දේශපාලන ප්‍රතිසංස්කරණ මගහැරයෑමේ හැකියාවක් නැත

June 3, 2012
Publication:
Had the country reorganised itself after the war, Ivan argues, it would have satisfied its people and reduced foreign pressure. Three insurrections have cost over 100,000 lives and many of the best leaders — a foreign scholar told a friend that no comparable country had lost so many — yet the causes were never addressed and the Youth Commission's findings, including on caste, were ignored. Every institution has decayed: Parliament, a discredited judiciary with a 4% conviction rate, schools reliant on tuition, hospitals short of drugs, chaotic buses, a tangled public pay system. Taxes on flour and fuel fall on ordinary people without matching services; corruption is built into a system of black-money elections; and the President stands above the law, which is why the 13th and 17th Amendments were never binding. Only a fundamental reorganisation, including a fair settlement with the Tamils, can prevent permanent division.

බාහිර බලපෑම් එල්ලවන්නට පෙර, යුද්ධය අවසන්වීමෙන් පසුව, සමාජ සම්බන්ධතාවල සේ ම සමස්ත ආයතන ක්‍රමයද ඇතුළත් දේශපාලන ක්‍රමය ප්‍රතිසංවිධානය කරන තැනකට යන්නට රට සමත් වී නම් අභ්‍යන්තරික වශයෙන් රටේ ජනයා තෘප්තිමත් තත්ත්වයකට පත්වන්නට ඉඩ තිබුණා සේ ම ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම ද අවම කරගන්නට හැකිවන්නට ඉඩ තිබුණි. එහෙත් ආණ්ඩුව එල්ටීටීඊය පරාජය කිරීමට සමත් වුවත් ඒ සමග විය යුතු ප්‍රතිසංවිධාන අවශ්‍යතාව බුද්ධිමය වශයෙන් තේරුම් ගැනීමට අසමත් විය.

කැරලි තුන

71 කැරැල්ල පරාජය කිරීමෙන් පසුද ග්‍රාමීය සමාජයේ සිංහල තරුණ පරපුර ආයුධ අතට ගෙන සටන් කරන තැනකට තල්ලු වූයේ ඇයිද කියන ප්‍රශ්නය බරපතළ ලෙස සොයා බලන තැනකට නොගියේය. ජේවීපී දෙවැනි කැරැල්ලෙන් පසුව තරුණ අසහනයට බලපෑ හේතු සොයා බලන තැනකට ගියද තරුණ අසහන කොමිෂන් සභාව ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාවට නගන තැනකට ගියේ නැත. එල්ටීටීඊ කැරැල්ල පරාජය කිරීමෙන් පසුද එසේ වූයේ ඇයිද කියන ප්‍රශ්නය සොයා බලන තැනකට ගියේ අපේ වුවමනාව නිසා නොව ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ බලපෑම් නිසාය. උගත් පාඩම් කොමිසමේ නිර්දේශය මුළු එකක් වශයෙන් ගත්විට එය අවසන විග්‍රහයේදී ඉල්ලා සිටින්නේ සමාජ සම්බන්ධතාවල සේ ම දේශපාලන ක්‍රමයේද ප්‍රතිසංවිධානයක් ඇති කරගැනීමේ අවශ්‍යතාවයි.

නිදහසින් පසු ශ්‍රී ලංකාව සන්නද්ධ කැරලි තුනකට මුහුණ දී තිබේ. එයින් දෙමළ වන්නේ එක් කැරැල්ලක් පමණය. ඉතිරි දෙකම සිංහල තරුණ කැරලිය. එම කැරලි හා කැරලි මර්දන ව්‍යාපාර නිසා හලා තිබෙන ලේ ප්‍රමාණය සේ ම, නැතිවූ ජීවිත ප්‍රමාණයද රටේ ජනගහනයේ තරමට නොගැළපෙන තරමට විශාලය. මිලියන 20ක ජනගහනයක් සහිත රටක කැරලි තුනක් නිසා අහිමි වූ ජීවිත සංඛ්‍යාව ලක්ෂයකට වැඩිය. කැරලිකරුවන් අතින් වූ කැරලි මර්දනය තුළ ආරක්ෂක හමුදා අතින් මරණයට පත් ඒ මිනිසුන් ලක්ෂය අතර සාමාන්‍ය මිනිසුන් පමණක් නොව ඉතාමත් සුවිශේෂ මිනිස්සුද සිටියෝය.

