අධ්‍යාපන පරිපාලනය මස්ත බාල්දු කිරීම

July 1, 2012
Publication:
Ivan criticises the absorption of 810 people without the required qualifications into the Sri Lanka Education Administrative Service at a time when 20,000 candidates sat an examination for 410 posts. He argues that such political favours degrade the service that runs the school system, and links the decision to wider failures in primary-school policy and the Z-score dispute over university admissions.

රටේ අනාගතය තීන්දු කරන ලොකුම සාධකය ලෙස සැලකිය හැක්කේ අධ්‍යාපනයයි. රටේ සමස්ත අධ්‍යාපන ක්‍රමයම තිබෙන්නේ අවුල් ජාලයකය. දැන් බලයේ සිටින ආණ්ඩුවේ ක්‍රියාකලාපය සේ ම මෙතෙක් බලයට පත්වූ හැම ආණ්ඩුවක් විසින්ම ක්‍රියාවට නගන ලද හිතුවක්කාරී ක්‍රියාකලාපයන් විසින් අධ්‍යාපනය තව තව අවුල් කළා මිස කිසිම ආණ්ඩුවක් තිබෙන අවුල ලිහන්නට අවංකව උත්සාහ දරා නැත.

අධ්‍යාපන පරිපාලනය අධ්‍යාපන සේවයේ වැදගත්ම අංශයක් ලෙස සැලකිය හැකිය. බොහෝ විදුහල්පතිවරුහු හා ඉහළ නිලධාරීහු අයත්වන්නෝ ඒ ගණයටය. එහෙත් අධ්‍යාපන පරිපාලන සේවයේ 2000ක් පමණ දෙනා අතුරින් ඉතාමත් සුළු පිරිසකට හැර වැඩි පිරිසකට නිසි සුදුසුකම් නැති බවට අධ්‍යාපන වෘත්තීය සමිති චෝදනා කරති. ඒ විෂයයෙහි අලුතෙන්ම වාර්තා වන පිස්සු නැටිල්ල බවට පත්ව ඇත්තේ අධ්‍යාපන පරිපාලන විභාගයෙන් සමත්ව එම සේවයේ තුන්වැනි පන්තියේ තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණයකින් 410 දෙනකු තෝරාගනිමින් තිබියදී අධ්‍යාපන ඇමතිවරයා විසින් එම තනතුරුවලට පත්කිරීමට ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාවට ඒ සඳහා පත්කළ කැබිනට් අනුකමිටුව විසින් අනුමැතිය ලබාදී තිබීමය. ඒ අනුව නිසි සුදුසුකම් නැතිව අධ්‍යක්ෂ තනතුරු දරන, ගරු උපදේශක සේවයේ යෙදීසිටින හා විදුහල්පති සේවයේ යෙදීසිටින 810 දෙනකු අධ්‍යාපන පරිපාලන සේවයට අන්තර්ග්‍රහණය කරගැනීමට නියමිතය.

ගැසට් කළ පරිපාලන තනතුරු 410 වෙනුවෙන් ඉදිරිපත් වී තිබෙන ඉල්ලුම්කරුවන් සංඛ්‍යාව 37,000කි. ඉන් සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 12,000කි. ඒ සඳහා සීමිත හා විවෘත යන අංශ දෙක සඳහා පැවති තරග විභාගයට පෙනීසිටි අයගේ සංඛ්‍යාව 20,000කි. විභාග අපේක්ෂකයන්ගෙන් අය කර තිබෙන ගාස්තුව රුපියල් 1000කි. ඒ මගින් විභාග ගාස්තු වශයෙන් පමණක් ආණ්ඩුව උපයා ඇති ආදායම රුපියල් දශ ලක්ෂ 20කි. අවසානයේ පුරප්පාඩු පුරවන්න යන්නේ සුදුසුකම් ඇති අයගෙන් නොව, සුදුසුකම් නැති අයගෙනි. මෙය ඉතාමත් ඛේදජනක තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. නුසුදුස්සන්ගෙන් පරිපාලන තනතුරු පිරවූ විට අධ්‍යාපන පරිපාලනයේ දැන් තිබෙන අවුල්සහගත තත්ත්වය උග්‍ර කිරීමට එය හේතුවනු නොවැළැක්විය හැකිය. එය පාසල් අධ්‍යාපන ක්‍රමය කෙරෙහි අයහපත් ලෙස බලපානු ඇත. අනෙක් අතට සුදුසුකම් තිබියදී එම තනතුරුවලට පත්වීමට නොහැකි වූ ගුරුවරුන් අතර එය විශාල කලකිරීමක් ඇතිකරන සාධකයක් ලෙස ක්‍රියාකරන විට එම තත්ත්වය පෙරළා පාසල් අධ්‍යාපනය අවුල් කරන සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැක. අවසානයේ මේ බහුභූත වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුවන්නේ පාසල් අධ්‍යාපනයේ නිරත අහිංසක ශිෂ්‍යයන්ටය.

