ඉතිරි කිරීමේ බැංකුවේ කම්බා හොරකම

May 13, 2012
Publication:
On the chairman's orders, the National Savings Bank agreed to buy 13% of The Finance Company for Rs 390 million from four individuals — two of them directors — at about Rs 50 a share when the market price was Rs 30–32 and the real value perhaps under Rs 15, handing them some Rs 140 million. A senior officer alerted the Treasury Secretary and the President and the cheque was stopped, but the sellers were paid through Sampath Bank. The chairman, Pradeep Kariyawasam, is a political appointee and the husband of Chief Justice Shirani Bandaranayake, whom the government had placated with state posts for him when it passed her over for Asoka de Silva. Ivan warns that the case cannot be handled fairly, recalls how Sarath N. Silva destroyed the judiciary's standing, and says no ethnic solution matters without a trustworthy judiciary.

අපේ රටේ මහා පරිමාණයෙන් සිදුවන වංචාවන්ගේ ප්‍රමාණය ඉතා විශාල වන අතර එවැනි වංචා සිදුවන ආකාරයද විවිධාකාරය. ලොකු වංචා වැඩි වශයෙන් සිදුවන්නේද පොදු දේපළ විෂයෙහිය. ඒ ගැන අපට අලුත්ම කතාවක් අසන්නට ලැබෙන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙනි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව අරමුදල් තිබෙන පොහොසත් ආයතනයක් ලෙස සැලකිය හැකිය. එම බැංකුවේ සභාපතිගේ නියමය අනුව රුපියල් මිලියන 390කට, ෆිනෑන්ස් සමාගමේ කොටස් අයිතියෙන් 13%ක කොටස් මිලදී ගෙන තිබේ. ඒ වන විට කොටස් වෙළෙඳපොළේ එක් කොටසක් විකිණෙමින් තිබී ඇත්තේ රුපියල් 30-32 අතර මිලකටය. බැංකුව පුද්ගලයන් සිව්දෙනකුගෙන් කොටස් මිලදී ගෙන තිබෙන්නේ රුපියල් 50කට ආසන්න මිලකටය. බැංකුව ඒ සියලු කොටස් මිලදී ගෙන තිබෙන්නේද පුද්ගලයන් සිව්දෙනකුගෙනි. එම විකුණුම්කරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මන්ඩලයේ සාමාජිකයන් වෙති. ඒ ඩැනියෙල් විජයමාන්න හා සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සහෝදරයා වන ABC රේඩියෝ ආයතනයේ ප්‍රධානියා වන රෙනොර් සිල්වාය.

ද ෆිනෑන්ස් සමාගමේ ශේෂ පත්‍රය ශක්තිමත් ශේෂ පත්‍රයක් ලෙස සැලකිය නොහැකිය. ඒ අර්ථයෙන් කොටස් වෙළෙඳපොළේ එකී කොටස් විකිණෙමින් තිබූ රුපියල් 30-32 දක්වා වන මිලද සැලකිය හැක්කේ කෘත්‍රිම මිලක් වශයෙනි. ශේෂ පත්‍රයේ ඇත්ත වටිනාකම අනුව බලනතොත් කොටසක ඇත්ත මිල රුපියල් 15කටත් වඩා අඩුවිය හැකිය.

ද ෆිනෑන්ස් සමාගමේ කොටසක් සඳහා කොටස් වෙළෙඳපොළේ පැවති මිල රුපියල් 32ක් වශයෙන් සැලකුවද ජාතික ඉතිරි කිරීමේ බැංකුව මිලදී ගෙන ඇත්තේ කොටසක් රුපියල් 50ක් වැනි මිලකට නම් මෙම වංචාසහගත ගනුදෙනුවෙන් ලාභ ඉපැයූ කිහිපදෙන උපයා තිබෙන ශුද්ධ ලාභය රුපියල් මිලියන 140.4කි. එය පොදු දේපළ විෂයෙහි වත්කම් අත්පත් කරගැනීමේ ස්වරූපයකින් සිදුවී තිබෙන විශාල වංචාවක් ලෙස සැලකිය හැකිය. මෙම ගනුදෙනුවෙන් බැංකුවට සිදුකර තිබෙන අලාභය ඔවුන් උපයාගෙන තිබෙන ලාභයට වඩා විශාලය. බැංකුවට සිදුවී තිබෙන අලාභයේ ඇත්ත ප්‍රමාණය කොටස් මිලදී ගැනීම වෙනුවෙන් වැය කරන ලද මුළු මුදලෙන් 80%ක් පමණ විය හැකිය.

