල් භුක්ති විඳින සැප සම්පත් අත්කර ගැනීම සඳහා කබාසිනියා කර දමමින් සිටිමු.

දියුණුවේ විවිධ බාහිර ලක්ෂණ අත්පත් කරගැනීමට අද අපට හැකිවී තිබේ. අද අපට රූපවාහිනී යන්ත්‍ර, වායුසමීකරණ යන්ත්‍ර හා රෙදි සෝදන යන්ත්‍ර වැනි දියුණු සුඛෝපභෝගී යන්ත්‍ර සූත්‍ර ද සුඛෝපභෝගී ඇඳුම් පැළඳුම් හා ආහාර පාන ද නවීන පන්නයේ යාන වාහන ද තිබේ. නැත්තේ රොබෝ මිනිසුන් පමණි.

මේ සියල්ල නරක නැත. එහෙත් ඊට කලින් අපගේ ප්‍රාථමික අවශ්‍යතාවයන් සපුරා ගෙන තිබීම වැදගත්ය. ප්‍රාථමික අවශ්‍යතාවයන් පවා සම්පූර්ණ නොවූ තත්වයක් තුළ ඒ සඳහා යොදාගත යුතුව තිබෙන ප්‍රාග්ධනය දියුණුවේ සමහර බාහිර ලක්ෂණ අත්පත් කර ගැනීම සඳහා යොදා ගනිමු නම් එය බලවත් ජාතික අපරාධයකි. එම අපරාධය අද රට තුළ සුළු වශයෙන් නොව මහා පරිමාණයෙන් සිදුවෙමින් තිබේ.

මැලේරියාව, පාචනය වැනි වසංගත රෝග රට පුරා පැතිර යමින් පවතී. එම රෝග නිවාරණය සඳහා අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය හිඟවීම නිසා මේ වනවිට එම රෝගවලින් මිය යන අයගේ සංඛ්‍යාව සිය ගණනකි. බොහෝවිට මිය යන්නේ ගම්බද අග හිම්කම්වලින් පෙලෙන දිළිඳු ජනයාය. අත්‍යවශ්‍ය නොවන සැප සම්පත් වෙනුවෙන් කෝටි ගණන් වැය කරන අපට ඉතා සුළු වියදමකින් ජීවත් කළ හැකි එම රෝගී ජනයා නොවැදගත් වී ඇත්තේ අප වැදගත් කොට සලකන ටෙලිවිෂන් යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර වැනි දෑ අත්පත් කර ගැනීමට ඔවුන් ශක්තියක් නැති පිරිසක් වන නිසාද?

කොළඹ නගරය තුළ බෙදාහරින ජලයේ බෝවෙන රෝග ඇති කරන විෂබීජ වර්ග ඇති බව සොයා ගෙන තිබේ. එහෙත් එම ජලය පිරිසිදු කිරීමකින් තොරවම නගර වැසියන් අතර බෙදා දෙනු ලැබේ. කඩිනම් මහවැලිය වැනි යෝධ සංවර්ධන ව්‍යාපාර ගැන පුරාජේරු කතා කරන අපට නගර වැසියනට බෙදා දෙන ජලයේ ඇති විෂබීජ විනාශ කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට ශක්තියක්වත් නැත!

නවීන පන්නයේ සුඛෝපභෝගී යාන වාහනවලින් නගරවල මාර්ග අතුරු සිදුරු නැතිව පිරී ඇත්තේය. එහෙත් මාර්ග පහසුකම් නැතිකම නිසා අසාධ්‍ය රෝගීන් පවා සැතපුම් ගණන් කරපිටින් ගෙනයාමට සිදුවී තිබෙනා නොදියුණු ප්‍රදේශ කොතරම් ප්‍රමාණයක් රටේ තිබේද? අත්‍යවශ්‍ය නොවන ආනයනය කළ සුඛෝපභෝගී ආහාර පානවලින් නගරවල සුපිරි වෙළඳසැල් පිරී ඉතිරී ගොස් ඇත්තේය. එහෙත් මන්දපෝෂණය හා දුර්පෝෂණය නිසා රටේ මිය යන අයගේ සංඛ්‍යාව එම සුඛෝපභෝගී ආහාර පාන වළඳන අයගේ සංඛ්‍යාවට වඩා වැඩිය.

අත්‍යවශ්‍ය නොවන දියුණුවේ සමහර බාහිර ලක්ෂණ අත්පත් කරගන්නට ගොස් ජාතික ජීවිතයේ තිබුණු හොඳම ලක්ෂණ පවා අපි නැතිකර ගනිමින් සිටිමු. මිනිසුන් අතර පැවැති අන්‍යොන්‍ය දයාව, කරුණාව තබා මව්වරුන් තුළ දරුවන් කෙරෙහි ඇති සහජ ලැදියාව පවා අද නැතිවෙමින් පවතී. බිළිඳුන් විකුණන මව්වරුන් අද සුලභ දර්ශනයක් බවට පත්වෙමින් තිබේ. තම බිළිඳු දරුවා තමන්ට මැද පෙරදිග යාමට තිබෙන බාධාවක් ලෙස සලකා මවක් එම දරුවා මරා ළිඳක දැමීම පිළිබඳ සංවේග ජනක පුවතක් මේ නොබෝදා පුවත්පත්වල පළ වී තිබුණි. අතීතයේදී අවමානයක් කොට සැලකු ගණිකා වෘත්තිය පවා මේ වන විට නම්බුකාර දෙයක් බවට පත්ව තිබේ. ගෘහසේවිකාවන් ලෙස මැද පෙරදිග යන ස්ත්‍රීන්ට බොහෝවිට ඔවුන්ගේ ස්වාමිවරුන්ගේ ලිංගික අවශ්‍යතාවයන් ඉටුකිරීමට සිදුවන්නේය යන සත්‍ය දැන දැනම තම ස්වාමිපුරුෂයන්ගේද අනුදැනුම ඇතිව මැද පෙරදිග යන්නට පෙරමග බලාසිටින මව්වරුන්ගේ සංඛ්‍යාව සුළු පටු නැත.

