චින්තනයේ දුප්පත්කම (3) — ධර්මපාලගේ සිට පැරණි වම දක්වා

March 24, 2013
Publication:
In the final part of the series Ivan surveys the currents that shaped modern Sinhala political thought and finds that none could build a nation. Anagarika Dharmapala's liberationist vision had room only for Sinhala Buddhists; the Ceylon National Congress spoke of one Ceylonese nation but had no plan to unite it; the Gandhian Jaffna Youth Congress had the most progressive vision but wrecked itself with the 1931 election boycott; and the brilliant Marxist Old Left, schooled on Lenin and Trotsky rather than Locke and Mill, cared for class, not nation.

ධර්මපාල චින්තනය

අනගාරික ධර්මපාල (1864-1933) බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය ආශ්‍රයෙන් ගොඩනැගී 1904න් පසු මහජනයාගේ විශාල උනන්දුවට හේතුවන ව්‍යාපාරයක් බවට පත්වන අමද්‍යප ව්‍යාපාරයේ ප්‍රධාන ප්‍රකාශකයා ලෙස සැලකිය හැකිය. ඔහු ඒ කාලයේ සිංහල බෞද්ධයන්ගේ සිතුම් පැතුම් කෙරෙහි වැඩියෙන්ම බලපෑ චින්තකයා ලෙස සැලකිය හැකිය. කුමාරි ජයවර්ධන දක්වා තිබෙන පරිදි “බයින් හැකිළෙමින් නිවට ලෙස බඩගෑමේ යෙදුණු යටහත් පහත් ලාංකිකයන් සමූහයක් මැද්දේ හිස කෙළින් තබාගෙන ගමන් කළ එකම වංශවත් තැනැත්තා” ඔහු විය. ඔහු සමකාලීන සිංහල බෞද්ධ නායකයන් අතර සිටි වර්ණවත්ම පුද්ගලයා ලෙස ද සැලකිය හැකිය.

බහුජන රැස්වීම් පවත්වන සම්ප්‍රදායක් පළමුවරට ලංකාවේ ගොඩනැගුණේ අමද්‍යප ව්‍යාපාරය හරහායැ”යි කිව හැකිය. ඒ සඳහා විවිධ පළාත්වල මහජන රැස්වීම් ද අමද්‍යප පෙරහැර හා පෙළපාළිද පවත්වන ලදි. ධර්මපාල මෙම රැස්වීම්වලට ගියේ “මත්පැන් පානය කරන්නා වසලයෙක්” ය යන සටන් පාඨය ප්‍රදර්ශනය කෙරෙන ආකාරයට අලවා ගත් පුවරුවක් සහිත රථයකින්ය. ඔහුගේ ප්‍රසිද්ධ කතා අසන්නට මහජනයා විශේෂ උනන්දුවක් දැක්වීය. ඔහු ප්‍රසිද්ධ රැස්වීම්වලදී යුරෝපීන් හැඳින්වූයේ “හරක් මස් කන නීචයන්” ලෙසිනි. මිෂනාරීන් ගැනත් ක්‍රිස්තියානි ආගම වැළඳ ගත් හෝ බටහිර ජීවන ක්‍රමයක් පවත්වාගෙන ගිය සිංහලයන් ගැනත් විවේචනය කරමින් ප්‍රසිද්ධ රැස්වීම්වලදී ඔහු කරන ලද කතා මහජනයා ප්‍රබෝධමත් කිරීමට හේතුවී තිබුණි.

ඉතා විධිමත් හා අංගසම්පූර්ණ තත්ත්වයක නොතිබුණා වුවද ලංකාව පිළිබඳ විමුක්තිවාදී දැක්මක් පළ කළ ප්‍රථම චින්තකයා ලෙස සැලකිය හැක්කේ අනගාරික ධර්මපාලය. ඔහුට යටත් විජිතවාදය ගැන සේ ම ක්‍රිස්තියානිකරණය ගැනද පළල් විවේචනයක් තිබුණි. ඔහු ගොඩ නගන්නට අපේක්ෂා කළ ලංකාව තුළ සිංහල බෞද්ධයන් හැර අන් කිසිවකුට එනම් ලාංකීය දමිළයන්ට, මුස්ලිම්වරුන්ට හා බර්ගර්වරුන්ට පමණක් නොව සිංහල ක්‍රිස්තියානිකාරයන්ටද කිසිදු තැනක් නොතිබීම ඔහුගේ චින්තනයට ආවේණික බරපතළම සීමාසහිතකම ලෙස සැලකිය හැකිය. කොටින්ම ජාතිය ගොඩනැගීමේ ප්‍රශ්නය පිළිබඳව ඔහුට පුළුල් හා නිර්මාණශීලී ඉදිරි දැක්මක් නොතිබුණේය. ඔහු වැදගත් කොට සැලකුවේ සිංහල බෞද්ධයන් පමණය. ඔහු සිංහලයන් විස්තර කර තිබෙන්නේ අසහාය මනුෂ්‍ය වර්ගයක් වශයෙනි. ඔහුට අනුව වනචාරි සාහසිකයන් පැමිණ විනාශ කර දමන්නට පෙර ආරිය සිංහලයන් යටතේ මේ දිවයින මිහිපිට සුරපුරක් බඳු තත්ත්වයක තිබුණේය. ඔහුට අනුව රටේ භූමි පුත්‍රයන් ලෙස සැලකිය හැක්කේද සිංහල බෞද්ධයන් පමණය. දෙමළ, මුස්ලිම්, බර්ගර් යන අන් සියලුදෙනා සැලකිය යුත්තේ පරදේශක්කාරයන් ලෙසය.

