බැරැක්ක සංවර්ධනය

August 11, 2013
Publication:
Unlike after 1971 and 1989, when troops returned quickly to barracks, the defeat of the LTTE brought glorification of the forces and a steady military creep into civilian life: officers as governors and secretaries, soldiers running what they build, principals given military ranks. Ivan argues that soldiers and rulers who ended the war did their paid duty and the public owes them thanks, not debt. Command without question suits armies, not societies. The army's shooting of unarmed villagers protesting polluted water at Rathupaswala, Weliweriya, shows the cost of barrack rule.

ලංකාවේ සමස්ත ආයතන ක්‍රමයම මහජනයාට පැහැදිලිව පෙනෙන ලෙස ගරාහැලෙන තත්ත්වයකට පත්ව තිබියදී බැලූ බැල්මට එවැනි ගරාහැලීමක් පෙනෙන්නට නොතිබුණු ආයතන ක්‍රමය ත්‍රිවිධ හමුදාවේයැ”යි කිව හැකිය. ආරක්ෂක හමුදාවන්ට ලැබී තිබුණු මෙම වර්ණවත් පෙනුම කෙරෙහි උතුරේ කෙරුණු අවසාන යුද්ධයට පෙරාතුව ආරක්ෂක හමුදාවන්ට ගෞරවනීය ප්‍රතිරූපයක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වූ ආකර්ෂණීය දැන්වීම් ප්‍රචාරක ව්‍යාපාරය සේ ම ඊටත් වඩා ප්‍රභාකරන් සමග එල්ටීටීඊ ව්‍යාපාරය මුළුමනින් පරාජය කිරීමේ සංසිද්ධිය බලපෑවේයැ”යි කිව හැකිය. ඒ සමග මීට පෙර කවදාවත් නොලැබුණු තරම් අතිවිශාල පිළිගැනීමක් ආරක්ෂක හමුදාවන්ට ලැබුණි. ඔවුන් හැඳින්වූයේ රට බේරාගත් රණවිරුවන් ලෙසය.

කැරලි මර්දනය

මෙය ආරක්ෂක හමුදාව විසින් සන්නද්ධ කැරැල්ලක් පරාජය කරනු ලැබූ පළමු අවස්ථාව නොවන අතර ඊට පෙර අවස්ථා දෙකකදී එනම් 1971දී සහ 1989දීද ජේවීපීය විසින් මෙහෙයවන ලද සිංහල තරුණ කැරලි දෙකක් පරාජය කරන ලදි. 1971 කැරැල්ල පුංචි කැරැල්ලක් වනවිට 1987 කැරැල්ල වඩා විශාල කැරැල්ලක් වීයැ”යි කිව හැකිය. ජේවීපීයේ දෙවැනි කැරැල්ල පරාජය කරනු ලැබුවේ එම කැරැල්ල ජයගැනීමට ආසන්න තත්ත්වයකට පැමිණ තිබියදීය.

