රාවය ප්‍රතිසංවිධාන

June 9, 2013
Publication:
Ivan replies to Mahesh Hapugoda, who read his wish to make Ravaya a paper for readers' wives and children as a slide into Nihal Peiris-style entertainment. He rejects both that reading and its view of women, and offers as proof a piece written for parents and daughters: on whether one needs a hero. His own is Gandhi, with Socrates second; he recalls his lawyer Suranjith Hewamanna, who modelled himself on Dostoevsky's Prince Myshkin, contrasts J.R. Jayewardene's Napoleon, and warns through Nietzsche, Wijeweera and Prabhakaran against hero worship.

රාවය ප්‍රතිසංවිධාන විවාදය තවමත් කෙළවර වී නැත. එය විවිධ ස්වරූපයන්ගෙන් ගලායමින් පවතී.

රාවය දේශපාලන උනන්දුවක් ඇති මිලදී ගන්නන්ගේ පමණක් නොව ඔහුගේ බිරිඳ හා දරුවන්ගේද උනන්දුවට හේතුවන පුවත්පතක් බවට පත්කළ යුතුව තිබේයැ”යි කියන අදහස සමාජගතවෙමින් තිබෙන්නේ ඉතා වැරදිසහගත ආකාරයකටය. මෙම වැරදි අදහස සමාජගතවීම කෙරෙහි මහේෂ් හපුගොඩ ඊට දෙන ලද අර්ථකථනය බලපා තිබෙන බව පෙනේ.

පළමු කොට මා ඒ ගැන කියන ලද්දේ කුමක්ද යන්න පළමුවෙන්ම උපුටා දැක්වීමට කැමතිය.

“පුවත්පතේ අන්තර්ගතය හා අකෘතිය තවදුරටත් ශක්තිමත් කළ යුතුය. දේශපාලන අන්තර්ගතය ආරක්ෂා කරගනිමින් එය තවදුරටත් තියුණු හා විස්තීරණ කළ යුතුය. දේශපාලනයට හා කලාව සීමා නොවී මහජනයාට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්නට සිදුවන ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය කරන හරි මගපෙන්වීම් ලබාදෙන පුවත්පතක් බවට පත්කළ යුතුය. කොටින්ම රාවය මිලදී ගන්නන්ට සීමා නොවී ඔහුගේ බිරිඳ හා දරුවන්ගේද උනන්දුවට හේතුවන පුවත්පතක් බවට පත්කළ යුතුය.”

මහේෂ් හපුගොඩ ඒ ගැන දීර්ඝ විග්‍රහයක් ඉදිරිපත් කොට තිබුණි. ඔහුගේ එම අදහස තේරුම් ගැනීමට ප්‍රමාණවත් තරමේ උපුටා ගැනීමක් මෙසේය.

“මා සඳහන් කර දෙවැනි කරුණ නම් අයිවන් මහතා පුවත්පත නවීකරණය සඳහා යෝජනා කරන “පවුලේ පුවත්පතක් කිරීම” නම් යල්පැනගිය නිහාල් පීරිසියානු පශ්චාත් නූතන පාරිභෝගිකකරණයයි. නැත්නම් පුවත්පත “ස්ත්‍රීකරණය” කිරීමේ යෝජනාවයි. දැනට මධ්‍යම පාන්තික පුරුෂ පාඨකයන් අතර පමණක් ඇති රාවය පවුලේ පුවත්පතක් කිරීමේ ජාතික උදාහරණ ඕනෑවටත් වඩා අධිපති පුවත්පත් සංස්කෘතිය තුළ ඇත. සාලයෙන් කුස්සියට යන තේමාව යටතේ එහි අන්තර්ගතයට නළු නිළි තොරතුරු, පවුලේ ප්‍රශ්න, අඹුදරු සම්බන්ධතා, මානසික උපදේශන, ආත්තම්මලාට බණ දහම් යනාදී ලෙස පවා විස්කෘත විය හැකි මෙම වපසරිය පුළුල්වීම තුළ පාඨක පිරිස ඉහළ නංවාගැනීම මෙහි උපක්‍රමය විය හැකිය. එනම් පුවත්පත තුළ මෙතෙක් පැවති (කුමන ආකාරයක හෝ සාරය) ඉන් ඉවත්කර එහි දැනුම පවත්වාගෙන යන සංකේතීය ව්‍යුහය වෙනුවට වඩා ජනප්‍රියයැ”යි සිතිය හැකි මාරුවීමට මෙහිදී අරමුණු කරනවා විය හැකිය.” (දීර්ඝ බව වළකා ගැනීම සඳහා වරහන් ඇතුළත තිබුණු සමහර පාඨ ඉවත් කර ඇති බව සලකන්න.)

