සටන් කිරීම සහ අවසාන සටන

February 26, 2012
Publication:
The third part recounts two interventions against lower-court decisions in the rape cases of two young girls, risking contempt of court. In the first (1993), after the Attorney General withdrew the case against a retired senior police officer, Ravaya ran a campaign aimed at the Attorney General himself, drawing reader protests, Professor Savitri Goonesekere and a public meeting until the case was re-filed; years later a false recantation, engineered through the convent where the girl lived, was exposed by the CID. In the second (1995), a magistrate who had freed a popular film actor fled the country, and the actor was convicted before being freed on appeal. Ivan draws the lesson that every fight for justice needs a philosophy, a strategy, determination and commitment, not just a protest.

සඳරේඛා හා ඉනෝකා යන සිද්ධීන් දෙක එක සිද්ධියක් ලෙස මෙම ලිපියේ ලැයිස්තුගත කොට ඇතත්, එය එක සිද්ධියක් නොව සමාන පෙනුමක් ඇති සිද්ධීන් දෙකකි. මේ අවස්ථා දෙකේදී මැදිහත්වන්නට සිදුවූයේ අධිකරණය විසින් දෙන ලද තීන්දු දෙකකට එරෙහිවය. උසාවි කටයුත්තකට අනිසි ලෙස මැදිහත්වීම හෝ බලපෑම සැලකෙන්නේ උසාවි අපහාස නීතිය යටතේ දඬුවම් කළහැකි වරදක් ලෙසය. ඒ නිසා මෙම මැදිහත්වීම් දෙක එම අවදානම භාරගනිමින් කරන ලද මැදිහත්වීම් දෙකක් ලෙස සැලකිය හැකිය.

සඳරේඛා හා ඉනෝකා

පළමු මැදිහත්වීම ආරම්භක වශයෙන් සිදුකරන ලද්දේ 1993 ඔක්තෝබර්වලදීය. 11 හැවිරිදි දැරියක විශ්‍රාම ගිය උසස් පොලිස් නිලධාරියකු විසින් දූෂණය කිරීමේ සිද්ධියකට අදාළව අධිකරණයේ සිදුවූ මූලික පරීක්ෂණයකට අදාළවය. දෙවැනි මැදිහත්වීම ආරම්භක වශයෙන් සිදුකරන ලද්දේ 1995 ඔක්තෝබර්වලදීය. එය රටේ නමගිය සිනමා නළුවකු අතින් දූෂණය වූ 11 හැවිරිදි දැරියකට අදාළව සිදුකැරුණු නඩුවක් විය. මුලික පරීක්ෂණ දෙකේම විනිසුරුවරයා වශයෙන් ක්‍රියා කළේ එකම පුද්ගලයෙකි.

සඳරේඛා නඩුවේදී විනිසුරුවරයාගේ අනුකම්පාව හිමිවන්නේ විශ්‍රාම ගිය පොලිස් නිලධාරියා අතින් අතවරයට ලක්ව සිටි සඳරේඛාටය. එම මූලික පරීක්ෂණය අත්හිටුවා විත්තිකරු නිදහස් කරන ලෙස නීතිපති නියම කළ විට විනිසුරුවරයා ඊට අවනත වූයේ සිය විරෝධයද පළකරමිනි. නීතිපතිගේ නියමය නොසලකා ක්‍රියාකිරීමේ හැකියාවක් නැති නමුත් නීතිපතිගේ නියමය නිසා තමා මෙම විත්තිකරු නිදහස් කරන්නේ මූලික පරීක්ෂණය ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය තරම් සාක්ෂි තිබියදී බව විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියේය. නීතිපතිගේ මෙම මැදිහත්වීම තුළ බරපතළ දෝෂයක් තිබිය හැකි බව ඒ ගැන වැඩිදුර සොයා බැලිය යුතුයි කියන අදහස මා තුළ ඇතිවූයේද විනිසුරුවරයා විසින් කර තිබුණු එම ප්‍රකාශය නිසාය. මෙම සිද්ධියේදී මෙම විනිසුරුවරයා රාවයේ පැසසුමට ලක්වුවද දෙවැනි සිද්ධියේදී ඊට වෙනස්ව ඔහු රාවයේ දැඩි විවේචනයට ලක්වීයැ”යි කිව හැකිය. දෙවැනි සිද්ධියේදී විනිසුරුවරයාගේ අනුකම්පාව හිමිවන්නේ ඉනෝකා දැරිය අතවරයට ලක් කර තිබූ නළුවා කෙරෙහිය.

