රට තිබෙන්නේ අර්බුදයක මුවවිටය

February 19, 2012
Publication:
Ivan credits the government with six years of growth, infrastructure and controlled inflation, but says it was bought with borrowing and an expensive defence of the rupee. Floating the rupee and sharply raising fuel prices marks a forced change of course, yet the government is patching one or two parts of a worn-out engine. The Petroleum Corporation's losses from political price-fixing, subsidies and corruption, and grossly one-sided thermal-power contracts at the Electricity Board, are symptoms of a wider decay. A falling rupee and rising prices could bring inflation, closures and political unrest. The opposition should not treat the crisis as a chance to topple the government; only a national reorganisation of the political and administrative system, with all parties, can save the country.

ගෙවී ගිය හය වසරේ, ආණ්ඩුව රටේ ආර්ථික කටයුතු මුළු එකක් වශයෙන් ගත්විට යහපත් තත්ත්වයක තබාගැනීමට සමත්වීයැ”යි කිව හැකිය. යුද්ධයක් පැවති කාලයේත් ආණ්ඩුව යටිතල පහසුකම් සංවර්ධනය කළේය. යුද්ධය අවසන්වීමෙන් පසු එම වැඩකටයුතු වඩා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන ගියේය. එහිදී මහජනයා මත විශාල බර පැටවීමකින් තොරව උද්ධමනයද පාලනය කරගනිමින් වේගවත් ආර්ථික සංවර්ධනයක්ද පවත්වාගෙන යෑමට සමත් විය. එහෙත් ඒ සියල්ල අපේ අභ්‍යන්තර ආර්ථික ශක්තියෙන් කරන ලද ඒවා නොවීය. ඒ තත්ත්වය පවත්වාගෙන යෑම සඳහා රුපියලේ අගය පහත වැටීම පාලනය කරන දැඩි ප්‍රතිපත්තියක් පවත්වාගෙන ගියේය. ඒ සඳහා විශාල වියදමක් දරන්නට ආණ්ඩුවට සිදුවිය. සංවර්ධන කටයුතු සඳහා විදේශ වෙළෙඳපොළවලින් විශාල ලෙස ණය ලබාගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවක්ද පෙනෙන්නට තිබුණි.

ලෝකයේ බලවත් රටවල පවා ආර්ථික කඩාවැටීම් ඇතිවුවද ලංකාවේ එවැන්නක් සිදු නොවීය. ඇඟලුම් ඇතුළු යුරෝපා රටවලට ආනයනය කැරෙන භාණ්ඩ සඳහා ලැබී තිබූ ජීඑස්ටී ප්ලස් සහනය ඉවත් කරනු ලැබීමෙන් පසුත් ඒ අංශවල විශාල කඩාවැටීමක් ඇති නොවීය. ආර්ථිකයේ වැදගත් හැම අංශයකම යහපත් වර්ධනයක් පෙන්නුම් කළේය. උද්ධමනයද ඔරොත්තු දෙන මට්ටමක පැවතුණි. යටිතල පහසුකම්වලදී අන් කවරදාවත් දක්නට නොලැබෙන තරමේ සංවර්ධනයක්ද පෙන්නුම් කරමින් තිබුණේය. එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසුව සංචාරක කර්මාන්තයේදී හැර වෙනත් කිසිම අංශයක් සඳහා විදේශ ආයෝජන ගලා ඒමක් සිදුනොවීය.

රුපියල කෙරෙහි පවත්වාගෙන ගිය දැඩි ග්‍රහණය අත්හැර එය පාවෙන්නට ඉඩ හැරීම හා ඉන්ධන මිල විශාල ප්‍රමාණයකට වැඩි කිරීම ආණ්ඩුව මෙතෙක් පවත්වාගෙන ආ ගමන් මග අත්හැර අලුත් ගමන් මගකට යොමුවූ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. මෙම මූලික වෙනස තේරුම් ගත යුතුව තිබෙන්නේ කිසියම් ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකිරීමට දරන ලද විශාල උත්සාහයකින් පසුව තවදුරටත් එම ප්‍රතිපත්තියෙහි පිහිටා ක්‍රියාකිරීමට තිබෙන නොහැකියාව තුළ අලුත් ප්‍රතිපත්තියකට මාරුවීමට ගන්නා ලද දැඩි ක්‍රියාමාර්ගයක් වශයෙනි.