සිදුවෙමින් තිබෙන මෙම සැකකටයුතු ගනුදෙනුවේ ස්වභාවය තේරුම්ගත් බැංකුවේ ඉහළ නිලධාරියකු ඒ බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම්දීමෙන් පසු ලේකම්වරයා ජනාධිපතිට දැනුම් දී එම කොටස් මිලදී ගැනීම වෙනුවෙන් ලියා තිබෙන චෙක්පත මුදල් වීම වළකා ඇතත් කොටස් හිමියන් සිව්දෙනාට ලැබිය යුතු මුදල් සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට සම්පත් බැංකු ගිණුමෙන් ලැබී තිබේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්පත් බැංකුවට ලියන ලද චෙක්පත් මුදල් වී නැතත් තිබෙන නීතිරීති අනුව ඉතිරිකිරීමේ බැංකුව ඒ මුදල සම්පත් බැංකුවට ගෙවිය යුතුය. මෙම සැකකටයුතු ගනුදෙනුව ගැන විනිමය කොමිසම පරීක්ෂණයක් අරඹා ඇතත් මෙම අවුල අවසන් වෙන්න යන්නේ කෙසේද යන්න පැහැදිලි නැත.

ජාතික ඉතිරි කිරීමේ බැංකුව පැත්තෙන් චෝදනාලාභියා බවට පත්ව තිබෙන්නේ එහි සභාපති ප්‍රදීප් කාරියවසම්ය. ඉතාමත් සැකකටයුතු හා අසාමාන්‍ය ආකාරයකට මෙම ගනුදෙනුවට අනුමැතිය දුන් පුද්ගලයා බවට චෝදනා ලබා සිටින්නේ ඔහුය. ඔහු දේශපාලන පත්වීම්ලාභියකු ලෙස සැලකිය හැකි අතර ඒ සමග ඔහු රටේ අගවිනිසුරුවරියගේ ස්වාමිපුරුෂයාද වේ. දෙවැනි කී සම්බන්ධය බැංකුවට සාධාරණ වන ලෙස ලිහාගැනීමට තිබෙන හැකියාව සීමාකර ඇතැ”යි සිතිය හැකිය.

මෙම පුද්ගලයා අගවිනිසුරුවරියගේ ස්වාමිපුරුෂයා වන නිසාම ඔහු කොතරම් බරපතළ වරදක් කර ඇතත් ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට හැකිවනු ඇතැ”යි සිතිය නොහැකිය. රටේ අධිකරණයේ ප්‍රධානියා වශයෙන් ඇගේ අසන්තෝෂයට හේතුවන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ආණ්ඩුව කැමති වනු ඇතැ”යි සිතිය නොහැකිය. මෙම අවුල ලිහාගැනීමට පහසු වටාපිටාවක් ඇති කරනු පිණිස බටහිර රටවල හෝ ඉන්දියාවේ මෙන් අගවිනිසුරුවරිය සිය තනතුර අතහැර යන ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැ”යි ද සිතිය නොහැකිය. පොදු දේපළ වංචා කිරීම හෝ ඒවාට හානිපැමිණවීම නීතිය අනුව සැලකෙන්නේ බරපතළ දඬුවම් ලැබිය යුතු වරදක් ලෙසය. එහෙත් රටේ අගවිනිසුරුවරියගේ ස්වාමිපුරුෂාය මෙම ආරාවුලේ ප්‍රධාන චූදිතයකු වී සිටින තත්ත්වයක් ඉදිරියේ මෙම ආරාවුල සාධාරණ ලෙස විසඳාගැනීමට හැකිවනු ඇතැ”යි සිතිය නොහැකිය.

අගවිනිසුරු සරත් නන්ද සිල්වා ධුරයෙන් විශ්‍රාම යන අවස්ථාව වනවිට නියමාකාරයෙන් නම් එම තනතුරට පත්විය යුතුව තිබුණේ විනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියයි. එහෙත් ඇය සාපේක්ෂ වශයෙන් ගත්විට තරුණ වයසක සිටීම නිසා විශ්‍රාම යන වයස ආසන්නයේ සිටි විනිසුරු අශෝක ද සිල්වා එම තනතුරට පත්කිරීමට ආණ්ඩුවට අවශ්‍ය විය. ඒ මගින් ශිරානි බණ්ඩාරනායක මහත්මිය තුළ අසතුටක් ඇතිවීම වැළැක්වීම සඳහා රක්ෂා විරහිත තත්ත්වයක සිටි ඇගේ ස්වාමිපුරුෂයාට ආණ්ඩුව ආණ්ඩුවේ ලොකු තනතුරක් දුන්නේය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයට පත්කිරීම ඔහුට ලබාදෙන ලද තනතුර විය. එහෙත් ඒ මගින් ආණ්ඩුව රටට දෙන ලද සංඥාව යහපත් සංඥාවක් නොවීය. අගවිනිසුරු ධුරයේ සිටි අශෝක ද සිල්වා මහතා විශ්‍රාමයෑමෙන් පසු ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයට පත්වූ අතර එතුමියගේ ස්වාමිපුරුෂයා පසුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ඉවත් කොට ඒ වෙනුවට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ධුරයට පත් කරන ලදි. ප්‍රදීප් කාරියවසම් මහතා ආණ්ඩුවේ ලොකු තනතුරක් ලබාගැනීම අධිකරණයේ ප්‍රතිරූපය දුර්වර්ණ කිරීමට හේතුවූ අතර දැන් ඔහු පැටලී සිටින අවුල එම තත්ත්වය උග්‍ර කිරීමට හේතුවනු ඇතැ”යිද සිතිය හැකිය.

