මා රාවයේ ඉතිහාසයට අදාළ වැදගත් සිද්ධීන්, කිසියම් විශාල ප්රමාණයක්, විධිමත් ලෙස එකට ගෙන ලියා නැතත්, අවිධිමත් ලෙස හෝ විවිධ තැන්වල ලියා ඇති බැවින්, රාවයේ 25 වැනි සංවත්සරය සපිරෙන මේ අවස්ථාවේදී, මා මීට පෙර කොතැනකවත් ලියා නැති, අත්දැකීම් කිහිපයක් සටහන් කිරීම වැදගත්යැ”යි සිතුවෙමි. එය රාවය මගේ පවුලේ සාමාජිකයන් කෙරෙහි හා සමහර පුද්ගලික මිතුරන් කෙරෙහි බලපෑ සිද්ධීන් කිහිපයක් පිළිබඳවය.
මාගේ පවුලේ සාමාජිකයන් සමහරවිට කියන්නේ මට පවුල් දෙකක් තිබෙන බවය. එයින් ඔවුන් අදහස් කරන්නේ මාගේ බිරිඳ හා දරු තිදෙනාට අතිරේකව තවත් පවුලක් තිබෙන බවය. ඒ රාවය පුවත්පත හා එහි කාර්ය මණ්ඩලය ඇතුළත් රාවය පවුලය. එම නිරීක්ෂණයේ යම් ඇත්තක් තිබෙන්නේයැ”යිද කිව හැකිය.
මාගේ සිතුම් පැතුම් හා ජීවිතය කෙරෙහි බලපෑ විවිධ පුද්ගලයෝ සිටිති. ඒ සියලුදෙනා අතරින් මාගේ ජීවිතය කෙරෙහි වඩාත්ම බලපෑ පුද්ගලයා මහත්මා ගාන්ධි විය. එම අතීතයේදී මා කැමති වීරයෝ සිටියෝය. එහෙත් බොහෝ වීරයන් කිසියම් කලකදී මට එපාවිය. මට කවදාවත් එපා නොවූ වීරයා මහත්මා ගාන්ධිවීයැ”යි කිව හැකිය. එහෙත් ඒ වීරයාගේ ජීවිතයේ මා අකමැති පැත්තක්ද තිබෙන්නේය. ඒ ඔහුගේ පිය චරිතයයි. ඔහු සාර්ථකම ජන නායකයා ලෙස සැලකිය හැකි වුවත්, සාර්ථක පියකු නොවීය. ඔහුගේ දරුවන්ට ඔහු පිළිබඳ අතෘප්තියක් සේ ම විවේචනයක්ද තිබුණේය. ගාන්ධි සමහර පිටස්තර දරුවන්ගේ අධ්යාපනය ගැන උනන්දුවක් දැක්වුවද තමන්ගේ දරුවන්ගේ අධ්යාපනය ගැන කිසිදු උනන්දුවක් නොදැක්වීය. විශේෂයෙන් ඔහු සිය දරුවන් සිව්දෙනා අතරින් හරිලාල් සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය පිළිවෙත ඉතාමත්ම දරදඬු විය. හරිලාල් ඔහුගේ වැඩිමහල් පුත්රයා විය. හරිලාල්ගේ බිරිඳ මියගිය පසු ඔහු නැවත විවාහ වනවාට ගාන්ධි තරයේ විරුද්ධ විය.
ඉන්පසු ඔහු බීමත්කමට ඇබ්බැහි වී ජීවිතය සම්පූර්ණයෙන්ම පාහේ කාලකණ්ණි කරගත්තේය. හින්දු ආගම අතහැර ඉස්ලාම් ආගම වැළඳ ගත්තේය. අවස්ථාවක් ලැබෙන හැමවිටම ඔහු සිය පියා නින්දාවට ලක් කළේය.
ගාන්ධිගේ ජීවිතය තුළ පැහැදිලිව දක්නට තිබුණු මෙම අවුල කාලයක් තිස්සේ මාගේ කුතුහලයට හේතුවී තිබුණු කරුණක්වීයැ”යි කිව හැකිය. ඒ නිාස ජන නායකයන්ගේ ජීවිත ගැන සොයා බලන විට මා ඒ පැත්ත ගැනද සොයා බලන්නට විශේෂ උනන්දුවක් දැක්වීයැ”යි කිව හැකිය. මෙම ලක්ෂණය ගාන්ධිට පමණක් සීමාවූ දෙයක් ලෙස සැලකිය නොහැකිය. මැන්ඩෙලාගේ දේශපාලන ජීවිතය සාර්ථක එකක් ලෙස සැලකිය හැකි වුවද පවුල් ජීවිතය සාර්ථක එකක් නොවීය. මාටින් ලූතර් කිං සම්බන්ධයෙන්ද කිවහැක්කේ එයමය.