සංවර්ධනයේ නාමයෙන් රට විනාශවෙමින් පවතී. එහෙත් ඊට එරෙහිව කරන ප්‍රබල දේශපාලන සටනක් රටේ නැත. මේ වනවිට දේශපාලනයද අන් හැම දෙයක්ම බරපතල ජාවාරමක් බවට හැරී තිබීම ඊට හේතුව විය හැකිය.

අපි, අප රට අතීතයෙන් නොව අනාගතයෙන් ණයට ගත්තකි. අපි එය සාධාරණ පොලියක් ද සමග අනාගතයට ආපසු භාරදිය යුතුය. එහෙත් මේ තත්වය මේ ආකාරයෙන් තව දුරටත් පැවතුනහොත් අපට අනාගතයට දෙන්නට ඉතුරුවනු ඇත්තේ කිසිම වටිනාකමක් නැති මළ කෑ සුන්බුන් ගොඩක් පමණි.

අපි අපේ රට ආරක්ෂා කරගත යුතුය. අද ගැන පමණක් නොව හෙට ගැනද සිතිය යුතුය. මිනිසා ජීවත් කරවීම යනු පොහොසතුන් ටික දෙනාට ඉන්නට ඉඩදී නැති බහුතර ජනයා අසරණ තත්ත්වයට පත් කිරීම නොවේ. සුඛෝපභෝගී සැප සම්පත් නරක නොවේ. එහෙත් ඊට කලින් අද රටේ පවතින දුප්පත්කම හා නොදියුණුකම තුරන් කළ යුතුය.

එහෙත් මෙම ජාතික යුතුකම පාලක පක්ෂය ඉටු නොකරයි නම්, ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමට නිල විරුද්ධ පක්ෂවලට අවංක වුවමනාවක් හෝ ශක්තියක් නොමැති නම් එම ජාතික යුතුකම ඉටුකිරීම සඳහා කැපවුණු අවංක හා ප්‍රබුද්ධ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගැනීම සඳහා ඉදිරියට ඒම රටගැන ජනතාව ගැන ගැඹුරු අවබෝධයක් හා කැක්කුමක් ඇති ප්‍රබුද්ධ මිනිසුන්ගේ යුතුකම විය යුතුය.

අද රටේ පවතින විනාශකාරී තත්වයට එරෙහිව දේශපාලන ක්ෂේත්‍රය තුළ කෙරෙන ප්‍රබල අරගලයක් නැතත් සංස්කෘතික ක්ෂේත්‍රය තුළ නම් ඒ සඳහා දුබල අරගලයක් පවතී. එම ක්ෂේත්‍රයේ විවිධ අංශවලට අයත් උගතුන් තර්ජන ගර්ජනවලට නොබියව ඒ නිසා විය හැකි කරදර නොසලකා බුද්ධිමතුන් වශයෙන් තමන් කළ යුතුව තිබෙන ජාතික යුතුකම ඉටු කරමින් සිටී. මේ නව ප්‍රවණතාව තුළ අද දේශපාලන ක්ෂේත්‍රයෙහි පවත්නා හිඩැස පිරවීමට අවශ්‍ය නව දේශපාලන ව්‍යාපාරයක බීජ අඩංගු වී පවතී. ඔවුන් තමන් කරමින් සිටින එම කීර්තිමත් අරගලය පටු රාමුවක් තුළ හිර නොකොට අද හදිසි ජාතික අවශ්‍යතාවයක්ව තිබෙන තුන්වෙනි දේශපාලන බලවේගයක් ගොඩනැගීම දක්වා ඉදිරියට ගෙන යයි නම් දේශපාලනය පිළිබඳව තමන් තුළ ඇති පිළිකුල හා අවිශ්වාසය නිසා උදාසීන තත්වයකට වැටී සිටින ජනතාව ප්‍රබුදුවා විනාශය කරා ගමන් කරමින් සිටින රටත් ජනතාවත් ඉන් මුදා ගැනීමට ඔවුන්ට හැකිවෙනවා ඇත.

Editor’s note: Published in Divaina on Saturday 25 June 1983, page 10, under the column label “ආකල්ප විකල්ප” (“Attitudes and Alternatives”) and the byline “Victor Ivan Podi Athula”, a month before the anti-Tamil violence of July 1983. It is an early statement of the idea of a “third force” outside both main parties, which Ivan returned to throughout his career, as in his October 2014 call for a “third social movement”. “කඩිනම් මහවැලිය” is the Accelerated Mahaweli Development Programme, the government’s flagship irrigation and hydropower project of the time. The passages on mothers selling infants and on housemaids in the Middle East reflect the large-scale migration of Sri Lankan women for domestic work that began after 1977.