ඔහුට සිංහලයන් ගැනද විවේචනයක් තිබුණි. ඔහු ඔවුන්ගේ දීනකම ගැන, අලසකම ගැන, අනුකාරකවාදී පැවැත්ම ගැන විවේචනය කළේය. එහෙත් සිංහලයන් අතර පැවති කුලභේදය ගැන ඔහුට විවේචනයක් තිබුණු බවක් පෙනෙන්නට නැත.

කුලභේදය සිංහලයන්ගේ අසමගිය කෙරෙහි බලපා තිබූ ප්‍රධාන සාධකයක් විය. එය සිංහල ජනගහනයෙන් අඩකට පමණ ප්‍රභූ පිළිගැනීමක් ලබාදෙන විට ඉතිරි අඩට ලබාදී තිබුණේ යටහත් පහත් අවමන්සහගත තත්ත්වයකි. එම විෂම තත්ත්වය බෞද්ධ ශාසනය කෙරෙහිද බලපා තිබුණි. ඔහුගේ චින්තනය තුළ සිංහලයන් කුලභේදයෙන් නිදහස් කරගැනීම සඳහා වන ප්‍රවේශයක් නොතිබුණා සේ ම ජාතිය භේදබින්න කිරීමට හේතුවන ප්‍රවේශයක් මිස ජාතිය එක්සත් කිරීමට හේතුවන ප්‍රවේශයක් ද ඒ තුළ නොතිබුණි.

ඇත්ත වශයෙන්ම 1915දී ඇතිවූ සිංහල-මුස්ලිම් කෝලාහලය ධර්මපාල විසින් සිංහල බෞද්ධයන් අතර වර්ධනය කර තිබූ වර්ගවාදී හා ආගම්වාදී ප්‍රබෝධය පිපිරුණු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඔහු බ්‍රිතාන්‍ය ආධිපත්‍යය කෙරෙහි දක්වන ලද විරෝධයට වැඩි විරෝධයක් මුස්ලිම්, දෙමළ, බර්ගර් වැනි සුළු ජාතිකයන් කෙරෙහි දක්වා තිබුණි. ඔහු මුස්ලිම්වරුන් ගැන කියන ලද ප්‍රසිද්ධ කියමනක් මෙසේය. “බ්‍රිතාන්‍යයට ජර්මානුවා යම් සේ ද සිංහලයාට මහමදිකයාද එසේමය. ඔහු ආගමෙන්, ජාතියෙන් වෙන්ව භාෂාවෙන්ද විජාතිකයෙකි.

ජාතික සංගම් ව්‍යාපාරයේ චින්තනය

ලංකා ජාතික සංගමය සිංහල මුස්ලිම් කෝලාහලයෙන් පසුව ඒ උණුසුම මැද්දේ ඊළඟට බිහිවන ප්‍රධාන දේශපාලන ව්‍යාපාරය ලෙස සැලකිය හැකිය. එම සංගමයට එකතු වන සිංහල බෞද්ධ නායකයන් බොහෝ දෙනකු ධර්මපාලගේ අමද්‍යප ව්‍යාපාරය හරහා ගොඩනැගුණු පිරිසක් ලෙස සැලකිය හැකි වුවත් ඔහු ජාතිය විග්‍රහ කරන්නට උත්සාහ කළ ආකාරය ධර්මපාල ජාතිය විග්‍රහ කර තිබූ ආකාරයට වඩා වෙනස් විය.

ධර්මපාලගේ ජාතියට ඇතුළත්ව සිටියේ සිංහලයන් පමණය. එහෙත් ජාතික සංගම් නායකයන් ජාතිය ලෙස සලකන ලද්දේ සියලු දේශීය ජනවර්ග ඇතුළත් ජනතාවය. ඊ.ඩබ්ලිව්. පෙරේරා කීවේ මේ රටේ සිංහලයන් මෙන් ම ද්‍රවිඩයෝ ද, බර්ගර්වරුද, යෝනකයෝ ද මෙරටට දක්වන ආදරය අනුව එකම ජාතියක් බවට පත්වන බවය. 1920දී ජාතික සංගමයේ සභාපති ධුරයට පත් එච්.ජේ.සී. පෙරේරා ජාතිය විග්‍රහ කරන ලද්දේ මෙසේය. “ලංකා ජාතික සංගමයේ විශ්වාසය නම් ලංකාවේ සිටින්නේ එකම ජාතියක් බවය. ඒ වනාහි ලාංකික ජාතියයි. ලංකාවේ විමුක්තිය රැඳී පවතින්නේ ජාති භේදවාදයේ හෝ වර්ග භේදවාදයේ හෝ වර්ධනය මත නොව, සැබෑ ජාතික හැඟීමක් අප අතර වගා කරගන්නා ප්‍රමාණය මතය. අප සංගමයේ ප්‍රධාන අරමුණද එයමය.” ජාතිය පිළිබඳව ලංකා ජාතික සංගමයේ සියලු නායකයන් කල්පනා කළ ආකාරයට අඩු වැඩි වශයෙන් ඊට සමාන විය.

පරිපූර්ණ ලෙස නොවූවත් කුවේණියගෙන් පැවත එන්නන් හැර ස්වදේශිකයන් ලෙස සැලකිය හැකි තත්ත්වයක සිටි සියලු ජනවර්ග නායකයන් (පහතරට සිංහල, උඩරට සිංහල, ලංකා දෙමළ, ලංකා මුස්ලිම් හා බර්ගර්) ලංකා ජාතික සංගමය තුළ කිසියම් ප්‍රමාණයකට ඒකරාශි කරගැනීමට ලංකා ජාතික සංගම් නායකයන් සමත්ව තිබුණද, එම එකමුතුකම ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගෙන යෑමට සංගමය සමත් වූයේ නැත. හේතුව ජාතිය පිළිබඳව ප්‍රශස්ත දළ අදහසක් තිබුණද විසිරී සිටි ජාතිය එකට ඒකරාශී කිරීම සඳහා වන ශක්තිමත් හා ප්‍රායෝගික දැක්මක් එයට නොතිබීමය.

