දේශපාලන ක්‍රමය සමග අධිකරණයේ බිඳ වැටීම

November 11, 2012
Publication:
Ivan sees the government's move to impeach the Chief Justice as part of the collapse of the political system. Comparing the courts of the United States, Britain and India, where the judiciary guards the constitution and the separation of powers, he shows how Sri Lanka's constitution places the courts under the president, who appoints all senior judges, and limits their review of legislation. He criticises the Supreme Court for failing to be creative, from approving the 1982 referendum that extended Parliament's life to its handling of the 17th Amendment, and traces the decline back beyond Sarath N. Silva to G.P.S. de Silva's time.

අගවිනිසුරුවරිය තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩුව ඉදිරියට ගෙන තිබෙන දෝෂාභියෝග වැඩපිළිවෙළ දේශපාලන ක්‍රමයේ බිඳවැටීමේ ක්‍රියාවලිය ශක්තිමත් කොට වේගවත් කිරීමට හේතුවනු ඇත. ආණ්ඩුවට අගවිනිසුරුවරිය තනතුරින් ඉවත් කොට ඒ වෙනුවට වෙනත් කෙනකු එම තනතුරට ගෙනඒමේ හැකියාවක් ඇතත් එම ක්‍රියාදාමය ආණ්ඩුවේද දේශපාලන ක්‍රමයේද පෙනුම තවදුරටත් අවලස්සණ කිරීමට හා ඒවාට තිබෙන සුජාතකභාවය දුර්වල කිරීමට හේතුවනු ඇත. ඉන්පසු එම තනතුරට කවුරුන් පත් කළද ඉන්පසු රටේ මහජනයාට සේ ම ලෝකයාටද දේශපාලන ක්‍රමය සේ ම ආණ්ඩුවද පෙනෙනු ඇත්තේ අධිකරණයක් නැතිව ඉදිරියට යන දේශපාලන ක්‍රමයක් ලෙස හා ආණ්ඩුවක් ලෙසය. එය රට කෙරෙහි පවත්නා ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් හා බලපෑම් තවදුරටත් උග්‍රකිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය.

රටේ දේශපාලන ක්‍රමය මුහුණ දී තිබෙන අර්බුදය දැන් තිබෙන්නේ පිළියම් කළහැකි තැනක නොව බිඳවැටීමක් ඇතිවීම නොවැළැක්විය හැකි තැනකය. එම ක්‍රියාවලිය තුළ විවිධ ආකාරවල ආරාවුල් හා හැලහැප්පීම් ඇතිවනු නොවැළැක්විය හැකිය. තාමත් දේශපාලන ක්‍රමයේ අර්බුදය ඉදිරියට ගමන් ගනිමින් තිබෙන්නේ එක අර්බුදයකට පසුව තවත් අර්බුදයක් වශයෙනි. ඒ තත්ත්වය වෙනස්විය හැකිය. එක අර්බුදයක් වෙනුවට අර්බුද කිහිපයක් එකවිට ඇතිවන සංකීර්ණ තත්ත්වයක් ඇතිවී ඊටත් පසුව සියලු අර්බුද එකවිට පැනනගින තත්ත්වයක් ඇතිවිය හැකිය. රාජ්‍යයට වැදගත් අංගෝපාංග අහිමි කරමින් ඒවාහි ක්‍රියාකාරීත්වය බෙලහීන කරමින් දේශපාලන ක්‍රමයේ අර්බුදය ඊට ගැළපෙන ලතාවකින් හා වේගයකින් ඉදිරියට ඇදෙමින් තිබෙන බව දැන් පැහැදිලිව දැකිය හැකි තත්ත්වයට පැමිණ තිබේයැ”යි කිව හැකිය.

