ආචාර්ය නිර්මාල්ගේ දයලෙක්තික අච්චාරුවාදය

July 1, 2012
Publication:
Ivan replies to Nirmal Ranjith Dewasiri's critique (17 June) of his column 'Is the Thirteenth Amendment the Best Solution?'. Listing his earlier Ravaya pieces on the national question from 2006 onwards and his debate with Kumar David, he rejects the charge that he has turned against devolution, and cites the Asia Foundation survey and the ICES study 'Seeking Space for State Reform', in which about 80% of Sinhalese backed reform, to argue that a solution must be built with, not against, public opinion.

“විසඳුම 13ද?” යන හිසින් මැයි 6 වැනිදා පළවූ මාගේ ලිපියට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් ප්‍රමාද වී ලියන ලද ප්‍රතිවිවේචනයක් “සිංහල ජාතිකවාදයට වික්ටර් අයිවන්ගෙන් තල්ලුවක්” යන හිසින් ජූනි 17 වැනිදා කලාපයේ පළවී තිබුණි. එම ලිපිය පළවූ කලාපයේම “දෙමළ ප්‍රශ්නය හා වියළි කලාපීය ගොවි ජනපද ව්‍යාපාර” යන හිසින් මාගේ ලිපියක් පළවූ අතර එය මගේ විසඳුම 13ද යන ලිපියේම තවත් දිගුවක් ලෙස සැලකිය හැකිය.

ලියන්නන් අතර විවිධ ප්‍රභේදවලට අයත් ලියන්නෝ සිටිති. තමන් ලියන්නේ කුමක්දැ”යි හරිහැටි නොදැන ලියන්නෝද සිටිති. කනගාටුවෙන් වුවද කිවයුත්තේ ආචාර්ය නිර්මාල් අයත්වන්නේද තමන් ලියන්නේ කුමක්දැ”යි නොදැන ලියන්නන්ගේ ප්‍රභේදයට බවය.

කිසියම් පුද්ගලයකු ඉදිරිපත් කර තිබෙන මතයක් පිළිබඳව ශාස්ත්‍රාලයීය උගතකු කරන විචාරයකදී හෝ විවේචනයකදී ඒ මතය දරන පුද්ගලයා ඒ ගැන ලියා තිබෙන දේවල් සාධාරණ හැදෑරීමකට ලක් කළ යුතුය. ප්‍රතිවාදී මතය ඛණ්ඩනය හෝ විවේචනය කළයුත්තේ ප්‍රතිවාදී මතය නිවැරදි ලෙස ගෙනහැර දක්වමිනි. එහෙත් ආචාර්ය නිර්මාල්ගේ විවේචනය කියවන කෙනකුට හැඟෙන්නේ එය දෙමළ නිජබිම් ප්‍රශ්නය ගැන මා විසින් ලියන ලද පළමු හා එකම ලිපිය ලෙසය. නිර්මාල් ඊට උත්තර දී තිබෙන්නේද එය මා විසින් අලුතෙන්ම පළකර තිබෙන අදහසක් ලෙස සලකා හා මාගේ චින්තනයේ ඇතිවී තිබෙන අලුත්ම අලුත් වෙනසක් ලෙස සලකාය.

විකෘතියට ඇති ආශාව

එහෙත් ඇත්තටම එය මා තුළ ඇතිවී තිබෙන අලුත් වෙනසක් නොව පරණ වෙනසකි. 2006 දෙසැම්බර් 10 වැනිදා රාවයේ පළවූ “කුණුවෙන වාර්ගික අර්බුදට වගකිවයුත්තේ කවුද?” යන හිසින් පළවූ ලිපියේ එම ප්‍රශ්නය ගැන සඳහන්වන්නේ මෙසේය.

“ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක පැවැත්ම භූ දේශපාලන යථාර්ථයට පටහැනිය. ඉන්දියාවේ අනුමැතිය නොමැතිව එවැන්නක් පැවතිය නොහැකි වන අතර ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයකට එකඟවීමේ හැකියාවක් ඉන්දියාවටද නැත. වෙනම රාජ්‍යයක් සඳහා තෝරාගත් භූමි ප්‍රදේශ සඳහා ඉදිරිපත් කළ අයිතිවාසිකම්වලද ව්‍යාජ බවක් තිබුණි. උතුර තමන්ගේ පාරම්පරික වාසභූමි ප්‍රදේශ ලෙසට අයිතිවාසිකම් කීමේ යුක්තිසහගත බවක් ඇතත් ඊට මුළු නැගෙනහිර පළාතද ඇතුළත් කොට අයිතිවාසිකම් කීම යුක්තිසහගත විය නොහැකිය. නැගෙනහිර පළාතේ දෙමළ භාෂාව කතා කරන මුස්ලිම් ජනයාද දෙමළ රාජ්‍යයකට එකඟ වේ නම් එවැනි අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමක් කිසියම් ප්‍රමාණයකට යුක්තිසහගත විය හැකිය. එහෙත් එහි වෙසෙන මුස්ලිම් ජනයා එවැනි වැඩපිළිවෙළක කොටස්කරුවන් වීමට සූදානම් නැත.”

ඉන්පසු 2008 අගෝස්තු 16 වැනිදා “මහින්දගේ කොටි විරෝධී යුද්ධය හා දෙමළ ජනතාවගේ අනාගතය” යන හිසින් පළවූ ලිපියේ ඒ ගැන මෙසේ සඳහන් වේ.

“විසඳුමක් ඇති කරගැනීමට බාධාවක් වී ඇත්තේ ඔවුන් ඉල්ලා සිටින දේශපාලන ක්‍රමය පමණක් නොවේ. ඔවුන් වෙනම රාජ්‍යයක් පිළිබඳ හා කොන්ෆෙඩරේෂනයක් පිළිබඳ අදහස අතහැර ෆෙඩරල් ක්‍රමයකට එකඟ වුවද ඔවුන් තමන්ගේ පාලනයක් ඉල්ලා සිටින්නේ දෙමළ බහුතරයක් සිටින උතුරට පමණක් නොව නැගෙනහිරද ඇතුළත් උතුරු නැගෙනහිර එකට එකතු කළ මුළු කලාපයටමය. ඔවුන් එම පළාත් දෙකම සලකන්නේ දෙමළ ජනයාගේ පාරම්පරික නිජබිම් ලෙසය. ඒ මගින් මුළු රටේම භූමියෙන් 30%කට ආසන්න ප්‍රමාණයකටද, වෙරළ තීරයෙන් හා මුහුදු සම්පත්වලින් 50%කට ආසන්න ප්‍රමාණයකටද ඔවුහු හිමිකම් ඉදිරිපත් කරති. එම අයිතිය සඳහා ඔවුන් ඉදිරිපත් කරන ඓතිහාසික සාධක නිවැරදි නොවනවා පමණක් නොව ඒ ඉල්ලීම් සාධාරණ ලෙසද සැලකිය නොහැකිය. නැගෙනහිර ජනවර්ග තුනක් ජීවත්වන පළාතකි. මුස්ලිම් ජනයා දෙමළ භාෂාව කතා කළත් තමන් දෙමළ ජනවර්ගයේ කොටසක් ලෙස සලකනවාට තරයේ විරුද්ධය. නැගෙනහිර සිංහල දෙමළ ජනවර්ග දෙක එකට එකතු කළ විට ඔවුහු නැගෙනහිර බහුතරය බවට පත්වන්නෝය. උතුරේ ජනගහනයෙන් අතිවිශාල බහුතරයක් එක ජනවර්ගයකට අයත්වන විට නැගෙනහිර ඇත්තේ ඊට වෙනස් මොනම තනි වර්ගයකටවත් බහුතර බලයක් නැති බොහෝ දුරකට සමාන පංගු ක්‍රමයක් ඇති තත්ත්වයකි.

