ජාතියේ අන්ධකාරය

July 13, 2014
Publication:
Starting from Gandhi's view of struggle, Ivan examines the militarisation of Sri Lanka since 1971: by global indices it is among the most militarised countries in South Asia, and the forces grew hugely for the final war. He asks who is responsible for the rebellions, citing Bertrand Russell on the state, argues that the nation owes a debt to all who suffered, and warns that five years after the war the army has not been reduced and the national mood, driven by secret political movements, has turned against human rights.

මහත්මා ගාන්ධි සමාජ විපර්යාසයන් සඳහා කරන අරගලවලදී ප්‍රචණ්ඩ බලය යොදාගැනීමට එරෙහිව ඉදිරිපත් කරන ලද බලවත්ම තර්කයක් වූයේ ප්‍රචණ්ඩ බලයක් පරාජය කිරීම සඳහා ප්‍රති ප්‍රචණ්ඩ බලයක් යොදාගත් විට සමාජය ප්‍රචණ්ඩ බලයේ විසම චක්‍රයකට හසුවී විනාශ වන බවය. ප්‍රචණ්ඩ ආධිපත්‍යයක් පරාජය කිරීම සඳහා එම ප්‍රචණ්ඩ බලය ඉක්මවා යන ප්‍රචණ්ඩ බලයක් ඒකරාශී කොට මුදාහැරීමට සිදුවන්නේය. ඉන් ලබන ජයග්‍රහණයකදී ජයග්‍රාහකයා තමන් ඒකරාශී කළ ප්‍රචණ්ඩ බලය ජයග්‍රහණයෙන් පසු විසුරුවා හරිනු ලබන්නේ නැත. ඒ සඳහා කෙරෙන අරගලවලදී ජය පරාජය කවුරුන් විසින් හිමිකර ගත්තද සමාජය ප්‍රචණ්ඩත්වයේ විෂම චක්‍රයකට හසුවන්නේය.

හමුදාකරණය

මහත්මා ගාන්ධිගේ මෙම අර්ථකථනය ශ්‍රී ලංකාවේ දේශපාලන යථාර්ථය සමගද හොඳින් ගැළපෙන්නේය. 1971 කැරැල්ල වන විට ශ්‍රී ලංකා රාජ්‍යයට තිබුණේ බොහෝදුරට ප්‍රදර්ශනාත්මක කාර්යයන්ට සීමාවූ පුංචි ආරක්ෂක හමුදාවකි. ස්ථිර හා ස්වේච්ඡා යන ගණ දෙකටම අයත් අයගේ මුළු ගණන 500කට වැඩි නොවීය. ඔවුන්ට තිබුණු අවි ආයුධද නවීන ඒවා නොවීය.

71 කැරැල්ල ආරක්ෂක හමුදා අභ්‍යන්තර යුද්ධයකට මුහුණ දුන් පළමු අවස්ථාව විය. කැරැල්ල පරාජය කිරීමෙන් ලබන ජයග්‍රහණය සමග ආරක්ෂක හමුදාවල ප්‍රමාණය විශාල කිරීමට සේ ම ඔවුන් පරිහරණය කරන අවි ආයුධ නවීන කිරීමට සිදුවිය. ඉන්පසු එළැඹෙන කාලයේදී සිංහල දකුණේ සේ ම දෙමළ උතුරේද ප්‍රමාණයෙන් වඩා විශාල හා දිග්ගැසුණු තරුණ කැරලි ඇතිවිය. ඒවා වර්ධනය කිරීම සඳහා මහා පරිමාණයෙන් ආරක්ෂක හමුදාවල ප්‍රමාණය විශාල කිරීමත් ඒවා නවීන අවිආයුධවලින් සන්නද්ධ කිරීමටත් සිදුවිය. ප්‍රචණ්ඩ ව්‍යාපාරවලට සම්බන්ධ සිංහල දෙමළ තරුණ තරුණියන් විශාල පිරිසක් මරා දමමින් හා ආරක්ෂක හමුදා භටයන්ගෙන්ද විශාල පිරිසක් මරණයට පත්වෙමින් එම කැරලි මර්දනය කිරීමට ආරක්ෂක හමුදා සමත් වුවද අවසානයේ ඒ නිසා ඇතිවී තිබෙන බිහිසුණු ප්‍රතිඵලයක් වී තිබුණේ අතිවිශාල හමුදා ආධිපත්‍යයක් සහිත මහා පරිමාණයෙන් බැරැක්කරණයට ලක්වූ විකෘති සමාජයක් ඇතිවීමය.

