ඉදිරියේ ඇතිවිය හැකි දේවල් තේරුම් ගැනීම සඳහා ආණ්ඩුවේ ඉදිරි දැක්ම හා කාර්ය සාධනය පිළිබඳ හරි තක්සේරුවක් තිබීම ඉතාම වැදගත්ය. මෙම ලිපිය ඒ ගැන කැරෙන තක්සේරුවකි.
2005 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ ජයගත්තේ පහසුවෙන් නොව අමාරුවෙනි. එම ජනාධිපතිවරණය ජයගැනීමේ වැඩි වාසි තිබුණේ මහින්ද රාජපක්ෂට නොව රනිල් වික්රමසිංහටය. තමන්ට එම ජනාධිපතිවරණය ජයගැනීමට තිබුණු වාසිදායක වටාපිටාව ප්රශස්ත ලෙස පාවිච්චි කිරීමට එජාප නායකයා අසමත් විය. අනෙක් අතට තමන්ගේ අවාසියට තිබුණු ජනාධිපතිවරණයක් ජයගැනීමට තරම් ඒ මොහොතේ මහින්ද රාජපක්ෂ ප්රශස්ත වීයැ”යි කිව හැකිය.
රනිල්ගේ පරාජය කෙරෙහි ප්රභාකරන් අවසාන මොහොතේදී ක්රියාවට නගන ලද ඡන්ද වර්ජන ප්රතිපත්තිය තීරණාත්මක ලෙස බලපෑවේය. එසේම මහින්ද ලැබූ ජයග්රහණය කෙරෙහි ජවි පෙරමුණෙන් ලැබුණු ක්රියාකාරී සහයෝගයද තීරණාත්මක ලෙස බලපෑවේය.
යුද්ධය හා අසමසම තත්ත්වය
2005 ජනාධිපතිවරණයෙන් යන්තමට ජයගත් රාජපක්ෂ ජනාධිපතිවරයා දේශපාලන බලයේදී අසමසම තත්ත්වයක් හිමිකර ගැනීම කෙරෙහි යුද්ධයෙන් ලැබූ ජයග්රහණය බලපෑවා සේ ම එම යුද්ධය සම්බන්ධයෙන් එජාප අනුගමනය කළ අනුවණ ප්රතිපත්තියද බලපෑවේය.
එම යුද්ධය පිළිබඳව යථා තක්සේරුවක් එජාපයට නොතිබුණේය. යුද්ධය ජයගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නැතැයි කල්පනා කළ එම පක්ෂය, ඒ නිසා ආණ්ඩුව යුද්ධයෙන් ලබන පරාජයක් හෝ ඇතිවන ජය පරාජයෙන් තොර තත්ත්වයක් දේශපාලන තලයේ විශාල අවුල්සහගත තත්ත්වයක් ඇති කිරීමට හේතුවනු ඇතැයිද ඒ ඇතිවන අවුල්සහගත තත්ත්වය තම පක්ෂයට ආණ්ඩු බලය අල්ලා ගැනීමට මහඟු අවස්ථාවක් ලබාදෙනු ඇතැයි කල්පනා කරමින් යුද්ධය විරුද්ධවෙන ඊට අවහිර කරන ප්රතිපත්තියක පිහිටා ක්රියා කළේය. රාජපක්ෂට කැමති නැති මන්ත්රීන් පිරිසක් එකතු කරගනිමින් පාර්ලිමේන්තුවේ බලය අල්ලාගෙන ජනාධිපතිවරයා දෝෂාභියෝගයක් මගින් ධුරයෙන් පහ කොට පූර්ණ ලෙස බලය අල්ලා ගැනීමක් කිරීමට තමන්ට හැකිවනු ඇතැයි එම පක්ෂය විශ්වාස කළේය. යුද්ධය කෙරෙන අතරතුරදී තමන් බලයෙන් පහකිරීමේ සිහිනයක් එජාපයට තිබෙන බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැන සිටි අතර එවැනි තත්ත්වයක් ඇතිවීම වැළකීම සඳහා ඔහු කළේ එජාපයේ මන්ත්රීවරුන් සැලකිය යුතු පිරිසක් කවර මිලක් ගෙවා හෝ ආණ්ඩුවට එකතු කරගන්නා ප්රතිවැඩසටහනක් ක්රියාත්මක කිරීමය. අවසානයේ ඉන් බෙලහීන වූයේ ආණ්ඩුව නොව එජාපයය.
