ආයතන මූලයන්ගෙන් ලබාගන්නා ගොවි ණය ආපසු ගෙවීම බහුල වශයෙන් පැහැර හැරීම නිසා කෘෂිකාර්මික ණය ප්රතිපත්තියේ සම්පූර්ණ වෙනසක් ඇති කිරීමට කෘෂිකර්ම හා ඉඩම් අමාත්යංශය තීරණය කර ඇති බව පුවත්පත්වල පළවිය. පසුගිය මහ කන්නයේ වී වගාව සඳහා පමණක් ගොවීන්ට දෙන ලද ණය වලින් සියයට 73ක්ම ආපසු ගෙවා නැත. දෙන ලද ණය මුදල් ප්රමාණය රුපියල් කෝටි 6කි, ඉන් ආපසු ලැබී ඇත්තේ රු. 2 කෝටි 30 ලක්ෂයක් පමණි. මහජන බැංකුවට පමණක් ලැබිය යුතු සම්පූර්ණ ගොවි හිඟ ණය ප්රමාණය රුපියල් කෝටි 15කි. කෘෂිකාර්මික ණය ප්රතිපත්තියේ පූර්ණ වෙනසක් ඇති කළ යුතු බවට සැකයක් නැත. ප්රශ්නය වී ඇත්තේ ණය පැහැර හැරීම වලකන හා ගොවීන්ගේ සහභාගිත්වය වැඩි කරන වඩාත් ප්රතිඵලදායි නව ණය ප්රතිපත්තියක් සකස් විය යුත්තේ කෙසේද යන්නයි.
සුළු ගොවියාගේ නිෂ්පාදන මට්ටම වැඩි කිරීමටත් එමගින් ඔහුගේ ආදායම් මට්ටම වැඩි කිරීමටත් ආයතනික කෘෂිකාර්මික ණය වැදගත් මෙහෙයක් ඉටු කරයි. මින් නවශිල්පීය ක්රම යොදා ගැනීමට ගොවියාට තිබෙන හැකියාව වැඩි දියුණු කෙරෙන අතරම බිත්තර වී පොහොර වර්ග සහ කෘෂි රසායනික ද්රව්ය පාවිච්චිය වැනි වඩා හොඳ වගා භාවිතයක් අනුගමනය කිරීමට ගොවියාට තිබෙන හැකියාව පුළුල් කෙරෙයි. ණය ගෙවීම පැහැර හැරීම නිසා මේ ප්රතිඵලවලට අවහිර යෙදේ. එක් අතකින් මෙය රජයට මහත් බරකි. රටේ මූල්ය ක්රමය මෙහෙයවීම සඳහා අවශ්ය විසුරුණු මුදල් යෙදවීමේ සීමාවන් කෙරෙහි එය අහිතකර ලෙස බලපානවා පමණක් නොව ණය පැහැර හරින්නන් තව දුරටත් ණය ලබා ගැනීමට නුසුදුස්සන් වීම තුළින් ආයතනික ණය යෝජනා ක්රම කෙරෙහි ගොවීන්ගේ සහභාගිත්වය අඩුවී ඒ තුළින් යෝජනා ක්රමයන්හි ආර්ථික ශක්තිය හීන කරයි. ගොවීන්ගේ මට්ටමින් බලන විට ණය පැහැර හැරීම නිසා ආයතනික මූලයන්ගෙන් ණය ලබා ගැනීමට ඇති හැකියාව ඔවුන්ට නැති වී එමගින් ඔවුන් කෙරෙහි ආයතනික නොවන මූලයන්ගේ ග්රහනය වර්ධනය වේ. මේ ග්රහනය වැඩි වන ප්රමාණයට නිෂ්පාදනයේ වැඩිවීමේ ප්රතිලාභ ලබා ගැනීමට ගොවියාට තිබෙන හැකියාවද අඩුවේ. අවසානයේදී එය ඔවුන්ගේ නිෂ්පාදන ක්ෂේත්රය කෙරෙහි අහිතකර ලෙස බලපායි.
කෘෂිකාර්මික ණය ක්රමය ප්රතිසංවිධාන කිරීමේදී ගොවීන් ණය ගෙවීම් පැහැර හැරීමට මුල්වී තිබෙන සත්ය හේතූන් සොයා දැන ගැනීම මූලික වශයෙන් අවශ්යවේ. 1972 ශ්රී ලංකා මහා බැංකුව විසින් ණය ක්රමයේ ක්රියාකාරිත්වය අළලා පවත්වන ලද නියැදි සමීක්ෂණයට අනුව ණය පැහැර හරින්නන්ගෙන් සියයට 26.4 ක් වගා පාලුව නිසාත් සියයට 17.2 ක් පහත් ආදායම නිසාත් සියයට 12.0 ක් ආපසු ගෙවීමේ අදහසක් නැති නිසාත්, ඉතිරි සියයට 44.4 වෙනත් සංකීර්ණ හේතූන් රාශියක් නිසාත් ණය ගෙවීම පැහැර හැර තිබුණි. එහි දක්වා ඇති හේතූන් අතර පහත් ආදායම වැදගත්ම හේතුව වශයෙන් සැලකිය හැක. රුපියල් 250/– කට අඩු මාසික ආදායමක් ලබන ගොවීන්ට සිය හිඟ ණය ආපසු ගෙවීමට කොහෙත්ම හැකියාවක් නොතිබුණ බව එහි සඳහන් විය. සැලසුම්කරුවන්ගේ සැලකිල්ල විශේෂයෙන්ම මේ කෙරෙහි යොමු විය යුතුව තිබෙන්නේ 1969–70 සමාජ ආර්ථික සමීක්ෂණයට අනුව ගම්බද පවුල් අතරින් සියයට 46.1 ක්ම මේ අඳුරු සීමාවේ (රුපි. 200/– අඩු ආදායම් ලබන්නන්) සිටින්නන් වීම නිසයි. ලංකාවේ ගොවීන්ගේ බහුතර පිරිසක් මේ අඳුරු සීමාවේ සිටියි නම් ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතුව තිබෙන ණය ප්රතිපත්තිය කුමක්ද? එවැනි වර්ගීකරණයකට අසුවන ගොවීන්ට ණය දීමෙන් වැළැකී සිටිය හැක. එසේ කළ හොත් නිෂ්පාදන ක්ෂේත්රයේ පිරිහීමෙන් වන පාඩුව, ණය පැහැර හැරීම නිසා රජයට දරන්ට සිදුව ඇති පාඩුව ඉක්මවනු ඇත. කෙසේ නමුත් මේ සීමාව තුළ සිටින ගොවීන්ට දෙන ණය ආපසු ලබා ගැනීමට නම් පුළුවන්කමක් නැත. එයද රජයට ඉසිලිය නොහැකි තරම් බරකි. මේ ප්රතිවිරෝධය ජය ගත හැකි නම් පමණි, කෘෂිකාර්මික ණය ප්රතිපත්තිය ඵලදායී ලෙස ප්රතිසංවිධානය කළ හැකි වනු ඇත්තේ.
