ශ්රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති උපුල් ජයසූරිය මහතාට එම පදවිය පැවරීම පිණිස 31 වැනිදා කොළඹ නව රඟහලේ පැවති නීතිඥ සංගමයේ 39 වැනි වාර්ෂික සම්මේලනයට නීතිඥ සංගමය අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සහභාගි කරවා ගත්තේ නැත. ඒ වෙනුවට එම උත්සවයේ මුලසුන හොබවන ලද්දේ අගවිනිසුරු තනතුරින් බලහත්කාරී ආකාරයකින් පලවා හරින ලද ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි. සාමාන්යයෙන් නීතිඥ සංගමයේ සභාපති තනතුරට පත්වන්නෙකු පිළිගැනීම සඳහා පැවැත්වෙන නිල උත්සවයේ ප්රධානියා ලෙස ක්රියා කරන්නේ රටේ අගවිනිසුරුවරයාය. එය මෙතෙක් පැවති පිළිගත් චාරිත්රය විය. එහෙත් මෙවර එම නිල උත්සවයට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සහභාගි කර නොගැනීමෙන් නොනැවතී බලහත්කාරී ප්රතිපත්තියක් මගින් තනතුරෙන් පලවා හරින ලද ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ප්රධානත්වයෙන් එම උත්සවය පැවැත්වීමෙන් සංකේතාත්මකව පෙන්නුම් කෙරෙන්නේ ශ්රී ලංකා නීතිඥ සංගම් ව්යාපාරය රටේ අගවිනිසුරුවරයා වශයෙන් එම තනතුරට පත්කර තිබෙන මොහාන් පීරිස් මහතා පිළිනොගන්නා බව හා අගවිනිසුරුවරයා වශයෙන් පිළිගන්නේ තනතුරෙන් පලවා හරින ලද ශිරාණි බණ්ඩාරනායක මහත්මිය බවය.
අගවිනිසුරුවරිය තනතුරින් පහ කරන අවස්ථාව වන තෙක්ම ඇය වෙනුවෙන් බලවත් ලෙස හඬ නගන නීතිඥ ව්යාපාරයක් රටේ තිබුණේය. එහෙත් ඇය තනතුරෙන් පහකොට මොහාන් පීරිස් මහතා එම තනතුරට පත්කිරීමත් සමග එතෙක් ඇය වෙනුවෙන් හඬ නැගූ නීතිඥයන්ගේ හඬ පරලවූ අතර කිසිදු සටනකින් තොරව පරිවර්තනය සිදුවූ බවක්ද පෙනෙන්නට තිබුණි. ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් දෝෂාභියෝග ක්රියාවලියට එරෙහිව නඩු තීන්දු දුන් විනිශ්චයකාරවරුන්ද ඇතිවූ පරිවර්තනයත් සමග ඉදිරියට තබන ලද පය ආපස්සට ගත් බවක් ද පෙනෙන්නට තිබුණි.
තනතුරෙන් පහ කරනු ලැබූ අගවිනිසුරුවරිය ඉන්පසු නිහඬව සිටින පිළිවෙතක් අනුගමනය කළද ඇගේ නඩුවකට අදාළව අධිකරණය විසින් කරනු ලැබූ කැඳවීමකදී ඇය සිය නීතිඥයන් මගින් කියා සිටියේ තවදුරටත් නීත්යනුකූල අගවිනිසුරුවරයා තමා වන නිසා සිදුකර තිබෙන කැඳවීම අනුව අධිකරණය ඉදිරියට නොඑන බවය. ඇය සටන අත්හැර නැති බව මහජනයා දැනගත්තේ එහිදීය.
