අගවිනිසුරුගේ දෝෂාභියෝගයෙන් පන පෙවෙන වත්කම් බැරකම් නීතිය

November 18, 2012
Publication:
Two of the impeachment charges against the Chief Justice concern her asset declarations, and Ivan argues that whatever their merit they have revived a powerful but neglected law. He explains the 1975 Declaration of Assets and Liabilities Law and its 1988 amendment, which gave any citizen the right to inspect declarations and did not exempt the president. He recounts learning of the law from MP C.V. Gooneratne in the late 1980s, asking the Secretary-General of Parliament for MPs' declarations, persuading G.L. Peiris, and later testing the Kumaratunga government and the Election Commissioners, and calls for the law to be updated and strictly enforced.

අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන දෝෂාභියෝගයට ඇතුළත් චෝදනා අතර 3 වැනි හා 4 වැනි චෝදනාවන් වී ඇත්තේ ඇගේ බැංකු ගිණුම් පිළිබඳ විස්තර ඇය වාර්ෂිකව ලබාදිය යුතු වත්කම් බැරකම් ප්‍රකාශවලට ඇතුළත් නොකිරීම මගින් බලවත් වරදක් කර ඇති බවය. ඇයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා හතරෙන් ප්‍රබලම චෝදනා ලෙස සැලකිය හැකි පළමු චෝදනා හතරෙන් දෙකක්ම අදාළවන්නේ 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියටය. ඉතා මෑතකදී දෝෂාභියෝග යෝජනාවකින් ධුරයෙන් ඉවත් කළ පිලිපීන අගවිනිසුරුවරයාට එරෙහිව එල්ල වූ ප්‍රධානම චෝදනාවන් වූයේද ඔහු තමන්ගේ වත්කම් විශාල ප්‍රමාණයක් ඔහුගේ ප්‍රකාශිත වත්කම් බැරකම් ප්‍රකාශනයට ඇතුළත් නොකිරීම මගින් තමන්ගේ සැබෑ වත්කම් වසන් කර තිබෙන බවය. අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයට ඇතුළත්ව තිබුණු මෙම වත්කම් බැරකම් නීතියට අදාළ චෝදනා දෙක දුටු විට මා තුළ ඇතිවූ සංතෘප්තිය අතිවිශාලය. මට එහිදී වැදගත් වූයේ අගවිනිසුරුවරිය එම නීතිය උල්ලංඝනය කර තිබුණේද නැද්ද යන්නට වඩා වත්කම් බැරකම් නීතියට ඒ මගින් ලබාදී තිබෙන වැදගත්කම නිසාය. සංතෘප්තියට හේතුව මෙම නීතියේ දර්ශනයටම අනුකූලව එය ප්‍රායෝගික තත්ත්වයකට පත්කර ගැනීම සඳහා මමද කිසියම් දීර්ඝ කාලයක සිට ඒ සඳහා විවිධ ක්‍රියාවල නිරත වූ පුද්ගලයෙකු වීම නිසාය. මේ නීතිය ජනාධිපතිගේ සිට නිල තනතුරු දරන සියලුම රජයේ නිලධාරීන්ගේ හා වෙනත් වැදගත් අයගේ වත්කම් බැරකම් පිළිබඳ විස්තර මහජනයාට දැනගැනීමේ අයිතිය ලබාදී තිබෙන රටේ තිබෙන ඉතා වැදගත් හා ප්‍රගතිශීලී නීතියක් ලෙස සැලකිය හැකිය.

අගවිනිසුරුවරියට එරෙහිව නගන ලද චෝදනාවල හරි වරද කුමක් වුවත් (දැනටමත් ඇය සිය නීතිඥයන් මගින් සිය වත්කම් බැරකම් ප්‍රකාශවලින් කිසිවක් සඟවා නැති බව ප්‍රකාශ කර තිබේ.) වත්කම් බැරකම් නීතිය උල්ලංඝනය කිරීම අගවිනිසුරු වැනි බලවත් තනතුරක් දරන පුද්ගලයකු වුවද එම තනතුරෙන් ඉවත් කිරීමට තරම් බරපතළ වරදක් ලෙස සැලකේ නම් ඒ තත්ත්වය අන් සියලු නිල තනතුරු දරන්නන්ටද අදාළ විය යුතුය. ඒ අර්ථයෙන් අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෝෂාභියෝගයේ හරි වරද කුමක් වුවත් එය හොඳින් ක්‍රියාකරන තත්ත්වයක නොතිබෙන වත්කම් බැරකම් නීතියට ශක්තිමත් පදනමක් ලබාදී ඇතැයි කිව හැකිය.