මෙය මාගේ සතුටට හේතුවූ කරුණක් නොවීය. මා හැමදාමත් විශ්වාස කළ දෙයක් වනුයේ කිසියම් පුද්ගලයකු බාහිර සමාජය තුළ කොතරම් හොඳ පුද්ගලයකු ලෙස සැලකුණද සිය පවුල තුළ, අසල්වැසියන් අතර හා වැඩ කරන ආයතනයේ සේවකයන් අතර හොඳ පුද්ගලයකු ලෙස නොසැලකෙන්නේ නම් එය යහපත් තත්ත්වයක් නොවන බවය. පවුල් ජීවිතයේ දරුණු අවුල් ඇතොත් එය ඔහුගේ සමාජ ජීවිතය කෙරෙහි විනාශකාරී ලෙස බලපාන බව මාගේ විශ්වාසය විය. ඒ නිසා මාගේ පවුල තුළ ඒ සියලුදෙනාගේ ආදරය හා සෙනෙහස හිමි කරගත් ඒ සියලුදෙනාට ආදරයෙන් හා සෙනෙහසින් ක්රියාකරන පුද්ගලයකු ලෙස ජීවත්වීමට මට අවශ්යව තිබුණි. මා මගේ දරුවන් තිදෙනාටම භේදයකින් තොරව සමාන ලෙස සලකන ප්රතිපත්තියක් පවත්වාගෙන යෑමට උත්සාහ කළ පියකුවීයැ”යි කිව හැකිය. මා ඔවුන් දැඩි ලෙස පාලනය කිරීමට උත්සාහ නොකෙළෙමි. ඔවුන්ට තර්කානුකූලව සිතන්නට මතන්නට අනුබල දුන්නෙමි. කොතරම් වැදගත් වැඩ තිබුණද මම හැම සති අන්තයකම ඔවුන් සමග ජීවත්වීමට ගාල්ලේ නිවසට ගියෙමි. මා නොවරදවා සිකුරාදා ගෙදර එන බව ඔවුන් දැන සිටියේය. මාගේ මේ පුරුද්ද මා ඇසුරු කළ අයද දැන සිටියේය. චන්ද්රිකා කුමාරතුංග මහත්මිය බලයට පත්වීමෙන් පසු ඇයට ආධාර කළ කණ්ඩායමක් සඳහා සෙනසුරාදා දිනයක සාදයක් පවත්වන ලද අතර එයට සහභාගි වන ලෙස ඇය මට ආරාධනා කළ විට මා ඊට සහභාගිවීම ප්රතික්ෂේප කළෙමි. හේතුව ඇය ද දැන සිටියාය. ඒ කාලයේදී සමහර සාකච්ඡා සඳහා දින නියම කිරීමේදී මගේ පැමිණීම අත්යවශ්ය වන අවස්ථාවලදී දින නියම කෙරුණේ මා පවත්වාගෙන ගිය එම පුරුද්ද සැලකිල්ලට ගනිමිනි. වර්තමානයේ පවා මාගේ මිතුරන් සුහද හමුවක් සඳහා දින නියම කරන අවස්ථාවලදී ඒ සාධකයද සැලකිල්ලට ගත්තේය. සමහරවිට ඔවුන්ගේ වැදගත් දෙයක් සෙනසුරාදා හෝ ඉරිදා දිනක කරන විට ඒ සඳහා මට ආරාධනා කිරීමෙන් ඔවුහු වැළකී සිටිති.
ගෙදර ගතකරන දින දෙකේ මා මගේ මුළු කාලය බිරිඳ හා දරුවන් වෙනුවන් ගතකරන්නේ නැත. මා මගේ පුස්තකාලයට වී මාගේ වැඩකටයුතුවල නිරත වුවද මාගේ ගෙදර ඉඳීම ඔවුන්ට වැදගත් විය.