මෙම විපරීත හා දූෂිත දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කරනවා නම් එය කළයුතුව තිබුණේ එල්ටීටීඊයට එරෙහිව කරන ලද යුද්ධය අවසන් කිරීමත් සමගය. එහෙත් ඒ සඳහා ලැබුණු ඓතිහාසික අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමක් සිදුනොවීය. දැන් ක්‍රමයේ අර්බුදය තිබෙන්නේ බිඳවැටීමක් ඇතිවීම වැළකිය නොහැකි හා ඊට පෙර ක්‍රමයේ මූලික වෙනසක් ඇති කළ නොහැකි තැනකය. ඒ තත්ත්වය ඉදිරියේ දැනුවත් මහජනයාට කළහැක්කේ බිඳ වැටීමකක් ඇතිවීමෙන් පසුව ඇති කරගත යුතුව තිබෙන පරමාදර්ශ දේශපාලන ක්‍රමයක් ගැන සිහින දැකීමය. ඒ සඳහා මහජනයා දැනුවත් කිරීමය.

පරමාධිපත්‍යය හා බලතල බෙදීම

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක දේශපාලන බලයේ නිධානය ලෙස සැලකෙන්නේ ඒ රටේ පුරවැසියන් වන මහජනයාය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කැරෙන්නේ මහජනයාගේ පරමාධිපත්‍යය බලය පිළිබිඹු වන ලෙස, මහජනයාට එම බලය අභ්‍යාස කිරීමට ඉඩ ලැබෙන ලෙස හා එම බලය ආරක්ෂාවීමට හේතුවන ලෙසය. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී වැදගත් කොට සලකා ඇත්තේ ජනාධිපතිට තිබිය යුතු පරම බලය ගැන මිස මහජනයාට තිබිය යුතු පරමාධිපත්‍යය බලය ගැන නොවේ. මහජනයාගේ පරමාධිපත්‍යය බලයට මුල්තැන ලැබෙන ලෙස නිර්මාණය කොට හොඳින් උරගා බැලීම්වලට ලක්වී තිබෙන දේශපාලන මාදිලි ගණනාවක් තිබියදී අප කර තිබෙන්නේ අපට ගැළපෙන ඉන් එකක් තෝරාගෙන පාවිච්චි කරනවා වෙනුවට වඩා හොඳ දේශපාලන ක්‍රමයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කරන දැනුම හා පළපුරුද්ද නැතිව එකට පූට්ටු කළ නොහැකි ක්‍රම ගණනාවකින් තෝරාගත් අංග එකට පූට්ටු කොට දේශපාලන ක්‍රමයක් ඇති කරගැනීමය. එය රට පාලනය කිරීමේ බලයට අතිරේකව පාලක පක්ෂයට අයථා ලෙස ධනය උපයාගැනීමේ අයිතිය ලබාදෙන විපරීත දූෂිත හා කොල්ලකාරී ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. ඒ ක්‍රමය තුළ මහජනයා සිටින්නේ මුදුනේ නොව පතුළේය. මුදුනේම සිටින්නේ විධායක ජනාධිපතිය. රාජ්‍යයේ සලක විධ බලය ඔහු සතුය. එහි මහජනයා සලකා ඇත්තේ විධායක ජනාධිපතිගේ ප්‍රවේණිදාස විශේෂයක් ලෙසය.

අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෝෂාභියෝගය නිසා අධිකරණය මහජනයාගේ කතාබහට හේතුවී තිබෙන ප්‍රධාන විෂය වස්තුව වී තිබෙන තත්ත්වය ඉදිරියේ රටේ තිබෙන විපරීත, දූෂිත හා කොල්ලකාරී දේශපාලන ක්‍රමය තුළ අධිකරණය ස්ථානගත කර තිබෙන ආකාරය හා එයට රඟපෑමට සිදුවී තිබෙන විපරීත භූමිකාව විවේචනාත්මකව සලකා බැලීම වැදගත්ය.