වත්කම් බැරකම් නීතිය යාවත්කාලීන කොට එය අකුරටම ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීමෙන් පමණක් රටේ දූෂණය විශාල ප්‍රමාණයකට පාලනය කළ හැකිය යන්න මගේ විශ්වාසයයි. අද ඉතාමත් සාමාන්‍ය හා හැම තැනකම සිදුවන දෙයක් බවට පත්ව තිබෙන අයථා ලෙස ධනය ඉපැයීම ඒ මගින් බිය දනවන දෙයක් බවට පත් කළ හැකිය.

සංශෝධනයට පෙර පැවති මුල් නීතිය

අයථා ලෙස ධනය ඉපැයීම පිළිබඳ විෂයේදී වත්කම් බැරකම් නීතියට ලැබිය යුතුව තිබෙන වැදගත්කම අතිවිශාල වුවත් එය ප්‍රමාණවත් තරමින් සමාජ සංවාදයට හෝ විචාරයට ලක්ව නැති නීතියක් ලෙස සැලකිය හැකිය. මෙම නීතිය පළමුවෙන්ම හඳුන්වා දී තිබෙන්නේ 1975දීය. එය හැඳින්වුනේ 1975 අංක 1 දරන වත්කම් බැරකම් නීතිය වශයෙනි.

ඒ අනුව

1. ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන්ද

2. ජනාධිපති හෝ කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලබන විනිශ්චයකාරවරුන් හා මාණ්ඩලයීය මට්ටමේ සියලු රාජ්‍ය නිලධාරීන්ද

3. සංස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන් හා මාණ්ඩලයීය නිලධාරීන්ද

4. පළාත් පාල ආයතනවලට තේරීපත්වූ සාමාජිකයන් හා පළාත් පාලන ආයතනවල සේවයේ නිරත මාණ්ඩලිය නිලධාරීන්ද

තමන්ගේද, සිය ස්වාමිපුරුෂයා හෝ බිරිඳගේද දරුවන්ගේද වෙනත් කෙනකුගේ වත්කම් තමන් සන්තකයේ හෝ භාරකාරත්වයේ තිබේ නම් ඒ සියලු වත්කම් බැරකම් වාර්ෂිකව ප්‍රකාශ කළ යුතුය. වත්කම් බැරකම් ප්‍රකාශ නොකිරීම, සැඟවීම හෝ විකෘති කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එම පනතේ 9 වැනි වගන්තිය අනුව එවැනි වරදකට රුපියල් දහසකට නොවැඩි දඩයක් හෝ වසරකට නොවැඩි සිරදඬුවමක් හෝ ඒ දෙකමද පැනවිය හැකිය.

පාර්ලිමේන්තුවේ කතානායක, ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් හා ජනාධිපති පත්කරන විනිසුරුවරුන් ජනාධිපතිටද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතානායකටද, කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු විනිසුරුවරුන් කැබිනට් මණ්ඩලයේ ලේකම්ටද, දෙපාර්තමේන්තු ප්‍රධානීන් විවිධ රාජ්‍ය ආයතනවල හා මණ්ඩලවල සභාපතිවරුන් හා මාණ්ඩලික නිලධාරීන් එය ආයතන අයත් අමාත්‍යාංශවල ලේකම්වරුන්ටද, පළාත් පාලන ආයතනවල සාමාජිකයන් පළාත් පාලන කොමසාරිස්වරයාටද, පළාත් පාලන ආයතනවල මාණ්ඩලිය නිලධාරීන් පළාත් පාලන අධ්‍යක්ෂවරයාටද සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුය.