එම පක්ෂය යුද්ධය සම්බන්ධයෙන් එවැනි අන්තවාදී ප්රතිපත්තියකට නොගොස් ඒ අවස්ථාවේදී විවේචනාත්මකව ආණ්ඩුවට සහාය දෙන පිළිවෙතක් අනුගමනය කරන්නට සමත් වී නම් එජාපයට තිබුණු පාර්ලිමේන්තු නියෝජනය ආරක්ෂා කරගනිමින්, විශාල මහජන අපකීර්තියකට පත්වන තත්ත්වයකට පත්වීමෙන්ද වැළකී තමන්ගේ ජනපදනමද ආරක්ෂා කරගැනීමට සමත්වන්ට ඉඩ තිබුණි.
2010 ජනාධිපතිවරණය
යුද්ධයේ ජයග්රහණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හිමි කරගෙන තිබූ අතිවිශාල කීර්තිය නිසා දෙවැනි ධුර කාලය සඳහා 2010 ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාව වන විට දේශපාලන බලතුලනය ගොඩනැගී තිබුණේ විරුද්ධ පක්ෂයෙන් ඉදිරිපත් කැරෙන කවර අපේක්ෂකයකුටවත් ජනාධිපතිවරයාට එරෙහිව හොඳ තරගයක් දිය නොහැකි තත්ත්වයකය. එය කලාතුරකින් ඇතිවන ඉතාමත් විශේෂ අවස්ථාවක් වන අතර තිබෙන යථාර්ථය තේරුම් ගනිමින් උපාය මාර්ගික ප්රතිපත්තියක් වශයෙන් යුද්ධයෙන් ලබාගන්නා ලද ජයග්රහණය වෙනුවෙන් දක්වන උපහාරයක් වශයෙන් ජනාධිපතිවරයාට දෙවැනි ධුර කාලය සඳහා නිතරගයෙන් තේරී පත්වීමට අවස්ථාවක් ලබාදෙන බව ප්රකාශ කරමින් එම ජනාධිපතිවරණයට තරග කිරීමෙන් වැළකී සිටින ප්රතිපත්තියක් අනුගමනය කළේ වී නම් විරුද්ධ පක්ෂවලට තමන්ට තිබෙන ජන පදනම් ඛාදනයකට ලක්නොවන්නට ඉඩ නොදී ආරක්ෂා කරගන්නට හැකිවන්නට ඉඩ තිබුණා සේ ම නිතරග ජයග්රහණයක් ලබාදෙන ජය තරගයකින් ලබන විශාල ජයක් තරම් ආටෝපකාරී හා බලවත් නොවන්නට ද ඉඩ තිබුණි.
අනෙක් අතට එසේ වී නම් වඩා හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව ඊළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණදීමේ හැකියාව විරුද්ධ පක්ෂවලට ලැබෙන්නට ඉඩ තිබුණා සේ ම ඔවුන්ට හිමිවන පාර්ලිමේන්තු නියෝජනයේ ප්රමාණයද වඩා විශාල වන්නට ඉඩ තිබුණේය.
යුද්ධයේ අවසානය විසින් එක් ඓතිහාසික අධියරයක් අවසන් කොට, රට, අලුත් ඓතිහාසික අධියරයක් වෙත ගෙනආවේයැ”යි කිව හැකිය. ඉන්පසු දේශපාලන තලයේ දක්නට ලැබෙන අවාසනාවන්තම දේ ලෙස සැලකිය හැක්කේ ආණ්ඩු පක්ෂය සේ ම විරුද්ධ පක්ෂයද දෙලොවක් අතර ජීවත්වන්නන් බවට පත්ව තිබීමය. දෙපක්ෂයම කායික වශයෙන් ජීවත්වන්නේ බිහිව තිබෙන නව අධියරයේ වුවද මානසික වශයෙන් ජීවත්වන්නේ පැරණි අධියරයේය. දේශපාලන ක්රමයද පැරණි අධියරයට ගැළපුණා වුවත් නව අධියරයට නොගැළපෙන යල් පැනගිය දෙයක් බවට පත්ව තිබුණේය.
