සටන් කිරීම හා අවසාන සටන

February 12, 2012
Publication:
Challenged by a friend who says he has turned from a fighter into a preacher, Ivan explains that his aim now is not a change of government but a change of the political system, which needs the support even of those tied to the evil. Prompted by Ravaya's 25th anniversary, he lists the eight real battles of his career — against the parliamentary privileges law, the 17-year UNP government, criminal defamation, for the assets law, against two court decisions, an outside Elections Commissioner, a retiring President's taking of state property, and the limits of book publishing — and says he lost only one, blaming K.N. Choksy's concession in court. His ten-year struggle with Sarath N. Silva ended without result, he argues, because the Bar, media owners, parties and senior judges such as Mark Fernando stayed silent; Silva never used contempt law against him, which Ivan attributes to the remnant of conscience he appealed to.

මා ප්‍රියකරන පුද්ගලයෙක් රාවයේ 25 වැනි සංවත්සරය ගැන මා සමග කරන කතාබහකදී මෙසේ කීවේය.

“අතුල අයියා ඉස්සර ගොඩක් සටන් කරපු කෙනෙක්. සමහර දේවල්වලදී කාගෙවත් සහාය නැතිව, ජීවිතය පවා පරදුවට තබමින් තනිව සටන් කළා. ඒත් අද ඔයා සටන් කරන්නේ නැහැ. ඒ වෙනුවට දේශනා කරන්නකු බවට පත්වෙලා. ඒ දේශනා වැදගත් වුවත් බොහෝ අය ප්‍රිය කළේ සටන් කරන අතුල අයියාට මිස දේශනා කරන අතුල අයියාට නොවේ.”

ඔහු නගන ලද මෙම ප්‍රශ්නය මට අලුත් ප්‍රශ්නයක් නොවීය. මම ඔහුට මෙසේ කීවෙමි.

“සමාජ සහාය නැතුව තනිව වුවත් සටන් කොට ජයගත හැකි දේවල් තිබෙනවා. සමාජ සහාය නැතුව තනිව සටන් කොට ජයගත නොහැකි දේවලුත් තිබෙනවා. නපුරට සම්බන්ධ මිනිසුන්ගේ සහාය නැතිව ජයගත හැකි නපුරු දේවල් තිබෙනවා වගේම නපුරට සම්බන්ධ මිනිසුන්ගේ සහාය නැතිව ජයගත නොහැකි නපුරු දේවලුත් තිබෙනවා. අද මම සටන් කරන්නේ සමාජ සහය පමණක් නොව, නපුරට සම්බන්ධව සිටින අයගේද සහාය ඇතිව ජයගත යුතුව තිබෙන සංකීර්ණ අභියෝගයක්.” මා ඔහුට එසේ කියන අතර මාගේ අදහස පැහැදිලි කිරීම සඳහා මෙසේද කීවෙමි.

“අතීතයේදී මා කරන ලද සටන් වඩාත්ම ආස්වාදජනක වූයේ විරුද්ධ පාක්ෂිකයන්ටයි. සරල ආණ්ඩු පෙරළියක් වෙනුවෙන් පෙනීසිටි ඔවුන්ට ඔවුන්ගේ අරමුණ දිනාගැනීම සඳහා මා කරන ලද සටන් ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා ඔවුන්ට මා පෙනෙනුයේ ඔවුන්ට ප්‍රයෝජනවත් දෙයක නිරත වන යහපත් මිනිසකු වශයෙනි. එහෙත් සරල ආණ්ඩු පෙරළි දේශපාලනයකින් යහපත් වෙනසක් දිනාගත හැකියැ”යි මා විශ්වාස කරන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරනු ලැබුවත් ඉන්පසු ඇතිවනු ඇත්තේද අඩු වැඩි වශයෙන් මීට සමාන පාලන ක්‍රමයක්. ඊට පෙර හෝ ඊටත් පෙර පැවති තත්ත්වයද ඊට සමානයි. මගේ අපේක්ෂාව වී ඇත්තේ සරල ආණ්ඩු පෙරළියකට එහා ගිය දේශපාලන ක්‍රමයේ පෙරළියක්. ඒ අරමුණ ජයගැනීම සඳහා සමාජය දැනුවත් කිරීම සේම දේශපාලනඥයන් දැනුවත් කිරීමද අත්‍යවශ්‍යයි. දැන් මගේ පූර්ණ අවධානය යොමුවෙලා තියෙන්නේ ඒ වෙනුවෙන්. මා පොත්පත් ලියන්නෙත් පත්තරේට ලියන්නෙත් ඒ ගැනයි. ඒ අරමුණෙන් බැහැර සටන්වලින් මා ඕනෑකමින් ඈත්ව සිටිනවා. මා විශ්වාස කරන්නේ දැන් එම ප්‍රශ්නය තිබෙන්නේ දිනාගත හැකි තත්ත්වයක කියායි. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු එම පරිවර්තනය රටට අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වෙලා තියෙනවා. සමාජය සේ ම දේශපාලනඥයන්ද එකවර නොවූවත් ක්‍රම ක්‍රමයෙන් ඒ බව තේරුම් ගනිමින් සිටිනවා. ඒත් තාමත් ආණ්ඩු පෙරළි දේශපාලනයක් අපේක්ෂා කරන අය රටේ සිටිනවා. හැම හොඳ දෙයක්ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමෙන් පසුව පමණක් ඇතිවිය යුතුයි කියා සිතන පිරිසකුත් රටේ සිටිනවා. ඒ වගේ අය ජේ.ආර්, ප්‍රේමදාස හා චන්ද්‍රිකා කාලයේදීත් සිටියා. ඔවුන්ට මගේ වර්තමාන ප්‍රවේශය ආස්වාදජනක නැහැ. එහෙත් පරණ හැම සටනකටම වඩා දැන් මම හීන් සැරයෙන් කරමින් සිටින සටන මට ආස්වාදජනකයැ”යි මම කීවෙමි.

