ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන රාවයේ සංවත්සරයට අදාළව රාවය මුල් පිටුවේ පළ කරන ලද ඡායාරූප දෙකක් පදනම් කරගනිමින් රාවය එම උත්සව අවකාශය පාවිච්චි කර තිබෙන ප්රතිගාමී හා වැඩවසම් ස්වරූපය විග්රහ කරන අපූරු ලිපියක් පසුගිය රාවයේ පළවිය. ඔහුගේ එම විග්රහය සලකා බලන්නට පෙර රාවය සංවත්සර අවකාශය තුළ ඔහු රඟපාමින් තිබෙන භූමිකාවන්ගේ විවිධ ස්වරූපයන්ද කෙටියෙන් වුවත් සලකා බැලීම වැදගත්ය. ඔහු රාවය සිය සංවත්සර උත්සව අවකාශය පාවිච්චි කර තිබෙන ප්රතිගාමී හා වැඩවසම් ස්වරූපය ගැන කරන විග්රහයන්ට පමණක් සීමාවූවකු ලෙස සැලකිය නොහැකිය. එහි ප්රතිගාමී වැඩවසම් භාවිතයට එරෙහිව නැගී සිටි විප්ලවකාරයකු ලෙසද සැලකිය හැකිය.
ඔහු එම උත්සවයට සහභාගිවීම පිණිස උත්සව භූමියට ඇතුළු වන ස්ථානය දක්වාම පැමිණියේය. රාවයේ විකල්ප අවකාශය ජනාධිපතිවරයා විසින් පැහැරගෙන ඇති බව පෙනුණු විට උත්සවයට සහභාගි නොවී ආපසු හැරී ගියේය. ඒ මගින් අහිංසාවාදී ලෙස විරෝධය පළ කරන අතර PSD අතපත ගෑම්වලට ඉඩ නොදී සිය අණ්ඩකෝෂයේ පාරිශුද්ධභාවයද ආරක්ෂා කරගත්තේය. ඔහු කියා තිබෙන ආකාරයට ඔහුගේ විරෝධයට හේතුවූයේ ජනාධිපති ගෙන්වා ගැනීම නොව රාවයේ අවකාශය ජනාධිපතිවරයා විසින් පැහැර ගැනීමය. එවැනි අවස්ථාවකදී රාවය සිය විකල්ප අවකාශය ආරක්ෂා කරගත යුතුව තිබුණු ආකාරයද ඉන්දියාවෙන් ලබාගත් නිදර්ශනයක් මගින් රාවයට කියා දුන්නේය.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් රාවයේ උත්සව සංවිධාන කමිටුවට සම්බන්ධ කර නොගැනීමෙන් රාවය බලවත් වරදක් කර ඇතැ“යි මට සිතෙන්නේය. ඔහු ඊට ඇතුළත් කරගැනීමට සමත් වී නම් ලංකාවේ ප්රජාතන්ත්රවාදී විප්ලවය ආරම්භවන්නට ඉඩ තිබුණේ රාවය සංවත්සර උළෙලේදීය. එසේ වී නම් ජනාධිපතිවරයා උත්සව අවකාශයට ඇතුළුවන්නට පෙර එහි යන සුනිල් විජේසිරිවර්ධන ජනාධිපතිවරයාට කියන බණ අසා පැහැදී ජනාධිපතිවරයා තමා සමග පැමිණි ආරක්ෂක භටයන් ආපසු යවා, ජනාධිපතිවරයා තනිව, ප්රභූවරයකු ලෙස නොව, සාමාන්ය මිනිසුන්ගෙන් කෙනකු ලෙස, උත්සව භූමියට ඇතුළුවන්නට ඉඩ තිබුණා පමණක් නොව, ඔහු ඉදිරිපෙළ අසුනක අසුන් ගන්නවා වෙනුවට වෙනත් කොහේ හෝ නොවැදගත් තැනක අසුන්ගන්නටද ඉඩ තිබුණේය. ඒ සියල්ල රූපවාහිනි තිරයෙන් නරඹන මහජනතාව ප්රජාතන්ත්රවාදී ආස්වාදයෙන් කුල්මත් වී දශ ලක්ෂ ගණනින් සුනිල් විජේසිරිවර්ධන වීරයාට ජයවේවා කියමින් වීථි බසින තත්ත්වයක් පවා ඇතිවන්නට ඉඩ තිබුණේය.