හමුදාකරණය පිළිබඳ ගෝලීය දර්ශකයන්ට (GMI) අනුව දකුණු ආසියාවේ වැඩිම හමුදාකරණයකට ලක්වී තිබෙන රට බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවය. 2013 වසර සඳහා වූ ශ්‍රී ලංකාවේ දර්ශකය 36ක් පාකිස්තානයේ දර්ශකය 47කි. ඇෆ්ඝනිස්ථානයේ දර්ශකය 58ක් වන අතර ඉන්දියාවේ දර්ශකය 74ක්ද, නේපාලයේ දර්ශකය 86ක්ද, බංගලිදේශයේ දර්ශකය 123ක්ද වේ. ලංකාවේ ජනගහනයෙන් හැම 86 දෙනෙකුටම එක් සෙබළෙක් සිටින්නේය. පාකිස්තානයේ එම අනුපාතිකය 292කට 1කි. ඉන්දියාවේ 958ට 1කි. යුද්ධය අවසන් වී ඇතත් ආරක්ෂක විෂයට වෙන් කෙරෙන වියදම ජාතික ආදායමෙන් සියයට තුනකි. ජාතික ආදායමෙන් අධ්‍යාපනයට වැය කරන්නේ සියයට 2කටත් වඩා අඩු මුදලකි.

ප්‍රචණ්ඩ කැරලි හා ඒවා මර්දනය කිරීම සඳහා යොදා ගැනුණු යුද ව්‍යාපාර ඔස්සේ රටක් වශයෙන් අප තල්ලු වී සිටින අවාසනාවන්ත තැන එයින් හොඳින් පෙන්නුම් කරයි. සමස්ත සමාජයම අතිවිශාල බැරැක්කකරණයකට ලක්ව තිබෙනවා පමණක් නොව අපේ සිතුම් පැතුම් හා ආකල්පයද බැරැක්කකරණයකට ලක්වී තිබෙන්නේයැ”යි කිව හැකිය.

සිව්වැනි ඊලාම් යුද්ධය ආරම්භ කරන්නට පෙර ආරක්ෂක හමුදාවන් මුහුණ දී තිබුණු උභතෝකෝටික ප්‍රශ්නයක් වී තිබුණේ ආරක්ෂක හමුදාවන්ට නවකයන් බඳවා ගැනීමට තිබුණු අපහසුතාවය. හමුදා සේවය අත්හැර පලායන්නන්ගේ සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවති අතර අලුතෙන් බඳවා ගැනීම ඉතා දුෂ්කර දෙයක් බවට පත්ව තිබුණේය. එල්ටීටීඊයට එරෙහිව කෙරෙන යුද්ධය සැලකුණේ දිනිය නොහැකි යුද්ධයක් ලෙසය. ඉක්මනින් මරණය කරා යන ගමනක් ලෙසය.

එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධය ජයගැනීම සඳහා ආරක්ෂක හමුදාවන්ට තිබූ අවඥාසහගත ප්‍රතිරූපය වෙනස් කොට ඔවුන්ට පිළිගැනීම, ගෞරවය හා අභිමානය ලබාදෙන ප්‍රචාරක වැඩසටහනක් කරළියට ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබූ අවස්ථාවක ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් “ට්‍රයි ඇඩ්ස්” සමාගම “අප වෙනුවෙන් අප” යන තේමාවෙන් දැවැන්ත ප්‍රචාරක වැඩසටහනක් කරළියට ගනු ලැබූ අතර ඒ මගින් අන් කිසිදු වෘත්තියකට නැති අතිවිශාල පිළිගැනීමක්ද, ගෞරවයක්ද ආරක්ෂක සේවාවන්ට ලබාදෙන ලදි. දරුණු යුද්ධයක් පවතින අවස්ථාවකදී ආරක්ෂක හමුදාවන්ට එවැනි පිළිගැනීමක් ලබාදීම අත්‍යවශ්‍ය වුවද එම ප්‍රචාරක වැඩපිළිවෙළේ බලපෑම යුද්ධය පැවති කාලයට සීමා නොවී ඉන්පසු කාලයටද බලපෑවේය. එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණය යුද සෙබළාට තිබෙන පිළිගැනීම උච්චතම තත්ත්වයකට පත්කිරිමට හේතුවීයැ”යි කිව හැකිය. ඒ තත්ත්වය යුද්ධ කාලයේදී රටේ යහපතට බලපාන විට යුද්ධයෙන් පසු කාලයේදී රටේ යහපතට වඩා රටේ අයහපතට බලපා ඇතැ”යි කිව හැකිය.

