පෙරටුගාමී පක්ෂයේ ස්වයං විවේචනය

April 29, 2012
Publication:
Amid the decay of every party, Ivan reviews the newly formed Frontline Socialist Party through its 445-page book on the JVP's path from 1978 to 2012, billed as a self-criticism but really a critique of its parent party. Its young members are committed, he says, but their thinking still lives before the fall of the Berlin Wall, ending with Lenin on the dictatorship of the proletariat. The book romanticises JVP culture without asking why idealistic youth became executioners in 1988–89. He traces a thread through the JVP's history: after Wijeweera's disappointing 273,248 votes in 1982, the party never found a leader the public would accept, backing Rajapaksa in 2005 and Fonseka in 2010 for want of its own candidate — a dilemma rooted in race, caste and religion. The FSP must put knowledge before action.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන දේශපාලන හා සමාජ ක්‍රමයේ අර්බුදය අන්හැම ආයතන ක්‍රමයක් කෙරෙහිම බලපා තිබෙන්නා සේ ම, දේශපාලන පක්ෂ කෙරෙහි ද බලපා තිබේ. රටේ සියලු දේශපාලන පක්ෂ තිබෙන්නේ එකතැන පල්වෙන හා කුණුවෙන තැනකය. හැම පක්ෂයක්ම අභ්‍යන්තර භේදවලින් පිරුණු කැබලි වන පක්ෂ බවට පත්වෙමින් තිබෙන අතර පක්ෂ සාමාජිකයන් වෙතින් දූෂණ චෝදනා එල්ල නොවන කිසිදු පක්ෂයක් නැති තරම්ය. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිකමද හැම පක්ෂයකටම සිය සාමාජිකයන් වෙතින් එල්ල වී තිබෙන පොදු චෝදනාවක් වී ඇතැ”යි කිව හැකිය. දේශපාලන පක්ෂවලට හා පක්ෂ නායකයන්ට සිය පක්ෂ සාමාජිකයන් හා මහජනයා අතර තිබුණු පිළිගැනීම වාෂ්ප වී යමින් තිබෙන බවක් ද පෙනෙන්නට තිබේ. ආණ්ඩුව හිමි කරගෙන තිබූ ජනප්‍රියභාවයද වේගයෙන් වාෂ්පවෙමින් තිබෙන්නේයැ”යි කිව හැකිය. ආණ්ඩුවක් මහජනයාට එපාවන විට සාමාන්‍යයෙන් සිදුවෙන්නේ ප්‍රධාන විරුද්ධ පක්ෂය ජනප්‍රියවීමය. එහෙත් දැන් එවැන්නක් සිදුවන්නේද නැත. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන පක්ෂය වන එජාප තිබෙන්නේ අවුල් ජාලාවකය. එසේ තිබියදීත් එජාප හිමි කරගෙන තිබුණු ඒ තැන වෙනත් තුන්වැනි පක්ෂයකට හිමිවෙමින් තිබෙන බවක්ද පෙනෙන්න නැත. අන්හැම ආයතන ක්‍රමයක් සේ ම රටේ පක්ෂ ක්‍රමයද එම සමාජ දේශපාලන අර්බුදය තුළ ගිලෙමින් තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය.

මෙසේ රටේ තිබෙන සියලු දේශපාලන පක්ෂ එකතැන පල්වෙමින් කුණුවෙමින් තිබෙන තත්ත්වය ඉදිරියේ පෙරටුගාමී පක්ෂය අලුතෙන් ඇතිවී කරළියට පැමිණ තිබෙන පක්ෂය ලෙස සැලකිය හැකිය. එකතැන පල්වෙමින් කුණුවෙමින් තිබෙන ප්‍රතිපක්ෂ අබිබවා යෝධ පිම්මක් ඉදිරියට පැනීමේ හැකියාව උද්යෝගිමත් තරුණයන්ගෙන් යුතු මෙම අලුත් පක්ෂයට තිබේද? නැතහොත් එයද ඉක්මනින් පරවී යන පුෂ්පයක් බවට පත්වේද?

