ආගමික නායකතුමන්ලාගෙන් අවසරයි.
ජනාධිපතිතුමනි, විරුද්ධ පක්ෂ නායකතුමනි, සම්භාවනීය අමුත්තනි, මිත්රවරුනි,
රාවය සිය 25 වැනි සංවත්සරය වෙනුවෙන් රාජ්ය නායකයා, විරුද්ධ පක්ෂ නායකයා, දෙමළ සන්ධානයේ නායකයා, මුස්ලිම් කොංග්රසයේ නායකයා ඇතුළත් තෝරාගත් මහජන නියෝජිත පිරිසකගෙන්ද, රාජ්ය නිලධාරීන්, වෘත්තීයවේදීන්, ශාස්ත්රාලයීය උගතුන්, කලාකරුවන්, ජනමාධ්යවේදීන් හා රාවය පාඨකයන්ද ඇතුළත් වන ලෙස මෙවැනි විශේෂ සභාවක් කැඳවීමේ අරමුණ මා පළමුවෙන් පැහැදිලි කළ යුතුය.
රටක් වශයෙන් අද අප ඉන්නේතීරණාත්මක වැදගත්කමක් ඇති ඓතිහාසික සන්ධිස්ථානයකය. එහෙත් ඒ ගැන අප මැනවින් තේරුම් ගෙන තිබෙන බවක් පෙනෙන්නට නැත. රාජ්ය නායකයා හා විරුද්ධ පක්ෂ නායකයාද ඇතුළත් විශේෂ වශයෙන් තෝරාගත් පිරිසක් ඇතුළත් මෙවැනි සභාවක් කැඳවන ලද්දේ ඒ ගැන මෙම ගරු සභාවේ බැරෑරුම් අවධානය යොමුකිරීමේ අරමුණ ඇතිවය.
නිදහසේ 64 වන සංවත්සරය සමරනු ලැබුවේ මීට සති තුනකට ඉහතදීය. නිදහස ලැබී අවුරුදු 64ක් ගතවන විට ඉන් අඩකට ආසන්න කාලයක් අපට ජීවත්වන්නට සිදුවී තිබුණේ දරුණු ලේ වැගිරීම් මත්තේය. රටේ ජනගහනයේ ප්රමාණය සමග ගත් විට එම ගැටුම්වලින් මියගිය හා තුවාල ලැබූ අයගේ සංඛ්යාව විශාලය. මරණයට පත් නොවූ හා තුවාල නොලැබූ අයගේ පවා අධ්යාත්මය තුවාල වී ඇතැ”යි කිව හැකිය. ඒ අර්ථයෙන් සමස්ත සමාජයම ඉන්නේ ප්රකෘති තත්ත්වයක නොව ප්රතිකාර ලබාගත යුතු තත්ත්වයකය. එක දිගට දීර්ඝ කාලයක් මළමිනී අතර, ලේ ගලන තුවාලකරුවන් අතර මරණ බියෙන් ජීවත් වූ සමාජයක් ප්රකෘති හෝ නිරෝගී සමාජයක් ලෙස සැලකිය නොහැකිය.
මෙම විකෘති තත්ත්වය අපගේ පුද්ගලික ජීවිත කෙරෙහි පමණක් නොව, සමාජ, දේශපාලනය කෙරෙහි සේ ම, ආයතන ක්රමය කෙරෙහිද බලපෑවේය. දේශපාලන ක්රමය හා ඊට ඇතුළත් ආයතන ක්රමයේ ඇතිවී තිබෙන විකෘතිය මුළුමනින් රටේ ඇතිවූ ප්රචණ්ඩ ක්රියාකාරකම් නිසා පමණක් ඇති වූවක් ලෙසද සැලකිය නොහැකිය. ඊට අතිරේකව නිදහසේදී සම්පූර්ණ කරගැනීමට අසමත් වූ ප්රධාන සාධක දෙකක් ද ඒ කෙරෙහි බලපා තිබෙන බව පෙනේ.