එම පනතේ 5 වැනි වගන්තිය අනුව එවැනි වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමේ අයිතිය ලැබී තිබුණේ නීතිපතිට, අපරාධ නඩු අධ්‍යක්ෂට, අල්ලස් කොමසාරිස්ට, දේශීය ආදායම් බදු කොමසාරිස්ට හා විනිමය පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට පමණය.

සංශෝධනය කළ නව නීතිය

මෙම නීතිය සංශෝධනය කෙරෙන්නේ 1988 දෙසැම්බර්වලදීය. ජේවීපී කැරැල්ල නොසලකා 1988 දෙසැම්බර් 19 වැනිදා පැවති ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර එජාපයේ ජනාධිපති අපේක්ෂක රණසිංහ ප්‍රේමදාසගේ වුවමනාව අනුව තුනෙන් දෙකේ බලයක් ඇතිව සම්මත කරගත යුතු නීති ගණනාවක් හදිසි අණ පනත් වශයෙන් සම්මත කරගන්නා ලදි. එහිදී ඒ ආකාරයෙන් සම්මත කරගන්නා ලද එක නීතියක් වූයේ සුළු පක්ෂවලට සළුවීමට අවශය සීමාව වශයෙන් පැවති 12.5% අනුපාතිකය 5% දක්වා අඩු කිරීමට හේතුවන නීතියයි. පුරවැසි අයිතිය හිමිව නොතිබූ ඉතිරි ඉන්දියානු වතු කම්කරුවන්ට පුරවැසි අයිතිවාසිකම් හිමිකර දෙන නීති සම්මත කරගනු ලැබුවේද ඒ අවස්ථාවේදීය. මෙහි සාකච්ඡාවට ලක් කැරෙන 1975 අංක 1 දරන වත්කම් බැරකම් නීතිය සංශෝධනය කෙරෙනු 1988 අංක 74 දරන වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත සම්මත කරගනු ලැබුවේද ඒ අවස්ථාවේදීය.

එම සංශෝධනය සකස් කර තිබුණේ ජනාධිපතිවරණවලට, පාර්ලිමේන්තු මැතිවරණවලට, පළාත් සභා මැතිවරණවලට හා පළාත් පාලන මැතිවරණවලට තරග කරන සියලු අපේක්ෂකයන්ට හා තේරී පත්වන නියෝජිතයන්ට, රජයේ මාණ්ඩලික තනතුරු දරන හා සංස්ථා හා මණ්ඩලවල තනතුරු දරන සියලු නිලදරන්නන්ට බලපාන ආකාරයටය. අලුත් කණ්ඩායම් කිහිපයකටද වත්කම් බැරකම් ප්‍රකාශන භාරදිය යුතු ගණයට ඇතුළත් කර තිබුණි. ඒ දේශපාලන පක්ෂවල නිලධාරීන්, වෘත්තීය සමිතිවල නිලධාරීන් හා පුවත්පත් ආයතනවල හිමිකරුවන් හා එම මාධ්‍යවල නිල තනතුරු දරන ජනමාධ්‍යවේදීන්ය. ඒ පුවත්පත් ආයතනවල හිමිකරුවන් හා මුද්‍රිත ජනමාධ්‍ය නිලතල දරන ජනමාධ්‍යවේදීන් පමණක් ඊට ඇතුළත් කර තිබීමට හේතුව එකල ගුවන්විදුලි සේවා හා රූපවාහිනී සේවා පුද්ගලික අංශය සතුව නොතිබුණු නිසාත්, රාජ්‍ය අංශයේ ගුවන්විදුලි සේවා හා රූපවාහිනී සේවා එම සංශෝධන පනත යටතේ ආවරණය වී තිබූ නිසාත්ය.

අලුත් සංශෝධනයට ආවේණික වැදගත්ම ලක්ෂණය වූයේ සංශෝධන පනත 5 වන වගන්තිය අනුව වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින පුද්ගලයන් ඉදිරිපත් කරන වත්කම් බැරකම් ප්‍රකාශ නියමිත ගාස්තුවක් ගෙවීමෙන් පසු ඒවාහි සහතික පිටපත් ලබාගැනීමේ අයිතිය මහජනයාට ලබාදීමය. එය වත්කම් බැරකම් නීතියට ඇතුළත් දර්ශනයේ වැදගත්ම ලක්ෂණයක් ලෙසද සැලකිය හැකිය.