කැරලිවලට වගකිවයුත්තේ කවුද?

යුද්ධයක් පවතින අවස්ථාවකදී රටක ප්‍රමුඛ වැදගත්කම ලැබිය යුත්තේ ආරක්ෂක හමුදාවන්ටය. යුද්ධය අවසන්වීමෙන් පසු නැවත සිවිල් ආයතනවලට ප්‍රමුඛ තත්ත්වය ලැබී ආරක්ෂක හමුදාවන්ට ලැබෙන ප්‍රමුඛතාව පහළ තැනකට යායුතුය. එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසු ඒ දේ එසේ සිදුවූයේ නැත. සිවිල් ආයතනවලට ලැබිය යුතු ප්‍රමුඛතාව අබිබවා ආරක්ෂක හමුදා තවදුරටත් ප්‍රමුඛ කොට සලකන වටාපිටාවක් රටේ ක්‍රියාත්මක වේ. අනෙක් සිවිල් ආයතනවලට කළහැකි හැම දෙයක්ම වඩා හොඳින් ආරක්ෂක හමුදාවන්ට කළහැකියැ”යි කියන මතවාදයක්ද ස්ථාපනය වී තිබෙන්නේයැ”යි කිව හැකිය. අනෙක් අතට ආරක්ෂක හමුදාවන්ට රට හා සමාජය ණයගැතියැ”යි කියන ආකල්පයක්ද සමාජයේ ගොඩනැගී තිබේ. එහිම ප්‍රතිඵලයක් වශයෙන් එල්ටීටීඊයට එරෙහිව කරන ලද අවසන් යුද්ධයට දේශපාලන නායකත්වය දුන් දේශපාලකයන්ද තමන්ට රට හා සමාජය ණයගැතිය කියන උද්ධච්ච ආකල්පයක් ඇති කිරීමටද හේතුවී තිබෙන්නේයැ”යි කිව හැකිය. රටේ ගොඩනැගෙමින් තිබෙන බැරක්කකරණය කෙරෙහි සේම පාලනයේ වර්ධනයවෙමින් තිබෙන අධිකාරී වාසි තත්ත්වය කෙරෙහිද එම උද්දච්ච හැඟීම බලපා තිබෙන බව පෙනේ.

බර්ට්‍රන් රසල්ට අනුව රාජ්‍යයක් හැමවිටම රටේ තිබෙන ප්‍රශ්න සිවිල් යුද්ධයක් ඇති කරන තත්ත්වයක් දක්වා වර්ධනයවීමට ඉඩ නොතැබිය යුතුයි. ඉන් අදහස්වන්නේ විප්ලවයක් හෝ කැරැල්ලක් ඇතිවීමට බලපාන සමාජ ආර්ථික හා දේශපාලන හේතු වර්ධනයවීමට රාජ්‍යයන් ඉඩ නොතැබිය යුතු බවට. ඊටම අදාළව රාජ්‍යයකට තිබෙන තවත් වගකීමක් වනුයේ අභ්‍යන්තර කැරැල්ලක් ඇතිවූ විට එය වර්ධනය වන්නට ඉඩ නොදී නොපමාව මර්දනය කිරීමය.

ලංකාවේ ඇතිවූ ප්‍රචණ්ඩ කැරලි හා ඒවායේ දිග්ගැසුණු ස්වභාවයෙන් පෙන්නුම් කරන්නේ ඉහත කී යුතුකම් දෙකම මැනවින් ඉටුකිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය අසමත් වූ බවය. අභ්‍යන්තර කැරලි ඇතිවීම වැළකීමට රාජ්‍ය අසමත් වූ අතර කැරලි ඇතිවූ පසුද ඒවා දිග්ගැස්සෙන්ට ඉඩ නොදී පරාජය කිරීමටද රාජ්‍ය අසමත් විය. ඒ වගකීමෙන් කොටසක් දේශපාලකයන්ගේ ගිණුමට බැරවන විට තවත් කොටසක් බැරවිය යුත්තේ ආරක්ෂක හමුදාවල ගිණුමටය.