පෙරටුගාමී පක්ෂය දේශපාලන කරළියට ආවේ මහත් ආන්දෝලනාත්මක ආකාරයටය. මීට පෙර අලුතෙන් බිහිවන මොනව පක්ෂයකටවත් ලබාගත නොහැකි දැවැන්ත ප්‍රචාරයක් හිමිකර ගැනීමට එම පක්ෂය සමත් විය. ඉතාමත්ම වැදගත් දේ පෙරටුගාමී පක්ෂ ජේවීපී ගර්භාෂයෙන් බිහිවූ විප්ලවකාරී ඉදිරි ගමනකට හිමිකම් කියන පක්ෂයක් වීමය. ඔවුන්ට ජේවීපීය මුළුමනින් නැතිකරන්නට හැකිවූයේ නැතත් ජේවීපීයට එකතු වී සිටි තරුණ තරුණියන්ගෙන් සැලකිය යුතු පිරිසක් තමන් වෙත දිනාගැනීමට මෙම දේශපාලන ව්‍යාපාරය සමත් වී ඇතැ”යි කිව හැකිය. මෙම පක්ෂයේ උත්පත්තියට අදාළ ඊළඟ වැදගත්ම දේ ලෙස සැලකිය හැක්කේ වෙනත් කිසිම ආණ්ඩු විරෝධී බලවේගයකට ඇති කරන්නට නොහැකි වූ තරමේ සැකයක් හා බියක් ආණ්ඩුව තුළ ඇති කරන්නට එය සමත්වීමය.

දෘෂ්ටිය අපරිණතය

මෙම පක්ෂය “1978-2012 ජවිපෙ ගමන් මග” නමින් පිටු 445ක පොතක් ලියා පළකර තිබෙන අතර එම පොතේ මාතෘකාවට යොදා තිබෙන උප මාතෘකාව වී ඇත්තේ “පක්ෂය දෙස ස්වයං විවේචනාත්මක ආපසු හැරීමක් සහ අනාගතය වෙත ප්‍රවේශයක්” යන්නයි. එය ස්වයං විවේචනයක් ලෙස හඳුන්වා ඇතත් එය හිටපු පක්ෂය ගැන ලියා තිබෙන විවේචනයක් ලෙස සැලකිය හැකිය. ස්වයං විවේචනයක් ලෙස සැලකෙන්නේ තමන් ගැන තමන් විසින්ම කරන විවේචනයකි. එහෙත් මෙය එවැන්නකට වඩා ඔවුන්ගේ ප්‍රතිවාදී පක්ෂය ලෙස සැලකිය හැකි ජවිපෙ ගැන ලියන ලද විවේචනයක් ලෙස සැලකිය හැකිය. ඒ ආකාරයෙන් හෝ ඔවුන් එවැනි විවේචනයට යෑම යහපත් ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය.

ඔවුන්ගේ මේ පොත මා කියවන්නට ගත්තේ දේශපාලන පක්ෂ අතරට අලුතෙන්ම එකතු වී තිබෙන රැඩිකල් හා වාම ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකි මෙම අපූරු ව්‍යාපාරය දරන අදහස් තේරුම්ගැනීම සඳහාය.