ඉතාමත් මෑත දිනකදී මා දීර්ඝ කාලයක් තිස්සේ දන්නා හඳුනන වෘත්තිකයකු, වැවිලිකරුවකු හා ග්‍රන්ථ කතුවරයකු සමග කරන ලද කතාබහකදී මාගේ බලවත් කම්පනයට හා කුතුහලයට හේතුවන නිරීක්ෂණයක් ඔහු ඉදිරිපත් කළේය. එය ඔහුගේ ස්වාධීන නිරීක්ෂණයක් නොව විදේශීය ශාස්ත්‍රාලයීය උගතකු විසින් ඔහු සමග කරන ලද කතාබහකදී ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණයකි. මෙවැනි අර්බුද නිසා ලේ වැගිරීම් ඇතිවූ රටවල් අතුරින් වැඩිම නායකයන් සංඛ්‍යාවක් මියගොස් තිබෙන රට ශ්‍රී ලංකාවය යන්න ඔහුගේ නිරීක්ෂණය වී තිබේ. මෙය මීට පෙර කවරදාවත් අසා නොතිබුණු තියුණු හා සත්‍ය නිරීක්ෂණයකි. රටේ දේශපාලන තලයේ පවතින කාන්තාර තත්ත්වය එහි ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. සිංහල හා දෙමළ සමාජවල වැඩිහිටි හා තරුණ පරපුරේ හොඳම සාරය මේ කැරලි නිසා රටට අහිමිකර තිබෙන්නේයැ”යි කිව හැකිය. ප්‍රශ්නයේ බරපතළකම ඒ සා විශාල වුවත් ඒ කැරලිවලට බලපෑ හේතු මොනවාද යන්න ගැන බැරෑරුම් ලෙස කරුණු සොයා බලන තැනකට යන්නට හෝ නැවත එවැනි දේවල් ඇති නොවන්නට සිදුකළ යුතුව තිබෙන වෙනස්කම් මොනවාද යන්න සොයා බලන තැනකට යන්නට රට සමත් වූයේ නැත.

71 කැරැල්ල පරාජය කිරීමෙන් පසුව අත්අඩංගුවට ගත් හා භාරවූ කැරලිකරුවන්ගේ කුලය ගැන සොයා බැලීමක් කළමුත් එවැනි තත්ත්වයක් ඇතිවන්නට බලපෑ හේතු මොනවාද යන්න ගැන ගැඹුරු සොයා බැලීමකට නොගියේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ තවත් අවුරුදු 16කට පසුව ප්‍රමාණයෙන් සේ ම කෘරත්වයෙන්ද වඩා විශාල කැරැල්ලක් රටේ ඇතිවීමය. විශාල ජීවිත විනාශයක් ඇතිවීමෙන් පසුව තරුණ අසහනයට හේතු සොයා බලන කොමිෂන් සභාවක් පත් කළද කොමිෂන් සභාව නිර්දේශ කළ කිසිදු ප්‍රතිසංස්කරණයක් ක්‍රියාවට දැමුවේ නැත. මෙම කැරලි හා කුල ප්‍රශ්න අතර සම්බන්ධයක් ඇති බව තරුණ අසහන කොමිසමේ එක් වැදගත් නිරීක්ෂණයක් විය. දෙවැනි කැරැල්ල පරාජයවීමෙන් පසුව ජවිපෙ පාර්ලිමේන්තු මාවතට පිවිසුණද දකුණේ සිංහල තරුණ පරපුර අතර අදත් ඇත්තේ අතිවිශාල අතෘප්තියකි. මීට ටික කලකට පෙර රූපවාහිනී වැඩසටහනකට ගිය අවස්ථාවකදී කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයකුගෙන් අපූරු කතාවක් අසන්නට ලැබුණි. ඒ මහාචාර්යවරයාද සම්බන්ධ ආයතනයක් විසින් තරුණ පරපුරේ අපේක්ෂා පිළිබඳව කර තිබෙන සමීක්ෂණයකට අනුව වැඩිම තරුණ පිරිසකගේ අපේක්ෂාව වී ඇත්තේ වඩා හොඳ දියුණු රටකට පලායෑමය. එය රටේ පවතින සැබෑ තත්ත්වය ලෙස සැලකිය හැකිය. සුදුසුකම් හා කුසලතා ඇති අය නීත්‍යනුකූල ආකාරයටද, එසේ නැති අය නීති විරෝධී ආකාරයටද එසේ කරති.