එල්ටීටීඊය අවසාන වශයෙන් පරාජය කරන්නට පෙර ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා අභ්‍යන්තර කැරලි දෙකක් පරාජය කර තිබුණේය. ජේවීපී පළමු කැරැල්ල ඉතාමත් කෙටි කාලයක් තුළද ඔවුන් දෙවැනි කැරැල්ල වසර දෙකහමාරක් තරම් දීර්ඝ කාලයකින් පසුද පරාජය කිරීමට ආරක්ෂක හමුදා සමත් විය. ඒ කිසිම අවස්ථාවකදී ආරක්ෂක හමුදා රට ගලවාගත් වීරයන් ලෙස සලකන මතවාදයක් ගොඩනැගුණේ නැත. ජේවීපී දෙවැනි කැරැල්ල පරාජය කිරීමෙන් පසුව නම් සිංහල ජනයාට ආරක්ෂක හමුදා ගැන තිබුණේ ගෞරවයට කඩා විවේචනයකි.

ජේවීපී දෙවැනි කැරැල්ල සේ ම එල්ටීටීඊ කැරැල්ලද නුවමනා තරමින් දුරදිග යන තත්ත්වයකට ඉඩ තැබීම ගැන රාජ්‍ය නායකයන් සේ ම ආරක්ෂක හමුදා ප්‍රධානීන්ද වගකිව යුතුය. මේ දෙපිරිසම එහිදී තමන් වෙත පැවරී තිබූ යුතුකම් හා වගකීම් හොඳින් ඉටු කිරීමට අසමත්වීයැ”යි කිව හැකිය.

ඒ සීමාසහිතකම් තිබියදීත් අවසානයේ අවුරුදු 25ක් තරම් කාලයක් තිස්සේ පැවති එල්ටීටීඊ කැරැල්ල පරාජය කිරීමේ ගෞරවය ආරක්ෂක හමුදාවන්ට සේ ම එම යුද ව්‍යාපාරය මෙහෙයවන ලද දේශපාලන නායකයන්ටද ලැබිය යුතුය. එහෙත් ඒ වෙනුවෙන් රට හෝ සමාජය දෙපිරිසට ණයගැති වියයුතු නැත.

ජාතියේ ණයගැතිභාවය ගැන

අභ්‍යන්තර කැරැල්ලක් ඇතිවූ විට එය මර්දනය කිරීම ආරක්ෂක හමුදා වෙත පැවරී තිබෙන වගකීමකි. රටේ මහජනතාව සිය වියදමෙන් ආරක්ෂක හමුදාවන් නඩත්තු කරන්නේ ඒ වගකීම සඳහාය. ඔවුන්ට ඒ සඳහා උගත්කම අනුව වෙනත් සේවාවන්ට නොගෙවන තරමේ වැඩි වැටුපක් ගෙවන්නේද වෙනත් පහසුකම් ලබා දෙන්නේද ඒ සඳහාය. ඔහුගේ සේවාව සකස් කර තිබෙන්නේ යුදමය තත්ත්වයකදී මරණයට පත්වෙමින් හෝ වෙනත් හානි සිදුකර ගනිමින් කළයුතු සේවාවක් ලෙසය. ආරක්ෂක සේවාවන්ට පුද්ගලයන් එකතුවන්නේද එවැනි අවදානමක් තිබෙන බව දැන දැනගෙනය. ඒ නිසා අභ්‍යන්තර කැරැල්ලක් ඇතිවූ විට එය මර්දනය කිරීම සඳහා සටන් කිරීම ඔවුන් වෙත පැවරී තිබෙන රාජකාරීමය වගකීම වන අතර එවැනි අවස්ථාවලදී සෙබළුන් මරණයට පත්වීම හෝ තුවාල ලැබීම අසාමාන්‍ය දෙයක් වන්නේ නැත. අභ්‍යන්තර කැරැල්ලක් ඇතිවූ විට එය පරාජය කරන ලද අවස්ථාවකදී ඔවුන්ට පැසසුම් ලැබීමේ අයිතියක් ඇතත් ඒ නිසා රට හෝ සමාජය ඔවුන්ට ණයගැතිවන්නේ නැත.