මාගේ පවුලේ කටයුතු නිසි සංවේදීභාවයකින් යුතුව කළමනාකරණය කළද මට ඔවුන්ද ඔවුන්ට මා ද එපාවන තත්ත්වයක් හෝ කවදා හෝ ඇතිවිය හැකිද යන කුහුලක් මා තුළ පැවතිණි. වරක් මා රටේ ඉතාමත් වැදගත්, ජාතික පිළිගැනීමක් ඇති, දැවැන්තයකු ලෙස සැලකිය හැකි කලාකරුවකු ඔහුගේ නිවසේදී මුණගැසී කතා කරමින් සිටියදී මා ඉදිරියේම ඔහුගේ පුතා පියාට කතා කළ අපහාසාත්මක ස්වරය දැක මට මහා කම්පනයක් ඇතිවිය. ඒ මහා කලාකරුවා රටේ සියලුදෙනාගේම ගෞරවය හිමිකර ගැනීමට සමත් වී ඇතත්, සිය දරුවාගේ ගෞරවයට හේතු නොවීම මාගේ පුදුමයට සේ ම කම්පනයටද හේතුවිය. එවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙන්නට මට සිදුවනු ඇත්ද කියන කුහුලක් මා තුළ ඒ මොහොතේදීද ඇතිවිය.
ඒ අර්ථයෙන් මා ඉතාමත් වාසනාවන්තයැ”යි කිව හැකිය. දැන් ඔවුන් සියලුදෙනාම විවාහ වී ඇතත්, අප අතර තිබෙන අන්තර් සම්බන්ධය ඉතාමත් යහපත්ය. මාගේ දරුවන් සමග පමණක් නොව ඔවුන් විවාහ වූ ස්වාමිපුරුෂයන් දෙදෙනා හා බිරිඳ හා අප අතර (මා හා ලලිතා) තිබෙන සම්බන්ධය ඉතා යහපත්ය.
මාගේ බිරිඳ හා දරුවන්ද මා කරන දේවල් සම්බන්ධයෙන් ඉතාමත් සංවේදීව ක්රියාකළේයැ”යි කිව හැකිය. ඉතාම වැදගත් දේ මාගේ බිරිඳ හෝ දරු තිදෙනො කිසිවිටෙකවත් මට ආත්මාර්ථකාමීවීමට බල නොකිරීමය. සමහර අවස්ථාවලදී මුහුණදෙන්නට සිදුවූ ආර්ථික අමාරුකම් නොසලකා මගේ වෘත්තීය ජීවිතය ගෞරවයෙන් පවත්වාගෙන යෑමට ඔවුහු අනුබල දුන්හ. තමන්ගේ ජීවිත කිසිවිටෙකත් පොහොසත්ම මිනිසුන්ගේ ජීවිත සමග නොසසඳන ලෙසත්, අතෘප්තියක් ඇතිවන අවස්ථාවලදී දුප්පත් අසල්වැසියකුගේ ජීවිත සමග සසඳා තමන්ට ලැබී තිබෙන ජීවිතය ගැන තෘප්තිමත් වීමටත් මම ඔවුන්ට උගන්වා තිබුණු අතර එම ධර්මතාව ඔවුන් පිළිපැද්දේයැ”යිද කිව හැකිය.
චන්ද්රිකාගේ දෙවැනි ධුර කාලය සඳහා පැවති ජනාධිපතිවරණයේදී ඇමති මංගල සමරවීරගේ මෙහෙයවීමෙන් ව්යාජ රාවයක් පළ කරන ලදි. මෙම කලාපය සකස් කර තිබුණේ මාගේ පුද්ගලික ජීවිතයද නින්දාවට ලක් කැරෙන දේවල් ද ඇතුළත් වන ආකාරයටය. එවැනි තත්ත්වයක් ඉවසීමේ හැකියාවක් මට තිබුණද ඔවුන් මට රිදවීම පිණිස මෙම ප්රකාශනය මගේ ගමේ නිවසටද බෙදාහැර තිබුණි. මා සති අන්තයේ නිවසට ගියවිට එය තිබෙනු මා දැකීමෙන් මා තුළ විශාල කම්පනයක් ඇතිවිය. එය මාගේ බිරිඳ හා දරුවන් භාරගන්නේ කෙසේද යන කුහුල මා තුළ ඇතිවී තිබුණි. ඒ සමග ජනාධිපතිනියට මුහුණ දෙන්නට සිදුවූ බෝම්බ ප්රහාරයෙන් පසුව ප්රතිකාර සඳහා ලන්ඩනයට ගොස් ආපසු පැමිණි වහාම ඇය පැය තුනකට ආසන්න කාලයක් පවත්වන ලද රූපවාහිනි සාකච්ඡාවේදී මට එරෙහිවද ඇය විශාල පහරදීමක් කර තිබුණි. මම ජීවත් වූයේ හැමදාමත් ශ්රීලනිපයට වැඩි බලයක් තිබුණු ගමකය. රටේ නායිකාව කරන ලද එම කතාවෙන් පසුව මාගේ බිරිඳ හා දරුවන්ට එම කතාව කෙසේ බලපානු ඇත්ද යන කුතුහලය මා තුළ ඇතිවී තිබුණි.