ඉන්පසු ඔහු මට කීවේ රාවයේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් මෙතෙක් කරන ලද සටන් පිළිබඳවත්, දැන් අපේක්ෂා කරන පරිවර්තනය ගැනත්, විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරන තැනකට මා යායුතු බවය. “එක ලිපියක් නොව, ලිපි පෙළක් ලියන්නැ”යි ඔහු කීවේය. එම ලිපි පෙළ පුංචි පොතක් ලෙස පළකරන ලෙසද එය රාවයේ විසිපහේ අපේක්ෂා ප්‍රබල කරනු ඇති බව”ද ඔහු කීවේය.

දැනටමත් විටින් විට විධිමත් ලෙස නොවූවත් ඒ ගැන විටින් විට ලියා තිබෙන බව මා කී විට ඔහු කීවේ එය ප්‍රමාණවත් නොවන බවත් නැවත ඒ සියල්ල විධිමත් ලෙස එකට පෙළගස්වා විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කිරීම සුදුසු බවය.

මෙම ලිපිය හෝ ලිපි පෙළ ඔහුගේ පෙළඹවීම නිසාම ලියන්නට සිදුවූ දෙයක් ලෙස සැලකිය හැකිය. එය මාගේ සටන් අත්දැකීම් ආශ්‍රයෙන් වර්තමානයේ මා දකිමින් සිටින සිහිනය සේ අවසන් සටන පිළිබඳව කැරෙන විග්‍රහයක් ලෙසද සැලකිය හැකිය.

කරන ලද සටන් මොනවාද?

මාගේ ජනමාධ්‍ය ජීවිතයේ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් විවිධ අවස්ථාවල විවිධ ආකාරවලට රාවයේද සහාය ඇතිව කරන ලද සටන් ඇතත්, ඒවා අතරින් ලැබෙන වැදගත්කම අනුව නියම සටන් ලෙස සැලකිය හැක්කේ සටන් අටක් පමණය. මා එවැනි ගණන් බැලීමක් මීට පෙර කර නැත. එවැනි ගණන් බැලීමකට මා යොමුකිරීම ගැන ඉහත දෙබසට සම්බන්ධ පුද්ගලයාට මාගේ ස්තුතිය හිමිවිය යුතුය. මා සටන් ලෙස මෙහි සලකා ඇත්තේ තිබුණු හෝ අලුතෙන් ඇතිවන බලවත් වරදක් නිවැරදි කරගැනීම සඳහා හෝ නිදහසේ සීමා මායිම් පුළුල් කරගැනීම සඳහා දරන ලද සංවිධානාත්මක හා බලවත් උත්සාහයන්ටය.

ඒ සටන් අට මෙසේය.

1. ජනමාධ්‍යවේදීන්ට දඬුවම් කිරීම සඳහා යොදා ගැනුණු පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය බලරහිත කරවා ගැනීම සඳහා කරන ලද අරගලය.

2. 17 අවුරුද්දක් පාලන බලයේ සිටි එජාප ආණ්ඩුව පරාජය කිරීම සඳහා කරන ලද අරගලය.

3. සාපරාධී අපහාස නීතිය අවලංගු කරවා ගැනීම පිණිස කරන ලද නෛතික අරගලය.

4. වත්කම් බැරකම් නීතිය බලාත්මක කරවා ගැනීම සඳහා කරන ලද අරගලය.

5. උසාවි තීරණ දෙකක් (සඳරේඛා හා ඉනෝකා ගාල්ලගේට අදාළ) වෙනස් කරවා ගැනීම සඳහා කරන ලද අරගලය.

6. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ජනාධිපතිවරණයට තරග කරන ජනාධිපතිවරයකු විසින් මැතිවරණ කොමසාරිස් ධුරයට පිටස්තර පුද්ගලයකු පත්කිරීමට එරෙහිව කරන ලද නෛතික අරගලය.

7. විශ්‍රාම යන ජනාධිපතිවරයකු රජයේ දේපළක් තමන් සතු කරගැනීමේ සිද්ධියට එරෙහිව කරන ලද නෛතික අරගලය.

8. පොත් ප්‍රකාශනයේදී පැවති සම්මත සීමා අතික්‍රමණය කිරීම සඳහා ක්‍රියාකිරීම

මෙම සටන් අටට අතිරේකව උසාවි අපහාස නීතියට එරෙහිවද සටන්කිරීමේ බලවත් වුවමනාවක් මට තිබුණි. ඒ සඳහා අවස්ථාවක් ලබාගැනීමට මා අවස්ථා ගණනාවකදී උත්සාහ කළේයැ”යි කිව හැකිය. ටෝනි එම්මානුවෙල්ට එම නීතිය යටතේ දඬුවම් කළ අවස්ථාවේදී එම ක්‍රියාව මා බලවත් ලෙස විවේචනය කළා පමණක් නොව, ඒ සඳහා ලියන ලද කතුවැකියක සිරගෙදර සිටිය යුත්තේ ටෝනි නොව, ටෝනිට දඬුවම් කළ අගවිනිසුරුවරයා බවද කියා සිටියෙමි. එස්.බී. දිසානායකට එම නීතිය යටතේ දඬුවම් කළ අවස්ථාවේදීද සේ ම එල්මෝ පෙරේරාට දඬුවම් කළ අවස්ථාවේදීද මම ඒ ගැන දැඩි විවේචනයක නිරතවීමි. ලංකාදීප කර්තෘ සිරි රණසිංහට හා ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට එරෙහිව අපහාස නීතිය පාවිච්චි කරන්නට උත්සාහ කළ අවස්ථාවලදීද මම එම උත්සාහයන් විවේචනය කළෙමි. සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයේ දිවුරුම් දෙන ඡායාරූපය උඩයට හරවා පළකරන අවස්ථාව සේ ම ඔහු අගවිනිසුරු ධුරයේ සිටියදී ඔහු පිළිබඳව මා විසින් ලියා පළ කරන ලද “නොනිමි අරගලය” පොතද උසාවි අපහාස නීතිය යටතේ ක්‍රියාකිරීමට ඔහුට ලැබුණු ප්‍රබල අවස්ථා දෙකක් ලෙස සැලකිය හැකිය. ඒ කිසිම අවස්ථාවක අගවිනිසුරු සරත් නන්ද සිල්වා මට එරෙහිව උසාවි අපහාස නීතිය පාවිච්චි නොකළේය. මොන මොන හේතු නිසා හෝ මා එම ප්‍රශ්නයට පටලවා ගැනීමෙන් වැළකී සිටින ප්‍රතිපත්තියක් ඔහු අනුගමනය කළේය.

පරාජිත අරගලයක්

මෙම සටන් අටෙන් සමහර සටන් කෙටිකාලීන ඒවා වූ අතර තවත් සමහරක් දීර්ඝකාලීන ඒවා විය. සාපරාධී අපහාස නීතියට එරෙහිව කරන ලද නෛතික අරගලයට වසර 11ක් ගතවූ අතර අගවිනිසුරු සරත් නන්ද සිල්වා කේන්ද්‍ර කරගත් අධිකරණ අරගලයට වසර 10ක් තරම් කාලයක් ගතවිය. සමහර අරගල ඉතාමත් අවදානම්සහගත ඒවා ලෙස සැලකිය හැකි අතර තවත් සමහර ඒවා එසේ නොවීය. සමහර අරගල තනි එක සටනක් වනවිට තවත් සමහර අරගල අතුරු සටන් විශාල ගණනකින් සමන්විත විය. මෙම සටන්වලින් මා කොපමණ ප්‍රමාණයක් ජයගෙන තිබෙන්නේද කොපමණ ප්‍රමාණයක් පරාජය වී තිබෙන්නේද යන්න ගැන මීට පෙර මා ගණන් බැලීමක යෙදී නැත. පළමුවරට ගණන් බැලීමක් කරන ලද්දේ මෙම ලිපිය සඳහාය. පුදුමයකට මෙන් මා පරාජය වී තිබෙන්නේ එක සටනකින් පමණය. ඒ ජනාධිපතිවරණයකදී එම ජනාධිපතිවරණයට තරග කරන ජනාධිපතිනිය විසින්ම මැතිවරණ කොමසාරිස් ධුරයට පිටස්තර පුද්ගලයකු පත්කිරීමට එරෙහිව කරන ලද නෛතික අරගලයෙනි. තවත් සටනක් ජය පරාජයකින් තොරව කෙළවර විය. ඒ අගවිනිසුරු සරත් නන්ද සිල්වා කේන්ද්‍රගත කොටගත් අරගලයයි. අනෙක් සටන් හයම පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ජයගැනීමට මම සමත් වීමි. එය හොඳ වාර්තාවක් වේයැ”යි කිව හැකිය.