මෙම ව්‍යාපාරය තුළ ගොනුවී තිබෙන තරුණ පිරිස ඉතා වැදගත් පරමාදර්ශ අරමුණක් වෙනුවෙන් කැපකිරීම් කරන්නට සූදානම් පිරිසක් ලෙස සැලකිය හැකි වෙතත් ඔවුන්ට යථාර්ථවාදී දේශපාලන දැක්මක් තිබෙන බවක් මෙම පොතෙන් නම් පෙනෙන්නේ නැත. මෙම ව්‍යාපාරය ඉතාමත් සටන්කාමී වියහැකි වුවත් දෘෂ්ටිමය වශයෙන් අපරිණත ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකිය. මෙම පොතට අනුව ඔවුන් තාමත් ජීවත්වන්නේ බර්ලින් තාප්ප බිඳ වැටෙන්නට පෙර තිබූ ලෝකයේය. ඔවුන් ජීවත් වන බව පෙනෙන්නේ මාක්ස් ලෙනින් කියා දුන් ආකාරයටම සමාජවාදී ලෝකයක් ගොඩනගන සිහිනයකය. මෙම ප්‍රවණතාව සැලකිය හැක්කේ නූතන මාක්ස්වාදී ප්‍රවණතාවක් ලෙස නොව, ඇතිවී තිබෙන සියලු වෙනස්කම් නොසලකා එම වෙනස්කම් ඇතිවන්නට පෙර එදා මාක්ස්වාදීන් සිතූ ආකාරයටම සිතන්නට පතන්නට හා ක්‍රියාකරන්නට උත්සාහ කරන්න මාක්ස්වාදයේ පොතේගුරුවාදී හා ග්‍රාම්‍ය ප්‍රවණතාවක් ලෙසය. පොතෙන් පෙන්නුම් කර තිබෙන දේශපාලන දැනුමේ දුගීභාවයේ හා යල් පැනගිය භාවයේ තරම කොතරම් විශාලද කියතොත් පොත අවසාන භාගයේ නිර්ධන පන්ති ආඥාදායකත්වයක ඇති වැදගත්ම අවධානය කරනු පිණිස ලෙනින්ගේ දීර්ඝ උපුටා දැක්වීමක් ගෙනහැර දක්වා ඇත්තේ මහත් දේශපාලන අභිරුචියකින් යුතුවය. ඒ මගින් කියන්නට උත්සාහ දරා ඇත්තේ තමන් නිර්ධන පන්ති ආඥාදායකත්වයක් වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපාරයක් බවය. (පිටුව 415-424) සමාජවාදයේ හෝ කොමියුනිස්ට්වාදයේ නාමයෙන් නිර්ධන පන්ති ආඥාදායකත් පාලනයක් ගොඩනගන ලද රටවල සිදුවූ දැවැන්ත විනාශයන් පිළිබඳව කිසිම අවබෝධයක් මෙම දේශපාලන ප්‍රවණතාවට තිබෙන බවක් පෙනෙන්නට නැත.

ඔවුන් ආපස්සට හැරී බලන්නට දරා තිබෙන උත්සාහය වැදගත් වුවත් එයද පරිණත ආකාරයකින් දකින්නට සමත් වී නැත. සාම්ප්‍රදායික වමේ ව්‍යාපාරය ගැනද සාධනීය විග්‍රහයක් ඉදිරිපත් කිරීමට සමත් වී නැත. පොතට අනුව පැරණි වම අසාර්ථක වූයේ ඔවුන්ට සැබෑ නිර්ධන පන්ති පසුබිමක් නොතිබුණු නිසාය. විජේවීරගේ අලුත් වම, වඩා සාර්ථක වූයේ එම ව්‍යාපාරයේ නායකයන්ගෙන් බහුතරයක් සැබෑ නිර්ධන පන්තිකයන් හෝ ග්‍රාමීය පීඩිතයන් වූ නිසාය. (පිටුව ix) ඒ කියන සැබෑ නිර්ධන පන්තියට මාක්ස්, එංගල්ස් හෝ ලෙනින් පවා අයත්වූයේ නැත.

ජේවීපී දෙවැනි කැරැල්ල ගැන කර තිබෙන විග්‍රහයද ලඳ බොළඳය. දෙවැනි කැරැල්ල දකින්නට උත්සාහ දරා තිබෙන්නේ අවශ්‍යයෙන්ම කළ යුතුව තිබුණු එහෙත් විවිධ හේතු නිසා හරියට කරගන්නට අසමත් වූ දෙයක් ලෙසය.