අධ්‍යාපනයේදී දේශපාලකයන්ගේ හිතුවක්කාරීකම් පරිපාලන විෂයයට සීමාවී නැත. එය අධ්‍යාපනයේ අන් හැම අංශයක් කෙරෙහිම විනාශකාරී ලෙස බලපා තිබෙන බව පෙනේ.

මහජන වියදමෙන් අධ්‍යාපන කොමිසමක් පවත්වාගෙන යන්නේ අධ්‍යාපන විෂයයෙහි අවශ්‍ය උපදෙස් අධ්‍යාපන ඇමතිවරයාට ලබාදීම සඳහාය. පාසල් අධ්‍යාපන ක්‍රමයේ යහපත් වෙනසක් සඳහා ප්‍රාථමික පන්ති සාමාන්‍ය පාසල්වලින් ඉවත් කොට ප්‍රාථමික පාසල් ක්‍රමයක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව ජාතික අධ්‍යාපන කොමිසම විසින් අවධාරණය කරන ලදුව එය ආණ්ඩුව විසින් ද ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන ඇතත් එම යෝජනාව ක්‍රියාවට නගන්නට ආණ්ඩුව උනන්දුවෙන් ක්‍රියාකරන බවක් පෙනෙන්නට නැත.

උසස් පෙළ විභාග ප්‍රතිඵල අවුල විභාග දෙපාර්තමේන්තුව කෙරෙහි පැවති විශ්වාසය විශාල ප්‍රමාණයකට වාෂ්ප කිරීමට හේතුවිය. විෂය නිර්දේශ දෙකක් ඔස්සේ විභාගයට පෙනීසිටි සිසුන්ගේ ප්‍රතිඵල එකම පදනමක් මත ගණනය කොට ඉසෙඩ්ස්කෝර් ප්‍රතිඵල නිකුත් කිරීම වරදක් බව හා ඒ වරද නිවැරදි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබේ. නව නිර්දේශය යටතේ අපේක්ෂකයෝ 140,000ක්ද පැරණි නිර්දේශය යටතේ අපේක්ෂකයෝ 90,000ක්ද විභාගයට පෙනීසිටියෝය. දැන් පදනම් දෙකක් යටතේ නැවත ගණනය කළ විට නිකුත් කළ ප්‍රතිඵලයට වෙනස් ප්‍රතිඵලයක් නිකුත් කිරීමට සිදුවනු නොවැළැක්විය හැකිය. ඒ නිසා ඇතිවන විසමතාවට වගකියන්නේ කවුද?

රටේ පාලන බලයට පත්වන පාලක පක්ෂ කෙරෙන් නොකඩවා පළවෙමින් තිබෙන විශේෂඥ උපදෙස් නොසලකා හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමට ඔවුන්ට ලැබී තිබෙන බලය පාලනය කරන්නේ කෙසේද යන්න ශ්‍රී ලංකාව දේශපාලන තලයේ විසඳා ගත යුතුව තිබෙන ප්‍රධාන හා වැදගත්ම ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය.