අරාජිකත්වයේ අත්තිවාරම්

August 18, 2013
Publication:
Ivan argues that the government, lacking any theory of how rotten the whole system had become by the end of the war, is watching it collapse piece by piece into anarchy. Its answer to a corrupt police — sending the army, as at Rathupaswala — is worse than the disease. Champika Ranawaka's own column describes a lumpen rich and a super-bureaucracy; the judiciary rotted under Sarath N. Silva; tax collection has collapsed into VAT fraud; and debt-funded infrastructure, the lost GSP+, the DCD milk-powder scare and the anti-fertiliser campaign over kidney disease all speed the slide.

රටේ නොකඩවා සිදුවෙමින් පවතින අවලස්සණ හා අවාසනාවන්ත දේවලින් පෙනීයනුයේ රට මහා අරාජිකත්වයක් කරා තල්ලුවෙමින් තිබෙන බවය. ඒ තත්ත්වය පාලනය කිරීමේ හැකියාවක් ආණ්ඩුවට නැති බවය. ඇතිවෙමින් තිබෙන එම තත්ත්වය තේරුම්ගත යුතුව තිබෙන්නේද නොවැළැක්විය හැකි ඓතිහාසික තත්ත්වයක් ලෙසය.

නිදහසේ සිටම රට ගමන් ගත්තේ නවීන ජාතික රාජ්‍යයකට මාරුවීමේදී අවශ්‍යයෙන්ම සපුරා ගතයුතු සමහර මූලික කොන්දේසි සපුරා ගැනීමෙන් තොරවය. ජාතික රාජ්‍යයක් සඳහා අවශ්‍ය කරන එක්සත් ජාතියක් හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් සඳහා අවශ්‍ය කරන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරගැනීමෙන් තොරවය.

එම තත්ත්වය ජාතික රාජ්‍ය ක්‍රමය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය පමණක් නොව සමාජ ක්‍රමය හා සමස්ත ආයතන ක්‍රමයද ක්‍රම ක්‍රමයෙන් විකෘති කොට දූෂිත කිරීමට හේතුවී තිබුණේය. ජන සමාජයේ විවිධ ජනකණ්ඩායම් අතර පැවති ප්‍රශ්න කෙළවරක් නැති තරමට ලේ ගලන ප්‍රචණ්ඩ ගැටුම් බවට පත් කළේය. ඒ සමග ආයතන ක්‍රමයේ ඇතිවූ පිරිහීම රටේ සමස්ත ආයතන ක්‍රමයම අකාර්යක්ෂම හා දූෂිත බවට පත්කිරීමට හේතුවී තිබුණි. ප්‍රභාකරන්ගේ ප්‍රචණ්ඩ ව්‍යාපාරය නන්දිකඩාල්වලදී තීරණාත්මක ලෙස පරාජය කෙරෙන අවස්ථාව වන විට රට තිබුණේ ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කළද ගඳගහන තරමට කුණුවී සමස්ත ක්‍රමයම මහා ප්‍රතිසංවිධානයකට ලක් කිරීමකින් තොරව ඉදිරියට යා නොහැකි තරමට කුණුවූ තත්ත්වයකය. එය රාජ්‍ය ක්‍රමයේ හා සමාජ ක්‍රමයේ එක තැනකට හෝ කිහිප තැනකට සීමාවී තිබූ තත්ත්වයක් නොව හැමතැනකම බලපෑ සමස්ත ක්‍රමය කෙරෙහිම බලපෑ ප්‍රශ්නයක් විය.