ආයතන ක්‍රමයේ ගරා හැලීම

අපේ රටේ සාධාරණ ලෙස හා කාර්යක්ෂම ලෙස කටයුතු සිදුකැරෙන එකුදු ආයතන ක්‍රමයක්වත් ඉතිරි වී නැතැ”යි කිව හැකිය. විශාල මහජන වියදමක් දරා පවත්වාගෙන යන නීති සම්පාදක ආයතනය ලෙස සැලකිය හැකි පාර්ලිමේන්තුව සිය යුතුකම් හා වගකීම් ප්‍රශස්ත ලෙස ඉටු කරන ආයතනයක් ලෙස සැලකිය නොහැකිය. අධිකරණය තිබෙන්නේද සිය විශ්වාසය හා ගෞරවය අහිමි කරගත් තත්ත්වයකය. අපරාධ නඩුවලින් වැරදිකරුවන් වන්නන්ගේ අනුපාතිකය තිබෙන්නේ 4%ක මට්ටමකය. රටේ අපරාධ වර්ධනය කෙරෙහි බලපා තිබෙන ඇත්ත හේතුව තිබෙන්නේ එතැනය. කාන්තාවක් ගැබ් ගත් විට සිය ස්වාමිපුරුෂයා සමග උපදින දරුවාට සුදුසු පාසලක් සොයාගැනීම සඳහා සැලසුම් කරන්නට සිදුවී තිබෙන්නේය. මෙය ශීලාචාර තත්ත්වයක් ලෙස සැලකිය හැක්කේ කෙසේද? මෙවැනි නොමනා තත්ත්වයන් පවත්වාගෙන යන්නේ එම නොමනා තත්ත්වය වෙනස් කිරීමේ හැකියාව තිබියදීය. නිදහස් අධ්‍යාපනය සඳහා දැවැන්ත වියදමක් දරන මුත් ටියුෂන් අධ්‍යාපනය සඳහාද අතිවිශාල වියදමක් දරන්නට මහජනයාට සිදුවී තිබෙන්නේය. උසස් පෙළ විභාග ප්‍රතිඵලවලදී ශිෂ්‍යයන්ට ලබාදෙන්නේ ඉසෙඩ්ස්කෝර් ප්‍රතිඵලය පමණය. පෙනීසිටි විෂයයන් සඳහා ලබාගත් ලකුණු වෙනම දැනගැනීමේ අයිතිය ඔවුන්ට අහිමි කර තිබේ.

නිදහස් සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සඳහා දරන මහජන වියදමද අතිවිශාලය. ආණ්ඩුවේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා අයට නියම කැරෙන ඖෂධවලින් වැඩි ප්‍රමාණයක් බාහිරින් මිලදීගැනීමට සිදුවී තිබේ. පොදු ප්‍රවාහන සේවාව තිබෙන්නේද අවුල් ජාලාවකය. කාලසටහන් ක්‍රමයකට බස් දුවවන තත්ත්වයක් ඇති කිරීමටවත් තවමත් හැකිවී නැත.