පරාජය වූ නෛතික අරගලයද මාගේ වරදකින් හෝ දුර්වලතාවකින් සිදුවූවක් නොවීය. ජනාධිපතිවරණයට ප්‍රතිපක්ෂයෙන් ඉදිරිපත්වූ අපේක්ෂකයාගේ නීතිඥයාගේ වැරදි ප්‍රවේශය නිසා සිදුවූ දෙයක් විය. ජනාධිපති කර තිබූ පත්කිරීමේ දෝෂසහගතබව අධිකරණය පිළිගෙන තිබුණු අවස්ථාවක ජනාධිපතිවරයාට එවැනි පත්කිරීමක් සිදුකිරීමට බලය තිබෙන බව චොක්සි අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කිරීම නිසා ජයගත හැකි තත්ත්වයක තිබූ නඩුවක් පරාජයෙන් කෙළවර විය. ජනාධිපතිනියට එම මැතිවරණය තීරණාත්මක මැතිවරණයක් වූ අතර මැතිවරණ කොමසාරිස්වරයා පිළිබඳව ඇය තුළ කිසිදු ප්‍රසාදයක් හෝ විශ්වාසයක් නොතිබුණි. එම තත්ත්වය ඉදිරියේ මැතිවරණ කොමසාරිස්වරයා වෙත ආණ්ඩුව වෙතින් විශාල පීඩනයක් එල්ල වී තිබුණා විය යුතුය. ඒ තත්ත්වය මගහැරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා වුවමනාවෙන් රෝහල් ගතවී තිබුණාද විය හැකිය. එසේ නැතිනම් එම තත්ත්වය ඔහු ඇත්තටම රෝගාතුර කරන්නට හේතුවී තිබුණාද විය හැකිය. ජනාධිපතිවරණයක් ප්‍රකාශ කර තිබුණු අවස්ථාවක මැතිවරණ කොමසාරිස්වරයා එම වගකීම ඉටු කළ නොහැකි තත්ත්වයක සිටියේ නම් සිදුවිය යුතුව තිබුණේ මැතිවරණ කොමසාරිස්වරයාගේ දෙවැනියා වැඩබලන මැතිවරණ කොමසාරිස් වශයෙන් පත්කිරීමය. ජනාධිපතිනිය ඒ වෙනුවට කළේ තමන්ට හිතවත් පිටස්තරයකු එම තනතුරට පත්කිරීමට එය අවස්ථාවක් කරගැනීමය.

මෙම නඩුව ආරම්භ වන්නට පෙර නඩු පැවරීමේ අරමුණ ජනාධිපතිවරණයට තරග කළ එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට දැනුම් දී තිබුණු අතර අපේ ආස්ථානය අධිකරණයේදී පිළිගන්නා බව එජාප සේ ම, ජවි පෙරමුණද සහතික වී තිබුණි. එහෙත් ජවිපෙ විසින් එම පොරොන්දුව ඉටු කරනු ලැබුවද එජාපය එසේ කළේ නැත. එජාප එසේ කළේ ඇයිද යන්න මට කලක් යන තෙක් තේරුම් ගැනීමට අපහසු දේශපාලන ප්‍රහේළිකාවක් වී තිබුණි. පසු අවස්ථාවක එම ප්‍රහේළිකාව ලිහා දෙන ලද්දේ එජාපයේ ප්‍රධාන පෙළේ නීති විශාරදයකු වූ ජනාධිපති නීතිඥ තිලක් මාරපන විසිනි. ඒ කතාව කියන අවස්ථාවට මිලින්ද මොරගොඩ හා වරුණ කරුණාතිලක ද සහභාගි වූහ. තිලක් මාරපනට අනුව මෙම නඩුවේදී චොක්සි ජනාධිපතිනිය කර තිබූ පත්කිරීමට පක්ෂපාත ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කළේ ජනාධිපතිනිය පත් කළ වැඩබලන මැතිවරණ කොමසාරිස්වරයා එජාපයේ හොඳ ආධාරකරුවකු බව ඔවුන්ට දැනගන්නට ලැබුණු නිසාය. එවැනි පුද්ගලයකුගේ පත්වීමට විරුද්ධ වනවාට වඩා පත්වීම තම පක්ෂයේ යහපතට හේතුවනු ඇතැ”යි ඔවුහු විශ්වාස කළෝය. චොක්සිගේ ප්‍රවේශය එහි ප්‍රතිඵලය විය. ඔහු එජාපයේ ආධාරකරුවකු වේය යන කතාව සත්‍යයක් නොවන බව ඔවුන් දැනගන්නා විට වියයුතු දේවල් සිදුවී තිබුණේය. එය ආණ්ඩුව විසින් ඔවුන්ට දෙන ලද ලණුවක් වූ අතර කිසිදු විචාරයකින් තොරව ඔවුහු ඒ ලණුව ගිල්ලෝය. මෙම සමස්ත කතාව තිලක් මාරපන විසින් අපට කීවේ කනගාටුවෙන් නොව කොක්හඬලා සිනාසෙමිනි. ජනාධිපතිනියගේ එම ක්‍රියාව වළකාගන්නට හැකිවී නම් එය වාසිසහගත වන්නට ඉඩ තිබුණේ එජාප ප්‍රමුඛ විරුද්ධ පක්ෂයටය. අනෙක් අතට එය එසේ වී නම් එය පිළිගත් සම්ප්‍රදායයක් බවට තහවුරු වන්නට ඉඩ තිබුණේය.