න්‍යායික අන්ධභාවය

එහෙත් ක්‍රමයේ ඇතිවී තිබුණු මෙම කුණුවීම න්‍යායිකව දැකීමේ හැකියාවක් ආණ්ඩුවට නොතිබුණා සේ ම ඒ නිසා සමස්ත ක්‍රමයේ ඇති කළයුතු ප්‍රතිසංවිධානයක අවශ්‍යතාව තේරුම් ගැනීමේ හැකියාවද ආණ්ඩුවට නොතිබුණේය. ඒ දැක්ම ජනාධිපතිවරයාට නොතිබුණා සේ ම ජනාධිපතිවරයාගේ සහෝදරයන් දෙදෙනාටද නොතිබුණේය. පාලක පක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස සැලකිය හැකි ශ්‍රීලනිපයට නොතිබුණා සේ ම ආණ්ඩුවේ අනෙකුත් හවුල්කාර පක්ෂවලටද නොතිබුණේය. එවැනි දැක්මක් විරුද්ධ පක්ෂවලට හෝ සමාජයකටද නොතිබුණේය.

ප්‍රභාකරන් පරාජය කිරීමෙන් උද්දාමයට පත් ආණ්ඩුව දැන් තමන්ට කිසිම අභියෝගයකින් තොරව දීර්ඝ කාලයක් පාලන බලයේ සිටීමේ වාසනාව ලැබෙනු ඇතැ”යි කල්පනා කරමින් ඔජර ගලන තරමටම කුණුවී තිබුණු ක්‍රමය ප්‍රතිසංවිධානයකට ලක්කිරීමෙන් තොරව ඉදිරියට යන්නට වෙර දරන තත්ත්වයක් තුළ කුණුවී තිබුණු එම ක්‍රමය එකවිට මුළුමනින් නොව විටින් විට තැනින් තැනින් කඩා හැලෙන තත්ත්වයක් ඇතිවෙමින් රට අරාජික තත්ත්වයකට තල්ලු කරන වටාපිටාවක් ඇති කළේය.

පොලිසිය ඵලදායී වැඩ කොටසක් කළ නොහැකි තරමට කුණුවී තිබෙන බව ආණ්ඩුව දැන සිටියේය. එය විශ්ලේෂණාත්මක අවබෝධයක් නොව අත්දැකීම්වලින් ඇති කරගත් සාමාන්‍ය අවබෝධයක් විය. ආණ්ඩුව ඊට තිබෙන විසඳුම ලෙස දැක්කේ පොලිසිය කෙරෙහි විශ්වාසය නොතබා පොලිසියේ රාජකාරී වගකීම් විශේෂ කාර්ය බලකායට හා යුද හමුදාවට භාරදීමය.

රතුපස්වල සිදුවූ ඛේදවාචකයෙන් පසුව ඒ ඇතිවූ තත්ත්වය ගැන කනගාටුව පළකරමින් ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ පුවත්පත්වලට ලබාදී තිබූ සම්මුඛ සාකච්ඡාව තුළ ඒ දර්ශනය හොඳින් දැකිය හැකිය. ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී පොලිසියේ අසාර්ථකභාවය පෙන්නුම් කරන නිදර්ශන ගණනාවක් පෙන්වාදෙමින් ඒ තත්ත්වය තුළ ඒ වගකීම පොලිසියට වඩා හොඳින් හමුදාවට කළහැකිවේයැ”යි කියන විශ්වාසය නිසා රතුපස්වල අර්බුදය පාලනය කරන්නට හමුදාව යොදාගන්නට ඇති බව කියා තිබුණි. ඒ මතය බැසිල් රාජපක්ෂ ඇමතිවරයාට පමණක් සීමාවූ දෙයක් නොව ජනාධිපතිවරයාද, ආරක්ෂක ලේකම්වරයා සේ ම ඒ ගැන වන ආණ්ඩුවේද පිළිගත් පොදු දෘෂ්ටිය වීයැ”යි කිව හැකිය.

පොලිසියේ කුණුවීම

පොලිසියේ අසමත්භාවය පිළිබඳව ඒ සියලුදෙනා දරන මතය නිවැරදිය. වැරැද්ද ඇත්තේ ඒ වෙනුවට තෝරාගන්නා විකල්ප ක්‍රමය තුළය.

නූරියේ පමණක් නොව අඩු වැඩි වශයෙන් රටේ හැමතැනකම පාහේ පොලිසියේ පවතින තත්ත්වය නූරියේ පැවති තත්ත්වයට සමානය. පොලිසිය අපරාධකරුවන් සමග හා හොර ජාවාරම්කරුවන් සමග කල්ලි ගැසී ක්‍රියාකිරීම රටේ හැමතැනකම වාගේ පවතින ඉතාමත් සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. නූරියේ අපරාධ කල්ලිය දශකයකට වැඩි කාලයක් සාහසික අපරාධවල යෙදී තිබුණේ ප්‍රාදේශීය පොලිසිවල හා පොලිස් ප්‍රධානීන්ගේ සහාය ඇතිවය. එහි දකින්නට තිබෙන ඊළඟ වැදගත් දේ ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගේ අනුග්‍රහයද එම අපරාධ කල්ලියට ලැබී තිබීමය. ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ප්‍රාදේශීය පොලිස් අධිකාරිය හා ප්‍රාදේශීය අපරාධකරුවන් එකට කල්ලි ගැසී ක්‍රියාකරන හා ඒ තුන් පිරිස එකිනෙකාගෙන් යැපෙන තත්ත්වයක් නූරියේ තිබී ඇති බව පැහැදිලිව දැකිය හැකිය. මෙය අඩු වැඩි වශයෙන් ප්‍රාදේශීය මට්ටමෙන් පොදුවේ බොහෝ තැන්වල දකින්නට තිබෙන සාමාන්‍ය ලක්ෂණයක් වන අතර මෙම තත්ත්වය ඊට වඩා නම්බුකාර හා ගාම්භීර මට්ටමකින් ජාතික දේශපාලන තලයේද දැකිය හැකි ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

මෙය පොලිසියට පමණක් ආවේණික ලක්ෂණයක් නොව සමස්ත ආයතන ක්‍රමයටම ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

ඉරිදා ලංකාදීප පුවත්පතට කොලමක් ලියන විද්‍යා හා තාක්ෂණ ඇමති චම්පික රණවක ගිය ඉරිදා එම කොලමට රටේ සාමය හා නීතිය බිඳ වැටී තිබෙන ආකාරය ඔහුගේ දෘෂ්ටියෙන් විග්‍රහ කර තිබුණි. අයථා ජාවාරම්වලින් විශාල ලෙස මුදල් උපයා ගත් ලුම්පන් පන්නයේ ධන හිමියෝ පිරිසක් විශාල ලෙස රටේ ඔවුන්ගේ අණසක පතුරුවන තත්ත්වයක් හිමි කරගෙන සිටින බවත් මෙම තත්ත්වය පාලනය නොකළහොත් ඔවුහු පාර්ලිමේන්තුව, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මුළුමනින් පාලනය කරන තත්ත්වයක් හිමිකරගනු ඇති බවත් කියා තිබුණි. මෙම ප්‍රවාහයට රාජ්‍ය නිලධරතන්ත්‍රය හසුවී තිබෙන ආකාරයත්, ඒ මගින් දේශපාලනය සමගද ව්‍යාපාරික ලෝකය සමගද පාතාලය සමග හා නීතිය හා මාධ්‍ය ලෝකය සමගද බොහෝ සම්බන්ධකම් ඇති සුපිරි නිලධර පැලැන්තියක් ගොඩනැගී තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඒ යෝධ අයිස් කන්දේ පුංචි තිතක් පමණක් බවත් ඔහු එහි වැඩිදුරටත් කියා තිබුණි. ඔහු ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයකු වන නිසා අධිකරණය පිළිබඳව ඔහු එහි ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණයද වැදගත්ය. සක්විතිට දඬුවම් කළේය. එමෙන් සිය ගුණයක් වංචා කළ කොතලාවල හා ඔහුගේ බිරිඳට සුවසේ ඉන්නට ඉඩදී තිබේ. සෞඛ්‍යයට අහිතකර තත්ත්වය විදහා දක්වන රූප සිගරැට් පැකැට්ටුවල මුද්‍රණය කරවීම උසාවි මගින් පමා කර තිබේ. වැට් බදු වංචාවට අසුවූ අය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය නොකළේය. නඩුකාරයන්ද තීන්දු දීමට මූල්‍ය හා ලිංගික අල්ලස් ගන්නා බව හෙළිදරව් වී තිබේ.