ඉන්පසු නීතිඥ සංගමයේ නව සභාපතිවරයෙකු තෝරාගැනීම සඳහා පැවති නිලවරණය දෝෂාභියෝගය ආරාවුලෙන් පසුව නීතිඥ මතය උරගා බැලෙන වැදගත් අවස්ථාවක් බවට පත්වූයේය. ටිරන්ත වලලියද්ද මහතා ජනාධිපතිවරයාගේ හා ආණ්ඩු පක්ෂයේ ආශිර්වාදය හිමි කරගත් අපේක්ෂකයා බවට පත්ව සිටියේය. උපුල් ජයසූරිය මහතා එක්සත් ජාතික පාක්ෂිකයෙකු වුවද රනිල් විරෝධියෙකු වීම නිසා අවසාන මොහොතේදී රනිල් වික්රමසිංහ මහතාගේ ආශිර්වාදය හිමි කරගත් අපේක්ෂකයා බවට පත්වූයේද වලලියද්ද මහතාය. එහෙත් තරගයෙන් වලලියද්ද මහතා අන්ත පරාජයකට පත්කරමින් විශාල ජයග්රහණයක් හිමිකර ගැනීමට උපුල් ජයසූරිය මහතා සමත් විය. සංගමයේ කාරක සභාවට තේරී පත්වී සිටින්නේද ආචීර්ණකල්පිත මත දරන්නන් වෙනුවට පෙරළිකාර මත දරන්නන්ය.
වාර්ෂික සම්මේලනය අමතා කතා කළ විශ්රාමලත් ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු සී. විග්නේෂ්වරම් මහතා දෝෂාභියෝගය ගැන කියා තිබෙන්නේ එම ඊනියා දෝෂාභියෝගය නෛතික වශයෙන් දෝෂසහිත බවය. අනාගතයේ නීති වෘත්තිය ඉතාමත් අසීරු එකක් වනු ඇති බවද ඔහු කියා තිබෙන්නේය. නව සභාපතිවරයාට චරිත ඝාතනය කිරීම්වලට, තර්ජන හා බියවැද්දීම්වලට මුහුණ දෙන්නට සිදුවනු ඇති බව ප්රකාශ කරමින් රටේ නීතියට සුජාතභාවය හා ගෞරවය ලබාදීමේ මහඟු කාර්යභාරය ඉටු කිරීමේ වගකීම තම සභපතිවරයා වෙත පැවරෙන බවද කියා තිබේ. නව සභාපතිවරයා එහිදී කියා ඇත්තේ විධායකයේ අයෝමය හස්තයට හා පොලීසියේ සපත්තුවට අධිකරණය පෑගීමට ඉඩ නොදෙන බව හා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කරන බවය.
ආපසු හැරී බැලීමක අවශ්යතාව
නීතිඥ සංගමයට නීති වෘත්තියේ ගෞරවය වෙනුවෙන් හා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් නැගී සිටින්නට අවශ්ය නම් නීතිඥ වෘත්තියේ පැවැත්ම හා අධිකරණයේ ක්රියාකාරීත්වය ගැන අවංකව ආපසු හැරී බලන තැනකට යායුතුය. ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් අනුගමනය කෙරුණු පිළිවෙත ඉතා අසාධාරණ වුවත් අධිකරණ ස්වාධීනත්වයේ මළඟම ආරම්භ වන්නේ එතැනින් නොවේ. එය විධායක ජනාධිපති ක්රමයේ ආරම්භයත් සමග ඇතිවූ විශේෂ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ඊට පෙර පැවති ක්රමය තුළ අධිකරණය කෙරෙහි බලපෑම් නොතිබුණු බව ඉන් අදහස්වන්නේ නැත. බලපෑම් තිබුණි. එහෙත් ආණ්ඩුක්රම ව්යුහය සකස් වී තිබුණේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කෙරෙන ආකාරයටය. ආණ්ඩුක්රමය තුළ අධිකරණයට තිබුණු ස්වාධීන පැවැත්ම අහිමිවන්නේ විධායක ජනාධිපති ක්රමයක් ඇති කිරීමත් සමගය. ඒ ක්රමය තුළ රටේ ප්රධාන විධායකයා නීතියට යටත් නැති අධිකරණයට උත්තරදීමට බැඳී නැති නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකුගේ තත්ත්වයට පත්විය.
අපගේ අනිකුත් වෘත්තීය ක්ෂේත්රවල සේ ම නීතිඥ හා අධිකරණ වෘත්තිය ක්ෂේත්රය තුළද දාර්ශනික දුප්පත්කම රජ කළේයැ”යි කිව හැකිය. ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්රමයක් තුළ නීති වෘත්තිකයන් වශයෙන් හා අධිකරණ වෘත්තිකයන් වශයෙන් තමන් වෙත පැවරී තිබෙන සමාජ වගකීම පිළිබඳ හරි අවබෝධයක් ඔවුන්ට නොතිබුණේය. 78 කරළියට ගෙන එන ව්යවස්ථාව නීති වෘත්තිකයන් හා අධිකරණ වෘත්තිකයන් අතර බැරෑරුම් ලෙස සාකච්ඡාවට ලක්වූ ව්යවස්ථාවක් නොවීය. ඒ අංශ දෙකේම පැවතියේ පාලකයන් ඇති කරන ඕනෑම වෙනසක් විවේචනයකින් තොරව භාරගන්නා මානසික තත්ත්වයකය.