මහේස්ත්‍රාත්වරයාට සිනමා නළු නිළියන් සමග අසුරක් තිබුණි. මහේස්ත්‍රාත්වරයාද අවස්ථා දෙකකදී වේදිකා නළුවකු ලෙස රඟපා තිබුණි. මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රියතම ගායකයා වී සිටියේද එම සිනමා නළුවාය. මහේස්ත්‍රාත්වරයා ඔහු ප්‍රියකළ නළු නිළියන්ගේ ලෝකයට සමීපවීමට මෙම නඩුව අවස්ථාවක් කරගත්තේය. චෝදනාලාභී නළුවා නිදහස් කරගැනීම සඳහා නළු නිළියෝද මහේස්ත්‍රාත්වරයා කෙරෙහි උපරිම ලෙස බලපෑවෝය. මහේස්ත්‍රාත්වරයාද තමන්ගේ වීරයා බේරාගැනීමට යා හැකි උපරිම දුර ගියේය.

මෙම සිද්ධීන් දෙකම අසාධාරණයට ලක්වූ අසරණම තත්ත්වයේ දැරියන් දෙදෙනකුගේ ආරක්ෂාව වෙනුවෙන් කරන ලද මැදිහත්වීමක් ලෙස සැලකිය හැකිය. සඳරේඛා 11 හැවිරිදි වූ අතර ඉනෝකා 13 හැවිරිදි විය. වෙනත් සමහර රටවල ළමාවියේ කෙනකු ලෙස සැලකෙන්නේ අවුරුදු 16කට අඩු කෙනකු වුවත් ලංකාවේ නීතිය අනුව ළමයකු ලෙස සැලකෙන්නේ අවුරුදු 12කට අඩු කෙනකු වීම නිසා ඉනෝකා එම ආරක්ෂාව ලැබූයේ නැත. මෙම ළමුන් දෙදෙනාම අම්මාගේ රැකවරණය නොලැබූ ළමෝ වූහ. සඳරේඛා ජීවත් වූයේ පෝලියෝ රෝගියකු වූ සිය ආච්චී සමගය. ඉනෝකාට ජීවත්වන්නට සිදුවී තිබුණේ සිය කුඩම්මා සමගය.

සඳරේඛාගේ නඩුවේදී නීතිපති මැදිහත්වී චෝදනාලාභී විශ්‍රාමලත් පොලිස් අධිකාරිවරයා නිදහස් කරගෙන තිබූ අතර ඉනෝකාගේ නඩුවේදී විනිසුරුවරයා චෝදනාලාභී සිනමා නළුවා නිදහස් කර තිබුණි.

