ඥානාන්විත වියයුතු තරමට ඥානාන්විත නොවීම

March 18, 2012
Publication:
The government's counter-campaign against the US resolution at the UN Human Rights Council, Ivan argues, damaged Sri Lanka's image. It had a clear strategy to win the war but none for what followed: an angry Tamil diaspora that saw the defeat as genocide, a rift with the US after Colombo first agreed and then refused a plan to evacuate Prabhakaran and other leaders, and a drift towards China, Iran and Russia. Just as Western pressure eased to a call to implement the LLRC's recommendations, the government failed to adapt. He names four failures: no nation-building reorganisation after the war, neglect of relations with the Western markets, broken promises to India over 13-plus, and slowness in restoring normality, ending abductions and withdrawing the forces from civilian life.

ආණ්ඩුව විසින් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත්වූ ඇමරිකන් යෝජනාව පරාජය කිරීමේ අරමුණින් දියත් කැරුණු ප්‍රතිමෙහෙයුම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය දුර්වල කිරීමට මිස ශක්තිමත් කිරීමට හේතුනොවීයැ”යි කිවහැකිය. ජාත්‍යන්තර තලයේ මතුවී තිබෙන මෙම ආරාවුලට මුහුණදීම සඳහා ආණ්ඩුවට මුල සිටම පැහැදිලි හා ස්ථිරසාර දර්ශනයක් නොතිබුණේය. ඒ නිසාම ඒ සඳහා වන ප්‍රායෝගික වැඩපිළිවෙළක්ද නොතිබුණේයැ”යි කිව හැකිය. එහෙත් ආණ්ඩුවට ජාත්‍යන්තරයෙන් එල්ල වන අනිසි බලපෑම්වලට යට නොවී එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධය තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමට අවශ්‍ය පැහැදිලි හා ස්ථිරසාර දර්ශනයක් තිබුණු අතර එම දර්ශනය ක්‍රියාවට නැගීම සඳහා වන කාර්යක්ෂම හා ප්‍රායෝගික වැඩසටහනක්ද තිබුණේය. එල්ටීටීඊයට එරෙහිව කරන ලද යුද්ධය ජයග්‍රාහී ලෙස අවසන් කළ හැකිවූයේ ඒ නිසාය.

එහෙත් යුද්ධය ජයගැනීමෙන් පමණක් මෙම අර්බුදය අවසන් නොවන බව තේරුම් ගැනීමට ආණ්ඩුව මුලසිටම අසමත්ව තිබුණේයැ”යි කිව හැකිය. යුද බිමේදී එල්ටීටීඊය පරාජය කැරුණද එම පරාජය කෙරෙහි කෝපයෙන් බලන බලවත් දෙමළ ඩයස්පෝරාවක් එතෙර රටවල සිටියේය. ඔවුන්ට ප්‍රභාකරන්ගේ සටන සමග ආත්මීය බැඳීමක් තිබුණු අතර එල්ටීටීඊයට අවශ්‍ය කරන අරමුදල් ලබාදෙන ප්‍රධාන උල්පත ලෙස ක්‍රියාකළෝද ඔවුහුය. එල්ටීටීඊය කරන සටනේ හරි වරද ගැන ඔවුන්ට ගැඹුරු වැටහීමක් නොතිබුණද ඔවුන් එය තේරුම්ගෙන තිබුණේ ලංකාවේ දෙමළ ජනයාගේ නිදහස පිණිස කැරෙන විමුක්ති අරගලයක් ලෙසය. එම අරගලය පරාජය කළ නොහැකි අපරාජිත අරගලයක් ලෙසද ඔවුහු සැලකූහ. ඔවුන් ඇති කරගෙන තිබුණු එම සියලු විශ්වාසයන්ට පටහැනිව එල්ටීටීඊය යුද පෙරමුණේ ලද පරාජය ඔවුන්ගේ විස්මයට, කම්පනයට සේම කෝපයටද හේතුවිය. ඔවුන් එය දකින්නට උත්සාහ කළේ සාධාරණ යුද්ධයකින් ඇතිවූ පරාජයකට වඩා ආණ්ඩුව විශාල යුද බලයකින් කරන ලද ජන සංහාරයක් ලෙසය.

මෙම දෙමළ ඩයස්පෝරාවෙන් එල්ලවන්නට යන අභියෝගය කල්තියා තේරුම් ගැනීමට ආණ්ඩුව අසමත් විය. ප්‍රමාද වී තේරුම් ගැනීමෙන් පසුව වුවත් එම තත්ත්වයට මුහුණදීම සඳහා අවශ්‍ය කරන හොඳ ඉදිරි දර්ශනයක් ආණ්ඩුවට නොතිබුණේය.