එහෙත් ආණ්ඩුව තවමත් ගනුදෙනු කරමින් සිටින්නේ සමස්ත චිත්‍රය සමග නොව එහි ඇති වඩා ප්‍රශ්නගත අංග කිහිපයක් සමගය. වාහනයේ මතුපිට පෙනුම ලස්සනය. ගම්භිරය. එහෙත් වාහනයේ එන්ජිම තිබෙන්නේ ඉතාමත් කසිකබල් තත්ත්වයකය. එය අමාරුවෙන් ගැට ගසාගෙන දිවිය හැකි තත්ත්වයක තිබුණද ප්‍රශස්ත ගමනක යෙදිය හැකි තත්ත්වයක නොපවතී. දැන් ආණ්ඩුව අල්ලාගෙන තිබෙන්නේ කසිකබල් තත්ත්වයක තිබෙන මුළු එන්ජිම පිළිබඳ ප්‍රශ්නය නොව අකාර්යක්ෂම තත්ත්වයකින් හෝ තිබෙන ක්‍රියාකාරීත්වයට බාධා කරන අංග එකක් හෝ දෙකක් පිළිබඳ ප්‍රශ්නයකි. එම ප්‍රශ්න එකට හෝ දෙකට විසඳුම් දුන් පමණකින් කසිකබල් තත්ත්වයක තිබෙන එන්ජිම කාර්යක්ෂම තත්ත්වයකට පත්වන්නේ නැත. තිබෙන ප්‍රශ්න මොහොතකට ජයගෙන එය නැවත ගමන් කරන තත්ත්වයකට ගත්තද නැවත වෙනත් ප්‍රශ්න ඇතිවනු නොවැළැක්විය හැකිය. මෙම කසිකබල් එන්ජිම අණ්ඩ දමමින් පවත්වාගෙන යනවාට වඩා මුළු එන්ජිම ඉවත් කොට අලුත් එන්ජිමක් සවිකර ගැනීම වඩා ඵලදායකය. සමහරවිට මුළු වාහනයම අතහැර අලුත් වාහනයක් මිලදී ගැනීම ඊටත් වඩා ඵලදායී විය හැකිය.

ඛනිජ තෙල් නූතන ලෝකයේ නැතිව බැරි අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් ලෙස සැලකිය හැකිය. ඛනිජ තෙල් තවමත් අපි දේශීය වශයෙන් නිපදවන ද්‍රව්‍යයක් නොව මුළුමනින් ආනයනය කැරෙන ද්‍රව්‍යයකි. රටක් වශයෙන් අප ඛනිජ තෙල් ආනයනය සඳහා කරන වියදම මුළු ආනයන වියදමෙන් 55%ක් හෝ 60%ක් තරම් විශාලය.