ඒ පැවති කාන්තාර වටාපිටාව තුළ අගවිනිසුරු ධුරයට පත්වන නෙවිල් සමරකෝන් අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය වෙනුවෙන් සටන් කළ තනි අලියෙකු ලෙස සැලකිය හැකිය. එස්. නඩේසන්ද සැලකිය හැක්කේ නීතිඥයන් අතර සිටි මානව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ තනි අලියෙකු ලෙසය.
දෘෂ්ටියේ තිබෙන දෝෂය
අධිකරණය ඉදිරියට එන ව්යවස්ථාවමය වැදගත්කමක් අති නඩු හබ ශුද්ධ නීතිමය දෘෂ්ටි කෝණයකින් මිස ඊට අතිරේකව ප්රජාතන්ත්රවාදී දෘෂ්ටි කෝණයෙන්ද සලකා බලන තත්ත්වයක් අධිකරණය තුළ නොවූ අතර ඒ සඳහා වන කථිකාවක්වත් නීතිඥ සංගම් ව්යාපාරය තුළද නොතිබුණි.
විධායකය හෝ ව්යවස්ථාදායකය උල්ලංඝනය නොකළ යුතු ගණයට වැටෙන හැම දෙයක්ම ආණ්ඩුක්රම ව්යවස්ථාවලට ඇතුළත් කෙරෙන්නේ නැත. නිදර්ශනයක් වශයෙන් අයවැය ලේඛනයක් එක වසරකට මිස වසර දෙකකට හෝ තුනකට බලපාන පරිදි ඉදිරිපත් නොකළ යුතුයි කියා කිසිම ව්යවස්ථාවක සඳහන්වන්නේ නැත. එහෙත් පිළිගත් ප්රජාතන්ත්රවාදී සම්ප්රදාය අනුව අයවැය ලේඛනයක් එක් වසරක් සඳහා මිස ඊට වැඩි වසර ගණනක් සඳහා ඉදිරිපත් කළ නොහැකිය. කවදා හෝ බලයට පත්වන මෝඩ නායකයකු සියලු දේ තීන්දු කිරීමේ බලය ඇත්තේ ව්යවස්ථාදායකටයැ”යි කල්පනා කොට එක වසරක කාලයක් සඳහා වෙනුවට වසර තුනක කාලයක් සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නට ගොස් එය අධිකරණය විසින් විසඳා දියයුතු ප්රශ්නයක් බවට පත්වුවහොත් නීතියට අතිරේකව පිළිගත් ප්රජාතන්ත්රවාදී සම්ප්රදායන්ද අධිකරණය සැලකිල්ලට ගැනීමට සිදුවේ. අධිකරණය එවැනි ක්රියාවකට ඉඩ නොදිය යුතුය. ජනමතවිචාරණ නඩුව සලකා බැලිය යුතුව තිබුණේද ඒ ආකාරයටය. තුනෙන් දෙකක යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 6ක් සඳහා දීර්ඝ කරගත හැකි නම් අවුරුදු 6ක් වෙනුවට නිල කාල පහක් සඳහා එනම් අවුරුදු 30ක් හෝ ඊට වැඩි ගණනක් සඳහා වුවද ඒ පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගැනීමේ හැකියාව තිබිය යුතුය. අධිකරණයක් තිබෙන්නේ එවැනි අත්තනෝමතික ක්රියා වැළැකීම සඳහාය. එහෙත් අපේ අධිකරණය කළේ ඊට අවහිර කිරීම නොව වාද විවාද මැද වුවත් ඊට අනුමැතිය දීමය. ජනමතවිචාරණය පිළිබඳව ශ්රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තීන්දුව අදටත් වලංගුය. ඕනෑම ජනාධිපතිවරයෙකුට අවශ්ය නම් පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගැනීම සඳහා එය යොදාගත හැකිය. එහි තිබෙන අනතුර පිළිබඳව ප්රමාණවත් තරමින් සැලකිල්ලට ගැනීමක් හෝ සාකච්ඡාවට ලක්වීමක් සිදුවී නැත.