යුද්ධයේ සුජාතභාවය
එල්ටීටීඊය වැනි ප්රචණ්ඩ ව්යාපාරයක් බිහිකිරීමෙහිලා බලපෑ සමාජ-ආර්ථික හා දේශපාලන හේතු තිබුණා වුවද එය යුදය වශයෙන් පරාජය කැරුණු අවස්ථාව වනවිට තිබුණේ සාකච්ඡා මගින් ප්රශ්න විසඳාගත හැකි තැනක නොව යුදමය වශයෙන් පරාජය කළ යුතු තත්ත්වයකය. ජේවීපී දෙවැනි කැරැල්ල පරාජය කැරෙන අවස්ථාවේදී එය තිබුණේද ඊට සමාන තැනකය. එනම් රටේ ඉදිරි ගමන සඳහා ඔවුන්ගේ ප්රචණ්ඩ කැරලි ප්රචණ්ඩ බලයෙන් පරාජය කළ යුතුව තිබුණේය.
මෙම ව්යාපාර දෙකේ සිංහල දෙමළ තරුණයන් යක්ෂවේෂවී ක්රියාකරන තත්ත්වයකට පත්වීම කෙරෙහි බලපෑ සමාජ-ආර්ථික හා දේශපාලන හේතු තිබුණා වුවද ඔවුන්ට ප්රචණ්ඩ බලයෙන් යාහැකි දුර සඳහා ඉතිහාසය විසින් පනවන ලද සීමා තිබුණි. එම සීමා නොදැන සාහසික ලෙස ඉදිරියට යන්නට දරන උත්සාහයක් තුළ ජයග්රහණයකින් හෝ අතරමැදි සමාදානයකින් තොරව පරාජයට පත්වීම නොවැළැක්විය හැකි දෙයක් වී තිබුණා සේ ම ඔවුන් ප්රචණ්ඩ බලයෙන් පරාජය කරනවා හැර රටට තෝරාගැනීමට අන් විකල්පයක්ද නොතිබුණේය.
මෙම තරුණ නැගිටීම් දෙකම පරාජය කැරෙනු ආකාරය විවාදසම්පන්නය. කැරලිකරුවන් දෙපිරිසම අනුකම්පා විරහිත වූවා සේම ඔවුන් පරාජය කරනු ලැබුවේද අනුකම්පාවිරහිත ආකාරයකටය. කැරලි දෙකම පරාජය කරනු ලැබුවේ ආණ්ඩුවේ ආරක්ෂක හමුදා විසිනි. සාපේක්ෂ අර්ථයෙන් බලන විට ජේවීපී නැගිටීම පරාජය කැරුණු ආකාරයට වඩා එල්ටීටීඊ නැගිටීම පරාජය කැරුණු ආකාරය වඩා ශීලාචාර වීයැයි කිව හැකිය. එල්ටීටීඊය පරාජය කැරුණු යුද්ධයේ කළු පැල්ලම් ඇත්තේම නැති බවක් ඉන් අදහස්වන්නේ නැත. තැනින් තැන කළු පැල්ලම් තිබිය හැකිය. එහෙත් ඒවාහි ප්රමාණය සමස්ත ජයග්රහණයටම ලැබෙන වැදගත්කම මුළුමනින් අහෝසි කිරීමට හේතුවන්නේ නැත. ඔවුන්ගේ නැගිටීම අනුකම්පා විරහිතව මර්දනය කර තිබෙන බව පෙනෙතත් ආරක්ෂක හමුදා දෙමළ ජනතාවගෙන් පළිගැනීමට එය අවස්ථාවක් කරගෙන තිබෙන බවක්ද පෙනෙන්නට නැත. ජේවීපී දෙවැනි කැරැල්ලද මර්දනයේදී ජීවත්වීමේ වාසනාව හිමි කරගත් අයගේ සංඛ්යාව ඉතාමත් සුළුය. එහෙත් එල්ටීටීඊය පරාජය කිරීමේදී එල්ටීටීඊ ප්රධාන නායකයන් සියලුදෙනාගේ ජීවිත විනාශ වී හෝ විනාශ කර ඇතත්, 11,000ක් පමණ වන එල්ටීටීඊ කාර්යදරයන්ට ජීවත්වීමේ වාසනාව ලැබී ඇති බව පිළිගත යුතුය.