මෙම පොත ජනතා විමුක්ති බිහිකළ පක්ෂ සංස්කෘතිය හා ජීවන විලාශය ගැන කතා කර ඇත්තේ අනුරාගි හැඟීමකින් යුතුවය. ජනතා විමුක්ති පෙරමුණේ තරුණයන්ගේ කැපවීම හා වීරත්වය උත්කර්ෂවත් කැරෙන ආකාරයටය. ජනතා විමුක්ති පෙරමුණ ගැන කරන විග්‍රහයකදී ඔවුන්ට ආවේණික එවැනි සාධනීය පැති ගැන කතා කිරීම අවශ්‍ය වුවද මෙම වර්ණවත් හා උද්යෝගිමත් තරුණයන් සිත් පිත් නැති අලුගෝසු පිරිසක් ලෙස ක්‍රියාකරන තත්ත්වයකට පත්වූයේ ඇයිද කියන ප්‍රශ්නය කොහෙත්ම සලකා බලා නැත. නිල හා නිල නොවන හමුදා ඔවුන් මරා දැමූ ආකාරයටම ඔවුන් ද වෙනත් මිනිසුන් දහස් ගණනක් මරා දැමුවේය. ඔවුන් මරා දමන ලද අය අතර වාමාංශිකයන්ද සැලකිය යුතු පිරිසක් සිටියේය. කිසිම සාධාරණ හේතුවක් නැතිව අහිංසකයන් ලෙස සැලකිය හැකි විශාල පිරිසක්ද ඔවුන් අතින් ඝාතනයට ලක්විය. එදා ඇතිවූ එම අවාසනාවන්ත සිදුවීම් ගැන කනගාටුවක් හෝ කම්පාවක් මෙම ව්‍යාපාරය තුළ තිබෙන බවක් මෙම පොතේ එන කරුණු අනුව පෙනීයන්නේ නැත.

මෙම පොත කියවීම ආශ්‍රයෙන් මා තේරුම් ගත් කනගාටුවට හා කම්පනයට හේතුවන වැදගත් කරුණු මෙසේය. ග්‍රාමීය සමාජයේ අවවරප්‍රසාදිත තරුණ පරපුර සංවිධානාත්මක දේශපාලන බලවේගයක් ලෙස කරළියට ගැනීමේ ගෞරවය විජේවීරටද ඉන්පසු පෙරටුගාමී පක්ෂයේ නායකයන් දක්වා වන එම පක්ෂයේ අනුප්‍රාප්තිකයන්ට ද හිමිවිය යුතුය. ඔවුන් මේ තරුණ පිරිස මහත් ඇප කැපවීමකින් දේශපාලනයේ නිරත වන සමාජ දේශපාලන බලවේගයක් බවට පත්කිරීමට සමත් වුවත් මහජනයාගේ පිළිගැනීමට හේතුවන අනුහස් නායකයකු නැතිකමේ ප්‍රශ්නය තුළ මෙම පක්ෂය හැමදාමත් හිරවී සිටි බවත් එම තත්ත්වය එම පක්ෂය වැරදි තීන්දු ගැනීම කෙරෙහි වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන බවද පෙනේ.