ලංකා ජාතික සංගමය තුළ එකතු වී සිටි නායකයන් අතර විදේශ අධ්‍යාපනයක් ලැබූ සැලකිය යුතු පිරිසක් සිටියේය. එහෙත් යුරෝපයේ පුනරුදය හා ඒ ආශ්‍රයෙන් ඇතිවී වර්ධනය වූ නිදහස් චින්තනය ඔවුන් කෙරෙහි නාමමාත්‍රික වශයෙන් මිස ප්‍රබල ලෙස බලපා තිබුණු බවක් පෙනෙන්නට නැත.

එදා ලංකාව මුහුණ දී තිබුණු අභියෝගය මෙසේ සූත්‍ර ගත කළ හැකිය.

ලංකාව වැඩවසම් ක්‍රමයෙන් බොහෝ දුරට ඉවත් වී සමහර සීමාසහිතකම් ඇතිව වුවද ධනේශ්වර ක්‍රමයකට මාරුවී තිබුණි. බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය විසින් ලංකාව, පොදු එක දේශ සීමාවක් ඇති, මුළු රටම සඳහා බලපාන ආකාරයේ එක ආණ්ඩුක්‍රමයක් ඇති, එක පරිපාලන ක්‍රමයක් ඇති, එක නීති ක්‍රමයක් ඇති ජාතික රාජ්‍යයක තත්ත්වයට පත්කර තිබුණි. දියුණු තත්ත්වයකට විකාශනය වී නොතිබුණද වැඩවසම් ආණ්ඩුක්‍රමය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයකටද රට යොමුවෙමින් තිබුණේය.

ලංකා ජාතික සංගමය තුළ ඒකරාශි වී සිටි නායකයන් අතර කුලය අනුව, අදහන ආගම අනුව, අයත් වර්ගය අනුව හා කතා කරන භාෂාව අනුව බෙදීම් තිබුණද නැවත පරණ වැඩවසම් ක්‍රමයට යායුතුයි සිතන කිසිවෙක් ඔවුන් අතර නොවීය. වෙනස්කම් තිබියදීත් ඔවුන් සියලුදෙනාගේ අපේක්ෂාව වී තිබුණේ බ්‍රිතාන්‍යයන්ගෙන් ලැබී තිබුණ ජාතික රාජ්‍ය ක්‍රමය හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය ඉදිරියට ගෙනයෑමය. ඒ අර්ථයෙන් ඒ සියලුදෙනාම නවීන අදහස් දරන නායකයන්වීයැ”යි කිව හැකිය.

ලැබී තිබුණු අලුත් ක්‍රමය ඉදිරියට ගෙනයෑම අරබයා ඔවුන් සියලුදෙනා අතර ඒකමතිකභාවයක් තිබුණද එම ඉලක්කය සපුරා ගැනීම සඳහා සම්පූර්ණ කරගත යුතු කාර්යයන් පිළිබඳව හරි අවබෝධයක් ඔවුන්ට නොතිබුණේයැ”යි කිව හැකිය. ජාතික රාජ්‍යයේ පැවැත්මට සම ජාතිකයන් හෝ එක්සත් ජාතියක් ඇති කරගැනීම අත්‍යවශ්‍ය විය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනගා ගැනීමද අත්‍යවශ්‍යව තිබුණි. එම මූලික ප්‍රශ්න දෙක අරබයා පොදුවේ ජාතික සංගමයේ නායකයන්ට හෝ විශේෂ වශයෙන් එම සංගමයේ කවර නායකයකුට හෝ දියුණු හා ප්‍රායෝගික දැක්මක් නොතිබුණේයැ”යි කිව හැකිය.

ඒ වන විට ලංකාවේ ස්වදේශීය සමාජය එක ජනවර්ගයකට හෝ ආගමකට සීමාවූ සමාජයක් නොවූ අතර බහුවාර්ගික හා බහු ආගමික සමාජයක් විය. ප්‍රමාණයෙන් විශාලතම ජන කණ්ඩායම සිංහලයන් වුවද ඔවුන් අතර උඩරට සිංහලයන් හා පහතරට සිංහලයන් වශයෙන්ද බෞද්ධ හා බෞද්ධ නොවන සිංහලයන් වශයෙන්ද ගොවිගම සිංහලයන් හා ගොවිගම නොවන සිංහලයන් වශයෙන්ද බෙදීම් තිබුණි. ඊට සමාන බෙදීම් දෙමළ සමාජය තුළද තිබුණි. මුස්ලිම් සමාජයේ පමණක් ආගමික හෝ කුලබෙදීම් නොතිබුණි. එහෙත් වෙනත් ආකාරවල බෙදීම් තිබුණි. පුපුරනසුලු වෙනස්කම් වර්ග අතර පමණක් නොව වර්ග තුළද තිබුණි. මේ සියලුදෙනාට ඔවුන් ආරක්ෂා කරගත යුතු අනන්‍යතාවන්ද ආරක්ෂා කරගැනීමට ඉඩ ලැබෙන පොදු හැඟීමකින් ක්‍රියාකරන ලාංකික ජාතියක් බවට පත්කරන්නේ කෙසේද යන ප්‍රශ්නය ලංකා ජාතික සංගම් නායකයන් විසින් විසඳාගත යුතුව තිබුණු ප්‍රධානම ප්‍රශ්නය වීයැ”යි කිව හැකිය.