මේ අවස්ථා දෙකේදීම ආරක්ෂක හමුදාවන්ට කැරලි පරාජය කිරීම ගැන ස්තූතිය පළකිරීමක් සිදුවූවා මිස ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රතිරූප උත්කර්ෂ කිරීමක් සිදු නොවීය. මේ කැරලි දෙකේදීම ඒවා පරාජය කරනවා දකින්නට මහජනයාද කැමති විය. ඒ ගැන මහජනයා අතර ආරක්ෂක හමුදා කෙරෙහි කෘතවේදී හැඟීමක් තිබුණා සේ ම කැරලි මර්දනය කිරීමේදී සිදුවූ සාහසික ක්‍රියා ගැන බලවත් විවේචනයක්ද තිබුණි. ඒ කැරලි දෙක පරාජය කිරීමෙන් පසු දක්නට ලැබුණු තවත් වැදගත් ලක්ෂණයක් වූයේ හැකි ඉක්මනින් ආරක්ෂක හමුදා මහජන දර්ශනයෙන් ඉවත් කිරීමය. ජේවීපී දෙවැනි කැරැල්ලේදී සිංහල ප්‍රදේශවල රට පුරා තාවකාලිකව කඳවුරු ඇති කර තිබූ අතර එම කැරැල්ල පරාජය කිරීමෙන් පසු ඉතා ඉක්මනින් ඒ සියලු තාවකාලික කඳවුරු ඉවත් කරන ලදි. ජේවීපීය පරාජය කරනු ලැබීමෙන් පසු පවත්වන ලද පළමු මැයි දිනයේදී ඒකාබද්ධ විපක්ෂය පෙළපාළි ගියේ කැරැල්ල මර්දනය කරන ලද කුරිරු ආකාරය මූර්තිමත් කරන දේවල් ද ප්‍රදර්ශනය කරමිනි. එම කැරැල්ල පරාජය කිරීමත් සමග ආරක්ෂක හමුදා කෙරෙහි ඇතිකර ගන්නා බියකින් හෝ චකිතයකින් තොරව දේශපාලන කටයුතුවල නිරතවිය හැකි වාතාවරණයක් රටේ ගොඩනැගී තිබුණේයැ”යි කිව හැකිය. ආණ්ඩු පක්ෂයේ පිරිසක් ඉතා බලවත් ජනාධිපතිවරයකුට එරෙහිව විරුද්ධ පක්ෂ සමග එකතු වී දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමෙන්ද පෙනීයන්නේ පිළිගත හැකි තත්ත්වයක නිදහස් වටාපිටාවක් ඇතිවී තිබුණු බවය. ජේවීපී කැරැල්ල පරාජය කිරීමෙන් පසු හතු පිපෙන ආකාරයට ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරන විකල්ප පුවත්පත් ගොන්නක් කරළියට ඒමෙන් පෙනීයන්නේද කැරැල්ල කාලයේ තිබූ භය කැරැල්ලෙන් පසුව ඉක්මනින් මහජනයා අතරින් තුරන් වූ බවය. ජේවීපීය අවසාන වශයෙන් පරාජය කර තිබුණද ජේවීපීයේ ඉතුරු බිතුරු වැඩ කළේ ආරිය බුලේගොඩ සමගය. ඒ බව ආණ්ඩුව දැන සිටියද ආණ්ඩුවෙන් ආරිය බුලේගොඩ සමගය. ඒ බව ආණ්ඩුව දැන සිටියද ආණ්ඩුවෙන් ආරිය බුලේගොඩට විශේෂ කරදර කිරීමක් සිදුවූයේ නැත. ආයුධ අතට ගෙන කැරලි ගැසූ ජේවීපීයටද ඔවුන් අවසාන වශයෙන් පරාජය කිරීමෙන් පසු ආයුධ අතට නොගෙන දේශපාලනයේ නිරතවීමේ එක්තරා නිදහසක් ආණ්ඩුව විසින් ලබාදී තිබුණු බව ඉන් පෙනී යයි.

එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු ලැබෙන චිත්‍රය ඊට සමාන නැත. එම කැරැල්ල පරාජය කිරීමෙන් පසු ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රතිරූප නොකඩවා උත්කර්ෂ කිරීමක් සිදුවූවා පමණක් නොව ඔවුන් මුළුමනින් දර්ශනයෙන් ඉවත් නොකොට තවදුරටත් දර්ශනයේ රඳවා තබාගැනීමක් සිදුවීයැ”යි කිව හැකිය. ඔවුන් ආරක්ෂක හමුදාවෙන් පිටස්තර ලොකු සිවිල් තනතුරුවලට පත්කෙරෙන ක්‍රමයක් ක්‍රියාත්මක විය. සමහරෙක් ආණ්ඩුකාරවරුන් බවටත්, දිසාපතිවරුන් බවටත් අමාත්‍යාංශ ලේකම්වරුන් බවටත් තානාපති නිලධාරීන් බවටත් පත්කරන ලදි.

රාජකාරී වගකීම

ආරක්ෂක හමුදාවන් එල්ටීටීඊය පරාජය කිරීමෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ඒ අරමුණ වෙනුවෙන් කිසියම් විශාල පිරිසක් මිය ගියේය. ඊටත් වඩා විශාල පිරිසක් තුවාල ලැබූහ. ඔවුහු එහිදී කරන ලද කාර්යභාරය වෙනුවෙන් ඔවුන්ට ලැබිය යුතු ගෞරවය හා කීර්තිය ලෝබකමකින් තොරව ඔවුන්ට ලබාදිය යුතුය. ඒ ගැන වාදයක් තිබිය නොහැකිය.