ඒ ගැන වන ඔහුගේ අදහස දැක්වීම ඉන් අවසන්වන්නේ නැත. ඔහු තවත් තැනක මෙසේ කියයි.

“එහිදී අයිවන් මහතා තම පළමු කරුණ වශයෙන් දක්වන රාවය මාධ්‍යවේදීන් නිරන්තරයෙන් හැදෑරීම් කරන අය බවට පත්කිරීම යන කරුණ හා මමද එකඟ වෙමි. මෙම හැදෑරීම සඳහා අවශ්‍ය වන එම මාධ්‍යවේදීන්ගේ ආර්ථික හැකියාව වර්ධනය කිරීම යන පූර්ව-කොන්දේසිය සඳහා පුවත්පත පශ්චාත් නූතන විනෝද භාණ්ඩයක් කිරීම නැතහොත් ජාතික තලයේ අනෙක් පුවත්පත්වල දක්නට ඇති පවුලේ අන්තර්ගතය නම් ජනප්‍රිය සංස්කෘතික අධෝව්‍යුහය හා අනන්‍යවීම කෙසේවත් අනුමත කළ නොහැකිය. (මේ කරුණු මේ අර්ථයෙන්ම අයිවන් මහතාද අදහස් නොකරනවාද විය හැකිය.) මෙම විනෝද අතිරික්තය හරහා පොහොසත් වනවාට වඩා දැනට පවත්නා “පුරුෂ” එකතැන පල්වීම නම් දුගී බව සමාජීයව අනාගත අර්ථයකින් වඩා ප්‍රගතිශීලී විය හැකිය.”

ඔහුගේ මේ අර්ථකථනයන් ඇත්තටම මා අදහස් කළ දේ ගැන නිසි අවබෝධයකින් තොරව තමාගේ හිතේ ඇති කරගත් චිත්‍රයක් මතපිහිටා කර තිබෙන ප්‍රබල අර්ථකථනයක් ලෙස සැලකිය හැකිය. ඔහු දෙන ලද එම අර්ථකථනයේ ප්‍රබලකම නිසාම ඔහු එම අර්ථකථනය වැරදි ලෙස සමාජගතවීමට හේතුවී තිබෙන්නේයැ”යි කිව හැකිය. ඇත්තටම මා අදහස් කළ දේ හා ඔහු අර්ථකථනය කරන දේ අතර ඇත්තේ සුළු වෙනසක් නොව මහා වෙනසකි.

මහේෂ්ගේ විශ්ලේෂණයේ එන එකම වරද එය පමණක් නොවේ. ඔහු කාන්තාවන් පිළිබඳව දක්වා තිබෙන ආකල්පයද පිළිගත නොහැකිය. කොංග්‍රසයේ කාන්තා සාමාජීකත්වය සීයට පනහක් දක්වා ඉහළ දැමිය නොහැකි නම් නිදහස දිනා නොගත්තාට කම් නැතැ”යි ගාන්ධි කීවේය. ගාන්ධි ඉන්දියානු කොංග්‍රසයට හා නිදහස් අරගලයට කාන්තාවන් ක්‍රියාකාරී ලෙස සහභාගි කරගත්තා පමණක් නොව කාන්තා නායකයන් විශාල පිරිසක් ගොඩනැගීමටද සමත් වූවේය. වරක් කොංග්‍රසයේ තමන් ඉසිලූ සභාපති පදවිය ගාන්ධි කාන්තාවකට (සරෝජිනී නායිදු) පිරිනැමුවේය. වර්තමානයේ ඉන්දියානු දේශපාලනයේ කාන්තා සහභාගිත්වය තුළනාත්මක වශයෙන් ඉහළ මට්ටමක පවතී. සමාජ ව්‍යාපාරවලද කාන්තා සහභාගිත්වය ඉහළ මට්ටමක පවතී. කාන්තාවන් වෙත සමහර දේවලට මිස දේශපාලනයට හා තවත් වැදගත් බොහෝ දේවලට වැද්ද නොගත යුතු හා වැද්ද ගැනීමේ හැකියාවක් නැති පිරිසක් ලෙස සැලකීම වැරදිය.

රාජපක්ෂ පාලනය පිළිබඳවද මා දරන අදහස් ඔහු දරන අදහස්වලට වඩා වෙනස්ය. ඔහුට තිබෙන්නේ ඒකාධිපති පාලනයක් පිළිබඳ බියකි. මා හිතන්නේ අප සිටින්නේ අරාජිකත්වයක් කරා යන විනාශකාරී ගමනක මුවවිට වන බවය. ඒ ගැන මම මාගේ අදහස් විස්තරාත්මකව පළකර තිබෙන බැවින් ඒ ගැන තවදුරටත් විස්තර හෝ විග්‍රහ කිරීමට බලාපොරොත්තු නොවෙමි.