සුනිල් විජේසිරිවර්ධනගේ අහිංසාවාදී පැණි තැවරූ විචාර මල්ලෙන් ද්වේෂයේ හා උද්දච්චකමේ බළලා එළියට පනින්නේ රාවයේ පළවූ ඡායාරූප දෙක ආශ්රයෙන් ඔහු කරන දීර්ඝ විවරණයේදීය. ඔහු උත්සවයේ ආසන පැනවීම වර්ග කිරීමකට ලක් කරයි. දෙවර්ගයක ආසන සඳහා දී තිබෙන අවකාශවල ඇති වෙනස්කම්ද පෙන්වා දෙයි. මෙම වර්ග දෙකේ ආසනවල අසුන්ගෙන සිටින අයගේ වෙනස් ශරීර ස්වභාවයන්ද පෙන්වා දෙන්නේය. තරමක් දීර්ඝ ලෙස වුවත් ඔහු කරන මෙම විවරණයෙන් අවසානයේ ඔහු කියන්නේ රාවය සිය පාඨකයන්ට හා මිතුරන්ට සලකා තිබෙන ආකාරය රදල වළව්වකදී රදලයා වලව්වට එන කුලහීනයන්ට සලකන ආකාරයට සමාන බවය. ඔහු කියන දෙය ඇත්තක් නම් රාවය කර තිබෙන්නේ සමාව දිය නොහැකි බරපතළ වරදකි.
ඔහු මෙම විශ්ලේෂණය සඳහා යොදාගන්නා ලද මූලධර්ම සාධාරණ හා ද්වේෂයෙන් තොර වේ නම් ඊට සමාන ඕනෑම ඡායාරූපයක් එම මූලධර්ම අනුව සලකා බලන විට ඇති කරගත යුතු නිගමනද ඊට සමාන විය යුතුය. උරගා බැලීමක් සඳහා හදිසියේ තෝරාගත් ඡායාරූප හයක් ඉදිරිපත් කිරීමට මා කැමතිය. ඡායාරූප අංක 01, 1933දී සමසමාජ නායකයන් තුන්කෝරළේ ආධාරකරුවන් සමග ගන්නා ලද ඡායාරූපයකි. එම ඡායාරූපයේ සමසමාජ නායකයන්ගේ ශරීර අසුන්වල බාවා තිබෙන විට (ඒ යෙදුම සුනිල්ගේය) ආධාරකරුවන්ගෙන් වැඩි පිරිසක් ඉන්නේ පසුපස හිටගෙනය. තවත් පිරිසක් ඉදිරිපස බිම හිඳගෙන සිටින්නෝය. මෙම වෙනස අසුන් පනවා තිබෙන ආකාරය තුළ පමණක් නොව මෙම දෙවර්ගයට අයත් මිනිසුන්ගේ ශරීර ස්වභාවය තුළද ඇඳගෙන සිටින ඇඳුම් පැළඳුම්වලින්ද දැකිය හැකිය. ඒ අනුව සමසමාජ නායකයන් තමන් කුලීනයන් ලෙස සලකා සිය ආධාරකරුවන් සලකා ඇත්තේ කුල හීනයන් ලෙසය.
ඡායාරූප අංක 2ද, සමසමාජ ඉතිහාසයට අදාළ 1937දී ගන්නා ලද ඡායාරූපයකි. එහි තිබෙන අසුන් දෙකේ විවේකීව බාවා තිබෙන ශරීර දෙකෙන් එකක් බ්රේස්ගර්ඩ්ල්ගේය. අනෙක් ශරීරය කොල්වින්ගේය. හිටගෙන සිටින්නන් අතරද කුලීනයන් තිදෙනෙක් (ලෙස්ලි ගුණවර්ධන, විල්මට් පෙරේරා හා පිලිප් ගුණවර්ධන) සිටින්නෝය. ඒ තිදෙනා හැර අන් සියලුදෙනා සැලකිය යුත්තේ කුලහීනයන් ලෙසය. එහිදීද සමසමාජ නායකයන් සිය ආධාරකරුවන්ට සලකා ඇත්තේ රදලයකු කුලහීනයන්ට සලකන ආකාරයටය.