ජනමතවිචාරණය අපේ රටේ ගමන් මග මුළුමනින් විකෘති කළා පමණක් නොව රටේ මහා විනාශයක්ද ඇති කළේය. රටේ නීතිඥ ප්රජාවද එම ක්රියාව ඉදිරියේ අහක බලාගෙන සිටියා මිස එයට එරෙහිව නැගී නොසිටියේය.
අධිකරණයකට එල්ල වන බාහිර බලපෑම් නතර කළ පමණකින් අධිකරණයක් ස්වාධීනවන්නේ නැත. අධිකරණයක් ස්වාධීනවීමට නම් අනිසි බාහිර බලපෑම්වලින් පමණක් අනිසි අභ්යන්තර බලපෑම්වලින්ද එය නිදහස් විය යුතුය. අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට සාධාරණව හා නීතියට අනුකූලව ක්රියාකිරීමට අවශ්ය දැනුමක් සේ ම ශික්ෂණයක්ද තිබිය යුතුය.
18 වැනි ව්යවස්ථාව සංශෝධනයට අනුමැතිය ලබාදෙන ලද්දේ ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ප්රධානත්වයෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් මගිනි. දෝෂාභියෝග කාලයේදී මා මේ ගැන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටි ජේයෂ්ඨ නීතිඥ මහතකුගෙන් කරන ලද කරුණු විමසීමකදී ඔහු ඊට දෙන ලද පිළිතුර මගේ විශ්මයට හේතුවිය.
“ඔව්. තීන්දුව ප්රකාශ වූයේ ශිරාණිගේ නමින්. නමුත් එය ලියපු එකක් නොවෙයි. ඒක ලිව්වේ අගවිනිසුරු ධුරයේ හිටපු අශෝක ද සිල්වාය. ශිරාණි අනුන් ලියන ලද තීන්දුවක් තම නමින් ප්රකාශ කිරීම මගින් අනුන්ගේ උගුලකට අසුවීයැ”යි ඔහු කීවේය. එය ඇත්තක්ද නැත්තක්ද යන්න මම නොදනිමි. ඔහු කියන ලද්දේ සත්යයක් නම් ශිරාණි බණ්ඩාරනායක මහත්මියද ගෞරවයට හේතුවන විනිශ්චයකාරවරියක ලෙස සැලකිය නොහැකිය.
ක්රමයේ තිබෙන දෝෂ
විනිශ්චයකාරවරුන් තෝරාගන්නා ක්රමය සේ ම ඔවුන් පුහුණු කරන ක්රමය ද විධිමත් හෝ නූතන අවශ්යතාවන්ට ගැළපෙන තත්ත්වයක නොපවතින්නේයැ”යි කිව හැකිය. මේ තර්කය නීති අධ්යාපනයටද වලංගුය.
මහේස්ත්රාත් ලෙනින් රත්නායක සිද්ධියේදී ඔහු විනිශ්චයකාරවරයකු ලෙස සේවයට බඳවාගෙන තිබුණේ ඔහු ආණ්ඩුවේ ආයතනයකින් මුදල් වංචා කොට විධිමත් පරීක්ෂණයකින් පසුව සේවයෙන් පහකර තිබියදීය. විනිශ්චයකාර සේවයට පුද්ගලයන් බඳවා ගන්නා විට ඔවුන්ගේ ඉතිහාසය ගැන හොඳින් කරුණු සොයා බලන ක්රමයක් ක්රියාත්මක නොවන බව ඉන් පෙනී යයි. ඔහුට එල්ල වූ ස්ත්රී දූෂණ චෝදනා දෙකේදීම විනිශ්චයකාරවරයාට එම කාන්තාවන් දෙදෙනා යොමු කරන පිම්පියන් ලෙස ක්රියා කර තිබුණේ එම කාන්තාවන් දෙදෙනා වෙනුවෙන් උසාවියේ පෙනී සිටි නීතිඥයන් දෙදෙනාය. මහේස්ත්රාත් ලෙනින් රත්නායකට එරෙහිව බොහෝ කලකට පසුව බොහෝ අමාරුවෙන් නීතිය ක්රියාත්මක වී ඔහු අධිකරණ සේවයෙන් පලවා හරිනු ලැබූවද තමන්ගේ සේවාදායක කාන්තාවන් දෙදෙනකු මහේස්ත්රාත්වරයාට පාවා දුන් නීතිඥයන් දෙදෙනාට එරෙහිව නීතිය ක්රියාත්මකවීමක් සිදුවූයේ නැත.
