රාවය 25 වසරක පටිසෝතගාමී අභිචාරිකාව

February 26, 2012
Publication:
Ahead of the 28 February celebration, this special anniversary piece describes Ravaya's 25 years as a 'journey against the current' (patisotagami abhicharika). Grounded in non-violence, democracy and pluralism, it was more a movement of ideas than a magazine or newspaper: sometimes revolutionary, sometimes conservative, sympathetic to rebels but never endorsing armed revolt, and always admitting its own mistakes. Its main political lesson is that changing governments cannot produce a good society while the corrupt political system remains — a change now possible because terrorism has been defeated and the system stands exposed. Ravaya's task, it says, is to persuade leaders and parties to reform the system through a constituent assembly before the next change of government.

පෙබරවාරි 28 වැනි දින රාවය සිය 25 වැනි සංවත්සරය අභිමානවත් ලෙස සැමරීමට අපේක්ෂා කරන්නේය. එම උත්සවය වර්ණවත් කරන තෝරාගත් සමාජ කණ්ඩායම් අතර රාවය පාඨකයෝ හා ආධාරකරුවෝද ප්‍රධාන තැනක් ගනිති. නිල උත්සවයකින් අපේක්ෂා කරන්නේද කාබී ප්‍රීතිවන්නට නොව ශ්‍රී ලංකාව මුහුණදී තිබෙන අර්බුදය ප්‍රබල ලෙස සාකච්ඡාවට ලක් කැරෙන සාකච්ඡා මණ්ඩපයක් කරගන්නටය.

රාවය සිය 25 වසරක ක්‍රියාකාරීත්වය නම්කර ඇත්තේ පටිසෝතගාමී අභිචාරිකාවක් වශයෙනි. එම ගමන පරිසමාප්ත අර්ථයෙන්ම පටිසෝතගාමී අභිචාරිකාවක් ලෙස සැලකිය හැකිය. පොදු යහපත හා යහපත් සමාජයක් ඇතිකර ගැනීම එය හැමදාමත් පෙනීසිටි ප්‍රධාන පරමාර්ථය වන විට අහිංසාවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා බහුත්වවාදය එහි දේශපාලන දර්ශනයේ මූලික පදනම් වීයැ”යි කිව හැකිය.

එය විටෙක මාසික සඟරාවක් හෝ තවත් විටක සතිඅන්ත පුවත්පතක් වී තිබියදීත් මාසික සඟරාවකට හෝ පුවත්පතකට හිමි නැති වෙනත් විවිධ භූමිකාවලද යෙදුණු මතවාදී ව්‍යාපාරයක් ලෙසද සැලකිය හැකිය. විටෙක එහි භූමිකාව විප්ලවකාරීද තවත් විටෙක ගතානුගතිකද වූයේය. එය කැරලිකරුවන් කෙරෙහි අනුකම්පාවෙන් බැලුවද ප්‍රචණ්ඩ කැරලි අනුමත නොකළේය. බලවත් ලෙස ආණ්ඩු විරෝධී අස්ථානයක සිට ක්‍රියාකරන අවස්ථාවලදී පවා රාජ්‍ය විරෝධී ආයුධ සන්නද්ධ නැගිටීම්වලදී දෘෂ්ටිමය පක්ෂපාතීත්වය පළකරන ලද්දේ රාජ්‍ය විරෝධී කැරලිකරුවන්ට නොව තමන් අකමැති රජයටය. තීරණාත්මක ලෙස ආණ්ඩුවට විරුද්ධව සටන් කරන තැනකට ගියේ එම සන්නද්ධ කැරලි පරාජයවීමෙන් පසුවය. එවැනි අවස්ථාවල ගතානුගතිකව ක්‍රියාකළ රාවය වෙනත් අවස්ථාවල සමාජයට බලපාන විවිධ නපුරු දේවලට එරෙහිව ඉතාමත් විප්ලවකාරී ලෙස සමහරවිට සිය පැවැත්මද පරදුවට තබා සටන් කරන කැරලිකරුවකුගේ භූමිකාව රඟපෑවේය. ඒ හැම කැරැල්ලක්ම අවිහිංසාවාදී වූවා සේම නීතියෙන් පිළිගත් ගුණධර්මවලටද අනුකූලවීයැ”යි කිවහැකිය. එය හැමවිටම සමාජයට ප්‍රඥාව දෙන්නට උත්සාහ කළා විනා සමාජය ප්‍රකෝපව ක්‍රියාකරන තැනකට තල්ලු කරන්නට උත්සාහ නොකළේය. කරන ලද සමහර අරගල ඒක පුද්ගල හෝ කුඩා කණ්ඩායමකට සීමාවූ අරගල වූ අතර තවත් සමහර අරගල බහුජන පදනමක් මත පිහිටා ක්‍රියාකරන ලද ඒවා විය.