රාවය දැන් සිටින පාඨකයන්ට සීමාවී ක්‍රියාකරන හෝ ඔහුගේම වචනවලින් කියන්නේ නම් “නවීකරණය” වෙනුවට “එසේ තිබෙන්නට හරින” ප්‍රතිපත්තියකටද මා එකඟ නැත. මා හිතන අන්දමට සමාජය වඩා විශාල ප්‍රමාණයකින් දැනුවත් කරන ප්‍රතිපත්තියකට යා යුතුය. සියලු වැරදිවලට මුල රාජපක්ෂ පාලනයේයැ”යි මම විශ්වාස නොකරමි. මේ පාලනය සමාජ ක්‍රමයේ හොඳ ප්‍රතිබිම්බයක් වේයැ”යි මම සිතමි. ආණ්ඩුව තුළ පමණක් නොව ආණ්ඩු විරෝධී ව්‍යාපාරවල සේ ම අන් හැම තැනම ඇත්තේ මහා ගරා හැලීමකි. පුද්ගලයන් තුළ පමණක් නොව පුද්ගල සමූහයන් තුළද රජකරනුයේ ඒකාධිපති ඊටත් වඩා විශාල ප්‍රමාණයකට අරාජිකවාදී අදහස්ය.

මට මාගේ කර්තෘ මණ්ඩල සාමාජිකයන් සමග ඉඳහිට කෙරෙන වාදයක් තිබුණි. මාගේ තර්කය වූයේ රාවයේ දේශපාලන අන්තර්ගතය හා රාවයට ආවේණික අනෙකුත් වැදගත් දේවල් ආරක්ෂා කරගනිමින් රාවය, රාවය කියවන්නන්ගේ පවුලේ සාමාජිකයන්ගේද උනන්දුවට හේතුවන පුවත්පතක් බවට පත් කළයුතු බවය. මා ඉන් අදහස් කළේ මහේෂ් අර්ථකථනය කර තිබෙන ජනප්‍රිය අච්චුව නොවේ. මා මෙවර පළකරන්නට තීරණය කළේ මාගේ තර්කය සනාථ කිරීම සඳහා වන ලිපියකි. එය සාම්ප්‍රදායික රාවය පාඨකයන් ඉලක්ක කොටගෙන ලියන ලද ලිපියක් නොවේ. එය දෙමාපියන් හා ඔවුන්ගේ තරුණ දූවරුන් ඉලක්ක කොටගෙන ලියන ලද ලිපියකි.

ජීවිතයට වීරයකු අවශ්‍යද?

දරුවන්ට පරමාදර්ශී වීරයකු අවශ්‍යද? මා හිතන අන්දමට ළමුන්ට හා ගැටවර වියේ අයට පමණක් නොව වැඩිහිටියන්ද පරමාදර්ශී වීරයකු සිටින්නේ නම් යහපත්ය. එවැනි වීරයකු නැති අයගේ ජීවිතවලට වඩා වීරයකු ඇති අයගේ ජීවිත යහපත්ය.

වීරයකු යන්නෙන් අදහස් කරන්නේ කවුද? වීරයා හැමවිටම සාමාන්‍ය මනුෂ්‍යයකු විය යුතුය. බුදුන්වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ වැනි ආගමික ශාස්තෘවරුන් මේ ගණයට ඇතුළත් කළ නොහැකිය. මක්නිසාදයත් ආගමික ශාස්තෘවරුන්ට සාමාන්‍ය මනුෂ්‍ය නොවන දිව්‍යමය බලයක් ඇතැ”යි සැලකෙන නිසාය. වීරයකු ලෙස සැලකිය හැක්කේ විශාල අභියෝගයන් ඉදිරියේ ඒවාට ධෛර්යවත් ලෙසත් බුද්ධිමත් ලෙසත් මුහුණදෙමින් ඒවා ජයගන්නවුන්ටය. එහිදී වීරයාට ලැබෙන වැදගත්කමේ ප්‍රමාණය කෙරෙහි ඔහු නැගී සිටින්නේ කා වෙනුවෙන්ද? පුද්ගලිකව තමා වෙනුවෙන්ද රටක ජනතාව වෙනුවෙන්ද නැතිනම් සමස්ත මානව වර්ගයා වෙනුවෙන්ද කියන කාරණා බලපායි. ලෝක මට්ටමෙන්, ජාතික මට්ටමෙන් හා ඊටත් වඩා කුඩා මට්ටමෙන් සැලකෙන වීරයන් ඇතිවී තිබෙන්නේ ඒ නිසාය.