එක්සත් ජාතියක් ඉබේ ඇතිවන්නේ නැත. එය නිර්මාණශීලීව ගොඩනගා ගත යුතුව තිබුණු දෙයක් විය. ඒ සඳහා

1. සිංහල හා දෙමළ සමාජයන් තුළ උස් පහත් භේදයක් ඇති කිරීමට හේතුවී තිබුණු කුලභේදයට තිබුණු පිළිගැනීම මතවාදී අරගලයක් මගින් නැති කළ යුතුව තිබුණි.

2. සමස්ත සමාජය කෙරෙහි බලපාන ආකාරයට කෙරෙන මතවාදී අරගලයක් මගින් වර්ග භේදවාදයට හා ආගම් භේදවාදයට තිබෙන පිළිගැනීම අහෝසි කළ යුතුව තිබුණි.

3. ඒකාබද්ධතාවක් ඇති කරගැනීම සඳහා ජනවර්ගවලට, ආගම්වලට හා භාෂාවන්ට ලැබෙන අයිතිවාසිකම් හා ආරක්ෂාවන් පිළිබඳ පොදු එකඟතාවක් ඇති කර ගත යුතුව තිබුණි.

එහෙත් ඒ සඳහා වන ශක්තිමත් දැක්මක් හෝ චින්තනයක් සිංහල, දෙමළ හෝ මුස්ලිම් නායකයන්ට නොතිබුණේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකා ජාතික සංගමයද කැඩී බිඳීයමින් අවසානයේ එය බොහෝදුරට පහතරට සිංහලයන්ට පමණක් සීමාවූ ව්‍යාපාරයක් බවට පත්වූවේය.

ලංකා ගාන්ධිවාදීන්ගේ චින්තනය

මෙම ලිපිය දික්වීම වළකා ගැනීම සඳහා මෙහි සලකා බලනුයේ ඒ කාලයේ ලංකාවේ ක්‍රියාත්මක වූ සිහලු ගාන්ධිවාදී ව්‍යාපාර ගැන නොව ලංකාවේ ගාන්ධිවාදයේ බලවත්ම ප්‍රකාශනය ලෙස සැලකිය හැකි යාපනේ තරුණ කොංග්‍රසය ගැන පමණය.

1924දී කීර්තිමත් දෙමළ අධ්‍යාපනඥයෙකු වූ හැන්ඩි පෙරින්පනායගම්ගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ වූ යාපනේ තරුණ කොංග්‍රසය ලංකාවේ ජාතිය ගොඩනැගීම පිළිබඳ ප්‍රශ්නයේදී අන් සියලු දේශපාලන ව්‍යාපාරවලට වඩා ශක්තිමත්, ප්‍රායෝගික හා ප්‍රගතිශීලී ඉදිරි දැක්මක් පෙන්නුම් කළ ව්‍යාපාරය ලෙස සැලකිය හැකිය. දෙමළ සමාජයේ පැවති කුල ක්‍රමයට එරෙහිව හා අස්පර්ශනීයභාවය අහෝසි කිරීම සඳහා මතවාදී අරගලයක නිරත වූ එකම සංවිධානය ලෙස ද සැලකිය හැකිය. යාපනේ තරුණ කොංග්‍රසය නිදහස දැක්කේ ලංකාවේ සියලු ජනවර්ග එක්සත්ව ඉන්දියාවෙන් මෙන් අවිහිංසාවාදී බහුජන අරගල ක්‍රියාමාර්ගයක් මගින් දිනාගත යුතුව තිබෙන දෙයක් ලෙසය. සාම්ප්‍රදායික දෙමළ නායකයන් වාර්ගික නියෝජන ක්‍රමයක් වෙනුවෙන් හඬ නගමින් සිටින අවස්ථාවකදී එම ප්‍රවාහයට එරෙහිව යමින් එම ඉල්ලීම්වල ඇති ප්‍රතිගාමී ස්වරූපය පෙන්වා දුන් එකම දෙමළ සංවිධානය ලෙසද සැලකිය හැකිය. දෙමළ භාෂාව කතා කරන ශිෂ්‍යයන් සිංහල භාෂාව ඉගෙන ගැනීමේත්, සිංහල භාෂාව කතා කරන ශිෂ්‍යයන් දෙමළ භාෂාව ඉගෙන ගැනීමේත් ඇති වැදගත්කම අවධාරණය කිරීමෙන් නොනැවතී යාපනේ ශිෂ්‍යයන්ට සිංහල භාෂාව ඉගෙන ගැනීමට පොළඹවන ව්‍යාපාරයක් පවත්වාගෙන ගියේය. යාපනේ තරුණ කොංග්‍රසය දෙමළ ජනයාට සීමා නොවී සිංහලයන් සමගද වැඩ කරන්නට උත්සාහ කළේය. කොංග්‍රසයේ නායකයන් ඇසුරු කළ සිංහල නායකයන් අතුරින්ද පී.ද එස්. කුලරත්න, ගුණපාල මලලසේකර හා ඩී.බී. ධනපාල ප්‍රධාන විය. කොංග්‍රසයේ හැම සම්මේලන වාරයකටම තෝරාගත් සිංහලයන් කිහිප දෙනෙකු ද සම්බන්ධ කරගන්නා ලද අතර තෝරාගත් එක සිංහල කථිකයෙකුට සම්මේලනය අමතා දේශනයක් පැවැත්වීමට ඉඩදෙන ප්‍රතිපත්තියක් ද පවත්වාගෙන ගියේය. දෙවැනි සම්මේලනයේ සිට කොංග්‍රසයේ සභාපති ධුරයට සිංහලයෙකු තෝරා පත්කර ගන්නා ලද අතර පී. ද ඇස් කුලරත්න එම ගෞරවය හිමි කරගත් පළමු සිංහලයා විය. වර්තමානයේ සිංහලයන් සිය ජාතික ඇඳුම වශයෙන් සලකන ඇඳුම සිංහලයන්ට හඳුන්වා දුන් පුද්ගලයා වශයෙන් සැලකෙන්නේද හැන්ඩි පෙරින්පනායගම්ය. හැන්ඩිගේ දුව මෛත්‍රීපාල සේනානායකගේ බිරිඳ විය.

