එකක් හෝ දෙකක් හැර මා විසින් කරන ලද අන් අරගල මට ජයගත හැකිවූයේ, යුක්තිය සඳහා කරන අහිංසාවාදී අරගල සඳහා බලපාන කොන්දේසි, ධර්මතා හා ශිල්පීය ක්රම මත පදනම් වී එම අරගලවල නිරතවීම නිසායැ”යි කිව හැකිය. එම අත්දැකීම් යුක්තිය සඳහා අරගල කිරීමට උනන්දුවක් දක්වන අන් අයටද ප්රයෝජනවත් විය හැකිය.
ඕනෑම සටනක් සඳහා සාධාරණ හේතු තිබිය යුතුය. සටනකට දර්ශනයක්ද සමග උපාය මාර්ගික වැඩසටහනක්ද තිබිය යුතුය. දර්ශනයෙන් අදහස්වන්නේ සටන් කරන්නේ කුමක් සඳහාද ඉන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන කාරණාය. වැඩසටහන ලෙස සැලකෙන්නේ සටන ආරම්භ කොට ඉදිරියට ගෙනයෑම සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන ක්රියාමාර්ගයන්ය. සටනකදී මනා තක්සේරුවක් තිබීම සේම හොඳ සූදානමක් තිබීමද අත්යවශ්යය. ඒ සමග අධිෂ්ඨානයක් හා කැපවීමක් තිබිය යුතුය. යුක්තිය සඳහා කරන සටනක් යුක්තිසහගත විය යුතුවා සේ ම එහි යුක්තිසහගතභාවය පෙනෙන්නට තිබිය යුතුය.
සටන් කළ යුතු අවස්ථා සේ ම, සටන් නොකළ යුතු අවස්ථාද තිබෙන්නේය. දෙවැනි ලෝක යුද්ධයේදී මිත්ර ජාතීන්ට අවහිරයක් ඇතිකරන සටන්වල නිරතවීම මහත්මා ගාන්ධි ප්රතික්ෂේප කළේය. ඉන්දීය නිදහස් සටනේදී ප්රධාන දේශපාලන හතුරා ලෙස සැලකුණේ බ්රිතාන්ය ආධිපත්යයයි. බ්රිතාන්යය විශාල ලෝක යුද්ධයකට පැටලී සිටි තත්ත්වය තුළ බ්රිතාන්ය ආධිපත්යයෙන් රට නිදහස් කරගැනීමට තිබෙන හොඳම අවස්ථාව එය වේයැ”යි ඉන්දීය කොංග්රස් ව්යාපාරයේ බලවත් පිරිසක් කල්පනා කළෝය. එහෙත් එම යුද්ධයේදී මිත්ර ජාතීන්ට අවහිරයක් ඇති කරන බලවත් සටනක් කරළියට ගැනීම සුදුසු නැති බව ගාන්ධි දැරූ දැඩි මතය විය. එම විශේෂ අවස්ථාවේදී පෘථිවි තලයේ තිබෙන ඉන්දියාව නමැති බිම් කැබැල්ලට සීමාවීමට ගාන්ධි කැමති නොවීය. මුළු මනුෂ්ය පවුලේම හොඳහිත ඉන්දියාවට අවශ්ය වන නිසා මුළු මහත් චිත්රයම සැලකිල්ලට ගැනීම අත්යවශ්ය බව ගාන්ධිගේ මතය විය. එහෙත් යුද්ධය අවසන් වන තෙක් සටන් නොකර සිටින ප්රතිපත්තියක ඉඳීමට කැමති නැති සටන්කාමීන් සඳහා සටන් කරන්නට විකල්ප ප්රතිපත්තියක්ද ගාන්ධි තනා දුන්නේය. ඒ අනුව සටන් කිරීම අවශ්යවේයැ”යි සිතන අයට සිවිල් නීති කැඩිය හැකිය. එහෙත් එය කළයුත්තේ සමූහ වශයෙන් නොව තනි තනිවය. යුද්ධ කාලයේ යුද්ධයට එරෙහිව ප්රසිද්ධියේ කතාකිරීම නීති විරෝධී වරදක් ලෙස ප්රකාශයට පත්කර තිබුණේය. තනි පුද්ගලයන් වශයෙන් එම නීතිය උල්ලංඝනය කරන්නට ගාන්ධි අනුමැතිය දුන්නේය. එහෙත් එසේ කළයුත්තේ කොංග්රසය නම් කරන පුද්ගලයන් පමණය. එය මිත්ර ජාතීන්ගේ යුද්ධ ව්යාපාරයට බාධා නොකළ සරල සටන් ක්රමයක් විය.