අභ්‍යන්තර කැරැල්ලක් ආරක්ෂක හමුදා අතින් පරාජයට පත්කරන අවස්ථාවකදී ඊට නායකත්වය දෙන දේශපාලන නායකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවිය යුත්තේද ඊට සමාන ප්‍රතිපත්තියකි. අභ්‍යන්තර කැරැල්ලක් ඇතිවූ විට ආරක්ෂක හමුදා යොදා ගනිමින් ඒ කැරැල්ල පරාජය කිරීම රාජ්‍ය බලය දරන දේශපාලන නායකයාගේ වගකීමකි. එය රාජ්‍ය නායකයා වෙත පැවරී තිබෙන රාජකාරීමය වගකීමක් වන අතර අභ්‍යන්තර කැරැල්ලක් පරාජය කෙරුණු අවස්ථාවකදී මහජනයාගේ පැසසුම් ලැබීමේ අයිතියක් රාජ්‍ය නායකයාට ඇතත්, එවැනි ක්‍රියාවක් නිසා රට හෝ සමාජය රාජ්‍ය නායකයාට ණයගැතිවන්නේ නැත. එහෙත් අවාසනාවකට රටේ සිදුවී තිබෙන්නේ එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් රට මුදාගත් නායකයා වශයෙන් රට තමන්ට ණයගැතියැ”යි සිතන ආකල්පයකින් රාජ්‍ය නායකයා ක්‍රියාකිරීමය.

යුද්ධයක් පවතින ඕනෑම අවස්ථාවකදී එතෙක් රටේ පැවති සිවිල් ක්‍රියාකාරීත්වය බොහෝ දුරකට යටපත්වී හමුදා ක්‍රියාකාරීත්වය ප්‍රමුඛ බවට පත්වන්නේය. ඒ සමග රටේ මානව හිමිකම්වලට ලැබෙන වැදගත්කමද අවම මට්ටමක පත්වන්නේය. එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසු ආරක්ෂක හමුදාවල ක්‍රියාකාරීත්වය බැරැක්කවලට සීමා කොට සිවිල් ක්‍රියාකාරීත්වය ප්‍රමුඛ තත්ත්වයක් ගත යුත්තේය. ඒ සමග මානව අයිතිවාසිකම්වලට ලැබෙන වැදගත්කමද ප්‍රමුඛ තත්ත්වයකට පත්විය යුතුය.

යුද්ධය අවසන් වී වසර 5කට වැඩි කාලයක් ගෙවී ඇතත් යුද්ධයක් අවසන් කිරීමෙන් හමුදා ක්‍රියාකාරීත්වයේ ඇතිවිය යුතු වෙනස්කම් තවමත් මුළුමනින් සිදුවී නැත. ආරක්ෂක හමුදා බැරැක්කවලට සීමාකරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර නැති අතර ආරක්ෂක හමුදාවල සෙවණැල්ල රටේ දෛනික ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපා තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. යුදමය තත්ත්වයක් නොපවතින අවස්ථාවකදී පොලිසිය කළයුතු සේවාවන් සඳහා ද ආරක්ෂක හමුදා වැඩි වැඩියෙන් යොදා ගනිමින් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මානව අයිතිවාසිකම්වලට ලැබිය යුතු ප්‍රමුඛතාවද යටපත් වී තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