යාපනේ තරුණ කොංග්‍රස් ව්‍යාපාරයේ ක්‍රියාධරයන් වැඩි පිරිසක් ගුරුවරුන්ද අඩු පිරිසක් නීතිඥයන් ද වූහ. එහි නිර්මාතෘ හැන්ඩිද විදුහල්පතිවරයෙකු හා අධ්‍යාපනඥයෙකු විය. ලංකාවේ මානව අයිතිවාසිකම් ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ලෙස සැලකිය හැකි රාජ නීතිඥ එස්. නඩේසන් ද යාපනේ තරුණ කොංග්‍රසය පවතින තෙක් එහි උද්යෝගිමත් ආධාරකරුවකු විය.

1925-31 අතර කාලයේදී යාපනේ අර්ධද්වීපයේ වැඩිම මහජන බලයක් තිබූ සංවිධානය වූයේ යාපනේ කොංග්‍රසයයි. ඒ තත්ත්වය කෙරෙහි ඔවුන් කෙරෙන් පළවූ අවංකභාවයට ප්‍රගතිශීලී දෘෂ්ටිය හා ක්‍රියාකාරීත්වය සේ ම ඒ සියල්ලටත් වැඩියෙන් එම ව්‍යාපාරයේ නායකයන්ට මහත්මා ගාන්ධි ඇතුළු ඉන්දියානු කොංග්‍රස් නායකයන් සමග තිබූ සම්බන්ධකම් බලපෑවේය. 1927දී ගාන්ධි ලංකාවට පැමිණියේ යාපනේ තරුණ කොංග්‍රසයේ ආරාධනයක් අනුවය. මහත්මා ගාන්ධිගේ පරමාදර්ශී අරමුණු වෙනුවෙන් විධිමත් ලෙස ලංකාවේ පෙනී සිටි එකම ව්‍යාපාරයද එය විය. ඒ බව ඉන්දියානු කොංග්‍රසයද දැන සිටියේය. යාපනේ තරුණ කොංග්‍රසයේ නායකයන්ට ඉන්දියානු නායකයන් සමග ළඟ සම්බන්ධයක් තිබෙන බව යාපනේ ජනතාවට පෙනෙන්නට වූ විට යාපනේ ජනතාව අතර තරුණ කොංග්‍රසයට විශාල පිළිගැනීමක් හිමිවූ අතර කොංග්‍රසය යාපනේ ජනතාව අතර හිමි කරගෙන සිටි විශාල ජනප්‍රියතාව නිසා වාස්තවික තත්ත්වයන් නොසලකා ලොකු ඉදිරි පිම්මක් පනින්නට උත්සාහ කළේය. ඒ මොහොතේ කඩුල්ල ජයගැනීමට කොංග්‍රසය සමත් වුවත් එම ජයග්‍රහණය ඉක්මනින් පාරාවළල්ලක් බවට පත්විය.

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ පවත්වන ලද පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා වන මැතිවරණය වර්ජනය කළයුතු බවට යාපනේ තරුණ කොංග්‍රසය තීරණය කළේ හොඳින් කරුණු සලකා බැලීමකින් පසුව නොව ඉතාමත් හිතුවක්කාරී ආකාරයකටය. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ එම මැතිවරණය පැවැත්වීමේ අරමුණින් 1924දී තේරී පත්වූ ව්‍යවස්ථා දායක මන්ත්‍රණ සභාව විසුරුවා හරින ලද්දේද යාපනයේ තරුණ කොංග්‍රසයේ හත්වැනි සම්මේලනය පවත්වන ලද්දේද එකම වසරක එකම මාසයකදීය. එනම් 1931 අප්‍රේල්වලදීය. සංගමයේ හත්වැනි සම්මේලනය පවත්වා ඇත්තේ අප්‍රේල් 23, 24 හා 25 යන දිනවලය. රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා නාමයෝජනා භාරගැනීමට නියමිතව තිබී ඇත්තේ මැයි 4 වැනිදාය. එය සර්වජන ඡන්ද බලය යටතේ පවත්වන්නට නියමිතව තිබූ පළමු මැතිවරණය විය.