ජේවීපී දෙවැනි කැරැල්ල පැවති කාලයේදී ජනාධිපති ජයවර්ධන මා ඔහු වෙත කැඳවා රාවය සඟරාව පළකිරීමට අවශ්ය නම් කාලිංගගේ දේශපාලන විග්රහය යන අන්වර්ථ නාමයෙන් මා ලියන ලිපිය පළකිරීමෙන් වැළකී සිටිය යුතු බවට මට නියෝග කළේය. ඉන් මා කෝපවී ඔහුගේ නියෝගය හෙළා දකින ප්රසිද්ධ ප්රකාශයක් හෝ නිවේදනයක් නිකුත් කරන තැනකට ගියේ නම් එය රාවයේ අවසානය වන්නටද ඉඩ තිබුණි. එහිදී මා එම නියෝගයට එරෙහිව සටන් කළේ ඊට වෙනස් ක්රමයකටය. ජනාධිපතිවරයා කතාකිරීම අවසන් කළ පසු කතා කරන්නදැ”යි සන්සුන් ලෙස හා ගරුසරු ඇතිව මම ජනාධිපතිවරයාගෙන් අසා සිටියෙමි. ඊට අනුමැතිය ලැබුණු පසුව මා නිතරව සිටින්නේ තුවක්කු කටවල්වලින් කැරෙමින් තිබෙන සංවාදය ශීලාචාර තැනකට ගැනීමේ උත්සාහයක බව කෙටියෙන් ඔහුට විස්තර කර දුන්නෙමි. ඔහු සාවධානව මට ඇහුම්කන් දුන්නේය. මාගේ අදහස් පළකිරීම තුළ ඔහුගේ ප්රතාපවත් මුහුණේ පැවති දැඩි බව මෘදු වූ බව මට පැහැදිලිව දැකගත හැකිවිය. එහිදී ඔහු දෙන ලද නියෝගය ඉවත් කරගත්තේ නැතත් මා ආපසු ගියේ සැහැල්ලු සිතකින් යුතුවය. මා ඔහුට කරන ගරු කිරීමක් වශයෙන් කාලිංගගේ විග්රහය පළ නොකළේ එක් මසක් පමණය. ඉන්පසු නිසි අවසරයක් ලබාගැනීමෙන් තොරව එය පළ කළෙමි. එසේ කිරීමෙන් මා ඔහුගේ කෝපයට හේතු නොවනු ඇතැ”යි කියන විශ්වාසයක් මට තිබුණි. මාගේ නියෝග කැඩීම ඔහුද නොදැන සිටියා විය නොහැකිය. එහිදී ඔහු මට එරෙහිව දැඩි ප්රතිපත්තියකට නොගියේ මා පිළිබඳව ඔහු තුළ පැවති ආකල්පය වෙනස් කිරීමට මා සමත්වී තිබූ නිසාය.
මා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හමුවූ එම අවස්ථාවේ දී අප කරන කතා ඇසෙන නෑසෙන තරම් දුරක සිට නැරඹූ පුද්ගලයකු මට පසු අවස්ථාවක හමුවිය. ඒ ජනාධිපතිගේ ප්රධාන ශරීරාක්ෂක නිලධාරියා වශයෙන් ක්රියා කළ සුමිත් සිල්වාය. ඔහු ප්රකට පොලිස් නිලධාරියකු වූ රාහුල සිල්වාගේ සහෝදරයෙකි. සුමිත් පොලිස් නිලධාරියකු වුවද ඔහු ලතින් හා ග්රීක් යන භාෂා හැදෑරුවෙකි.
සුමිත් සිල්වා ඒ හමුවූ අවස්ථාවේදී “ඔයා අපේ ලොක්කත් දපනේ දාගත්තා නේදැ”යි කීවේය. ඒ ප්රකාශය ගැන වැඩිදුර පැහැදිලි කිරීමක් මා ඉල්ලා සිටි විට සාකච්ඡා අවසන් කොට මා පිටවී ගිය පසු මා නරක මිනිහෙකු නොවන බව ජනාධිපතිවරයා තමාට හා මැණික්දිවෙලට කී බව ඔහු කීවේය. එවැනි ප්රතිපත්තියක් අනුගමනය කරනවා වෙනුවට මා ජනාධිපතිගේ නියෝගය පතුරු ගසන ප්රසිද්ධ නිවේදනයක් නිකුත් කරන තැනකට ගියේ නම් ලේ වැගිරෙන වටාපිටාවක් තිබෙන අවස්ථාවක එසේ ක්රියාකිරීමෙන් ඇතිවිය හැකි බිහිසුණු ප්රතිවිපාක ඉතා විනාශකාරී වන්නට ඉඩ තිබුණි.
මා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය කළ යුතුයි කියන මතයේ පිහිටා ක්රියාකළ පුද්ගලයකු වුවද ජවිපෙ දෙවැනි කැරැල්ල පැවති කාලයේදී ආණ්ඩු පෙරැළියක් දිනාගැනීමට එය අවස්ථාවක් කර යුතුයැ”යි කල්පනා කළේ නැත. මට 71 කැරැල්ලට ලේ නෑකමක් තිබුණද ජේවීපී දෙවැනි කැරැල්ල විජයග්රාහී වුවහොත් විශාල විනාශයක් ඇතිවනු ඇතැ”යි මගේ විශ්වාසය වී තිබීම නිසා මා කැමති වූයේ කැරැල්ල පරාජය වනවා දකින්නටය. ඒ අවස්ථාවේදී මා ආණ්ඩුවේ විරුද්ධ පාක්ෂිකයකු වුවද මාගේ පක්ෂපාතීත්වය තිබුණේ ආණ්ඩුවටය.
ගෞරවය හා පැවැත්ම
රටේ ලේ වැගිරෙන ආරාවුලක් සමග ද්වන්ද්ව පාලනයක් තිබෙන අවස්ථාවක ජනමාධ්යවේදියකු සිය ගෞරවය සමග පැවැත්ම ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න මෙහිදීම සලකා බැලිය හැකි තවත් වැදගත් ප්රශ්නයකි.