මා එම සති අන්තයේදී ඔවුන්ට විශේෂ ආහාර වේලක් සකස් කොටදී කෑම මේසයේදී ඔවුන් සමග එම විෂය ගැන කතා කරන්නට උත්සාහ කළෙමි.
ගමේ කිසිම කෙනකු අයහපත් ප්රතිචාරයක් නොදක්වන ලද බව, චන්ද්රිකාගේ කතාව ගැන සමහර අය තමන්ට ඒ ගැන කනගාටුව පළ කරන ලද බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය. ඉන්පසු චන්ද්රිකාගේ කතාව ඔවුන් ඉගෙනගන්නා පාසල්වල ළමුන් හා ගුරුවරුන් කෙරෙහි බලපා තිබෙන ආකාරය ගැන දරු තිදෙනා සමග කතා කරන්නට උත්සාහ කළෙමි. ඔවුන් තිදෙනාම කීවේ ඒ නිසා කිසිදු නරක බලපෑමක් සිදු නොවූ බවය.
මා එම ස්ථානයෙන් පිටත්ව ගිය පසුව පුතා අම්මා හා සහෝදරියන් සමග කී කතාවක් වෙනත් අවස්ථාවකදී ලලිතා මා සමග කීවාය. ඒ වනවිට ඔහු ඉගෙන ගත්තේ ගාල්ලේ රිච්මන්ඩ් විද්යාලයේය. ඔහුගේ වයස අවුරුදු 13ක් පමණ විය.
චන්ද්රිකාගෙ කතාව ගැන කිසියම් ළමයෙක් තමාගෙන් ප්රශ්න කළහොත් උත්තරදීමට ඔහු උත්තරයක් හදාගෙන සිටි බව ඔහු අම්මාට කියා තිබුණි. ඔහු හදාගෙන තිබුණු උත්තරය මෙවැන්නකි. “ඔයගොල්ලන්ගේ තාත්තා සමහරවිට ගෙදර අම්මත් එක්ක හෝ අසල්වැසියන් එක්ක රණ්ඩු කරනවා ඇති. ඒත් මගේ තාත්තා අම්මාත් එක්ක හෝ අසල්වැසියන් එක්ක රණ්ඩු කරන්නේ නැහැ. ඒත් මගේ තාත්තා ඒ වෙනුවට රටේ ජනාධිපතිත් එක්ක රණ්ඩු කරනවා. මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද?”
මාගේ දරුවන් තිදෙනාටම ලිවීමේ හැකියාවක් තිබුණි. ඔවුන්ටම ආවේණික ලිවීමේ ශෛලියන් තිබෙන බවද පෙනෙන්නට තිබුණි. මාගේ පුස්තකාලය මාගේ බිරිඳ හා දරුවන්ද, ජීවතුන් අතර සිටියදී මගේ මවද ප්රයෝජනයට ගත්හ. දරුවන් පොඩි කාලයේදී ඔවුන් පුස්තකාලයේ තිබෙන පොත්වලට හානි කරනු ඇතැ”යි කියන බියක් මට තිබුණි. එසේ වී නම් එය වේදනාකාරී අත්දැකීමක් වන්නට ඉඩ තිබුණි. එහෙත් මගේවාසනාවට මොන හේතුවක් නිසා හෝ ඔවුන් පුංචිම කාලයේදී පවා මගේ පොත්වලට හානි කළේ නැත. ඔවුන් ඒවා ආදරයෙන් රැකබලා ගත්තේය.
මේ තිදෙනාගෙන් කවරකු හෝ පියාගේ වෘත්තීය තෝරාගැනීමට කැමැත්තක් තිබේද යන්න දැනගැනීම සඳහා වරක් ඔවුන් සමගම මම ඒ ගැන කතා කළෙමි. ඔවුන් තිදෙනාම එක හඬින් කියා සිටියේ මොනම හේතුවක් නිසාවත් තාත්තාගේ වෘත්තිය තෝරා නොගන්නා බවය. මට විඳින්නට සිදුවූ ප්රශ්න ඔවුන් දුටු බවත් එවැනි තත්ත්වයකට පත්වන්නට තමන්ට අවශ්ය නැති බවත් ඔවුහු කියා සිටියහ. එහෙත් ඔවුන් මාගේ වෘත්තීය ජීවිතයට අවහිර නොකළේය. අනිසි ඇඟිලි ගැසීම්ද නොකළේය. අයුතු ඵල ප්රයෝජන ලැබීමටද උත්සාහ නොකළේය.