බොහෝ දෙනකුට දැන් අමතක වී ඇතත්, අධිකරණයට තිබූ ගෞරවය බොහෝ දුරකට නැතිකළ පුද්ගලයා වූයේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාය. මුළුමනින් නොවෙතත් කිසියම් විශාල ප්‍රමාණයකට ස්වාධීනව ක්‍රියාකරන අධිකරණයක් එකල තිබීම නිසා මිනිසුන්ගේ පිළිගත් අයිතිවාසිකම් නොසලකා ක්‍රියාකිරීමට බලයේ සිටි ආණ්ඩු බිය විය. අගතියක් ඇතිවූ පුද්ගලයකුට ආත්ම විශ්වාසයකින් යුතුව යුක්තිය ඉටුකරවා ගැනීම පිණිස විශ්වාසයකින් යුතුව අධිකරණය ඉදිරියට යෑමේ හැකියාව ලැබී තිබුණි. ඒ තත්ත්වය කනපිට හරවන ලද පුද්ගලයා වූයේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාය.

ඔහු එම ගරු කටයුතු තනතුරට පත්කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබුණු අවස්ථාවකදීය. එවකට බලයේ සිටි ජනාධිපතිනිය අධිකරණයේ ස්වාධීන ගමන්මග දැක්කේ ආණ්ඩුවට බරපතළ වැරදි කිරීමට ඉඩ නොදෙන තත්ත්වයක් වශයෙන් නොව ආණ්ඩුව අස්ථාවර කිරීමට දරන උත්සාහයක් ලෙසය. ඒ තත්ත්වය කනපිට හරවා තමන්ට අනියම් ලෙස පාලනය කළහැකි අධිකරණයක් ඇති කරගැනීමට ඇයට අවශ්‍ය වූ අතර ඒ අරමුණ සඳහා ඇය යොදාගන්නා ලද්දේ සරත් නන්ද සිල්වාය. ඔහු තනතුරට පත් කළ විදිය අධිකරණයේ අර්බුදයක් ඇති කිරීමට හේතුවූ අතර ඒ අර්බුදය ඔහු තනතුරෙන් විශ්‍රාම යන තෙක් නොමැරී පැවතුණි. එම අර්බුදය පැවති කාලයේ ආණ්ඩු පක්ෂයට පමණක් නොව, වෙනත් දේශපාලන පක්ෂද, පොදුවේ බොහෝ දේශපාලනඥයන්ද එම අර්බුදයෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබාගත්තේය. ව්‍යාජ ලෙස ආචාර්ය උපාධි ලබාගන්නා ආකාරයට දේශපාලනඥයන් තම තමන්ට වැදගත් නඩු තීන්දු ලබාගත්තේය.

අධිකරණයේ ඇතිව තිබූ එම මහා සෝදාපාළුව ඊළඟට එම තනතුරට තේරී පත්වන අගවිනිසුරුවරයා විසින් කිසියම් පමණකට හෝ නිවැරදි කළයුතුව තිබුණත්, කිසිදු වෙනසක් නොවීය. ඉන්පසුව එම තනතුරට ආ අගවිනිසුරුවරිය අතින්ද කිසිදු වෙනසක් නොවීය.

කොයි දේ හරියට තිබුණද හරි අධිකරණයක් නැත්නම් ඒ රටට ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවන්නට සිදුවන්නේය. කොයි දේ වැරදියට තිබුණද හරි අධිකරණයක් තිබේ නම් බොහෝ වැරදි නිවැරදි කරගත හැකිය. රටේ අධිකරණය ඒ රටේ ශීලාචාර මට්ටම පෙන්නුම් කරන ප්‍රධාන කැඩපත ලෙස සැලකිය හැකිය. අපේ රටේ අධිකරණය තිබෙන්නේ මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන තත්ත්වයක නොව අවුල් ජාලාවකය.

ඒ තත්ත්වය නිවැරදි කරගන්නේ කෙසේද යන්න තාමත් නීති සම්පාදකයන්ගේ සේ ම මහජනයාගේද ප්‍රධාන අවධානය යොමුවිය යුතු තැනක් ලෙස සැලකිය හැකිය. වාර්ගික ප්‍රශ්නයට කොතරම් හොඳ විසඳුමක් සොයාගත්තද මහජනයාගේ විශ්වාසයට හේතුවන හරි අධිකරණයක් ඇතිකර ගැනීමට අසමත්වෙතොත් ඒ ඇතිකර ගන්නා විසඳුමද තේරුමක් නැති දෙයක් බවට පත්විය හැකිය.