බටහිර රටවල් කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය යුද්ධයේ කිසියම් දීර්ඝ අවස්ථාවක් දක්වාම ආණ්ඩුවේ ආරක්ෂක හමුදා එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයට තීරණාත්මක වැදගත්කමක් ඇති තොරතුරු ලබාදීමෙන් සහාය විය. එහෙත් යුද්ධයේ අවසන් අදියරයේදී ප්‍රභාකරන් ඇතුළු ප්‍රධාන පෙළේ නායකයන් පිරිසක් යුද බිමෙන් ඉවත් කොට භාරවූවන් සේ ලංකාවෙන් පිටමං කිරීමට දරන ලද රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයකදී ආණ්ඩුව මුලදී එයට එකඟ වුවත් පසුව ඊට තරයේ විරුද්ධ වන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා මෙම රටවල් දෙක අතර පැවති සංහිඳියාවේ බිඳවැටීමක් ඇතිවූවායැ”යි කිව හැකිය. යුද්ධය කැරෙන අවස්ථාවේදී ඇමරිකාව හා බටහිර රටවල් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර සීමා කිරීම නිසා ලංකාව වැඩි වැඩියෙන් චීනය, ඉරානය, රුසියාව සමග සමීපව ක්‍රියාකරන තත්ත්වයද, ලංකාව කෙරෙහි පළවෙමින් තිබූ බටහිර විරෝධී කෑගැසීම්ද, ඇමරිකාව ඇතුළු බටහිර රටවල ශ්‍රී ලංකා විරෝධී ආකල්ප තරකිරීමට හේතුවී තිබුණි.

යුද්ධය අවසන් කිරීමෙන් පසු 2010 ජනාධිපතිවරණයේ අවසානය දක්වාම ඇමරිකාව හා බටහිර රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබුණේ මස් රාත්තලම ඉල්ලා සිටින ෂයිලොක් ප්‍රතිපත්තියකි. මෙම බලවත් රටවල් හා දෙමළ ඩයස්පෝරාව සහයෝගයෙන් එකට ක්‍රියාකරන තත්ත්වයක සිටි අතර ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාව වෙනුවෙන් පෙනීසිටියා පමණක් නොව, රෙජීමයේ වෙනසක් ඇති කරගැනීම සඳහා බලවත් ලෙස ක්‍රියාකරන තැනකටද යොමුවී සිටියේය. එම තත්ත්වය ශ්‍රී ලංකා ආණ්ඩුවේද ඇමරිකන් විරෝධී හා බටහිර විරෝධී ආකල්ප තර කිරීමට හේතුවීයැ”යි කිව හැකිය.

එහෙත් ශ්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර තලයේ පැවති මෙම උණුසුම් හා උද්වේගකර තත්ත්වය නොකඩවා ඉහළයමින් තිබෙනවා වෙනුවට ක්‍රමයෙන් පහළයමින් තිබුණේය. එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව ලංකා ආණ්ඩුවෙන් පළිගැනීමට තිබුණු අපේක්ෂාව අත්හළේ නැතත්, පොදුවේ ඔවුන් අතර තිබුණු උද්යෝගයේද පහළ වැටීමක් පෙනෙන්නට තිබුණි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන්ද ලංකාව සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය දැඩි ප්‍රතිපත්තිය ලිහිල් කරමින් තිබුණේය. අවසානයේ යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ලංකාවෙන් ඉල්ලා සිටින තැනකට ඔවුහුද තල්ලු වූවෝය.

ශ්‍රී ලංකාවේ වාසියට හේතුවන ලෙස ජාත්‍යන්තර තලයේ ඇතිවෙමින් තිබූ මෙම වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ඊට ගැළපෙන ලෙස සිය ප්‍රතිපත්තිවල නම්‍යශීලී වෙනසක් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව අසමත් විය. මෙම අවුලේදී ශ්‍රී ලංකා ආණ්ඩුව හොඳින් සැලකිල්ලට නොගත් වැදගත්ම සාධක හතරක් මෙසේය.

1. ජාත්‍යන්තර බලපෑම් නිසා පමණක් නොව, ජාත්‍යන්තර බලපෑම් නොතිබියදීම වුවත් යුද්ධය අවසන්කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාව, ජාතිය ගොඩනගන ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළකට යොමුවිය යුතුව තිබුණේය. එක්සත් ජාතියක් ගොඩ නගා ගැනීමට අසමත්ව තිබීම කෙළවරක් නැති තරමට ලේ වැගිරීම් ඇතිවීම කෙරෙහි බලපා තිබූ ප්‍රධාන හේතුවක් වී තිබුණි. එතැන් සිට යන ශක්තිමත් ඉදිරි ගමනක් සඳහා එක්සත් ජාතියක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. දේශපාලන ක්‍රමයේද සංස්කෘතියේද තිබුණු අවුල්සහගත හා දූෂිත බව ශක්තිමත් ඉදිරි ගමනකට තිබුණු ඊළඟ ප්‍රධාන බාධකය වී තිබුණේය. මෙම සම්බාධක දෙක ජයගැනීම ඉලක්ක කොටගත් ජාතිය ගොඩනැගීමේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවේ ඊළඟ ඉදිරි ගමන සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. එම තත්ත්වය බුද්ධිමය වශයෙන් තේරුම් ගැනීමට ආණ්ඩුව සමත් වී නොතිබුණේය.