ඔවුන් සියලුදෙනාම දැන සිටියේ මා රාවයේ අයිතිකරුවා වශයෙනි. එහෙත් කිසිවිටෙකත් රාවයේ දේවල් සොයා බලන තැනකට නොගියෝය. ආදායම් ගැන ප්රශ්න නොකළෝය. කලාතුරකින් හෝ කාර්යාලයට පැමිණි අවස්ථාවලදී පවා හැසිරුණේ එහි එන අමුත්තකු හැසිරෙන ආකාරයටය. එය මාගේ තවත් පවුල් ජීවිතයක් ලෙස සලකා එහි කටයුතු, ඇඟිලි ගැසීමකින් හෝ ප්රශ්න කිරීමකින් තොරව මට කැමති අන්දමට කරගෙන යන්නට ඉඩ දුන්නේය.
මාගේ දෙවැනි දුවගේ විෂය වී තිබුණේ තොරතුරු තාක්ෂණයයි. රාවයේ පුවත්පත් බෙදාහැරීමේ අංශය පරිගණක ගතකර තිබුණද අනෙක් අංශවල කටයුතු පරිගණක ගතකර නොතිබුණි. ඒ අංශද පරිගණක ගතකිරීමේ අවශ්යථාවක් අපට තිබුණි. ඒ ගැන කරන ලද කතාබහකදී ඒ කාර්යය මගේ දුවට පවරන ලෙස ලාල් පියසේන යෝජනා කළේය. එය වරදක් නොවේයැ”යි සිතා මම ඒ යෝජනාවට එකඟ වුණෙමි. ඒ කාර්යය කරදෙන ලෙස මම ඇයගෙන් ඉල්ලා සිටියෙමි. දැනට පරිගණක ගත කොට තිබෙන අංශයේ ඒ සඳහා යොදාගන තිබෙන වැඩසටහනේ පිටපතක් ලබාදෙන ලෙස ඇය ඉල්ලා සිටියාය. මා එය ඇයට ලබා දුන්නද කලක් යනතෙක් කිසිවක් සිදුනොවන බව පෙනුණු විට මට පොඩි තරහක් ඇතිවී මම ඒ ගැන ඇගෙන් ප්රශ්න කළෙමි. ඇය ඊට දෙන ලද පිළිතුර මගේ පුදුමයට හේතුවිය.
“තාත්තගේ ඉල්ලීම ගැන මා හොඳින් හිතා බැලුවා. මම එය කරනවා නම් මට තාත්තාගේ කාර්යාලයට යන්නට සිදුවෙනවා. පොත්පත් බලන්න සිදුවෙනවා. අංශ ප්රධානීන් සමග කතා කරන්නට සිදුවෙනවා. මට ඒ සියල්ල කරන්න වෙන්නේ තාත්තාගේ දූ හැටියට. මම එහෙම කරන එක හොඳ නැහැ. එය අනවශ්ය ආධිපත්යයක් ලෙස ඔවුන්ට පෙනෙන්න පුළුවන්. ඒක මට හොඳත් නෑ. තාත්තට හොඳත් නෑයැ”යි ඇය කීවාය.
මාගේ පවුලේ සාමාජිකයන් රාවය කෙරෙහි සංවේදීව ක්රියාකර ඇතත්, රාවය මාගේ පවුලේ සාමාජිකයන් කෙරෙහි සංවේදී නොවී ක්රියාකිරීම නිසා බැරෑරුම් ප්රශ්න ඇතිවූ අවස්ථා තුනක් පවතී. මා ඒ ගැන මෙහි සඳහන් කරන්නේ රාවය කෙරෙහි ඇති කරගත් තරහකින් නොව, මෙම වෘත්තීයේදී මුහුණ දෙන්නට සිදුවන ප්රශ්නවල ඇති සංකීර්ණතාව පෙන්නුම් කිරීම සඳහාය. එම අත්දැකීම් තුන ආශ්රයෙන් ජනමාධ්යවේදීන්ට උගත හැකි වැදගත් පාඩමක්ද ඇතැ”යි සිතමි.