ප්‍රභූ නොවීමේ ප්‍රශ්නය

විජේවීර 1982 ජනාධිපතිවරණයට තරග කළේ විශාල බලාපොරොත්තු ඇතිවය. ජනාධිපතිවරණය ජයගැනීමේ හැකියාවක් තමන්ට ඇතැ”යි ඔහු විශ්වාස කළේ නැතත් අනාගත ජයාධිපතිවරණයක් ජයගැනීමට ප්‍රයෝජනවත් තරමේ සැලකිය යුතු තරමේ විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට සමත්වනු ඇතැ”යි ඔහු විශ්වාස කළේය. දශ ලක්ෂයක් තරම් ඡන්ද ප්‍රමාණයක් තමන්ට ලබාගත හැකිවනු ඇතැ”යි ඔහු විශ්වාස කළේය. විජේවීරට ඔහු වෙනුවෙන් කැපවී වැඩ කරන විශාල තරුණ කැළක් සිටියේය. එවැනි තරුණ කැළක් ජනාධිපතිවරණයට තරග කළ වෙනත් කිසිදු නායකයකුට නොසිටියේය. මෙම පොතේද සඳහන් කර තිබෙන ආකාරයට ජනාධිපතිවරණයේදී පෝරම පුරවා ලියාපදිංචිවී සිටි අයගේ සංඛ්‍යාව පමණක් හාර ලක්ෂයකට වැඩි වුවත් (පිටුව 36) ලබාගත හැකිවූයේ ඡන්ද 273248ක් පමණය. මෙය එම පක්ෂය තුළ පමණක් නොව විජේවීර තුළද ආත්ම විශ්වාසය බිඳ දමන වැදගත් හේතුවක් ලෙස ක්‍රියා කළේය. මේ රටේ මහජනයාගේ ඡන්දයෙන් නම් තමන්ට බලය ලැබිය නොහැකියි කියන බලවත් හැඟීමක් ඒ අත්දැකීම විසින් විජේවීර තුළ සේ ම ජනතා විමුක්ති පෙරමුණේ සෙසු නායකයන් තුළද බලවත් ලෙස ඇති කළ බව පෙනේ. 83 පක්ෂ තහනමෙන් පසු තෝරාගත් පාර්ලිමේන්තු මාවත අතහැර නැවත සන්නද්ධ අරගල මාවතට තල්ලුවීම කෙරෙහිද එම තත්ත්වය බලපාන්නට ඇති බව පෙනේ.

ඔවුන්ගේ දෙවැනි කැරැල්ල පරාජය වී නායකයන් අතිවිශාල බහුතරයක් විනාශ වූ පසුත් 1994 වනවිට නැවත ප්‍රධාන ධාරාවේ දේශපාලනයට එකතුවීමට ජවිපෙ සමත් විය. එය අගේ කළයුතු තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ඉන්පසු හෙමින් හෙමින් තමන්ගේ පාර්ලිමේන්තු නියෝජනය වර්ධනය කරගැනීමට ජවිපෙ සමත් විය. විශාලම ප්‍රසාරණය සිදුවූයේ 2004දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇතිකර ගන්නා සන්ධානය තුළිනි. ඒ නිාස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජනය ආසන 39ක් දක්වා ඉහළ ගියේය. එය ස්වාභාවික තත්ත්වයක් නොවූවත් එම තත්ත්වය පාර්ලිමේන්තු දේශපාලනය තුළ ජවි පෙරමුණට අතිවිශාල බලයක් ලබාදීමට හේතුවී තිබුණි.

1982දී විජේවීරට මුහුණ දෙන්නට සිදුවන ආකාරයේ ප්‍රශ්නයක් නැවත ඇතිවන්නේ 2005 ජනාධිපතිවරණයේදීය. මෙම පොතේ එන තොරතුරු අනුවත් මහින්ද රාජපක්ෂ ජවිපෙ සංතෝෂයට හේතුවූ අපේක්ෂකයකු නොවීය. මහින්දට සහයෝගය නොදී තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ජවිපෙට අවශ්‍ය වී තිබුණද තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට තමන්ට තිබෙන පාර්ලිමේන්තු නියෝජනයේ ප්‍රමාණයට සරිලන විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගත හැකිද යන ප්‍රශ්නයට මුහුණදෙන්නට පක්ෂයට සිදුව තිබුණේය. ප්‍රමාණවත් තරමේ ඡන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට නොහැකි වුවහොත් එය තමන්ගේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය කෙරෙහි විනාශකාරී ලෙස බලපාන බව පක්ෂයේ පොදු පිළිගැනීම වී තිබුණි. රනිල් වික්‍රමසිංහ රට පාවා දුන් ද්‍රෝහියකු වේය යන අදහස සිය අනුගාමිකයන් අතර සමාජ ගතකර තිබුණු තත්ත්වය ඉදිරියේ පොදු අපේක්ෂකයා ලෙස රනිල් තෝරාගැනීමේ කවර හැකියාවක්වත් ජවිපෙට නොතිබුණි. ඒ තත්ත්වය ඉදිරියේ ඔවුන්ට තෝරාගැනීමට තිබුණු එකම විකල්පය වූයේ මහින්ද රාජපක්ෂය. එය කැමැත්තෙන් ගනු ලැබූ තීරණයක් නොව අකමැත්තෙන් ගනු ලැබූ තීරණයක් විය. එය ඔවුන් එහිදී තමන්ට මහජනයාගේ පිළිගැනීමට හේතුවන අනුහස් නායකයකු නැතිකමේ ප්‍රශ්නය බේරාගත් ක්‍රමය විය. නැවත මෙම ප්‍රශ්නයට 2010දීත් මුහුණ දෙන්නට ජවිපෙට සිදුවිය.