ඡායාරූප අංක 3, 1920 මොස්කව්වලදී පැවති තුන්වැනි ජාත්යන්තරයේ දෙවැනි සම්මේලනයේදී ගන්නා ලද ඡායාරූපයකි. මෙම ඡායාරූපයේ පිටුපස පෙළ හොඳින් පෙනෙන්නට නැතත්, ඉදිරිපෙළේ සිටින ට්රොට්ස්කි ඇතුළු නායකයන්ට ලබාදී තිබෙන ගම්භිර දිග මේසය පසුපෙළ අයට ලබාදී නැති බව දැකිය හැකිය. ඔක්තෝබර් විප්ලවයේ නායකයන් තුන්වැනි ජාත්යන්තරයේ දෙවැනි සම්මේලනයට සහභාගිවන නියෝජිතයන් සුළු පිරිසක් ද කුලීනයන් ලෙසද සෙසු පිරිස කුලහීනයන් ලෙසද සලකා ක්රියාකර තිබෙන බව පෙනීයයි.
ඡායාරූප අංක 4, තාගෝර්ගේ ශාන්ති නිකේතනයේදී ගන්නා ලද ඡායාරූපයකි. තාගෝර් ගාන්ධි හා කස්තුර්බා එහි අසුන්ගෙන සිටින තුන්දෙනා වෙති. තවත් කිහිපදෙනෙක් සිටගෙන සිටින්නෝය. කස්තුර්බා අසුන්ගෙන සිටියද ඇය අසුන්ගෙන සිටින අසුන, තාගෝර් හා ගාන්ධි අසුන්ගෙන සිටින අසුන්වලට සමාන නැත. එවිට තාගෝර් ඇය අර්ධ කුලහීන තත්ත්වයක ලා සලකා ඇතැ“යි කිව හැකිය. ඉතිරි අසුන් දෙකේ බාවා තිබෙන ශරීර දෙකෙන් එකක් තරය. බාහිර පෙනුමෙන් රදළ වංසක්කාර පෙනුමකින් යුතුය. අනෙකාගේ ශරීරය කෙට්ටුය. පෙනුමෙන් දිළිඳු නාට්ටාමි කෙනකු බඳුය.
ඡායාරූප අංක 05, නේරු තාගෝර් සමග ශාන්ති නිකේතනයේදී ගන්නා ලද ඡායාරූපයකි. තාගෝර් අසුන්ගෙන සිටින අසුන ලබාදී තිබෙන අසුනට වඩා කුඩාය. තාගෝර් ගම්භිර පෙනුමකින් යුතු වුවත් මෙම ඡායාරූපයේ නේරු ගම්භිර පෙනුමකින් යුතු නැත. මේ දෙදෙනා ගැන නොදන්නා කෙනකු මෙම ඡායාරූප දුටුවහොත් තාගෝර් වංශවත් රදල ඉඩම් හිමියකු ලෙස හා නේරු එම රදල ඉඩම් හිමියා යටතේ වැඩ කරන නිලධාරියකු ලෙස පෙනෙන්නට බැරිකමක් නැත.
ඡායාරූප අංක 6, නේරු ඇතුළු එහි සිටින සියලුදෙනා බිම වාඩිවී සිටින විට ගාන්ධි පමණක් ලොකු පුටුවක වාඩිවී සිටින්නේය. එහි සිටින රදලයා ගාන්ධිය. අන් සියලුදෙනා කුලහීන ප්රවේණිදාසයෝය.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ඉදිරිපත් කර තිබෙන මූලධර්ම මත පිහිටා ඡායාරූප විග්රහ කරන්නට ගියහොත් අපට නතරවන්නට සිදුවන අන්තවාදී තැන පිළිබඳ යම් අදහසක් මෙම ඡායාරූප 6 ආශ්රයෙන් ඇති කරගත හැකිය. සුනිල් මෙම අභ්යාසය තමන්ගේ ඡායාරූප ඇල්බමයේ තිබෙන තමන්ද ඇතුළත් ඡායාරූප සමග කරන තැනකට ගියහොත් අවසානයේදී ලැබෙන උත්තරය කුමක් විය හැකිද?