බලතල බෙදීමේ සිද්ධාන්තය ගැන කතා කරන විට වැඩියෙන්ම උපුටා දැක්වෙන්නේ මොන්ටෙස්කියුය. ඔහුට අනුව නීති පැනවීම, නීති ක්‍රියාත්මක කිරිම හා නීති පසිඳලීම එක මිනිසකු හෝ එක මණ්ඩලයක් අතට පත්වූවිට ප්‍රජා පීඩනයක් ඇතිවීම නොවැළැක්විය හැකිය. මෙම බල තුන, තනි බලකේන්ද්‍රයක් අතට පත්වන්නට ඉඩ නොදී ඒ සඳහා බලකේන්ද්‍ර තුනක් ඇති කොට ඒවා අතර බලතුලනයන් පවත්වාගෙන යෑමේ වැදගත්කම මොන්ටෙස්කියු අවධාරණය කළේය. එකිනෙකට වෙනස් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මාදිලි ගණනාවක්ම ලෝකයේ ඇතත්, ඒ හැම මාදිලියක් තුළම එම බලතල බෙදීමේ න්‍යාය එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට තිබෙනු දැකිය හැකිය. ඒ හැම මාදිලියක්ම ගොඩනගා තිබෙන්නේ එක බලකේන්ද්‍රයකට යටපත් කිරීමට හෝ ග්‍රහණය කරගැනීමට ඉඩ නොලැබෙන ආකාරයටය.

ඇමරිකාවේ තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයකි. එහි විධායක ජනාධිපති ඉතා බලවත් වන්නා සේ ම ව්‍යවස්ථාදායකය හා අධිකරණයද ඉතා බලවත්ය. ලිඛිත ව්‍යවස්ථාවක් නැති බ්‍රිතාන්‍යයේ තිබෙන්නේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකි. එහි අගමැති බලවත් සේ ම ව්‍යවස්ථාදායකය හා අධිකරණයද ඉතා බලවත්ය. දීර්ඝතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති ඉන්දියාවේ තිබෙන්නේද පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකි. එහි අගමැති ඉතා බලවත් සේ ම ව්‍යවස්ථාදායකය හා අධිකරණයද ඉතා බලවත්ය.

එහෙත් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය සකස් කර තිබෙන්නේ මෙම බලමණ්ඩල තුන අතර බලතුලනයකට ඉඩ ලැබෙන ආකාරයට නොව නීතියට ඉහළින් සිටින පරම බලයක් ඇති ජනාධිපතිවරයාගේ බලය අනෙක් බලකේන්ද්‍ර දෙකේ බලය බලවත් ලෙස සීමා කැරෙන ආකාරයටය.

අපේ ප්‍රධාන අවධානය යොමුවී තිබෙන්නේ අධිකරණය ගැන වන නිසා මෙම රටවල් තුනේ අධිකරණයන් හා අපේ අධිකරණය අතර ඇති වෙනස්ක්‍රමවලින් අපට මෙම සාකච්ඡාව ආරම්භ කළ හැකිය.

ඇමරිකන් අධිකරණය

ඇමරිකාවේ අධිකරණයට සියලු විනිසුරුවරුන් පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. එසේ කරනු ලබන පත්කිරීමේ සෝදිසි කිරීමේ බලය සේ ම නුසුදුසු පුද්ගලයන්ගේ පත්කිරීම් අනුමත කිරීමෙන් වැළකී සිටීමේ බලය සෙනට් මන්ත්‍රී මණ්ඩලය සතුය. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථාවෙන් හිමි බලතලද, සම්පාදිත නීති මගින් හිමි බලතලද, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ආරෝපණය කරගන්නා ලද බලතලද භුක්ති විඳී.

ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම, ආණ්ඩු ක්‍රමය තුළ තිබෙන බලවිභේදනය ආරක්ෂා කිරීම, ව්‍යවස්ථාව කාලයට උචිත ලෙස හැඩ ගැස්සවීම, ආණ්ඩු ක්‍රමයේ ඇති සන්ධීය බව ආරක්ෂා කිරීම, ජනපද රාජ්‍යයන්හි ස්වෛරීබව ආරක්ෂා කිරීම, මහජනයාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරී තිබෙන ප්‍රධාන වගකීම් ලෙස සැලකිය හැකිය. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට ඕනෑම නීතියක්, පනතක් හෝ විධායක කාර්යයක් අවලංගු කළ හැකිය. එහිදී වසර ගණනක් තිස්සේ ක්‍රියාත්මක වන නීතියක් වුවද අවලංගු කළ හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාත්මකවන්නේ ස්වාධීන දෙපාර්තමේන්තුවක් වශයෙනි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වයස අවුරුදු 70 දක්වා සේවය කරති. අවුරුදු 10ක සේවා කාලයක් සම්පූර්ණ කර නැතිනම් වයස නොසලකා එම කාලය සම්පූර්ණ කළ හැකිය. විශ්‍රාම ගිය පසුත් ඔවුන් සැලකෙන්නේ විනිසුරුවරුන් වශයෙනි. පසුගිය කාලය තුළ කොංග්‍රසය සම්මත කළ පනත් 7000ක් අතුරින් ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කර ඇති පනත් සංඛ්‍යාව 300කි.