ඉන්දියානු නිදහස් අරගලයේ ප්‍රමුඛ ස්ථානයක් හිමි කරගෙන සිටි කමලාදේවි වට්ටෝපාධ්‍ය සංගමයේ හත්වැනි සම්මේලනයට සහභාගි වූ ප්‍රධාන ආරාධිතයා වී සිටියේය. ඇගේ සහභාගිත්වය යාපනේ ජනතාව අතර විශාල උද්යෝගයක් හා ආස්වාදයක් ඇති කිරීමට හේතුවී තිබුණි. ඒ වන විට ඉන්දියානු කොංග්‍රසයද ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය වර්ජනය කිරීමට තීන්දු කර තිබුණු අතර ඒ අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා පැවැත්වෙන මැතිවරණයද වර්ජනය කළ යුතු බවට කලබලයෙන් ඉදිරිපත් කළ අතුරු යෝජනාවක් ඒකමතිකව සම්මත විය. ඒ ගැන ජේන් රසල් ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණයක් වනුයේ මැයි 8 වැනිදා ශ්‍රී නේරු ලංකාවට ඒමට නියමිතව තිබුණ බවත් ඉන්දියානු කොංග්‍රසය කරන දේවල් තමන් ලංකාවේද සාර්ථකව කරමින් සිටින බව නේරුට පෙන්නුම් කිරීමේ වුවමනාවක් යාපනේ තරුණ කොංග්‍රසය තිබෙන්නට ඇති බවත් ඒ නිසා කොංග්‍රසය එම තීන්දුව ගන්නට ඇති බවත්ය.

මැතිවරණය වර්ජනය කිරීමට යාපනේ තරුණ කොංග්‍රසය ගෙන තිබුණු තීන්දුව නිසා මැතිවරණයට තරග කිරීමට සැලසුම් කරගෙන සිටි අපේක්ෂකයන් වැඩි පිරිසක් නාමයෝජනා භාරදීමට බියවූහ. නාමයෝජනා භාරදීමේ අදහස අත්නොහැර සිටි අපේක්ෂකයන් කිහිපදෙනාද නාමයෝජනා භාරදීමෙන් වැළකී සිටීමට එකඟ කරවා ගැනීමට තරුණ කොංග්‍රසයේ නායකයන් අවසාන මොහොතේදී සමත් විය.

දිවයිනේ වෙනත් ප්‍රදේශ සඳහා මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමත් සමග මැතිවරණ වර්ජනයෙන් කුල්මත් වී යාපනේ ජනයා අන්ද මන්ද තත්ත්වයකට පත්කිරීමට හේතුවිය. දිවයිනේ අනෙකුත් සියලු ප්‍රදේශවල සියලු පක්ෂ මැතිවරණයට තරග කර ඇති බව ඔවුන් දැනගත් විට කොංග්‍රසයේ වර්ජන තීන්දුව මෝඩ තීන්දුවක් කියන හැඟීම යාපනේ ජනතාව අතර පැතිරෙන්නට වූ අතර එය අවස්ථාවක් කරගත් යාපනේ තරුණ කොංග්‍රසයේ දේශපාලන සතුරන් ලෙස සැලකිය හැකි සාම්ප්‍රදායික දෙමළ නායකයන් කොංග්‍රසය චප්ප කරදැමීමට එය අවස්ථාවක් කරගත්තේය. ඒ ඇතිවූ පිරිහීම ජයගැනීමට කොංග්‍රසය සමත් නොවීය.

වාමාංශික ව්‍යාපාරයේ චින්තනය

මාක්ස්වාදී වාමාංශික ව්‍යාපාරය ලංකා සමාජ සවිඥානිකත්වය හා චින්තනය කෙරෙහි වැඩියෙන්ම බලපෑ දේශපාලන ව්‍යාපාරය ලෙස සැලකිය හැකිය. එය ලංකාවේ පහළ වූ උත්කෘෂ්ට පරමාර්ථ ඇති බහුශ්‍රැතයන්ගේ ව්‍යාපාරය ලෙස සැලකිය හැකිය. එම ව්‍යාපාරයේ නායකයන් ලෙස සැලකිය හැකි ප්‍රධාන සියලුදෙනාම පාහේ විදේශ අධ්‍යාපනයක් ලැබූ බුද්ධිමය වශයෙන් විශිෂ්ට, ඉතාමත් දක්ෂ නායකයන් පිරිසක් වීයැ”යි කිව හැකිය.

එහෙත් එම ව්‍යාපාරයේ පහළවීම දෘෂ්ටිමය වශයෙන් හෝ චින්තනමය වශයෙන් ඒ දක්වා ලිහාගැනීමට බැරි අවුලක් බවට පත්ව තිබුණු ලංකාවේ ජාතිය ගොඩනැගීම පිළිබඳ ගැටලුව විසඳාදීමට හෝ විසඳාගත හැකි තත්ත්වයක් ඇතිකර දීමට හේතුවූයේ නැත. ඒ වෙනුවට ඔවුන් අතින්ද සිදුවූයේ ගැටලුව ලිහාගැනීමට බැරිතරමේ වඩා සංකීර්ණ අවුලක් බවට පත්කිරීමය.