වීරයාගේ බලපෑම

කෙනෙකුට පරමාදර්ශී වීරයකු සිටින විට ඒ වීරයා ඔහුගේ ජීවිතය කෙරෙහි බලපායි. තමන්ගේ පරමාදර්ශී වීරයාගේ ජීවිතය අනුගමනය කිරීමට අනුගාමිකයා කැමතිය. අනුගාමිකයාගේ පුරුෂාර්ථ කෙරෙහි වීරයා බලපායි.

මාගේ පරමාදර්ශී වීරයා මහත්මා ගාන්ධිය. මා ගරු කොට සලකන වෙනත් වීරයන්ද සිටිනමුත් මාගේ වීරයන් අතර සිටින ලොකුම වීරයා ඔහුය. ඔහු මාගේ ජීවිතය කෙරෙහි වැඩියෙන්ම බලපා තිබෙන පුද්ගලයා ලෙසද සැලකිය හැකිය.

කෙනෙකුට පරමාදර්ශී වීරයකු සිටින විට එම වීරයා ඔහුගේ ජීවිතය කෙරෙහි ඇති කරන බලපෑමේ තරම පෙන්නුම් කරන නිදර්ශනයක් මෙසේය.

සුරංජිත් හේවමාන්න මාගේ නීතිඥයාය. දැන් ඔහු ජීවතුන් අතර නැත. කලාතුරකින් මට හමුවී තිබෙන ලස්සන පුද්ගලයන් අතර ලස්සනම පුද්ගලයා ඔහුවේයැ”යි කිව හැකිය. ලංකා කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ කෙනෙකු වූද, ඔහුගේ මනස කොමියුනිස්ට් නොවීය. සාමාන්‍යයෙන් මාක්ස්වාදියෙකුට තිබෙන මනසට වඩා දියුණු හා පුළුල් මනසක් ඔහුට තිබුණේය. ලෝක ශිෂ්ටාචාර ඔහුගේ ප්‍රියතම විෂය වූ අතර ඔහු හොඳ කියවන්නකුද විය. ඔහු මැරෙන තෙක්ම අපි දෙදෙනා නිතර නිතර හමුවී දීර්ඝ ලෙස විවිධ දේවල් කතා කරන හොඳ මිත්‍රයන් වීයැ”යි කිව හැකිය.

මා කිසියම් දිනක ඔහුගෙන් “සුරංජිත් ඔබේ පරමාදර්ශී වීරයා කව්දැ”යි අසා සිටියෙමි. “මිස්කින්” යන්න ඔහු ඊට දෙන ලද ක්ෂණික පිළිතුර විය. ඔහුගේ පිළිතුර මාගේ පුදුමයට හේතුවී ඩොස්ටොව්ස්කිගේ The Idiot (මෙම නවකතාවේ සිංහල අනුවාදයකි. මුනිදාස සෙනරත් යාපා විසින් “නිවටයා” නමින් පළකර තිබේ.) නමැති නවකතාවේ එන මිස්කින්දැ”යි මා පෙරළා ප්‍රශ්න කළෙමි. ඊට ඔහු “ඔව්” කීවේය. ඒ පිළිතුර මා තෘෂ්ණිම්භූත තත්ත්වයකට පත් කළේය. සුළු මොහොතකින් මාගේ ඔළුව ගිනිගන්නා වැනි තත්ත්වයක් ඇතිවිය. ඊට හේතුව මා මෙතෙක් හොඳම මිත්‍රයා වශයෙන් ඇසුරු කර තිබෙන්නේ මිස්කින් කුමාරයාම නේද කියන හැඟීම ක්ෂණයෙන් මා තුළ ඇතිවීම නිසාය. මා ඔහුගේ නිවසින් පිටවී රාත්‍රී මා ජීවත් වූ කාමරයට ගියේ ඔළුව අවුල් කරගත් තත්ත්වයකිනි. මම එදින රාත්‍රී නින්දට ගියේ බොහෝ ප්‍රමාදවීය. මා සුරංජිත් මිස්කින් කුමාරයා සමග සසඳන්නට උත්සාහ කළෙමි. දෙදෙනා අතර මහා සමානකමක් ඇති බව මට පෙනී ගියේය.

මෙම නවකතාවේ එන මිස්කින් කලක් ස්විස්ටර්ලන්තයේ ජීවත් වී නැවත රුසියාවට එන වැඩි උගත්කමක් නැති, වංශවත් අපස්මාර රෝගියෙකි. බොහෝ දෙනකුට ඔහු පෙනුණේ කිසිම වැඩකට නැති ඔළමොට්ටලයකු ලෙසය. එහෙත් ඇත්තටම ඔහු ඔළමොට්ටොලයකු නොවීය. ඉතාමත් අකලංක, නිර්ව්‍යාජ, නිරහංකාර මුදල් කෙරෙහි කෑදරකම ඇත්තෙන්ම නැති පරාර්ථකාමී සත්‍යගරුක පුද්ගලයකු විය. මෙම චරිතය මගින් ඩොස්ටොව්ස්කි උත්සාහ කර තිබෙන්නේ ඉතාමත් සුවිශේෂ වර්ගයේ වීරයකු නිර්මාණය කිරීමටය. ඩොස්ටොව්ස්කි තමන් එහිදී නිර්මාණය කරන මිස්කින් කුමරා සමාන කර ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේටය.