බ්‍රිතාන්‍ය අධිකරණය

යුක්තියේ උල්පත කිරීටය වශයෙන් සැලකේ. මුළු මහත් අධිකරණ ක්‍රමයම ක්‍රියාත්මකවන්නේ කිරීටයේ නාමයෙනි. විනිශ්චයකාරවරුන් පත්කරන්නේ පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට යටත්ව අධිකරණ ඇමතිවරයා (ලෝඩ් චාන්ස්ලර්)ය. සිවිල් උසාවි හා අපරාධ උසාවි වශයෙන් උසාවි වර්ග දෙකක් පවතී. ශ්‍රේෂ්ඨාධිකරණය සිවිල් උසාවි අතර තිබෙන උසස්ම අධිකරණය ලෙස සැලකේ.

ලිඛිත ව්‍යවස්ථාවක් නැත. පොදු නීතිය ලෙස සැලකෙනුයේ සිරිත් විරිත් හා චාරිත්‍රවලින් ඇතිවූ ඒවාය. හෘදය සාක්ෂියේ නීතියද නීතියේ වැදගත්ම අංගයක් ලෙස සැලකේ. හෘදය සාක්ෂියේ නීතිය ලෙස සැලකෙනුයේ විනිශ්චයකදී යුක්තිය, සාධාරණත්වය හා හෘදය සාක්ෂිය සැලකිල්ලට ගතයුතු බවය. පොදු නීතිය හා හෘදය සාක්ෂියේ නීතියට අතිරේකව ව්‍යවස්ථාදායකය විසින් පනවන නීති ද පවතී. පාර්ලිමේන්තුව සම්මත කරන නීතිවල හරි වරද සලකා බැලීමේ බලයක් අධිකරණයට නැත. පාර්ලිමේන්තුව පිළිගත් සම්ප්‍රදායන්ට පටහැනිව නීති ඇති නොකරන බව එහි තේරුම වේ.

එහි යුක්තිය පසිඳලීම ඉහළම මට්ටමක පවතී. මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමද ඉහළම මට්ටමක පවතී. එහි නීතිය ඉදිරියේ සියලුදෙනා සමානය. නඩු විසඳීම ප්‍රමාදයකින් තොරව සිදුවේ. සියලු උසාවි කටයුතු නීත්‍යනුකූලව හා අපක්ෂපාතව සිදුවේ. නීතිඥයන්ගේ කටයුතු දැඩි පරීක්ෂාවට ලක් කැරෙන ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

ඉන්දීය අධිකරණය

ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත්කරන්නේ ජනාධිපතිවරයාය. එසේ කිරීමේදී ජනාධිපතිවරයා අගවිනිසුරුගෙන් කරුණු විමසීම අනිවාර්යය. අගවිනිසුරු පත්කරන්නේද ජනාධිපතිවරයාය. එහිදීද ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් කරුණු විමසීම අනිවාර්යය. ඕනෑම පනතක් හෝ විධායක ක්‍රියාවක් අවලංගු කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුය. බලවත් අසාධාරණයකදී හෝ පොදු වැදගත්කමක් තිබෙන අවස්ථාවකදී සාමාන්‍ය මිනිසකු ලියුමකින් කරන පැමිණිල්ලක් වුවද විභාගයට ගන්නා සම්ප්‍රදායක් ක්‍රියාත්මක වේ.