රජයේ සේවකයන්ගේ වැටුප් ක්‍රමය තිබෙන්නේද මහා අවුලකය. විවිධ වර්ගවලට වැටෙන සේවකයන්ගේ වැටුප් එකට ගැටගසා තිබෙන තත්ත්වයක් තුළ බරපතළ විසමතා ඇති අයට පවා සහන සැලසිය නොහැකි තත්ත්වයක් පවතී. මේ ක්‍රමයෙන් ඉවත් වී නොකඩවා වැටුප් වැඩිකර ගැනීමේ වාසනාව හිමිකරගෙන සිටින්නේ අධිකරණ නිලධාරීන් හා දේශපාලනඥයන් පමණය. ඔවුන්ද සිටියේ මෙම විකාර ක්‍රමය තුළමය. එහෙත් ඔවුන්ට තිබෙන අතිවිශාල බලය නිසා සටකපට ක්‍රමයකට මෙම ක්‍රමයෙන් ඉවත්වීමේ හැකියාව ඔවුහු හිමිකර ගත්තෝය. මෙම අශෝභන හා පීඩාකාරී තත්ත්වය ජයගැනීමට නම් ක්‍රමයේ වෙනසක් දිනාගැනීම අත්‍යවශ්‍ය බව තේරුම් ගැනීමට වෘත්තීය සමිති ව්‍යාපාර තවමත් සමත් වී නැත.

බදු පිළිවෙත

රජයේ බදු ප්‍රතිපත්තියද නැවත විමර්ශනයට ලක්විය යුතුව තිබෙන වැදගත් අංශයකි. ඉහවහා ගිය දූෂණය, නාස්තිය හා අක්‍රමවත් බව නිසා දේශපාලන ආයතන ක්‍රමය නඩත්තු කිරීමට යන වියදම රටට ඔරොත්තු නොදෙන තරම් විශාල බරක් බවට පත්වී තිබේ. බදු එකතු කරන ආයතනවල පවත්නා දූෂිත හා අක්‍රමවත් බව නිසා ආදායම් බදු වශයෙන් උපයන බදුවල ප්‍රමාණය ප්‍රශස්ත තත්ත්වයක තබාගැනීමට නොහැකි වී තිබේ. මේ නිසා දේශපාලන ආයතන ක්‍රමය පවත්වාගෙන යෑමට අවශ්‍ය වියදමෙන් විශාල වැඩි කොටසක් උපයා ගන්නට සිදුවී තිබෙන්නේ විශාල අලෙවියක් ඇති පාරිභෝගික භාණ්ඩ මත පනවන බදු මගිනි. දැන් කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන මෙම ක්‍රමය යටතේ වැඩියෙන්ම බදු ගෙවන්නට සිදුවී තිබෙන්නේ විශාල ආදායම් උපයන ධනවත් පුද්ගලයන්ට හෝ ධනවත් ආයතනවලට නොව සාමාන්‍ය මහජනයාටය.

සිගරට් හා මත්පැන් අතහැර මෙම තත්ත්වය සලකා බැලිය හැකි ක්‍රමයක් තිබේ. තිරිඟු පිටි ආශ්‍රිත බේකරි නිෂ්පාදන වැඩියෙන්ම ආහාරයට ගන්නේ ධනවතුන් නොව දුප්පතුන්ය. තිරිඟු පිටි ආශ්‍රිත ආහාර පරිභෝජනය අධෛර්යමත් කිරිම සඳහා තිරිඟු පිටි සඳහා විශේෂ බද්දක් අය කරන බවට ආණ්ඩුවලට තර්ක කළ හැකිය. එහෙත් බදු අය කිරීම නිසා තිරිඟු පිටි අලෙවියේ විශාල වෙනසක් ඇති නොවන බව හැම ආණ්ඩුවක්ම දන්නේය. ඒ මගින් සිදුවී තිබෙන්නේ දේශප්‍රේමී සටන් පාඨයකට මුවාවී විශාල වශයෙන් පරිභෝජනය කරන ද්‍රව්‍යයකින් ලොකු බදු මුදලක් අයකර ගැනීමට ආණ්ඩුවට ඉඩ ලැබීමය. 2001 වර්ෂයේදී තිරිඟු පිටි ආනයනය සඳහා කරන ලද වියදම (රුපියල් අගය අනුව) රුපියල් දශ ලක්ෂ 20470.64කි. එම වසරේ තිරිඟු පිටිවලින් උපයාගෙන තිබෙන බදු ආදායම රුපියල් දශ ලක්ෂ 6503.05කි. බද්දේ අනුපාතිකය 31.76%කි. තිරිඟු පිටිවලින් ව්‍යාපාරිකයන් උපයන ලාභය නොසලකා ගණන් බැලීමක් කළහොත් පාරිභෝගිකයකු මිලදී ගන්නා රුපියල් 100ක තිරිඟු පිටි තුළ ඇති රජයේ බදු ආදායම රුපියල් 31.78කි. එක පවුලක් මසකට පාන් හා තිරිඟු පිටි සඳහා කරන වියදම රුපියල් 500ක් වුවහොත් එම රුපියල් 500 තුළ ඇති බදු ආදායම රුපියල් 158.80කි.