ජය පරාජයෙන් තොර අරගලයක්

සරත් සිල්වා කේන්ද්‍ර කොටගත් අධිකරණ අරගලයද සංකීර්ණ හා දුෂ්කර අරගලයක් වුවද එයද ජයගත හැකිව තිබුණු අරගලයක් ලෙස සැලකිය හැකිය. එය එසේ වී නම් අධිකරණයේ ගමන් මග විශාල ලෙස වෙනස් වන්නට ඉඩ තිබුණු අතර එම තත්ත්වය රටේ ආණ්ඩුකරණ ක්‍රියාවලිය කෙරෙහිද යහපත් ලෙස බලපාන්නට ඉඩ තිබුණි. ඒ තත්ත්වය වැළකීමට ක්‍රියාකළ අය අතර නීතිඥ සංගම් ව්‍යාපාරය හා ජනමාධ්‍ය ආයතනවල හිමිකරුවන් ප්‍රධානය. මෙම දෙපිරිසම මෙම අර්බුදය අවස්ථාවක් කරගනිමින් උපරිම ලෙස වාසි ලබා ගත්තෝය. රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුවටද මෙම පිළිකාව ඉවත් කිරීමේ හැකියාවක් තිබුණි. එහෙත් ඒ යුතුකම ඔවුහුද ඉටු නොකළෝය. එම ආණ්ඩුවේ පිළිගත් දර්ශනය වූයේ ජනාධිපතිනි චන්ද්‍රිකා අගවිනිසුරු ප්‍රයෝජනයට ගත් ආකාරයටම තමන්ද ඔහු ප්‍රයෝජනයට ගතයුතු බවය. අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ එජාප, 18 වැනි සංශෝධනයේදී අගවිනිසුරු සමග පස්සා දොරෙන් ගනුදෙනු කරන තැනකට ගියේය. අවසානයේදී රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු ආණ්ඩුවේ මිනීවළ හාරන්නා බවට පත්වූයේද අගවිනිසුරුය. අගවිනිසුරුවරයාට එරෙහිව ඉදිරිපත් කරන දෙවන දෝෂාභියෝගයක් මගින් ඉස්තාලය වසන්නට උත්සාහ කළේ අශ්වයා පිටවී ගියාට පසුවය. ජවි පෙරමුණද අගවිනිසුරු සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය එජාපයේ ප්‍රතිපත්තිය තරම්ම ප්‍රතිපත්ති විරහිත වීයැ”යි කිව හැකිය. පළමු දෝෂාභියෝගයේදී ජවි පෙරමුණද එම ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්කරුවකු ලෙස ක්‍රියා කළේය. ඉන්පසු එම පක්ෂය අධිකරණ අර්බුදය තමන්ගේ වාසියට හා කීර්තියට හේතුවන නඩු තීන්දු ලබාගන්නා ප්‍රභවයක් බවට පත්කර ගත්තේය. අගවිනිසුරුද විටින් විට එම පක්ෂයේ වාසියට හේතුවන නඩු තීන්දු ලබාදෙන අතර ඒ මගින් ඔවුන්ගේ ගමන් මග අනියම් ලෙස පාලනය කරන තත්ත්වයක් හිමිකර ගත්තේය. මීට අතිරේකව ප්‍රධාන ධාරාවට අයත් අන් සියලු දේශපාලන පක්ෂද එම අර්බුදයේදී අගවිනිසුරුගෙන් ලබාගත හැකි වාසි ලබාගනිමින් ඍජු ලෙස හෝ අනියම් ලෙස හෝ අගවිනිසුරුගේ පැවැත්ම ආරක්ෂා කරන්නන් ලෙස ක්‍රියා කළේය.

අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයටද සරත් සිල්වා ආශ්‍රයෙන් ඇතිව තිබූ අවුල විසඳා ගැනීමේ හැකියාව තිබුණි. සරත් සිල්වා මෙම තනතුරට පත්කිරීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් බහුතර පිරිසක් සිටියේ ඔහුට පක්ෂපාත තත්ත්වයක නොව විරුද්ධ තත්ත්වයකය. නීතිපති ධුරයේ සිටියදී විෂමාචාර චෝදනා යටතේ මා විසින් හා රසායන ඉංජිනේරු ජයසේකර විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි දෙක විභාගයට ගැනීමට පෙර එම පැමිණිලි දෙක විභාගයට ගතයුතුද නැද්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ඡන්ද විමසීමක් පැවති අතර ඒ අවස්ථාවේදී එම පැමිණිලි දෙක පරීක්ෂණයට ගන්නවාට විරුද්ධ වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු පමණය. අන් සියලුදෙනා පරීක්ෂණයකට පක්ෂපාත තත්ත්වයක සිටියෝය. සරත් සිල්වා අගවිනිසුරු ධුරයට පත්වන අවස්ථාව වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති තත්ත්වය ඉන් පෙන්නුම් කරයි.

අධිකරණ ස්වාධීනත්වය අධිකරණයට බාහිර වශයෙන් ලබාදිය යුතු දෙයකට වඩා අභ්‍යන්තරික වශයෙන් ලබාගත යුතු තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ස්වාධීනත්වය පිළිබඳ බලවත් හැඟීමක් විශේෂයෙන්ම ඉහළ අධිකරණයේ විනිසුරුවරුන් තුළ තිබිය යුතුය. ඉතාමත් වැදගත් දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි ජේ‍යෂ්ඨතම විනිසුරුවරුන් හතරදෙනාම (ආචාර්ය මාර්ක් ප්‍රනාන්දු, ආචාර්ය ඒ.ආර්.බී. අමරසිංහ, රංජිත් ධීරරත්න හා ඒ.එස්. විජේතුංග) නව අගවිනිසුරු ප්‍රතික්ෂේප කරන තත්ත්වයක සිටීමය. ඒ සිව්දෙනාට අවශ්‍ය වී නම් සෙසු විනිසුරුවරුන්ගේද සහාය ලබාගනිමින් සරත් සිල්වා තෝරාපත් කරගැනීමට එරෙහිව නැගීසිටීමේ හැකියාව තිබුණි. එහෙත් එවැනි නැගීසිටීමකට නායකත්වය දීමට සූදානම් කිසිවෙක් ජේ‍යෂ්ඨයන් අතර නොසිටියේය. එවැනි නැගිටීමක් ඇතිවී නම් එය ශ්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වය මුවහත් කරන වැදගත් සංසිද්ධියක් වන්නට ඉඩ තිබුණි. එවැනි දෙයක් කිරීමේ ඇත්ත හැකියාව තිබූ පුද්ගලයා විනිසුරු මාර්ක් ප්‍රනාන්දුය. ජේ‍යෂ්ඨත්වය අනුව අගවිනිසුරුකම ලැබිය යුතුව තිබුණේද ඔහුටය. ඔහු එහිදී අනුගමනය කළ නිශ්ශබ්දව ඉඳීමේ පිළිවෙත කෙරෙහි එම කරුණද බලපෑවේය. ඔහු විශ්‍රාම යෑමෙන් පසු මම ඔහුගෙන් කරුණු විමසීමක් කළෙමි. මගේ ප්‍රශ්නය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයට අවශ්‍ය වී නම් මෙම තත්ත්වය ජයගැනීමට පුළුවන්කමක් තිබුණේද යන්නයි. මා හිතන විදිය හරි බව ඔහු පිළිගත්තේය. එහෙත් තමා ඒ වෙනුවෙන් සටන් කරන තැනකට ගියහොත් අගවිනිසුරු තනතුර ලබාගැනීම සඳහා දරන ආත්මාර්ථකාමී උත්සාහයක් ලෙස සමාජයට පෙනෙන නිසා නිශ්ශබ්දව සිටිනවා විනා තමන්ට කළහැකි දෙයක් නොතිබුණු බව ඔහු කීවේය. එහෙත් අවසාන විග්‍රහයේදී සියලුදෙනා කිසිවක් නොකොට නිශ්ශබ්දව ඉඳීම ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කනිෂ්ඨ විනිසුරුවරුන්ගේ සහාය ලබාගනිමින් සිය තත්ත්වය තහවුරු කරගැනීමට නව අගවිනිසුරුවරයා සමත් විය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ සිදුවන දේවල් ඉදිරියේ ඉවසාගෙන සිටිය නොහැකිව, මාර්ක් ප්‍රනාන්දු විශ්‍රාම යන වයස එළැඹෙන්නට පෙර තනතුරෙන් විශ්‍රාම ගැනීමය. තියුණු නඩු තීන්දු දෙක විනිශ්චයකාරවරයකු වශයෙන් ඔහු හිමි කරගෙන සිටියේ අසමසම තත්ත්වයකි. අධිකරණය නැවත ගොඩනැගීමේ හැකියාව තිබූ එකම පුද්ගලයා වූයේද ඔහුය. එහෙත් ඔහුගේ දක්ෂතාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අධිකරණය සේ ම රටද අසමත් විය.