ගොඩනැගී තිබුණු ද්වන්ද්ව බලතත්ත්වය හැම කෙනකුටම මෙම පිල් දෙකෙන් එකක් තෝරාගැනීමට බලකර තිබුණේය. 71 කැරැල්ලට සම්බන්ධ සමහර අය ආරක්ෂාව සඳහා ජවිපෙට එරෙහි ආයුධ අතට ගන්නා තැනකට ගොස් තිබුණේය. ආරක්ෂාව සඳහා ඔවුන් හා එකතු වන ලෙස ඔවුන්ගෙන් සමහරකු මාගෙන් ඉල්ලා තිබුණි. මා 71 කැරැල්ලෙන් පසු ආයුධවලට ආයුබෝවන් කීවේ මොනම තත්ත්වයක් යටතේවත් ආයුධ අතට නොගැනීමේ අධිෂ්ඨානය ඇතිවය. දුෂ්කර විය හැකි වුවද එම ප්රතිපත්තිය තවදුරටත් පවත්වාගෙන යෑමට මට අවශ්ය වී තිබුණි. සමහර ජනමාධ්යවේදීහු ඔවුන්ගේ කැමැත්ත නිසා නොව ආරක්ෂාව සඳහා එක්කෝ ජවි පෙරමුණේ හෝ ආරක්ෂක හමුදාවල ආධාරකරුවන් බවට පත්ව සිටියෝය. ඔවුන්ගේ එම ප්රතිපත්තිය නිසා ආරක්ෂක හමුදාවන්ට ආධාර කළ සමහරකු කැරලිකරුවන් අතින් ද, ජවිපෙට ආධාර කළ තවත් සමහරෙක් ආරක්ෂක හමුදාවන් අතින්ද මරණයට පත්වූය.
මා එහිදී අනුගමනය කළ ප්රතිපත්තිය ඔවුන් අනුගමනය කළ ප්රතිපත්තියට වෙනස්ය. මම මෙම ගැටුමට සම්බන්ධ ප්රධාන දෙපාර්ශ්වය සමගම හොර රහසේ කරන ගනුදෙනුවලට යෑමෙන් වැළකී සිටියෙමි. ඒ සමග ආණ්ඩුවේ සේ ම ජවිපෙ ක්රියාකාරකම් විවේචනය කරන ප්රතිපත්තියද අතනොහැර පවත්වාගෙන ගියෙමි. ජවිපෙ මගෙන් අනුග්රහය ඉල්ලා සිටි අවස්ථා දෙකක් තිබුණි. එක අවස්ථාවක් අනුග්රහය ඉල්ලා සිටියේ ඉහළ තැනකිනි. දෙවැනි අවස්ථාව පහළ තැනකිනි. ඒ අවස්ථා දෙකේදීම පැකිළීමකින් තොරව ඔවුන්ට ආධාර කිරීම මම ප්රතික්ෂේප කළෙමි. ඒ කාලයේදී ඔවුන් කරන එවැනි ඉල්ලීමක් මරණ දඬුවම ලැබිය හැකි වරදක් ලෙස සලකනු ලැබුවද මා පිහිටා සිටි ප්රතිපත්ති අනුව තෝරාගැනීමට අන් විකල්පයක් නොතිබුණි. ඒ බිහිසුණු කාලයේදී කොයි මොහොතක හෝ මාරයා මා වෙතද පැමිණෙනු ඇතැ”යි කියන හැඟීමක් මා තුළ තිබුණද එසේ වුවහොත් ඊටද සන්සුන් ලෙස මුහුණදීමට මම හිත හදාගෙන සිටියෙමි. ඒ ගැන මාගේ බිරිඳද දැනුවත් කර තිබුණි. එම මහා අර්බුදය අවසන් වන විට අප දන්නා හඳුනන සමහරෙක් අකාලයේ මරණයට පත්ව සිටියෝය. තවත් සමහරකුට විශාල අලාභ හානි ඇතිව තිබුණේය. එහෙත් පුදුමයට මෙන් මට හෝ මාගේ කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් ඇතිවූයේ නැත. එම තත්ත්වය ඒ අවස්ථාවේදී අපට පෙනුණේ ආශ්චර්යයක් ලෙසය.
දෙවැනි කැරැල්ල අවධිය මා විසින් සලකන ලද්දේ කිසිදු ආණ්ඩු විරෝධී අරගලයක නිරත නොවිය යුතු අවස්ථාවක් ලෙසය. ඇතිවී තිබූ අර්බුදය මා සැලකූයේ පක්ෂ භේදයකින් තොරව එක්ව මුහුණදිය යුතු පොදු ව්යසනයක් ලෙසය. එල්ටීටීඊයට එරෙහිව තීරණාත්මක යුද්ධයක් පැවති කාලය මා දකින්නේද දේශපාලන අර්ථයෙන් නොනගත කාලයක් ලෙසය. විරුද්ධ පක්ෂ ආණ්ඩු පෙරළන සටන්වලින් ඉවත් වී ඒ අවස්ථාවේදී නිශ්ශබ්දව සිටිය යුතුව තිබුණේය. නැතිනම් ආණ්ඩුවට සහයෝගය දිය යුතුව තිබුණේය. එහෙත් ඒ වෙනුවට ඔවුන් විසින් එය ආණ්ඩු පෙරළියක් සඳහා සුදුසු කාලයක් ලෙස සලකන ලදි. ඒ නිසා ඔවුන්ට ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවන්නට සිදුවිය.