අධිකරණයේ කුණුවීම මහා පරිමාණයෙන් සිදුවන දෙයක් බවට පත්වූයේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ කාලයේදීය. ඔහුගේ දූෂිත ක්‍රියාකාරකම් හෙළිදරව්වීමෙන් ඇතිව තිබූ අර්බුදයේදී රටේ සියලු දේශපාලන පක්ෂ අයුතු වාසි ලබාගත්තේය. එම දූෂිත අගවිනිසුරු මගින් තමන්ට වාසිදායක නඩු තීන්දු ලබාගනිමින් අගවිනිසුරුට රැකවරණය ලබාදෙන ප්‍රතිපත්තියක් මගින් අධිකරණයේ සිදුවෙමින් තිබුණු කුණුවීම එය මර්දනය කිරීමට උඩගෙඩි දුන්නේය. ඒ වන විට රටේ අධිකරණ නායකයා දේශපාලන ලෝකයේ දේශපාලනඥයන් සමග පමණක් නොව පාතාල ලෝකයේ අපරාධකරුවන් සමග පවා ගනුදෙනු කරන තත්ත්වයකට පත්ව සිටියේය. අධිකරණ ක්‍රමයේ ඇතිවී තිබූ එම කුණුවීම සමස්ත ක්‍රමයේ සිදුවෙමින් තිබුණු කුණුවීම වේගවත් කිරීමට හේතුවී තිබුණි.

ක්‍රමයේ ඇතිවී තිබෙන මෙම කුණුවීම දේශපාලන තලයට, පොලිසියට හා අධිකරණයට පමණක් සීමාවූ දෙයක් නොවීය. රටේ කිසිදු ආයතනයක් ඉතිරි නොවන ලෙසට හැම ආයතන ක්‍රමයක්ම එම කුණුවීමේ ක්‍රියාවලියට හසුවී හොඳටම කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙන්නේයැ”යි කිව හැකිය.

බදු එකතු කරන ආයතනවල කුණුවීම

රජයට බදු ආදායම් එකතු කරදීමට ඇතිකර තිබෙන ආයතන ක්‍රමය කොතරම් කුණුවූ තත්ත්වයකට පත්ව තිබේද කියතොත් රජයට ඍජු බදු මගින් ලැබෙන ආදායම 20%ක් තරම් වන වාර්තාගත මට්ටමකට පහත වැටී රජයේ සමස්ත බදු ආදායමෙන් අනියම් බදු මගින් උපයන ආදායම 80% දක්වා ඉහළ නැග තිබේ. ඒ මගින් බදු ගෙවිය යුතු ධනවතුන් බදු ගෙවීමෙන් බොහෝදුරට නිදහස් වී ඒ බරද සාමාන්‍ය ජනයා මත පටවන තත්ත්වයක් නිර්මාණය වී ඇතැ”යි කිව හැකිය. දකුණු ආසියාවේ සිදුවූ විශාලතම බදු වංචාව ලෙස සැලකිය හැකි වැට් බදු වංචාව බදු ආදායම් එකතු කරන ආයතන ක්‍රමයේ තිබුණු කුණුවීමේ තරම හොඳින් පෙන්නුම් කළේය. එම බදු ආදායමෙන් විශාල ධනයක් උපයාගත් වංචාකරුවන් ඉන් වැදගත් කොටසක් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවලටද ලබාදෙන අතර ඒ මගින් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් ඇති කරගත්තේයැ”යිද කිව හැකිය.