විනිශ්චයකාරවරුන් අතර විනය පිරිහී තිබෙන තරම හා බරපතළ වැරදි කරන පුද්ගලයන් හෙළිදරව්වීමෙන් පසුව පවා ඔවුන් සම්බන්ධයෙන් දැඩි ප්රතිපත්තියක් ක්රියාත්මක නොවන ආකාරය පෙන්නුම් කරන තවත් නිදසුනක් මෙසේය.
නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පලායමින් සිටි කුඩා දැරියක් අහම්බෙන් අලුත්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදි. ඇය පිළිබඳව කරන ලද පරීක්ෂණයේදී ඇය මහාධිකරණ විනිසුරුවරයකුගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරියක් බව හා ඇය එම මහාධිකරණ විනිසුරුවරයා අතින් නිරන්තර දූෂණයට ලක්ව ඇති බවත් සොයා ගන්නා ලදි. වෛද්ය පරීක්ෂණවලින් පසුව මහාධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට අවශ්ය වූ අතර සැකකරු මහාධිකරණ විනිසුරුවරයකු නිසා ඔහු අත්අඩංගුවට නොගෙන පරීක්ෂණ කටයුතු කරගෙන යන ලෙස නීතිපතිවරයා විසින් පොලීසියට නියෝග කිරීම නිසා විනිසුරුවරයා අත්අඩංගුවට නොගෙන පරීක්ෂණ කටයුතු කරගෙන යෑමට පොලීසියට සිදුවිය. එවකට නීතිපති ධුරය හෙබවූ පුද්ගලයා වූයේ පසු කලක අගවිනිසුරු ධුරයට පත්වූ සරත් නන්ද සිල්වාය. විනිසුරුවරයාට එරෙහිව මහාධිකරණයේ පරවන ලද මෙම නඩුවේදී දූෂණයට ලක්ව සිටි දැරිය වෙනුවෙන් පෙනී සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජේයෂ්ඨ නීතිඥයෙකි. ඊට අතිරේකව ඇගේ ඇගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ කල්යානන්ද තිරාණගම පෙනී සිටියේය.
මෙම නූගත් දැරිය පිළිගත් සම්මත භාෂාවෙන් තමන්ට සිදුවූ දූෂණය විස්තර කරන්නට දැන නොසිටියේය. දූෂණය ඇය විස්තර කළේ තමන් දන්නා අසම්මත ආකාරයකටය. විත්තියේ නීතිඥයා විනිසුරුවරයා තමන් දූෂණය කළේදැ”යි ප්රශ්න කරන හැම අවස්ථාවකදීම ඇය දෙන ලද පිළිතුර වූයේ නැත යන්නයි. මෙම තත්ත්වය ප්රයෝජනයට ගෙන තාක්ෂණ කරුණක් මත නඩුව ජයගැනීමට මහාධිකරණ විනිසුරුවරයා සමත් විය. තීන්දුව අභියාචනයට ලක් කළ යුතු බව නීතිඥ කල්යානන්ද තිරාණගමගේ මතය වුවද මොන හේතුවක් නිසා හෝ තීන්දුව අභියෝගයට ලක් කෙරුණේද නැත. මෙම විනිසුරුවරයා නඩුවෙන් නිදහස් වන අවස්ථාව වන විට අගවිනිසුරුවරයා බවට පත්ව සිටියේ විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීම වැළකූ නීතිපතිවරයාය. විනිසුරුවරයා නඩුවෙන් නිදහස් කිරීමෙන් පසු ඔහු නැවත සේවයට ගැනීමට අගවිනිසුරුවරයා ප්රමුඛ අධිකරණ සේවා කොමිසම තීන්දු කළේය. එම තීරණයෙන් කලබලයට පත් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් (ඒ වන විට එම සංගමයේ ප්රධානියා ලෙස ක්රියා කළේ ඝාතනයට ලක්වූ අඹේපිටිය මහතාය) අගවිනිසුරුවරයා හමුවී මෙම විනිසුරුවරයා සේවයට ගැනීමෙන් වැළකී සිටින ලෙස ඉල්ලා සිටියේය. ඔවුන් සියලුදෙනා පුදුමයට පත් කරමින් අගවිනිසුරුවරයා ඔවුන්ට දී තිබෙන පිළිතුර වී ඇත්තේ මෙහෙකාරියක් දූෂණය කිරීම මෙහෙකාරියක් සිටින හැම නිවසකම පාහේ සිදුවන දෙයක් වන නිසා ඒ ගැන ලොකුවට කල්පනා කිරීම සුදුසු නොවන බවය. ඔවුන්ගේ විරෝධය නොසලකා නඩුවෙන් නිදහස් වූ මහාධිකරණ විනිසුරුවරයා මොනරාගල උසාවියට යවන ලද අතර වැඩ භාරගැනීමට මොනරාගල උසාවියට යමින් සිටියදී එම විනිසුරුවරයාගේ රිය බිහිසුණු රිය අනතුරකට ලක්වී විනිසුරුවරයා සදාකාලික අබ්බගාතයකු බවට පත්වීම නිසා ඔහුට නැවත අධිකරණ සේවයට එකතුවීම ඉඩ නොලැබුණි.
බාලවයස්කාරයෙකු මෙහෙකාර සේවයේ යොදා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙම සිද්ධියේදී ඒ ගැන අධිකරණ සේවා කොමිසමේ හෝ අධිකරණයේ කිසිදු අවධානයක් යොමු නොවීය.
විනිශ්චයකාරවරුන් අතර හොඳ විනිශ්චයකාරවරුන් සිටිනවා සේ ම අධිකරණ සේවයේ පැත්ත පළාතකටවත් වැද්ද නොගත යුතු ඉතාමත් නරක විනිශ්චයකාරවරුන්ද සිටින්නේය. එම ධර්මතාව නීතිඥයන්ටද අදාළය. නීතිඥයන් අතරද හොඳ නීතිඥයන් සිටිනවා සේ ම තමන්ගේ සේවාදායකයන් ගසා කන, ඔවුන් රවටන, එකවිට දෙපැත්තටම වැඩ කරන නීතිඥයෝ සිටිති. ඉතාමත් අවාසනාවන්ත දේ ලෙස සැලකිය හැක්කේ සමහර පුද්ගලයන් වැරදි කිරීම නොව එම වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව අධිකරණ සේවා කොමිසමට, නීතිඥ සංගමයට හෝ ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වන පැමිණිලිවලදී ඒවා ගැන සොයා බලා වැරදි කරන පුද්ගලයන්ට එරෙහිව දඬුවම් කරන කාර්යක්ෂය ක්රමවේදයක් නැතිවීමය. ඔවුන්ට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලි හා ඒ සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන ප්රතිපත්ති පාරදෘෂ්ය තත්ත්වයක නොපවතී. වෙනත් බොහෝ රටවල නීතිඥයන්ට එරෙහිව ලැබෙන පැමිණිලි හා ඒ පැමිණිලි සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබෙන ප්රතිපත්ති මහජනයාගේ දැනගැනීම සඳහා ප්රසිද්ධියට පත් කෙරේ. එංගලන්තයේ වසරකට නීතිඥ නාමලේඛනයෙන් පහකර හෝ වෙනත් ආකාරවලින් දඬුවම් ලබන නීතිඥයන්ගේ සංඛ්යාව 400ක් පමණ වේ. එහෙත් අපේ රටේ දූෂිත වැරදි නිසා නීතිඥභාවය අහිමි කෙරුණු නීතිඥයන් ගැන අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් අවස්ථාවකදී පමණය.