ව්‍යවස්ථාවේ ආරක්ෂකයා ලෙස පෙනී සිටින්නේද. මහජන අයිතිවාසිකම්වල ආරක්ෂකයා ලෙස පෙනී සිටින්නේද ශ්‍රේෂ්ඨාධිකරණයයි. ආණ්ඩුක්‍රමයේ එන බලතල බෙදීම හා සන්ධීය ස්වරූපයේ ආරක්ෂකයා ලෙස ක්‍රියාකරන්නේද ශ්‍රේෂ්ඨාධිකරණයයි. මහජන සුබ සිද්ධියට අදාළ වැදගත් කරුණු ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිගේ උපදේශකයකු ලෙස ද ක්‍රියාකරයි. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි ඉන්දියාවේ ජනතාව අතර විශාල විශ්වාසයක්ද ගෞරවයක්ද පවතී.

ශ්‍රී ලංකාවේ අධිකරණය

ශ්‍රී ලංකාවේ අධිකරණය දේශපාලන ක්‍රමය තුළ ස්ථානගත කර තිබෙනුයේ ස්වාධීන ක්‍රියාකාරීත්වයකට ඉඩ නොලැබෙන ජනාධිපතිවරයා කෙරෙහි යටහත් පහත් තත්ත්වයකින් ක්‍රියාකිරීමට බලකැරෙන ආකාරයටය.

ඉහළ අධිකරණ දෙකට විනිසුරුවරුන් පත්කරන්නේද, අගවිනිසුරුවරයා පත් කරන්නේද ජනාධිපතිය. එම පත්කිරීම් පරීක්ෂාවට ලක් කෙරෙන ක්‍රමයක් නැත. ජනාධිපති රාජ්‍ය නායකයාද, රටේ ප්‍රධාන විධායකයාද තමන් නියෝජනය කරන දේශපාලන පක්ෂයේ ප්‍රධානියාද වේ. අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන් පත්කිරීමේ, විනය පාලනය හා සේවයෙන් පහකිරීමේ බලය ඇත්තේ ජනාධිපතිටය. ජනාධිපතිවරයෙකු පෞද්ගලික තත්ත්වයෙහිලා හෝ නිල තත්ත්වයෙහිලා හෝ කරන ලද හෝ නොකර පැහැර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරියක නඩු පැවරිය නොහැකිය. එම තත්ත්වය හැම තැනකටම විහිදුණු ජනාධිපතිගේ ක්‍රියාකාරීත්වය පරීක්ෂාවට ලක්කිරීමේ බලය අධිකරණයට අහිමි කර තිබෙනවා පමණක් නොව ඒ මගින් රාජ්‍යයේ ක්‍රියාකාරීත්වයද පරීක්ෂා කිරීමේ බොහෝ දුරකට බලය අධිකරණයට අහිමි කර තිබේ.

පාර්ලිමේන්තුව සකස් කරන නීති විමර්ශනය කිරීමට අධිකරණයට ලබාදී තිබෙන බලය තුළද බරපතළ සීමාසහිතකම් පවතී. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට ඕනෑම නීතියක් අවලංගු කිරීමේ බලය තිබේ. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයටද ඒ සමාන බලයක් තිබෙන්නේය. එහෙත් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට කළහැක්කේ නීති විමර්ශනය සඳහා එවන පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැ”යි පරීක්ෂා කොට දැනුම්දීමේ බලය පමණය.

එහිදීද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් විධිවිධානයක් සංශෝධනය කරන හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කොට ඒ වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස විස්තර කැරෙන අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයට කළහැක්කේ ඒ සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය ද නැද්ද යන්න තීරණය කිරීම පමණය.

අනෙක් අතට ඉහත සඳහන් ආකාරයේ කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කිරීමටත් ඉන් අනතුරුව ජනමතවිචාරණයකට යොමු කිරීමටත් අදහස් කරන බවට ඇමති මණ්ඩලය සහතික කරනු ලැබූ අවස්ථාවකදී එවැනි පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් කිසිදු අධිකරණ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැත.

ප්‍රමාණවත් තරම්ම නිර්මාණාත්මක නොවීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී තිබෙන බලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන සමහර විපරීත ලක්ෂණ කිසියම් විශාල ප්‍රමාණයකට නිවැරදි කිරීමේ හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට තිබුණද එය එයට තිබෙන එම බලය එවැනි වැරදි නිවැරදි කිරීම සඳහා නිර්මාණාත්මක ලෙස යොදාගැනීමට විශේෂ උනන්දුවකින් ක්‍රියාකර තිබෙන බවත් පෙනෙන්නට නැත.

ආණ්ඩු පක්ෂයට කොතරම් විශාල පාර්ලිමේන්තු බලයක් තිබුණද ජනතාවගේ නිදහස සීමා කිරීමට හේතුවන හෝ ආණ්ඩුක්‍රමය විකෘති කිරීමට හේතුවන නීති සම්පාදනයන්ට ඉඩ නොදීම ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීමක් වුවද ඒ වගකීම ප්‍රශස්ත තත්ත්වයකින් ඉටු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය සමත් වී ඇතැ”යි කිව නොහැකිය.

1977දී තේරී පත්වූ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් අවුරුදු හයකින් දීර්ඝ කරගැනීම සඳහා වන ජනමතවිචාරණයකට අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් වූ සිව්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දෙනු ලැබූ තීන්දුව ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය. ඒ අවස්ථාවේදී ජනතාවගේ නිදහස ගැන මහත් හැඟීමකින් ක්‍රියාකරන හොඳ අගවිනිසුරුවරයකු (නෙවිල් සමරකෝන්) අගවිනිසුරු ධුරයේ සිටියද හතරවැනි සංශෝධනය අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අසමත් විය. එම ව්‍යවස්ථා සංශෝධනය විමර්ශනයට ලක් කළ විනිසුරු මඬුල්ලේ හත්දෙනාගෙන් අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන් තිදෙනකු එම ව්‍යවස්ථා සංශෝධනය නීති විරෝධී බවට තීන්දු කළද සිව්දෙනකු ඊට පක්ෂවීම නිසා ජනමතවිචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගැනීමේ දුෂ්ට වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමේ හැකියාව ආණ්ඩුවට ලැබුණේය. ඒ අවස්ථාවේදී එම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බැරෑරුම්කම සලකා පළමු කොට අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සමග සාකච්ඡා කරන තැනකට ගියේ නම් සමහරවිට සිදුවන්නට යන මහා වැරැද්ද වළකා ගන්නට ඉඩ තිබුණේය. එම දුෂ්ට වැඩසටහනට ඉඩ නොලැබුණේ නම් සමහරවිට 83 කළු ජූලිය සේ ම, දකුණේ සිංහල තරුණ කැරැල්ලක් හා උතුරේ දෙමළ තරුණ කැරැල්ලක්ද ඇති නොවන්නට ඉඩ තිබුණි. ඒ අර්ථයෙන් රටේ විශාල විනාශයක් ඇති කිරීමට හේතුවූ එම දූෂ්ට වැඩපිළිවෙළ ඉතිහාසයට එකතුවිය යුතුව තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේද ආශිර්වාදය ඇතිව ක්‍රියාත්මක වූ දෙයක් ලෙසය.

17 වැනි සංශෝධනය මනා නිමාවකින් තොර නිමවන ලද ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකි වුවද එය අවලංගු කිරීමට හේතුවන ලෙස ඊට විකල්පයක් වශයෙන් ඉදිරියට ගෙනා 18 වැනි සංශෝධනයටද ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ නොදිය යුතුව තිබුණි. 17 වැනි සංශෝධනය සම්මත වූයේ තුනෙන් දෙකක ඡන්දයකින් නොව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පොදු එකඟතාවකිනි. එසේ සම්මත කරගන්නා ලද ව්‍යවස්ථා සංශෝධනයක් අවලංගු කොට ඒ වෙනුවට ඊට පටහැනි වෙනත් ක්‍රමයක් ඇති කරන සංශෝධනයක් සම්මත වියයුතුව තිබුණේ පාර්ලිමේන්තුවේ පොදු එකඟතාවකින් නොවේ නම් තුනෙන් දෙකේ බහුතර ඡන්දයකට අතිරේකව ජනමතවිචාරණයකින් ද ලැබෙන අනුමැතියකිනි. එහිදී රටේ පොදු යහපත නොසලකා විධායක ජනාධිපතිගේ යහපත සලකා එම තීන්දුව ලියන ලද විනිසුරුවරියම ජනාධිපතිවරයාගේ හා එම ආණ්ඩුවේ උදහසට හේතුවී දෝෂාභියෝගකට මුහුණ දෙන්නට සිදුවීම සැලකියයුත්තේ දෛවයේ සරදමක් ලෙසය.