පෙට්‍රල් හා ඩීසල් ද ආණ්ඩුවට විශාල ප්‍රමාණයන්ගෙන් බදු ආදායම් ලබාදෙන මාර්ග බවට පත්ව තිබේ. 2011 වසරේදී පෙට්‍රල් ආනයන වියදම රුපියල් මිලියන 44662.57කි. ඉන් උපයා තිබෙන බදු ආදායම රුපියල් මිලියන 15897.22කි. බදු අනුපාතිකය 35.59%කි. එවිට වෙළෙඳ ලාභය නොසලකා ගණන් බැලීමක් කළහොත් මිලදී ගන්නා රුපියල් 100ක පෙට්‍රල්වල ඇති බදු වටිනාකම රුපියල් 35.59කි. ඩීසල්වල පවතින තත්ත්වයද මීට සමානය. ඩීසල් හා පෙට්‍රල්වල මිල ගෙවන්නේ මෝටර් රථ, මෝටර් සයිකල් හෝ ත්‍රීවිලර් ඇති අය පමණක් නොවේ. මිලක් ගෙවා බස්රථවලින් වෑන්වලින් හෝ ත්‍රීවිලර් මගින් ගමන් ගන්නා අයද ඊට දායක වෙති. නිවසක මාසික ප්‍රවාහන වියදම රුපියල් 1000ක් ලෙස සලකතොත් එම වියදම තුළ ඇති බදු වියදම රුපියල් 355.90කි. සාමාන්‍ය ජනතාවගේ ජීවිත දුෂ්කර කිරීමට මෙම විශේෂිත බදු ක්‍රමයද හේතුවී තිබෙන බවට සැකයක් තිබිය නොහැකිය. පාරිභෝගික භාණ්ඩවලින් බදු අය නොකළ යුතුයැ”යි මම නොකියමි. වැදගත්ම දේ අනියම් ලෙස ගෙවන බදුවල වටිනාකමට සරිලන සේවාවක් මහජනයාට ලබාදීමට සමත් වී තිබේද යන්නය. මහජනතාවට ලබාදෙන සේවාවන්ගේ වටිනාකම හා මහජනයාගෙන් අයකර ගන්නා බදුවල වටිනාකම අතර මහජනයාගේ අවාසියට හේතුවන විශාල පරතරයක් ඇත්නම් එය සාධාරණ තත්ත්වයක් ලෙස සැලකිය නොහැකිය. අවසාන විග්‍රහයේදී මහජනයාට කිසිවක් නොමිලේ ලැබෙන්නේ නැත. නොමිලේ දෙන හැම දේකටම මහජනයා ගෙවන්නේය. මහජනයා ගෙවන බදු මිලෙහි වටිනාකමට සරිලන සේවාවක් මහජනයාට ලැබෙන්නේද යන ප්‍රශ්නයට දිය හැකිව තිබෙන සාධාරණ පිළිතුර නැත යන්නයි.