යුද්ධයෙන් පසු හමුදාව

සිව්වැනි ඊලාම් යුද්ධය පරාජය කිරීම සඳහා ආරක්ෂක හමුදාවල ප්‍රමාණය විශාල ප්‍රමාණයකට ප්‍රසාරණය කිරීමට රජයට සිදුවිය. දැන් එතරම් විශාල ආරක්ෂක හමුදාවක් රටට අවශ්‍ය නැතත් අතිරික්ත පිරිස වහාම ගෙදර යැවීමේ හැකියාවක්ද නැත. ඔවුන්ට පඩිනඩි හා කන්න බොන්න දී නිකම්ම තබාගන්නවාට වඩා ඔවුන්ගේ අතිරික්ත ශ්‍රමය ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා යොදාගැනීම වරදක් නැතත්, ඒ දේ සිදුකළ යුතුව තිබෙන්නේ රටේ සිවිල් ක්‍රියාකාරීත්වයට හානියක් ඇති නොවන ආකාරයටය. ආරක්ෂක ලේකම්වරයා භාරයේ තිබෙන නාගරික සංවර්ධන අධිකාරිය විසින් කරනු ලබන ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රම බලකාය වශයෙන් යොදා ගනිමින් තිබෙන්නේ ආරක්ෂක හමුදාය. එහෙත් එහිදී ආරක්ෂක හමුදා විශේෂ ශ්‍රම බලකායක් වෙනුවෙන් පෙනී සිටින ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකරනවා වෙනුවට නිල ආරක්ෂක හමුදා ලෙස පෙනී සිටින තත්ත්වයක් තුළ සමහර ක්‍රියාකාරකම් බලහත්කාරී ස්වරූපයකින් ක්‍රියාත්මක වන බවත් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. පැල්පත් හා අනවසර ඉදිකිරීම් ඉවත් කරන විට ඒවාහි නියම අයිතිවාසිකම් ඇති පුද්ගලයන් පවා ආරක්ෂක හමුදාවන්ට ඇති බිය නිසා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින තත්ත්වයක් ඇති කිරීමට හේතුවී තිබේ. සමහර ප්‍රදේශවල මාර්ග පුළුල් කිරීමේදී වන්දි නොගෙවා ඉඩම් අත්පත් කරගන්නා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වේ. නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකරන සමහර ආයතන පවත්වාගෙන යෑමේ වගකීම භාරදී තිබෙන්නේද ආරක්ෂක හමුදාවලටය. ආරක්ෂක හමුදා සංචාරක හෝටල් හා ආපනශාලා ඉදිකිරීමෙන් නොනැවතී ඒවා පවත්වාගෙන යන්නන් බවටද පත්ව තිබෙන්නේය.

යුද්ධය අවසන්වීමෙන් පසු ආරක්ෂක හමුදාවන්ගේ අතිරික්ත ශ්‍රමය ප්‍රයෝජනයට ගැනීම වරදක් නැතත්, ඒ යොදාගනිමින් තිබෙන ආකාරයේ බරපතළ දෝෂ තිබෙන්නේයැ”යි කිව හැකිය.

මනෝභාවයේ ආරවුල

මානව අයිතිවාසිකම්වලට මහජනයා අතර තිබුණු පිළිගැනීම යුද්ධය හා යුද මතවාදයන් විසින් කිසියම් විශාල ප්‍රමාණයකට පොළොවට සමතලා කර තිබෙන බවක් පෙනෙන්නට තිබේ. යුද්ධයේ වගවීම පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධ වී තිබුණේ මානව අයිතිවාසිකම්වලටය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බටහිර රටවල් මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය මුල් කොටගෙන ලංකාව ප්‍රශ්න කරන තත්ත්වයක් ඇතිවූ විට එය ආණ්ඩුවේ ප්‍රචාරක ආයතනයක් පෙන්නුම් කළේ එල්ටීටීඊය පරාජය කිරීම නිසා ඇති කරගත් වෛරයෙන් යුතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බටහිර රටවල් දෙමළ ඩයස්පෝරාව සමග එකතු වී ලංකාවේ බෙල්ල හිරකිරීමට දරන දුෂ්ට ප්‍රයත්නයක් ලෙසය. ආණ්ඩුව විසින් ජනමාධ්‍ය හරහා ජනතාව මත පටවන ලද එම මතවාදය කිසියම් විශාල ප්‍රමාණයකට මහජනයා කෙරෙහි බලපා තිබෙන බවක්ද පෙනේ. ඒ නිසා මානව අයිතිවාසිකම්ද අපේ ජීවිතවලට අදාළ හෝ වැදගත් නොවන දේශීය දෙයක් ලෙසද සැලකිය නොහැකි බටහිරුන් විසින් අප මත බලහත්කාරයෙන් පටවන දෙයක් ලෙස සලකන තත්ත්වයක් ඇතිවී තිබෙන්නේයැ”යි කිව හැකිය. මානව අයිතිවාසිකම් සැලකිය හැක්කේ නූතන අර්ථයෙන් මානව වර්ගයා හිමිකරගෙන තිබෙන දේශපාලන ශීලාචාරබවේ ප්‍රධාන අත්තිවාරම ලෙසය. මානව අයිතිවාසිකම්වලට ලැබෙන වැදගත්කම අත්හැරීම මගින් අපි දේශපාලන සීලාචාරබවේ රාමුවෙන් ඉවතට ඇදී යන අශීලාචාර ජාතියක් බවට පත්වෙමින් සිටින්නේයැ”යි කිව හැකිය.