ජේවීපී කැරැල්ල පරාජය කැරුණු අවස්ථාවේද ඒ ගැන ප්රශ්න කරන ජාත්යන්තර සංවිධාන තිබුණි. එහෙත් එහිදී නැගුණු හඬ එල්ටීටීඊය පරාජය කිරීමෙන් පසු නැගුණු හඬ තරම් ප්රබල නොවීය. එම වෙනස්කම කෙරෙහි කාලයේ සාධකයද බලපෑවේය. එල්ටීටීඊය පරාජය කිරීම සිදුවන්නේ ජේවීපීය පරාජය කිරීමෙන් අවුරුදු 20කට පසුවය. ජාත්යන්තර ප්රජාව මීට අවුරුදු 20කට පෙර මානව හිමිකම් පිළිබඳව දක්වන ලද උනන්දුවට වැඩි උනන්දුවක් ඒ අවස්ථාව වන විට දැක්වීම, අන්තර්ජාලයේ ව්යාප්තිය නිසා ජේවීපී මර්දනය පිළිබඳ තොරතුරු ලෝකයාට ගිය වේගයට වැඩි වේගයකින් එල්ටීටීඊ මර්දනය පිළිබඳ තොරතුරු ලෝකයා අතට පත්වීම වැනි සාධක ඒ කෙරෙහි බලපෑවේය. ඊට අතිරේකව ජේවීපිය වෙනුවෙන් හඬ නගන්නට එල්ටීටීඊයට මෙන් විශාල හා සංවිධානාත්මක ඩයස්පෝරාවක් නොතිබීම, ජේවීපීය මර්දනය කළ යූඑන්පී ආණ්ඩුව බටහිර බලවතුන් සමග සමීපව ක්රියා කළ ආණ්ඩුවක්වීම හා ඊට වෙනස්ව එල්ටීටීඊය මර්දනය කළ රාජපක්ෂ ආණ්ඩුව බටහිර විරෝධී ආණ්ඩුවක් වීම යන සාධකද බලපෑවේය.
මෙම විෂයට අදාළව ආණ්ඩුව පිළිබඳව හරි තක්සේරුවක් කිරීමේදී ආණ්ඩුවට දැඩි සිංහලවාදී පෙනුමක් තිබුණද, යුද්ධය අවසන්වීමෙන් පසු අවතැන්වූවන් නැවත පදිංචි කරවීම, විපතට පත් ප්රදේශ නැවත සංවර්ධනය කිරීම, අත්අඩංගුවේ රඳවාගෙන සිටි සැකකරුවන් පුනරුත්ථාපනය කොට නැවත සමාජ ගතකිරීම, අධි ආරක්ෂක කලාප සඳහා අත්පත් කරගන්නා ලද ඉඩම් නැවත හිමිකරුවන්ට ලබාදීම හෝ ඒවාට වන්දි ගෙවීම යන අංශවලදී පෙන්නුම් කර තිබෙන ප්රගතිය විශාල බවද පිළිගත යුතුය.
ගෞරවය නොදී අන් හැම දෙයක්ම දීම
මෙම විෂයේදී ආණ්ඩුව විචක්ෂන ලෙස ක්රියාකිරීමට අසමත්ව තිබෙන ප්රධාන කාරණා සමහරක් මෙසේය.