අරගලවල වෛර සාධකය
ආණ්ඩු විරෝධී අරගලය නැවත මා කරළියට ගත්තේ ජවිපෙ කැරැල්ල මුළුමනින් අවසන්වීමෙන් පසුවය. ඒ වන විට ජනාධිපති ජයවර්ධන විශ්රාම ගොස් ඒ තැනට රණසිංහ ප්රේමදාස පත්ව සිටියේය. ඒ යුගයේදීත් ප්රේමදාස ජනාධිපතිට එරෙහිව විශාල ලෙස කටකතා රටේ පැතිරී යන තත්ත්වයක් තිබුණි. ඉන් බොහොමක් කතා කිසිදු සත්ය පදනමක් නැති බොරු කටකතා වූ අතර ඔහු කෙරෙහි පිළිකුලක් ඇති කිරීමේ අරමුණකින් ගොතා සංවිධානාත්මකව පතුරුවා හරිනු ලැබූ ඒවා විය. මා ප්රේමදාස ජනාධිපතිවරයාගේ සමහර ක්රියාකාරකම් විවේචනය කළද, බොරු කටකතා මත පදනම් වී ඔහුට පහර දෙන තැනකට ගියේ නැත. මා එජාප ආණ්ඩුව පරාජය කිරීමේ අරමුණ වෙනුවෙන් පෙනීසිටින හා ක්රියාකරන පුද්ගලයකු බව දැන දැනමත් ඔහුට මා පිළිබඳව කිසියම් ගෞරවයක් තිබුණු අතර ඒ බව ඔහු සමහර අය සමග ප්රකාශ කර ද තිබුණි. ඔහු මට කිනිමිනිකම් කළ අවස්ථා තිබුණද වෛරයෙන් පහරදෙන තැනකට ගියේ නැත.
ඕනෑම සටනකදී ප්රතිපක්ෂයේද ගෞරවයට හේතුවීම ඉලක්කය දිනාගැනීම පහසු කරන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. මෙම අවිය ඉතාමත් බලවත් ලෙස හා නිර්මාණාත්මක ලෙස පාවිච්චි කළ සටන්කාමියා ලෙස සැලකිය හැක්කේ මහත්මා ගාන්ධිය. ඉන්පසු මාර්ටින් ලූතර් කිං හා නෙල්සන් මැන්ඩෙලාය.
ගාන්ධි තමන්ගේ හැම සටනකටම පෙර තමන් කරන්නට යන සටනේ ස්වභාවය, සටන් කරන්නේ කුමන අරමුණින් සඳහාද යන්න ඉන්දියාවේ බ්රිතාන්ය පාලනයේ ප්රධානියාට දැනුම් දෙන ප්රතිපත්තියක් අනුගමනය කළේය. ඒ ගැන වැඩිදුර සාකච්ඡා කිරීමට කැමැත්ත පළකරන හැම අවස්ථාවකදීම ගාන්ධි ඔහු සමග සාකච්ඡා කරන තැනකටද ගියේය. බ්රිතාන්ය පාලනය ගාන්ධිගේ ප්රධාන ප්රතිවාදියා වුවද ගාන්ධි බ්රිතාන්යයන්ට එරෙහිව වෛරය වපුරවන ප්රතිපත්තියක් අනුගමනය නොකළේය. ඒ නිසා බ්රිතාන්ය පාලනයට සටන් කරන්නට සිදුවී තිබුණේ තමන්ගේ ගෞරවයට හේතුවූ ප්රතිවාදියකු සමගය. එම තත්ත්වය මර්දනය උපරිම කිරීමට තිබෙන හැකියාව සීමා කළේය.
ලංකාවේ හැම සටනකම පාහේ ප්රවර්තන බලය ලෙස ක්රියාකරන්නේ වෛරයයි. වෛරය ඕනෑම සටනක් ප්රතිපත්තිගරුක හා ශීලාචාර රාමුවක තබාගැනීමට තිබෙන හැකියාව නැති කරයි. සදාචාරාත්මක නොවන පහරදීම්වලට අනුබලය දෙයි. එය පරාජයකදී පරාජිත පිල කෙරෙහි උපරිම නින්දාවක්ද මර්දනයක්ද ඇති කරයි.
එකල මාගේ ලොකුම සටන බවට පත්ව තිබුණේ එජාප ආණ්ඩුව පරාජය කිරීම සඳහා අවශ්ය සමහර කොන්දේසි සම්පූර්ණ කිරීමය. එය ප්රමාණයෙන් විශාල හා සංකීර්ණ ව්යාපෘතියක් වීයැ”යි කිව හැකිය. විරුද්ධ පක්ෂ අතර සමගිය වර්ධනය කිරීම, ශ්රීලනිපයේ ක්රියාකාරීත්වය වර්ධනය කිරීම, ශ්රීලනිප ප්රමුඛ විරුද්ධ පක්ෂ ව්යාපාර ආත්ම විශ්වාසයෙන් ක්රියාකරන ව්යාපාරයක් බවට පත්කිරීම, ශ්රීලනිප තුළ මව හා පුතා අතර පැවති ගැටුමේදී, බලය අනුර අතට පත්වීම වැළැක්වීම, වියපත් තත්ත්වයක සිටි බණ්ඩාරනායක මැතිනිය වෙනුවට ජනතාවගේ ආකර්ෂණයට හේතුවන නව නායකත්වයක් ඇති කිරීම යනාදිය ව්යාපෘතියට ඇතුළත් ප්රධාන කාරණාවීයැ”යි කිව හැකිය. එය අනුන්ගේ සමාජ දේශපාලන ව්යාපාරයක් පිටතින් සිට හසුරුවන්නට දැරූ උත්සාහයක් ලෙසද සැලකිය හැකිය. පුවත්පත විරුද්ධ පක්ෂවලට සම්බන්ධ ජනතාව අතර සේ ම ශ්රීලනිප ප්රමුඛ විරුද්ධ පක්ෂවල නායකයන් අතරද විශාල පිළිගැනීමක් හිමි කරගෙන තිබීම නිසා එම කාර්යය ඉටුකිරීම දුෂ්කර දෙයක් නොවීය.