1977 මැතිවරණයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙනම රාජ්‍යයක් සඳහා ජනවරමක් ඉල්ලා උතුරු හා නැගෙනහිර යන දෙපළාතට තරග කළද ඔවුන්ට ජයගත හැකිවූයේ උතුර පමණය. නැගෙනහිර ලද ඡන්ද ප්‍රමාණය 36%කට වැඩි නොවීය. ඉන්දියාව පවා ආරම්භයේදී මෙම දෙපළාත ඒකාබද්ධ කිරීමකට කැමති නොවීය. අවසානයේ ඉන්දු ලංකා ගිවිසුමෙන් මෙම දෙපළාත ඒකාබද්ධ කිරීමට එකඟ වූයේ ගිවිසුමට දෙමළ දේශපාලන පක්ෂ එකඟ කරවාගැනීම සඳහා එය අවශ්‍ය කොන්දේසියක් ලෙස සලකාය. එහිදීද එම තීරණය නැගෙනහිර පළාතේ පනවනු ලබන ජනමතවිචාරණයකට යටත් කොට තිබුණි.” දෙමළ නිජබිම් සංකල්පය විවේචනය කරන තැනකට මා පැමිණියේ මෑත දිනකදී නොවන බව සනාථ කිරීමට තව තව උපුටා දැක්වීම් කළ හැකි වුවද එසේ කිරීම අවශ්‍ය නොවේයැ”යි සිතමි. ආචාර්ය නිර්මාල් මා තුළ වසර හයකට හෝ ඊට වැඩි කාලයකට පෙර ඇතිවූ වෙනසක් විග්‍රහ කරන්නට උත්සාහ කර ඇත්තේ අද ඊයේ ඇතිවූ මහා වෙනසක් ලෙසය. ඒ ආශ්‍රයෙන් ඔහු සිංහල සමාජ ආකල්පවල ඇතිවී තිබෙන මහා වෙනසක් ගැන සිය නිරීක්ෂණ ඉදිරිපත් කරන තරමට දුර ගොස් තිබේ.

විවාදය සිංහලයන්ට සීමා නොකිරීම

මා දෙමළ ස්ථාවරයන් විවේචනය කරන බොහෝ අවස්ථාවලදී අනුගමනය කළ විශේෂ ප්‍රතිපත්තියක් තිබුණි. සිංහලයන්ට පමණක් නොව දමිළයන්ටද ඇසෙන ලෙස එසේ කිරීමය. ඒ සඳහා එවැනි ලිපි බොහෝ විට භාෂා තුනෙන්ම පළකිරීමට ක්‍රියාකර ඇත්තෙමි. යුද්ධය පැවති කාලයේ ආචාර්ය කුමාර් ඩේවිඩ් සමග වූ සංවාදය භාෂා තුනෙන්ම පළවිය. දෙමළ ස්ථාවරයන් විවේචනයට ලක්කරමින් ලියන ලද ප්‍රධාන ලිපි ලෙස සැලකිය හැකි 2009 මාර්තු 1 වැනිදා පළවූ “ශ්‍රී ලංකාවේ දෙමළ අරගලය වැරදුණේ කොතැනද?” යන ලිපියද, 2012 ජනවාරි 1 පළවූ “සටනකට පෙර ස්වයං විවේචනයකට” යන ලිපියද භාෂා තුනෙන්ම පළකරන ලදි. නිර්මාල්ගේ විවේචනයට ලක්වී තිබෙන “විසඳුම 13ද?” යන ලිපියද ඩීබීඑස් ජෙයරාජ්ගේ වෙබ් අඩවියේ පළවූ අතර සමහර දමිළ උගතුන් ඊට දක්වන ලද ප්‍රතිචාරද එහි පළවිය. එකම ලිපිය භාෂා තුනකින් පළ කැරෙන ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑම පහසු නැතත් එවැනි ප්‍රතිපත්තියක් පවත්වාගෙන යෑමට මට අවශ්‍ය වූයේ එවැනි සංවාද සිංහල පාඨකයන්ට පමණක් සීමා නොකොට දෙමළ ජනතාවටද ඇසෙන්නට සැලැස්වීමට මට අවශ්‍ය වූ නිසාය. ඒ ඔවුන්ට රිදවීම සඳහා නොව ප්‍රශ්න විසඳා ගැනීමට බාධාවක් ලෙස පවතින සමහර ආකල්පවල තේරුමක් නැති බව පෙන්වාදීම සඳහාය. මාගේ අරමුණ සිංහල ගැලරිය සතුටු කිරීමට නම් මා එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු නැත.