1. ආණ්ඩුව යුද්ධයෙන් පසුව දෙමළ ජනතාවට ද්රව්යමය වැදගත්කමක් ඇති බොහෝ දේවල් ලබාදී ඇතත් කිසිදු වියදමකින් තොරව ලබාදිය හැකිව තිබූ වඩාම වැදගත්ම දේ ලෙස සැලකිය හැකි ඔවුන්ගේ අහිමිවූ ගෞරවය ආපසු ලබාදීමට අසමත්වී තිබේ.
2. යුද්ධය ජයග්රහණය කළ වහාම හෝ වසරක් ගතවීමෙන් පසුව පවත්වනු ලැබූ සමරු උළෙලේදී දෙමළ නායකයන්ටද පෙරළා සිංහල ජනතාව කෙරෙහි කනගාටුව පළකිරීමට පොළඹවන ආකාරයට දෙමළ ජනතාවට සිදුකර තිබෙන අසාධාරණකම් වෙනුවෙන් රාජ්ය නායකයා ඔවුන්ට කනගාටුව පළකිරීමට තරම් විචක්ෂණ වී නම් එය ආණ්ඩුවට විශාල ගෞරවයක් හා කීර්තියක් ලබාදෙන සාධකයක් ලෙස ක්රියා කරනවාට අතිරේකව සිංහල-දෙමළ හිත් අමනාපකම් තුනී කරන වැදගත් සාධකයක් ලෙසද ක්රියාකරන්නට ඉඩ තිබුණේය.
3. යුද්ධයෙන් පසු යුද්ධයෙන් හානිවූ ප්රදේශවල සංවර්ධනය, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපනය සඳහා වන වැඩසටහන්වලදී දෙමළ නායකයන්ද පංගුකාරයන් කරගැනීමට සමත් වී නම් එය සිංහල, දෙමළ නායකයන් අන්යනෝය අවබෝධයෙන් ක්රියාකරන තත්ත්වයක් ඇති කිරීමට හේතුවී දෙමළ ඩයස්පෝරාවෙන් එල්ල වන පීඩනය දුබල කරන සාධකයක් ලෙස ක්රියාකරන්නටද ඉඩ තිබුණි.
4. යුද්ධය පැවති අවස්ථාවේදී බටහිර බලවතුන්ගෙන් එල්ල වන බලපෑම් නොසලකා යුද්ධය තර්කානුකූල අවසානයක් කරා ඉදිරියට ගෙනයෑමට නිවැරදි වුවත් යුද්ධය අවසන් කිරීමෙන් පසු ඔවුන්ගෙන් එල්ල වන විවේචනවලදී කෝපයෙන් පෙරළා පහර දෙන තැනකට නොගොස් සන්සුන්ව ඔවුන්ට කරුණු පහදා දෙන ප්රතිපත්තියක් අනුගමනය කළේ නම් නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා ඔවුන්ගේ සහාය දිනාගත හැකිවන්නට ඉඩ තිබුණි.
5. යුද්ධය පැවති කාලයේදී ඉන්දු ලංකා සබඳතා ඉතාමත් යහපත් තත්ත්වයක තබාගැනීමට ශ්රී ලංකා ආණ්ඩුව සමත් විය. යුද්ධයේ ජයග්රහණය කෙරෙහි එය වැදගත්ම සාධකයක් ලෙස බලපෑවේය. ඉන්දියාවෙන් ආධාර ලබාගැනීමේදී යුද්ධයෙන් පසු දෙමළ ජනයාට දෙන දේශපාලන විසඳුම පිළිබඳව බොරු පොරොන්දු නොදී ඇත්ත කතා කරන ප්රතිපත්තියක් අනුගමනය කළේ නම් යුද්ධයෙන් පසුත් ඉන්දියාව තරහ කරගැනීමකින් තොරව ඔවුන්ගේද ආධාර ලබාගනිමින් ඉදිරියට යාහැකි තත්ත්වයක් ඇතිකර ගන්නට ඉඩ තිබුණි. ඉන්දියාව හේතු දෙකක් මත දැන් ශ්රී ලංකාව කෙරෙහි අවිශ්වාසයකින් පසුවේ. 13 සමග ඊට වැඩි දෙයක් දෙමළ ජනතාවට දෙන ලද පොරොන්දුව ඉටු නොකිරීම එම අවිශ්වාසය කෙරෙහි බලපා තිබෙන එක වැදගත් හේතුවකි. ඉන්දියානු අවශ්යතාවන් නොසලකා චීනයට බර තබන ප්රතිපත්තියක් අනුගමනය කිරීම ඒ කෙරෙහි බලපා තිබෙන ඊළඟ වැදගත් හේතුව ලෙස සැලකිය හැකිය.