මේ මෑත දිනකදී මා හා දුරකතන කතාබහක යෙදුණු ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව මා කරන ලද අරගලය ගැන මට එකඟවිය නොහැකි නිරීක්ෂණයක් ඉදිරිපත් කළේය. ඔහු මා ප්‍රියකරන පුද්ගලයෙකි. ඔහුගේ මතය වූයේ සරත් සිල්වා මට එරෙහිව දැඩිව ක්‍රියාකරන තැනකට නොගියේ මා ඔහුට එරෙහිව ප්‍රසිද්ධියේ පාවිච්චි කළ තුරුම්පුවලට අතිරේකව, පාවිච්චි නොකළ ලොකු තුරුම්පුවක්, මා ළඟ තිබුණු නිසා බවය. එසේ නොවේ නම් වෙනත් සමහර පුද්ගලයන්ට එරෙහිව එලව එලවා පහරදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඔහු මා සම්බන්ධයෙන් පමණක් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සාධාරණ හේතුවක් තිබිය නොහැකි බව ඔහු කීවේය.

හෘදය සාක්ෂියට කතා කිරීම

ඔහුගේ නිරීක්ෂණය නිවැරදි නොවන බව කියා සිටීමට මට සිදුවිය. සරත් සිල්වාට එරෙහිව මා අරගල කරන තැනකට තල්ලුවීමට මුලදී බලපෑවේ එක කරුණක් පමණය. ඒ ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල වූ මහේස්ත්‍රාත්වරයකු සම්බන්ධයෙන් නීතිපති වශයෙන් ඔහු අනුගමනය කළ නීතියට පටහැනි පිළිවෙතය. එහෙත් එම අරගලය තුළ අලුත් කරුණු එකතුවෙමින් චෝදනා පත්‍රය එක කරුණකට සීමා නොවූ චෝදනා ගණනාවකින් සමන්විත චෝදනා පත්‍රයක් බවට පත්විය. ඔහුට එරෙහිව මා ඉදිරිපත් කළ ඒ සියලු චෝදනා හොඳින් කරුණු සොයා බැලීමෙන් පසුව ඉදිරිපත් කරන ලද ඒවා වන අතර එම චෝදනා සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂිද මා ළඟ තිබුණි. අගවිනිසුරුවරයා එම ධුරයේ සිටින අතර පාතාල ලෝකයේ සමහර නමගිය අපරාධකරුවන් අසුරු කළේය යන චෝදනාවද එම චෝදනා පත්‍රයට ඇතුළත් ප්‍රධාන චෝදනාවක් විය. මා ඔහුගේ සියලු දුරකතනවල බිල්පත් තුන් මාසයක කාලසීමාවට බලපාන පරිදි පරීක්ෂා කර තිබුණි. ඔහු කතා කර තිබුණේ කාටද, ඔහුට කතා කර තිබුණේ කව්ද, ඒ අය අතර සිටි ඔහු වැනි ගරු කටයුතු තනතුරක සිටින පුද්ගලයකු ඇසුරු නොකළ යුතු පුද්ගලයන් කවුද, ඔවුන්ගේ වටාපිටාව කුමක්ද යන්න ගැන, විස්තරාත්මක තොරතුරු මා ළඟ තිබුණි. මා නගන චෝදනාවල බරපතළකම හා සත්‍යතාව ඔහුද දැන සිටියේය. ඒ නිසා ඔහුට මා පිළිබඳව චකිතයක් තිබුණා විය යුතුය. අනෙක් අතට මා ඔහුට එරෙහිව කරන අරගලය, සැඟවුණු න්‍යාය පත්‍රයක් ඇතිව කරන කූඨ අරගලයක් නොවන බවද දැන සිටියේය. ඒ නිසා මා පිළිබඳව ඔහුට තරහක් තිබුණා සේ ම සැඟවුණු ගෞරවයක්ද තිබුණා විය හැකිය. මා කරන එම අරගලය තුළ ආධ්‍යාත්මික පැත්තක්ද තිබුණේය. මාගේ මතය අනුව කිසිම මිනිසකු මුළුමනින් හොඳ හෝ නරක හෝ වන්නේ නැත. හොඳ පුද්ගලයන් ලෙස සැලකෙන්නේ නරක පැත්ත පාලනය කොට හොඳ පැත්ත වර්ධනය කරගත් පුද්ගලයන්ය. නරක මිනිසුන් ලෙස පෙනෙන්නේ හොඳ පැත්ත දුර්වල කොට නරක පැත්ත වර්ධනය කරගත් මිනිසුන්ය. නරකම මිනිසුන් තුළ පවා පුංචියට හෝ හෘදය සාක්ෂියක් ඉතිරි වී තිබිය හැකිය. නපුරු මිනිසුන්ට එරෙහිව අරගල කරන විට ඒ නපුරු මිනිසාගේ ඉතිරිවී තිබෙන පුංචි හෘදය සාක්ෂියටද කතා කළ යුතුය. එය මහත්මා ගාන්ධිගේ සටන් කලාවට ආවේණික වැදගත්ම හා ප්‍රබලම ලක්ෂණයක් විය. ඕනෑම අරගලයක් සාර්ථකත්වය කෙරෙහි එය බලපායි.

මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක හා දිසා විනිසුරු උපාලි අබේරත්න පිළිබඳව කරන ලද පරීක්ෂණ දෙකෙන්, පරීක්ෂණ කමිටු දෙක, එම විනිසුරුවරුන් දෙදෙනා වැරදිකරුවන් කිරීමෙන් පසු නීතිපති ධුරයේ සිටි සරත් නන්ද සිල්වා හමුවීමට මම ඔහුගේ කාර්යාලයට ගියෙමි. තනිව නොව තවත් දෙදෙනකු සමගය. එහි යන්නට පෙර මා ඔහුගෙන් හමුවීමට දිනයක් හා වේලාවක් ඉල්ලා සිටි විට ඔහු හිතන්නට ඇත්තේ මා එම විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව කරන ලද අරගලයෙන් ජය ලබා තිබූ තත්ත්වයක් තුළ ඔහු සමග කරන අරගලය අවසන් කිරීමේ අදහසින් මා ඔහු හමුවන්නට එනවා කියා විය හැකිය. එහි ගිය අප සියලුදෙනා මහත් උද්යෝගයෙන් ඔහු පිළිගත්තේය. ඔහු අනම්මනම් කතා කරමින් කාලය ගතකරන්නට වූ විට පැමිණි කාරණය මම ඔහුට කෙටියෙන් පැහැදිලි කළෙමි. ඔහුට එරෙහිව අරගලයක් කරන තැනකට යොමුකිරීමට හේතුවී තිබූ ප්‍රධාන කාරණාව වූයේ ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල වී තිබුණු මහේස්ත්‍රාත්වරයා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තාව නීතිපති වශයෙන් ඔහු වෙත එවනු ලැබූ පසු එම දූෂිත මහේස්ත්‍රාත්වරයා ආරක්ෂා කිරීම සඳහා පරීක්ෂණ වාර්තාවේ එන නිරීක්ෂණ යටපත් කිරීම සඳහා ක්‍රියාකිරීමය. එම පරීක්ෂණ වාර්තාව ඇතුළත් ලිපිගොනුව ඒ ස්ථානයට ගෙන්වා එම පරීක්ෂණ වාර්තාවේ එන නිරීක්ෂණ යටපත් කිරීමක් තමන් විසින් කර නැති බව ඒ මොහොතේ සනාථ කළහොත් එක් වරක් එහිදීද, තවත් වරක් ප්‍රසිද්ධියේද මා ඔහුගෙන් සමාව ගන්නා බව කියා සිටියෙමි. මාගේ එම කතාවෙන් ඔහු විශාල අවුලකට ගියේය. පරීක්ෂණ වාර්තාව යටපත් කිරීමක් ඔහු අතින් සිදුවී තිබුණු නිසා එම ලිපිගොනුව ගෙන්වා පෙන්වීමේ හැකියාවක් ඔහුට නොතිබුණි. මා ඒ මගින් කළේ ඔහු මානසික වශයෙන් පරාජය කිරීමය. ඒ මගින් ඔහු වෘත්තිය විෂමාචාරයක් කර තිබෙන බව ඔහුට ඒත්තු ගැන්වූයේයැ”යි කිව හැකිය. නීතිපති වශයෙන් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කරන තැනකට මා ගියේ ඒ මොහොතේ මානසික තලයේ කරන ලද යුද්ධයෙන් ඔහු පරාජය කිරීමෙන් පසුවය. ඒ මොහොතේ මා කරන ලද එම ක්‍රියාව දීර්ඝකාලීන ලෙස ඔහු කෙරෙහි බලපාන්නට ඇතැ“යි කිව හැකිය. ඔහු මා සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කල්පනා කළ අවස්ථා තිබුණද ඔහුගේ ඉතිරි වී තිබුණු පුංචි හෘදය සාක්ෂිය මා වෙනුවෙන් පෙනීසිටීම නිසා ඒ හැම අවස්ථාවකදීම ඔහුට ඔහුගේ දැඩි සැලසුම් ආපස්සට ගන්නට සිදුවීය යන්න මගේ විශ්වාසයයි.

(මතු සම්බන්ධයි)