සුරංජිත් මිස්කින් කුමාරයා තමන්ගේ පරමාදර්ශී වීරයා කරගත් විට මිස්කින් ඔහුගේ ජීවිතය කෙරෙහි ගැඹුරු ලෙස බලපා තිබෙන බව මේ දෙදෙනාගේ ජීවිත සැසඳීමේදී මට පෙනී ගියේය. සුරංජිත්ද ඉතාමත් අවංක හා නිර්ව්‍යාජ පුද්ගලයකු විය. ඔහුට තිබුණේ මිනිසුන්ගේ දුක්වේදනාවලදී සසලවන හදවතකි. සමහර දේවලදී ඔහුගේ ඇස් කඳුළෙන් පිරෙන අවස්ථා මා දැක තිබේ. ඔහු අසරණයන්ට උදව් කළේය. බොහෝවිට එසේ කළේ වෙනත් අයට නොපෙනෙන ලෙසය. ඔහුගේ හිතහොඳකමින් සමහර අය අයුතු ප්‍රයෝජන ගත් අවස්ථා තිබුණි. සමහරුන්ට ඔහු පෙනෙනුයේ පහසුවෙන් රැවටිය හැකි පුද්ගලයකු ලෙසය. ඇත්තටම ඔහු රැවටිලිකාරයන්ට රැවටුණේ නැත. බොරු කියන්නේද අමාරුකම නිසා බව පෙනෙන අවස්ථාවලදී තමන් රැවටුණු බව පෙනෙන ලෙස එවැන්නන්ටද උදව් කළේය. ඔහුගේ බොහෝ ගති පැවතුම් මිස්කින් කුමාරයාගේ ගති පැවතුම්වලට සමානවීයැ”යි කිව හැකිය. සුරංජිත්ගෙන් අපට උගත හැකි පාඩම වනුයේ වීරයෙකු ජීවිතයට එකතු කරගත්විට එම වීරයාගේ සෙවණැල්ල ඒ පුද්ගලයාගේ ජීවිතය කෙරෙහිද බලපාන බවය.

මා අසා තිබෙන ආකාරයට ජනාධිපති ජයවර්ධනගේ පරමාදර්ශී වීරයා වූයේ නැපෝලියන්ය. ලාභය තකා ඕනෑම තැනක සේවය කිරීමට කැමති කුලී හේවායන්ගේ ශක්තියෙන් නැපෝලියන් අධිරාජ්‍යයක් ගොඩනගා ගත්තේය. යුද්ධ විෂයෙහි ඔහුගේ තාක්ෂණික දැනුම අසමසම මට්ටමක පැවතුණි. වෙනත් අය පරාජයට පත්විය හැකි අවස්ථා ඔහු ජය ගත්තේය. ඔහු තම කුලී හේවායන්ට අල්ලා ගන්නා නගරවල වස්තුව කොල්ලකාගන්නට ඉඩ දුන්නේය. සොල්දාදුවන් තුළ වූ වස්තු තණ්හාව ඔහුගේ යුද්ධ ජයග්‍රහණයන් කෙරෙහි බලපෑ වැදගත්ම සාධකයක් වීයැ”යි කිව හැකිය. ජනාධිපති ජයවර්ධන නැපෝලියන් සිය කුලී භටයන්ගේ උත්තේජනය සඳහා යොදාගත් එම සාධකය සිය දේශපාලන සහචරයන් සඳහා යොදා ගත්තේය. ඔවුන්ට වස්තුව කොල්ලකෑමට ඉඩදෙන ප්‍රතිපත්තියක් මගින් සිය දේශපාලන බලය ආරක්ෂා කරගත්තේය. ඉන්පසු භේදයකින් තොරව ජේආර්ගේ අනුප්‍රාප්තිකයෝද එම සම්ප්‍රදාය ඉදිරියට ගෙනයෑම නිසා එය දේශපාලන ක්‍රමයේ නියත ලක්ෂණයක් බවට පත්වූයේය. ජනාධිපති ජයවර්ධනගේ පරමාදර්ශී වීරයා ඔහුගේ කෙරෙහි බලපා තිබුණේ ඒ ආකාරයටය.