ඒ සමග රටේ කැරලි ඇති වෙතොත් ඒවා පරාජය කිරීම ඔවුන්ගේ රාජකාරී වගකීම වන බවද අමතක කළ නොහැකිය. ඔවුහු යුද්ධ ඇති වෙතොත් අවශ්‍ය නම් මැරෙන්න හෝ තුවාල ලබන්නා බලාගෙන සිටින විශේෂ වෘත්තියක යෙදෙන පිරිසක් ලෙස සැලකිය හැකිය. එම වෘත්තියේ විශේෂතාවය වෙනුවෙන් සුදුසුකම් අනුව වෙනත් වෘත්තියකදී නොගෙවන තරම් ඉහළ මිලක් ආරක්ෂක හමුදාවන්ට ගෙවනු ලබන්නේය. ඔවුන් මියගිය විට ඒ වෙනුවෙන් වන්දියක් ගෙවනවාට අතිරේකව ලැබෙන උසස්වීම් සමග ඔහු ජීවතුන් අතර සිටියදී ලැබීමට නියමිත වැටුප යැපෙන්නන්ට ගෙවන ලදි. ඒ සියලු වියදම් දරන්නේ මහජන මුදල්වලිනි. ඒ නිසා ඔවුන් කර තිබෙන සේවාව වෙනුවෙන් මහජනයා අවශ්‍ය තරමට කෘතඥ වී නැතැ”යි කිව නොහැකිය.

මේ තර්කය පාලක පක්ෂයටද යොදාගත හැකිය. රට රැකීම පාලකයා සතු වගකීමකි. කැරැල්ලක් ඇතිවූ විට එය මැඬපැවැත්වීමද පාලකයා සතු වගකීමකි. කොතරම් දරුණු කැරැල්ලක් වුවත් එය මැඬපැවැත්වීමෙන් පාලකයා කීර්තියට වැඩි දෙයක් බලාපොරොත්තු නොවිය යුතුය. මක්නිසාදයත් එය ඔහුගේ රාජකාරි වගකීම වන නිසාය. ඒ වගකීම වෙනුවෙන් පාලකයාට මහජනයා සියලු පහසුකම් සහිතව විශේෂ ගෙවීමක් කරන නිසාය.

වැල්ලේ ඇවිදයමින් සිටින මිනිසකු මුහුදේ ගසාගෙන යන මිනිසකු දැක සිය ජීවිතය නොතකා මුහුදට පැන ඒ මිනිසාගේ ජීවිතය ආරක්ෂා කරගතහොත් ඔහුට කීර්තියට වැඩි දෙයක් ලැබිය යුතුය. මක්නිසාදයත් එය ඔහුගේ රාජකාරියක් නොවන නිසාය. එහෙත් ජීවිත ආරක්ෂක භටයකු මුහුදේ ගසාගෙන යන මිනිසකුගේ ජීවිතය බේරා ගතහොත් ඔහුට ප්‍රශංසාවට හෝ කීර්තියට වැඩි දෙයක් ලැබිය යුතු නැත. මක්නිසාදයත් ඔහු කරන ලද්දේ රාජාකාරී වගකීමක් වන නිසාය. පාලක පක්ෂයට හිමිවිය යුත්තේද ඒ සමාන දෙයකි. මුහුදේ ගසාගෙන යන ජීවිත ආරක්ෂක භටයාටද අවශ්‍ය නම් මාගේ ජීවිතය නොතකා මා මැදිගත් නොවන්නට තමුසෙ මැරෙන්න ඉඩ තිබුණා නේද කියා තර්ක කළ හැකිය. එහෙත් එසේ තර්ක කිරීම සාධාරණ නොවන්නේ දියේ ගසාගෙන යන මිනිසුන්ගේ ජීවිත බේරාගැනීම ඔහුගේ රක්ෂාව වන නිසාත් ඒ රක්ෂාව වෙනුවෙන් ඔහුට ගෙවීමක් කරන නිසාත්ය. ඒ නිසා එල්ටීටීඊ ග්‍රහණයෙන් රට මුදවා ගැනීම ගැන ආරක්ෂක හමුදාවන්ට, රටේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට මහජනයාගේ ප්‍රශංසාව හා කෘතඥතාව හිමිවිය යුතු වුවත් ඒ වෙනුවෙන් ඒ කිසිවකට මහජනයා ණයගැති නැත.