වික්‍රමසිංහ, පිලිප්, ඇන් ඇම්, කොල්වින්, ලෙස්ලි, කෙනමන් වැනි වාමාංශික නායකයන්ගේ චින්තන කෙරෙහි එංගලන්ත, ඇමරිකන් හෝ ප්‍රංශ විප්ලවයන්ට වඩා බලපා තිබුණේ 1917දී රැකියාවේ ඇතිවූ ඔක්තෝබර් විප්ලවයයැ”යි කිව හැකිය. ඔවුහු අනගාරික ධර්මපාලට හෝ ජාතික සංගම් නායකයන්ට වඩා එංගලන්ත, ඇමරිකන් හා ප්‍රංශ විප්ලව ගැන දැන සිටියේය. ඒවා සිදුවූ ආකාරය ගැන පමණක් නොව ඒවා විසින් ඉදිකරන ලද ඓතිහාසික කාර්යභාරය ගැනද ඔවුන්ට වඩා හොඳ න්‍යායික වැටහීමක් තිබුණි. එහෙත් ඔවුන්ගේ චින්තනය කෙරෙහි බලපා තිබුණේ එම විප්ලවය නොව රුසියන් විප්ලවයයි. ඔවුන්ට ගාන්ධි පවා පෙනුණේ ඉතිහාසයේ දැති රෝද ආපස්සට කරකවන්නට උත්සාහ කරන දේශපාලන ඔල්මාදකාරයෙකු ලෙසය. දේශපාලන දර්ශනවාදයේදී ඔවුන්ට මාක්ස් එංගල්ස් මිස ලොක්, මොන්ටෙස්කියු හෝ මිල් වැදගත් නොවීය. විප්ලවකාරී ක්‍රියාකාරීත්වයේදී ඔවුන්ට ක්‍රොම්වෙල්ට, ලිංකන්ට හා රොබස්පියර්ට වඩා වැදගත් වූයේ ලෙනින් හෝ ට්‍රොස්කිය. ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්ණ කිරීමෙන් තොරව සමාජවාදී විප්ලවයට යාහැකි කෙටි මාර්ගයක් ඔවුන්ට ලෙනින් හා ට්‍රොස්කි විසින් පෙන්වා දී තිබුණු අතර ඒ මග ඔවුන් සියලුදෙනාගේ ආස්වාදයට හේතුවී තිබුණි.

එම හේතු නිසාම ඔවුන්ට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ගැන තිබුණේ අවඥාවකි. එක් අතකින් ඔවුන් ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායයන් පෝෂණය කළ පිරිසක් වන විට ඒ සමග ඔවුන් අවසාන විග්‍රහයේදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් ගෙන තිබුණේ ලෙනින් කියාදී තිබූ ආකාරයටය. එනම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදී සළුපිළි අන්දවා පවත්වාගෙන යන ධනපති පන්තියේ ආඥාදායක ක්‍රමයක් ලෙසය. ඔවුන් ජාතිවාදීන් හෝ වර්ගවාදීන් නොවූවද ඔවුන්ට පන්තිය මිස ජාතිය වැදගත් නොවීය. ඔවුන් වැදගත් කොට සලකන ලද්දේ ජාතිය ගොඩනැගීම නොව පන්තිය ගොඩනැගීමය. ඔවුන් කුලභේදය අනුමත කළ පිරිසක් නොවීය. කුලභේදය විසින් පනවන ලද සමහර පීඩාකාරී පැවතුම්වලට එරෙහිව ඔවුන් සටන් කළේය. උඩුකය වැසෙන්නට ඇඳුම් අඳින්නට අයිතියක් නොතිබුණු පීඩිතයන්ට එම අයිතිය ලබාදීම සඳහා ඔවුන් සටන් කළේය. එහෙත් කුලභේදය උඩුකටය වැසීම පිළිබඳ ප්‍රශ්නයකට වඩා වැඩි දෙයක් බව ඔවුන්ට නොපෙනුණේය. එසේ පෙනුණද කුල ක්‍රමය ඔවුන් සැලකුවේ කාලයාගේ ඇවෑමෙන් අභාවයට යන යල්පැනගිය දෙයක් ලෙසය. එසේ සිතන අතර බෞද්ධ ශාසනය මෙන් කුල ක්‍රමයට අනුවර්තනය වී ක්‍රියාකරන ව්‍යාපාරයක් බවට ද පත්විය. කුල භේදයට තිබෙන පිළිගැනීම නැති කිරීම සඳහා දෘෂ්ටිමය අරගලයක් අවශ්‍ය වේයැ”යි ඔවුන් විශ්වාස නොකළේය. ඔවුන් ආගම සලකන ලද්දේ අබිං වැනි මිනිසුන් රවටන උත්තේජනයක් ලෙසය. ඒ නිසාම ආගම් අතර හෝ ආගමිකයන් අතර සහජීවනයක් සඳහා ක්‍රියාකිරීමේ වැදගත්කමක් ද ඔවුන්ට නොපෙනුණි. ඔවුන්ට ජාතික රාජ්‍ය පෙනුණේද ධනේශ්වර විකාශනයේම අතුරු ඵලයක් ලෙස හා ඉක්මන් සමාජවාදී පරිවර්තනයක් සඳහා යොදාගත හැකි දෙයක් ලෙසය. ඒ නිසා එක්සත් ජාතියක් ඇති කරගැනීමේ වැදගත්කමක් ඔවුන්ට නොතිබුණි. සමාජවාදී පරිවර්තනයක් තුළ එක්සත් ජාතියක් වෙනුවට වඩා උසස් නිර්ධන පන්තියේ එක්සත්කමක් ඇතිවනු ඇතැ”යි ඔවුන් විශ්වාස කළේය.