පරමාදර්ශී වීරයන් කවුද?

මා පරමාදර්ශී වීරයන් ලෙස සලකනුයේ විශාල අභියෝගයන්ගෙන් තොරව විද්‍යාවට, කලාවට හෝ සාහිත්‍යයට හෝ දේශපාලනයට විශාල කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයන් නොව විශාල අභියෝගයක් ඉදිරියේ නොසැලී එහෙත් ආත්ම විශ්වාසයකින් යුතුව ඒ අරමුණ වෙනුවෙන් ඇප කැපවී එම අභියෝගයන් ජයගත් හෝ එම පරමාර්ථ වෙනුවෙන් දිවි දුන් පුද්ගලයන්ය. බාර්ක්, හයිඩන්, මෝසාට්, බීතෝවන්, ෂුර්බර්ට්, රවිශංකර් වැන්නන් ශ්‍රේෂ්ඨ සංගීතඥයන් ලෙස සැලකිය හැකිය. ගියැට්ටෝ, ඩාවින්සි, මයිකල් ආන්ජලෝ, වැන්ගෝ, ෆිකාසෝ වැන්නන් ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන්ය. ආකිමිඩීස්, කොපර්නිකස්, ගැලීලියෝ, නිව්ටන්, ඩාර්වින්, අයින්ස්ටයින් වැන්නන් ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝය. ප්ලේටෝ, ඇරිස්ටෝටල්, ෆ්‍රැන්සිස් මේකන්, ස්පිනොසා, ජොන්ලොන්, රූසෝ, කාන්ට්, හේගල්, මාක්ස්, බර්ට්‍රම් රසල් වැන්නන් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයන්ය. ඒ සියලුදෙනා ලොව එළිය කළ මහා පුරුෂයන් ලෙස සැලකිය හැකි වුවත් ඔවුහු පරමාදර්ශී වීරයන් ලෙස සැලකිය නොහැකිය.

මගේ මතය අනුව ලෝක මට්ටමේ පරමාදර්ශී වීරයන් ලෙස සැලකිය හැක්කේ හමුරාබි, සොක්‍රටීස්, හැනිබල්, ජෙන්ගිස්බාන්, මහා ඇලෙක්සැන්ඩර්, ධර්මාශෝක, ක්‍රොම්වෙල්, නැපෝලියන්, ඒබ්‍රහම් ලින්කන්, බිස්මාර්ක්, ලෙනින් හා ගාන්ධි වැන්නවුන්ය. ඒ සියලුදෙනා අතරින්ද මුහුණ දුන් අභියෝගවල ස්වභාවය හා ප්‍රමාණය, එම අභියෝග ජයගැනීම සඳහා පෙන්නුම් කර තිබෙන ඇප කැපවීම, යොදගත් ක්‍රමවේදයන්හී ස්වභාවය හා ලබාදී තිබෙන ආදර්ශයන් අනුව මහත්මා ගාන්ධි වඩා ශ්‍රේෂ්ඨ කොට සැලකිය හැකිය. එහිදී සොක්‍රටීස් දෙවැනි වන්නේ මහත්මා ගාන්ධිට පමණය.

ගාන්ධි හා සොක්‍රටීස්

මහත්මා ගාන්ධි ඔහුගේ අහිංසාවාදී සටන් ක්‍රමය සොයාගන්නා තෙක් ලෝකයේ හැම තැනකම වාගේ පීඩාවට හා අයුක්තියට එරෙහිව කෙරෙන සටන්, සිදු කෙරුණේ අශීලාචාර ආකාරයකටය. වෛරයෙන් කුලු ගැන්වුණු ප්‍රචණ්ඩ ආකාරයකටය. ප්‍රතිපක්ෂය හිංසාවට ලක්කිරීම හා ඝාතනය කිරීම යුක්තිසහගත දෙයක් ලෙස පොදුවේ සලකන ලදි. එම අශීලාචාර තත්ත්වයෙන් මිනිස්වර්ගයා මුදවාගත් පුද්ගලයාවන්නේ ගාන්ධිය.

