සම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරයේ පරිහානිය හා ජනතා විමුක්ති පෙරමුණ (2)

May 5, 1982
Publication:
Concluding his two-part essay, Ivan contrasts the JVP's leaders with the founders of the traditional left: rural, poor and educated only in Sinhala, drawn to Marxism by hardship rather than conviction, and already showing the self-interest they once condemned. He explains the JVP's growth through four advantages — a generation that knows nothing of the old left's work and still lives on the memory of 1971, an organisation suited to rural youth, quiet roots among castes the old left once championed, and Marxism's shift from the town to the village — but warns that the social forces gathered around it are not stable enough to justify its leaders' confidence.

ජ. වි. පෙ. නිර්මාතෘවරුන් සම්ප්‍රදායික වමේ නිර්මාතෘවරුන් මෙන් ඉංග්‍රීසි කතාකරන ධනවත් හෝ ඉහළ මධ්‍යම පංතික පවුල්වලින් පැවත එන අය නොවේ. ඔවුහු ගම්බද දිළිඳු හා පහළ මධ්‍යම පංතික පවුල් වලින් පැවත එන අය වෙති. එක් අතකින් ඔවුන්ගේ මේ දිළිඳුකම සමාජවාදයට ඔවුන්ට ඇති ඇත්ත අයිතිය තහවුරු කරන සාධකයක් වන්නාසේම එයම නරක සාධකයක්ද වන්නේය. පවුල් පසුබිම් අනුව බලන විට සම්ප්‍රදායික වමේ නායකයින් කිසිසේත් ම ආර්ථික අඟහිඟකම් වලින් පිරුණු පවුල්වලින් පැවත එන අය නොවේ. අනෙක් අතට ඔවුන් මහ ධනවතුන් නොවූව ද මහා ධනවතුන් වීමේ උවමනාවක් තිබුණේ නම් එය සපුරා ගැනීමේ සියළු හැකියාවන් ඔවුන්ට නොඅඩුව තිබුණි. එම තත්ත්වය තුළින් ඔවුන් මාක්ස්වාදීන් වුනේ පුද්ගලික වුවමනාවන්ට වඩා පොදු උවමනාවන් වැදගත් කොට සලකු මානව දයාවෙන් යුතු මිනිසුන් පිරිසක් වූ නිසා ය. ජ. වි. පෙ. නායකයින්ගේ තත්ත්වය මීට වඩා වෙනස්ය. ඔවුන් තුළ මාක්ස්වාදී නැඹුරුවක් ඇතිකළ ප්‍රධාන හේතුව ආර්ථික අඟහිඟකම් හා වෙනත් පීඩාවන්ය. තමන්ට පුද්ගලිකව මේ ප්‍රශ්ණ විසඳ ගැනීමේ හැකියාවක් නැති බව තේරුම් ගත්තාක් දුරට පොදු අරමුණක් පිළිබඳ උනන්දුව ඔවුන් තුළ තිබුණත් සමහර කාරණා හෝ පුද්ගලිකව ජයගත හැකි හැම අවස්ථාවෙකදීම පොදු අරමුණ පසෙකට ලා තමන් භුක්ති නොවිඳි එම සැප සම්පත් භුක්ති විඳීමේ සහජ කෑදර කමක් ද ඔවුන් තුළ පවතී. මේ දේ දැනටමත් ඔවුන් කෙරෙන් ප්‍රදර්ශණය වෙමින් පවතී. නිදර්ශණයක් වශයෙන් පුද්ගලික වාහන භාවිතය ගැන වාමාංශික නායකයින්ට චෝදනා කල ඔවුන් විසින්ම වාමාංශික නායකයින්ට ඒ සඳහා තිබුණ පුද්ගලික ආර්ථික හැකියාව නොතිබියදීත් පුද්ගලික වාහන නැතුවම බැරි පිරිසක් බවට පත්ව තිබේ. ඔවුහු කලක් තමන්ට නොතිබුණ එහෙත් සම්ප්‍රදායික වාමාංශික නායකයන්ට තිබුණ එවැනි දේවල් ගැන ඔවුන්ට ඉගිල්ලුවෝය. දැන් ඔවුන්ට පොදු අරමුණ වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් දෙවියන්ගෙන් ලැබෙන තෑග්ගක් වශයෙන් එද ඔවුන්ට නොතිබුණ ඒ සියල්ලක්ම දැන් ඔවුන්ට ලැබී තිබේ. (ඔවුන් සමග සිටින පොදු ජනයාට ඒවා දෙවියන්ගෙන් ලැබෙනු ඇත්තේ තවත් බොහෝ ඈත දිනකදීය.) දැන් ඔවුන් ඒවා ගිජු ලෙස භුක්ති විඳිමින් සිටී.