රටේ ඉහවහා ගිය දූෂණයද ශ්‍රී ලංකාව ජයගත යුතුව තිබෙන ලොකු අභියෝගයක් ලෙස සැලකිය හැකිය. දූෂණය මර්දනය කළ නොහැකි දෙයක් බවට පත්ව තිබෙන්නේ රටේ පවතින දේශපාලන ක්‍රමය දූෂණය අත්තිවාරමක් කොටගෙන සකස් කර තිබෙන දේශපාලන ක්‍රමයක් වන නිසාය. දේශපාලන ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ පාලන බලය හිමිකර ගන්නා කණ්ඩායමට රට පාලනය කරනවාට අතිරේකව රටේ වස්තුව කොල්ලකාගැනීමේ අයිතියද ලැබෙන ආකාරයටය. එසේ වස්තුව කොල්ල කන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම වළකන ආකාරයටය. දූෂිතයන් සියලුදෙනා ආණ්ඩු පක්ෂයට හෝ ආණ්ඩු බලයට සම්බන්ධ අය ලෙස සැලකිය නොහැකිය. ඉන් පිටස්තරවද දූෂණය පවතී. එහෙත් දේශපාලන ක්‍රමය සකස් කර තිබෙන්නේ දූෂණයට අනුබල දෙන ආකාරයට වන නිසා ආණ්ඩු බලයට සම්බන්ධ දූෂිතයන්ට එරෙහිව පමණක් නොව, ඉන් පිටස්තර දූෂිතයන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් ගොඩනැගී තිබේ.

දේශපාලන ක්‍රමයේ වටාපිටාව සැකසී ඇත්තේද අයථා ලෙස ධනය උපයා ගැනීමට පොළඹවන ආකාරයටය. මැතිවරණ වියදම් සඳහා තිබුණු සීමා නීති අවලංගු කර තිබේ. හැම මැතිවරණයක් සඳහා ම මහා පරිමාණයේ මුදල් නැතුවම බැරි අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත්වී තිබේ. ජනාධිපතිවරණයකට මුහුණ දෙන ප්‍රධාන අපේක්ෂකයකුට රුපියල් බිලියන 3-4ක වියදමක් අවශ්‍ය වේ. ප්‍රාදේශීය සභා මැතිවරණයකට තරග කරන අපේක්ෂකයකුට පවා දැන් මිලියන ගණනක වියදමක් දරන්නට සිදුවේ. දරන ලද විශාල වියදම් පියවා ගැනීම සඳහාත් අනාගතයේ මුහුණ දෙන්නට සිදුවන මැතිවරණවලට අවශ්‍ය වියදම් සොයාගැනීම සඳහාත්, තමන්ට ලැබෙන බලයෙන් අයථා ලෙස ධනය උපයා ගැනීමේ අයිතියත් ඇතැ”යි ජයග්‍රාහකයෝ විශ්වාස කරති. දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය විශාල ප්‍රමාණයේ මුදල් ලබාගන්නේ කළු සල්ලිකාරයන්ගෙනි. රටේ කළු සල්ලිකාරයන් ඔවුන්ගේ මුදල් අපුල්ලන වාන් බවට පත්කරගෙන තිබෙන්නේ මැතිවරණයන්ය. බලය ලබන්නන් ලබාගත් මුදල් ඔවුන්ට ආපසු ගෙවන්නේ මහජන මුදලින් හෝ මහජන සම්පත්වලිනි.

නීතියේ ආධිපත්‍යය

රටේ නීතියක් පාලනයක් නැතිකමද මුළු රටටම පොදුවේ බලපා තිබෙන බරපතළ ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. එම අශෝභන තත්ත්වයට හේතුවී තිබෙන්නේද දේශපාලන ක්‍රමයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයා කරන කවර ක්‍රියාවක් හෝ ප්‍රශ්න කරන්න අධිකරණයට බලයක් නැත. මෙය අශෝභන තත්ත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ලෝකයේ බලවත්ම ජනාධිපතිවරයා ලෙස සැලකෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාය. එහෙත් ඔහු නීතියට පටහැනිව ගනු ලබන ඕනෑම තීරණයක් හෝ ක්‍රියාමාර්ගයක් අවලංගු කිරීමේ බලය ඇමරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය සතුය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එවැනි බලයක් අධිකරණයට නැත.