අපට නවීන අර්ථයෙන් වන ජාතික රාජ්යයක් සේ ම ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමයක්ද ලැබුණේ බ්රිතාන්යයන්ගෙනි. එහෙත් නිදහසේදී හෝ නිදහසින් පසු අපේ රටේ නායකයන් එම ජාතික රාජ්යය හා ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමය ඉදිරියට ගෙන ගියේ ජාතික රාජ්යයක් සඳහා අවශ්ය කරන එක්සත් ජාතියක්වත්, ප්රජාතන්ත්රවාදී ආණ්ඩු ක්රමයක් සඳහා අවශ්ය කරන ප්රජාතන්ත්රවාදී සමාජයක්වත් ඇති කරගැනීමෙන් තොරවය. ජනතාව අතර වර්ග, කුල හා ආගම් අනුව තිබුණු බෙදීම් තුනී කොට ශ්රී ලාංකික ජාතියක් හා ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇති කර ගැනීම සඳහා වන බහුත්වවාදී ඉදිරි දැක්මක් අපේ නායකයන්ට නොතිබුණි. ඒ නායකයන් සියලුදෙනා මහජන බලය සඳහා, වර්ගය, කුලය හෝ ආගම මත පදනම් වී අන්යයන් කෙරෙහි වෛරය හා ද්වේෂය වැපිරීය. ඒ මගින් ජාතිය එකතු කරනවා වෙනුවට ඔවුන් අතර තිබුණු භේද උග්ර කළේය.
එක්සත් ජාතියක් හෝ ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇති කරගැනීමෙන් තොරව යන ගමන තුළ ආණ්ඩු ක්රමය විකෘති වී වර්ග, කුල හා ආගම් අතර සම්බන්ධතාද විකෘති වූයේය. එම විකෘතිය සිංහල දකුණේත්, දෙමළ උතුරේත්, කෙළවරක් නැති තරමට ලේ වගුරුවන තත්ත්වයක් ඇති කළේය. එසේ ඇතිවූ ලේ වැගිරීම්ද වර්ග, කුල හා ආගම් අතර සම්බන්ධතා පමණක් නොව, ආණ්ඩු ක්රමයද තවදුරටත් විකෘති කළේය. 1977දී ගොඩනැගෙන විධායක ජනාධිපති ක්රමය, ආණ්ඩු ක්රමයේ ඇතිවූ එම විකෘති පරිණාමයේ උච්චතම අවස්ථාව ලෙස සැලකිය හැකිය.
නීතියේ පාලනයක් නැතිකම, දැඩි අධිකාරිවාදී බව, ඉහවහා ගිය දූෂණය හා නාස්තිය, පළිගැනීම, සුදුසුකම් නොසැලකීම, ඵල බෙදාගැනීමේදී සාධාරණ නොවීම යන ලක්ෂණ මෙම ආණ්ඩු ක්රමයේ නිත්ය අංගලක්ෂණ බවට පත්ව ඇතැ”යි කිව හැකිය. එම අවලස්සණ දේවල් එසේ තිබියදීත් දීර්ඝ කාලයක් තිස්සේ රටේ එක දිගට පැවති ප්රචණ්ඩ අරගල දේශපාලන ක්රමයේ මූලික වෙනසක් හෝ මූලික ප්රතිසංවිධානයක් ඇති කිරීම, කළ නොහැකි දෙයක් බවට පත්කර තිබුණි. අනෙක් අතට එම ප්රචණ්ඩ අරගල, දේශපාලන ක්රමයට ආවේණික අවලස්සණ හා අවුල්සහගත ස්වභාවය මහජනයාට හොඳින් දැකීමට තිබෙන හැකියාව සීමා කොට තිබුණි.
මහජනයාට ජීවත්වන්නට සිදුවී තිබුණේ මරණ බියෙනි. ඒ නිසා ඔවුන්ගේ ප්රධාන අවධානය යොමුවී තිබුණේ මරණ බිය කෙරෙහි බලපා තිබූ ප්රචණ්ඩ ක්රියාකාරකම් කෙරෙහිය. ඒ නිසා දේශපාලන ක්රමයේ අවලස්සණකම හෝ එහි තිබෙන අවුල්සහගතබව ඔවුන්ට හොඳින් නොපෙනුණේය.