එකල මගේ පුතාගේ වයස අවුරුදු හය හතකට වැඩි නොවීය. ඔහු අධ්යාපනය ලබන විදුහලේ විදුහල්පති සම්බන්ධව පළකරන්නට නියමිත වාර්තාවක් මට අහම්බෙන් දකින්නට ලැබුණි. එය මගේ පුතා කෙරෙහි ප්රශ්න ඇති කිරීමට හේතුවිය හැකි බව පෙනුණද එය පළකිරීම වැළැකීම සුදුසු නැතැ”යි පෙනුණු නිසා එය පළවන්නට ඉඩ හැර මම බලා සිටියෙමි. එය පළවූ පසුව ලියන ලද පුද්ගලයා මා වෙත කැඳවා එය මගේ පුතා අධ්යාපනය ලබන පාසලේ විදුහල්පති ගැන පළවන වාර්තාවක් නිසා එය මාගේ පුතාගේ අධ්යාපන ජීවිතය කෙරෙහි බලපාන කරුණක් ලෙස සලකා එය පළකරන්නට පෙර මා සමග කතා කිරීමේ යුතුකමක් තිබුණු බව ඔහුට පෙන්වා දුන්නෙමි. එම වාර්තාව මගේ පුතා කොතරම් වයසෙන් අඩු පොඩි කෙනකු වුවද ඔහු කෙරෙහි බිහිසුණු ප්රතිඵල ඇති කිරීමට හේතුවිය. විදුහල්පති ඔහුගෙන් උපරිම මට්ටමකින් පළිගත්තේය. ඒ අවුල ලිහාගැනීම සඳහා ඔහුගේ පාසල වෙනස් කිරීමට සිදුවිය.
මගේ පුතා ක්රීඩාවට ප්රිය කළේය. ඔහු පළමුවෙන් තෝරාගත්තේ ක්රිකට්ය. එහෙත් පාසලේ ක්රිකට් වටාපිටාව ගැන කලකිරී අවසානයේ ඔහු මගේ ප්රියතම ක්රීඩාව වී තිබුණු චෙස්වලට මාරුවිය. ඔහු එහිදී ඔහුගේ පුංචි වයසට නොගැළපෙන තරමේ අසාමාන්ය දක්ෂතාවක් පෙන්නුම් කළේය. ඔහු එම විෂයේදී සිය පාසලට උපරිම මටටමේ කීර්තියක් හා ගෞරවයක් හිමිකර දුන්නේය. ජාතික පාසල් ශූරතාව පමණක් නොව ක්ලබ් ශූරතාවද හිමිකර දෙන අතර ජාතික ශූරතාවද දිනා ගත්තේය.
ඒ අතර කාලයේදී ඔහුගේ විදුහල්පති ගැන රාවයේ පළවූ පුවතක් නිසා ඔහු නැවත වරක් දරුණු පළිගැනීමට භාජනය වන පුද්ගලයකු බවට පත්විය. ඔහු අසාමාන්ය තරමේ ජයග්රහණයන් රැසක් විදුහලට ලබාදී තිබියදීත් එය නොසලකා විදුහල්පති ඔහුගෙන් පිළිගත්තා පමණක් නොව චෙස් ක්රීඩාවෙන්ද පළිගත්තේය. ඔහු චෙස්වලදීට විශාල කාලයක් යොමු කළ තිබුණද සිය අධ්යාපන කටයුතුද ප්රශස්ත ලෙස පවත්වාගෙන යෑමට සමත්ව සිටියේය. එහෙත් විදුහල්පතිගේ පළිගැනීමේ පිළිවෙත ඉවසාගෙන සිටිය නොහැකිව ඔහු උසස් පෙළ සම්පූර්ණ කිරීමෙන් තොරවම පාසල් ජීවිතයට ආයුබෝවන් කියා පූර්ණකාලීන චෙස් ක්රීඩකයකු බවට පත්විය. එහෙත් ඔහුට මුහුණ දෙන්නට සිදුවූ කනගාටුදායක තත්ත්වය ගැන ඔහු මට දොස් නොකීවේය. රාවයටද දොස් නොකීවේය.