පාර්ලිමේන්තු වරප්රසාද නීතියට එරෙහිව
පාර්ලිමේන්තු වරප්රසාද නීතියට එරෙහිව කැරුණු අරගලය ඒ අතර කාලයේ සිදුවූ තවත් වැදගත් අරගලයක් ලෙස සැලකිය හැකිය. ඒ වනවිට ආණ්ඩු පක්ෂයේ නිල දරන මන්ත්රීවරුන් සිව්දෙනකු මට එරෙහිව පාර්ලිමේන්තු වරප්රසාද නීතිය යටතේ වරප්රසාද ප්රශ්න මතුකර තිබුණි. පළමුවෙන්ම විභාගයට ගැනීමට නියමිතව තිබුණේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වනවාට අතිරේක වශයෙන් ප්රේමදාස ජනාධිපතිවරයාගේ ප්රධාන නීති උපදේශකයා වී සිටි කේ.එන්. චොක්සි ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලය. එම විභාගය සඳහා වරප්රසාද කමිටුවෙන් නිල කැඳවීමක් ලැබෙන අවස්ථාව වනවිටත් මට මුහුණ දෙන්නට නියමිත ප්රශ්නයක් ලෙස සලකා පාර්ලිමේන්තු වරප්රසාද නීතිය හා එහි පසුබිම ගැන මා කිසියම් ප්රමාණයකට කරුණු හැදෑරීමක් කර තිබුණි.
පාර්ලිමේන්තු වරප්රසාද සංකල්පය බිහිවූයේ එංගලන්තයේය. එහි පාර්ලිමේන්තු ආණ්ඩුක්රම විකාශනයේදී පාර්ලිමේන්තුව, රජු හා සාමිවරුන් සමග ඇති කරගත් ගැටුමේදී රජුට හෝ සාමිවරුන්ට පාර්ලිමේන්තුවේ කටයුතුවලට අතපෙවීමට තිබුණු හැකියාව නැති කිරීම පිණිස එම විෂයයේදී විශේෂ වරප්රසාද ලබාදෙන විශේෂ නීති ඇතිකර ගැනීමට පාර්ලිමේන්තුවට සිදුවිය. රජුට හා සාමිවරුන්ට අධිකරණය කෙරෙහි බලපෑමට තිබුණු විශේෂ හැකියාව නිසා පාර්ලිමේන්තුවේ වරප්රසාද ආරක්ෂා කිරීමේ බලය අධිකරණය වෙත භාර නොදී පාර්ලිමේන්තුව එය තමන් විසින්ම ඉටු කරගත යුතු වගකීමක් බවට පත්කර ගත්තේය.
ලංකාවේ පාර්ලිමේන්තුවට ඇඟිලි ගසන්නට රජවරුන් හෝ සාමිවරුන් නොසිටියද පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට අදාළව ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කරන ලද ප්රසිද්ධ ප්රකාශයක් පාර්ලිමේන්තුවේ උණුසුම් විවාදයට හේතුවී 1953දී නියෝජිත මන්ත්රී මණ්ඩලය හා සෙනෙට් මන්ත්රී මණ්ඩලය එකට එකතු වී එංගලන්තයේ පාර්ලිමේන්තු වරප්රසාද නීතිය ආදර්ශයට ගෙන ලංකාවේ පාර්ලිමේන්තුව සඳහාද වරප්රසාද නීතියක් ඇති කරගත්තේය. ඒ නීතිය තුළ ජනමාධ්යවේදීන් හපාකන දත් නොතිබුණි. එම නීතිය යටතේ පාර්ලිමේන්තු වරප්රසාද වැරදිවලදී නඩු අසා වැරදිකරුවන්ට දඬුවම් කිරීමේ බලය ලබාදී තිබුණේ ශ්රේෂ්ඨාධිකරණයටය.
විසිපස් වසරක් තිස්සේ හොඳින් ක්රියාත්මක වූ මෙම නීතිය ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන ජනමාධ්යවේදීන් හපාකෑමේ බලය ඇති නීතියක් බවට හැරවීමට 1977දී බලයට පත් ජේ.ආර්. ජයවර්ධනට අවශ්ය විය. ඒ වෙනස බලයට පත්වී වැඩි කලක් යන්නට පෙර උණු උණුවේම කරන ලද දෙයක් විය. වරප්රසාද නීතියට එම අරමුණ දිනාගත හැකි සංශෝධනයක් ගෙනාවේද ආණ්ඩුක්රම ව්යවස්ථාවේ එන සාමාන්ය ක්රමයට නොව හදිසි කටයුත්තක් ලෙස සලකාය.