මේ හා සමාන පරතරයක් මේ දෙගොල්ලන්ගේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ද දැකිය හැකිය. සම්ප්‍රදායික වාමාංශික නායකයින් සියළු දෙනාම පාහේ බටහිර රටවල උසස් අධ්‍යාපනයක් ලැබූ එක් ක්ෂේත්‍රයකට හෝ තවත් ක්ෂේත්‍රයකට විශාරදයින් ලෙස සැලකිය හැකි බුද්ධිමතුන් වූහ. එහෙත් ජ. වි. පෙ. නායකයින් සියළු දෙනාම පාහේ සිංහල මාධ්‍යයෙන් සීමිත අධ්‍යාපනයක් ලැබූ අය වෙති. නිශ්චිත වශයෙන්ම ඔවුන්ට ආවේණික මේ බුද්ධිමය සීමා ඔවුන්ගේ දේශපාලනය කෙරෙහි ද බරපතළ ලෙස බලපා ඇත්තේය. සම්ප්‍රදායික නායකයින් අතින් බිහිවී ඇති ශාස්ත්‍රීය වටිනාකමක් ඇති ලිපිලේඛණ කන්දරාව එකතු කළ නොහැකි තරමට විශාලය. එහෙත් ජ. වි. පෙ. නායකයින් අතින් ශාස්ත්‍රීය වටිනාකමක් ඇති එකම ලේඛණයක්වත් ලියවී නැත. මේ අසරණ තත්ත්වය තුළ ලැබෙන හැම අවස්ථාවකදීම අනුන්ගේ බුද්ධිමය දේපළ සොරකම් කොට ඒවා තමන්ගේ ස්ව නිර්මාණ ලෙස ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාවයක් ඔවුන් අතර පවතී.

(මේ අළලා මා විසින් පුවත් පතකට ලියන ලද ලිපියක් පොත් පිංචක් වශයෙන් මුද්‍රණය කොට තිබේ.)

මෙසේ ගම්බද ගොවි මානසිකත්ත්වයට වැඩි ගැඹුරක් නැති ආත්මාර්ථකාමී දිග හොම්බක් සහිත ජ. වි. පෙ. ට මාක්ස්වාදයට ඇති ජනතා ආකර්ශණය නැති වී යන තත්ත්වයක් තුළත් වර්ධනය වන බලවේගයන් වශයෙන් ඉදිරියට ඒමට හැකිවී තිබෙන්නේ ඇයි?

ප්‍රථම කොට සම්ප්‍රදායික වම හා ඔවුන් අතර පැවති කාල පරතරයම ඔවුන්ට ලැබී තිබෙන වැදගත් වාසියක් වී තිබේ. සම්ප්‍රදායික වම ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික හා දේශපාලන සංවර්ධනය වෙනුවෙන් කර තිබෙන විශාල වැඩ කොටස ගැන නූතන පරපුරට කිසිම අවබෝධයක් නැත. ඔවුන් දන්නේ ඔවුන්ගේ සටන්කාමී නොවන මෑත යුගය ගැන පමණි. එහෙත් ජ.වි. පෙ. ඔවුන්ගේම පරපුරට අයත් ව්‍යාපාරයකි. එක්තරා ආකාරයකට අද්විතීය සිද්ධියක් ලෙස සැලකිය හැකි 71 කැරැල්ල තවමත් ඔවුන්ගේ සිත්වල රැවි පිළිරැවි දෙයි.

අද ජ. වි. පෙ. සමග සිටින අයගෙන් 90% ක්ම කැරැල්ලට කිසිම සම්බන්ධයක් නැති කැරැල්ල සිදුවන අවස්ථාව වන විට ළදබොළඳ පාසැල් වියේ වූ කැරැල්ලේ ආස්වාදය නිසාම ජ. වි. පෙ. වෙත ඇදී ආ අය වෙති. කැරැල්ලේ ගෞරවය හා කීර්තිය පිළිබඳ කාරණාවලට අමතරව ඔවුන් කිසිම ආණ්ඩු පාලන ක්‍රියා මාර්ගයකට සම්බන්ධ ව්‍යාපාරයක් නොවීම ඔවුන්ට තිබෙන තවත් වැදගත් වාසියක් වී තිබේ. ඔවුන්ට තිබුණ පාලනයක් නැති නිසාම ඔවුන්ට ඒ ගැන එල්ල කළ හැකි කිසිම චෝදනාවක් නැත.

අනෙක් අතට ඒ නිසාම තමන් කැමති ආකාරයක සුරංගනා ලෝකයක් පොරොන්දුවීමේ හැකියාව ඔවුන්ට ලැබී තිබේ.

දෙවන වැදගත් වාසිය වී ඇත්තේ ඔවුන්ට ගැමි තරුණ පරපුරට ඇති අනුරූපිතාවයයි. ජ. වි. පෙ. දර්ශණය, නායකත්වය, සංවිධාන විධි ක්‍රම මේ සියල්ලක්ම ගැමි තරුණ පරපුරේ මානසිකත්ත්වයට හොඳින් ගැලපේ. එය හැර ඔවුන්ට ඒ ආකාරයෙන් අනුරූපී වන වෙනත් කිසිම සංවිධානයක් රටේ නැත.