සමස්ත ක්‍රමයේ ඇතිවී තිබෙන මෙම කුණුවීම මුළුමනින් නොසලකා බලයට පත්වන කවර පාලක පක්ෂයකටවත් සාර්ථක පාලනයක් පවත්වාගෙන යෑමේ හැකියාවක් නැති තත්ත්වයක් ඇතිවී තිබේ. ප්‍රභාකරන් කෙනකු නැතිවත් වර්තමාන ආණ්ඩුව මහා අර්බුදයකට පත්ව සිටින්නේ ඒ නිසාය. දේශපාලන ක්‍රමයේ කුණුවීම රට අරාජික තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවී තිබෙනවා සේ ම ආණ්ඩුවේ දැක්මේ ඇති දුප්පත්කමද ඒ තත්ත්වය තව තව උග්‍ර කිරීමට හේතුවී තිබෙන්නේයැ”යි ද කිව හැකිය.

ප්‍රභාකරන්ගේ කැරැල්ල පරාජය කිරීමෙන් පසු වගවීමක් ඉල්ලා ජාත්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම් ඕනෑම යුද්ධයකින් පසුව ඇතිවිය හැකි සාමාන්‍ය දෙයක් ලෙස සලකා ක්‍රියාකරනවා වෙනුවට ආණ්ඩු බලයෙන් පහකිරීමට ක්‍රියාත්මක වන බටහිර කුමන්ත්‍රණයක් ලෙස සලකා ක්‍රියාකරන තත්ත්වයකට තල්ලුවීමෙන් ආණ්ඩුව රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය අවලස්සණ කරගත්තේය. යුරෝපා සංගමයට යවන අපනයන් සඳහා ලංකාවට ලැබෙමින් තිබූ ජීඑස්පී ප්ලස් සහනය ආරක්ෂා කරගැනීමට පුළුවන්කම තිබියදී ආණ්ඩුව එය නොසලකා ක්‍රියා කළේය. ඒ සහනය නැතිවත් අපනයන කර්මාන්ත පවත්වාගෙන යෑමේ හැකියාවක් රටට තිබෙන බවට ආණ්ඩුව වහසි බස් කීවේය. එහෙත් ඒ නිසා අද වනවිට අපනයන නිෂ්පාදන කර්මාන්තයෙන් උපයන ආදායමේ ශීඝ්‍ර පහත වැටීමක් ඇතිවී ප්‍රධාන කොට විදේශීය රැකියා කරන අයගෙන් ලැබෙන ප්‍රේක්ෂණ ආදායමෙන් ජීවත් වන රටක් බවට රට පත්ව තිබෙන අතර අපනයන ආදායම හා ආනයන වියදම අතර ඇති පරතරය අතිවිශාල වන තත්ත්වයක්ද ඇතිවී තිබේ.

යටිතල පහසුකම්වල දියුණුව

යටිතල පහසුකම් අලුතෙන් ඇති කිරීම හා ඒ අංශයේ සිදුකොට තිබෙන නවීකරණයේදී අතිවිශාල ප්‍රගතියක් පෙන්නුම් කිරීමට ආණ්ඩුව සමත් වී ඇතත් ඒ මගින් ලබාගත හැකි ප්‍රතිලාභ උපරිම කරගැනීමට ආණ්ඩුව සමත් වී නැත. රටේ මහා මාර්ග විෂයෙහි ඇතිකර තිබෙන සංවර්ධනය හා නවීකරණ අසමසම තත්ත්වයක පවතින්නේයැ”යි කිව හැකිය. එහෙත් ඒ කටයුතු සිදුවෙමින් තිබෙන්නේ වාණිජ පොලියකට චීනයෙන් පොලියට ලබාගන්නා ණයවලිනි. ඉහළ පොලියකට හෝ ණය ලබාගෙන යටිතල පහසුකම් නගා සිටුවීමෙන් ආණ්ඩුව අපේක්ෂාකළේ විදේශ ආයෝජකයන් රටට ගෙන්වා ගැනීමටය. ඊට අතිරේකව සංචාරක ව්‍යාපාරයේ වේගවත් වර්ධනයක් ඇති කිරීමය. එහෙත් ඒ අරමුණු දෙකම ඉටුකරගැනීමට අසමත්ව තිබෙන්නේ එක් අතකින් ආයෝජකයන් ගෙන්වා ගැනීමට දිරිදෙන දේවල් කරන අතර අනෙක් අතට ආයෝජකයන් ඒම අධෛර්යය කරන හා බියගන්වන දේවල් කිරීම නිසාය. ආණ්ඩුවේ මෙම පරස්පර විරෝධී ලක්ෂණය හැම තැනකම දක්නට තිබෙන සාමාන්‍ය ලක්ෂණයක් ලෙසද සැලකිය හැකිය.