දකුණේ සිංහල ජනතාවට මරණ බිය සමග වසර දෙකහමාරක ද්වන්ද පාලනයක් උරුම කළ ජේවීපී කැරැල්ල 1989 වසර අවසානයේදී පරාජය කිරීමට රණසිංහ ප්රේමදාස ආණ්ඩුව සමත් විය. එහෙත් තවදුරටත් එල්ටීටීඊයේ පැවැත්ම ඉතිරි වී තිබීම නිසා ප්රචණ්ඩ ක්රියාකාරකම් තවදුරටත් පැවතුණි. දෙමළ ජනතාවට පමණක් නොව, සිංහල ජනතාවටද මරණ බිය උරුම කරදෙමින් දෙමළ ජනතාව සඳහා වසර 30ක ද්වන්ද පාලනයක් උරුම කරදී තිබූ එල්ටීටීඊ කැරැල්ල 2009 වසරේ මැද භාගයේදී පරාජය කරන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමත් විය. මෙම සිංහල හා දෙමළ තරුණ කැරලි කෙරෙහි බලපෑ සාධාරණ දුක්ගැනවිලි තිබුණා වුවද එම කැරලි පරාජය කිරීම රටේ ඉදිරි ගමන සඳහා අවශ්ය වැදගත් කොන්දේසියක් වී තිබුණි.
ත්රස්තවාදයෙන් එල්ල වී තිබුණු අභියෝගය මුළුමනින් පරාජය කිරීමත් සමග විකෘති වී තිබුණු දේශපාලන ක්රමය හා පරිපාලන ක්රමය මුළුමනින් වෙනස් කිරීමට හෝ ප්රතිසංවිධානය කිරීමට තිබුණු ප්රධාන සම්බාධකය අහෝසි විය. ත්රස්තවාදය පරාජය කිරීම නිසා කුණුවී තිබුණු දේශපාලන හා පරිපාලන ක්රමය නිරුවත්වීමක්ද සිදුවිය. එම නිරුවත හොඳින් පෙනෙන තත්ත්වයක් ඇතිවීමෙන් පසු දේශපාලන හා පරිපාලන ක්රමය කෙරෙහි මහජනයා අතර පැවති විශ්වාසය වාෂ්ප වී යන තත්ත්වයක් ඇතිවීයැ”යි කිව හැකිය. දැන් අප ඉදිරියේ රඟදැක්වෙමින් තිබෙන අවුල්සහගත තත්ත්වය එම තත්ත්වයේ තර්කානුකූල ප්රතිඵලයක් ලෙස සැලකිය හැකිය. එය පවතින දේශපාලන හා පරිපාලන ක්රමයේ මූලික වෙනසක් හෝ පූර්ණ ප්රතිසංවිධානයක් ඉල්ලා සිටින ඓතිහාසික තත්ත්වයක් ලෙසද සැලකිය හැකිය.