මේ මැදිහත්වීම් දෙකේම අරමුණ වූයේ චෝදනාලාභී දෙදෙනාට එරෙහිව නැවත නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කිරීමය. ඒ දෙදෙනාම සාධාරණ හේතු නිසා නොව ඔවුන්ට තිබුණු බලවත් සම්බන්ධකම් හේතු කොට චෝදනාවලින් නිදහස් කරතිබූ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. එම අවස්ථා දෙකේදී අපේක්ෂා කළ අරමුණ ජයගත හැකිවිය. සඳරේඛා නඩුව පිළිබඳව හෙළිදරව්ව කරන ලද්දේ නීතිපතිගේ මැදිහත්වීමට එරෙහිව බලවත් මහජන මතයක් ඇති කිරීම හා ඒ සඳහා පණගැන්වෙන මහජන ක්‍රියාකාරීත්වයක් මගින් එම අරමුණ ජයගැනීමටය. කතාව වාර්තා කරන ලද්දේ ඒ අරමුණට ගැළපෙන ආකාරයටය. එම වාර්තාකරණය කියවූ පාඨකයන් කම්පනයට පත්වූවා පමණක් නොව, රාවය ඉල්ලා සිටි ආකාරයටම බොහෝ දෙනෙක් ජනාධිපතිවරයා හා නීතිපති වෙත ලිඛිතව සිය විරෝධය පළ කරන තැනකටද ගියෝය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට සිය හොඳ නම ආරක්ෂා කරගැනීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවන්නට සිදුවිය. එම පියවර ගොඩනැගෙමින් තිබෙන මහජන විරෝධය දුර්වල කරනවා වෙනුවට උග්‍ර කළේය. රාවය සිය අරමුණ අතනොහැර එම විවාදය ඉදිරියට ගෙනයන විට රටේ නාමධාරී පුද්ගලයෝද ක්‍රම ක්‍රමයෙන් එම විවාදයට එකතු වූහ. ඒ අතරින් වඩාත්ම කැපී පෙනෙනුයේ මහාචාර්ය සාවිත්‍රි ගුණසේකරගේ මැදිහත්වීමය. මෙම නඩුව විභාගයට ගතයුතු බව ශ්‍රී ලංකාවේ නීතිඥ සංගම් රැස්වීමකදී ඇය කියා සිටියාය. අවසානයේ සඳරේඛා ප්‍රශ්නය ගැන උනන්දුවක් දක්වන බහුජන සංවිධාන ගණනාවක් එකට එකතු වී නීතිපතිගේ මැදිහත්වීමට විරෝධය පළකරන ප්‍රසිද්ධ මහජන රැස්වීමක්ද නුගේගොඩදී පවත්වන ලදි.

අවසානයේදී නීතිපතිට තමන් ඉල්ලා අස් කරගත් නඩුව නැවත අධිකරණය වෙත යොමු කරන්නට සිදුවිය. දෙවැනි වර පවරන ලද නඩුව ඇසෙමින් තිබුණේ සඳරේඛාගේ වාසියට හේතුවන ආකාරයටය. ඒ අතරතුර කාලයේදී විත්තිකාර විශ්‍රාමලත් පොලිස් නිලධාරියා මරණයට පත්විය. ඒ සමග සඳරේඛා සිද්ධියද තවත් කලකට යටපත්වූ සිද්ධියක් බවට පත්වූයේය.

සඳරේඛාගේ පාපෝච්චාරණය

ඊළඟට එම සිද්ධිය නැවත කරළියට ආවේ කිසියම් දීර්ඝ කාලයකට පසුව අලුත් වේශයකිනි. ඒ අතරතුර කාලයේදී සඳරේඛා ජීවත් වූයේ අනාථ ළමුන් සඳහා හැඳල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කන්‍යාරාමයකය. සඳරේඛා දෙවැනිවරට නැවත ජනමත කරළියට එන්නේ එතෙක් ඇය වෙනුවෙන් ගොඩනගන ලද සියලු නරක නිෂ්ප්‍රභ කැරෙන ආකාරයටය.

ඇය ඇගේ එම අලුත්ම කතාව කියන්නේ මීගමුවේ අතිරේක දිසා විනිසුරුවරයාට කරන පාපෝච්චාරණයක් මගිනි. එහිදී ඇය කියන්නේ වයස අවුරුදු 10දී පමණ තමා දූෂණය කරන ලද්දේ තමන්ගේම පියා බවය. ඒ බව තම සහෝදරයා හා ආච්චිද දැන සිටි බවය. විශ්‍රාමික පොලිස් අධිකාරීවරයා විසින් තමා දූෂණය කළ බව තමන්ට කියන්නට සිදුවූයේ තම පියාගේ හා ආච්චීගේ බලකිරීම මත බවය. සොහොයුරාගේ පාදයේ තිබූ ඉන්නකු කපා තම යට ඇඳුමේ තවරා තම පියා හා ආච්චි තමාව තලංගම පොලීසියට ඉදිරිපත් කළ බවය.