නිල තනතුරු දරන්නන් ප්‍රකාශ කරන වත්කම් බැරකම් ප්‍රකාශවලට ඇතුළත් තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සොයා බැලීමේ අයිතිය මහජනයාට ලබාදීම එම සංශෝධනයට ඇතුළත් වැදගත්ම පරමාර්ථයක් ලෙස සැලකිය හැකිය. එකල අන්තර්ජාල පහසුකම් නොතිබීම නිසා මහජනයාට එම අයිතිය ලබාදිය හැකිව තිබූ සරලම ක්‍රමය වූයේ ඉල්ලුම්කරුවන්ට එම ප්‍රකාශනවල ඡායා පිටපතක් සඳහා යන ගාස්තුව අයකරගනිමින් ප්‍රකාශනයේ සහතික පිටපතක් ලබාදීමය. අද නම් එවැනි ප්‍රකාශන අන්තර්ජාලයට යොමුකිරීම මගින් මහජනයාට නොමිලේ පරීක්ෂා කළහැකි තත්ත්වයක් ඇති කළ හැකිය.

වත්කම් බැරකම් නීතිය ජනාධිපතිවරයාට මුක්තියේ අයිතිය නොලැබෙන ආකාරයට කෙටුම්පත් කොට නීතිගත කර තිබීමද මෙම නීතියට ආවේණික තවත් වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. මෙම නීතිය අනුව ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ද වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුය. මෙම නීතිය 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් පසුව තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරගන්නා ලද නීතියකි. ජනාධිපතිවරණ ඡන්ද පෙත්සම් විභාග ජනාධිපතිවරයාට මුක්තිය බලනොපාන තවත් ක්ෂේත්‍රයක් ලෙස සැලකිය හැකිය.

මෙම නීතිය නිල තනතුරු දරන්නන් අයථා ලෙස ධනය උපයාගැනීම පාලනය කිරීමට තිබෙන ඉතා බලවත් හා ඉදිරිගාමී නීතියක් ලෙස සැලකිය හැකි වුවද මෙම නීතිය ගැන මා දැනගන්නා අවස්ථාව වන විට එය තිබුණේ බොහෝ දුරට ක්‍රියාවිරහිත තත්ත්වයකය. දේශපාලනඥයන් කෙසේ වෙතත් වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටි රාජ්‍ය නිලධාරීන් තමන්ගේ වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ අදාළ බලධාරියා වෙත ලබාදෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුවද කලාතුරකින් හෝ ඒවා ඉල්ලා සිටින මහජනතාවට ඒවාහි සහතික පිටපත් ලබාගැනීමේ හැකියාවක් තිබුණේම නැතැයි කිව හැකිය.

මෙම නීතියට ආවේණික විශේෂ ස්වභාවය අනුව නීතිය ක්‍රියාකාරී තත්ත්වයකට පත්වන්නේ මෙම වත්කම් බැරකම් ප්‍රකාශ මහජනයාගේ පරීක්ෂාවට ලක්වන්නේ නම් පමණය. මෙම නීතිය ප්‍රකාශනවලට ඇතුළත් තොරතුරුවල සත්‍ය අසත්‍යතාව දන්නේ මහජනයාය. ඒ නිසා ප්‍රකාශනවලට ඇතුළත් කරුණු සත්‍ය නොවන අවස්ථාවලදී එවැනි පුද්ගලයන්ට එරෙහිව මහජනයා පැමිණිලි කරන විට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි යන පදනමේ පිහිටා සකස් කර තිබෙන නීතියක් ලෙස සැලකිය හැකිය. රාජ්‍ය නිලධාරීන් එම නීතියට අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙනු ලැබුවද බලධාරීන් ඒවා පරීක්ෂා කිරීමේ අයිතිය මහජනයාට ලබාදී නොතිබුණි.