මාක්ස්වාදී වාමාංශික ව්‍යාපාරයට ලංකාවේ ලැබී තිබුණු අතිවිශාල වැදගත්කම නිසාම සෝවියට් දේශය, චීනය වැනි සමාජවාදී රටවල් ලංකාව දෙස බලන ලද්දේ සමාජවාදී මාවතට තල්ලුවෙමින් සිටින රටක් ලෙසය. එම පරිවර්තනයට ආධාර කරනු පිණිස මාක්ස්වාදී පොත් පත් සිංහල භාෂාවට පරිවර්තනය කොට ලංකාවට තොග ගණනින් එවන මහා පොත් ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක විය. ඒ නිසා මාක්ස් එංගල්ස් ලෙනින් හා මාඕගේ මුල් කෘති අතිවිශාල සංඛ්‍යාවක් සිංහල භාෂාවෙන් පළවි ඒවා නොමිලේ හෝ ඉතා අඩු මිලකට ලබාගත හැකි තත්ත්වයක් ඇතිවිය. මාක්ස්වාදී පොත්පත් සිය ගණනක් සිංහලෙන් පළවන විට සම්භාව්‍ය ලිබරල් න්‍යායවාදීන්ගේ එකම මුල් කෘතියක්වත් සිංහල භාෂාවෙන් පළවී නොතිබුණේය. ඒ නිසා ලංකාවේ සමාජයද එංගලන්ත, ඇමරිකන්, ප්‍රංශ විප්ලව ගැන දැන සිටියේ අඩුවෙනි. ගාන්ධිගේ ව්‍යාපාරය ඉන්දියාවේ ඇති කළ මහා පරිවර්තනය ගැන දැන සිටියේද අඩුවෙනි. එහෙත් රුසියන් චීන හා කියුබන් විප්ලවයන් ගැන විස්තරාත්මකව කරුණු දැන සිටියේය. මාක්ස්වාදී පොත්පත් කියවන සමාජය තුළද ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගොඩනැගී තිබුණේ විශ්වාසයක් නොව සැකයකි. ජාතිය ගොඩනැගීම, සමාජය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම, කුලභේදයට තිබෙන පිළිගැනීම අහිමි කිරීම, වර්ග භේදය, ආගම් භේදය අහෝසි කිරීම වැනි කාරණා සැලකිල්ලට ගත යුතුව වැදගත් මූලික ප්‍රශ්න ලෙස ඔවුන්ටද නොපෙනුණේය.

චින්තනයේ අවුල හා එහි ප්‍රතිඵල සාරාංශගත කිරීම

මෙසේ අනගාරික ධර්මපාලගේ සිට මාක්ස්වාදී වාමාංශය දක්වා බිහිවන විවිධ දෘෂ්ටි වාදයන් ජාතිය ගොඩනැගීමේ ප්‍රශ්නය අවුල් කිරීමට මිස එම ගැටලුව විසඳා ගනිමින් ශක්තිමත් ලෙස ඉදිරියට යෑමට අවශ්‍ය චින්තනයක් ජාතියට උරුම කරදීමට සමත් නොවීය. ඒ නිසා නිදහස තෑගි වශයෙන් ලබාගැනීමෙන් පසුව එතැන් සිට ඉදිරියට යන්නට උත්සාහ කළේ යහපත් හෝ පොහොසත් දැක්මක් හෝ චින්තනයක් නැතිවය. ජාතික රාජ්‍ය ක්‍රමය පවත්වාගෙන යෑමට උත්සාහ කළේ එක්සත් ජාතියක් ඇතිකර ගැනීමෙන් තොරවය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය පවත්වාගෙන යන්නට උත්සාහ කළේ ද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කරගැනීමෙන් තොරවය. එම නොගැළපීම් නිසා නිදහසින් පසු එළැඹෙන යුගය ක්‍රමයෙන් මහා අවුල් වියවුල්වලින් ගහණ අවාසනාවන්ත යුගයක් බවට පත්විය. පසුව එම අවුල් කෙළවරක් නැති තරමට ලේ වැගිරීම් ඇති කරන තත්ත්වයක් ඇති කළේය. එක ලේ බිඳකුදු නොසොල්වා නිදහස හිමි කරගත් ජාතිය එක දිගට දීර්ඝ කාලයක් ගලාහැලෙන ලේ මත්තේ ජීවත් වන ජාතියක් බවට පත්විය. විජේවීරගේ ප්‍රචණ්ඩ කැරැල්ල ප්‍රචණ්ඩ ලෙස පරාජය කිරීමෙන් තවත් අවුරුදු 18කට පසුව ප්‍රභාකරන්ගේ ප්‍රචණ්ඩ කැරැල්ලද ප්‍රචණ්ඩ ලෙස පරාජය කිරීමට සමත් විය. ඒ අවස්ථාව වනවිට ආණ්ඩුක්‍රමය හා සමාජ ක්‍රමය පැවතියේ ඇතිවී තිබුණු විකෘතියේ උච්චතම අවස්ථාවකය. එම තත්ත්වයේ මූලික වෙනසක් නැතිව ඉදිරියට යා නොහැකි තත්ත්වයකය. එම විකෘති තත්ත්වයේ මූලික වෙනසක් ඇතිකර ගැනීමෙන් තොරව ඉදිරියට යන්නට දරන ලද දඩබ්බර උත්සාහය තුළ රට විශාල අගාධයකට යන තත්ත්වයක් නිර්මාණය විය. ජාතියේ උද්දච්චකම, අවිචාරවත් බව හා නූගත්කම ලෝකයට හඬ නගා ප්‍රකාශ කෙරුණු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. දැන් රට තිබෙන්නේ ප්‍රචණ්ඩ කැරලි නැතිවත් එම කැරලි තිබූ කාලයේ පැවති තත්ත්වයටත් වඩා අවුල්සහගත තත්ත්වයකය. දේශාභිමානය දනවන රණගී හඬ මැද්දේ රට ගමන් කරමින් තිබෙන්නේ අපායක් වැනි මහා අගාධයක් කරාය. රට අවුල්වලින් ගහණ, අවසානයේ අරාජික තත්ත්වයක් කරා පවා තල්ලු වී යා හැකි ගෞරවය හා අභිමානය අහිමි කරගත් නින්දාවට හා හෙළා දැකීමට පාත්‍ර වූ රටක් බවට පත්වෙමින් තිබෙන්නේය. දැන් සැනසීමට ඉතිරි වී තිබෙන එකම දේ වනුයේ හැම අවසානයක්මත් අලුත් ආරම්භයකට උපත දෙන්නේය කියන ධර්මතාව පමණය.