සඳරේඛා කන්‍යාරාමය භාර මව්තුමිය සමග මහේස්ත්‍රාත්වරයාගේ චේම්බරයට පැමිණ මෙම පාපෝච්චාරණය කරන අවස්ථාවේදී එම අවස්ථාව ආවරණය කළ ඉලෙක්ට්‍රොනික් ජනමාධ්‍යයක ප්‍රාදේශීය වාර්තාකරුවකු ඒ අවස්ථාවේදී මා අමතා තවමත් රටට වාර්තා නොවූ එම පුවත මට ඔහුගේ ජංගම දුරකතනයෙන් දැනුම් දුන්නේය. මම ඔහුට සන්සුන්ව ඇහුම්කන් දුන්නෙමි. වැඩි විස්තර අවශ්‍ය අවස්ථාවලදී අසා දැනගත්තෙමි. අසන්නට ලැබුණු පුවත මා තුළද කම්පනයක් ඇති කළේය. සමහර පියවරුන් අතින් තම දරුවන් දූෂණය වන අවස්ථා තිබෙන බව මම දැන සිටියෙමි. එහෙත් මේ පාපෝච්චාරණය මගේ සැකයට හේතුවිය. මෙම නඩුව මා විසින් ගොතා ඉදිරිපත් කරන ලද්දක් නොවන බවත් එය ඒ ගැන පරීක්ෂණය මෙහෙයවූ තලංගම පොලීසිය හා පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද්දක් බවත් මා කරන ලද්දේ නීතිපතිගේ මැදිහත්වීමට එරෙහිව බලවත්ව ක්‍රියාකිරීම පමණක් බවත් මම එම කරුණ හෙළිදරව් කළ ප්‍රාදේශීය වාර්තාකරුට කියා සිටියෙමි.

සඳරේඛාගේ අලුත් පාපෝච්චාරණය ජනමාධ්‍යවල ලොකු ප්‍රවෘත්තියක් ලෙස පළවිය. ඉන්පසු ඇගේ කතාව සමාලෝචනයකට ලක් කැරෙන දීර්ඝ ලිපියක් ලංකාදීප පුවත්පතේ පළවිය. එම ලිපිය ලියූ ලියුම්කරු එම ලිපිය ලියා තිබුණේ මියගිය විශ්‍රාමගිය පොලිස් නිලධාරියා කෙරෙහි විශාල අනුකම්පාවක් ඇති කරන ආකාරයට පමණක් නොව ඉතාමත් නීතිගරුක හා චරිතවත් විශ්‍රාම ගිය හොඳ පොලිස් අධිකාරිවරයකු රාවය විසින් මරා ගත්තේය කියන හැඟීමද කියවන්නා තුළ ඇතිවන ආකාරයටය. එම ලිපිය මහජනයා තුළ කම්පනයක් ඇති කිරීමට හේතුවූවා පමණක් නොව රාවය කෙරෙහි මහජන අප්‍රසාදයක් ඇති කිරීමටද හේතුවිය.