එල්ටීටීඊය පරාජය කිරීමේ අරමුණ ජයගැනීම සඳහා ආණ්ඩුවට, ආරක්ෂක හමුදාවන්ගේ සංඛ්‍යාවෙහි වේගවත් ප්‍රසාරණයක් ඇති කිරීමට සිදුවිය. ඉන්දියානු ආරක්ෂක විශ්ලේෂකයකු 2006 වසරේදී ලංකාව පිළිබඳව පළකර තිබෙන වාර්තාවකට අනුව ජනගහනයට අනුපාතිකයක් වශයෙන් ගත්විට දකුණු ආසියාවේ හමුදාකරණයේදී පළමු ස්ථානයේ සිටින්නේ ශ්‍රී ලංකාවය. බංගලිදේශයේ ජනගහනයෙන් මිලියනයකට සිටින ආරක්ෂක හමුදාවන්ගේ සංඛ්‍යාව 1000කි. නේපාලයේ එය 2700කි. ඉන්දියාවේ 1300කි. පාකිස්තානයේ 4000කි. ලංකාවේ 8000කි. මේ 8000 දැන් 16,000කටත් වැඩිවිය හැකිය.

ලොකු කැරැල්ලක් පරාජය කිරීමෙන් පසුත් රටේ ජනගහනයේ තරමට නොගැළපෙන අතිවිශාල ආරක්ෂක හමුදාවක් නඩත්තු කිරීමට සිදුවී තිබීම ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන ලොකු ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. එහෙත් එල්ටීටීඊ කැරැල්ල පරාජය කිරීමෙන් පසු ආරක්ෂක හමුදාවන්ගෙන් විශාල පිරිසක් වහා ගෙදර යැවීමේ හැකියාවක් ආණ්ඩුවට නොතිබුණි. එසේ වී නම් එය ආරක්ෂක හමුදාවන්ගේ කෝපයට හේතුවන කාරණයක් වන්නට ඉඩ තිබුණි. ආරක්ෂක ලේකම්වරයා එහිදී ඔවුන්ට කන්න බොන්න හා වැටුප් දී නිකම්ම ඉන්න දෙන පිළිවෙතක් වෙනුවට ඔවුන්ගේ ශ්‍රමය ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගන්නා පිළිවෙතක් අනුගමනය කළේය. මා හිතන්නේ ඒ ප්‍රතිපත්තිය නිවැරදිය. එහෙත් එය ක්‍රියාවට නගා තිබෙන ආකාරය නිවැරදි නැත. ආරක්ෂක හමුදා ලවා ඉදිකරන බොහෝ තැන් ඒවා ඉදිකිරීමෙන් පසුත් පාලනය කිරීමේ හා පවත්වාගෙනයෑමේ වගකීම ආරක්ෂක හමුදා වෙත භාරදී තිබේ. ඒ මගින් යුද්ධය අවසන්වීමෙන් පසුත් ආරක්ෂක හමුදා අනියම් ආකාරයකට විවිධ ස්ථානවල ස්ථානගත කිරීමක් සිදුකර තිබෙන බව පෙනෙන්නට තිබේ. එම දර්ශනය මහජන සිත් සතන් තුළ ඇති කරන හැඟීම යහපත් නැත. කලබල කාලවලදී මෙන් නොව රටක් සාමකාමී වූ විට රට යථා තත්ත්වයට පත්ව ඇති බව පෙන්වන එක් වැදගත් දර්ශකයක් වන්නේ ආරක්ෂක හමුදා සාමාන්‍ය දර්ශනයෙන් ඉවත් කොට තැබීමය. එය රටේ සිවිල් නිදහස ස්ථාපිත කර ඇති බව පෙන්නුම් කරන දර්ශකයක් ලෙස ද සැලකිය හැකිය.