මාගේ අත්දැකීම්

මා මෙවැනි නීතියක් ඇති බව පළමුකොට දැනගත්තේ 1980 ගණන් අවසානයේ එවකට ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකු වූ සී.වී. ගුණරත්නගෙනි. ඔහු ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වූ ලලිත් ඇතුලත්මුදලිගේ නැව් ගනුදෙනුවලට අදාළව කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයකට එරෙහිව ලලිත් සීවීට එරෙහිව වන්දි නඩුවක් පවරා තිබුණි. අගමැති ප්‍රේමදාස හා ලලිත් අතර ගැටුමක් තිබුණු අතර ලලිත්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයක පිටපත් අගමැති ප්‍රේමදාස සීවී අතට පත්කර තිබුණි. එම වත්කම් ප්‍රකාශය වත්කම් බැරකම් නීතිය සංශෝධනය කරන්නට පෙර මුලින් පැවති නීතිය යටතේ 1977 ජූලි 23 වැනි දින ලබාදෙන ලද ප්‍රකාශනයක පිටපතකි. එම පිටපතේ පිටපතක් මා සීවීගෙන් ඉල්ලා සිටි විට ඔයු එය මට ලබා දුන්නේය. එම පිටපතක මතක සටහනක් වශයෙන් අද දක්වා මා ළඟ තිබෙන්නේය.

වත්කම් බැරකම් නීතිය ගැන මා තුළ උනන්දුවක් ඇතිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මා එම නීතිය ගැන සාමාන්‍ය හැදෑරීමක් කළෙමි. ඒ වන විට 1975 අංක 1 දරන වත්කම් බැරකම් නීතිය 1988 අංක 74 දරන පනතින් සංශෝධනය කර තිබුණි. මේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයා බැලීමේ උනන්දුවක් ඇතිවී මා කිසියම් දිනක පාර්ලිමේන්තු ලේකම්වරයා අමතා දුරකතනයෙන් කතා කොට තෝරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ලබාගැනීමට මට අවශ්‍ය වී තිබෙන බවත් ඒවා ලබාගැනීම සඳහා කුමක් කළයුතුදැයි ඔහුගෙන් අසා සිටියෙමි. ඔහු ඊට දෙන ලද පිළිතුර ඊට අදාළව පාර්ලිමේන්තුවේ පැවති යථා තත්ත්ත්වය තේරුම් ගැනීමට මට උපකාරී විය.

පාර්ලිමේන්තු ලේකම්වරයා මට උත්තර දුන්නේ මා අසන ලද ප්‍රශ්නයෙන් පුදුමයට පත්වූ ආකාරයටය. මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සීල් තැබූ අල්මාරියක ආරක්ෂිතව තබා තිබෙන බවත් උසාවි නියෝගයක් සමග පැමිණ හැකිනම් පමණක් එහි පිටපත් ලබාදිය හැකි බවත් කියා සිටිමින් ඔහු දුරකතන කතාව විසන්ධි කළේය. මා පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් එම ප්‍රශ්නය අසන ලද්දේ වත්කම් බැරකම් නීතිය පිළිබඳ අවබෝධයක් ඇතිවය. වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින ඕනෑම පුද්ගලයකු වත්කම් බැරකම් ප්‍රකාශනයක පිටපතක් ඒ සඳහා අය කරනු ලබන ගාස්තුව ගෙවූ විට ලබාදීමට අදාළ බලධාරියා නීතියෙන් බැඳී සිටින බව මම දැන සිටියෙමි. එහෙත් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා එය දැන නොසිටියේය. ඔහු දැන සිටියේ මන්ත්‍රීවරුන් ලබාදෙන වත්කම් බැරකම් ප්‍රකාශනවල පිටපත් කිසිවකු අතට පත් නොවන ලෙස බහිරවයකු මෙන් එය ආරක්ෂා කිරීම පමණය.