මෙම නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේම ආණ්ඩුවේම පුවත්පතක් ලෙස සැලකිය හැකි සිලෝන් ඔබ්සවර් පුවත්පතේ ඡායාරූප දෙකකට අදාළ කැප්ෂන් (පින්තූරයට අදාළ විස්තරය) දෙක වැරදි ලෙස යොදා තිබුණි. විදේශ ඇමති හමීඩ්ගේ පින්තූරයට යොදාගත යුතු කැප්ෂනය සුසාන් ශාන්ත ජේම්ස් සිය අලුත් පෙම්වතා සමග බෝට්ටු පදින පින්තූරයටත්, ඔවුන් බෝට්ටු පදින පින්තූරය සඳහා යොදාගත යුතු කැප්ෂනය හමීඩ්ගේ පින්තූරයටත් යොදා තිබුණි. මෙය ප්රමාද දෝෂයක් නිසා සිදුවී තිබුණු වරදක් වූ අතර වරද දැනගත් වහාම එම වරද සහිතව මුද්රණය කරන ලද පිටපත් 949 බෙදාහැරීම වළකා ඉන්පසු මුද්රණය වන පිටපත්වල වරද නිවැරදි කොට ප්රමාද දෝෂයකින් සිදුවූ එම වරද ගැන කනගාටුවද පළකර තිබුණි. එහෙත් කෙසේ හෝ හමීඩ් මහතාට ලේක්හවුසියෙන්ම ප්රමාද දෝෂය සහිත පුවත්පතේ පිටපතක් ලැබී තිබුණු අතර ඔහු වරප්රසාද නීතිය නීතිගතවූ දිනයේම පුවත්පතට එරෙහිව වරප්රසාද ප්රශ්නයක් මතු කළේය. එම පැමිණිල්ල විභාග කිරීමට මුළු පාර්ලිමේන්තුවම උසාවියක් බවට පත්විය. කර්තෘවරුන් දෙදෙනාම වරදකරුවන් බවට තීරණය විය. ඔවුන්ට නීති උපදෙස් ගැනීමට හෝ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබානොදෙන ලදි. දඩය අඳ ගොළු බිහිරි පාසලට ගෙවන ලෙස නියම විය.
තීන්දුව ප්රකාශ කිරීමෙන් පසුව අගමැතිවරයා සභාව අමතා කීවේ වගඋත්තරකරුවන් කුමන අපරාධයක් කළේද යන්න නොදන්නා බවය. ඒ ගැන සවිස්තර කරුණු සොයා බැලීමක් නොකළ බවය. පනත බලසම්පන්න නීතියක් බව පෙන්වාදීමට අවශ්ය නිසා එසේ කළ බව කීවේය. අනාගතයේ එහි පැමිණෙන්නවුන්ට දඩයකින් පමණක් ගැලවෙන්නට ඉඩ නොලැබෙනු ඇති බවද කීවේය.
ඉන්පසු එම නීතිය අභියෝගයකින් තොරව ක්රියාත්මකවෙමින් තිබුණි. වරප්රසාද කමිටුව ඉදිරියට එන ජනමාධ්යවේදීන්ට වරප්රසාද කමිටුව දෙනු ලබන තීන්දු යටහත් පහත් ලෙස භාරගැනීමට සිදුවී තිබුණි. එය ජනමාධ්යවේදීන් බියගන්වන හා ඔවුන්ගේ ආත්ම ගෞරවය කෙලෙසන නපුරු ක්රමයක් ලෙස ක්රියාකරමින් තිබුණි.
මේ ක්රමය අභියෝගයට ලක්කිරීමට මට අවශ්ය විය. චොක්සිගේ වරප්රසාද නඩුවට අදාළ කැඳවීම් ලිපිය ලැබුණු පසු තවදුරටත් වරප්රසාද කමිටුවේ කටයුතු සිදුවන ආකාරය දැනගැනීමේ අදහසින් මම රාවයේ ප්රවෘත්ති කර්තෘ නිව්ටන් සෙනෙවිරත්න සමග පාර්ලිමේන්තුවට ගියෙමි. වරප්රසාද කමිටුවේ පැවති විභාගයට සහභාගිවීම පිණිස එහි පැමිණ සිටි ලංකාදීප කර්තෘ සිරි රණසිංහ හා එම පුවත්පතේ ජනමාධ්යවේදියකු ලෙස වැඩ කළ චූලවංශ සිරිලාල්ද අපට එහිදී හමුවූ අතර වරප්රසාද කමිටුවේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව ඔවුන්ගේ අත්දැකීම්ද අපට දැනගත හැකිය. අප දෙදෙනා වරප්රසාද කමිටුවේ ලේකම් හමුවන්නට ගොස් වරප්රසාද නඩුවකදී වගඋත්තරකරුවකුට ලැබෙන අයිතිවාසිකම් ගැන ඔහුගෙන් කරුණු විමසා සිටියෙමු. මෙය සාමාන්ය උසාවියකට වඩා වෙනස් තැනක් බව ඔහු කීවේය. පැමිණිලිකරුගෙන් හරස් ප්රශ්න ඇසීමේ හෝ සාක්ෂිකරුවන් කැඳවීමේ අයිතියක් තිබේදැ”යි විමසූ විට ඔහු කීවේ එවැනි සම්ප්රදායයක් නැති බවය.