බැරැක්ක සම්ප්‍රදාය

ලෝකයේ ඕනෑම හමුදාවක කටයුතු සිදුවන ක්‍රමවේදය සිවිල් සමාජ ආයතනවල කටයුතු සිදුවන ක්‍රමවේදයට වඩා මුළුමනින් වෙනස්ය. ඉහළින් පනවන නියෝග ප්‍රශ්න කිරීමකින් තොරව පිළිපැදීම ආරක්ෂක හමුදාවලට ක්‍රියාත්මක වන ක්‍රමය ලෙස සැලකිය හැකිය. ආරක්ෂක හමුදා සඳහා තිබිය හැක්කේද තිබිය යුත්තේද එවැනි ක්‍රමයකි. එය ඒකාධිපති ක්‍රමයක් ලෙස සැලකිය හැකි වුවද එය ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම ආරක්ෂක හමුදාවක ක්‍රියාත්මක සාමාන්‍ය පිළිගත් ක්‍රමය ලෙසද සැලකිය හැකිය. එහෙත් ඒ ක්‍රමය සිවිල් ආයතන සඳහා යොදාගත යුතු ක්‍රමයක් ලෙස දේශපාලන වශයෙන් ශීලාචාර කිසිම රටක් සලකන්නේ නැත. සිවිල් ආයතනවල ක්‍රියාත්මක වන ක්‍රමය වනුයේ ලැබෙන නියෝග ප්‍රශ්න කිරීමට හා පරීක්ෂා කිරීමට ලක්කිරීමෙන් පසුව පමණක් ක්‍රියාත්මක කිරීමය. ඉහළින් ලැබෙන නියෝග නීතියට අනුකූල නොවේ නම් ඒවා ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය පහළ නිලධාරීන් සතුය. දෙනු ලබන නියෝගයක් නීතියට අනුකූල වන අවස්ථාවලදී පවා ඒවා ඵලදායී නොවන බව හෝ හානි ඇති කිරීමට හේතුවන බව පෙනෙන අවස්ථාවලදී ප්‍රශ්න කිරීමේ හා කරුණු විමසීමේ අයිතිය පහළ නිලධාරීන්ට තිබෙන්නේය.

ප්‍රශ්න කිරීමෙන් තොරව ඉහළින් අණපිළිපදින ක්‍රමයක් ආරක්ෂක හමුදා සඳහා යෝග්‍ය වුවත් ඉන් පරිබාහිර මොනම ආයතන ක්‍රමයක් සඳහාවත් ඒ ක්‍රමය යෝග්‍යවන්නේ නැත. එවැනි ක්‍රමයක් රටක් සඳහා යොදාගතහොත් ඒ රට නිර්මාණශීලී හැකියාවන්ගෙන් තොර, දූෂණයෙන් පිරුණු, ගුණධර්ම අහිමි කරගත් නිවට හා බියගුල්ලන්ගෙන් යුතු රටක් බවට පත්වන්නේය.

5 වැනි සියවසේ සිට 15 වන සියවස දක්වා යුරෝපයේ රජ කළේ එවැනි ක්‍රමයකි. ඒ සියවස් දහය සැලකෙන්නේ යුරෝපයේ අඳුරු යුගය වශයෙනි. නිර්මාණශීලීත්වයට ඒ යුගයේ කිසිම ඉඩක් නොතිබුණි. ලෝකයේ මහා වෙනස්කම් ඇති කිරීමට හේතුවන විද්‍යාත්මක සොයාගැනීම් ඇතිවන්නේද සදාතනික වටිනාකමක් ඇති මහා කලා නිර්මාණ බිහිවන්නේද යුරෝපයේ මහා නිදහස් වාදය පහළවන්නේද එම අඳුරු යුගය අවසන්වීමත් සමගය.