මා ඒ ගැන එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස සේවය කළ මහාචාර්ය ජී.එල්. පීරිස් සමග කතා කළෙමි. ඉන්පසු 1994 මැතිවරණයට පෙර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමගද දීර්ඝ වශයෙන් කතා කළෙමි. වත්කම් බැරකම් නීතිය සක්‍රිය නීතියක් බවට පත්කිරීමට නම් එම නීතියෙන් නියම කර ඇති පරිදි නිල තනතුරු දරන්නන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශන මහජන සෝදිසියට ලක්විය යුතු තත්ත්වයක් ඇති කළ යුතුව තිබෙන බව මම ඇයට කියා සිටියෙමි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය 1994 මැතිවරණය ප්‍රකාශනයට ඒ ගැන වන විශේෂ පොරොන්දුවක් ඇතුළත් කළාය. ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනයාට දැනගැනීම සඳහා ඒවා ප්‍රසිද්ධ කිරීමට බලකෙරෙන නීති ඇති කරන බවට එම මැතිවරණ ප්‍රකාශනයෙන් පොරොන්දු වී තිබුණි. පොදු පෙරමුණ 1994 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සිය ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කළේ සියලු අපේක්ෂකයන් බණ්ඩාරනායක සමාධිය වෙත ගොස් දෙනු ලබන විශේෂ දිවුරුම් දීමකිනි. එම දිවුරුම් ප්‍රකාශය කෙටුම්පත් කරන ලද්දේ මා විසිනි. ඊට ඇතුළත් වගන්ති අතර එක වගන්තියකින් කියවුණේ තමන් පොදු පෙරමුණේ මන්ත්‍රීවරුන් වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසුව තමන්ට ලැබෙන නිල බලය අයථා ලෙස ධනය ඉපැයීමට පාවිච්චි නොකරන බවත් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනයාගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කරන බවත්ය.

පොදු පෙරමුණ මැතිවරණය ජයගැනීමෙන් පසුව පවත්වන ලද පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී පොරොන්දු වූ ආකාරයට ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්නේද යන ප්‍රශ්නය සාකච්ඡා වී තිබේ. එම කැබිනට් රැස්වීමෙන් පසු ලක්ෂ්මන් ජයකොඩි මහතා දුරකතනයෙන් මට කතා කොට කීවේ ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය නැති බවට තීන්දු කළ බවත් එහෙත් තමාගේ මතය වන්නේ ඒ ගැන පොරොන්දුවක් දී ඇති නිසා ඊට අනුකූලව ක්‍රියාකිරීම සුදුසු බව හා ඒ අනුව තමාගේ වත්කම් බැරකම් ප්‍රකාශය ෆැක්ස් කොට මා වෙත එවන බවත් අවශ්‍ය නම් එය ප්‍රසිද්ධ කරනවාට තමන් විරුද්ධ නොවන බවත්ය.

ඉන්පසු එළැඹෙන චන්ද්‍රිකා පාලන යුගයේදී මෙම නීතිය අරබයා ඇගේ ආණ්ඩුවේ සංවේදීභාවය පරීක්ෂා කරනු පිණිස එක වරක් නොව අවස්ථා ගණනාවකදී ජනාධිපති ලේකම් බාලපටබැඳි මගින් ලියාපදිංචි තැපෑලෙන් යවන ලිපි ගණනාවක් මගින් ඇගේ ඇමති මණ්ඩල සාමාජිකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ඉල්ලා සිටියද කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලබාගැනීමට අසමත් විය. එහෙත් කතානායක රත්නායක මහතා අමතා යවන ලද එවැනි ලිපියක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් ඉල්ලා සිටි විට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් මා වෙත එවමින් කියා තිබුණේ මෙම විෂය කෙරෙහි තම අවධානය යොමු කිරීම ගැන ස්තුතිවන්ත වන බවත් ප්‍රකාශන ලබාදී තිබෙන මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශනවල පිටපත් නියමිත ගාස්තුව ගෙවා පාර්ලිමේන්තුවෙන් ලබාගත හැකි බවත් ඒ බව පාර්ලිමේන්තු ලේකම්වරයාට දැනුම් දී තිබෙන බවත් ප්‍රකාශන ලබාදී නැති මන්ත්‍රීවරුන්ටද ඒ ගැන සිහිකැඳවීමක් කරන බවත්ය.