භූ දේශපාලන යථාර්ථය
6. ශ්රී ලංකාව කුඩා දිවයිනක් වන අතර එය පිහිටා තිබෙනුයේ ප්රධාන මුහුදු මාර්ගයක් පාලනය කළ හැකි උපාය මාර්ගික වැදගත්කමක් ඇති සංධිස්ථානයකය. මහා බලවතුන් අතර බලතරගයේදී මෙම මුහුදු මාර්ගයට ලැබෙන වැදගත්කම නිසා ශ්රී ලංකාව හැමදාමත් මහා බලවතුන්ගේ වශේෂ අවධානය දිනාගත් රටක්වීයැ”යි කිව හැකිය. චීනය ලෝක බලවතාගේ තත්ත්වය දිනාගැනීමේ ඉලක්කය ඇතිව ක්රියාකරන රටකි. ශ්රී ලංකාවේ ළඟම අසල්වැසියා වන ඉන්දියාවද දැන් කලාපීය බලවතා වනවාට අතිරේකව මහ බලවතුන්ගේ තත්ත්වය ලබාගැනීම සඳහා ක්රියාකරමින් සිටින රටකි. දැනට ලෝක බලවතාගේ තත්ත්වය හිමි කරගෙන සිටින ඇමරිකාවටද ඇමරිකානු බල ඇලියේ කොටස්කාරයන් වී සිටින බටහිර බලවත් රටවලද මෙම මුහුදු මාර්ගය සංවේදී විෂයකි. එහිදී එම සංකීර්ණ භූ දේශපාලන යථාර්ථයට ගැළපෙන විචක්ෂණ ප්රතිපත්තියක පිහිටා ක්රියාකිරීමට ශ්රී ලංකාව අසමත් වෙතොත් එය ශ්රී ලංකාව කෙරෙහි විනාශකාරී ලෙස බලපාන සාධකයක් ලෙස ක්රියා කළ හැකිය.
7. කලාපීය බලවතා ලෙස ක්රියාකරනවාට අතිරේකව මහ බලවතකුගේ තත්ත්වයට වර්ධනයවෙමින් සිටින ඉන්දියාව ශ්රී ලංකාවේ ළඟම අසල්වැසියාය. ශ්රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දියානු කටේය. ඒ නිසා ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ පැවැත්මක් ශ්රී ලංකාවේ යහපතට හේතුවන්නේ නැත. චීනයද ශ්රී ලංකාවට හැමදාමත් ආධාර කළ බලවත් රටකි. චීනයේ උදහසට හේතුවන ප්රතිපත්තියක්ද රටේ යහපතට හේතුවන්නේ නැත. ශ්රී ලංකාව අපනයනය සඳහා නිපදවන භාණ්ඩවලින් විශාලතම පංගුව මිලදී ගන්නේ ඇමරිකාව හා බටහිර යුරෝපීය රටවල්ය. ඔවුන් මිලදී ගන්නා එම භාණ්ඩ චීනයට, ඉන්දියාවට හෝ වෙනත් රටවලට මිලදී ගැනීමේ හැකියාවක් නැත. ඒ නිසා අපනයන වෙළෙඳාම ආරක්ෂා කරගැනීම හා ප්රවර්ධනය සඳහා එම රටවල උදහසට හේතු නොවන ප්රතිපත්තියක පිහිටා ක්රියාකිරීම අත්යවශ්ය වේ. එහෙත් යුද්ධයෙන් පසු ආණ්ඩුව මෙම සංකීර්ණ භූ දේශපාලන යථාර්ථය නොසලකා චීනයට බර තබා ක්රියාකරන ප්රතිපත්තියක් අනුගමනය කෙරෙමින් තිබෙන අතර එය රටේ ස්ථාවරභාවය කෙරෙහි බලපාන ප්රශ්න ඇති කිරීමට හේතුවිය හැකිය.