පාසල්වල විදුහල්පතිවරුන්ට හමුදා නිලතල ලබාදී ඔවුන්ට හමුදා පෙනුමක් ලබාදීමද අධ්‍යාපනයේ පිළිගත් මූලික දර්ශනයට පටහැනිය. නිර්මාණශීලීත්වයේ ප්‍රධාන උල්පත ලෙස සැලකෙන කරුණු විමසීමට හා ප්‍රශ්න කිරීමට දරුවන් තුළ තිබෙන සහජ ආශාවය. එය බුදුන්වහන්සේ අධ්‍යාපනය ලබන දරුවන් තුළ පමණක් නොව සියලු මිනිසුන් තුළ තිබිය යුතු හා වගා කරගතයුතු ගුණාංගයක් ලෙස නිර්දේශ කර තිබේ. දරුවන් තුළ ගුරුවරයා පිළිබඳව තිබියයුත්තේ බිය මුල්කරගත් ගෞරවයක් නොව ගුරුවරයාගේ දැනුම මුල්කරගත් ගෞරවයකි. දරුවන් තුළ ගුරුවරයා කෙරෙහි බිය ඇති කරන වටාපිටාවක් අධ්‍යාපනය කෙරෙහි ඇති කරන්නේ අයහපත් බලපෑමකි. විදුහල්පතිවරුන් හමුදා නිලධාරීන් වූ විට ඒ පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් තුළ ඇති කරන්නේ බියජනක හැඟීමකි. එවැනි නිලයක් ලබාගත් විට විදුහල්පති තුළද හමුදා නිලධාරියකුගේ මානසිකත්වය ඇතිවන්නේය. එවිට විදුහල්පති හමුදා නිලධාරියකු හමුදා කඳවුරක් පාලනය කරන ආකාරයට පාසලේ ගුරුවරුන් හා ශිෂ්‍යයන් පාලනය කරන තැනකට යා හැකිය. එවැනි ක්‍රමයක් අධ්‍යාපනයේ විනාශයට මිස ප්‍රබෝධයට හේතුවිය නොහැකිය.

හමුදා නිලධාරීන් සිවිල් ආයතනවල ප්‍රධානීන් ලෙස පත්කළ විට සාමාන්‍යයෙන් එවැනි අය එම ආයතන පාලනය කරනු ලබන්නේ තමන්ට හුරුපුරුදු හමුදා ශෛලියෙනි. ඔහු යටතේ සිටින නිලධාරීන්ට හා සේවකයන්ට ඔහු සමග ගනුදෙනු කරන්නට සිදුවන්නේ හමුදා නිලධාරියකු වශයෙන් ඔහු කෙරෙහි ඇති කරගත් බියකින් යුතුවය.

රතු පස්වල ඛේදවාචකය

වැලිවේරියේ රතුපස්වල සිදුවූ බිහිසුණු හා ඛේදජනක සිද්ධියෙන් රටට ඉගෙන ගතහැකි පාඩම වන්නේද බැරැක්ක ක්‍රමයකට බර තබා ක්‍රියාකරන පාලනයක් කොතරම් බිහිසුණු හා අවාසනාවන්ත විය හැකිද යන්නය.

ඒ ප්‍රදේශවල මිනිසුන්ට තිබුණේ ලොකු දේශපාලන ප්‍රශ්නයක් නොව ඕනෑම ජීවිතයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය මූලික කොන්දේසියක් ලෙස සැලකිය හැකි ජලය පිළිබඳ ප්‍රශ්නයකි. මොන හේතුවක් නිසා හෝ ඔවුන් පාවිච්චි කරන වතුර රෝග ඇති කරන සාධකයක් ලෙස ක්‍රියා කළේය. එවැනි අවස්ථාවකදී එම අවාසනාවන්ත තත්ත්වය බලපාන මිනිසුන් හැඟීම්බරවීම ඉතාමත් ස්වාභාවිකය. ඔවුන් හැඟීම්බරව ක්‍රියාකරන තැනකට යන්නේද වහාම නොව වසර ගණනක් ඒ දුක ඉවසා සිටිමින් ඔවුන්ගේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් නොලැබෙන බව පෙනුණු විටය.

මෙය සිවිල් කලබලයක් ගණයෙහිලා සැලකිය හැකි සිද්ධියකි. මෙවැනි තත්ත්වයක් පාලනය කිරීම සඳහා යොදාගත යුත්තේ පොලිසියයි, හමුදාව නොවේ. හමුදාව කැඳවියයුත්තේ පොලිසියට එම තත්ත්වයට පාලනය කිරීමට නොහැකි වී නම් පමණය. සාමය කඩකිරීමට හේතුවන මහජන රංචු ගැසීමක් විසුරුවා හැරීමකදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පොලිස් ආඥා පනතේ පැහැදිලිව සඳහන් වේ. මුලින් කළයුත්තේ වතුර ගැසීමය. කඳුළු ගෑස් පාවිච්චි කළහැක්කේ වතුර ගැසීමෙන් ඒ කාර්යය කළ නොහැකි නම් පමණය. වෙඩි තැබීමේ අයිතිය ලැබෙන්නේ ඊටත් පසුවය. එහෙත් මෙවැනි අවස්ථාවක් පාලනය කිරීම සඳහා ජීව උණ්ඩ පාවිච්චි කළ නොහැකිය. පාවිච්චි කළයුත්තේ රබර් උණ්ඩය.