අනෙක් අතට මාගේ විවේචනයන් දෙමළ අන්තවාදී ආකල්පයන් ගැන කරන විවේචනයන්ට සීමා කොට නැත. මම සිංහල අන්තවාදී ආකල්පයන්ද විවේචනය කර ඇත්තෙමි. අතීතයේදී පමණක් නොව, විවාදයට හේතුවී තිබෙන මෙම කාලපරිච්ඡේදය තුළද මම එසේ කර ඇත්තෙමි. පුවත්පතට ලියන ලිපිවලින් පමණක් නොව ලියන පොත්වලින්ද එසේ කර ඇත්තෙමි. “දෙමළ කැරැල්ලක් ආවේ ඇයි, සිංහලයන්ද ආපසු හැරී බැලිය යුතුය” යන මාතෘකාව යටතේ 2009 අප්‍රේල් 12 වැනිදා රාවයේ පළවූ ලිපිය දමිළයන්ට සිංහල පාලකයන් අතින් සිදුවී තිබෙන අසාධාරණකම් එකට ගෙන කරන ලද විග්‍රහයක් ලෙස සැලකිය හැකිය.

නිර්මාල් දේවල් විකෘති කිරීමට දක්වා තිබෙන උනන්දුවේ ප්‍රමාණය කොතරම් විශාලද කියනවා නම් පළාත් සභා ක්‍රමයක් වෙනුවට මා දෙන්න යෝජනා කරන්නේ ගම් සභා ක්‍රමයක් බව කියන්නටද ඔහු උත්සාහ දරා තිබුණි. එම ලිපියෙන් මාගේ විකල්පය ගම් සභා ක්‍රමයකට සීමා කර නැත. මා එහි කියා තිබෙන්නේ බලය බෙදාහැරීමේ ඒකකය ලෙස පළාත වෙනුවට දිස්ත්‍රික්කය වඩා සුදුසු බවය. දිස්ත්‍රික්ක සභා ක්‍රමයක් ඇති කරන අතර ආසන්න දිස්ත්‍රික්ක කිහිපයකට එකට එකතු වී පළාත් සභාවක් ඇති කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩ ලබාදෙන අතර තවදුරටත් පළාත් සභා කිහිපයකට එකට එකතු වී කලාපීය සභාවක් බවට පත්වීමට අවශ්‍ය නම් ඊටද ඉඩ ලබාදිය යුතු බවය. එසේම දිස්ත්‍රික්ක සභාවකට ලැබෙන බලයට වැඩි බලයක් පළාත් සභාවකට ලබාදිය යුතු බව හා පළාත් සභාවකට ලැබෙන බලයට වැඩි බලයක් කලාප සභාවකට ලබාදිය යුතු බවය. මා එහිදී ගම් සභා ක්‍රමය යෝජනා කර තිබුණේ ගම මේ සියල්ල අතර තිබෙන කුඩාම ඒකකය ලෙස සලකා ගම් සභා ක්‍රමයක් ඇති කොට ඉන්දියාවේ පංචායත්වලට ලබාදී තිබෙන බලයට සමාන බලයක් ඒ ගම් සභාවලට ලබාදීමේ වැදගත්කම අවධාරණය කරන්නටය.

ජාතිය නැවත ගොඩනැගීම

ඓතිහාසික කියාපෑම් ගැන ඔහු නගන තර්කයද වලංගු නොවන්නේ නිජබිම් සංකල්පය පරිකථා තත්ත්වයකට සීමා නොවී ඉන්දු ලංකා ගිවිසුම මගින් පිළිගන්නා තත්ත්වයකට පත්කර තිබෙන නිසාය.

නිර්මාල් සිය ලිපියෙන් මා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කඩේ යන්නකු ලෙසද හඳුන්වා තිබුණි. එයද කිසිදු තර්කානුකූල පදනමක් නැති නරුම අර්ථකථනයකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිවලින් මා අනුමත කර තිබෙන්නේ එල්ටීටීඊය පරාජය කිරීම සඳහා යොදාගත් යුද්ධ ප්‍රතිපත්තිය පමණය. එහිදී පවා මා විවේචනාත්මකව ඉදිරියේ ඇතිවිය හැකි අවුල් ඇති බවද අමතක කර නැති බව කිවයුතුය.

යුද්ධය ජයගත් වහාම ලියන ලද ලිපියක ලැබූ යුදමය ජයග්‍රහණය ප්‍රශංසා කරන අතර මෙසේ ද ලිව්වෙමි.