පීඩාවට හා අයුක්තියට එරෙහිව වෛරයෙන් හා ක්‍රෝධයෙන් තොරව දයාව හා කරුණාවෙන්ද හිංසාවෙන් තොරව අහිංසාවෙන්ද සටන් කළ හැකි බව හා ඒ මගින් ඕනෑම බලවතකු පරාජය කළ හැකි බව සිය අත්හදා බැලීම් මගින් සනාථ කළ වීරයා ඔහුය. එය ඔහු පුංචි විද්‍යාගාරයක් තුළ කරන ලද පරීක්ෂණයක් නොවීය. දස ලක්ෂ ගණනක් මිනිසුන් යොදා ගනිමින් සමාජයේ කරන ලද දැවැන්ත හා දිග්ගැසුණු අත්හදා බැලීමක් විය. ඔහු ඒ සඳහා අසාමාන්‍ය තරමේ ධෛර්යයක් පෙන්නුම් කරමින් ඒ උදාර අරමුණ වෙනුවෙන් මුළු ජීවිතයෙන් වැඩි කොටසක් කැප කළා පමණක් නොව අවසානයේ එම අරමුණ වෙනුවෙන් සිය ජීවිතය ද පූජා කළේය. කෝපර්නිකස්, ගැලීලියෝ, නිව්ටන් හා අයින්ස්ටයින් නවීන විද්‍යාව කෙරෙහි ඇති කළ බලපෑම තරම් විශාල බලපෑමක් ඔහු දේශපාලනයේ සටන් සදාචාරය කෙරෙහි ඇති කළේය. ගාන්ධි මෙතෙක් ලොව බිහිවූ සියලු පරමාදර්ශී වීරයන් අතර අසහාය වීරයා වන්නේ ඒ නිසාය.

ප්‍රමුඛතාවයේදී ඊළඟට වැදගත්වන්නේ සොක්‍රටීස්ය. සත්‍ය සොයා ගැනීමේදී තර්ක කිරීමේ හා කරුණු හොඳින් සොයා බැලීමේ වැදගත්කම මනුෂ්‍ය වර්ගයාට ඉතා ප්‍රබල ආකාරයකින් කියාදෙන ලද්දේ සොක්‍රටීස්ය. අවසානයේදී ඔහුද එම පරමාර්ථය වෙනුවෙන් සිය ජීවිතයද පූජා කළේය.

වීර වන්දනාව

සියලුම පරමාදර්ශී වීරයන් මනුෂ්‍යයන් වන්නෙහිය. ඒ නිසා ඔවුන් තුළ හොඳ පමණක් නොව නරකද තිබිය හැකිය. පරමාදර්ශී වීරයකු හැදෑරීමේදී ඔහුගේ හොඳ පමණක් නොව නරකද තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය. මා ගාන්ධි මගේ පරමාදර්ශී වීරයා ලෙස තෝරාගන්නා විට මා එසේ තෝරාගන්නේ ඔහු පරිපූර්ණ කෙනකු නොවන බව දැනගෙනය. වීරයකුගෙන් ඉගෙන ගතහැකි බොහෝ දේවල් ඇතත් ඔහු වන්දනාමාන කරන තැනකට නොයා යුතුය.

අපේ ජීවිතවලට පරමාදර්ශී වීරයන්ගේ ආභාෂය වැදගත් වුවත් වීර වන්දනාව භයානකය. විශේෂයෙන්ම ජීවතුන් අතර සිටින පුද්ගලයකු වීරයකු වශයෙන් තෝරාගන්නා විට එය කළයුත්තේ ඉතාමත්ම පරිස්සමෙනි. මක්නිසාදයත් වීරයා තෝරාගනු ලබන පුද්ගලයා ජීවතුන් අතර සිටින වීරයාගේ ක්‍රියාකාරී අනුගාමිකයෙකු බවට පත්වන නිසාය. ජීවතුන් අතර නැති වීරයාට ඔබව මෙහෙයවිය නොහැකිය. එහෙත් ජීවතුන් අතර සිටින වීරයාට එය එසේ කළ හැකිය.

ජීවතුන් අතර සිටින වීරයන්ට විශාල වැදගත්කමක් ලබා දුන් දාර්ශනිකයා නීට්ෂේ (1844-90)ය. ඔහු ආගමික සදාචාරය තුච්ඡ කොට සැලකුවේය. ඔහු සර්ව ව්‍යාපි මෛත්‍රියද තුච්ඡ කොට සැලකුවේය. ඔහු සාමාන්‍ය ජනයා සලකන ලද්දේ නිවට අදක්ෂයන් ලෙසය. ඔහු දෙවියන්ගේ හෝ ආගමික ශෘස්තෘවරුන්ගේ තැන වීරයාට ලබා දුන්නේය. ඔහුගේ වීරයා ආර්ය වර්ගයට අයත් රණසූර පාලකයෙකි. එවැනි වීරයකු පහළ වේ නම් ඒ සඳහා මුළු ශිෂ්ටාචාරයක් වුවද අරාජික තත්ත්වයකට පත්වීම වුවද යහපත්වේයැ”යි ඔහු කල්පනා කළේය. ඔහු සාමාන්‍ය මිනිසුන් සේම ස්ත්‍රීන්ද පිළිකුල් කළේය. මිනිසුන් යුද්ධ කිරීම සඳහාද ස්ත්‍රීන් වීරයාගේ විනෝදය සඳහාද පුහුණු කළ යුතු බව කීවේය. ඔහුට අනුව අනුගාමිකයන් නොවැදගත්ය. ඔවුන් වැදගත්වන්නේ වීරයාට ශ්‍රේෂ්ඨත්වයක් ලබාදීමේ කාර්යයේදී පමණය. වීරයාගේ ඉදිරි ගමන ශක්තිමත් කරගැනීම සඳහා අනුගාමිකයන්ට පීඩා කිරීම අවශ්‍ය නම් ඒ අයිතියද වීරයාට තිබෙන්නේය.