අවසානයේ පොලිසිය කළයුතු රාජකාරි කාර්යයන් කරන ලද්දේ හමුදාව විසිනි. යුද හමුදාව අවසානයේ එය තමන් දන්නා ක්‍රමයට හා ශෛලියට පාලනය කළේය. අවසානයේ හමුදාව කළේ ආයුධ සන්නද්ධ කැරැල්ලක් මර්දනය කෙරෙන සාහසික ආකාරයටම එම අහිංසක මහජනයා මර්දනය කිරීමය. නිරායුධ මිනිසුන්ගේ කලබලයක් පාලනය කිරීම සඳහා රයිෆල් හෝ මැෂින් තුවක්කු වැනි ආයුධ පාවිච්චි කළ නොහැකිය. එහෙත් හමුදාව කළේ නිරායුධ මිනිසුන්ට අමානුෂික ලෙස පහරදී හා වෙඩි තබා තැබීමය. ඒ නිසා ජීවිත කිහිපයක් නැතිවී අහිංසක විශාල පිරිසක් තුවාල ලැබීමය.

ආයුධ සන්නද්ධ කැරැල්ලක් හෝ යුද්ධයකදී හැර සාමාන්‍ය මිනිසුන්ගේ ආරාවුල්වලදී හමුදාව යොදාගැනීමෙන් විය හැකි විනාශය කොතරම්ද යන්න මෙම සිද්ධිය විසින් මනා ලෙස පෙන්නුම කර තිබේයැ”යි කිව හැකිය.

මෙම සිද්ධිය පාලනය කිරීම සඳහා හමුදාව කැඳවූ පුද්ගලයා කවුද? එහිදී සිදුවී තිබෙන වැරදිවල මුළු වගකීම යායුත්තේ ඔහු වෙතය. මක්නිසාදයත් එය නීතියට අනුකූල නොවන ක්‍රියාවක් නිසාය.

ඉන්පසු එහි සිදුවී තිබෙන සියලු වැරදිවලට වගකිවයුත්තේ එම මෙහෙයුම් ක්‍රියාව භාරව සිටි හමුදා නිලධාරියාය.

ආණ්ඩුවේ සමහර ප්‍රකාශකයන්ට අනුව මේ සිද්ධිය පිටුපස ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී පක්ෂයද සිටින්නේය. එහි ඇත්තක් තිබෙන බවක් පෙනෙන්නට නැතත්, මහජනයා කෙරෙහි බලපාන ප්‍රශ්නවලදී එම මහජනයාට සමග එකතුවී ඔවුන් සමග වැඩකිරීමේ අයිතිය සේම ඔවුන් සමග උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතියද දේශපාලන පක්ෂවලට පමණක් නොව ඕනෑම සංවිධානයකට, පුද්ගලයකුට හෝ පුද්ගල කණ්ඩායමකට තිබෙන බව කිවයුතුය. එය නීතියට පටහැනි නැත. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. නීතියට පටහැනිවන්නේ ඔවුන් නීතියට පටහැනිව ක්‍රියාකරන්නේ නම් පමණය.

සියලු ආයතන ක්‍රම තමන්ගේ හොඳ නම නැතකර ගනිමින් සිටින අවස්ථාවක ඒ තත්ත්වය ආරක්ෂා වී තිබුණේ ආරක්ෂක හමුදාවල පමණය. ආරක්ෂක හමුදාවන්ට අතීතයේදී තිබුණු ප්‍රතිරූපය යහපත් නොවූවද යුද්ධයෙන් ලැබූ ජයග්‍රහණය ආරක්ෂක හමුදාවන්ට යහපත් හා තේජාන්විත ප්‍රතිරූපයක් ලබාදීමට හේතුවී තිබුණි. රතුපස්වලදී ඇතිවු සංසිද්ධිය ආරක්ෂක හමුදා මෙතෙක් හිමි කරගෙන තිබූ එම ප්‍රතිරූපයද යළි පිළිසකර කරගත නොහැකි තරමට විනාශ කර ගත්තෝය. දැන් රටේ සියලු ආයතන ක්‍රම තිබෙන්නේ අඩු වැඩි වශයෙන් හෙළුවෙන් සිටින තත්ත්වයකය.