ඔවුන් පළමුවෙන් දරන ලද මතය වී ඇත්තේ ජනාධිපතිවරණය වර්ජනය කිරීමය. එජාපයද ඊට එකඟකරවා ගැනීමය. ඒ සඳහා පක්ෂය රනිල් වික්‍රමසිංහ සමගද සාකච්ඡා කළේය. එසේ සාකච්ඡා කරමින් සිටින අතර වෙනත් විකල්පයක් ඔවුන්ට හමුවිය. ඒ හිටපු අගවිනිසුරු සරත් සිල්වාය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය යටතේ පොදු අපේක්ෂකයකු වශයෙන් ඔහු කරළියට ගෙන ඒම ජවිපෙ උපාය මාර්ගය විය. හිටපු අගවිනිසුරු ඔවුන්ගේ යෝජනාවට කැමති වුවත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයද එකඟ කරවාගන්නා ලෙස සරත් සිල්වා ජවි පෙරමුණෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ සමග කැරෙන සාකච්ඡා අවසන්වීමට පෙර පොදු අපේක්ෂකයා ලෙස තරග බිමට ඒමට සරත් ෆොන්සේකා කැමතිවීම හා එජාපය ඔහු පිළිගැනීම නිසා සරත් ෆොන්සේකා වැළඳ ගැනීමට ජවිපෙට සිදුවිය. ජවිපෙට සරත් ෆොන්සේකා පෙනුණේ මහින්දට සැබෑ අභියෝගයක් එල්ල කළ හැකි, මහින්ද ආමන්ත්‍රණය කරන බලවේගයන්ට ආමන්ත්‍රණය කළ හැකි, යුද ජයග්‍රහණයට අයිතිවාසිකම් කිවහැකි හොඳම පුද්ගලයා වශයෙනි. එහෙත් පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා භාරගැනීමට අනුර කුමාර පක්ෂයට ඉදිරිපත් කරන ලද යෝජනාව මධ්‍යම කාරක සභාව මුලදී භාරග්තතේ නැත. එහෙත් සරත් ෆොන්සේකා පොදු අපේක්ෂක ලෙස ජනතා විමුක්ති පෙරමුණ භාරගත් බවට සියලු මාධ්‍ය වාර්තා කිරීම නිසා පසුව අකමැත්තෙන් ඒ අදහස මධ්‍යම කාරක සභාව භාරග්තතේය. එම යෝජනාව භාර නොගත්තේ නම් තමන් පක්ෂයෙන් ඉවත් වන බවට ද අනුර කුමාර පක්ෂයට තර්ජනය කර තිබුනි. අවසානයේ පක්ෂය සරත් ෆොන්සේකා තෝරාගැනීම මගින් බලාපොරොත්තු වූයේ “ජනාධිපතිවරණ ප්‍රතිඵල ඍජුවම මහ මැතිවරණයට බලපාන නිසා දුර්වල ජනාධිපතිවරණ ක්‍රියාවලියක් මගින් මහ මැතිවරණයේදී පක්ෂයේ තත්ත්වය බරපතළ ලෙස බිඳ වැටීම” වළකා ගැනීමය. (පිටුව 330) එහෙත් ජනාධිපතිවරණයෙන් ඔවුන් අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණේය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ විශාල සෝදා පාළුවකට ලක්වීමය.