නීට්ෂේ ආගමික සදාචාරය බැහැර කොට එහි ඊළඟ අන්තය ලෙස සැලකිය හැකි වීර වන්දනාව සඳහා වන සදාචාරයක් ඇති කළේය. හිට්ලර් හා ස්ටාලින් එම සදාචාරයේ ඵල ලෙස සැලකිය හැකිය. ජනතාව එම නායකයන් තමන් ගලවා ගැනීමට පහළ වූ වීරයන් ලෙස සැලකූ අතර එම නායකයන් ජනතාව දැක්කේ තමන්ට දැක්කිය හැකි අනුගාමික රැලක් ලෙසය. එවැනි නායකයන් විසින් ඇති කර තිබෙන විනාශය අතිවිශාලය.

ලංකාව සම්බන්ධයෙන් ගත් කල ජේවීපීය තුළ කිසියම් විශාල ප්‍රමාණයකටද එල්ටීටීඊය තුළ ඊටත් වඩා විශාල ප්‍රමාණයකටද වීර වන්දනාව ක්‍රියාත්මක විය. විජේවීර හා ප්‍රභාකරන්ගේ අනුගාමිකයන් සිය නායකයාව දැක්කේ තමන් ගලවා ගැනීමට පහළ වී සිටින සියල්ල දත් නොවරදිනසුලු නායකයන් වශයෙනි. එම වීර වන්දනාව වෙනුවෙන් සිංහල හා දෙමළ සමාජයන්ට පමණක් නොව එම ව්‍යාපාර දෙකේ තරුණ අනුගාමිකයන්ටද විශාල වන්දියක් ගෙවන්නට සිදුවිය. බර්ට්‍රම් රසල් කියා ඇති පරිදි වීර වන්දනාව කෙළවරවන්නේ භීෂණයෙන් තැතිගත් බියගුල්ලන්ගෙන් යුතු සමාජයක් ඇති කරමිනි.

වීර වන්දනාවේම ඊට වෙනස් ආකෘතියක් ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුවද රටේ ඇතිවිය. ප්‍රභාකරන්ගෙන් සිංහල ජනයාට එල්ල වී තිබුණේ ඉතිහාසයේ වෙන කවරදාවත් නොවූ තරම් අතිවිශාල අභියෝගයකි. ඒ අභියෝගය ජයගත් පුද්ගලයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටද සිංහල ජනතාව අතර ලොකු වීරයකුගේ තත්ත්වය හිමිවිය. ජනාධිපතිවරයා රජකු ලෙස සලකන තත්ත්වයක් ජනතාව අතරද තමන් රජකු ලෙස සලකන තත්ත්වයක් ජනාධිපතිවරයා තුළද ඇතිවූ බව පෙනෙන්නට තිබුණි. කොහොමටත් වීරයන් වැඩි වශයන් පහළවන්නේ සාමකාමී කාලවල නොව අර්බුද කාලවලය. ප්‍රභාකරන්ගෙන් රටට එල්ල වී තිබූ අභියෝගයේ තරම දෙස බලනවිට එම අභියෝගය පරාජය කරනු ලැබූ පුද්ගලයා වීරයකු ලෙස සලකන තත්ත්වයක් ඇතිවීම අස්වාභාවික නැත. එහිදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ ලැබූ ජයග්‍රහණයට සීමා නොවී ඒ අවස්ථාව බෙදීගිය ජාතිය එකට එකතු කොට මජර ගලන තරමට කුණුවී තිබූ දේශපාලන ක්‍රමය වෙනස් කොට සියලුදෙනා ආදරයට හා ගෞරවයට හේතුවන නව ශ්‍රී ලංකාවක් ප්‍රතිනිර්මාණය කිරීමට ඒ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගත්තේ නම් ඔහු ප්‍රභාකරන් පරාජය කිරීමෙන් හිමිකරගත් වීරත්වය දිය නොවන පරිපූර්ණ වීරත්වයක් බවට පත්වන්නට ඉඩ තිබුණේය. එහෙත් වෙනත් කිසිම නායකයකුට නොලැබුණු එම ඓතිහාසික අවස්ථාව නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඔහු අසමත් විය.