“අවසානයේදී අවුරුදු 25ක් දිග්ගැස්සුණු යුද්ධයකින් පසුව දෙමළ ඊලාම් අරගලය යුදමය වශයෙන් පරාජය කිරීමට හැකිවී තිබෙන බව සත්‍යයකි. එහෙත් ඉන් විසඳෙන්නේ ප්‍රශ්නයේ එක් අර්ධයක් පමණය. දෙමළ හදවත්වල ඇතිවී තිබෙන තුවාලද සුව කළ යුතුය. යුද්ධයක් ජයගැනීමට රණකාමී වීම අවශ්‍ය වුවත් දෙමළ හදවත්වල ඇතිවී තිබෙන තුවාලවලට රණකාමය විසඳුමක් වන්නේ නැත. දැන් රණකාමය අතහැර ආදරයෙන් දයාවෙන් හා කරුණාවෙන් ඔවුන් දෙස බලන ප්‍රතිපත්තියකට මාරුවිය යුතුය.

දෙමළ ජනතාවට බරපතළ වැරැද්දක් සිදුවී ඇති බව පළමු කොට පිළිගත යුතු අතර අඩුම වශයෙන් ඒ ගැන අවංකව කනගාටු විය යුතුය. ඊළඟ වැදගත්ම දේ දෙමළ ජනතාවද දියුණු භාෂාවකට, සංස්කෘතියකට හා ඉපැරණි ශිෂ්ටාචාරයකට හිමිකම් කියන ජනතාවක් බව පිළිගැනීමය. ඔවුන්ගේ සාමූහික අනන්‍යතාවට නිසි පිළිගැනීමක් ලබාදිය යුතුය. ඊළඟට වැදගත්ම දේ ඔවුන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස එක්සත් ජාතියක් ගොඩනැගීමේ ක්‍රියාවලියට ඔවුන්ද උද්යෝගිමත් හා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගැනීමය. ප්‍රතිසංස්කරණ අවශ්‍යවන්නේ ඒ සඳහාය. (දෙමළ කැරැල්ලක් ආවේ ඇයි? සිංහලයන්ද ආපසු හැරී බැලී යුතුය. 2009.04.12 රාවය)

යුද්ධය අවසන්වීමෙන් පසු දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති නොකිරීම ගැනත් විදේශ ප්‍රතිපත්තිය ගැනත් මට ආණ්ඩුව ගැන තිබුණේ ප්‍රශංසාවක් නොව විවේචනයකි. කඩේ යන්නේ මල්ල පුරවා ගන්නටය. මා මේ ආණ්ඩුවෙන් ලබාගත් මොනම කෙංගෙඩියක්වත් නැත. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමට ගනු ලැබූ ප්‍රතිපත්තියට මා සහයෝගය දුන්නේ එය මාගේ හිතට එකඟ වූ නිසාය. ජේවීපී දෙවැනි කැරැල්ල කාලයේදී බලයේ සිටියේ මාගේ කැමැත්තට හෝ විශ්වාසයට හේතුවූ ආණ්ඩුවක් නොවූවත් ජේවීපී කැරැල්ල යුදමය වශයෙන් පරාජය කරන පිළිවෙත මම අනුමත කළෙමි. එහෙත් එහිදී මට ජීවත් වන්නට සිදුවූ පරිසරය බිහිසුණු වුවද ආරක්ෂක හමුදාවන්ට හෝ අතුරු හමුදාවන්ට ඔත්තු දෙන හෝ ඔවුන් සමග කල්ලි ගැසී වැඩ කරන තැනකට හෝ ආයුධ අතට ගන්නා තැනකට ගියේ නැත. එහිදී මාගේ භාවිතය එදා නිර්මාල් පෙන්නුම් කළ භාවිතයට වඩා සහමුලින් වෙනස්ය. පැහැරගැනීම් හා මරණ තර්ජන, අතුරුදන්කිරීම් අනුමත කළ උගතුන් පිරිසකට දැන් පැහැරගැනීම්, අතුරුදන්කිරීම් හා මරණ තර්ජන ගැන කඳුළු සලන්නට සිදුවී තිබීම කොතරම් ඛේදජනකද?