වත්කම් නීතිය හා මැතිවරණ කොමසාරිස්

පාර්ලිමේන්තු මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමේ වගකීම පැවරී තිබෙන්නේ මැතිවරණ කොමාසරිස්වරයාටය. එහෙත් එම නීතිය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා කිසිදු උනන්දුවක් දක්වන බවත් පෙනෙන්නට නොතිබුණි. ඒ විෂයේදී ඔහු වෙත පැවරී තිබෙන යුතුකම් හා වගකීම් අවධාරණය කෙරෙන ලිපියක් ඔහු වෙත යැවීමට මට සිදුවිය. 1999 ජනාධිපතිවරණයේදී නාමයෝජනාවලට පෙර ඔහු වෙත යවන ලිපියක් මගින් ජනාධිපතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයන්ට නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලෙසත්, මීට පෙර ජනාධිපතිවරණයට තරග කොට වත්කම් බැරකම් ප්‍රකාශ කර නැති අපේක්ෂකයන් වෙතොත් ඒ අයගේ නාමයෝජනා භාරගැනීමෙන් වැළකී සිටින ලෙසත් ඉල්ලා සිටියෙමි. එම ලිපියට විද්‍යුත් මාධ්‍ය මගින් ලබාදෙන ලද විශාල ප්‍රසිද්ධිය නිසා පළමුවරට එම ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා (ජනාධිපතිනි චන්ද්‍රිකා හා රනිල් වික්‍රමසිංහ) නාමයෝජනා සමග සිය වත්කම් බැරකම් ප්‍රකාශනද භාර දුන්නේය. ඉන්පසු එම සම්ප්‍රදාය දිගටම ක්‍රියාත්මක වන බවක්ද පෙනෙන්නට තිබේ.

ඉන්පසුව පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමේ අවශ්‍යතාව තරග කරන අපේක්ෂකයන්ට දැනුම්දෙන ලෙසත්, ඒ සඳහා පවතින නීති අකුරටම ක්‍රියාත්මක කරන ලෙසත් එසේ නොවේ නම් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව නඩු පවරන බවට ලිඛිතව කරන ලද දැනුම්දීමකට ප්‍රතිචාරයක් වශයෙන් මැතිවරණ කොමසාරිස්වරයා වත්කම් බැරකම් නීතිය පැහැදිලි කරන ප්‍රචාරක දැන්වීමක් නාමයෝජනා භාරදෙන්නට යන අපේක්ෂකයන්ගේ දැනගැනීම සඳහා පුවත්පත්වල පළ කළේය. එහෙත් ඔහු මැතිවරණයෙන් පසු ප්‍රකාශ කළේ වත්කම් බැරකම් ප්‍රකාශ නොකරන අය සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන්න වත්කම් බැරකම් නීතියේ සඳහන් නොවන නිසා වත්කම් බැරකම් ප්‍රකාශ කර නැති අපේක්ෂකයන් සම්බන්ධයෙන් තමන්ට කළහැකි දෙයක් නැති බවය. එය මැතිවරණ කොමසාරිස් වැනි උසස් නිලයක් දරන පුද්ගලයකු නොකළ යුතු නීතියට පටහැනි ප්‍රකාශයක් බව අමුතුවෙන් කිවයුතු නැත. මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් නාමයෝජනා සමග ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීම අනිවාර්යය කරන නියෝගයක් පැනවීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට තිබෙන්නේය. ඉන්දියාවේ ක්‍රියාත්මක වන්නේද එම පිළිවෙතය. ඉන්දියාවේ මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් නාමයෝජනා සමග සිය වත්කම් බැරකම් ප්‍රකාශ පමණක් නොව ඔවුන්ට එරෙහිව අසන ලද හෝ අසමින් තිබෙන නඩු හබ ඇත්නම් ඒ පිළිබඳ විස්තර සහිත දිවුරුම් පෙත්සමක් හා ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ විස්තර ඇතුළත් දිවුරුම් පෙත්සමක්ද භාරදිය යුතුය. මැතිවරණ කොමසාරිස්වරයා වෙත නාමයෝජනා සමග භාරදෙන එම ලේඛනවල සහතික පිටපත් ලබාගැනීමේ අයිතිය මහජනයාට ලබාදී තිබේ.