ලැබුණු අවස්ථාව ප්රයෝජනයට නොගැනීම
නිදහසින් පසු බලයට පත් නායකයන් අතුරින් දේශීය වශයෙන් පමණක් නොව ජාත්යන්තර වශයෙන්ද වැඩියෙන් පිළිගැනීමට හා ගෞරවයට හේතුවන නායකයා බවට පත්වීමේ වැඩිම අවස්ථාව හිමිවූ නායකයා ලෙස සැලකිය හැක්කේ ජනාධිපති මහින්ද රාජපක්ෂය. එක දිගට දීර්ඝ කාලයක් කෙළවරක් නැති තරමට ලේ හලන තත්ත්වයක තිබූ රටක් එම තත්ත්වයට බලපෑ ප්රචණ්ඩ ව්යාපාරයක් යුදමය වශයෙන් පරාජය කිරීමට සමත් වූ පමණින් කිසිදු ප්රතිසංවිධානයකින් තොරව සාර්ථකව ඉදිරියට යෑමට පුළුවන්කමක් තිබිය නොහැකිය. ඒ බව තේරුම් ගැනීමට ජනාධිපතිවරයා අසමත් විය.
යුද්ධය අවසන් වන අවස්ථාව වන විට අන්තර්වාර්ගික සම්බන්ධතා තිබුණේ අවුල් ජාලයකය. දේශපාලන ක්රමය තිබුණේද මජර ගලන තරමට කුණුවූ තත්ත්වයකය. මෙම මූලික ප්රශ්න දෙක ආශ්රයෙන් ඇතිවී තිබූ අවුල්සහගත තත්ත්වය ප්රචණ්ඩ ගැටුම් පැවති කාලයේ විසඳාගැනීමේ ඇත්ත හැකියාවක් නොතිබුණි. ඒ හැකියාව එළැඹෙන්නේ යුද්ධය අවසන්වීමත් සමගය. එම මූලික ප්රශ්න දෙකට විසඳුම් ලබාදෙන ආකාරයේ ජාතික ප්රතිසංවිධානයක් ඇති කළ යුතුව තිබුණේ ඒ අවස්ථාවේදීය. එහෙත් යුද්ධය අවසන් කිරීමෙන් පසු ප්රතිසංවිධාන වැඩපිළිවෙළක අවශ්යතාව තේරුම් නොගත් ජනාධිපතිවරයා එම මූලික ප්රශ්න දෙකට විසඳුමක් ලබාදීමෙන් තොරව ප්රභාකරන් පරාජය කිරීමේ කීර්තිය ප්රවර්තක බලය බවට පත්කර ගනිමින් ඉදිරියට යන්නට උත්සාහ දරන පිළිවෙතක් එල්ටීටීඊය පරාජය කිරීම මගින් හිමි කරගත් වීරත්වය පරිපූර්ණ කරගැනීමට තිබුණු අවස්ථාව අහිමි කරගත්තේය. දැන් ප්රභාකරන් කෙනකු නැතත් රටට සාමය හෝ සමෘද්ධිය ලැබී නැත. අර්බුදවලින් තොරව සන්සුන් ලෙස ඉදිරියට යන තත්ත්වයක්ද ඇතිවී නැත.