වෙනත් පක්ෂවලට සාපේක්ෂව මොනතරම් හොඳ සංවිධාන ශක්තියක් ක්‍රියාකාරී ග්‍රාමීය තරුණ බලවේගයක් තම පක්ෂයට සිටියද තම පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයාට ප්‍රමාණවත් තරමේ මහජන පිළිගැනීමක් ලබාගැනීමට පුළුවන්කමක් නැතැ”යි කියන අදහස විජේවීරගේ කාලයේ සිටම එම පක්ෂයට මුහුණ දෙන්නට සිදුවී තිබූ උභතෝකෝටික ප්‍රශ්නයක් බව ඉන් පෙනීයයි. තමන්ගේ කෙනකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කොට ජයගත හැකියැ”යි සුළු ජාතීන් විශ්වාස කරන්නේ නැත. වර්ගය සිංහල වුවත් ගොවිගම නොවේ නම් හා බෞද්ධ නොවේ නම් කොතරම් සුදුසුකම් තිබුණද එවැනි පුද්ගලයෙකුට රටේ රාජ්‍ය නායකයාවීමේ හැකියාවක් නැතැ”යි කියන අදහසක් පවතී. මෙම ඛේදජනක තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහිද බලපා තිබෙන බව පෙනේ. ඔවුන් විප්ලවය ගැන වැඩි උනන්දුවක් දක්වන්නේද ඒ නිසා විය හැකිය. මෙය ශ්‍රී ලංකාව ජයගත යුතුව තිබෙන අභියෝගයක් වන අතර එය ජයගත යුතුව තිබෙන්නේ සමාජ-දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇතිකර ගැනීම සඳහා දරන සාමකාමී උත්සාහයකින් මිස මහජනයා කෙරෙහි බලහත්කාරය පාවිච්චි කරන ප්‍රචණ්ඩ අරගලවලින් නොවේ. වර්ග අතර පමණක් නොව වර්ග තුළද මහා අවුලක් ඇති බව ඉන් පෙනීයයි.

පෙරටුගාමී වීමට නම්

ජවිපෙ ගමන් මග ගැන ලියා තිබෙන මෙම පොතේ ප්‍රමාණය විශාල වුවත් හොඳට හෝ නරකට ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා වන විජේවීර ගැන එහි සාකච්ඡා වන්නේම නැති තරම්ය. විජේවීර ප්‍රශංසාවට හෝ විවේචනයට ලක්කිරීමෙන් වැළකී සිටින නිශ්ශබ්ද ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව පෙනේ. ඒ ඇයිද යන්න පැහැදිලි නැත.

පොතට ඇතුළත්ව තිබෙන අදහස් අනුව පෙරටුගාමී පක්ෂයේ තරුණ තරුණයන්ට යහපත් හා දීප්තිමත් දේශපාලන ඉදිරි ගමනක් හිමි බවක් පෙනෙන්නට නැත. දේශපාලන අදහස් අපරිණත වනවා පමණක් නොව පසුගාමීද වේ. දෘෂ්ටිමය වශයෙන් දක්නට තිබෙන එකම යහපත් ලක්ෂණය වර්ගවාදයෙන් මිදී තිබීමය. මෙම අවාසනාවන්ත තත්ත්වය ඔවුන්ට ජයගත හැකිවනු ඇත්තේ ක්‍රියාවට දරන බර අඩු කොට දැනුම වැඩි දියුණු කරගැනීමට දරන බර වැඩි කිරීමෙනි. සිය පූර්වගාමීන් ගිය මග නොගොස් තමන් ද විනාශ නොවී අනුන් ද විනාශ නොකර යහපත් හා පෙරටුගාමී සමාජ-දේශපාලන ක්‍රමයක් ඇති කරගන්නේ කෙසේද යන ප්‍රශ්නය ඔවුන් හැඟීමෙන් නොව බුද්ධියෙන් සලකා බලන තැනකට යෑමෙනි.