මෙම විපරීත දූෂිත දේශපාලන ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ ගෞරවයට හේතුවන හා ස්වාධීන අධිකරණයක පැවැත්මට ඉඩ නොලැබෙන ආකාරයටය. එවැනි වටාපිටාවක් තිබියදී පවා උඩුගම් බලා පිහිනන්නට උත්සාහ කළ නෙවිල් සමරකෝන්, මාර්ක් ප්‍රනාන්දු වැනි ඉතාමත් සුළු පිරිසක් අධිකරණයේ සිටියේය. ඔවුන් සැලකිය යුත්තේ අපේ අධිකරණ ක්‍රමය තුළ පහළ වූ වීරයන් ලෙසය. ඔවුන් අතරින් වැඩි පිරිසක් පිහිනුවේ ඉහළට නොව පහළටය. ඔවුන් එසේ කළේද දේශපාලනයෙන් එල්ල වූ බලකිරීම නිසාම නොව ආත්මාර්ථකාමී හේතු මතය. ඔවුන් යටත්වීමක් සඳහා බලකිරීමක් එන්නට පෙර ආත්මාර්ථකාමී හේතු මත යටත් වී ගෞරවය අහිමි කරගත් අය ලෙස ඉතිහාසයට එකතු වනු ඇත්තේය.

අධිකරණයේ පරිහානිය ආරම්භවන්නේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ යුගයේ නොව ඊට පෙර පැවති අගවිනිසුරුරු ජී.පී.එස්. ද සිල්වාගේ පාලන යුගයේදීය. එම අගවිනිසුරුවරයා වැඩියෙන්ම උනන්දුවක් දැක්වූයේ නීතිය ගැන නොව ආගම ගැනය. ඒ නිසා දූෂිත පුද්ගලයන්ට සිල්රෙදි පොරවාගෙන විනාශකාරී කාර්යභාරයක් ඉටු කරන්නට ඉඩ ලැබුණේය. මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක ඒ යුගය සංකේතවත් කරන විනිසුරුවරයෙකු ලෙස සැලකිය හැකිය. ඔහු රක්ෂණ සංස්ථාවෙන් තුන්වැනි පාර්ශ්වයේ වංචා කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ ශ්‍රී ලංකාවේ රක්ෂණ සංස්ථාවෙන් පහ කළ පුද්ගලයෙකු විය. ඔහු සිල් රෙද්දක් පොරවාගෙන අධිකරණයට එකතු වූයේය. විනිශ්චයකාරවරයකු ලෙස පෙනී සිටිමින් නඩු හබවලට සම්බන්ධ කාන්තාවන් දූෂණය කළේය. එහෙත් අගවිනිසුරුවරයාට ඔහු පෙනුණේ හැම පෝයකටම සිල්ගන්නා ධාර්මික විනිසුරුවරයකු ලෙසය. එම අඳුරු යුගය ආපසු හැරවිය නොහැකි තර්කානුකූල අවසානයක් කරා ඉදිරියට ගෙන ගිය පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. ඔහු අධිකරණය අසාධාරණය හා දුරාචාරය රජ කරන පාතාල ලෝකය සමග ගනුදෙනු කරන අවලස්සන තැනක් බවට පත් කළේය. ඉන්පසු එම තනතුරට පත්වන කිසිම අනුප්‍රාප්තිකයකුට අඩු වැඩි වශයෙන් මිස ඔුහ ගිය මගෙහි මිස වෙනත් මාවතක යෑමේ හැකියාවක් නොතිබුණි.