අන් හැම විෂයයකදී සේ ම ඛනිජ තෙල් විෂයයේදී අප හැමදාමත් සිටියේ මහා අවුලකය. ඛනිජ තෙල් ආනයන ඒකාධිකාරය තිබෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටය. ඛනිජ තෙල් සියලු භාණ්ඩ මිල කෙරෙහි බලපාන සංවේදී විෂයයක් වීම හේතු කොටගෙන ඛනිජ තෙල් සංස්ථාව කෙරෙහි හැමදාමත් දේශපාලන ඇඟිලි ගැසීම් තිබුණේය. ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව ඛනිජ තෙල් මිල තීරණය කිරීමේ බලයක් කිසිදාක ඛනිජ තෙල් සංස්ථාවට නොතිබුණේය. මිල නිර්ණය කරන ප්‍රතිපත්තිය කෙරෙහි හැමදාමත් දේශපාලන බලය බලපෑවේය. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යන අවස්ථාවල පවා ඊට ගැළපෙන ලෙස මිල ඉහළ නොදැමූ අවස්ථා තිබෙනවා සේ ම සමහර ඛනිජ තෙල් වර්ග සඳහා සහනාධාර ක්‍රමද ක්‍රියාත්මක විය. මෙවැනි හේතු මත සංස්ථාවට සිදුවන අලාභය ප්‍රතිපූර්ණ කිරීමේ වගකීමක් ආණ්ඩුවලට තිබුණද ආණ්ඩු ඒවා මුළුමනින් ප්‍රතිපූර්ණ කිරීමක් සිදු නොකරන තත්ත්වයක් තුළ, සංස්ථාව පවත්වාගෙන යන්නට සිදුවී තිබුණේ විශාල ලෙස අලාභ ලබන තත්ත්වයකය. කාර්යක්ෂම පාලනයක් නැතිකම හා එහි හැමදාමත් රජ කරන දූෂණය වැනි හේතු සංස්ථාවේ අලාභ ලබන තත්ත්වයද තව තව උග්‍ර කරන හා සංස්ථාවේ මූල්‍ය අර්බුදය ලොකු මහත් කරන අතිරේක සාධකයක් ලෙස ක්‍රියා කළේය.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එල්ලවෙමින් තිබෙන බලපෑම නිසා පමණක් නොව පැරණි ප්‍රතිපත්තියේ පිහිටා තවදුරටත් ඉදිරියට යන්න බැරිව තිබෙන නිසා ඛනිජ තෙල්වල මිල විශාල ප්‍රමාණයකින් ඉහළ දැමීමෙන් අපේක්ෂා කළ බව පෙනෙන්නේ ඛනිජ තෙල් සංස්ථාව එය මුහුණදී තිබෙන අර්බුදයෙන් මුල්‍ය ගොඩදැමීමය. එහෙත් එය වඩා විශාල සමාජ ප්‍රශ්න ඇතිකරන සාධකයක් ලෙස ක්‍රියාකරනු නොවැළැක්විය හැකිය.

ඉන්ධනවල ඇතිවී තිබෙන මිල වැඩිවීම සියලුම භාණ්ඩ හා සේවාවන් කෙරෙහි බලපානු නොවැළැක්විය හැකිය. එය ඉන් නතරවන්නේ නැත. රුපියලේ හුවමාරු අනුපාතිකයේ ඇතිවන වෙනස්කම් ද තවදුරටත් ඒ තත්ත්වය උග්‍රකිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. දැන් ඩොලරය සඳහා රුපියලේ හුවමාරු අනුපාතිකය තිබෙන්නේ රුපියල් 120කට ආසන්න තත්ත්වයකය. එම තත්ත්වය තවදුරටත් ඉහළ යනු නොවැළැක්විය හැකිය. සමහරවිට එය 160 දක්වා ඉහළ යාහැකි බව සමහර ආර්ථික විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. මෙම තත්ත්වය මුළු මහත් ආර්ථිකය කෙරෙහිද සමාජය කෙරෙහිද හානිදායක ලෙස බලපානු ඇතැ“යි කිව හැකිය. සියලුම ආනයන භාණ්ඩවල මිල විශාල ප්‍රමාණයකට ඉහළ යනු ඇත. වැටුප් ආදායම්වලින් පමණක් ජීවත්වන අයට ජීවත්වීම ඉතා අමාරු දෙයක් බවට පත්විය හැකිය. සමහර ව්‍යාපාර වැසී යා හැකිය. මෙම තත්ත්වය උද්ධමනයේ වේගවත් වර්ධනයක් ඇති කොට රටේ ආර්ථික වර්ධන වේගයද දුබල කිරීමට හේතුවනු ඇත.

මේ නිසා රටේ ඇතිවන පීඩාකාරී තත්ත්වය රටේ දේශපාලන නොසන්සුන්තාවක් ඇති කිරීමට හේතුවිය හැකිය.

ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව සියලු දේශපාලන පක්ෂවලද සහාය ලබාගනිමින් යල් පැනගිය තත්ත්වයකට පත්ව තිබූ දේශපාලන ක්‍රමය හා පරිපාලන ක්‍රමය මුළු එකක් වශයෙන් ගෙන ප්‍රතිසංවිධානය කරන තැනකට ගියේ නම් හා එම ප්‍රතිසංවිධාන වැඩසටහන තුළ දෙමළ ප්‍රශ්නයටද සාධාරණ විසඳුමක් ලබා දුන්නේ නම් ඇතිවන්නට නියමිතව තිබූ මෙම අර්බුදය පහසුවෙන් ජයගත හැකිවන්නට ඉඩ තිබුණි. මෙය එක තැනක පමණක් තිබෙන අවුලක් නොව හැමතැනම දක්නට තිබෙන අවුලකි. ඛනිජ තෙල් සංස්ථාව පමණක් නොව විදුලිබල මණ්ඩලය තිබෙන්නේද ලොකු අවුලකය. තාප විදුලි බලය සඳහා සමහර පුද්ගලික සමාගම් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් විදුලිබල මණ්ඩලයේ පමණක් නොව රටේ ජනතාවගේද සාරය උරාබීමේ අරමුණ ඇතිව සකස් කර තිබෙන ඉතාමත් අසමබර වංචනික හා කූට ගිවිසුම් ලෙස සැලකිය හැක. එහෙත් එම ගිවිසුම් වෙනස් කිරීමේ හැකියාවක් දැන් ආණ්ඩුවට නැත. හේතුව විදුලි බලයෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තාප බලයෙන් නිපදවන විදුලිය වීම හේතු කොටගෙන ඔවුන්ගෙන් ලබාගන්නා සැපයුම නොලැබෙතොත් නොකඩවා විදුලිබලය ලබාදීමේ හැකියාවක් රටට නැති නිසාය. ඛනිජ තෙල් විෂයයෙහි ඇතිවී තිබෙන මිල වැඩිවීම ඉතාමත් විනාශකාරී ලෙස විදුලි මිල කෙරෙහිද බලපානු නොවැළැක්විය හැකිය. විදුලි මිලෙහි ඇති අධික බව කෙරෙහි තාප විදුලි බලය සඳහා ඇතිකරගෙන තිබෙන අසාධාරණ ගිවිසුමද වැදගත් සාධකයක් ලෙස බලපා තිබේ. මෙය එක තැනක පමණක් තිබෙන තත්ත්වයක් නොව විවිධ මුහුණුවරයන්ගෙන් හැම තැනකම පවත්නා පොදු තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

ආර්ථික කඩාවැටීමක් ආශ්‍රයෙන් ඇතිවන්නට යන මහා අර්බුදය රාජපක්ෂ පාලනය පරාජය කිරීම සඳහා යොදාගත හැකි හොඳ අවස්ථාවක් ලෙස විරුද්ධ පක්ෂ සැලකිය හැකිය. ඇතිවන මහා කඩාවැටීමක් ආණ්ඩුව කෙරෙහි පමණක් නොව ඔවුන් කෙරෙහිද විනාශකාරී ලෙස බලපානු නොවැළැක්විය හැකිය. මෙය ජාතික අර්බුදයක් වන අතර එම අර්බුදය ජයගත යුතුව තිබෙන්නේ ද ජාතික මට්ටමකිනි. මෙම තත්ත්වය ජයගත හැකිවනු ඇත්තේ සමස්ත දේශපාලන ක්‍රමය සේ ම පරිපාලන ක්‍රමයද එකට ගෙන මහා ප්‍රතිසංවිධානයකට රට යොමුකරන ප්‍රතිසංවිධාන වැඩසටහනකින් පමණය. එය ආණ්ඩුවට පමණක් කළ නොහැකිය. ආණ්ඩුව හා සියලු විරුද්ධ පක්ෂ ව්‍යාපාර එකට එකතු වී අන්‍යොන්‍ය අවබෝධයෙන් කළ යුතු කාරියකි. එවැනි ප්‍රතිසංවිධානයකදී උගත් පාඩම් කොමිසමේ නිර්දේශයන්ද සැලකිල්ලට ගත හැකිය. රටේ ජනවර්ග ප්‍රශ්නය පමණක් නොව යුද්ධය ආශ්‍රයෙන් ජාත්‍යන්තර වශයෙන් රටට එල්ල වී තිබෙන අභියෝගය පමණක් නොව ඇතිවන්නට යන ආර්ථික කඩාවැටීමෙන්ද රට බේරාගත හැකිවනු ඇත්තේ එවිටය. එම ඓතිහාසික අවශ්‍යතාව තේරුම් ගැනීමට ආණ්ඩුව හා විරුද්ධ පක්ෂ ව්‍යාපාර අසමත් වෙතොත් ඒ වෙනුවෙන් රටට දැවැන්ත වන්දියක් ගෙවන්නට සිදුවනු නොඅනුමානය.