පාර්ලිමේන්තු වරප්රසාද සඳහා නීතියක් ඇති කරගෙන තිබුණද එම වරප්රසාද නීතිය යටතේ නඩු අසා දඬුවම් පැමිණවීමට නීතියෙන් නියම කරන ලද නඩු පටිපාටියක් තිබිය යුතුය. එහෙත් වරප්රසාද කමිටුව නඩු අසා ජනමාධ්යවේදීන්ට දඬුවම් කරන ක්රමයක් පවත්වාගෙන ගොස් තිබුණේ නීතියෙන් නියම කළ නඩු පටිපාටියක් නැතිවය. ඒ නිසා එම ක්රමය මුළුමනින් නීතියට පටහැනි වී යැයි කිවහැකිය.
මෙම මූලික තර්කය පදනම් කොටගෙන වරප්රසාද කමිටුව පවත්වාගෙන ගිය ක්රමය අභියෝගයට ලක්කිරීමට මට අවශ්ය වූ අතර එම මූලික විරෝධය ඇතුළත් ලියවිල්ල සකස් කර දෙන ලද්දේ ගාලු අධිකරණයේ සේවය කළ මගේ මිත්ර නීතිඥයකු වූ ඒපීජී සරත්චන්ද්ර විසිනි. මූලික විරෝධයට ඇතුළත් කරුණු කොතරම් ශක්තිමත් වුවත් එම මූලික විරෝධය වරප්රසාද කමිටුවට ඉදිරිපත් කළ පමණින් යුක්තිය ඉටුකිරීමේ හැකියාවක් වරප්රසාද කමිටුවට නොතිබුණු බව මම දැනසිටියෙමි. ඒ නිසා ඒ අරමුණ දිනාගැනීම සඳහා වන ක්රියාකාරී වැඩසටහනක් මම සැලසුම් කළෙමි. ඊට ඇතුළත් එක් පියවරක් වූයේ අදහස් පළකිරීමේ නිදහස ගැන උනන්දුවක් දක්වන ජාත්යන්තර ආයතන දැනුවත් කොට ඔවුන් ලවා ජනාධිපතිවරයා වෙත උපරිම බලපෑමක් ඇති කිරීමය. ඒ සමග වරප්රසාද කමිටුව විසින් කර තිබෙන කැඳවීමට එහි යෑමෙන් වැළකී මාගේ මූලික විරෝධය පමණක් කමිටුව අතට පත්කිරීමය. ඒ මගින් මා අපේක්ෂා කළ අරමුණු දෙකක් තිබුණි. මා වෙනත් අයට වඩා වෙනස් පුද්ගලයකු බව කමිටුවට දැනගන්නට සැලැස්වීම එහි එක් අරමුණක් විය. සාමාන්යයෙන් එතෙක් සිදුවූයේ කමිටුව කරන කැඳවීම්වලට එහි ගොස් කමිටුව දෙන ඕනෑම තීරණයක් භාරගැනීමය. මා එම ප්රතිපත්තියට වෙනස්ව මෙම කමිටුව පවත්වාගෙන ගිය ක්රමය අභියෝගයට ලක්කිරීමට සූදානම් පුද්ගලයකු බව දැනුම්දීම එහි ප්රධාන අරමුණ විය. කමිටුව පවත්වාගෙන ගිය නඩු අසා දඬුවම් පමුණුවන ප්රතිපත්තිය නීතියට පටහැනි බව කමිටුවට ප්රබල ලෙස දැනගන්නට සැලැස්වීම එහි ඊළඟ අරමුණ විය. මගේ එම උපාය මාර්ග වැඩපිළිවෙළ අවදානමෙන් තොර එකක් නොවීය. වරප්රසාද කමිටුව කරන කැඳවීමකට අවනත නොවන පුද්ගලයකුට එය වරප්රසාද කමිටුවට කරන අපහාසයක් ලෙස සලකා අවශ්ය නම් දඬුවවම් පැමිණවීමේ බලයක් තිබුණි. එම අවදානම භාරගෙන මිස ඊට ප්රබල ලෙස අභියෝග කිරීමේ හැකියාවක් නොතිබුණි.
මාගේ නොපැමිණීම ගැන බලවත් ලෙස අවවාද කොට විභාගය පැවැත්වෙන ඊළඟ දිනය සඳහන් කරමින් ඒ දිනයට නොපැමිණෙන්නේ නම් මා සම්බන්ධයෙන් දැඩි ක්රියාමාර්ගයක් ගැනීමට කමිටුව තීරණය කර ඇති බව වරප්රසාද කමිටුවේ ලේකම්වරයා ඉන්පසුව මා වෙත ලිඛිත දැනුම්දීමක් කළේය. ඊළඟ විභාග දිනය සඳහා සති තුනක් පමණ තිබුණු බැවින් මා අපේක්ෂා කළ ජාත්යන්තර බලපෑම එල්ලවීමට අවශ්ය කාලය ඒ නිසා ලැබුණේය.