ජනාධිපතිවරයා රටේ රාජ්‍ය නායකයා වනවාට අතිරේකව දේශපාලන පක්ෂයක හා දේශපාලන කණ්ඩායමක නායකයා වශයෙන් ක්‍රියා කරයි. ඔහුට බලයට පත්වීමට විශේෂ වශයෙන් ආධාර කළ පිරිසක් සිටින්නේය. බලය පවත්වාගෙන යෑම සඳහා තවදුරටත් ඔවුන්ගේ ආධාර අවශ්‍ය වන අතර ඊළඟ තරගය ජයගැනීම සඳහාද ඔවුන්ගේ ආධාර අවශ්‍ය වේ. ඔවුන්ට තිබෙන විශේෂ බැඳීම නිසා අවශ්‍ය හැම අවස්ථාවකදීම තමන්ට ලැබී තිබෙන මුක්තියේ ආවරණය ඔවුන්ටද ලබාදෙන්නට ඕනෑම ජනාධිපතිවරයකුට සිදුවන්නේය. ජනාධිපතිවරයා නීතියට ඉහළින් සිටින නිසා ඔහු කියන දෙයක් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් කිසිම ආයතනයකට නැත.

1977 සිට වර්තමානය දක්වා ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ප්‍රබල පුද්ගලයන්ට එරෙහිව අල්ලස් දෙපාර්තමේන්තුවට හා පසුව ඇති කරගත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත් වූ කිසිම පැමිණිල්ලක් තර්කානුකූල අවසානයක් දක්වා ඉදිරියට ගෙන ගොස් නැත. ඒ හැම අවස්ථාවකදීම ඔවුන්ට රැකවරණය ලැබුණේ ජනාධිපතිවරයාගෙනි. ජනාධිපතිවරයාට ලැබී තිබෙන මුක්තියේ රැකවරණය ඔහුටම පමණක් සීමාවී නැති බව හා ඔහුට අවශ්‍ය ඕනෑම පුද්ගලයකුට ඒ මගින් රැකවරණය ලබාදිය හැකි බව ඉන් පෙනීයයි.

13 වන හා 17 වන සංශෝධනය නැවත ක්‍රියාත්මක කරවා ගැනීම වෙනුවෙන් හඬ නගන උගතුන්ද, ව්‍යවස්ථාවේ යථා ස්වභාවය සැලකිල්ලට නොගෙන එසේ කතා කරන බව පෙනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර ඇත්තේ සකලවිධ බලය, විධායක ජනාධිපති අත කේන්ද්‍ර වන ආකාරයටය. ව්‍යවස්ථාව සකස් කර තිබෙන්නේද ජනාධිපති සතු ඒ බලය සීමා කිරීමට හෝ නැවත උදුරා ගැනීමට ඉඩක් නැති ආකාරයකටය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් පවා ඒ බලය සංශෝධනය කළ නොහැකිය. සංශෝධනය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අතිරේකව ජනමතවිචාරණයකින්ද අනුමත වේ නම් පමණය. එහිදීද ජනමතවිචාරණයක් පැවැත්වීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික දර්ශනය වේයැ”යි කිව හැකිය.