ඔහු වසර 6ක්ම ජාතික ශූරයා වුවද ඔහුට අනුග්රාහකයකු නොසිටියේය. අඩුම වශයෙන් ක්රීඩා උපදේශකයකුවත් නොසිටියේය. ඔහු ජාත්යන්තර තරගවලට සහභාගිවන හා බහුල ලෙස අන්තර්ජාලය පාවිච්චි කරන්නකු වූ වීම නිසා (එකල අන්තර්ජාලය සඳහා අද මෙන් නොව විශාල වියදමක් දැරිය යුතු මාර්ගයක් විය.) ඔහු මට නඩත්තු කළ නොහැකි කෙනකු බවට පත්ව තිබුණේය. අවසානයේ මගේ මැදිහත්වීමකින් තොරව ඔහුට අනුග්රාහකයකු ලැබී තිබුණි. ඒ මාස් හෝල්ඩින්ග්ස් ආයතනයේ දයාන් ගෝමස්ය. ඔහු ඔහුට සමාගමේ කර්මාන්ත පරිශ්රයේ පුංචි නිවසක් දී අන්තර්ජාලය සමග චෙස් ගැසීමට පහසුකම් ලබාදී රුපියල් පහළොස් දහසක මාසික දීමනාවක්ද ලබා දුන්නේය.
ඒ කාලයේ රාවය ඩයන් ගෝමස්ට එලව එලවා පහර දුන්නේය. ඔහුට මාස් හෝල්ඩින්ග්ස් සමාගමේ අනුග්රහය ලබාගත හැකිවූයේ මාස තුනක් හෝ හතරක් පමණය. තාත්තගේ පත්තරෙන් මගේ අනුග්රාහකයාට පහර දෙනවිට මට එහි ඉන්නට පුළුවන්කමක් නැතැ”යි කියා ඔහු එම ආයතනයෙන් සමුගත්තේය. එහෙත් ඔහු මට හෝ රාවයට දොස් කීවේ නැත. ඒ වෙනුවට ඒ පීඩාවට ඉවසාගෙන සිටියේය. ඉන්පසු ඔහු නැවත අධ්යාපනයට යොමුවිය.
මීට අතිරේකව රාවයට උදව් කළ මාගේ මිතුරන්ද රාවයෙන් එල්ල වූ පහරදීම් නිසා අසීරු තත්ත්වයකට පත්වූ අවස්ථා තිබෙන්නේය.
සුරංජිත් මාගේ නීතිඥයාද මාගේ හොඳම මිත්රයාද වූයේය. මා නෛතික තලයේ කරන සටන්වලට ප්රධාන කොට ශක්තිය ලබා දුන් පුද්ගලයා ඔහුය. ඔහු සාමාන්ය මිනිසකුට වඩා මුනිවරයකු බඳු උත්තම පුරුෂයකු වීයැ”යි කිව හැකිය. ඔහු මට උදව් කළේ මුදල් සඳහා නොවේ. ඔහුට ගෙවන ලද ගාස්තු ද අවම මට්ටමක පැවතිණි. ඔහුගේ බිරිඳ මහාචාර්යවරියක් වූ අතර පරමාණු විෂය සඳහා රටේ සිටි එකම මහාචාර්යවරියද විය.
රාවය ඇයටද කිසිදු සත්ය පදනමක් නැතිව දැන හෝ නොදැන පහර දුන්නේය. ඒ වනවිට සුරංජිත් රාවය අධ්යක්ෂ මණ්ඩලයේද සාමාජිකයකු විය. එම පහරදීම ඔහුගේද විශ්මයට හා කම්පනයට හේතුවිය. එය ඔහුට සේම ඔහුගේ බිරිඳටද වඩාත්ම වේදනාකාරී වූයේ, එම පහරදීම, ඔහුගේ හොඳම මිතුරාගේ පුවත්පත මගින් සිදුකර තිබීම නිසාය.