මා ඒ අතරතුර කාලයේදී බණ්ඩාරනායක මැතිනිය හමුවන්නට ගොස් ඇය සමග සාකච්ඡා කොට පාර්ලිමේන්තු වරප්රසාද කමිටුව පවත්වාගෙන යන පිළිවෙතට විරෝධය පළකරන නිවේදනයක් පළ කරන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියෙමි. ඇය ඊට කැමති වී ඇගේ නමින් පළකිරීමට සුදුසු ලියවිල්ලක් සකස් කරදෙන ලෙස මගෙන් ඉල්ලා සිටියාය. ඒ නිසා ඇගේ නිවේදනයට අදාල ලියවිල්ල සකස් කරන්නට සිදුවුයේද මටය. නීතියෙන් නියම කළ නඩු පටිපාටියක් නැතිව නඩු අසා දඬුවම් කිරීමේ ක්රමය අනුමත කළ නොහැකි බවත්, ඒ වෙනුවට නව පිළිවෙත අතහැර පරණ නීතිය යටතේ ක්රියාත්මක වූ ක්රමය එනම් සියලු වරප්රසාද නඩු ශ්රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම සුදුසු බවත් එම නිවේදනයෙන් ඇය කියා සිටියාය. ඇගේ එම නිවේදනය බොහෝ පුවත්පත්වල පළවූ අතර සන්ඩේ අයිලන්ඩ් පුවත්පත ඇගේ නිවේදනය අළලා කතුවැකියක්ද පළ කළේය.
මා අපේක්ෂා කළ ආකාරයටම අදහස් පළකිරීමේ නිදහස ගැන උනන්දුවක් දක්වන ප්රධාන පෙළේ ජාත්යන්තර සංවිධාන ගණනාවක් පාර්ලිමේන්තු වරප්රසාද නීතිය යටතේ ජනමාධ්යවේදීන්ට දඬුවම් කරන පිළිවෙතට විරෝධය පළකරමින් ජනාධිපති රණසිංහ ප්රේමදාස වෙත දැනුම්දීම් කර තිබුණි. මට පසුකලක එකල භාණ්ඩාගාර ලේකම් පාස්කරලිංගම්ගෙන් දැනගන්නට ලැබුණු පරිදි ලෝක බැංකුවේ නේවාසික නියෝජිතයාද ඒ ගැන ජනාධිපතිවරයා වෙත සිය අදහස් පළකර තිබුණි. මාගේ මිත්රයකුගේ මැදිහත්වීම නිසා ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු වූ ආරුමුගම් තොණ්ඩමන් මහතාද මේ ක්රමය සුදුසු ක්රමයක් නොවන බව ජනාධිපතිවරයා සමග ප්රකාශ කර තිබුණි. ඔහුද පාර්ලිමේන්තු වරප්රසාද කමිටුවේ සාමාජිකයෙක් විය. ජනාධිපතිවරයා ඒ මොහොත් සිටියේද සමහර ජාත්යන්තර බලවතුන් සමග ඇති කරගෙන තිබුණු හිත් අමනාපකම් යළි යථා තත්ත්වයට පත්කර ගැනීමේ වුවමනාව වෙනුවෙන් විශාල උනන්දුවකින් ක්රියාකරමින් සිටින තත්ත්වයකය. ඒ සියලු සාධක මගේ වාසියට බලපෑවේය.
දෙවැනි කැඳවීමට කමිටුව වෙත ගිය අවස්ථාවේදී පළමු කැඳවීමට නොපැමිණීම ගැන නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. වරප්රසාද කමිටුවේ සභාපති වශයෙන් ක්රියාකරමින් සිටියේ රනිල් වික්රමසිංහ මහතාය. එවැනි ප්රශ්නයක් මතු විය හැකි බව මා කල්තියා දැන සිටි අතර ඒ සඳහාද නීතියට ගැළපෙන හොඳ උත්තරයක් මට තිබුණි. වරප්රසාද නීතිය අනුව එවැනි කැඳවීමේ ලිපියක් සඳහා අත්සන් තැබිය යුතුව තිබුණේ පාර්ලිමේන්තු ලේකම්වරයාය. එහෙත් මගේ කැඳවීමේ ලිපියට අත්සන් තබා තිබුණේ වරප්රසාද කමිටුවේ ලේකම්වරයාය. මා ඒ බව පෙන්වාදෙමින් එය නීතියට අනුකූල නිසි කැඳවීම් ලිපියක් නොවූ බැවින් මා එදින නොපැමිණි බව කියා සිටියෙමි. වරප්රසාද නීතියේ එන නියමය එයදැ”යි ඔවුන් පරීක්ෂා කළ බව පෙනෙන්නට තිබුණි. ඉන්පසු මගේ මූලික විරෝධය ඉදිරිපත් කරන ලෙස කමිටුව ඉල්ලා සිටියේය. ඉන්පසු මම මාගේ තර්කය පැහැදිලි කළෙමි. කමිටුවට නඩු අසා වරදකරුවන්ට දඬුවම් කළ හැකි නීතියෙන් නියම කළ පටිපාටියක් ඇත්නම් එය මා වෙත ලබාදෙන ලෙසත් එවිට ඊට ගැළපෙන ලෙස කමිටුව ඉදිරියේ පෙනීසිටීමට සූදානම් බවත් කියා සිටියෙමි. අවසානයේ සිදු වූයේ ප්රශ්නය නීතිපති වෙත ඉදිරිපත් කරන බව ප්රකාශ කරමින් දින නියමයක් නොමැතිව කල් තැබීමය. එය එම ක්රමයේ අවසානය විය. ඉන්පසු පොදු පෙරමුණු ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු වරප්රසාද කමිටුවට ජනමාධ්යවේදීන්ට එරෙහිව නඩු අසා දඬුවම් කිරීමට තිබුණු බලය ඉවත් කැරෙන ලෙස වරප්රසාද නීතිය සංශෝධනය කළේය.
මතු සම්බන්ධයි.