තුන්වනුව ගම්බද පුරා ඉතා සියුම් ආකාරයකින් පවත්නා කුල පීඩනය ඔවුන් ශක්තිමත් කරන වැදගත් සාධකයක් වී තිබේ. අතීතයේදී මේ ආකාරයෙන් නොව මීට වඩා ගොරහැඩි ආකාරයෙන් පැවැති කුලපීඩනයට එරෙහිව සටන් කිරීමේ කාර්ය භාරගෙන සිටියෝ සම්ප්‍රදායික වමය. නිශ්චිත වශයෙන්ම ඔවුන් එම ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ යහපත පිණිස කීර්තිමත් වැඩ කොටසක් ඉටුකළෝය. ඒ නිසාම එකල පීඩාවන්ට පත් කුලවලට අයත් ජනයා සම්ප්‍රදායික වම සැලකුවේ තමන්ගේම වන ව්‍යාපාරයක් සේය.

එහෙත් ඔවුන් මේ වන විට එම ක්ෂේත්‍රය තුළ අක්‍රියාකාරී පිරිසක් බවට පත්වී සිටී. ජනතා විමුක්ති පෙරමුණ අද ඔවුන් අතර මුල් බැසගත් ව්‍යාපාරයක් බවට පත්ව සිටී. ඔවුන් එළිපිට සම්ප්‍රදායික වම කළාසේ කුල පීඩාවන්ට එරෙහිව අරගලයක නොයෙදෙදත් ඊට වඩා වෙනස්ව කුලවාදී ස්වරූපයකින් ඔවුන් අතර ක්‍රියාත්මක වේ. පීඩාවට පත් කුලවලට අයත් තරුණ ජනයා ද ජ. වි. පෙ. තමන්ගේ ම ව්‍යාපාරයක් සේ සලකා ජ. වි. පෙ. වටා ඒකරාශී වෙමින් සිටී.

සිව්වනුව සම්ප්‍රදායික වම සේ නොව ජ. වි. පෙ. ගමේම උපන් ප්‍රධාන වශයෙන් ගමේම ක්‍රියාත්මක වන ව්‍යාපාරයකි. අතීතයේ දී සමාජවාදයට ලැදි ජනකායක් සිටියේ ගමේ නොව නගරයේය.

එහෙත් අද නගරය සමාජවාදය කෙරෙන් ඈත්වෙමින් සිටින අතර ගම වඩ වඩාත් සමාජවාදය වෙත නැඹුරුවෙමින් පවතී. බුද්ධිමතුන් හා නාගරික කම්කරුවන් කොමියුනිස්ට් වාදය සිහිනයක් ලෙස දකින අතර ග්‍රාමීය තරුණයන් එය ජයගත හැකි පරමාර්ථයක් ලෙස සලකන තත්ත්වයක් ඇති වී තිබේ. මේ ආකාරයෙන් එද බුද්ධිමතුන්ගේත් නාගරික කම්කරුවන් ගේත් ප්‍රියතම දර්ශණය වී තිබුණු මාක්ස්වාදය අද ග්‍රාමීය තරුණයින්ගේ ප්‍රියතම දර්ශණය බවට පත්වෙමින් පවතී. ගම්බද ඇති වී තිබෙන මේ වාමාංශික නැඹුරුව ගමේම බවට පත්ව සිටින ජ. වි. පෙ. ශක්තිමත් කරන සාධකයක් බවට පත්වී තිබේ.

මේ සියළු සාධක ජ. වි. පෙ. ශක්තිය පිණිස වන මුත් එම සාධක විසින්ම එය වටා ගොනුකර සිටින සමාජ බලවේගයන් අතීතයේ දී සම්ප්‍රදායික වම වටා ගොනුවී සිටි සමාජ බලවේගයන් තරම් ස්ථිර සාර නොවන නිසාම ජ. වි. පෙ. අනාගතය ඔවුන්ගේ ජනප්‍රිය නායකයන් විශ්වාස කරන තරමටම යහපත් නොවනු ඇත.

Editor’s Note: The concluding part of the essay begun in Divaina the day before (part 1, 4 May 1982), again under the byline “Victor Ivan (Podi Athula)”. “Ja.Vi.Pe.” is the Janatha Vimukthi Peramuna (JVP); “the 71 insurrection” is the April 1971 uprising in which Ivan was a leading accused. When this appeared the JVP was a legal party again after its leaders’ release in 1977. Five months later its leader Rohana Wijeweera stood in the presidential election of 20 October 1982 and came third, and the party was proscribed after the violence of July 1983. The “popular leaders” whose confidence Ivan doubts in the last line are not named. In the bracketed aside after the paragraph on plagiarism, Ivan says that an article he himself wrote for a newspaper on this subject had been printed as a booklet, presumably by the JVP and without credit.