එහෙත් සඳරේඛාගේ පාපෝච්චාරණය සත්‍යගරුක හා අහිංසක පාපෝච්චාරණයක් නොවන බව එම පාපෝච්චාරණය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණයේදී හෙළිදරව් විය. සඳරේඛා රඳවාගෙන සිටි කන්‍යාරාමය භාර මව්තුමිය චෝදනාලාභී පොලිස් අධිකාරිවරයාගේ බිරිඳගේ සමීප හිතවතියක් විය. මෙම සිද්ධියෙන් තමන්ගේ පවුලට සිදුවූ කැළල මකාගැනීමට පොලිස් අධිකාරීවරයාගේ බිරිඳට අවශ්‍ය වූ අතර ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා ඇය කන්‍යාරාමය භාර මව්තුමිය ප්‍රයෝජනයට ගත්තාය. සඳරේඛාගේ හිත හැදීම සඳහා වන විශේෂ හා සියුම් මෙහෙයුමක් මේ දෙදෙනා විසින් දියත් කර තිබුණි. කන්‍යාරාමයේ සිටින දුව බැලීමට ඇගේ පියාට හෝ සහෝදරවරයාට ඉඩ නොදෙන ලදි. ඇය සිය පවුලේ සාමාජිකයන්ගේ ඇසුරෙන් මුළුමනින් ඈත් කොට තැබීම ඔවුන්ගේ අපේක්ෂාව විය. ඒ සමග ඒ බොරුව ඇය ලවා ප්‍රකාශ කරවා ගැනීම සඳහා ඔවුහු ඇයට ඇය ප්‍රියකරන විවිධ දේවල් දුන්නෝය. සුරක්ෂිත හා සැපවත් අනාගතයක්ද සහතික කළෝය. ඇගේ හිත හැදීමේ මෙහෙයුම සඳහාද සැලකියයුතු තරම් කාලයක් ගතවිය. ඇයගේ අලුත් පාපෝච්චාරණය කරළියට ගෙනාවේ ඉන්පසුවය.

අලුත් පාපෝච්චාරණය පිළිබඳ පරීක්ෂණය මෙහෙයවන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකල උසස් නිලධාරියකු වූ සිසිර මෙන්ඩිස්ය. මෙය සියුම් ලෙස ගොතන ලද පාපෝච්චාරණයක් බව පෙනෙන්නට වූ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳරේඛා කන්‍යාරාමය භාරයෙන් ඉවත් කොට පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ගත්තේය. ඉන්පසු සමස්ත සිද්ධිය ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිදරව් කළාය. එම පරීක්ෂණයෙන් හෙළිදරව් වූ කරුණු පිළිබඳ විස්තරයක්ද ලංකාදීප පුවත්පතේ පළකර තිබුණද, එය පළකර තිබුණේ සඳරේඛා දූෂණය කර තිබුණේ පියා විසින් බවට පළකරන ලද වාර්තාවට වඩා අඩු වැදගත්කමක් ලැබෙන ආකාරයටය. ඉන්පසුව පොලිස් අධිකාරිවරයා කෙරෙහි අනුකම්පාවක් ලැබෙන ආකාරයට පළකරන ලද දීර්ඝ විවරණයේ එන නිගමන නිවැරදි කිරීමක්ද සිදු නොවීය.

සඳරේඛා වයස සම්පූර්ණ කිරීමෙන් පසුව පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව භාරයෙන් නිදහස් විය. ඇගේ පළමු උසාවි නඩුව පැවති කාලයේදී ඇය වෙනුවෙන් රාවය අරමුදලක් පිහිටුවා තිබුණු අතර ඇගේ අලුත් ජීවිතය ආරම්භ කිරීම සඳහා ඇයට එම අරමුදල ප්‍රයෝජනවත් වීයැ”යි කිව හැකිය.

ඉනෝකා නඩු විභාගය

ඉනෝකා නඩුවද නැවත විභාග කරන තත්ත්වයක් දිනාගත හැකිවිය. සිය හිතවත්කම මත පිහිටා සිනමා නළුවා නිදහස් කළ විනිශ්චයකාරවරයාට රටින් පලායන්නට සිදුවිය. ඔහු පලාගියේ ඕස්ට්‍රේලියාවටය.

සිනමා නළුවාට එරෙහිව මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා ඉදිරිපත් කරන ලදි. ඉනෝකා දැරිය දින දෙකක් රහසේ සාක්ෂි දෙන ලද අතර වගඋත්තරකාර සිනමා නළුවාද දින දෙකක් සාක්ෂි දුන්නේය. සිනමා නළුවා සාක්ෂි දෙන අතරතුර හඬන්නට වීම නිසා විනිසුරුවරියගේ නියමයෙන් විත්තිකරුට ටිෂූ කඩදාසියක් දෙන ලද බවද ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. නඩු තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරිය ප්‍රකාශ කළේ සිනමා නළුවා අතින් දූෂණය වූ තරුණිය ඉතා අවංක හා සද්භාවයෙන් සාක්ෂි දෙන ලද බවත්, විත්තිකරුගේ සාක්ෂිය අසත්‍යයෙන් පිරුණු සාක්ෂියක් වන බවත්ය. ඉදිරිපත් වූ චෝදනා දෙකටම විත්තිකරු වරදකරු වන බව තීරණය කළ විනිසුරුවරිය පළමු චෝදනාවට වසර දෙකක හා දෙවන චෝදනාවට වසර හයක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කරමින් රුපියල් ලක්ෂ 10ක වන්දියක්ද නියම කළාය.