මීට දශක දෙකකට පමණ ඉහතදී මා හොඳින් දන්නා හඳුනන පුද්ගලයකුගේ ආරාධනය මත රටේ පවතින සූරාකෑම හා වැටුප් විසමතා අළලා ඔහු කරන ලද වේගවත් ප්රසිද්ධ කතාවකට සවන්දීමේ අවස්ථාව මට හිමිවිය. ඔහු වාමාංශික පසුබිමක් තිබුණු පුද්ගලයෙකි. ඔහු විසින් ඇති කොට පවත්වාගෙන ගිය රාජ්ය නොවන සංවිධානයක් ඔහුට තිබුණේය. ඔහු එහිදී හොඳ කතාවක් කරනු ලැබුවා වුවත් ඔහුගේ කතාවේ දර්ශනය ඔහුගේ ජීවිතය සමග නොගැළපුණේය. සභාව අවසානයේ එම කථිකයා මා සමගද සුහද අල්ලාප සල්ලාපයක යෙදුණේය. ඔහුගේ කථාව කොහොමදැ“යි ඔහු මගෙන් අසා සිටියේය. ඔහුගේ ආයතනයේ සේවකයන් එම කතාවට සවන්දුන්නේ නම් එය ඔවුන්ගේ තෘප්තියට හේතුවනු ඇත්දැ”යි මම ඔහුගෙන් පෙරළා ප්රශ්න කළෙමි. ඔහුගේ මුහුණ මැලි වූයේය. ඔබ ඔබේ ආයතනය තුළ නොකරන දෙයක් පිටස්තරයන් සඳහා නිර්දේශ කරන්නේ ඇයිදැ“යි මම වැඩිදුරටත් ඔහුගෙන් අසා සිටියෙමි. මෙම ධර්මතාව ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනටද අදාළය. අනුන්ගේ අවකාශයක් විවේචනය කිරීම හා විග්රහ කිරීම අමාරු නැත. අනුන්ගේ අවකාශයන්ගේ වැරදි විවේචනය කරන්නන් තමන්ගේ අවකාශයන් තුළ ජීවත්වන්නේ බරපතළ වැරදි කිරීමෙන් තොරව යහපත් ලෙස නොවේ නම් ඔවුහු සලකන්නට සිදුවන්නේ ආචාර්ය උපාධිධාරී වැදි බණකාරයකු ලෙසය.
මා සැලකෙන්නේ රාවයේ ප්රධානියා ලෙසය. සුනිල් විජේසිරිවර්ධනටද තමන් විසින් ගොඩනගන ලද “විභවි” නමින් ආයතනයක් තිබුණි. ඔහු එම ආයතනයේ ප්රධානියා විය. ඔහු එම ආයතනය පවත්වාගෙන ගියේ වලව්වක කටයුතු සිදුකරන ආකාරයටද නැතිනම් අවංකකම, නීතිගරුකබව, පාරදෘශ්යබව, ප්රජාතන්ත්රවාදය හා සමානාත්මතාව රජයන ආදර්ශමත් ආයතනයක් ලෙසද? ආයතන ප්රධානියා ලෙස ඔහු සිය කාර්ය මණ්ඩලය සමග ගනුදෙනු කරන ලද්දේ රදළ ඉඩම් හිමියකු ලෙසද නැතිනම් ආයතනයේ ප්රධානියා ලෙස හා ඔවුන්ගේම තවත් කෙනකු ලෙසද? එහි කැරෙන කටයුතුවල දූෂණ හා නාස්තිය කැපීපෙනෙන සාධකයක් ලෙස තිබුණේද? ආයතනයේ අසුන්ගන්නා පුටුවල හා එම පුටු පාවිච්චි කැරුණු ආකාරයේ, කාමරවල හා ඒවා පරිහරණය කැරුණු ආකාරයේ ලබාගන්නා වැටුප් හා වරප්රසාදවල වෙනස්කම් තිබුණේද? දීර්ඝ කාලයක් තිස්සේ විදේශ ආධාරවලින් යැපුණු සංවිධානයක් වශයෙන් විදේශ ආධාර අත්හිටුවීමත් සමග එය වසා දමන තත්ත්වයකට යන්නට සිදුවූයේ ඇයි? ආයතනය ඈවර කරන ක්රියාවලිය සියලුදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස නිම කිරීමට සමත්වීද? ආයතනයට ලැබුණු විදේශ ආධාරවල වටිනාකමට ගැළපෙන ප්රමාණයේ සේවාවක් ලබාදීමට ආයතනය සමත්වීද?