අවසාන වශයෙන් නිර්මාල් සිය ලිපියෙන් ගොඩනගන්නට උත්සාහ කරන තර්කය වී ඇත්තේ ප්‍රභාකරන් සමග එල්ටීටීඊය පරාජය කිරීම නිසා සිංහල ජනතාව අතර දෙමළ ජනයා සම්බන්ධයෙන් සහනශීලී නොවන දෙමළ විරෝධී ජාතිවාදී ආකල්පවල ශීඝ්‍ර වර්ධනයක් ඇතිවී තිබෙන බවය. ඇත්තටම සිදුවී ඇත්තේ ඔහු කියන දෙය නොව එහි අනෙක් පැත්තය. එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු සිංහල ජනතාව අතර පැවති දැඩි ආකල්පය ලිහිල් වී තිබෙන අතර ඔවුන්ගේ ප්‍රශ්නවලට සාධාරණ විසඳුමක් ලබාදිය යුතුයි කියන අදහස සිංහල බහුතර ජනයා අතර පිළිගත් මතයක් බවට පත්වී තිබේ. එය මහජන ආකල්ප අළලා කරන ලද සමීක්ෂණ දෙකකින් ද හොඳින් තහවුරු වී තිබේ. 2010 වසර අවසානයේදී එක සමීක්ෂණයක් කරන ලද්දේ ආසියානු පදනම් ආයතනය විසිනි. අනෙක් සමීක්ෂණය කර තිබෙන්නේ නීලන් තිරුචෙල්වම් විසින් ගොඩනගන ලද ආයතනය වන ජනවාර්ගික අධ්‍යයනයක් සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රයයි. එය පළකර තිබෙන්නේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා අවකාශ සෙවීම (Seeking space for state reform) යන මාතෘකාවෙනි. මෙය ලියන මොහොතේ පළමු සමීක්ෂණ වාර්තාව මා ළඟ නැතත්, දෙවැනි සමීක්ෂණ වාර්තාව අනුව සිංහල ජනතාවගෙන් 80%ක් දෙමළ ජනයාට සහන ලබාදෙන ප්‍රතිසංස්කරණවලට කැමතිය. එසේ නොවෙතොත් ඔවුන් නැවත ආයුධ අතට ගනු ඇතැ”යි කියා විශ්වාස කරන සිංහලයන්ගේ අනුපාතිකය 72.30%කි. එසේ නොකළහොත් අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාවට සහාය නොදෙනු ඇතැ”යි කල්පනා කරන සිංහලයන්ගේ අනුපාතිකය 62.8%කි. එසේ නොකළහොත් එය රටේ සංවර්ධන සහ ප්‍රගතිය අඩපණ කරන බාධකයක් ලෙස ක්‍රියාකරනු ඇතැ”යි කල්පනා කරන සිංහලයන්ගේ අනුපාතිකය 76.6%කි. නිර්මාල් ජීවත් වන බව පෙනෙන්නේ සැබෑ ලෝකයේ නොව සිහින ලෝකයකය. ඔහු දැන හෝ නොදැන කරමින් සිටිනුයේ ජනවර්ග අතර තිබෙන භේද තුනී කිරීම නොව උග්‍ර කිරීමය. සිංහල අන්තවාදී අදහස් පෝෂණය කිරීම බරපතළ වරදක් වනවා සේ ම දෙමළ අන්තවාදී අදහස් පෝෂණය කිරීමද ඒ සමාන වරදක් ලෙස සැලකිය හැකිය.

මම සිංහල ජාතිවාදී ව්‍යාපෘතියේ ආධාරකරුවකු නොවනවා සේ ම දෙමළ ජාතිවාදී ව්‍යාපෘතියේද ආධාරකරුවෙක් නොවෙමි. ජනවර්ග අර්බුදය ලෙස හැඳින්වෙන සමාජ අර්බුදය ගැන මට මගේම විග්‍රහයක් ඇත්තේය. සාම්ප්‍රදායික විග්‍රහය සිංහල දෙමළ ගැටුමට පමණක් සීමාවී තිබෙන අතර මාගේ විග්‍රහයට වර්ග ප්‍රශ්නය පමණක් නොව ආගම් හා කුල ප්‍රශ්නයද ඇතුළත්ය. ජාතිය ගොඩනැගිය යුතු ක්‍රමය ලෙස මා දකින්නේ කුල භේදයට තිබෙන සමාජ පිළිගැනීම නැති කොට වර්ග හා ආගම් අතර තිබෙන භේද මතවාදීමය වශයෙන් තුනී කොට සමානතා පදනමක් මත ඒ සියලු ජන කණ්ඩායම් ඇතුළත් වන ලෙස ශ්‍රී ලාංකික ජාතියක් ඇති කරගැනීමය. ඒ නව ජාතියේ බහුවිධ හා ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන්ට ගැළපෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ඇතිකර ගැනීමය.