මෙම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කරන ලද අභියාචනයෙන් සිනමා නළුවා නිදහස් විය. තීන්දුව දුන් විනිසුරුවරුන් සිය තීන්දුවේදී නළුවාගේ ක්‍රියාකලාපය දෝෂදර්ශනයට ලක් කර තිබුණද එය සාධාරණ තීන්දුවක් ලෙස සැලකිය නොහැකිය.

සමහර නඩු තීන්දු කෙරෙහි පුද්ගලයාගේ තරාතිරම හා සමාජ සම්බන්ධතාද බලපායි. එම තීන්දු සියුම් ලෙස විවේචනය කරන සටනක් මා ලියනු ලැබුවද රණ්ඩුවක් ඇතිකර ගන්නා තැනකට නොගියේ ඒ වන විට මා අධිකරණය සමග වඩා ලොකු ආරාවුලක පැටලී සිටීම නිසාය.

අරගලය හා දර්ශනය

මෙම අවස්ථා දෙකේදී පහළ අධිකරණයක් දෙනු ලැබූ වැරදි හා අසාධාරණ තීරණයන් දෙකක් ආපසු සලකා බලන තත්ත්වයක් දිනාගත හැකිවූයේ නිසි දර්ශනයක් හා ක්‍රියාවට නැගීම සඳහා වන නිසි වැඩපිළිවෙළක් ඇතිව, අධිෂ්ඨානයකින්, ඇප කැපවීමකින් හා විධිමත් ලෙස එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමට සමත් වූ නිසාය. යුක්තිය සඳහා කරන බොහෝ සටන් හොඳ ප්‍රතිඵල ලබාදීමට අසමත්වන්නේ ඒවා නිසි දර්ශනයකින් හෝ වැඩපිළිවෙළකින් තොරව කරන්නන් වාලේ කරන සටන් වීම නිසාය.

හැම සටනකටම නිසි සූදානමක්, උපාය මාර්ගික සැලැස්මක් හා එය ක්‍රියාවට නැගීම සඳහා වන කැපවීමක්ද අවශ්‍යය. සරල විරෝධය පෑමකින් හෝ උද්ඝෝෂණයකින් පමණක් සිදුවී තිබෙන බරපතළ වරදක් නිවැරදි කළ නොහැකිය. එය තර්කානුකූල අවසානයක් කරා ගෙනයෑමට අවශ්‍ය කරන ප්‍රායෝගික වැඩසටහනක් තිබිය යුතුය. අරමුණ යුක්තිසහගත විය යුතුවා සේ ම එහි යුක්තිසහගතභාවය පෙනෙන්නටද තිබිය යුතුය.