13 වැනි සංශෝධනය සේ ම 17 වැනි සංශෝධනයද ව්‍යවස්ථාවේ වන එම මූලික දර්ශනයට පටහැනිය. ඒ මගින් අපේක්ෂා කරන්නේ ජනාධිපති සතුව තිබෙන බලය පාලනය කිරීම හෝ ඔහුට තිබෙන බලතලවලින් කිසියම් ප්‍රමාණයක් වෙනත් ආයතනවලට පැවරීමය. එවැනි ව්‍යවසථා සංශෝධනයක් ප්‍රායෝගික හා වලංගුවීමට නම් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබාදී තිබෙන පරම බලය ඉවත් කොට ඔහු නීතියට යටත් තත්ත්වයකට ගෙනයා යුතුය. ඔහු පරම බලය හිමි හා නීතියට ඉහළින් සිටින තැනක තබාගෙන ඔහුගේ බලතල පාලනය කිරීමට නීති සැකසීම තේරුමක් නැති ක්‍රියාවකි. එවැනි නීති සංශෝධනයකට ඔහු ගරු කළයුත්තේ ඔහු කැමති නම් පමණය. 13 හා 17 යන ව්‍යවස්ථා සංශෝධන දෙකම විශේෂ දේශපාලන වටාපිටාවක් තුළ නීතිගත කරනු ලැබූ සංශෝධන වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එම නීති සංශෝධන දෙකම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අතිරේකව ජනමත විචාරණයකින්ද අනුමතවීම අත්‍යවශ්‍ය වුවත් අධිකරණය ඒ අවස්ථා දෙකේදීම නීතිය අකුරටම ක්‍රියාත්මක නොකළේ අර්බුද අවස්ථා දෙකකදී ඒවා ජයගැනීමට බලයේ සිටි ආණ්ඩු දෙකට එම සංශෝධන දෙක සම්මත කරවා ගැනීම අවශ්‍ය වූ නිසාය. එහෙත් එම නීති සංශෝධන දෙක විධායක ජනාධිපතිවරයා කෙරෙහි නීතිමය බැඳීමක් ඇති නොකළේය. ඒ නීති සංශෝධන දෙකම පැවතුණේ විධායක ජනාධිපතිවරයා කැමති නම් ක්‍රියාත්මක කළ හැකි අකමැති නම් ක්‍රියාත්මක කිරීමෙන් වැළකී සිටිය හැකි ව්‍යවස්ථා සංශෝධනයන් ලෙසය.

නීතියේ පාලනයක් ඇති කිරීමට නම් ජනාධිපතිවරයා නීතියට යටත් නීතියට වගකියන තත්ත්වයකට ගෙන ආ යුතුය. ඒ සමග අධිකරණයද නීතියට අනුකූලව ක්‍රියාකරන තැනකට ගෙනා යුතුය.

දෙමළ දුක්ගැනවිලි

දෙමළ ජනයාගේ ප්‍රශ්නයද ඔවුන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස විසඳා ගැනීම ඉතා වැදගත්ය. ප්‍රභාකරන්ගේ කැරැල්ල පරාජය කිරීමට සමත් වී තිබෙන බව සත්‍යයකි. එහෙත් දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ගේ විශ්වාසයට හේතුවන ලෙස විසඳා ගැනීමට නොහැකි වෙතොත් ආයුධ සන්නද්ධ කැරැල්ලක් නැතිව වුවත් ස්ථිර බෙදීමක් ඇතිවීමේ අනතුරක් පවතී. එම අනතුර නිවැරදි ලෙස තේරුම් ගැනීමට ආණ්ඩුව සමත් වී ඇති බවක් පෙනෙන්නට නැත. එවැනි තත්ත්වයක් ඇතිවීම වළකාගත හැකිවනු ඇත්තේ දෙමළ සන්ධානය කෙරෙහි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් නොව, ඔවුන් සමග විශ්වාසයෙන් එකට වැඩ කරන තැනකට යමින් ඔවුන්ගේ සාධාරණ දුක්ගැනවිලිවලට සාම්ප්‍රදායික ආකාරයට නොව නවමු ආකාරයකට විසඳුම් ලබාදෙන තැනකට යෑමෙනි. ඒ අරමුණ ජයගත හැකිවනු ඇත්තේ සමාජ ක්‍රමය හා දේශපාලන ක්‍රමය මූලික ප්‍රතිසංවිධානයකට ලක්කිරීමේ අවශ්‍යතාව පිළිගනිමින් ඊට ගැළපෙන ඉදිරි දර්ශනයක් මත පිහිටා ක්‍රියාකිරීමෙන් පමණය.