දිසානායක මහතාගෙන් පසුව මැතිවරණ කොමසාරිස් ධුරයට පත්ව සිටින මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් ඉදිරිපත් කළයුතු වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් වඩා හොඳ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. එය යහපත් නැඹුරුවක් ලෙස සැලකිය හැකිය. එම විෂයට අදාළව නීතියේ තිබෙන අවධිමත් බව ජයගත හැකිවනු ඇත්තේ මැතිවරණවලට තරග කරන සියලු අපේක්ෂකයන් නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීම අනිවාර්ය කරන නියෝගයක් පැනවීමෙන් පමණය. එම නියෝගය පැනවීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයා සතුය. එවිට වත්කම් බැරකම් ප්‍රකාශ නැතිව භාරදෙන නාමයෝජනා භාරගැනීම ප්‍රතික්ෂේප කළ හැකිය. ඒ සමග නාමයෝජනා පත්‍ර සමග වත්කම් බැරකම් ප්‍රකාශ භාරදෙන ශක්තිමත් සම්ප්‍රදායක් ගොඩනැගෙනු ඇත්තේය.

නීතිය යාවත්කාලීන කිරීම

වත්කම් බැරකම් නීතියේ දර්ශනය වී තිබෙන්නේ නිල තනතුරු දරන්නන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවල එන තොරතුරුවල ඇති සත්‍ය අසත්‍යතාව මහජනයාට පරීක්ෂා කිරීමට බලය ලබාදෙන ප්‍රතිපත්තියක් මගින් අයථා ලෙස වත්කම් හිමි කරගෙන සිටින අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙන තත්ත්වයක් ඇති කිරීමය. එය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වත්කම් බැරකම් නීතියට පමණක් නොව වෙනත් රටවල ක්‍රියාත්මක වන වත්කම් බැරකම් නීතිවලටද ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

මෙම නීතිය කරළියට ගෙන එන කාලවකවානුවේදී මහජනයාට එම තොරතුරු පරීක්ෂා කිරීමේ බලය ලබාදීම සඳහා යොදාගත හැකිව තිබූ හොඳම ක්‍රමය වී තිබුණේ ඡායා පිටපතක් සඳහා යන වියදම අය කොටගෙන ඉල්ලුම්කරු ඉල්ලා සිටින වත්කම් බැරකම් ප්‍රකාශනයේ සහතික කළ ඡායා පිටපතක් ලබාදීමය. එහෙත් දැන් ඒ වෙනුවට වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින සියලුදෙනා අදාළ බලධාරියා ඒ සඳහා පවත්වාගෙන යන වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කොට ඒ බව බලධාරියාට දැනුම්දීමක් කළ යුතු බවට නියෝග කළ හැකිය. නැතිනම් වෙබ් අඩවි පවත්වාගෙන යන රාජ්‍ය ආයතනවල වෙබ් අඩවිවල වත්කම් බැරකම් ප්‍රකාශන සඳහා වෙනම අංශයක් ඇතුළත් කොට එම රාජ්‍ය අංශයේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට නීතියෙන් බැඳී සිටින සියලු නිලධාරීන්ගේ තොරතුරු ඊට ඇතුළත් කරන ක්‍රමයක් ඇති කළ හැකිය. එවිට එම වෙබ් අඩවි ඔස්සේ කිසිදු ගෙවීමකින් තොරව වඩා කාර්යක්ෂම ලෙස එම තොරතුරු පරීක්ෂා කිරීමේ අයිතිය මහජනයා ලබාදිය හැකිය. එවැනි ක්‍රමයක් නිසා ආදායම් බදු දෙපාර්තමේන්තුවට හා විනිමය පාලන කොමිසම වැනි ආයතනවලටද වඩා පහසුවෙන් එම තොරතුරු වෙත ළඟාවීමේ හැකියාව ලැබෙන්නේය.

ඒ සමග වත්කම් බැරකම් ප්‍රකාශ කරන්නන් විසින් පිරවිය යුතු පෝරමද නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස විධිමත් කිරීමද අවශ්‍යය.