සඳරේඛා වෙනුවෙන් සිදුකැරුණු මැදිහත්වීමේදී ඒ වෙනුවෙන් ක්‍රියාකරන ප්‍රවර්තක බලය බවට පත්කර ගන්නට උත්සාහ කළේ රාවය පාඨකයන්ය. මෙම සිද්ධිය පිළිබඳව පාඨකයන් තුළ උපරිම කම්පනයක් ඇති කොට ඔවුන් ක්‍රියාකාරී තැනකට ගැනීම ඒ සඳහා දියත් කැරුණු වැඩසටහනේ අරමුණ විය. ඒ සඳහා සඳරේඛා නඩුව මහජන අධිකරණයක් ඉදිරියේ ඇසෙන නඩුවක් බවට පත්කිරීමට අවශ්‍ය විය. සමස්ත වාර්තාකරණය හා පසුවිපරම් සකස් කැරුණේ ඊට ගැළපෙන ලෙසය. පළමු හෙළිදරව්ව සඳහා යොදා ගැනුණු වාර්තාකරණය සාමාන්‍ය වාර්තාකරණයකට වෙනස් ආකාරයකින් ඉදිරිපත් කරන ලද වාර්තාකරණයක් විය. එය ඍජු ලෙස පාඨකයන් අමතා ලියන ලද්දක් වූ අතර “බලවතුන්ට නොදැරියන් දූෂණය කිරීමේ බලය නිීතිපති සහතික කරයි” යන්න ඊට යොදාගත් සිරස්තලය විය. එහිදී අප ප්‍රධාන විත්තිකරුවා බවට පත්කර ගන්නේ දැරිය දූෂණය කළ විශ්‍රාමලත් පොලිස් නිලධාරියා නොව නීතිපතිය. එකල නීතිපති ධුරයේ සිටියේ තිලක් මාරපන මහතාය. ඔහු ජනාධිපති ඩී.බී. විජේතුංගගේ සමීප හිතවතකු වූවා සේම නීති උපදේශකයාද විය. ඍජු ලෙස එවැනි පුද්ගලයකු ඒ ආකාරයෙන් පටලවා ගැනීම තුළ කිසියම් අවදානමක් තිබුණද ප්‍රශ්නය ප්‍රබල ලෙස මහජනයා වෙත ගෙනයෑම සඳහා යොදාගත හැකිව තිබුණු ප්‍රශස්ත ක්‍රමයද එය විය. එම කතාව එක වරක් පමණක් වාර්තාකරණයකට සීමා නොකොට එයට ප්‍රබල තත්ත්වයක් ලබාදීම සඳහා අඛණ්ඩව කැරෙන වාර්තාකරණයක් බවට පත්කර ගත්තේය. අපේක්ෂා කළ ආකාරයටම රාවය කියවන පාඨකයන් නීතිපති හා ජනාධිපති වෙත ලිඛිතව විරෝධය පළකරන්නට වීම නිසා නීතිපති දෙපාර්තමේන්තුවට ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවන්නට සිදුවූ අතර එය කරමින් සිටින අරගලය දුර්වල කරනවා වෙනුවට ශක්තිමත් කළේය. ක්‍රම ක්‍රමයෙන් බලවත් පුද්ගලයන්ද අදහස් පළකරන තත්ත්වයකට පැමිණි අතර වෙනත් පුවත්පත්වලටද ඒ ගැන කතා කරන තත්ත්වයකට යන්නට සිදුවිය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ සඳරේඛා යුක්තිය ඉටුකිරීම සඳහා කැරෙන අරගලය රාවයේද අනුග්‍රහය ඇතිව මහජනයා විසින් තමන් අතට ගන්නා ලද අරගලයක් බවට පත්වීමය. ඒ නිසා අවසානයේ නීතිපතිටම එම නඩුව නැවත විභාගයට ගන්නා තැනකට යන්නට සිදුවිය.

එයින් පෙනෙන්නේ යුක්තිය සඳහා කරන ඕනෑම අරගලයකට දර්ශනයක්, උපාය මාර්ගික සැලැස්මක්, එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වන අධිෂ්ඨානයක් හා කැපවීමක්ද අවශ්‍ය බවය. කෙටි වේලාවකට පමණක් සීමාවූ සරල විරෝධතා ව්‍යාපාරයකින් පමණක් එවැනි ප්‍රශ්නයකට විසඳුම් ලබාගත නොහැකිය. බොහෝ අය කරන අරගල යහපත් ප්‍රතිඵල ඇති කිරීමට හේතු නොවී නිශ්ඵල අරගල බවට පත්වන්නේ නිසි ඉදිරි දර්ශනයක්, උපාය මාර්ගික සැලැස්මක්, අධිෂ්ඨානයක් හෝ ඇප කැපවීමක් නැතිව කරන්නන් වාලේ කැරෙන අරගල වීම නිසාය.

මතු සම්බන්ධයි