අප අසල්වැසි රටවල් කෙරෙන් පමණක් නොව සමස්ත ගෝලීය ලෝකය දෙසද සැකයෙන් බලන ලෝකයේ රටවල් බොහොමයක් ශ්‍ර්‍රී ලංකාව විනාශ කිරීම අරමුණු කරගත් දුෂ්ට කුමන්ත්‍රණයක නිරත වන රටවල් ලෙස දකින තත්ත්වයකට පත්ව සිටින්නේයැ”යි කිව හැකිය. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ හතුරෙකි. අසල්වැසි තමිල්නාඩුව පමණක් නොව සමස්ත ඉන්දියාවද අපේ හතුරෙකි. ඇමරිකා එක්සත් ජනපදය අපේ හතුරෙකි. බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවල්ද අපේ සතුරෝය. බටහිර කඳවුරේ සියලු හිතවත් රටවල්ද අපේ සතුරෝය. මුස්ලිම් රටවල්ද විශ්වාස නොකළ යුතුය. අවසානයේ ජාතියේ විශ්වාසයට හේතුවී තිබෙන රටවල් බවට පත්ව තිබෙනුයේ චීනය, රුසියාව හා ලෝකයේ කොන් කරනු ලැබූ ඒකාධිපති රටවල් කිහිපයක් පමණය.

දැන් ජාතියේ මනෝභාවය රහසිගත දේශපාලන ව්‍යාපාරවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන මනෝභාවයට සමානය. ශ්‍රී ලංකාවද එහි වෙසෙන සිංහල බෞද්ධයන් හා ඔවුන්ගේ සංස්කෘතියද විනාශ කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර මට්ටමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ අරමුණ පරාජය කිරීමේ යුද්ධ ව්‍යාපාරයට නායකත්වය දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂද එම යුද ව්‍යාපාරය මෙහෙයවන ලද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ප්‍රධාන රණවිරුවන්ද ජාත්‍යන්තර අපරාධ අධිකරණයකට ඉදිරිපත් කොට රට නැවත පරාධීන දේශයක් බවට පත්කිරීමය. එම දුෂ්ට කුමන්ත්‍රණයට සම්බන්ධ දේශීය හවුල්කාර ව්‍යාපාර හා පුද්ගලයන් විශාල සංඛ්‍යාවක්ද රටේ සිටින්නේය. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ජනරළ ව්‍යාපාරය, දෙමළ සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, එන්ජීඕ ව්‍යාපාර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, සමහර වෘත්තීය සමිති ව්‍යාපාර, බෞද්ධ නොවන ආගමික සංවිධාන සේ ම සමහර බෞද්ධ සංවිධානද මෙම දුෂ්ට කුමන්ත්‍රණයට සම්බන්ධය. රටේ සිදුවන හැම අවලස්සන සිදුවීමක් පිටුපසම මෙම කුමන්ත්‍රණකරුවන්ද සිටින්නේය. රතුපස්වල ගැටුම පිටුපස පමණක් නොව බේරුවල සිදුවූ සිද්ධීන් පිටුපසද මේ කුමන්ත්‍රණකරුවන් සිටියේය. මේ කුමන්ත්‍රණකරුවන්ගෙන් රට බේරාගැනීම සඳහා චරපුරුෂ සේවාවල ක්‍රියාකාරීත්වය උපරිම තත්ත්වයකට පත්කොට තිබෙන අතර ආරක්ෂක හමුදාවන්ද සීරුවෙන් තබා තිබෙන්නේය.

මේ මනෝභාවය යුද්ධයේ ජයග්‍රහණයත් සමග රට තුළ ක්‍රියාත්මක වූ වීර වන්දනාවේ අවලස්සන ඵලයක් ලෙස සැලකිය හැකිය. බර්ට්‍රන්ඩ් රසල් කියා තිබෙන ආකාරයට මේ ආකාරයේ වීර වන්දනාවන් අවසන්වන්නේ භීෂණයෙන් තැතිගත් බියගුල්ලන්ගෙන් සමන්විත ජාතියක් ඇති කිරීමෙනි.