දූෂණය, නාස්තිය, පවුල්වාදය, අධිකාරිවාදය වැනි ලක්ෂණ දේශපාලනඥයන්ට පමණක් සීමාවූ දේවල් ලෙස සැලකීම සාධාරණද? එවැනි නරක දේවලට එරෙහිව ප්රසිද්ධියේ පෙනී සිටින අද්වකාත්වරුන් ලෙස සැලකිය හැකි පුද්ගලයන් හා ඔවුන් පවත්වාගෙන යන සංවිධාන තුළ එම ලක්ෂණ පවතී නම් ඒවා නරක ලක්ෂණ ලෙස නොසැලකිය යුතුද? ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන තමන්ගේම රාජ්ය නොවන සංවිධානයක් පවත්වාගෙන ගියා පමණක් නොව තවත් රාජ්ය නොවන සංවිධාන ගණනාවක ගෙවීම් ලබන උපදේශකයකු වශයෙන්ද ක්රියා කළේය. එම අවකාශය තුළ ඔහු රඟපෑ භූමිකාව කුමක්ද? ඒවාහි පවතින දූෂණයට, නාස්තියට, පවුල්වාදයට හා අධිකාරිවාදයට එරෙහිව බලවත් ලෙස ක්රියා කරන හා එවැනි වැරදි නිවැරදි කිරීමට බලවත් ලෙස උත්සාහ කරන ප්රතිපත්තියක් අනුගමනය කළේද? නැතහොත් ඒ සියල්ල ඉදිරියේ අහක බලාගෙන සිටිමින් තමන්ගේ උපදේශක දීමනාව ලබාගන්නා අවස්ථාවාදී ප්රතිපත්තියක් අනුගමනය කළේද? එම ආයතනවල උපදේශකයකු වශයෙන් ක්රියාකරන අතර එම ආයතනවල සේවාදායකයන්ට පමණක් අයිති දේවල් තමන් වෙතද හිමි කරගත් අවස්ථා තිබේද? එම අවකාශයන් තුළ ඔහු අවංකකමට පටහැනිව ක්රියාකර ඇත්නම් එම තත්ත්වය විග්රහ කරන්නේ කෙසේද?
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනට රාජ්යය පිළිබඳව සාරගර්භ විග්රහයක් තිබෙන්නේය. එහෙත් ඔහුට තමන්ගේ පුංචි රාජ්යය ගැන, සිය ඥාති මිත්රයන්ගේ රාජ්යයන් ගැන විවේචනයක් හෝ ස්වයං විවේචනයක් තිබෙන බවක් පෙනෙන්නට නැත. ඔහුට අනුන් ගැන විවේචනයක් ඇත්තේය. එහෙත් තමන් ගැන විවේචනයක් නැත්තේය. ඔහු අනුන් තුළ තිබෙන වැරදි දකී. ඒ වැරදිම තමන් තුළ තිබෙන බව ඔහු නොදනී. ඔහුගේ දෘෂ්ටිමය හා පැවැත්ම අතර තිබෙන මහා පරස්පරය එයයි. රාවයේ සංවත්සර උත්සව අවකාශයන් අළලා ඔහු කර තිබෙන විවේචනයන්ගේ මූලධර්ම මත පිහිටා තමන්ගේ අවකාශයන් දෙසද විවේචනාත්මකව හැරී බැලීමක් කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීමට මා කැමතිය. ඔහු ඔස්කා වයිල්ඩ්ගේ ඩොරියන්ගේ මෙන් කණ්ණාඩියක් ඉදිරියට ගොස් සිය ආත්මයේ ප්රතිබිම්බය දෙස බලන තැනකට යායුතුය. මතුපිට පැළඳගෙන සිටින ප්රජාතන්ත්රවාදයේ හා අහිංසාවාදයේ සළුපිළිවලට යටින් තිබෙන නග්න දේහය දෙස බලන තැනකට යායුතුය. එම දේහය කොතරම් විශාල ප්රමාණයකට ආත්මාර්ථයෙන්, වංචාවෙන්, දූෂණයෙන්, ක්රෝධයෙන් හා වෛරයෙන් සේ ම උද්දච්චකමේ පාපයන්ගෙන් කිලිටි වී තිබේද යන්න හරියාකාරව තේරුම් ගැනීමට හැකිවනු ඇත්තේ එවිටය. අනුන්ගේ මඟුල් ගෙදරකට ගොස් ද්වේෂසහගත හේතු මත ඊට සහභාගිවූවන් අතර කලාත්මක හෝ දාර්ශනික ස්වරූපයකින් වුවද ක්රෝධය හා වෛරය වපුරන පුද්ගලයකු ඔහු කොතරම් උගතකු වුවද ඔහු සැලකිය යුත්තේ ප්රඥාවන්තයකු ලෙස නොව මානසික රෝගියකු ලෙසය.