2. බටහිර ලෝකයේ ව්‍යාප්තවාදී හා දෙබිඩි පිළිවෙත් තිබියදීත් ශ්‍රී ලංකාව නිපදවන භාණ්ඩ සඳහා ප්‍රධාන වෙළෙඳපොළ තිබුණේ බටහිර ලෝකයේය. විදේශ ආයෝජන අවශ්‍යතාවන්ගෙන් කිසියම් වැදගත් කොටසක් ලබාගත යුතුව තිබුණේද බටහිර ලෝකයෙනි. මේ නිසා යුද්ධය අවසන් වූ වහාම බටහිර ලෝකය සමග තිබුණු අන්තර් සම්බන්ධය යළි යථා තත්ත්වයට ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. ඒ සඳහා වන යහපත් ඉදිරි දර්ශනයක්ද ආණ්ඩුවට නොතිබුණේය.

3. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ උපාය මාර්ගික වැදගත්කමක් ඇති මුහුදු මාර්ගයක වැදගත් සන්ධිස්ථානයකය. ශ්‍රී ලංකාවේ ළඟම අසල්වැසියාවන්නේ ඉන්දියාවය. දැන් ඉන්දියාව සිටින්නේ කලාප බලවතාගේ තත්ත්වය ඉක්මවා ගිය වර්ධනය වන මහ බලවතකුගේ තත්ත්වයකය. ඒ සඳහා වන තරගයක සිටින රටක් වශයෙන් ඉන්දියාවටද දෙබිඩි හා ව්‍යාප්තවාදී අරමුණු තිබෙනවා වුවත් ඉන්දියාවේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන විදේශ ප්‍රතිපත්තියක් ඉන්දියානු කටේ ජීවත් වන රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට උපරිම මට්ටමකින් ආධාර කළේය. යුද්ධය පැවති කාලයේදී ඉන්දියාවේ විශ්වාසයට හේතුවන ඥානාන්විත හා කාර්යක්ෂම ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට තිබුණේය. එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසු එම තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට ශ්‍රී ලංකා ආණ්ඩුව සමත් වූයේ නැත. ලංකාවේ දෙමළ ප්‍රශ්නය ඉන්දියාවට සංවේදී ප්‍රශ්නයකි. යුද්ධය අවසන්වීමෙන් පසු ඊට සාධාරණ විසඳුමක් ලබාදෙනු ඇතැ”යි ඉන්දියාව අපේක්ෂා කළේය. ප්‍රශ්නයට විසඳුම 13 වන සංශෝධනය නොවී ඊට වෙනසක් සාධාරණ විසඳුමක් වී නම් එවැන්නක් භාරගැනීමට අවශ්‍ය නම්‍යශීලීභාවයක්ද ඉන්දියාවට තිබුණේය. එහෙත් රාජ්‍ය නායකයා තුළ 13 වන සංශෝධනය කෙරෙහි විශ්වාසයක් නොතිබියදී 13 වන සංශෝධනය සමග ඊට වැඩි දෙයක් දෙන බවට දිගින් දිගට ඉන්දියාවට සහතික වූයේය. එහෙත් එම පොරොන්දුව ඉටු නොකිරීම නිසා දැන් ඉන්දියාව සිටින්නේද විශ්වාසයෙන් තොර තත්ත්වයකය. තවමත් ඉන්දියාව ශ්‍රී ලංකා විරෝධී ප්‍රතිපත්තියකට තල්ලු වී නැතත් එවැනි තත්ත්වයකට තල්ලු වුවහොත් එය ඇති කරන ප්‍රතිවිපාක ඉතා විනාශකාරී විය හැකිය.

4. යුද්ධය අවසන්කිරීමෙන් පසුව අන් සියලු දේට ප්‍රථම සිදුවිය යුතුව තිබුණු වැදගත්ම දේ ලෙස සැලකිය හැක්කේ ප්‍රමාද කිරීමකින් තොරව රටේ සියලු කටයුතු සාමාන්‍ය තත්ත්වයකට පත්කිරීමය. පැහැර ගැනීම්, අතුරුදන්කිරීම් වැනි යුද කාලයේදී සිදුවූ සියලු නපුරු දේවල් කලාතුරකින් හෝ අසන්නට නොලැබෙන තත්ත්වයක් ඇති කිරීමය. ආරක්ෂක හමුදාවන්ද සාමාන්‍ය කටයුතුවලින් ඉවත් කිරීමය. භේදයෙන් තොරව සියලු ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භුක්ති විඳින තත්ත්වයක් ඇති කිරීමය. එහෙත් එම විෂයයේදීත් ප්‍රශස්ත වියයුතු තරමින් ප්‍රශස්ත කළමනාකරණයක් පෙන්නුම් කිරීමට ආණ්ඩුව සමත් නොවීය. එම තත්ත්වය ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකා ප්‍රතිරූපය තවදුරටත් දුර්වල කිරීමට හේතුවූ අතර දේශීය වශයෙන්ද ආණ්ඩුව කෙරෙහි පැවති මහජන විශ්වාසයද දුර්වල කිරීමට හේතුවී තිබේ.

මෙම කරුණු නැවත බැරෑරුම් ලෙස සලකා බලන තැනකට යෑම ආණ්ඩුවේ යුතුකම සේ ම වගකීමද වන්නේය.