හේමසිරි ප්රනාන්දු ද මා දීර්ඝ කාලයක් තිස්සේ ඇසුරු කරන ලද මාගේ මිත්රයකු විය. ඔහු රාවයට කරන ලද උදව්වල ප්රමාණය විශාලය. 1990 හෝ 91 වසරේදී ද්රවශීලී ප්රශ්නයක් හේතු කොට එක අවස්ථාවකදී රාවයට නියමිත දිනට කාර්ය මණ්ඩලයට පඩි දිය නොහැකි තත්ත්වයක් ඇතිවිය. ඉන් කාර්ය මණ්ඩලය කැළඹී තිබුණු බවක්ද පෙනෙන්නට තිබුණි. මට ගෙවන පඩිය හැරුණු විට ආයතනය උපයන ලාභයක් වී නම් මා එය ගෙදර ගෙන ගියේ නැති බව කාර්ය මණ්ඩලයේ සියලුදෙනා හොඳින් දැන සිටියේය. එසේ තිබියදීති වෙනත් ඕනෑම ආයතනයක සිදුවන ලෙස ඔවුන්ද කැළඹී සිටියේය. මා හේමසිරිට දුරකතනෙයන් කතා කොට වැටුප් බිල ගෙවීමට අවශ්ය මුළු මුදල ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඔහු කිසිදු පැකිළීමකින් තොරව වහාම එම මුදල කාර්යාලයට එවීය. මා එම මුදල ඔහුට ආපසු ගෙව්වද අවශ්ය නම් එම උදව්ව නොකර මගහැරීමේ හැකියාව ඔහුට තිබුණි. එහෙත් ඔහු එසේ නොකළේය. ඔහු ටෙලිකොම් සභාපති වූ පසු ටෙලිකොම් වෙළෙඳ දැන්වීම් රාවයට දුන්නේය.
එහෙත් රාවය ඔහුට පහර දෙන ලද්දේ ඒ කිසිවක් සැලකිල්ලට නොගෙනය. ප්රතිපත්තිගරුක පුවත්පතකට පුවත්පතේ හොඳම මිතුරකුට වුවද පහර දෙන්නට සිදුවන අවස්ථා තිබිය හැකිය. එහෙත් එසේ කරන්නට පෙර ඒ ගැන ඔහු සමග කතා කළ යුතුය. එසේ කරන්නට සිදුවී තිබෙන හේතුව ඔහුට දැනුම්දිය යුතුය. පහරදීම ඔහුට දැනගන්නට ලැබෙන්නේ පුවත්පතේ පළවීමෙන් පසුව නම් එය යහපත් තත්වයක් ලෙස සැලකිය නොහැකිය.
සුසන්තිකාද එක අවස්ථාවකදී රාවය ක්රියාවට නගන ලද වැඩසටහනක් වෙනුවෙන් අවදානම් සහගත කැපවීමක් කළ ක්රීඩිකාවකි. ඇය සිය අනාගත පැවැත්ම පවා පරදුවට තබා කහපටි ව්යාපාරය වෙනුවෙන් කහපටියක් පැළඳ ගෙන එය ඔලිම්පික් ඉසව්වට දිව්වේය. ඇයද රාවයේ දරුණු පහරදීමකට ලක්විය. එම සිද්ධිය මා තුළ කොතරම් කම්පනයක් ඇති කළේද කිවහොත් ඒ ගැන ඇගෙන් සමාව ඉල්ලා කෙටි සටහන් ලිවීමට මට සිදුවිය. තමන්ගේ මිතුරන් කරන වැරදි ඉදිරියේ ඇස් වසාගෙන සිටින ප්රතිපත්තියක් අනුගමනය කළ යුතු බව මා කියන්නේ නැත. විවේචනය කිරීමක් කළයුතු නම් එසේ කළයුත්තේ ඔහු තමාගේ මිත්රයකු බවද අමතක නොකරමිනි.
විමුක්ති ජයසුන්දරගේ චිත්රපට නිර්මාණයකට ජාත්යන්තර සම්මාන ගණනාවක් ලැබී තිබුණු අවස්ථාවකදී රාවයේ කර්තෘ මණ්ඩල සාමාජිකයකු එම නිර්මාණය පතුරු ගසන ලිපියක් ලියා පළ කළේය. මට පුදුම හිතුණේය. විමුක්ති කිසියම් කලක් රාවයටද එකතු වී වැඩ කළ පුද්ගලයකු විය. එවැනි පුද්ගලයකු ජාත්යන්තර තලයේ සම්මානලාභියකු වූ විට අන් සියල්ලට පෙර පළමුවෙන් කළයුත්තේ අපේ කෙනෙක් ලද ජයග්රහණයක් ලෙස සලකා ඔහුට ඔල්වරසන්දීමය. නිර්මාණය පිළිබඳව විවේචනාත්මක විචාරයක් අවශ්ය නම් කළ යුත්තේ ඊට පසුවය. විමුක්තිට සිදුවූ අසාධාරණය නැති කිරීම පිණිස මට එම චිත්රපටය ගැන විචාරයක් ලියන්නට සිදුවිය.
මේවා හිතාමතා කරන ලද වැරදි යැයි මම නොකියමි. එහෙත් ඒ අවස්ථාවලදී මීට වඩා රාවය සංවේදී වියයුතුව තිබුණේයැ”යි සිතමි.