ව්‍යාපාර අත්පත් කරගැනීමේ පනත විදේශ ආයෝජකයන් බියගැන්වූයේය. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම සඳහා යොදාගත් අවිධිමත් පිළිවෙත හා තනතුරෙන් පහකිරීමෙන් පසුද ඇගෙන් පළිගැනීම සඳහා ක්‍රියාත්මක වූ ක්‍රියාදාමය ලංකාවේ ස්වාධීන අධිකරණ ක්‍රමයක් නැතැ”යි කියන හැඟීම විදේශ ආයෝජකයන් තුළ ඇති කිරීමට හේතුවිය. සාධාරණ හා ස්වාධීන අධිකරණ ක්‍රමයක් තිබීම විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා තිබිය යුතු අත්‍යවශ්‍ය කොන්දේසියක් වන අතර ඊට ලැබෙන වැදගත්කම සලකා ක්‍රියාකිරීමට ආණ්ඩුව අසමත් විය.

ඒ නිසා අපේක්ෂා කළ තරමින් විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට ආණ්ඩුව අසමත් වූ අතර ආරම්භයේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් පෙනෙන්නට තිබුණද ඒ අංශයේද දැන් පෙනෙන්නට තිබෙන්නේ වර්ධනයක් නොව පහත වැටීමකි. අවසාන විග්‍රහයේදී අධික පොලියකට චීනයෙන් ණය ලබාගෙන යටිතල පහසුකම් සංවර්ධනය කර ඇතත් ඉන් ආපසු ලැබෙන ප්‍රතිලාභ අහිමි වී තිබෙන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව පහසුවෙන් ගැලවිය නොහැකි ණය උගුලකට බෙල්ල හිරකර ගනිමින් සිටින බවද පෙනේ.

ආණ්ඩුව දේශීය කිරි නිෂ්පාදනය නගා සිටුවීම සඳහා වැදගත් පියවර ගණනාවක්ම ගත්තේය. ඒ සඳහා විශාල ආයෝජනයක්ද සිදු කළේය. එහෙත් ගව ඝාතනයට මතුවූ උද්ඝෝෂණය ඒ අංශයේද දැන් මහා අවිනිශ්චිතභාවයක් ඇති කිරීමට හේතුවී තිබේ. කිරි සඳහා පමණක් හරක් ඇති කරන ව්‍යාපාරයක් කවර මට්ටමකින්වත් ආර්ථික වශයෙන් ලාභදායී විය නොහැකිය. එම කර්මාන්තය ආර්ථික වශයෙන් ලාභදායී වියහැක්කේ කිරිවලට අතිරේකව මස් සඳහා වන කර්මාන්තයක්වන්නේ නම් පමණය.