එය විටෙක සමාජයට උගන්වන ගුරුවරයකු ලෙසද තවත් විටෙක සමාජයෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයකු ලෙසද ක්‍රියා කළේය. එය අසරණභාවයට හෝ පීඩාවට පත් අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළේය. සමාජයේ පවත්නා පසුගාමී ආකල්ප වෙනස් කිරීම සඳහා ක්‍රියා කළේය. නීතියෙන් පනවා තිබෙන සමහර අසාධාරණ සීමාවන් වෙනස් කරවා ගැනීම සඳහා සටන් කළේය. එය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් සටන් කළේ අභ්‍යන්තරයේ උපරිම ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන්ද පවත්වාගෙන යමිනි. පුවත්පත අනුන් විචේනය කළා පමණක් නොව, තමන්ද විවේචනය කිරීමට අනුන්ට ඉඩ දුන්නේය. තමන් අතින් වැරදි සිදුවන විට ඒ වරද පිළිගනිමින් වරදට සමාව ඉල්ලා සිටීමට මැලි නොවූයේය. එය දූෂණයට එරෙහිව සටන් කළේද දූෂණයට ගොදුරු නොවී සිටින දැඩි පිළිවෙතක පිහිටාය.

දේශපාලනයේදී එය ඉගෙන ගත් ලොකුම පාඩම ලෙස සැලකිය හැක්කේ සරල ආණ්ඩු පෙරළිවලින් පමණක් යහපත් රටක් ඇති කළ නොහැකි බවය. ඒ සඳහා තිබෙන දූෂිත දේශපාලන හා පරිපාලන ක්‍රමය වෙනස් කළයුතු බවය. එය සරල ආණ්ඩු පෙරළියකට වඩා දුෂ්කර හා සංකීර්ණ ක්‍රියාවක් වුවද එම අරමුණ ජයගත හැකි තත්ත්වයක් රටට හිමිවී තිබෙන්නේ ත්‍රස්තවාදයෙන් එල්ල වී තිබුණු අභියෝගයක් මුළුමනින් ජයගැනීමෙන් පසුවය. රාජ්‍යයකට එරෙහිව කැරෙන ආයුධ සන්නද්ධ සටන් පැවති තෙක් දේශපාලන හා පරිපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කිරීමේ ප්‍රායෝගික හැකියාවක් නොතිබුණි.

ආණ්ඩුව පක්ෂය හා විපක්ෂය අතර දේශපාලන බලය සඳහා කැරෙන සරල අරගලය සැලකිය හැක්කේ දේශපාලන බලය රැකගැනීම හෝ දේශපාලන බලය අල්ලා ගැනීම සඳහා කැරෙන ආත්මාර්ථකාමී හා දූෂිත අරගල ලෙසය. ආණ්ඩු පක්ෂය සේ ම විරුද්ධ පක්ෂයද මෙම දූෂිත ක්‍රමයේම දූෂිත ඵලයෝ වෙති. මෙම දේශපාලන ක්‍රමය ගොඩනගා තිබෙන්නේ දේශපාලන බලය සමග අයථා ලෙස වස්තුව උපයාගැනීමේ අයිතියද ලැබෙන ආකාරයටය. ඒ නිසා දේශපාලන බලය සඳහා පොළඹවන ප්‍රවර්තක බලය බවට පත්ව ඇත්තේ අයථා ලෙස වස්තුව උපයා ගැනීමට තිබෙන ආශාවය.