නිසි ක්රමයක් ඇතිකර ගැනීම
එංගලන්තයේ ක්රියාත්මක වන ක්රමය අනුව සියලු නීතිඥයන් තමන් අතින් සිදුවන වරදකදී සේවාදායකයා වන්දි ගෙවීමට හැකිවන ආකාරයේ රක්ෂණයක් ලබාගත යුතුය. හැම නීතිඥයකුම සේවාදායකයා සමග ගිවිසුමක් ඇති කරගත යුතුය. භාරගනු ලබන හැම නඩුවක් සම්බන්ධයෙන්ම එම නඩුව ගැන වන තමන්ගේ මතය ඒ නඩුව සම්බන්ධයෙන් තමන් ක්රියාකරන්නට යන ආකාරය හා අය කෙරෙන ගාස්තුව පිළිබඳ විස්තරයක් ඇතුළත් කෙටි වාර්තාවක් නීතිඥයා විසින් සේවාදායකයාට ලබාදිය යුතුය. සේවාදායකයා විසින් ගෙවනු ලබන ගාස්තුව සාක්කුවේ දමාගැනීමේ හැකියාවක් ද නීතිඥයාට නැත. ඔහු එම මුදල තමාගේ නමට ඇති සේවාදායකයාගේ නමින් ආරම්භ කරන අතුරු ගිණුමකට බැර කළ යුතුය. නීතිඥයා අතින් වරදක් සිදුවුවහොත් සේවාදායකයාට ඒ ගැන පැමිණිලි කරන්නට විශේෂ ආයතන ක්රමයක් ඇත්තේය. එම ආයතනය එවැනි පැමිණිලි ගැන විධිමත්ව හා කඩිනමින් සොයා බලන අතර නීතිඥයා අතින් සේවාදායකයාට වරදක් සිදුවී ඇති නම් ඒ සඳහා නියම කරන ලද වන්දියක් ගෙවන ලෙස නීතිඥයාට නියම කරනු ලබයි. විසමාචාර වරදකදී නම් වන්දිය ගෙවනවාට අතිරේකව ඔහුට එරෙහිව විනය ක්රියාමාර්ගයක්ද ගනු ලැබේ. ඔහු නියම කරන ලද වන්දිය ගෙවනු ලබන්නේ රක්ෂණයෙනි. නිතර වන්දි ගෙවීම්වලට ලක්වන නීතිඥයන් සඳහා රක්ෂණය සඳහා ගෙවිය යුතු මිලද ඊට ගැළපෙන ලෙස ඉහළ යන්නේය. මේ ක්රමය නීතිඥයන්ගේ සේවය ලබාගන්නා සේවාදායකයන්ට මනා ආරක්ෂාවක් ලබාදෙමින් නීති වෘත්තිය විනයගරුක, කාර්යක්ෂම හා ව්යවස්ථාදායක තත්ත්වයක තැබීමට හේතුවී තිබේ.
අධිකරණයේ නැතිවී තිබෙන ගෞරවය හා ස්වාධීනත්වය දිනාගැනීම සඳහා අධිකරණ සේවය හා නීතිඥ සේවය පවිත්රකරණයකට ලක් කොට ඒවා විනයගරුකව ක්රියාකරන තත්ත්වයකට ගෙනා යුතුය. බාහිරින් එල්ල වන තර්ජනවලට එරෙහිව ආත්ම විශ්වාසයකින් යුතුව නැගී සිටීමේ හැකියාව ඇති, ජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කරන, දූෂණයෙන් තොර, විචක්ෂණ, නීතිගරුක හා සාධාරණ අධිකරණ සේවයක් සේ ම නීතිඥ සේවයක්ද ගොඩ නැගෙනු ඇත්තේ එවිටය.
ශ්රී ලංකාවේ ක්රියාත්මක වන දේශපාලන ක්රමය සකස් කර තිබෙන්නේම ස්වාධීන අධිකරණ ක්රමයකට ඉඩ නොලැබෙන ආකාරයටය. ස්වාධීන අධිකරණ ක්රමයකට ඉඩ ලැබෙන යහපත් ආණ්ඩු ක්රමයක් ඇති කරගැනීමේ අවශ්යතාව කෙරෙහිද විනිශ්චයකාරවරුන්ගේ සේ ම නීතිඥයන්ගේද බැරෑරුම් අවධානය යොමුවිය යුතුය. අධිකරණයට නැතිවී තිබෙන ගෞරවය හා ස්වාධීනත්වය ඇති කරගත හැකිවනු ඇත්තේ එවිටය.