කිරිපිටිවල DCD ප්‍රශ්නය

නවසීලන්තයෙන් හා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන කිරිපිටි සඳහා පනවා තිබෙන තහනමද විදේශ ආයෝජකයන් අධෛර්යමත් කරන ලොකු සාධකයක් ලෙස ක්‍රියා කළ හැකිය. කාර්මික හා තාක්ෂණ ආයතනය (ITI) කියන්නේ නවසීලන්තයෙන් හා ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන කිරිපිටිවල DCD අන්තර්ගත බවය. එහෙත් කිරිපිටි සමාගම් කියන්නේ ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය එවැනි පර්යේෂණයක් සඳහා පිළිගත් ආයතනයක් නොවන නිසා ඒ පිළිබඳව ඔවුන් ඉදිරිපත් කර තිබෙන තත්ත්ව වාර්තා පිළිගත හැකි තත්ත්වයක නොපවත්නා බවය. කිරිපිටි සමාගම් ඉතාමත් අහිංසක හා විශ්වාසදායක සමාගම් විශේෂයක් ලෙස සැලකිය යුතු නැත. එහෙත් මෙවැනි පරීක්ෂණයක් සඳහා ලංකාවේ කාර්මික හා තාක්ෂණ ආයතනයද ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තත්ත්වයක නොපවතී නම් එය තවදුරටත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආයතනයක් ලවා පරීක්ෂාවට ලක් කරවාගෙන අවසාන තීන්දුවක් ගැනීමේ යුතුකමක් ආණ්ඩුවට තිබුණේය.

කාර්මික හා තාක්ෂණ ආයතනයේ DCD පරීක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මතුකර තිබෙන ප්‍රශ්නාවලිය කාර්මික හා තාක්ෂණ ආයතනයේ පරීක්ෂණය පිළිබඳව බලවත් සැකයක් ඇති කරන බව කිව යුතුය. එම සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙන ආකාරයට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා ආහාර උපදේශක කමිටුව කිරි පිටිවල DCD තිබේදැ”යි පරීක්ෂා කර දෙන ලෙස කාර්මික හා තාක්ෂණික ආයතනයෙන් ඉල්ලා සිටියේය. එවැනි පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය පහසුකම් නැති බව ප්‍රකාශ කරමින් එම ආයතනය එම පරීක්ෂණය කිරීම ප්‍රතික්ෂේප කළේය. ඉන්පසු සෞඛ්‍ය අමාත්‍යාංශයට එම ඉල්ලීම SGS ආයතනය වෙතද යොමු කළේය. එම ආයතනයද එම ඉල්ලීමට සතුටුදායක ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා එම පරීක්ෂණය තායිලන්ත පරීක්ෂණාගාරයකින් සිදුකර ගැනීමට ආහාර උපදේශක කමිටුවට සිදුවිය. එම පරීක්ෂණයේ ප්‍රතිඵලය වී ඇත්තේ එම කිරි පිටිවල DCD නැති බවය. එසේ පහසුකම් නැති බව කියමින් DCD පරීක්ෂාව සිදුකිරීම ප්‍රතික්ෂේප කළ ආහාර හා තාක්ෂණ ආයතනය නැවත හදිස්සියේම එම පරීක්ෂණය සිදුකළේ කෙසේද යන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය මතුකර තිබෙන ලොකුම ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය. එයින් පෙනෙන්නේ අපේ ජාතික පරීක්ෂණ ආයතන කුණුවී තිබෙන තරමය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නගා තිබෙන මෙම ප්‍රශ්න කිරීම නිවැරදි නම් මුලින් එවැනි පරීක්ෂණයක් කරන්නට පහසුකම් නැතැ”යි කියූ ආයතනය හදිසියේම එම පරීක්ෂණය කරන තැනකට ගොස් තිබෙන්නේ දේශපාලන බලපෑම් නිසා බව පෙනී යයි.

මහජන සෞඛ්‍යයට අදාළ දේවලදී පවා දේශපාලනය ක්‍රියාත්මක වන අවාසනාවන්ත තත්ත්වයක් රටේ පවතී. උතුරුමැද පළාතේ ඇති වකුගඩු ප්‍රශ්නය ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.