ආණ්ඩුව ගැන විරුද්ධ පක්ෂය කරන සමහර විවේචන හා චෝදනා වැරදි නැත. එහෙත් විරුද්ධ පක්ෂයද මීට පෙර දීර්ඝ කාලයක් බලයේ සිටියේය. ඒ බලයේ සිටින කාලයේදී ඔවුහුද උපරිම ලෙස අයථා ලෙස වස්තුව උපයා ගත්තෝය. දැන් දක්නට තිබෙන සියලු වැරදි එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් ඔවුන් පාලන බලයේ සිටියදී ඔවුන් අතින්ද සිදුවිය. ඔවුන් සිය දේශපාලන දර්ශනයේ කිසිදු මූලික වෙනසක් ඇති කරගෙන නැත. ඔවුන් ද තාමත් වඩා ප්‍රියකරන්නේ පවතින මෙම දූෂිත ක්‍රමයටමය.

දේශපාලන ක්‍රමයේ මූලික වෙනසක් ඇති කරගැනීම සඳහා වෙනදා නොතිබුණු ඓතිහාසික අවකාශයක් ගොඩනැගෙමින් තිබෙන්නේයැ”යි කිව හැකිය. ත්‍රස්තවාදී අභියෝගයක් තිබෙන තාක් මෙම දේශපාලන ක්‍රමයේ තිබෙන දූෂිත බව හා අවුල්සහගත බව මහජනයාට හොඳින් නොපෙනුණේය. ඔවුන්ගේ ප්‍රධාන අවධානය යොමුවී තිබුණේ ඔවුන්ට ජීවිත බියක් ඇති කිරීමට හේතුවී තිබුණු බිහිසුණු ක්‍රියාකාරකම් දෙසය. එහෙත් ත්‍රස්තවාදයෙන් එල්ල වී තිබුණු තර්ජනය පරාජය කිරීමත් සමග දේශපාලන ක්‍රමයේද නිරුවත්වීමක් සිදුවී ඇතැ”යි කිව හැකිය. දැන් මහජනයාට වෙනදා මෙන් නොව දේශපාලන ක්‍රමයේ ඇති දූෂිත බව, අක්‍රමවත් බව හා පීඩාකාරී බව හොඳින් පෙනෙන්නේය. එම විශේෂ සන්දර්භය තුළ මෙම දේශපාලන ක්‍රමය තුළ තිබෙන ආයතන ක්‍රම කෙරෙහි තිබූ මහජන විශ්වාසය වාෂ්පවෙමින් තිබෙන්නේය. තිබෙන දේශපාලන ක්‍රමය තවදුරටත් ඉදිරියට ඇදගෙන යා නොහැකි තරමට ක්‍රමයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා උග්‍රවී ඇතැ”යි කිව හැකිය.

මෙම විශේෂ තත්ත්වය දේශපාලන හා පරිපාලන ක්‍රමයේ මූලික වෙනසක් හෝ ප්‍රතිසංවිධානයක් සඳහා අලුත් අවකාශයක් විවර කොට ඇතැ”යි කිව හැකිය. එම අවකාශය ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගැනීමට සමාජය සමත් වෙතොත් හා ඊට ක්‍රියාකාරී ලෙස මැදිහත්වීමට සමාජය සමත් වෙතොත්, ආණ්ඩු වෙනසකට පෙර දේශපාලන ක්‍රමයේ වෙනසක් දිනාගත හැකිය. රාවය මේ මොහොතේ ප්‍රධාන දේශපාලන කාර්යභාරය බවට පත්කරගෙන තිබෙන්නේ එයයි.

ඒ සඳහා දේශපාලන නායකයන් හා දේශපාලන පක්ෂ පොළඹවාලිය යුතුය. දේශපාලන ක්‍රමයේ වෙනසක් හෝ මූලික ප්‍රතිසංවිධානයක් මහපාරේ කැරෙන අරගලවලින් ජයගත නොහැකිය. එම වෙනස්කම් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් තුළින් ඇති කරගත යුතුය. එවැනි දෙයක් සඳහා දේශපාලන පක්ෂ අතර ඒ අරමුණ වෙනුවෙන් පොදු එකඟතාවකින් ක්‍රියාකරන තත්ත්වයක් ඇති කරගත යුතුය. එවැන්නක් සරල හෝ පහසු නැතත් බලවත් සමාජ අවධානයක් හා ක්‍රියාකාරීත්වයක් එම අරමුණු වෙනුවෙන් යොමුවේ නම් එය ජයගත නොහැකි අරමුණක් වන්නේද නැත. රාවය මේ මොහොතේ දකිමින් සිටින සිහිනය වී තිබෙන්නේ එයයි.