එම ඓතිහාසික සංසිද්ධියේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අසාර්ථක වුවද ඔහු ඉදිරි දැක්මක් නැති අසාර්ථක පාලකයකු ලෙසද සැලකිය නොහැකිය. ඔහුට තමන්ගේම වන දේශපාලන න්යාය පත්රයක් තිබෙන අතර එය ක්රියාත්මක කරගැනීම සඳහා විශාල උනන්දුවකින් ක්රියාකරන බවද පෙනෙන්නට තිබේ. ඔහු තමන්ට ලැබුණු මහජන බලය ගැනද ඉතාමත් සංවේදීය. ඔහු තම දේශපාලන ඉලක්ක වෙත යන්නට උත්සාහ කරමින් සිටිනුයේ මහජන බලය නොසලකා නොව කවර මිලක් ගෙවා හෝ ඒ බලය ආරක්ෂා කරගන්නා පිළිවෙතක් ඔස්සේය. ඔහු ජාත්යන්තර ප්රතිවිපාක ගැන සංවේදී නැත. දේශීය ජන බලය තමන්ට තිබෙන්නේ නම් ජාත්යන්තර බලවේගයන්ට කළහැකි දෙයක් නැතැයි ඔහුගේ කල්පනාව වී තිබේ. දූෂණය තුරන් කළයුතු තරම් නපුරු දෙයක් ලෙස ඔහු සලකන බවක්ද පෙනෙන්නට නැත. ප්රජාතන්ත්රවාදී අර්ථයෙන් නම් රටට දීමට ජනාධිපතිවරයා අත කිසිදු අලුත් හෝ වැදගත් දෙයක් නැත. එහෙත් රට නවීන කිරීම සඳහා වන යෝධ සැලැස්මක් ඔහු අත තිබෙන බව පෙනේ. ඔහු මහජනයා වෙතින් අනියම් ලෙස අසමින් තිබෙන ප්රශ්නය වනුයේ ඔබට වඩා වැදගත් ප්රජාතන්ත්රවාදයද නැතිනම් දියුණු රටක්ද යන ප්රශ්නයයි. යුද්ධයෙන් ලබාගත් ජයග්රහණයට අතිරේකව රට සංවර්ධනය කිරීම සඳහා මෙතෙක් කර තිබෙන දේවල් වෙත ඇඟිල්ල දිගු කොට පෙන්වීමේ හැකියාවක් ඔහුට ඇත්තේය. මහා මාර්ග කාපට් කර තිබේ. කොළඹ නගරය ලස්සන පිරිසිදු හා නවීන නගරයක් බවට පත්කරමින් තිබෙන්නේය. ඒ වැඩසටහන අනෙකුත් ප්රධාන නගරවලටද ගෙනයන්නට බලාපොරොත්තු වේ. අධිවේගී මාර්ග ගොඩනගමින් තිබෙන්නේය. නව වරායවල් හා ගුවන්තොටුපොළවල්ද ඉදිකෙරෙමින් තිබෙන්නේය.
ජනාධිපතිවරයා කල්පනා කරමින් සිටින ආකාරය සිංගප්පූරුවේ ලී ක්වාන් යූ හෝ මැලේසියාවේ මහතීර් මොහොමඩ් කල්පනා කළ ආකාරයට සමානය. ඒ රටවල් දෙකම නවීනය. එහි නැත්තේ ප්රජාතන්ත්රවාදී ගුණධර්ම පමණය. විරුද්ධ පක්ෂ තිබෙන්නේ නමට පමණය. හැමදාමත් ආණ්ඩු කරන්නේ එකම පක්ෂයකි. ආණ්ඩුවට විරුද්ධ වීමේ නිදහස, ආණ්ඩුව විවේචනය කිරීමේ නිදහස හැර අන් හැම නිදහසක්ම එහි තිබෙන්නේය. ජනාධිපතිවරයා ශ්රී ලංකාව රැගෙන යෑමට උත්සාහ කරන්නේද එවැනි තැනකටය. ඒ අර්ථයෙන් ජනාධිපති කල්පනා කරන ආකාරය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කල්පනා කළ ආකාරයට සමානය. පාලන ශෛලියේ වෙනස්කම් තිබුණද සිහින දකින ආකාරයේ අපූරු සමානත්වයක් තිබේයැ”යි කිව හැකිය. එහෙත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට නම් ඒ සිහිනය සැබෑ කරගත නොහැකි විය. එහිදී සිදුවූයේ විශාල සංවර්ධන ව්යාපාර සමග මිනී කඳු ගොඩ ගැසෙන තත්ත්වයක් ඇතිවීමය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ගමන කොතැනින් කෙළවරවේදැයි පැහැදිලි නැත.