රසායන පොහොර හා පළිබෝධ නාශක භාවිත කිරීමෙන් තොරව සාර්ථක ලෙස කෘෂිකාර්මික කටයුතුවල යෙදිය හැකියැ”යි විශ්වාස කරන හා ඒ සඳහා ජනතාව උනන්දු කරවන මතවාදී ප්‍රවණතා ගණනාවක් රටේ තිබෙන්නේය. එවැනි සමහර මතවාදී ප්‍රවණතා සමග ඈඳුණු දේශපාලනයක්ද තිබෙන්නේය. උතුරු නැගෙනහිර වකුගඩු රෝග ප්‍රශ්නයට හේතුව රසායන පොහොර හා පළිබෝධනාශක භාවිතය බව ඒත්තු ගන්වන සියුම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීම මගින් රසායනික පොහොර හා පළිබෝධ නාශක ගෙන්වීම තහනම් කළයුතුයැ”යි කියන මතය මහජනයා අතර සේ ම ආණ්ඩුව තුළ ද ඇති කරන විශාල උත්සාහයක ඔවුන් යෙදුණේය. උතුරුමැද පළාතේ වකුගඩු රෝගයට හේතු පිළිබඳව ඔවුන් ඉදිරිපත් කරන විග්‍රහයන්හිදී ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු මෙතෙක් ඒ ගැන විද්‍යාඥයන් විසින් කරන ලද සියලු පරීක්ෂණවලින් ඒ බව සනාථ වී තිබෙන බව ඔවුන් කීවා පමණක් නොව රටේ පළවන සිංහල පුවත්පත්ද කිසිදු සොයා බැලීමකින් හෝ විචාරයකින් තොරව ඒ මතය මහජනයා අතරට සමාජ ගත කළේය.

ඇත්තට ඒ ගැනි සිදුකර තිබෙන කිසිදු වැදගත් පරීක්ෂණයකින් ඔවුන් කියන දේ සනාථ වී නැත. එය එම කලාපයටම විශේෂ වූ විශේෂ තත්ත්වයක් වන අතර එම රෝග තත්තවයකට බලපා තිබෙන විවිධ හේතු අතර එම කලාපයේ ජල බේසමට අදාළ විශේෂ තත්ත්වය ඒ කෙරෙහි බලපා තිබෙන බවද පෙනේ.

රසායනික පොහොර හා පළිබෝධනාශක පරිහරණය හානිදායී ප්‍රතිඵල ඇති කිරීමට හේතුවී තිබෙන බව සත්‍යයකි. එහෙත් ගෙවතු වගාවන් ගණයට වැටෙන පුංචි ගොවිපළවල් මිස රසායන පොහොර නැතිව විශාල ගොවිපොළවල් පවත්වාගෙන යා හැකිය. කොම්පෝස්ට් පොහොර ඊට තිබෙන සාර්ථක විකල්පය ලෙස සැලකිය නොහැකිය. මේ ව්‍යාපාරය අපේක්ෂා කළ ආකාරයට රසායන පොහොර භාවිතය මුළුමනින් තහනම් කරන තත්ත්වයක් ඇති වී නම් එය රටේ කෘෂිකර්මයේ මළගම වන්නට ඉඩ තිබුණි. තමන්ගේ පටු දේශපාලන අරමුණු සපුරාගැනීම සඳහා උතුරුමැද බලවත් සමාජ සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන වකුගඩු රෝගය එයට ඈඳා ගැනීමෙන් සිදුවූයේද ඒ ප්‍රශ්නය විසඳා ගැනීමට ආධාර කරනවා වෙනුවට ප්‍රශ්නය අවුල් කිරීමය. මතවාදී තලයේ රජකරන මෙවැනි අන්තවාදී ආකල්පද රට අරාජිකත්වයක් කරා යන ගමන වේගවත් කිරීමට හේතුවී තිබේ.