මේ අඳුරු සීමාව තුළ කොටුවී සිටින ගොවීන් කවරහුද? ඔවුන්ගේ පහත් ආදායම් තත්ත්වයට හේතු කවරේද?
හම්බන්තොට දිස්ත්රික්කයේ රු. 2000 අඩු වාර්ෂික ආදායමක් ලබන්නන්ගෙන් 83% ක්ම අඳ ගොවිහු වූහ. නුවර දිස්ත්රික්කයේ එය 62.08% ක් විය. මේ අඳුරු සීමාව තුළ කොටු වී සිටින්නන්ගෙන් අති විශාල බහුතරය අඳ ගොවීන් බව මේ අනුව පෙනී යයි. අපේ මේ නිගමනය සනාථ කෙරෙන තවත් සාධකයක් මෙන්න. හම්බන්තොට දිස්ත්රික්කය තුළ සමූපකාර වලින් ණය ලබා ගත් අඳ ගොවීන්ගෙන් 83% ක්ම ණය නොගෙවා පැහැර හැර තිබුණි. අයිතිකාර ගොවීන් සම්බන්ධයෙන් නම් එය 33% කි. නුවර දිස්ත්රික්කයේ එය පිළිවෙලින් 33% ක් හා 14% ක් විය. අඩු ආදායමට ප්රධාන හේතුව වී ඇත්තේ බදු කුලියයි. හම්බන්තොට දිස්ත්රික්කය තුළ එය ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැයෙන් 27% ක් විය. නුවර දිස්ත්රික්කයේ එය [කියවිය නොහැක]%ක් තරම් විශාල විය.
1972–73 මහ කන්නය තුළ කුරුණෑගල දිස්ත්රික්කය තුළ අඳ ගොවීන්ට වී බුසල ක් සදහා ගිය නිෂ්පාදන පිරිවැය රු. 27.68ක් විය. කොළඹ එය රු. 21.68 ක් වූ අතර, නුවර එය රු. 18.15 ක් විය. ඒ වන විට වී බුසලක සහතික මිල රු. 18 කි.
ලංකාවේ අඳ ගොවීන් මේ අඳුරු සීමාව තුළ සිටින තාක් කල් දුරට ඔවුන්ගේ ණය ආපසු ලබා ගැනීමට පුළුවන් කමක් නැත. එක්කෝ ඔවුන්ට ණය දීම නතර කළ යුතුයි. එවිට අඳ ගොවි ක්රමය යටතේ වගා කෙරෙන 43% ක් පමණ වූ කුඹුරු ඉඩම් වල නිපැයුම සීඝ්ර ලෙස පහත වැටෙනු ඇත. එසේ නැතහොත් අඳ ගොවීන්ට ණය ගෙවීමට බාධකයක්ව තිබෙන බිම් කුලියෙන් ඔවුන් නිදහස් කළ යුතුයි. ණය පැහැර හැරීම නිසා රජය වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් පාඩු විඳියි. අඳ ගොවීන් බදු කුලියෙන් නිදහස් කිරීම සඳහා එනම් ඔවුන් දැනට වගා කරන කුඹුරු ඉඩම් ඔවුන් වෙත පවරා දීම සඳහා රජයට දරන්නට සිදුවනු ඇත්තේ ඊට වඩා බෙහෙවින් සුළු මුදලකි. එයද ආපසු ලබාගත හැක්කකි. එබඳු ක්රියා මාර්ගයක් රජය අනුගමනය කරන්නේ නම්, ණය ගෙවීම පැහැර හැරීම නිසා රජයට වාර්ෂිකව දරන්නට සිදු වී ඇති පාඩුව විශාල වශයෙන් අඩු කර ගත හැකි වේ.
Editor’s Note : The fifth article in the Jayasena Akmeemana series. It applies Ivan’s land-transfer proposal of May and August 1974 to a new problem, the collapse of repayments on state agricultural credit, and argues that tenancy reform would pay for itself in reduced defaults. Unlike the earlier pieces, it is written in a measured, technical register with almost no political rhetoric. Part of the final column is damaged by tears in the clipping.