මට පෙනෙන අන්දමට මෙවැනි අර්බුදයක් විසඳාගැනීමට ඇත්තේ මාර්ග දෙකකි. මහජන විප්ලවය එක මාර්ගයකි. එහෙත් එය ඉතාමත් විනාශකාරී ප්රතිඵල ඇති කිරීමට හේතුවිය හැකි බිහිසුණු මාර්ගයක් ලෙස සැලකිය හැකිය. තෝරා ගැනීමට තිබෙන ඊළඟ මාර්ගය වන්නේ රාජ්ය නායකයා ඇතුළු ආණ්ඩු පක්ෂයද, විරුද්ධ පක්ෂ නායකයා ඇතුළු විරුද්ධ පක්ෂයද මෙම අවුලේ ස්වභාවය හා එය කෙරෙහි බලපා තිබෙන හේතු නිවැරදි ලෙස හා අවංක ලෙස තේරුම් ගනිමින් එකට එකතු වී ජාතික ප්රතිසංවිධානයක් සඳහා පොදු එකඟත්වයක් හා මාර්ග සැලැස්මක් ඇතිකර ගැනීමය. එය හිතට එකඟව හා අවංකව ක්රියාත්මක කරන තැනකට යොමුවීමය. ඒ මගින් සියලුදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ශ්රී ලංකාවක් ප්රතිනිර්මාණය කිරීමය. එහිදී ජනවර්ග අර්බුදයටද විසඳුමක් ලබාදිය යුතුය. බිඳ වැටී තිබෙන සමස්ත ආයතන ක්රමයද මහජන විශ්වාසයට හා ගෞරවයට හේතුවන ලෙස නැවත ප්රතිසංවිධානය කළ යුතුය. දකුණේ සිංහල තරුණ පරපුර සේ ම උතුරේ දෙමළ තරුණ පරපුරද අන්තවාදී මාවතකට තල්ලු කිරීම කෙරෙහි බලපෑ හේතු මොනවාද යන්න අවංකව සොයා බැලිය යුතුය. නිදහසින් පසු මෙතෙක් සම්පූර්ණ කිරීමට අසමත්ව තිබෙන එක්සත් ජාතියක් හා ප්රජාතන්ත්රවාදී සමාජයක් ඇතිකර ගැනීම සේ ම ඊට ගැළපෙන නීතියේ පාලනය රජයන ආණ්ඩු ක්රමයක් ඇතිකර ගැනීම එහි තවත් වැදගත් ඉලක්කයක් විය යුතුය. උගත් පාඩම් කොමිසමේ නිර්දේශයන්ද එහිදී සැලකිල්ලට ගත හැකිය. ප්රතිසංවිධාන වැඩපිළිවෙළේ අවසාන ඉලක්කය විය යුත්තේ සියලු රටවැසියන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන නව ශ්රී ලංකාවක් ප්රතිනිර්මාණය කිරීමය. දේශීය වශයෙන් පවතින අවුල් සේ ම ජාත්යන්තර වශයෙන් රටට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අභියෝගද ජයගනිමින් දේශීය වශයෙන් සේ ම ජාත්යන්තර වශයෙන්ද ගෞරවයට හේතුවන රටක් ගොඩනගා ගත හැකිවනු ඇත්තේ එවිටය.
රාවය 25 වැනි සංවත්සරය වෙනුවෙන් මෙවැනි විශේෂ සභාවක් කැඳවීමේ අරමුණ වූයේ එම පණිවුඩය රාජ්ය නායකයා ඇතුළත් ආණ්ඩු පක්ෂයටත්, විරුද්ධ පක්ෂ නායකයා ඇතුළත් විරුද්ධ පක්ෂයටත් ඔබ සියලුදෙනා ඉදිරියේ දැනුම්දීම සඳහාය. ඒ සඳහා වන ඔවුන්ගේ ප්රතිචාර ඔබ ඉදිරියේමබ ලබාගැනීම සඳහාය. අප සියලුදෙනාගේ වැරදි නිසා රටේ ඇතිවී තිබෙන අවුල්සහගත තත්ත්වය අප මතු පරපුරට උරුම කරදිය යුතු නැත. ඔවුන්ට ඔවුන්ගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන රටක් උරුම කරදීම අප සියලුදෙනාගේම වගකීම වන අතර ඒ සඳහා අවශ්ය කරන ප්රතිසංවිධානයකට යොමුවීමට අවශ්ය ධෛර්යය හා ප්රඥාව රාජ්ය නායකයා ඇතුළු සියලු දේශපාලන නායකයන්ටලැබේවා”යි කියා ප්රාර්ථනා කරමි. එම ප්රාර්ථනය ඔබ සියලුදෙනාගේද ප්රාර්ථනයක් බවට පත්කරගන්නා ලෙස ඉල්ලා සිටිමින් මම මගේ කතාව අවසන් කරමි.
ස්තුතියි.